කොරෝනා වසංගතය සම්බන්ධ සියලු තොරතුරු ජනතාව වෙත ගෙන ඒම සඳහා මාධ්‍ය ඉටු කළ කාර්යය පිළිබඳව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. නමුත් එතරම් විශාල කාර්ය භාරයක් ඉටු කර තිබුණද, කොරෝනා අතරතුර මාධ්‍ය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විරෝධයද ඉහළ යමින් ඇත.
මාධ්‍ය සම්බන්ධ ජනතා විරෝධය සඳහා බලපෑ ප්‍රධාන කරුණ වූයේ ජනතාවගේ පෞද්ගලික්වය මායිම් නොකරමින් විද්‍යුත් මාධ්‍ය සිදු කළ ප්‍රචාරණයය. අනෙක් කරුණ වූයේ ජාතිවාදය පදනම් කරමින් සිදු කරන ලද ඇතැම් ප්‍රචාරණයන්ය.
මාධ්‍ය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් පැන නැඟුණු ජනතා විරෝධය හේතුවෙන්, කොරෝනා රෝගීන් සම්බන්ධ තොරතුරු ප්‍රචාරණයේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශනයන් හඳුන්වා දීමටද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට සිදු විය. නමුත් එම මාර්ගෝපදේශන එලෙසින්ම ක්‍රියාත්මක වන්නේදැයි ප්‍රශ්න කරන තැනට ජනතාව පත් වී ඇත.
කොරෝනා රෝගීන් පිළිබඳ තොරතුරු වාර්තාකරණයේදී මාධ්‍ය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති වූ ආසන්නතම සිදු වීම වාර්තා වූයේ වැලිගම ප්‍රදේශයෙනි. ඒ ඉකුත් 07 වැනිදාය. මාධ්‍ය වාර්තා කර තිබුණේ වැලිගම අලුත්වීදිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවසේදී මිය ගොස් ඇති බවත්, එම කාන්තාවට උණ සහ කැස්ස තිබූ බැවින් ඇයගේ දේහය භූමිදානය කිරීම පොලිසිය විසින් අත්හිටුවා ඇති බවත්ය. වැලිගම මුස්ලිම් කතගේ භූමිදානය පොලිසිය විසින් අත්හිටවූ බව ඊට පසු දින පුවත්පත් විසින්ද වාර්තා කර තිබිණි.
කොරෝනා පිළිබඳ බියෙන් සමාජය ඇලී ගොස් තිබුණු මොහොතක වාර්තා වූ මෙම සිදුවීම රට තුළ දැඩි කැලඹීමක් ඇති කිරීමට සමත් විය. කෙසේ වෙතත් එම කාන්තාවට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව පසුව අනාවරණය වූ අතර ආගමානුකූලව ඇයගේ අවසන් කටයුතු සිදු කිරීමටද අවස්ථාව ලබා දුන් බව වාර්තා විය.
මේ අතර වාර්තා වූ තවත් පුවතකින් අනාවරණය වී තිබුණේ මෙම කාන්තාවට තම ආගමේ සඳහන් ආකාරයෙන් අවසන් ගමන් යෑමට හැකියාව ලැබුණේ වැලිගම නගරාධිපතිවරයාගේ මැදිහත් වීම මත බවය. එමෙන්ම ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන දෙකක මාධ්‍යවේදීන් හට වැලිගම නගර සභා බල ප්‍රදේශය තුළට අනවසරයෙන් ඇතුළු වීම තහනම් කරමින් වැලිගම නගරාධිපතිවරයා යොමු කළ ලිපියක්ද ඊට පසු දින සමාජ මාධ්‍ය ඔස්සේ පළ විය.
එතැන් පටන් වැලිගම නගරාධිපතිවරයා පිළිබඳව බොහෝ දෙනකු සොයා බලන්නට විය. ඒ අතර තවත් විශේෂත්වයක් ඇත. ඒ වැලිගම නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය සතු වීමය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ බොහෝ පළාත් පාලන ආයතනවල බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතු වද්දී, වැලිගම නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි විය. එහි නගරාධිපති ධුරය හිමිවූයේ රෙහාන් ඩී. ඩබ්. ජයවික්‍රම මහතාය. ඔහු ජේ. ආර්. ජයවර්ධන රජයේ හිටපු අමාත්‍යවරයකු වූ මොන්ටේගු ජයවික්‍රම මහතාගේ මුණුපුරෙකි.
වැලිගම සිදුවූයේ කුමක්දැයි දැන ගැනීම සඳහා අප රෙහාන් ජයවික්‍රම මහතා ඇමතූ අතර ඔහු සඳහන් කළේ විශාල ගින්නක් නිවා දැමීමට තමන්ට හැකි වූ බවය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජයවික්‍රම මහතා අප සමඟ අදහස් දැක්වූයේ මෙසේය.

“මඩකලපු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අලි සයිඞ් මවුලානා මැතිතුමා තමයි මට මේ සිද්ධිය ගැන මුලින්ම කිව්වේ. ඒ වෙද්දී අදාළ කාන්තාව භූමිදානය කිරීම පොලිසිය විසින් තහනම් කරලා. මම වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාට කතා කළා. ඒ වගේ දෙයක් වුණාම නගරාධිපතිවරයා දැනුවත් කිරීම එතුමගේ යුතුකමක්. නමුත් රටේ තියෙන තත්ත්වය එක්ක ඒ යුතුකම පැහැර හැරීම ගැන මම එතුමට දොස් කිව්වේ නැහැ. එතුමා කිව්ව විදියට සිද්ධිය මේකයි. අදාළ කාන්තාව හදිසියේ රෝගී වුණාට පස්සේ මාතර පෞද්ගලික රෝහලකට ගෙනිහින් තියෙනවා. ඒත් රටේ තියෙන තත්ත්වය එක්ක ඒ වෛද්‍යවරයා ඇයව බාර ගෙන නැහැ. ඉන් පසුව ඇයගේ ඥාතීන් නැවත ඇයව ගාල්ල ප්‍රදේශයේ රෝහලක් සඳහා ගෙන යෑමේ බලාපොරොත්තුවෙන් නැවත නිවසට රැගෙන ඇවිත් තියෙනවා. කොහොම හරි ඒ අවස්ථාවේ ඇය මිය ගිහින් තියෙනවා. ඒ ගැන දැනගත්ත අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා එතැනට ගිහින් පරීක්ෂා කරලා එම මරණය කොරෝනා සම්බන්ධයෙන් සැක සහිත මරණයක් නොවන බවට වාර්තාව ලබා දීල තියෙනවා. මොකද එම කාන්තාව විවිධ රෝගාබාධයන් කිහිපයක් සඳහාම ප්‍රතිකාර ලබා ගත්ත කෙනෙක්. ඒ වගේම ඇය සහ කොරෝනා ආසාදිතයන් කිසිම සමීප සබඳතාවයක් තිබුණු බවට අනාවරණය වෙලා නැහැ. නමුත් එතැනට පැමිණි මාධ්‍යවේදීන් සහ ප්‍රදේශයේ හිටපු දේශපාලනඥයකුගේ මැදිහත් වීමෙන් මේ සිද්ධිය දුර දිග ගිහින් තියෙනවා. ඒ හරහා පොලිසිය ඇවිත් ඇයගේ සිරුර භූමිදානය කරන එක නවත්වලා තියෙනවා. පස්සේ මම මැදිහත් වෙලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මහත්වරුන් හරහා වහාම එම කාන්තාවගේ පී. සී. ආර්. පරීක්ෂණයක් සිදු කරන්න කටයුතු කළා. ඊට පස්සේ ඇයගේ ආගම අනුව සිරුර භූමිදානය සිදු කරන්න අවසරය ලබා දුන්නා.”
වැලිගම අලුත් වීදියේ සිදු වූ සිද්ධිය එසේය. එසේ වුවද, නගරාධිපතිවරයා පවසන්නේ තමන් එලෙස විසඳනු ලැබුවේ ඉතා විශාල විනාශයක් බවය.

“වැලිගම අලුත් වීදිය කියන්නේ මුස්ලිම් ජනතාව පමණක් ජීවත් වන ප්‍රදේශයක්. ඒ බව ඕනෑම කෙනෙක් දන්නවා. ඇත්තටම මාධ්‍ය ඒ බව සෘජුව කිව්වේ නැති වුණත්, වෙනත් විදියකට ඒ අදහස ජනතාව අතර ප්‍රචාරය කරන්න හැදුවා. ජනතාව කලබලයට පත් කරන්න හැදුවා. ඒ වෙලාවේ එක සිංහල කෙනෙක් හරි කලබල වෙලා ඒ පැත්තට ගල් පාරක් හරි ගැහුවනම් මේ සිදුවීම මීට වඩා වෙනස් වෙන්න තිබුණා. වාසනාවකට එහෙම වුණේ නැහැ. අනිත් එක කිසිම වරදක් නොකළ කාන්තාවකට තමන්ගේ ආගම අනුව අවසන් ගමන යෑමේ අවස්ථාව අහිමි වෙන්න තිබුණා. නමුත් ඇයට ඒ ගෞරවය ලබා දෙන්න අපිට පුළුවන් වුණා. ඒක මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාස කාලය. ඒ වගේ කාලයක නිරපරාදේ මෙහම දෙයක් වුණා නම් ඒ ජනතාවට විශාල කනගාටුවක් ඇති වෙන්න තිබුණා.”
රෙහාන් ජයවික්‍රම නගරාධිපතිවරයාගේ අදහස සත්‍ය බව පෙනී යන්නේ පසුගිය කාලයේදී සිදුවූ ඇතැම් සිද්ධීන් දෙස බැලීමේදීය. එක් ජනවර්ගයක් හිතා මතා කොවිඞ් 19 වෛරසය අනෙක් ජාතීන් තුළ පතුරුවා හරින බවට මතයක් සමාජය පුරා පැතිර ගොස් තිබුණි. එමෙන්ම ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය ඇති රටක හේතුවකින් තොරව තමන්ගේ ආගමේ සඳහන් ආකාරයට අවසන් කටයුතු සිදු කිරීමේ අවස්ථාව යම් අයකුට නොලැබෙන්නේ නම් එයද අවාසනාවන්ත තත්ත්වයකි. නගරාධිපතිවරයාගේ අදහස වන්නේ එම තත්ත්වය ඇති කිරීමට මුල් වූයේ මාධ්‍ය බැවින් තමන්ට ඇති බලතල භාවිතා කරමින් එම මාධ්‍ය සඳහා තහනමක් පැනවීමට තමන් ක්‍රියා කළ බවය.

“1988 පළාත් පාලන පනතේ 255/4 වගන්තිය යටතේ තම සීමාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ බලය තියෙන්නේ නගරාධිපතිවරයාට. නමුත් අපේ රටේ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් බොහෝ දෙනෙක් ඒ ගැන දන්නේ නැහැ. ඇමැතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ අණට තමයි ඔවුන් වැඩ කරන්නේ. වැලිගම නගරාධිපතිවරයා විදියට මට ලැබිලා තියෙන බලතල ප්‍රකාරව මම වහාම කටයුතු කළා. අලුත් වීදියේ සිද්ධිය හරහා ජාතිවාදී මතවාදයක් ඇති කිරීමට කටයුතු කළ මාධ්‍ය ආයතන දෙකක මාධ්‍යවේදීන්ට අවසරයකින් තොරව මගේ නගර සීමාවේ කටයුතු කිරීමට වාරණයක් පනවන්න මම තීරණය කළේ ඒ අනුවයි. කොහොම වුණත්, එම සිද්ධිය මාධ්‍ය ආයතන දෙක සඳහාම ලබා දීල තියෙන්නේ එකම මාධ්‍යවේදියෙක් කියන එකත් මේ වෙද්දි තහවුරු වෙලා තියෙනවා. නමුත් ඒවා ප්‍රචාරය කිරීමේ වගකීම ඒ අය බාර ගත යුතුයි. මොකද මම කලින් කිව්වා වගේ මේ හරහා විශාල ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩකඩ තිබුණා.”
වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා අදහස් දැක්වූයේ එසේය. එම සිදුවීමෙන් පසු වැලිගම නගරාධිපතිවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනකු අගය කරන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගත හැක. වර්තමාන දේශපාලඥයන් ගන්නා ජනප්‍රිය තීන්දු වෙනුවට නිවැරැදි තීරණය ගනිමින් රෙහාන් ජයවික්‍රම මහතා කටයුතු කළ ආකාරය බොහෝ දෙනාගේ අගය කිරීමට බඳුන් වී ඇත.
ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් අතරින් බහුතරය පිළිබඳ ජනතාව නොසතුටින් කතා කරන කාල පරිච්ඡේදයක පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සැම දෙනාගේ අගය කිරීමට ලක් වන ප්‍රාදේශීය දේශපාලඥයකු හෝ දැක ගන්නට ලැබීම සතුටට කරුණකි. රටට අවශ්‍ය මෙවැනි නිවැරැදි තීරණ ගන්නා තරුණ දේශපාලඥයන් වඩා වඩාත් අවශ්‍ය බව අපේද අදහසය. වැලිගම සිද්ධිය හරහා රට පුරා ජනතාවගෙන් හිමි වූ ගෞරවය ඉදිරියටත් රැක ගැනීමේ වගකීම ඇත්තේ රෙහාන් ජයවික්‍රම මහතා අතේය.
චන්දන පොන්නම්පෙරුම











