කොරෝනා වෛරසය රට පුරා පැතිරී යද්දී ඇතැම් දේශපාලනඥයන් කළ කී කරුණු හේතුකොටගෙන ජනතාවත්, රටත් දේශපාලනඥයන් අප්‍රිය කරද්දී ජාතික ව්‍යසනය හමුවේ රටේ ජනතාවගේ හදවත් දිනාගත් චරිත තුනක් වූහ. ඉන් එක් චරිතයක් වූයේ වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය. දෙවැන්නා වූයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහය. තුන්වැන්නා වූයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණය. දිවා රෑ නොබලමින් කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට මේ තිදෙනා තමන්ගේ ක්ෂේත්‍ර මෙහෙයවූ ආකාරයත්, විශේෂයෙන්ම සෑම දිනකම උදෑසන ජනමාධ්‍ය ඔස්සේ සජීවීව පැමිණෙමින් රටේ ජනතාවට තේරෙන සිංහලෙන් කරුණු ප්‍රකාශ කිරීමත් නිසා මේ තිදෙනා ඒ දිනවල රටේ සුපර් ස්ටාර්ලා බවට පත්ව සිටියහ.
නමුත් මේ සියල්ල උඩු යටිකුරු කරමින් මීට දෙසතියකට ඉහතදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සමබන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල එක්තරා විශේෂ පුවතක් පළවී තිබිණි. එම පුවතින් කියැවුණේ අජිත් රෝහණ මහතාගේ දියණිය යුක්රේනයේ කියෙව් නගරයේ සිට ලංකාවට ගෙන්වා ගැනීමට අජිත් රෝහණ මහතා කටයුතු කර ඇති බවත්, කිසිදු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු නොකොට ඒ මහතා සිය දියණියව නිවෙසට රැගෙන ගොස් ඇති බවත්ය. නිරෝධායන ගැන රටටම බණ කියන අජිත් රෝහණ මහතා සිය දියණිය සම්බන්ධයෙන් නීතිය උල්ලංඝනය වන අයුරින් කටයුතු කොට ඇති බවද එම සමාජ මාධ්‍ය ජාලාවල පළවූ පුවත්වල වැඩිදුරටත් සඳහන් විය.
එහිදී අජිත් රෝහණ මහතා හා දියණිය සම්බන්ධයෙන් පළකොට තිබූ සම්පූර්ණ පුවත මෙසේය.
අජිත් රෝහණ ගුවන් පථයටම ගොස් දියණිය ගෙදර ගෙනියලා CCTV කැමරාත් ඕෆ් කරලා
පසුගිය මැයි 08 වනදා යුක්‍රේනයේ කීයෙව් නගරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි, ස්කයි අප් ගුවන් සේවයට අයත් ඡූ 5903 දරන ගුවන් යානයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණියත් මෙරටට පැමිණ ඇති බවත් අජිත් රෝහණ මහතා කිසිදු නිරෝධායන මධ්‍යස්ථානයකට ඇයව යොමු නොකොට, නීතිවිරෝධී ලෙස සිය නිවස කරා කැඳවාගෙන ගොස් ඇති බවත් මේ පිළිබඳ අප කළ වැඩිදුර විමර්ශනයකදී හෙළිදරව් විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටනොව් 32 ගුවන්යානා කිහිපයක් අලුත්වැඩියා කිරීම සඳහා මැයි 08 වැනිදා අලුයම 04.10ට යුක්‍රේන ඉංජිනේරුවන් කණ්ඩායමක් රැගත් ගුවන් යානය කටුනායක, බණ්ඩාරනායක ගුවන් තොටුපළට පැමිණි අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය ද එම ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ. එහිදී අජිත් රෝහණ මහතා සිය මෝටර් රථය අදාළ ගුවන්යානය පැමිණි ගුවන් පථය කරාම රැගෙන ගොස් ඔහුගේ දියණියව එහි නංවාගෙන පැමිණ ආගමන විගමන නිලධාරීන් කරාගොස් එම කටයුතුත් අවසන් කරගෙන ගුවන් තොටුපළ හරහා නොපැමිණ පිටතින්ම ඔහුගේ දියණියව නිවස කරා කැඳවාගෙන ගොස් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
ගුවන් හමුදා නිලධාරියාටත් බැන වැදිලා
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් යම් තොරතුරු ප්‍රමාණයක් මීට දින කිහිපයකට පෙර සිට අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන්නට පටන් ගැනීමත් සමඟ අජිත් රෝහණ මහතා කුපිත වී තිබේ. ගුවන් පථයේ ආරක්ෂාව භාරව සිටින්නේ ගුවන් හමුදා අණදෙන නිලධාරියකු බැවින් මෙම තොරතුරු පිටතට ලබාදුන්නේ ඔහු විසින් බවට සැකකර ඇති අජිත් රෝහණ මහතා එකී ගුවන් හමුදා නිලධාරියාව අමතා ඉතා පහත් අයුරින් බැනවැදී ඇති බවත් වාර්තා විය.
අජිත් රෝහණ මහතා අසභ්‍ය වචනයෙන්ම බැන වදිද්දී ගුවන් හමුදා නිලධාරියා කෙළින්ම ප්‍රශ්න කර ඇත්තේ අජිත් රෝහණ මහතාගේ පුද්ගලික මෝටර් රථය ගුවන් පථය කරාම ඔහු ගෙනගියේ කවර අයිතියක් යටතේද යන්නයි. එසේ පෞද්ගලික මෝටර් රථ ගුවන් පථය කරා ගෙනයන්නේ රාජ්‍ය නායකයින් මෙරටට පැමිණෙන අවස්ථාවලදී පමණක් බව පවසා ඇති බව ගුවන් හමුදා නිලධාරියා අජිත් රෝහණ මහතා කර ඇත්තේ ඔහුගේ තනතුර අවභාවිතා කිරීමක් බවත් පෙන්වා දී ඇත. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ ගැන තමන් කිසිවකුටත් කිසිවක් නොකී නමුත් තමන්ටත් කරන්නට දෙයක් නොමැති බවත් ගුවන් තොටුපළේ එදින සේවය කළ සේවකයින් සියල්ලන්ම කතාව දන්නා බවත්ය.
එසේම ගුවන් යානය කරාම මෝටර් රථයක් ගමන් කරනා දර්ශනය එදින ගුවන් තොටුපළේ සේවය කළ සේවකයින් කිහිප දෙනෙකු විසින්ද තම ජංගම දුරකථනවලින් පටිගත කර ඇති බවත් අප වෙත වාර්තා විය.
අජිත් රෝහණ මහතාගේ දියණිය මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අප මීට සතියකට පමණ පෙර පුවතක් පළ කළ අතර එහි එක් තොරතුරක් වැරදී තිබිණි. අප වෙත මුලින් වාර්තා වූයේ ඩුබායිහි සිට පැමිණි ගුවන් යානයෙන් අජිත් රෝහණ මහතාගේ දියණිය මෙරටට පැමිණි බවකි. ඩුබායි සිට මගීන් 260 දෙනෙකු ගෙන්වා ගැනීම සඳහා දිලිත් ජයවීර මහතා මුදල් ගෙවා තිබුණු අතර අපගේ පුවතෙන් දිලිත් ජයවීර මහතාට යම් අපහසුතාවක් ඇතිවී නම් අපි ඒ පිළිබඳ අපගේ කනගාටුව පළ කරන්නෙමු. අප මීට පෙර පළ කළ පුවත ඉවත් කරගත්තේ ද ඒ හේතුව නිසාය.
“ස්වාධීන” ෆැක්ට් ක්‍රෙසින්ඩෝ දැන් කියන්නේ මොනවාද?
අපගේ එම පුවත “සම්පූර්ණයෙන්ම” සාවද්‍ය පුවතක් වශයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ නිරීක්ෂණ කටයුතු කරන “ස්වාධීන” ආයතනයක් ලෙස හඳුන්වා ගන්නා ෆැක්ට් ක්‍රෙසින්ඩෝ ආයතනය විසින් නම් කර තිබුණු අතර අජිත් රෝහණ මහතාගේ දියණිය මෙරටට පැමිණ නැති බව ඔවුන්ගේ විමර්ශනවලදී සනාථ වූ බවක් ද ප්‍රකාශ කර තිබිණි. ඇත්තෙන්ම ඔවුන් කර තිබුණේ හොරාගේ අම්මාගෙන් සහ හොරාගෙන්ම පේන අසා “ස්වාධීන” ලෙස තීන්දු දීමකි. ඒ හරහා අපගේ ෆේස්බුක් පිටුවටද යම් බලපෑමක් සිදුව ඇති අතර ඔවුන් දැන් කියන්නේ මොනවාදැයි දැනගැනීමට අපත් ඉතාම කැමතිය.
විශේෂයෙන් මෙකී ස්වාධීන නිරීක්ෂකයින්ගේ ස්වාධීනත්වය දෝරේ ගලන ස්වභාවය පිළිබඳව අපට ප්‍රශ්න ගණනාවක්ම ඇති අතර ඔවුන් මේ තරම් ස්වාධීනත්වයක් කරා පැමිණි වෘත්තීය ගමන් මාර්ගය ගැන කරුණු පැහැදිලි කරවා ගැනීමටද මෙය අවස්ථාවක් වනු ඇති.
රජයේ ඉහළ බලධාරියෙක් පෞද්ගලිකවම මැදිහත් වෙලා
බෙලරූස්හි අධ්‍යාපනය ලබමින් සිටි අජිත් රෝහණ මහතාගේ දියණිය පෙරකී යුක්‍රේන ගුවන් යානයෙන් මෙරටට ගෙන්වා දීම සඳහා මැදිහත්වී ඇත්තේ රජයේ ඉහළම බලධාරියෙකු බවත් ආරංචිමාර්ග අප වෙත ප්‍රකාශ කළේය. ඒ සඳහා එම ඉහළම බලධාරියා පුද්ගලිකවම යුක්‍රේනයට දුරකථන ඇමතුම් ලබාදී ඇති බවත් සඳහන්.
එමෙන්ම එකී ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩබාන අවස්ථාවේදී ගුවන් තොටුපළේ ක්‍ක්‍ඔඪ කැමරා පද්ධතිය අක්‍රිය කර තිබී ඇති අතර ඊට හේතුව වශයෙන් සඳහන් කර ඇත්තේ අධික ලෙස අකුණු ගැසීම් සිදුවූ බවකි. ජාතික ආරක්ෂාව සම්බන්ධ මර්මස්ථානයක් වන ගුවන් තොටුපළේ කැමරා පද්ධතිය අකුණු ගසනා විට අක්‍රිය කෙරෙන්නේ නම් ජාතික ආරක්ෂාවට අබසරණ බව කුඩා ළමයෙකුට වුවත් වැටහෙනවා ඇතැයි සිතමු.
කෙසේවෙතත් අපගේ කලින් පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පැවසූ අජිත් රෝහණ මහතා මාධ්‍ය ඉදිරියේ උපාසක වෙස් ගනිමින් ප්‍රකාශ කර තිබුණේ මේ මොහොතේ තමන්ගේ දියණිය මෙරටට ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුවක්වත් තමන්ට නොමැති බවකි.
මෙවර අප වෙත ලැබී ඇති තොරතුරුත් අසත්‍ය බව ඔහු පවසන්නේ නම් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ CCTV කැමරා පද්ධතිය, ගුවන් හමුදා නිලධාරීන් සහ එදින සේවය කළ ගුවන් තොටුපළ සේවකයින් සියලුම දෙනාම සාක්ෂි වශයෙන් කැඳවා විමසා බලන්නට පුළුවන….’
ඒ අනුව සමාජ මාධ්‍ය ජාලයන්හි පළවූ මේ පුවතේ ඇත්ත නැත්ත දැන ගැනීමට සිටින එකම පුද්ගලයා අජිත් රෝහණ මහතා වන බැවින් මේ පුවතට සමාජ මාධ්‍ය ජාලයන්හි ඉහළ ප්‍රතිචාර හිමිව පැවතියදී අපි අජිත් රෝහණ මහතාට කතාකොට මේ පුවතේ ඇත්ත නැත්ත පිළිබඳ විමසා සිටියෙමු. එහිදී අපිට අජිත් රෝහණ මහතා ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

“මගේ දුව පිටරට සිට මෙරටට ගෙන්වාගත් බවට සමාජ මාධ්‍ය වෙබ් අඩවි මඟින් නඟන සියලු චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. එම චෝදනා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා ඔය චෝදනා කරන අයට මම අභියෝග කරනවා. එහෙම ඔප්පු කළොත් මම පොලිස් සේවයෙන් ඉවත් වෙනවා. මේ වගේ මිනිස්සු ගැන මම පුදුම වෙනවා. මගේ දුව බෙලරූස් රාජ්‍යයේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න එක ඇත්ත. නමුත් එයාව මේ අවස්ථාවේ මම ගෙන්වා ගන්න උත්සාහ කළේ නැත්තෙ එයා වසර අවසාන විභාගයට සූදානම් වෙනවා. එයා හොස්ටල් එකේ ඉඳන් ඒ විභාග වැඩකටයුතු කරගෙන යනවා. මේ වගේ අභූත චෝදනා නඟන අය තව ඉස්සරහට තවත් බොරු චෝදනා නඟාවි. ඒවටත් මම මුහුණ දෙනවා. සත්‍ය කවදා හරි ජයගනීවි.” යන්න අජිත් රෝහණ මහතාගේ පිළිතුර විය.
මේ ආකාරයට අජිත් රෝහණ මහතා අපට පිළිතුරු ලබාදී පැය 24ක් ඉක්ම යෑමටත් මත්තෙන් සමාජ මාධ්‍ය ජාලවල පැවැති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන වීඩියෝවක් සමාජ මාධ්‍යයෙහි පළවිය. ඒ වීඩියෝවේ සිටියේ වෙන කවුරුවත් නොව අජිත් රෝහණ මහතා විසින් හොර පාරෙන් ලංකාවට ගෙන්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානවලටත් යොමු නොකර ගුවන්තොටුපොළ බලධාරීන්ට සද්දෙ දමා කටුනායක සී.සී.ටී.වී.ත් අක්‍රිය කොට ගෙදර රැගෙන ගිය බව කියූ ඒ මහතාගේ දියණියය. නැතහොත් තුරුණි රෝහණය. ඇය සමාජ මාධ්‍ය ජාල වෙත වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ තමන් තවමත් බෙලරූස් රටේ ග්‍රෝඞ්නෝ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන බවත්, මේ දිනවල අවසන් පරීක්ෂණ පැවැත්වෙන හෙයින් ඊට මුහුණ දීමට තමන් සූදානමින් සිටින බවත් තමන් පිළිබඳ පළවන සියලු පුවත් අසත්‍ය බවත්ය. මේ ඇය එහිදී සඳහන් කර සිටි කරුණුය.

“මේක අහගෙන ඉන්න හැමදෙනාටමත්, ලෝකේ ඉන්න හැමදෙනාටමත් ආයුබෝවන්. මගේ නම තුරුණි. මගේ තාත්තා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ. යම් ප්‍රවෘත්තියක් පළවෙලා තියෙනවා මම ලංකාවට ඇවිල්ලා නිරෝධායනය වෙන්නෙ නැතිව මගේ තාත්තා ගෙදර අරන් ගිහිල්ලා කියලා. ඇත්තටම එහෙම පළවෙන සියලු ප්‍රවෘත්ති අසත්‍යයක්. මොකද මම තාම ඉගෙනුම ලබන්නේ බෙලරූස් රාජ්‍යයේ ග්‍රෝඞ්නෝ යුනිවසිටි එකේ. මෙහේ ලංකාවේ ළමයි 400ක් විතර ඉගෙනුම ලබනවා. අපිට ෆයිනල්ස් තියෙනව ජූලි අන්තිම. ෆයිනල්ස් ඉවර වෙලා ලංකාවට එන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් මම ගැන පළවෙන හැම ප්‍රවෘත්තියක්ම අසත්‍යයක් කියලා කියන්න තමයි මම මේ පටිගත කිරීම කරන්නේ. ඔබ සැමට බුදු සරණයි. දෙවි පිහිටියි.”
ඒ අනුව දැන් ඇත්ත කියන්නේ කවුද, බොරු කියන්නේ කවුද යන්න පිළිබඳව අප අවසන් මතයක් ප්‍රකාශ කරනවාට වඩා එය තේරුම් ගැනීම පාඨකයන්ට බාර කිරීමට අපි කටයුතු කරමු. ඒ, සමාජ මාධ්‍ය ජාලාවල පළවන පුවත් හිස් මුදුනින් පිළිගන්නා ඇතැම් පාඨකයන් අප අතරේ තවමත් සිටින නිසාය.
ප්‍රේමලාල් විජේරත්න











