‘ගරු මහාධිකරණය මට එරෙහිව ලබාදුන් අධිකරණ තීන්දුවට මම හිස නමනවා. එම දඬුවමට එරෙහිව මම කිසිදු අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නැහැ. රජයේ අමාත්‍යවරයෙක් හැටියට මම පිළිගන්නවා, සිංගප්පූරුවේ දණ්ඩ නීති සංග්‍රහයේ 165 වගන්තිය යටතේ මම සිදුකර ඇති ක්‍රියාව වැරැදියි කියලා. මගේ එම ක්‍රියාවලියේ සම්පූර්ණ වගකීම මම භාරගන්නා අතර, සියලු සිංගප්පූරු වැසියන්ගෙන් අසීමිතව සමාව අයැද සිටිනවා. මට නියම කළ සිර දඬුවමත් සමග මගේ පවුලේ අයට ඇතිවූ වේදනාව පසෙකින් තබා මම අපගේ ජීවිත නැවත යහපත් ලෙස ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මම වසර 30ක රාජ්‍ය සේවයක් ඉටුකළ පුද්ගලයෙක්. මෙම කාලය මගේ ජීවිතයේ ඉතා විහිෂ්ටතම ගෞරවයක් ලෙස මම සලකනවා. මෙම කාලය තුළදී මම උපරිම මෙහෙවරක් ඉටුකිරීමට හැම විටකම කටයුතු කළා…’ (Sri Lanka Latest News)
එක්තරා සුවිශේෂ අධිකරණ ක්‍රියාවලියක් ගැන මෙලෙස අසන්නට ලැබෙන කතාන්දරය කුමක්ද? මෙවැනි ප්‍රකාශයක් සිදුකර සිටින්නේ කවරකු විසින්ද? මෙයට දින කිහිපයකට ඉහතදී මෙම වතගොත අසන්නට ලැබුණේ සිංගප්පූරුවෙනි. අපට යාබද ආසියාතික රටක් වන සිංගප්පූරුවේ හිටපු අමාත්‍යවරයකු වන එස්. ඊශ්වරන් විසින් මෙම ප්‍රකාශය සිදුකර තිබිණි. ඔහුට එරෙහිව පැනනැගුණු යම් දූෂණ වංචා ක්‍රියාවකට අදාළව විභාග කෙරුණු අධිකරණ නඩුහබයක් මෙසේ අසන්නට ලැබිණි. මෙහි තොරතුරු තවත් ප්‍රකාශ කිරීමට ප්‍රථම අප මෙම එස්. ඊශ්වරන් යනු කවරකු දැයි සොයා බලමු.
සම්පූර්ණ නාමයෙන් හඳුන්වන සුබ්‍රමානියම් ඊශ්වරන් (Subramaniam Iswaran)යනු දැනට 62 වැනි වියේ පසුවන සිංගප්පූරුවේ රජයේ හිටපු ප්‍රධාන ඇමැතිවරයෙකි. මොහුගේ උපන් භූමිය වන්නේ දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරය වන අතර, මුල් කාලයේදීම සිංගප්පූරුවට සංක්‍රමයණය වූ පුද්ගලයෙකි. තරුණ කාලයේදී සිටම එහි මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු පසුකාලීනව ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන්ද උපාධියක් හිමිකර ගෙන ඇත. කෙසේ හෝ එතැනින් පසුව ඔහු සිංගප්පූරුව තුළදී එරට දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ වී කටයුතු කරන්නට විය. ඒ අනුව ඔහු සංගප්පූරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසට පත්වන්නේ 1997 වසරේදීය. ඔහු මුලින්ම දේශපාලනයට පිවිසෙන්නේ 1995 වසරේදී වන අතර, එවිට ඔහුගේ වයස අවුරුදු 32ක් බව පැවසෙයි. මේ අනුව දැනට ඔහු වසර 30ක් නොකඩවා දේශපාලනයේ නිරතව සිටියි. තවත් පසුකාලීනව ඉතා ප්‍රබල ලෙස දේශපාලනයෙහි නිරත වූ ඔහු අමාත්‍යවරයකු බවටද පත්වීම් ලැබීය.
මුලින්ම ඔහු අමාත්‍ය ධුරයක් හිමිකර ගන්නේ 2011 වසරේදීය. එතැන් සිට එරට රජයේ වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය ධුරය, සන්නිවේදන හා මාධ්‍ය අමාත්‍ය ධුරය සහ ප්‍රවාහන අමාත්‍ය ධුරයද ඔහු දරනු ලැබුවේය. එනම් වසර 10කට ආසන්න කාලයක් එම ප්‍රධාන අමාත්‍ය ධුර දරන ලද අතර, 2024 ජනවාරි 18 දා ඔහුට එරෙහිව ගොනුවුණු දූෂණ චෝදනා යටතේ අමාත්‍ය ධුරය අහිමි විය. එස්. ඊශ්වරන් ඇමැතිවරයා මුලින්ම අත්අඩංගුවට ගනු ලබන්නේ 2023 ජූලි 11 වැනිදාය. එතැන් සිට ඔහුට එරෙහිව සිංගප්පූරුවේ මහාධිකරණයේ නඩුවක් ගොනුකෙරුණු අතර, එය වසරකුත් මාස තුනක් පුරා විභාග කෙරිණි. ඒ අනුව මෙම නඩුවේ කූටප්‍රාප්තිය උද්ගත වන්නේ මෙයට දින කිහිපයකට උඩදීය. එනම් මෙම නඩුහබයේ අවසන් තීන්දුව ලබාදීමෙනි. එම අවසාන මහාධිකරණ නඩු තීන්දුව වූයේ සිංගප්පූරු හිටපු අමාත්‍යවරයාට වසරක සිර දඬුවම් නියම කිරීමය. ඒ අනුව ඔහු පසුගිය 2024 ඔක්තෝබර් 07 වැනිදා වසරක කාලයකට බන්ධනාගාරගත කෙරිණි. මෙම හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයාට එරෙහිව එරට නීතිය විසින් ලබාදුන් දඬුවම අද මුළුමහත් ලෝකයම කතාකරන විෂයක් බවට පත්ව ඇත. ඔහුට එම දඬුවම ලබාදීමෙන් අනතුරුව ඔහු සිදුකළ සුවිශේෂ ප්‍රකාශයක් ඔහුගේ අන්තර්ජාල ෆේස්බුක් සටහනක පළවූ අතර, මෙම ලිපියේ මුලින්ම ඔබට ලියා තැබුවේ එම සුවිශේෂ සටහනයි. මෙහි අතිශයම වැදගත් කතාන්දරය වන්නේ මෙම හිටපු අමාත්‍යවරයා විසින් තමන් සිදුකළ වරද සමාජය ඉදිරියේ ප්‍රසිද්ධියේ පිළිගෙන තිබීමය. එසේම ඔහු තමාට ලබාදුන් දඬුවමට එරෙහිව කිසිදු අභියාචනයක් පවා සිදු නොකරන බව අවධාරණය කර ඇත. තවද සුවිශේෂ කතාව වන්නේ ඔහු තමාගේ වරදට අදාළව ජනතාවගෙන් සමාව අයැද සිටීමය.
දැන් ඔබට මෙම කතාවේ යම් වටපිටාවක් පැහැදිලි වනු ඇත. එහෙත් කතාව තවද අසම්පූර්ණය. අප මෙහි යම් හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණෙන්නේ මෙතැනදීය. එය කුමක්ද? සිංගප්පූරුවේ මෙම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වසරකට සිර ගෙදරට යැවීමට සිදුකළ දූෂණ වංචාව කුමක්ද?
● 2015 සිට 2022 දක්වා වසර 07ක් පුරා එස්. ඊශ්වරන් අමාත්‍යවරයා විසින් සිංගප්පූරුවේ සහ මැලේසියාවේ වෙසෙන මහා ප්‍රකෝටිපති, ධනකුවේර ව්‍යාපාරිකයන්ගෙන් විවිධ අල්ලස් ලබාගෙන ඇතැයි චෝදනා ගොනුකර තිබිණි. සිංගප්පූරුවේ දූෂිත පිළිවෙත් විමර්ශන කාර්යාංශය (Corrupt Practices Investigation Bureau – Singapore) විසින් මෙම චෝදනා ගොනුකරනු ලැබුවේ ඉතා දීර්ඝ විමර්ශනයකින් පසුවය. එම චෝදනා ක්‍රමවේදයන් දෙකකට අනුව ගොනුකෙරිණි. එය විස්තරාත්මකව සොයා බලමු. එය මෙසේය.
● සිංගප්පූරුවේ දණ්ඩ නීති සංග්‍රහයේ (Penal code of Singapore) 165 වැනි වගන්තිය යටතේ රාජ්‍ය සේවකයකු ලෙස වටිනා ත්‍යාග අල්ලස් ලෙස ලබාගැනීම.
● සිංගප්පූරුවේ දණ්ඩ නීති සංග්‍රහයේ 204 Y (Y) වගන්තිය යටතේ යුක්තියට බාධා කිරීම.
● සිංගප්පූරුවේ දූෂණය වැළැක්වීමේ පනත (Prevention of Corruption Act) 6 (Y) වගන්තිය යටතේද ඉහත චෝදනා දෙක ගොනුකෙරිණි. මේ අනුව මෙම හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයාට එරෙහිව සිංගප්පූරුවේ මහාධිකරණයේ නඩුවක් ගොනුකෙරිණි.
දැන් එසේනම් එල්ල කෙරුණු දූෂණ චෝදනාවන් කුමක්ද? සවිස්තරාත්මකව බලමු.
ඇමෙරිකානු ඩොලර් 300,000 (ලක්ෂ 3)කට අධික වටිනාකමකින් යුත් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 10කට ආසන්න) විවිධ ත්‍යාග සහ භාණ්ඩ අල්ලස් ලෙස ලබාගෙන තිබීම. එම අල්ලස් ලෙස නම්කර ඇත්තේ සුපිරි හෝටල් නවාතැන්, පුද්ගලික ජෙට් යානා ගමන්, ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන්, ජාත්‍යන්තර මෝටර් ධාවන තරග හා පාපන්දු තරග සඳහා ප්‍රවේශපත් මෙන්ම ජාත්‍යන්තර සුපිරි සංගීත සංදර්ශන නැරඹීම සඳහා ප්‍රවේශපත් ලබාගැනීමද මෙසේ චෝදනා ලෙස ගොනුකර ඇත. මෙයට අමතරව ලෝකයේ සුපිරි සමාජශාලා පහසුකම් සහ ලෝකයේ ඉතා මිල අධික මත්පැන් වර්ගද ලබාගැනීම උදෙසා චෝදනා කර ඇත. ඔබට මෙම වතගොත කියැවීමේදී පෙනෙන විශේෂත්වය කුමක්ද? එය නම් මෙම අමාත්‍යවරයා කිසිදු අල්ලසක් මුදල්මය වශයෙන් ලබාගෙන නොමැති ආකාරය සඳහන් වීමය. එරට විමර්ශකයන් එම චෝදනා ගොනුකර ඇත්තේ ත්‍යාග භාණ්ඩ සහ වරප්‍රසාද ලබාගැනීම සහ ඒවාට අදාළව නිසි අදාළ මුදල තක්සේරු කිරීමය. මෙම නඩුහබය කෙතරම් තීව්‍ර සහ සංකීර්ණ ලෙස විභාග කෙරුණේද යත් හිටපු අමාත්‍යවරයාට තමන් ලබාගත් ත්‍යාගවල වටිනාකම වන ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක මුදල දඩ වශයෙන් ගෙවීමට නියම කෙරිණි. මෙය අධිකරණ ක්‍රමවේදය යටතේ අයුතු ලෙස උපයාගත් ලාභ ආපසු ලබාදීම නොහොත් ‘ස්වේච්ඡා විසංයෝජනය’ (Voluntary Disgorgement) ලෙසින් හඳුන්වා දී තිබිණි. ඒ අනුව හිටපු අමාත්‍යවරයා එම මුදල් අධිකරණයට ගෙවූ අතර, එහෙත් ඔහුට එරෙහිව ගොනුකළ චෝදනා කිසිවකින්වත් නිදහස් නොකෙරිණි. ඉන් පසුව වසරක සිර දඬුවම නියම කෙරිණි.
ලෝකයේ රටවල් රැසක සුපිරි හෝටල් ව්‍යාපාර අයත් මැලේසියානු ප්‍රකෝටිපති ධනකුවේරයකු වූ ඔන්ග් බෙන්ග් සෙන්ග් (Ong Beng Seng) සමග හිටපු ඇමැති එස්. ඊශ්වරන් බොහෝ කාලයක සිට විවිධ ව්‍යාපාර කටයුතු සඳහා ගනුදෙනු කර ඇති අතර, ඒ අතර කාලයේදී මෙම ව්‍යාපාරිකයාගෙන් විවිධ අල්ලස් ලබාගැනීම සිදුකර ඇත. සිංගප්පූරුවේ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු වින්සන්ට් හූං (Vincent Hoong) ගේ ප්‍රධානත්වය යටතේ අදාළ නඩුව විභාගයට ගැනිණි. වාර කිහිපයක් පුරා විභාග කෙරුණු නඩුවෙහි අවසාන තීන්දුව ලබාදුන්නේ පසුගිය 2024 ඔක්තෝබර් 03 වැනිදා වන අතර, වසරක සිර දඬුවම නියම කෙරුණේ එවිටය. මෙම අමාත්‍යවරයා සමගම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව ඔහු ඇප මත නිදහස් කර තිබිණි. කෙසේ හෝ ඔහුට එරෙහිව නඩුව තවද විභාග වෙමින් පවතී.
ලෝකයේ වංචාව සහ දූෂණය අවම ප්‍රධානතම රටවල් 10 අතරින් 05 වැනි ස්ථානයේ සිටින්නේ සිංගප්පූරුවයි. ලෝකයේ ප්‍රකටතම දූෂණ විමර්ශන ආයතනයක් වන ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ විසින් 2023 වසරට අදාළව ප්‍රකාශ කර ඇති නවතම වාර්තාව විසින් මෙම තොරතුරු කියා සිටියි. එසේම පසුගිය වසර ගණනාවක් පුරාම එම ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානයට ඉහළින් සිටීමටද සිංගප්පූරුව සමත්ව ඇත. මෙවැනි විශිෂ්ට ස්ථානයකට එම රට පත්වීමට ප්‍රධානතම හේතුව වූයේ එරට දූෂණ වංචාවට එරෙහිව ගනු ලැබූ ඉතා දැඩි නීතිමය ක්‍රියාවලියයි. ඉහත හිටපු අමාත්‍යවරයාගේ වැනි අමාත්‍යවරයකුගේ සිදුවීමක් මින් පෙර වාර්තා වී තිබුණේ වසර 50කට පෙරදීය. එනම් ඒ තරමටම රාජ්‍ය වංචාව සහ දූෂණය අතිශයින්ම අවමය. එරට තිබෙන තදබල නීතිමය රටාව එයට ප්‍රධානතම හේතුවයි. හෙට අනිද්දාම ශ්‍රී ලංකාවේ එසේ සිදුවෙයිද? අපි බලා සිටින්නෙමු.
ඔබට මෙම ලිපිය ලියා තැබීමෙන් පසුව ආරංචි වූයේ අතිශය සුවිශේෂ පුවතකි. එනම් වසරක සිර දඬුවම් නියම කෙරුණු එස්. ඊශ්වරන් හිටපු අමාත්‍යවරයා සිංගප්පූරුවේ ‘චැන්ගී බන්ධනාගාරය’ (Changi Prison)වෙත යවන ලද අතර, ඔහුව සිරකර තැබීමට වර්ග අඩි 6.9ක ඉතා කුඩා සිර මැදිරියක් ලබාදී ඇත. ඔහුගේ ආරක්ෂාව තකා ඔහු වෙනත් සිරකරුවන් කිහිප දෙනකු එකට සිටින සිර මැදිරියක නොතැබීමට බන්ධනාගාර බලධාරීන් තීරණය කර ඇත. එහෙයින් තනි මැදිරියක් ලබාදී ඇත. හිටපු අමාත්‍යවරයාට නිදාගැනීම සඳහා පිදුරුවලින් සෑදූ පැදුරක් සහ පැදුර මතින් එළාගැනීමට එක් රෙදි බ්ලැන්කට්ටුවක් සහ පොරවා ගැනීමට තවත් එවැනි බ්ලැන්කට්ටුවක්ද ලබාදී ඇත. එසේම අනෙකුත් සියලු රැඳවූවන්ට දෛනික ජීවිතය සඳහා ලබාදෙන ද්‍රව්‍යද සපයා ඇත. ඒ අනුව දත් බුරුසුවක්, දත් බෙහෙත් ටියුබයක්, සිර ඇඳුම්, තුවායක්, සෙරෙප්පු සහ ආහාර ගැනීමට හැන්දක්ද ලබාදී ඇත. මේ අතර අනෙකුත් රැඳවූවන්ට මෙන් අමාත්‍යවරයාටද තම පවුලේ සාමාජිකයන් මුහුණට මුහුණ හමුවීමට මසකට වාර දෙකක් ඉඩ ලබාදී ඇත. එයට අමතරව විද්‍යුත් ලිපි හතරක්ද ලියා යැවිය හැකිය. හිටපු අමාත්‍යවරයා සිරකළ චැන්ගී බන්ධනාගාරය මෙයට වසර 90කට පමණ පෙර (1936)දී ඉදිකරන ලද පැරැණි බන්ධනාගාරයකි. එනම් බි්‍රතාන්‍ය යටත් විජිත සමයේ ඉදිකර ඇත. එහෙත් පසු කාලයකදී මෙම බන්ධනාගාරයේ පැරැණි ගොඩනැගිලි සියල්ලක්ම ඉවත් කර ඉතා නවීන සංකීර්ණයක් ලෙස ගොඩනැගීම සිදුකර ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ










