හිටපු ජනාධිපතිවරයකුගේ පුතකු වුවද සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයේ අද සිටින තැන දක්වා ආවේ සැප පහසු ගමන් මඟක් ඔස්සේ නම් නොවේ. සජිත්ට හිටපු ජනාධිපතිවරයාගේ පුතා ලෙස කොළඹින් තරග වැදී මනාප වාර්තා තියා පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාව තිබුණද සජිත් ඒ පහසු මාවත තෝරාගත්තේ නැත. ඒ වෙනුවට සජිත් තෝරාගත්තේ රාජපක්ෂවරුන්ගේ බළකොටුව වූ අතිදුෂ්කර හම්බන්තොට දිස්ත්‍රික්කයය. එතැනින් ආරම්භ කළ සිය දේශපාලන ගමන්මඟ මන්ත්‍රිවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, අමාත්‍යවරයකු, ජනාධිපති අපේක්ෂයකු සහ විපක්ෂ නායකවරයකු වශයෙන් ඉදිරියට රැගෙන යෑමට සජිත්ට හැකියාව ලැබිණ. නමුත් ඒ සියල්ලම ඔහුට බන්දේසියක තබා තෑගි කළ ඒවා නොවීය. ඒවා සියල්ල සජිත් ලබාගත්තේ සටන්කොටය. උදාහරණයක් ලෙස 2019 ජනාධිපතිවරණයේදී ඒ වන විට පක්ෂයේ ජනප්‍රියතම නායකයා ලෙස සජිත් සිටියද ඔහුට අපේක්ෂකත්වය කිසිසේත්ම ලබානොදෙන බවට එවක හිටපු එජාප ප්‍රධානීන් ප්‍රසිද්ධියේම සඳහන් කොට තිබිණ. නමුත් සජිත් එම ජනපති අපේක්ෂකත්වය සටන් කොට ලබාගැනීමට සමත් විය. ඒ වෙනුවෙන් සජිත් සමඟ එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නායකයන්ද, 80කට ආසන්න හිටපු මන්ත්‍රිවරුන් පිරිසක්ද එකට එක්ව සිටියහ. ඔවුන් පක්ෂය ඇතුළේ ගෙනගිය සටන නිසාම අවසානයේදී සජිත්ට ජනපති අපේක්ෂකත්වය නොදී සිටිය නොහැකි තැනට එජාප ප්‍රධානීහු පත්ව සිටියහ.
සජිත් ආපු ගමන් මග
ඉන් අනතුරුව විපක්ෂ නායක ධුරය ලබාගැනීම සඳහා දියත් කළ සටනද ඒ ආකාරම විය. එහිදී ජනාධිපතිවරණ පරාජයෙන් පසුව එජාප මහලේකම්වරයා වන අකිල විරාජ් කාරියවසම් මහතා කතානායකවරයාට ලිපියක් යොමුකරමින් කියා සිටියේ විපක්ෂ නායක ධුරය සඳහා පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නම් කරන බවය. නමුත්, ඒ වන විටත් එජාප මන්ත්‍රිවරුන් 70කට අධික පිරිසක් අස්සන් තැබූ ලිපියක් කරු වෙත ඉදිරිපත් කොට තිබූ අතර, ඒ හරහා ඔවුන් ඉල්ලා තිබුණේ එජාප අතිබහුතරයක් මන්ත්‍රිවරුන් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස පත්කරන ලෙසට ඉල්ලා සිටිනවා යැයි කියාය. අවසානයේදී කතානායකවරයාද එජාප ප්‍රධානීන්ට දැනුම් දී තිබුණේ මෙම ප්‍රශ්නය පක්ෂය ඇතුළේම විසඳාගෙන විපක්ෂ නායකවරයා කවුරුන්ද යන්න තමන්ට දැනුම්දෙන ලෙසය. ඒ අනුව අවසානයේදී එල්ල වූ දැඩි බලපෑම මධ්‍යයේ අවුරුදු 25කට පසු රනිල් සතුව තිබූ විපක්ෂ නායකකම ඔහුගෙන් ගිලිහී සජිත්ට ලබාදීමට එජාපයට සිදුවිය.
මහජන්දය යළි කල් යයි
කෙසේ වෙතත් මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර, ලබන ජුනි 20 වැනි දිනට මහ මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක්ද නියම කොට තිබේ. රටේ පවතින තත්ත්වය මත ජුනි 20 මැතිවරණය පැවැත්වීමට විරෝධය පළ කරමින් විවිධ පාර්ශ්වයන් රැසක් දැනටමත් අධිකරණය හමුවේ නඩු කටයුතු ගොනුකර ඇති අතර, එම නඩු විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබන 18 සහ 19 යන දෙදිනට තීන්දු කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසමද මේ වන විට සූදානමින් සිටින්නේ අධිකරණය මඟින් ලබාදෙන තීන්දුවට අනුව යමින් මහ මැතිවරණය පැවැත්වෙන දිනය යළිත් වතාවක් තීන්දු කිරීමටය. ඒ අනුව බොහෝ දුරට ජුනි 20 මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවත්, එය ජූලි මාසය දක්වා කල් යනු ඇති බවත් කොමිසමේ ආරංචිමාර්ග සඳහන් කරයි.
විපක්ෂනායකකම ගන්න රනිල් පිල මෙහෙයුමක
මේ අතරවාරයේ ජනාධිපතිවරයා මුලින්ම නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ජුනි 02 වැනි දින නව පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වුවහොත් පැවැති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවටත්, අප්‍රේල් 30න් පසුව රජයේ මුදල් වියදම් කිරීම සඳහා යළි පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතු බවටත් විපක්ෂය දැඩි ඉල්ලීමක් කර ඇති පසුබිමෙක යළි පාර්ලිමේන්තුව රැස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ කිසියම් වූ සංවාදයක් මතුව ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ. එවැනි සංවාදයක් පවතිද්දී යම් හෙයකින් යළිත් වතාවක් පාර්ලිමේන්තුව කැඳවුවහොත් සජිත් සතුව පවතින විපක්ෂ නායක ධුරය යළි එජාපය වෙත ලබාගැනීමට කිසියම් රහස් මෙහෙයුමක්ද එජාපය පැත්තෙන් දියත් කර ඇති ආකාරයක් දැකගන්නට ඇත. එජාපයේ තර්කය වී ඇත්තේ පැවැති පාර්ලිමේන්තුවේදී සජිත් ඇතුළු මන්ත්‍රිවරුන් 80ක කණ්ඩායමක් එජාපය යටතේ සිටියද මේ වන විට ඔවුන් නව පක්ෂයක් පිහිටුවා ඒ යටතේ ඉදිරි මහ මැතිවරණය සඳහා තරග වැදීමට නාමයෝජනා ලබාදී ඇති බැවින් ඔවුන් මේ වන විට එජාපයේ සාමාජිකයන් නොවන බවකි. ඒ නිසා විපක්ෂ නායක ධුරය යළිත් වතාවක් රනිල්ට ලබාගැනීම සඳහා එජාපය පැත්තෙන් මෙහෙයුමක් දියත් වී ඇති අතර ඒ බව දැනුම්දෙමින් කතානායකවරයාට ලිපියක් යොමු කිරීමටද ඔවුන් සැලැසුම් කර ඇති බව ආරංචිය.
කරු දුන් උත්තරේ
කෙසේ වෙතත් එජාපයේ මේ සැලැසුම ආරංචි වීමත් සමඟ පාර්ශ්ව කිහිපයක්ම මේ සම්බන්ධයෙන් හිටපු කතානායක කරු ජයසූරිය මහතා දැනුවත් කිරීමටද පියවර ගත්තේය. එහිදී කරු පැහැදිලිවම මේ පිරිසට දැනුම් දී සිටියේ තමන් කිසිදු ලෙසකින්වත් ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් පාර්ලිමේන්තුව ඇතුළේ කටයුතු කිරීමට කිසිදු පාර්ශ්වයක ඉඩ ලබා නොදෙන බවකි. බහුතරයේ මතයට අනුව එම කටයුතු සිදුකරන බවත්, ඒ ගැන කිසිදු බියක් ඇතිකර නොගන්නා ලෙස කරු එම පාර්ශ්වයන්ට දැනුම්දී ඇති බවත් ආරංචිය.
ආණ්ඩුවයි-එජාපයයි ජාතික ආණ්ඩුවක්
මේ සියල්ල මැද එජාපය කොරෝනා ව්‍යාප්තිය මැද්දේ නැවැත වතාවක් තවත් දේශපාලන මෙහෙයුමක් දියත් කිරීමට සැලැසුම් සකස් කර ඇති ආකාරයක් පෙනී යන්නේ මේ දිනවල ආණ්ඩුවත් සමඟ ඉතාමත් හිතවත් ආකාරයට කටයුතු කරන ආකාරය දෙස බලන විටය. විශේෂයෙන්ම පසුගිය සතියේ එජාපයේ ප්‍රධානම සාමාජිකයන් තිදෙනා වූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත්, උප නායක රවි කරුණානායක මහතාත්, මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාත් අවස්ථා තුනකදී ආණ්ඩුවට සහාය ලබාදෙන බවට ප්‍රකාශ කර තිබීම මීට හොඳම උදාහරණයන්ය. එහිදී රනිල් විශේෂ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවලට නිකුත් කරමින් කියා සිටියේ මේ අසීරු අවස්ථාවේදී ආණ්ඩුවට සහාය ලබාදීමට එජාපය සූදානම් බවත්, ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට කටයුතු නොකරන බවත්ය. එමෙන්ම උපනායක රවි යූටියුබ් චැනලයක් සමඟ සාකච්ඡා කරමින් ආණ්ඩුව කොරෝනා මර්දනය කළ ආකාරය සහ විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියා කරන ආකාරය මහත් වර්ණනාවකින් යුතුව අදහස් දක්වා තිබිණ. රවි එය තමන්ගේ ෆේස්බුක් පිටුවේද පළකිරීමට කටයුතු කර තිබීමද විශේෂත්වයක් විය. එමෙන්ම අකිලද මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ආණ්ඩුවට සහාය ලබාදීමට එජාපය සූදානම් බවද ප්‍රකාශ කර සිටියේය.
මේ ආකාරයට එජාපයේ ප්‍රධාන තනතුරු දරන තිදෙනාම ආණ්ඩුවට සහාය දැක්වීමට සූදානම් බවට ප්‍රකාශ කිරීම හරහා යළිත් ජාතික ආණ්ඩුවක් බිහිකිරීමේ සැලැස්මක් පවතින බවට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල රාවයක් පැතිර යමින් තිබේ. විශේෂයෙන්ම යම් හෙයකින් යළිත් පාර්ලිමේන්තුව කැඳවුවහොත් හෝ ඉන් අනතුරුව නව පාර්ලිමේන්තුවක් යටතේ හෝ මේ අයුරින් එජාපය ආණ්ඩුවට සහාය දැක්වීම හරහා සජිත් පාර්ශ්වය සම්පූර්ණයෙන්ම ඉවත් කොට තැබීම එජාප ප්‍රබලයන්ගේ අරමුණ වී ඇති බවද දැනගන්නට තිබේ.
රාජිත විපක්ෂය එක්සත් කරයි
කෙසේ වෙතත් මේ වන විට එජාපයේ රනිල් පිල හා සජිත් පිල වෙන වෙනම දේශපාලන මාවත් දෙකක ගමන් කළද පසුගිය සතියේ සිදුවූ එක්තරා විශේෂ සිදුවීමක් මුල්කරගෙන යළිත් මේ කණ්ඩායම් දෙක එක්ව කටයුතු කිරීමේ අවස්ථාවක් උදාවෙමින් පවතින බවද දැකගන්නට ඇත. එම සිදුවීම නම් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමය. විපක්ෂය පෙන්වා දෙන්නේ ආණ්ඩුව මැතිවරණ සමයේදී බැඳුම්කර හොරුන් සම්බන්ධයෙන් සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් පිළිබඳව විශාල ලෙස කතා කළ බවත්, ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන දඬුවම් කරන බවත් කියා සිටියද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීම මත රාජිත වැන්නකු අත්අඩංගුවට ගැනීම නිසා එය දේශපාලන පළිගැනීමක් ලෙස සැලකිය හැකි බවකි. එමෙන්ම මේ වන විට රාජිත දේශපාලන සිරකරුවකු බවට පත්ව ඇති බවද ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ අනුව මේ වන විට විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ සූදානම් වන්නේ රාජිත වෙනුවෙන් යළිත් එක්වී ඔහුව නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයක් දියත් කරන්නටය. එය එසේ වුවහොත් විපක්ෂය එක්කිරීමේ ප්‍රධාන සාධකය බවට රාජිත පත්වනු ඇත.
මහින්දගේ පුතාගේ ප්‍රශ්නය
පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරයෙන් අපි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සම්බන්ධයෙන් මතුවූ ආන්දෝලනයක් පිළිබඳව සියලු කරුණු පාඨකයන් හමුවට ගෙන ඒමට පියවර ගත්තෙමු. අනෙක් සියලුම මාධ්‍යයන් මහින්ද දේශප්‍රිය මහතා සම්බන්ධයෙන් මතුවූ මෙම ආන්දෝලනය පිළිබඳව කිසිවක් වාර්තා නොකර සිටි පසුබිමක අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ සාධක සාක්ෂි සහිතව කියා සිටියේ සිය පුත්‍රයා නෙදර්ලන්තයේ සිට ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වශයෙන් මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුටම පෞද්ගලිකවම කතා කොට තොරතුරු විමසා ඇති බවය. එමෙන්ම නෙදර්ලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිවරයාටද මැතිවරණ කොමසාරිස්වරයා ඇමැතුමක් ලබාදී තිබූ බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු. එහිදී හුවමාරු වූ ඊමේල් පණිවුඩත්, විවිධ ස්ථානවල තබා තිබූ ෆේස්බුක් සටහනුත් අපි එහිදී ජනතාවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තෙමු.
මෙහිදී අප අනාවරණය කළ කරුණු මහින්ද දේශප්‍රිය මහතාම සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් තහවුරු කර තිබිණ. මේ ආන්දෝලනය නිසා මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් වීමටද එක්තරා අවස්ථාවක හෙතෙම තීන්දු කර තිබුණු බව වාර්තා විය. නමුත් එය පවුලේ බලපෑම මත ඉවත් කරගත් බවක්ද පසුව වාර්තා විය. කෙසේ වෙතත් තමා සම්බන්ධයෙන් මතුවූ ආන්දෝලනය පිළිබඳව මහින්ද දේශප්‍රිය පසුව ව්‍යවස්ථාදායක සභාවටද පැමිණිල්ලක් කළේය. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා වූ හිටපු කතානායක කරු ජයසූරිය මහතා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ව්‍යවස්ථාදායක සභා රැස්වීමක් ඉකුත් සඳුදා (11දා) දින කැඳවීමට පියවර ගත්තේය.
පුතා වෙනුවෙන් තාත්තලා කරන දෙයක්
කෙසේ වෙතත් මෙසේ කරු සඳුදා දිනයේ ව්‍යවස්ථාදායක සභා රැස්වීමක් හදිසියේම කැඳවා ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාටද දැනගන්නට ලැබිණ. මෙසේ ව්‍යවස්ථාදායක සභාව කැඳවන්නේ මහින්ද දේශප්‍රිය මහතා සම්බන්ධයෙන් ඒ වන විට මතුව තිබූ ආන්දෝලනය පිළිබඳව සාකච්ඡා කිරීමට බවද මහින්දට දැනගන්නට ලැබිණ. ඒ අනුව වහාම අගමැතිවරයා කළේ කරුට කතාකොට මේ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත විමසා සිටීමය. නමුත් කරු කියා සිටියේ එවැන්නක් පිළිබඳව සාකච්ඡා කිරීමට ව්‍යවස්ථාදායක සභාව නොකැඳවන බවත්, මසකට දෙවතාවක් ව්‍යවස්ථාදායක සභාව රැස්විය යුතු බවට වූ රීතිය මත මෙසේ එය කැඳවා ඇති බවත්ය. ඊට පිළිතුරු දෙමින් මහින්දද කියා සිටියේ අපූරු කතාවකි. එසේ නම් තමන් ඊට සහභාගි වන බවත්, මහින්ද දේශප්‍රිය සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කිරීමට රැස්වීම කැඳවන්නේ නම් තමන් ඊට සහභාගි නොවන බවත් මහින්ද එහිදී කියා සිටි කාරණය විය.
මේ ආකාරයට සඳුදා දිනයේ කැඳවා තිබූ ව්‍යවස්ථාදායක සභා රැස්වීමට කතානායකවරයාට අමතරව අගමැති මහින්ද, දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන්, ජවිපෙ නියෝජිත නලින්ද ජයතිස්ස, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරාල, සිවිල් සංවිධාන නියෝජනය කරමින් ජාවෙඞ් යූසුෆ් ආදීහුද සහභාගිව සිටියහ. මහින්ද දේශප්‍රියගේ පුතා සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනය මෙහිදී සාකච්ඡා නොවන බව කරු මහින්දට කලින් දැනුම්දී තිබුණද එක්තරා අවස්ථාවකදී මේ මාතෘකාව සාකච්ඡා මේසයට ඇදී ආ ආකාරයක් දැකගන්නට හැකි විය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම කාරණය වූයේ රැස්ව සිටි සියලුදෙනාම පාහේ එය සාමාන්‍ය කරුණක් සේ සලකා අදහස් දැක්වීමට පටන් ගැනීමය. සාමාන්‍යයෙන් මෙවැනි අර්බුදකාරී තත්ත්වයකදී ඕනෑම පියකු සිය දරුවා වෙනුවෙන් එවැන්නක් සිදුකළ හැකි බවත්, එහි කිසිදු වැරැද්දක් නොමැති බවත් පැමිණ සිටි සියලුදෙනාම සඳහන් කරනු එහිදී දැකගත හැකි විය. ඒ අනුව මහින්ද දේශප්‍රියගේ මාතෘකාව එතැනින්ම නතර වනු දැකගන්නට ලැබිණ.
ඉන් අනතුරුව ස්වාධීන කොමිෂන් සභාවන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, එම කොමිසම් මඟින් ව්‍යවස්ථාදායක සභාවට එවනු ලැබ තිබූ ප්‍රගති වාර්තා පිළිබඳවත් සාකච්ඡා වනු දැකගත හැකි විය. පසුගිය සතියේ සමාජ මාධ්‍ය ජාලවලත්, දේශපාලන ක්ෂේත්‍රයේත් මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහින්ද දේශප්‍රියගේ පුතා සම්බන්ධ සිදුවීම ඉකුත් සඳුදා අවසානයක් දැක්කේ ඒ ආකාරයටය.
සජිත්ට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්
මීට සති දෙකකට ඉහතදී රාජ්‍ය රහස් තීරයෙන් අප විශේෂ අනාවරණයක් කරමන් සියා සිටියේ එස්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොරෝනා අර්බුදය මුල්කරගෙන ලෝක නායකයන් වූ ඩොනල්ඞ් ට්‍රම්ප්, ජර්මාන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්, නෝර්වේ අගමැතිනි අර්නා සෝල්බර්ග් යන මහත්ම මහත්මීන් හට ලිපි යොමුකොට ඇති බවත්, එසේ යොමුකළ කිසිදු ලිපියකට අවම වශයෙන් එය ලැබුණු බවක් හෝ දැනුම්දෙමින් එම රටවල්වලින් පිළිතුරු ලිපි ලැබී නොමැති බවත්ය. ඒ හරහා කලක් ජාත්‍යන්තර නායකයකු ලෙස නමක් දිනාගෙන සිටි රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට ජාත්‍යන්තරයෙන් ලැබෙන සැලකුම් ඒ ආකාර බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.
මෙසේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ජාත්‍යන්තරයෙන් එවැනි කෙණෙහිලිකම් සිදුවන අවස්ථාවක රනිල්ගේ දෙවැනියා වශයෙන් කලක් කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතාට නම් දැන් ජාත්‍යන්තරයෙන් ලැබෙමින් පවතින්නේ ඉතාම යහපත් ප්‍රතිචාරයකි. එය හොඳින්ම දැකගන්නට ලැබුණේ පසුගිය සතියේ සිදුවූ සිදුවීම් පෙළක් හරහාය.
සාමාන්‍යයෙන් අපේ රටේ සම්ප්‍රදාය වී ඇත්තේ ආණ්ඩුව රට කරද්දී විපක්ෂය බොරදියේ මාළු බාමින් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමය. පසුගිය කාලය පුරාම එජාපයද, ශ්‍රීලනිපයද, පොහොට්ටුවද යන පක්ෂ තුනම විපක්ෂයේ සිටියදී අඩු වැඩි වශයෙන් ආණ්ඩුවේ කකුලෙන් ඇදීම කරගෙන ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. ඊට හොඳම උදාහරණය පසුගිය ආණ්ඩු සමයේ එල්ල වූ පාස්කු ප්‍රහාරයය. එහිදී රට අර්බුදයට පත්වී සිටියදී පවා විපක්ෂය හැසුරුණු ආකාරය බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්ව තිබූ ආකාරයක් දැකගන්නට හැකිව තිබිණ.
කතාකරපු අය මෙන්න
නමුත් ගෝලීය අර්බුදයක් බවට මේ වන විට පත්ව ඇති කොරෝනා වෛරසය හමුවේ විපක්ෂය දේශපාලන වාසි ලබාගන්නා තත්ත්වයට පත් නොවී ආණ්ඩුවේ කටයුතුවලට සහාය දැක්වීම විශේෂ කාරණයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම බහුතරය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟි ජන බලවේගය කොරෝනා අර්බුදය හමුවේ බොරදියේ මාළු නොබා සත්‍ය වශයෙන්ම ආණ්ඩුවේ වැරැදි පෙන්වා දෙමින් ආණ්ඩුවට සහාය දක්වන ස්ථාවරයක සිටින ආකාරයක් දැකගන්නට ඇත.
මෙහිදී හිටපු විපක්ෂ නායකයා වශයෙන් සජිත් පසුගිය සතියේ අවස්ථා කිහිපයකදීම විදෙස් රටවල තානාපතිවරුන් සමඟ වීඩියෝ කෝල් මාර්ගයෙන් අදහස් හුවමාරු කරගන්නා ආකාරයක් දැකගන්නට ලැබිණ. එහිදී ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය ඇතුළු බි්‍රතාන්‍ය, ජර්මානු සහ යුරෝපා රටවල්වල තානාපතිවරුන් සමඟ වීඩියෝ කෝල් මාර්ගයෙන් අදහස් හුවමාරු කරගත් සජිත් මෙම ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා සහාය දක්වන ලෙසත්, මූල්‍යාධාර ලබාදෙන ලෙසත් දැනුම් දී සිටීමට පියවර ගත්තේය.
ආධාර දෙන්න පොරොන්දුවක්
එමෙන්ම මෙම වීඩියෝ කෝල් සාකච්ඡා සඳහා මේ වන විට බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති ඇඟලුම් කර්මාන්තයේ ප්‍රධානියකු වන සුකුමාර් මහතා පවා සම්බන්ධ කරගත් සජිත් මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඔවුන්ට සහාය ලබාදෙන ලෙසද ඉල්ලීමක් කළේය. ජාත්‍යන්තරයේ රටවල්වලින් පෞද්ගලික ආරක්ෂණ ඇඟලුම් හෙවත් පී.පී.ඊ. කට්ටල නිපදවීමේ ඇණවුම් විශාල ප්‍රමාණයක් මෙරටට ලබාගැනීමේ හැකියාව ලැබුණේ සජිත්ගේ මේ ව්‍යායාමය හරහාය.
මීට අමතරව සජිත් පසුගිය අඟහරුවාදා දිනයේ මෙරට ජර්මානු තානාපතිවරයා වන ජෝන් රොඞ් මහතා මුණගැසීමටද කටයුතු කළේය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති එම සාකච්ඡාවේදී පවා සජිත් ඉල්ලා සිටියේ ලංකාවේ අර්බුදයට ලක්ව ඇති ඇඟලුම් කර්මාන්තයත්, සංචාරක කර්මාන්තයත් ගොඩගැනීම සඳහා උදව් උපකාර කරන ලෙසටය. සජිත්ගේ මෙම ඉල්ලීමට ජර්මානු තානාපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දැක්වීමද විශේෂ සිදුවීමක් විය.
මීට අමතරව සිකුරාදා දිනයේ යුරෝපා කොමිසමේ නියෝජිතයන් මුණගැසීමට යොදාගෙන ඇති සජිත්, සෙනසුරාදා දිනයේදී මහ බි්‍රතාන්‍යයේ නියෝජිතයන් මුණගැසීමට නියමිතය. එමෙන්ම එදිනම ලෝක බැංකුවේ නියෝජිතයන් මුණගැසී ලංකාවට මූල්‍යාධාර ලබාදෙන ලෙසට ඉල්ලා සිටීමටද සජිත් මේ වන විටත් සැලැසුම් කර තිබේ.
රාජපක්ෂ දෙමළ සන්ධාන අලුත් දීගය
රාජපක්ෂවරුන් සහ දෙමළ ජාතික සන්ධානය අතර පසුගිය වසර කිහිපය පුරාම පැවැතියේ බරපතළ දේශපාලන මත ගැටුමකි. විශේෂයෙන්ම 2005 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයත් සමඟ ගනුදෙනු කළ ආකාරය පිළිබඳව එදා සිටම දෙමළ ජාතික සන්ධානය තුළ පැවැතියේ එතරම් යහපත් හැඟීමක් නොවේ. මේ නිසාම යුද ජයග්‍රහණයෙන් පසුව දෙමළ ජාතික සන්ධානය රටටත්, ජාත්‍යන්තරයටත් කියා සිටි මතය වූයේ රාජපක්ෂ රජය දමිළ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටත්, ජාත්‍යන්තර ප්‍රජාව විසින් එවකට පැවැති ආණ්ඩුවට එරෙහිව බරපතළ තීන්දු තීරණ ගතයුතු බවටත්ය. විශේෂයෙන්ම 2009න් පසුව ජිනීවාහි පැවැති සෑම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් රැස්වීකදීම දෙමළ ජාතික සන්ධානය රාජපක්ෂවරුන්ට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය.
මේ නිසාම 2015 ජනාධිපතිවරණයේදී මහින්දව පරාජයට පත්කොට ගෙදර යැවීම සඳහා උතුරු නැඟෙනහිරින් විශාල ඡන්ද ප්‍රමාණයක් මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාදීමට දෙමළ සන්ධානය පියවර ගත්තේය. එපමණක් නොව 2020 ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතාව ජයග්‍රහණය කරවීම සඳහා උතුරු නැඟෙනහිරින් අතිවිශාල ඡන්ද ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලබාදීමටද දෙමළ සන්ධානය කටයුතු කර තිබිණ. මේ නිසා පසුගිය වසර කිහිපය පුරාම රාජපක්ෂවරුන්ට එරෙහි දේශපාලන ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටි පක්ෂයක් බවට දෙමළ ජාතික සන්ධානය පත්ව තිබිණ.
සුමන්තිරන් තනිව හමුවෙයි
නමුත් මෙම තත්ත්වය හදිසියේම උඩු යටිකුරු වූයේ මීට සති දෙකකට ඉහතදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ කැඳවා තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ රැස්වීමත් සමඟය. මුළු විපක්ෂයම මහින්ද කැඳවූ මෙම රැස්වීම වර්ජනය කරද්දී දෙමළ ජාතික සන්ධානය සිය නායකයා වූ ආර්. සම්බන්ධන් මහතාද පෙරටු කොටගෙන මෙම රැස්වීමට සහභාගි වීම සියල්ලන්ගේම ඇස් නළලේ රැන්දූ සිදුවීමක් විය. මහින්දද මේ සිදුවීමෙන් කෙතරම් පුදුමයට පත්වූවාද කියනවා නම් ඒ නිසාම රැස්වීම අතර මැදදී දෙමළ සන්ධානයට විශේෂ ස්තුතියක්ද පළකිරීමට පියවර ගත්තේය.
මේ ආකාරයට මහින්ද සහ දෙමළ සන්ධානය අතර මතුවෙමින් පැවැති අලුත් මිත්‍රත්වය තවත් ශක්තිමත් වූයේ එම රැස්වීම පැවැති දින සවස් වරුවේම තවත් විශේෂ හමුවක් සඳහා තමන්ගේ නිල නිවෙසට පැමිණෙන ලෙසට මහින්ද දෙමළ සන්ධානයට කළ ආරාධනයත් සමඟය. ඒ අනුව දෙමළ සන්ධානයේ සියලුම නියෝජිතයන් එදින සවස 5.30 වන විට කොළඹ විජේරාමේ පිහිටි මහින්දගේ නිවෙසට පැමිණ ඉතා දීර්ඝ දේශපාලන සාකච්ඡාවක් පැවැත්වූ ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී කොරෝනා වෛරසය මුල්කරගෙන උතුරු නැඟෙනහිර ජනතාව මුහුණ පා ඇති අර්බුදය, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාගැනීම, නව ව්‍යවස්ථා සංශෝධන ඇතිකිරීම පිළිබඳව දෙපිරිස අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය. ඉතා සුහදව පැවැති මෙම සාකච්ඡාවද අවසන් වූයේ ඉක්මණින්ම නැවැත වතාවක් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරීමට මහින්ද එකඟතාවය පළ කිරීමෙන් අනතුරුවය. මහින්ද ඉකුත් බදාදා රාත්‍රියේ සුමන්තිරන් හට සාකච්ඡා සඳහා පැමිණෙන ලෙසට දැනුම්දීමක් කිරීමට පියවර ගත්තේ ඒ අනුවය.
දේවානන්දව බැලන්ස් කරපු හැටි
කෙසේ වෙතත් මේ ආකාරයට දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට ළංකර ගැනීමත් සමඟ මෙතෙක් කල් ආණ්ඩුව සමඟ සිටි උතුරේ දෙමළ පක්ෂ කිසියම් තැතිගැන්මකට ලක්ව සිටින බවක් මහින්දටද නොදැනුණා නොවේ. ඒ අනුව තත්ත්වය සමබර කිරීම සඳහා මහින්ද කළේ එම බදාදා දිනයේම මෙතෙක් කල් ආණ්ඩුව සමඟ සිටින උතුරේ දේශපාලන ප්‍රබලයා වන ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා මහතාටද සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙසට ආරාධනා කර සිටීමය. ඒ අනුව බදාදා දහවල් මහින්ද සහ ඩග්ලස් අතර පැයක පමණ සාකච්ඡාවක් ඇතිවූ අතර එහිදී ඩග්ලස් උතුරේ ජනතාව මුහුණදී ඇති ප්‍රශ්න පිළිබඳවත්, විශේෂයෙන්ම ධීවර ජනතාව මුහුණපාන ගැටලු පිළිබඳවත් මහින්දගේ අවධානය යොමුකිරීමට කටයුතු කළේය. එහිදී අවස්ථාවන් කිහිපයකදීම ඊට අදාළ ආයතන ප්‍රධානීන් වෙත ඒ මොහොතේම දුරකතන ඇමැතුම් ලබාදුන් මහින්ද වහාම ඊට පිළියම් යොදන ලෙසට ඔවුන්ට දැනුම් දී සිටීමටද පියවර ගත්තේය.
සුමන්තිරන් කියපු දේවල්
ඒ අනුව බදාදා රාත්‍රියේ සුමන්තිරන් සමඟ මහින්ද සිය නිල නිවෙසේ පැවැති සාකච්ඡාවට වාඩිවූයේ ආණ්ඩුවේ දමිළ ප්‍රධානීන්ද සමබර කිරීමෙන් අනතුරුවය. මෙසේ සුමන්තිරන් සමඟ පැවැති සාකච්ඡාවේදී හෙතෙම ප්‍රධාන වශයෙන්ම මහින්දගේ අවධානයට යොමුකළේ දමිළ දේශපාලන සිරකරුවන් සම්බන්ධ ප්‍රශ්නයය. ඊටද එක් හේතුවක් තිබිණ. එම හේතුව වූයේ අරලියගහ මන්දිරයේ පැවැති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ රැස්වීමේදී ආර්. සම්බන්ධන් මහතා මෙම දේශපාලන සිරකරුවන් පිළිබඳව ලිපියක් මහින්දට ලබාදීමට පියවර ගෙන තිබීමය. එහිදී මහින්ද සම්බන්ධන්ට කියා සිටියේ ඔවුන් සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇතුළත් ලිපිගොනුවක් තමන් හට භාරදෙන ලෙසටය. එම දැනුම්දීමට අනුව සුමන්තිරන් පළමුව කළේ ඊට අදාළ ලිපිගොනුව මෙම සාකච්ඡාවේදී මහින්දට භාරදීමය. එම ලිපිගොනුව මඟින් දේශපාලන සිරකරුවන් 96 දෙනකු දැනට ආණ්ඩුව භාරයේ සිටින බව මහින්දට දැනුම් දී සිටි සුමන්තිරන් ඉන් 47 දෙනකු නිදහස් කළ හැක්කේ ජනාධිපති සමාවකින් පමණක් බවත් මහින්දට දැනුම් දී සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් මහින්ද සුමන්තිරන්ට කියා සිටියේ තමන්ට මේ පිළිබඳව අවසන් තීන්දුවක් ලබාදිය නොහැකි බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගන්නා ලෙසත්, ඒ සඳහා අවශ්‍ය කාල වේලාව වෙන්කර දීමේ කටයුතු සිදුකළ හැකි බවත්ය. ඒ අනුව සුමන්තිරන්ද පෙරළා මහින්දට කියා සිටියේ ජනාධිපතිවරයා දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් නම් තම පක්ෂයද කිසිදු ගැටලුවකින් තොරව ඊට සූදානම් යැයි කියාය.
අලුත් ව්‍යවස්ථාවකුත් එයි
මීට අමතරව පැවැති පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක වෙමින් තිබූ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන්ද සුමන්තිරන් මෙහිදී මහින්දගේ අවධානය යොමු කරවීය. ඊට පිළිතුරු දෙමින් මහින්ද කියා සිටියේ පවතින ව්‍යවස්ථාවට සංශෝධන කිහිපයක් සිදුකිරීමට නව රජය පත්වූ වහා සූදානමින් සිටින බවත්, ඊට දෙමළ ජාතික සන්ධානයේ සහාය අපේක්ෂා කරන බවත්ය. ඊට ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දුන් සුමන්තිරන්ද කියා සිටියේ ආණ්ඩුව දෙමළ ජනතාවගේ අභිලාෂයන් තේරුම් ගෙන ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා නව ආණ්ඩුවට සහාය ලබාදීමට සිය පක්ෂය සූදානම් බවකි.
මේ ආකාරයට පැයකට අධික කාල වේලාවක් පැවැති මෙම සුහද සාකච්ඡාව අවසන් වූයේ නැවැත වතාවක් ඉදිරියේදී මුණගැසී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා එකඟතාව පළවීමෙන් අනතුරුවය.
එදා ඇමරිකන් විරෝධය
ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ ආණ්ඩුවේ ඇමෙරිකානු ගැති භාවයය. විපක්ෂය කියා සිටියේ ආණ්ඩුව ඩොලර් මළු බලාගෙන රටට අහිතකර ඇක්සා සහ සෝෆා ගිවිසුම් ඇමෙරිකාව සමඟ අස්සන් කිරීමට සූදානම් යැයි කියාය. එසේ ඇක්සා සහ සෝෆා ගිවිසුම් ගැසුවහොත් රට දෙකඩ වෙන බවත්, රට මැද්දෙන් කම්බි වැටවල් ඉදිවන බවත්, දකුණේ සිට උතුරට යෑමට වීසා ලබාගත යුතු වනු ඇති බවත්, ඇමෙරිකන් හමුදාවට රටේ ඕනෑම තැනකට, ඕනෑම අවස්ථාවක ගොඩබැසිය හැකි බවත් කියා සිටියහ. මේ නිසා තම රජයක් යටතේ කිසිසේත්ම ඇමෙරිකාව සමඟ ඇක්සා සහ සෝෆා වැනි ගිවිසුම් අස්සන් නොකරන බව කියමින් එකල විපක්ෂය දැඩි ඇමෙරිකන් විරෝධයක් රට ඇතුළේ මතු කිරීමට කටයුතු කළහ. ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ නව ආණ්ඩුව පැමිණි පසු ඇක්සා සහ සෝෆා ගිවිසුම් අහෝසි කරනු ඇතැයි කියාය. නමුත් ඒ වෙනුවට සිදුවූයේ එම ගිවිසුම් සම්බන්ධයෙන් යළිත් වතාවක් අධ්‍යයනය කිරීම සඳහාත්, ඒවායේ ඇති අහිතකර වගන්ති සොයා බැලීම සඳහාත් ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් පත්කිරීමය.
මාසයක අමෙරිකානු පුහුණුවක්
කෙසේ වෙතත් දැන් නැවත වතාවක් අමෙරිකාව හා මේ ආණ්ඩුව අතරත් කිසියම් ගනුදෙනුවක් සිදුවෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. ඒ, කොරෝනා වෛරසය රට ඇතුළේ ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟ හිටි හැටියේම ඇමෙරිකාවේ ‘ඇල්ෆා – 1333’ විශේෂ බළකායට අයත් යුද හමුදා පුහුණුකරුවන් හයදෙනකු හදිසියේම ලංකාවට පැමිණීම හරහාය. ඔවුන් එසේ පැමිණියේ මෙරට නාවික හමුදාව සමඟ එක්ව ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාවක් පැවැත්වීමටය. මෙම පුහුණුව සඳහා නාවික හමුදාවෙන් 35 දෙනකු සහභාගිව සිටි අතර ඔවුන් පුරා මාසයක් තිස්සේ එම පුහුණු කටයුතු සිදුකරන ආකාරයක් දැකගන්නට ලැබිණ. මෙහිදී ඇමෙරිකානු භටයන් විසින් මානව හිමිකම්, භූමි යුද නීතිය, උපායශීලී සටන්, අනතුරු ආරක්ෂණය, ඉලක්කයට වෙඩි තැබීම, නීති විරෝධී මුහුදු සැපයුම් මාර්ග අවහිර කිරීම, හමුදාමය තීරණ ගැනීම, වෘත්තීය නිපුණතා සංවර්ධනය මෙන්ම විෂය සහ මෙහෙයුම් ක්ෂේත්‍රයන් පිළිබඳව ප්‍රායෝගික සහ න්‍යායික දැනුමක් ලංකාවේ නාවික භටයන්ට ලබාදීමට පියවර ගෙන තිබිණ. මෙම පුහුණුව අවසානයේදී විශේෂ සහතිකපත් ප්‍රදානයක්ද සිදුකිරීමට ඔවුන් පියවර ගෙන තිබිණ.
කපිල පුංචිමාන්නගේ










