.
බාර් ලයිසන් කියන කතන්දරය දැන් වසර ගණනක් තිස්සේ නිතරම කියැවෙන්නකි. බාර් ලයිසන් දීම දේශපාලකයන් විසින් විලාසිතාවක් කරගෙන තිබේ. බාර් කතන්දරයට කුඩුවෙන්න ගහන්නේ නොලැබුණු අයය. ලැබුණු අය කටත් අනිත් එව්වාත් වසා සිටී. (Sri Lanka Latest News)
ටික දොහකින් අලුත් හීනයක් එක්ක බිත්ති ඉස්සෙයි. බෝඩ් ඇලවෙයි.
‘ආං අලුත් බාර් එක දාලා…’
හාවක් හූවක් පැතිරෙයි. බාර් එක ඇරෙයි. පෝලිම හැදෙයි. වැඩේ ගොඩය. කතාව ඉවරය. වේදිකාවක දෙකක කතා ඇහෙයි. එපමණකි. ටික කාලයකින් තව බාර් එකක් එකතු වෙයි. ඒකත් පණගසා එයි. ෂෙඩ් ඇරෙයි. ව්‍යාපාර ඇරඹෙයි. පක්ෂ කාර්යාල හැදෙයි.
මේ දේශපාලනයේ ස්වභාවයයි. නමුත්,
‘ඔව්වා ඔහොමයි…’ කියා හිත හදාගන්නට පුළුවන්කමක් නැත. වෙලා තියෙන්නේ ඒකය. දිගටෝම අපි වෙන දෙයක් බලාගෙන හිටපු නිසා දැන් දේශපාලකයන්ට ලැජ්ජා බය නැත.
‘වේලු කුමාර් නෙමේ බාර් කුමාර්…’ කියන්නේ හන්දියේ වලියක නොව ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකය. මේවා බාර් ලයිසන් ලාභ වීමත් බාල වීමත් පමණක් නොව සුලබ වීමත් ගැන කියන කතන්දරයන්ය.
දේශපාලනික අවශ්‍යතා මත නීතියට පටහැනිව මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධව චෝදනා එල්ල වී තිබෙන සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුරක් දරන නිලධාරියකු විදෙස්ගත වීමට සූදානම් වන බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
නව රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ යටතේ දැනටමත් ඔහු සම්බන්ධ වංචා සහ දූෂණ රැසක් පිළිබඳ අවධානය යොමුවීම ඊට හේතුව වී තිබේ. සුරාබදු නීතිවලට පටහැනිව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මත්පැන්හල් හිමියන් විසින් ගොනුකළ නඩුවක් ද පවතින අතර සුරාබදු දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙලෙස සිය අභිමතය පරිදි අසීමිත ලෙස මත්පැන් බලපත් නිකුත් කිරීම සඳහා මෙම නිලධාරියා විසින් අල්ලස් ලබාගෙන ඇති බවය.
එමෙන්ම ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් වංචාව මගින් රජයට බදු මුදල් අහිමි කිරීම සම්බන්ධවද ඉදිරියේ පැවැත්වෙන විමර්ශන මගහැර යෑම සඳහා ඔහු මෙසේ සූදානම් වන බව සුරාබදු වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ තත්ත්වය ඉතාම නරකය. සාමාන්‍යයෙන් මේ බලපත්‍රම ලබාදීම සිදුවන්නේ ප්‍රමිතියකට අනුව විය යුතුය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් බාර් ලයිසන් ගත් මන්ත්‍රීවරුන් පිළිබඳ වසන්ත සමරසිංහ මහතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය.
එහිදී ඒ මහතා කියා සිටියේ සජබ කුරුණෑගල මන්ත්‍රී අලවතුවල, ශාන්ත බණ්ඩාර සහ නියෝජ්‍ය කාතානායක අජිත් රාජපක්ෂ මෙසේ රනිල්ගෙන් මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇති බවකි.
කෙසේ නමුත් මැතිවරණ කාලයේ මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීම නතර කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාදී ඇති බව පහුගිය කාලවල ජාතික මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේය. මේ සම්බන්ධව යම් යම් පාර්ශ්ව විසින් මැතිවරණ කොමිසමට ද පැමිණිලි කර තිබිණි. ඒ අනුව ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට මත්පැන් බලපත්‍ර ලබාදීම නතර කිරීමට මැතිවරණ කොමිසම ද මැදිහත් වී තිබේ. ඒ සම්බන්ධව සුරාබදු නිලධාරීන් විසින්ම සඳහන් කර තිබ්බේය. එහෙත් පවතින නීතිරීති පසෙකලා ජනාධිපතිවරණය කැඳ වූ පසුත් සැප්තැම්බර් 18,19,20 යන දිනවලද මත්පැන් විකිණීමේ බලපත්‍ර නිකුත් කොට ඇත. මේ ආකාරයට ජනාධිපතිවරණය කැඳවූ සමයේ බලපත්‍ර 80ක් පමණ නිකුත් කර ඇති බවට අනාවරණ වීම සාධරාණද? එය මැතිවරණ සමයේ අල්ලස් ලබාදීමකට ගත නොහැකිද?
මුලින් රුපියල් කෝටි 20ක මිලට අලෙවි වූ බලපත්‍රයක් පසුව රුපියල් කෝටි හයකට අලෙවි වීම ගැන සටහනක් මේ ලිපියට අදාළව මාධ්‍ය පරිහරණය කරනා විට හමුවිය. අන්තිම කාලය වන විට රුපියල් කෝටියකට මෙම බලපත්‍ර විකුණා ඇති බවත් මෙලෙස විකුණන බලපත්‍ර හෝ බලපත්‍ර ලබාදෙන්නම් කියා ලියුම් ලබාදී ඇතත් ඒවාද ගැනීමට සමහරු ඉදිරිපත් වී නැත.
එක්තරා පුද්ගලයෙක්ට හෝ කීපදෙනෙක්ට දේශපාලන වේදිකාවට ගොඩවෙන බවට වූ පොරොන්දුව පිට බාර් ලයිසන් එකක් ලබාදෙන්න සූදානමින් සිටි බවද එසේ ගොඩ නොවූ නිසා එම බලපත්‍රය ලබානොදුන් බවද වාර්තා විය.
මේ ජාතික පුවත්පතකට අදාළ වෙබ් අඩවියකින් උපුටා ගත් කතන්දරයකි.
පර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් බාරදී තිබී ඇති බව පිළිගත යුතු මට්ටමෙන් වාර්තා වී තිබේ. නුවර නියෝජනය කළ මන්ත්‍රිවරයකුට ලැබුණු මත්පැන් විකිණීමේ බලපත්‍රය දිගන ප්‍රදේශයේ වෙනත් අයෙක්ට විකුණා ඇති බවත් අදාළ මන්ත්‍රීවරයාට බලපත්‍ර තුනක් ලැබී ඇති අතර, ඉන් එකක් රුපියල් කෝටි හතරට විකිණීමට ගත් උත්සාහය ද අසාර්ථක වී තිබෙන බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
‘හොරට මත්පැන් නිෂ්පාදනයට ප්‍රසිද්ධියක් උසුලන අයකු නුවර නියෝජනය කළ දේශපාලකයාගේ එක් බලපත්‍රයක් මිලදීගෙන තිබේ. මේ අය උපයන කළු සල්ලි සුදු කිරීම මේ හරහා සිදු වී තිබෙන බවද වාර්තා වෙයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩකිරීමට නීතිය තිබුණද එම නීති ක්‍රියාත්මක වන ආකාරය අනුව වංචා දූෂණ සිදුවන බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.’
ඒ අස්සේ හොර මත්පැන් ගැන කතා කීපයක්ම වාර්තා වෙයි. නුවර පැත්තේ මත්පැන් නිපදවන සමාගමක් ගැන මේවන විට වාර්තා වී තිබේ. මේ මත්පැන් පොළොන්නරුවේ අලෙවි කරන බවත් එහි දී විශාල වශයෙන් ලාභ උපයන බවත් සඳහන්ය.
යාපනය සහ වන්නි දිස්ත්‍රික්කවල විශේෂයෙන්ම වවුනියාවේ සිට යාපනය තෙක් ්9 මාර්ගය දෙපසම අලුතෙන් බාර් ඇරෙන්නට පටන් අරගත්ත බවට දේශපාලකයෝ කලබල වී සිටිති.
2005 වසරේ උපන් බව සඳහන් වන දේශපාලන පුත්‍රයෙක්ට මෙසේ බලපත්‍රයක් ලබාදී ඇති බවත් එය උපන්දින තෑග්ගක් බවත් තතු දන්නා අය පවසති. ඒ සම්බන්ධව හොයා බලද්දී තේරෙන්නේත් මේවා දේශපාලන සෙල්ලම් මිස නීත්‍යනුකූල බෙදාදීම් නොවන බවය.
මහ ඡන්දයක් ළඟම එද්දී තවත් මේ ගැන හිතන්නට අවශ්‍යව තිබේ. තවදුරටත් මේවා සිදු නොවේ යැයි සිතිය නොහැක. රට දරුණු ව්‍යසනකාරී ආර්ථික අර්බුදයකට මුහුණදී තිබියදීත් මේ ආකාරයෙන් කටයුතු කරන හෝ කළ දේශපාලකයන්, දේශපාලන ක්‍රියාකාරිකයන් සහ වෙනත් පුද්ගලයන්ටත්, මේ හා සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ටත් අලුත් ආණ්ඩුව මොන වගේ හැන්දකින් බෙදන්නේදැයි රටවැසියෝ ඇස් කන් ඇරගෙන බලා හිඳිති.

ජීවන පහන් තිළිණ










