ඇඳිරි නීතිය නම් අපූරු වැටකඩුල්ල ලොවට කඩාගෙන පාත්වූයේ පළමු වැනි ලෝක මහා යුද්ධ සමයේ සිටය. එතෙක් සිට දැනට වසර 105කට අධික කාලයක් පුරා ලෝකයේ බොහෝ රටවලදී මේ තහංචිය කලින් කලට මිනිසා මතට පතිත වෙයි. ‘ඇඳිරි නීතිය’ යැයි ඇසූ සැණින් අපගේ මනසට එන්නේ එය ගොඩබිම වෙසෙන මිනිසුන්ට පමණක්ම දමන තහංචියක් ලෙසය. එහෙත් මේ තහංචිය ගැන ලොව වටා අපූරු කතාද වාර්තා වී ඇත. එනම් මහා සාගරයේ සහ අහස් ගැබෙහිද පනවනු ලබන ඇඳිරි නීති ගැනද අසන්නට ලැබෙයි. 2007 වසරේදී ඉරාකයේ හදිතා ගංගාව සහ මුහුදු තීරය ආශ්‍රිත කරගෙන පැය 24ක් පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතියක් පැනවූයේය. ලෝකයේ අතිශය කාර්යබහුල වූ ගුවන් තොටුපොළක් වන එංගලන්තයේ ‘හීත්‍රෝ’ ගුවන් තොටුපොළෙහි රාත්‍රියේ එක් නිශ්චිත කාලයක් පුරා අහස් ගැබෙහිද ඇඳිරි නීතිය පනවා ඇත. එම කාලයෙහි ගුවන් යානා පියාසර කිරීම තහනම් වන්නේ රාත්‍රියෙහි නිදා සිටින මිනිසුන්ගේ නින්දට බාධා වන හෙයිනි. එසේම ළමුන්ට පමණක් පැනවූ ඇඳිරි නීති ගැනද ලොවින් අසන්නට ලැබෙයි.
කෙසේ හෝ දැනට දශක ගණනාවක සිට ශ්‍රී ලංකාවටද ඇඳිරි නීතිය අමුත්තකු නොවේ. එහෙත් අද අපට මුහුණ දෙන්නට සිදුවී ඇත්තේ ලොව ඉතාමත්ම දුර්ලභ ලෙස දක්නට හැකි ඇඳරි නීති රටාවකටය. එනම් නිශ්චිත කාල සීමාවක් සඳහන් නොවන අඛණ්ඩව සිදුකෙරෙන ඇඳිරි නීතියකටය. මෙය සැබෑ ලෙසම රජයට පනවන්නට සිදුවූයේ නොපෙනෙන බියකරු ත්‍රස්තවාදියාගෙන් ජනතාව බේරා ගැනීමටය. ශ්‍රී ලංකාව තුළ ඇඳිරි නීතිය පැනවීමේ ක්‍රියාවලියට දැනට මාස 02ක් පමණ වෙයි. මෙම සතියේදී සිට එය යම් ආකාරයකට ලිහිල් වීමක් සිදුවුවද ඇඳිරි නීතිය පැවැත්වීම තවදුරටත් බල පැවැත්වෙයි.
අද ශ්‍රී ලංකාවට ඇඳිරි නීතිය යනු ඇතුවත් බැරි, නැතුවත් බැරි වැටකඩුල්ලකි. එහෙත් මේ තත්ත්වය ගැන පාර්ශ්ව ගණනාවක්ම නිරන්තරයෙන් අනතුරු හඟවන්නේ රටේ ආර්ථිකය කඩාවැටීමේ අවදානමයි. එය සත්‍ය තත්ත්වයක් වන අතර දැනටමත් අපේ රටේ ආර්ථිකයට මෙම බියකරුත්වය උදාවී ඇත. අද ගෝලීය ආර්ථිකයටද මෙම තත්ත්වයම උද්ගතවී ඇත. එහෙත් ලෝකයේ ධනවත් රටවලට මේ තත්ත්වය අවම ලෙස බලපානු ලබන අතර කිසිදු ධන වත්කමක් නැති අපගේ ශ්‍රී ලංකාව වැනි රටවලට මෙහිදී එල්ල වන්නේ මාරාන්තික පහරකි.
මෙසේ පසුගිය මාස 02ක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථික ක්ෂේත්‍රයට ඇතිවුණු බලපෑම ගැන පෞද්ගලික අංශය ඉදිරිපත් කරනු ලබන සුවිශේෂී වාර්තාවක් පසුගියදා ප්‍රකාශයට පත්විණි. කොරෝනා වසංගතය හේතුවෙන් ඔවුන්ගේ සමාගම්වල නිෂ්පාදනය අකර්මණ්‍ය වී ආදායම් ලැබීම් පහත වැටුණු හැටි ඔවුහු විස්තර කර සිටිති. එහෙත් කොරෝනා තත්ත්වය හේතුවෙන් ප්‍රකට ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක ආදායම ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇත්තේ එම සමාගම් කොරෝනා වසංගතය වෙනුවෙන් භාවිතා කරනු ලබන විවිධ භාණ්ඩ නිෂ්පාදනය කිරීම නිසාය. එසේම පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාවේ දුරකතන, විදුලි සංදේශ කටයුතු සහ ඉලෙක්ට්‍රොනික බැංකු කටයුතු ආදියද බොහෝ ඉහළට ගියේය. එහෙත් සංචාරක කර්මාන්තය මුළුමනින්ම ඇදගෙන වැටුණේය. මෙවැනි තත්ත්වයක් යටතේ සිදුවූ ඉතාම අභාග්‍යසම්පන්න තත්ත්වය වූයේ සේවක වැටුප් කප්පාදු කිරීමය.
මෙසේ කොරෝනා වසංගතය හමුවේ අර්බුදයට පත්වූ ශ්‍රී ලංකාවේ දැවැන්ත වෙළෙඳ ව්‍යාපාර සමාගම් තමන්ගේ වත්මන් වගතුග කියා සිටින්නේ මෙසේය.

Haycarb PLC -හේකාර්බ් පී.එල්.සී. ආයතනය
පොල්කටු ආශ්‍රිත කරගෙන නිෂ්පාදනය කෙරෙන ක්‍රියාකාරී කාබන් අමුද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුමෙහි එතරම්ම පහත බැසීමක් නැත. එසේම කාබන් ආශ්‍රිත කරගෙන නිෂ්පාදනය කෙරුණු මුහුණු ආවරණවලට ඉතා ඉහළ වෙළෙඳ ඉල්ලුමක් ලැබිණි. එහෙත් ඇඳිරි නීතිය හේතුවෙන් සිදුවූ අර්ධ නිෂ්පාදන ක්‍රියාවලිය නිසා එම කටයුතු යම් තරමකින් බිඳවැටුණි. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ක්‍රියාත්මක වන ජල සහ අපජල ව්‍යාපෘති ඉදිකිරීම, පැවරීම සහ ක්‍රියාත්මක කිරීම යම් පමණකින් සෙමෙන් සිදුකෙරිණි. වත්මන් ඇඳිරි නීතිය තත්ත්වය යටතේ අමුද්‍රව්‍යවල මිල ඉහළ යන අතර, ඒ හෙයින් නිෂ්පාදන ක්‍රියාවලියේ වියදම්ද ඉහළ යන තත්ත්වයක් සමාගම විසින් බලාපොරොත්තු විය. එසේම වත්මන් රෝග වසංගත තත්ත්වය යටතේ සේවකයන්ට සහ අනෙකුත් සේවාලාභීන්ට සැලසිය යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවිය. ක්‍රියාකාරී කාබන් භාවිතයෙන් සිදුකෙරෙන ජල සහ වායු පිරිපහදු කටයුතු සඳහා හොඳ ඉල්ලුමක් තවද තිබෙයි.

Tokyo Cement Company PLC -ටෝකියෝ සිමෙන්ට් කම්පැනි ලිමිටඞ් පී.එල්.සී. සමාගම
මෙම සමාගම ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එවැනි ඉදිකිරීම් නිෂ්පාදන සමාගම් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති හෙයින් ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය බොහෝදුරට සිදුකෙරුණු බැව්ය. එම සමාගමෙහි කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය එලෙස සිදුකෙරුණත් පිටස්තරව ඇති ගොඩනැඟිලි වැඩබිම් රාශියකම කටයුතු ඇඳිරි නීතිය හේතුවෙන් ඇනහිට තිබීම තම නිෂ්පාදන බොදාහැරීමට දැඩි බාධාවක් වූ බැව් ප්‍රකාශ කළේය. මේ නිසා සිමෙන්තිවල බෙදාහැරීම දිවයින පුරාම බරපතළ ලෙස අඩාළ වූ අතර තොග වෙළෙඳාම මෙන්ම සිල්ලර වෙළෙඳාමද අකර්මණ්‍ය තත්ත්වයට පත්විය. එසේම අප්‍රේල් මාසයේදී සිංහල, දමිළ අලුත් අවුරුද්ද හේතුකරගෙන ප්‍රගතිය ඉතාමත්ම අවම විය. එහෙත් පසුව කොළඹින් පිටත ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් කිරීම හේතුවෙන් සිමෙන්ති විකිණීම යම් තරමකින් ඉහළ ගියේය. එයට හේතුව එම ප්‍රදේශවල ඉදිකිරීම් කටයුතු නැවැත ආරම්භ කිරීමය.

Chevron Lubricants Lanka PLC -චෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පී.එස්.සී. සමාගම
මෙම සමාගම කියා සිටියේ කොවිඞ් 19 වසංගතය ආරම්භයේදීම එයට මුහුණදීම සඳහා හදිසි ප්‍රතිචාර සැලැසුමක් ක්‍රියාත්මක කළ බැව්ය. එහිදී අප සේවකයන්ගේ ආරක්ෂාව ප්‍රථමයෙන් සොයා බැලූ අතර ඒ අනුව මේ වන තෙක්ම අපගේ සේවකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කිසිවකුටත් කොරෝනා රෝගී තත්ත්වයක් උද්ගත වූයේ නැත. එසේම එම සමාගමේ සේවා ස්ථාන පවා විෂබීජහරණය කර නිසි සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රමිතියකට පවත්වාගෙන ගොස් ඇත. මෙම සමාගම ලිහිසි තෙල් නිෂ්පාදනය කරනු ලබන සමාගමක් වන අතර ඒ අනුව ඔවුන්ගේ ලිහිසි තෙල් සම්මිශ්‍රණාගාර, ගබඩා සංකීර්ණ ආදිය පවා විෂබීජහරණයට ලක්කරන ලදී. ඉන් පසුව අත්‍යවශ්‍ය සේවක පිරිස් මාර්තු 16 වැනිදා සිටම සමුගස්කන්ද පිරිපහදුව වෙත පැමිණ සේවා කටයුතුවල නිරත වූ අතර අනෙක් සේවක පිරිස් තම නිවෙස්වල සිට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ රැකියා කටයුතු සිදුකළේය. කෙසේ හෝ වත්මන් ඇඳිරි නීති තත්ත්වය යටතේ නිෂ්පාදන ධාරිතාව පෙර තත්ත්වයන්ට වඩා යම් ලෙසකින් අවම විය. අපගේ නිෂ්පාදනවල අපනයනයද යම් ලෙසකින් අඩු විය. එහෙත් කෙසේ හෝ දිවයිනේ අත්‍යවශ්‍ය කටයුතු රැසකට ලිහිසි තෙල් නිෂ්පාදන නිසි ලෙස ලබාදුන්නේය. විදුලිබල උත්පාදන, කෘෂිකර්මාන්තය, රජයේ ප්‍රවාහන කටයුතු මෙන්ම ධීවර කර්මාන්තයටද අපගේ නිෂ්පාදන භාවිතා කෙරෙයි.

Lion Brewery PLC -ලයන් බ්රූවෙරි පී.එල්.සී. සමාගම
මෙම සමාගම ප්‍රකාශ කර සිටියේ වත්මන් ඇඳිරි නීති තත්ත්වය යටතේ ඔවුන්ගේ සමාගමේ සියලුම කටයුතු නවතා දැමූ බැව්ය. දිවයිනේ සමහර දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මේ වන විට තාවකාලිකව ඉවත් කර තිබුණත් ලයන් බ්රූවරි සමාගමේ කාර්යාල සහ නිෂ්පාදන ඉස්කාගාර සියල්ල පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ හෙයින් අදාළ නිෂ්පාදන කටයුතු කිසිවක් සිදුකළ නොහැක. ඒ හෙයින් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවත් කළ වහාම එම නිෂ්පාදනාගාරවල කටයුතු ආරම්භ කිරීමට සමාගම බලාපොරොත්තු වෙයි. කෙසේ හෝ වර්තමාන අර්බුදකාරී තත්ත්වය යටතේ ඉදිරියේදී බියර් ඇතුළු ඉහළ ඉල්ලුමක් ඇති අනෙකුත් පාරිභෝගික භාණ්ඩවල පවා අඩු ඉල්ලුමක් ඇතිවන බැව් අපේක්ෂා කළ හැකිය. ලයන් බ්රූවෙරි පී.එල්.සී. සමාගම බියර් වර්ග කිහිපයක්ම නිෂ්පාදනය කරනු ලබන සමාගමක් වුවද පසුගිය මාස 02ක කාලය තුළ ඔවුන් කිසිදු නිෂ්පාදන කටයුත්තක් සිදුකර නොමැත.

Hayleys PLC -හේලීස් පී.එල්.සී. සමාගම
මෙම සමාගම විවිධ නිෂ්පාදන ක්ෂේත්‍ර ගණනාවක නිරතව සිටින අතර අත් ආරක්ෂිත නිෂ්පාදන, පවිත්‍රතා කටයුතු, රෙදිපිළි නිෂ්පාදනය, පරිසරහිතකාමී ව්‍යාපෘති සහ තවත් විවිධ ක්ෂේත්‍ර ගණනාවක ඔවුහු නිරතව සිටිති. ඔවුන්ගේ මෙම නිෂ්පාදන බොහොමයක් අපනයනය සඳහා භාවිතා කරනු ලබන අතර, වත්මන් ඇඳිරි නීතිය තත්ත්වය යටතේ එම කර්මාන්ත ශාලාවල කටයුතු බොහෝ ඇනහිටියේය. 2020 මාර්තු තෙවැනි සතියේ සිට මෙම තත්ත්වය ඇරැඹි අතර, එහෙත් දැන් යම් මට්ටමකින් ඇඳිරි නීති ලිහිල්වීම හේතු කරගෙන නැවතී තිබුණු නිෂ්පාදන කටයුතු නැවැත ආරම්භ කළේය. මේ අනුව දැන් කර්මාන්ත ශාලාවල නිෂ්පාදන ධාරිතාවය 85%ක ප්‍රමාණයකින් සිදුකෙරෙයි. වත්මන් ගෝලීය කොරෝනා වසංගතය හමුවේ අත් ආරක්ෂිත නිෂ්පාදන ලොව බොහෝ රටවලට අවශ්‍ය වී ඇති හෙයින් එම නිෂ්පාදන කටයුතු නිසි ප්‍රමිතියකින් යුත් සෞඛ්‍ය සහ ආරක්ෂිත ක්‍රමවේද යටතේ නිපදවනු ලබයි. පවිත්‍රතා උදෙසා නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා භාවිතා වන විශේෂිත රෙදිපිළි සහ ඇඟලුම්ද මෙයට අමතරව නිෂ්පාදනය කෙරෙයි. හේලීස් සමාගම සතු තායිලන්තයේ සහ ඉන්දුනීසියාවේ ඇති කර්මාන්තශාලාවල කටයුතුද, පූර්ණ නිෂ්පාදන ධාරිතාවයකින් යුක්තව සිදුකෙරෙයි.

John Keells Holdings PLC -ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගම
2020/21 මුදල් වර්ෂය සඳහා ඇතිවන බලපෑම ගැන ඉතා අවිනිශ්චිත සහ තවද විකාශය වෙමින් පවතින වසංගත වාතාවරණය යටතේ තීරණය කළ නොහැක. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම යනු විවිධ ක්ෂේත්‍ර ගණනාවකම ව්‍යාපාර ඉතාමත් පුළුල් ලෙස එමෙන්ම මහා පරිමාණයෙන් සිදුකරගෙන යන සමාගමකි. මෙම සමාගම දැනට සතිපතා ලබන ආදායම් සහ වියදම් ගැන අධීක්ෂණයක සිටින අතර මෙම කාලය තුළ අනවශ්‍ය වියදම් බොහොමයක් කප්පාදු කර ඇත. ආයතනයේ වත්මන් මූල්‍ය තත්ත්වය ඉතා අවබෝධයකින් කළමනාකරණය කිරීම සඳහා එම පියවර ගෙන ඇත. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ වෙළෙඳ ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන ජෝන් කීල්ස් සමාගම මේ වන විට ඔවුන්ගේ විධායක මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා 5% සිට 60% දක්වා ප්‍රමාණවලින් යුතුව කප්පාදු කර ඇත. එම තත්ත්වය 2020 ජුනි මාසය දක්වා සිදු කිරීමට තීරණය කර ඇති අතර, සමාගමේ සාමාන්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදුවක් ගැන සඳහන් කර නොමැත.

Teejay Lanka PLC -ටීජේ ලංකා සමාගම
කොවිඞ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් කර්මාන්ත ශාලා වසා දැමීමට ගත් තීරණයට ප්‍රතිචාර දැක්වීම සඳහා 2020 මාර්තු 17 වැනිදා අප කර්මාන්ත ශාලාව වසා දමන ලදී. එසේම අපගේ ඉන්දියාවේ ඇති කර්මාන්ත ශාලාවද 2020 මාර්තු 20දා වසා දමන ලදී. මෙසේ කර්මාන්ත ශාලා වසා දැමීමේ හේතුවෙන් ඉන් පසුව නොකඩවා සති 03ක් කිසිදු නිෂ්පාදන ක්‍රියාවක් සිදු නොවිණි. එහෙත් පසුව කොරෝනා වසංගතයට අදාළව භාවිතා කෙරෙන විවිධ භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කෙරිණි. එසේම පාරිභෝගිකයන්ගේ ඉල්ලීමක් වූයේ ණය සහන කාලය දීර්ඝ කිරීමත්, ලබාදුන් ඇණවුම් අහෝසි කර දැනීමත්ය. කෙසේ හෝ මෙම දිනවල සමාගම විසින් මුඛ ආවරණ සහ අනෙකුත් පුද්ගලික ආරක්ෂක පැලඳුම් නිෂ්පාදනයෙහි නිරතව සිටියි. කොරෝනා වසංගතය සඳහා භාවිතා කරනු ලබන පෞද්ගලික ආරක්ෂක උපකරණ personnel protective equipment නිෂ්පාදනය මඟින් සමාගම වාර්තාගත ආදායමක් ලබා ඇත.

Ceylon Cold Stores PLC – සිලෝන් කෝල්ඞ් ස්ටෝර්ස් පී.එල්.සී. සමාගම
මෙම සමාගමහෙි ප්‍රධානතම නිෂ්පාදනය වන සිසිල් බීම නිෂ්පාදනය ඇඳිරි නීතිය හේතුකරගෙන ඉතා අඩාළ තත්ත්වයට පත්විය. එහෙත් පසුව දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ කර්මාන්ත ශාලාවල කටයුතු ආරම්භ කෙරුණු අතර, නිෂ්පාදනය ඉහළ ගියේය. සුපිරි වෙළෙඳ සල් ජාලය ක්‍රියාත්මක කිරීම රජයේ එක් අත්‍යවශ්‍ය සේවාවක් විය. එහෙත් අපගේ සුපිරි වෙළෙඳ සල් රාශියක් පිහිටා තිබෙන්නේ අධි අවදානම් කලාපවල හෙයින් ඒවායෙහි මෙහෙයුම් කටයුතු බොහෝ සෙයින් අඩාළ වූ අතර,
ආදායම දරුණු ලෙස පහත වැටුණේය. අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්වුවද අධි අවදානම් කලාපවල පිහිටා තිබෙන සුපිරි වෙළෙඳසල් විවෘත කිරීමට රජයේ අවසරය නොලැබිණි. එහෙත් පසුව 2020 මැයි 04දා සිට එම තත්ත්වය වෙනස්වී වෙළෙඳ සැල් විවෘත කෙරිණි.
කෙසේ හෝ ඉන් පෙරද අපගේ වෙළෙඳ කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය හරහා පාරිභෝගිකයන් වෙත රැගෙන යන ලදී. වත්මන් තත්ත්වය යටතේ සමාගමේ ආදායම් තත්ත්වය ඉහළ යමින් පවතියි. නිෂ්පාදන කටයුතුද සාමාන්‍ය අතට පත්විය.

Softlogic Life Insurance PLC -සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී.
2020 ජනවාරි මාසයේදී ප්‍රථම කොවිඞ් 19 රෝගියා ගැන වාර්තා දැනගත් වහාම මෙම සමාගම ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග සංවිධාන කර ගත්තේය. ව්‍යාපාර නොකඩවා සිදුකිරීමේ සැලැසුමක් ඒ සඳහා ස්ථාපිත කර ගත්තේය. ඒ අනුව සේවක කණ්ඩායම් කිහිපයක්ම ඒ සඳහා යොදාගත් අතර නිවෙසේ සිට රාජකාරි සිදුකරන ක්‍රමය සාර්ථකව අනුගමනය කළේය. මේ සඳහා තොරතුරු තාක්ෂණය භාවිත කරමින් ඔන්ලයින් ක්‍රමවේදය හරහා පාරිභෝගිකයන් සමඟ ගනුදෙනු කිරීම සිදුකළේය. මේ නිසා පාරිභෝගික සේවය කිසිදු බිඳවැටීමකින් තොරව සිදුකළේය.

Expolanka PLC – එක්ස්පෝ ලංකා පී.එල්.සී. සමාගම
ශ්‍රී ලංකා ව්‍යාපාර ක්ෂේත්‍රයේ අති දැවැන්තම සමාගමක් වන එක්ස්පෝ ලංකා සමාගම 2020 ජනවාරි මාසයේදී කොරෝනා වසංගතය ආරම්භයත් සමග දැඩි බලපෑමකට ලක්විය. එයට හේතුව වූයේ ඔවුන් විදෙස් රටවල් රැසක් සමඟ අපනයන කටයුතු සිදුකිරීම හේතුවෙනි. ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළේ සමාගම් අතර ඉහළින්ම ඇති සමාගමක් වන මෙය ආනයන අපනයන, වරාය කටයුතු, සැපයුම් සේවා, ගුවන් සේවා මෙහෙයුම්, ප්‍රවාහන සේවා, සංචාරක කටයුතු ආදී ක්ෂේත්‍ර ගණනාවක නිරතව සිටියි. දැනට දශක හතරකට පමණ ඉහතදී ආරම්භ කරන ලද මෙම සමාගම සතුව විවිධ කර්මාන්ත ශාලා කිහිපයක්ද ඇත. දැනට ලෝකයේ රටවල් 20ක මෙම සමාගමේ ශාඛා ඇති අතර කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් මෙම ජාලයටම දැඩි බලපෑම් එල්ලවී ඇත. එහෙත් දැනට දිවයිනේ තත්ත්වය යම් මට්ටමකට ලිහිල් වීම හේතුවෙන් සමාගමේ කටයුතු යම් ප්‍රගතියක් කරා යමින් සිටින බැව් ප්‍රකාශ වෙයි. ඒ වුවද 2020/2021 මුදල් වර්ෂයේ මුල් මාස 06ක කාලය ඉතාමත්ම අභියෝගාත්මක බැව් සමාගම කියයි.

Seylan Developement PLC -සෙලාන් ඩිවලොප්මන්ට් පී.එල්.සී. සමාගම
වත්මන් අර්බුදකාරී තත්ත්වය යටතේ තමන්ගේ සමාගමේ ව්‍යාපාර කටයුතු සඳහා ඇතිවූ බලපෑම ඉතාම අවම මට්ටමක තිබුණු බැව් ප්‍රකාශ කළේය. තම සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ ‘සෙලාන් ටවර්ස්’ ගොඩනැඟිල්ලේ ඇති කාර්යාල ඉඩ බදුදීම වන අතර එයින් 80%කම බදුදීම් සිදුකරන්නේ තම මව් සමාගම වන සෙලාන් බැංකුව වෙත බැව් අවධාරණය කළේය. සමාගම ඒ මගින් ආදායම් උපයා ගනියි.

Sri Lanka Telecom PLC -ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී. සමාගම
මෙම සමාගමේ කටයුතුවලට බොහෝ ධනාත්මක බලපෑමක් ඇතිවය. බ්‍රෝඞ්බෑන්ඞ්, ඔන්ලයින් සේවා, IPTV සේවා (Broadband, Online Services, IPTV)වැනි ක්ෂේත්‍රවල කටයුතුවල බොහෝ ප්‍රගතියක් තිබිණි. නේවාසික උපයෝගිතාවය ඉතා ඉහළ යෑම හේතුවෙන් එම තත්ත්වය ඇතිවිණි. සමාගම සපයන ඔන්ලයින් සේවා ගැන පාරිභෝගික උනන්දුව ඉතා ඉහළ ගියේය. තත්ත්වය එසේ වුවද පාරිභෝගික බිල්පත් අයකර ගැනීම සහ විසන්ධි කිරීම් වැනි කටයුතු ප්‍රමාද කිරීමට නියාමන උපදෙස් ලැබී තිබීම අභියෝගයක් විය.

Commercial Bank of Ceylon PLC -කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පී.එල්.සී. සමාගම
ඇඳිරි නීති තත්ත්වයට මුහුණදීම උදෙසා කොමර්ෂල් බැංකුව විසින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ජංගම බැංකු ඒකක අනුයුක්ත කරන ලද අතර, ඒ මඟින් පාරිභෝගිකයාගේ දොරකඩටම බැංකු සේවාවන් ගෙනයන ලදී. ඒ අතරම බැංකුවේ දිවයින පුරා ඇති සෑම ශාඛාවකම පාහේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික බැංකු සේවාවන් ස්ථාපිත කර ඇත. ඇඳිරි නීතිය පවතින විටදී මෙම සේවාවන් විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවක් විසින් භාවතා කරන ලදී.
කොරෝනා වසංගත සමයේදී බැංකු විසින් අනුගමනය කළ යුතු නියෝග සහ ක්‍රමවේදයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු අතර ඒ උපදෙස්වලට අනුව කටයුතු කෙරිණි. පාරිභෝගිකයන්ගේ ණය වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීම ඉන් ප්‍රධානතම කටයුත්තක් වූ අතර එය පාරිභෝගිකයන් වෙනුවෙන් ඉෂ්ට කෙරිණි. එසේම කොමර්ෂල් බැංකුවේ සියලු ශාඛාවන්ගේ කටයුතු නිසි සෞඛ්‍ය ක්‍රමවේදයට අනුව සිදුකළ අතර, දැන් වත්මන් තත්ත්වය යටතේ බැංකු සේවා කටයුතු සාමාන්‍ය අයුරින් සිදුකෙරෙයි.

Jetwing Symphony Company Ltd- ජෙට්වින්ග් සිම්පනි කොම්පැනි ලිමිටඞ් සමාගම
ශ්‍රී ලංකාවේ සහ විදෙස් රටවල් කිහිපයක් තරු පන්ති සංචාරක හෝටල් රැසක් ඇති මෙම ප්‍රධාන පෙළේ සමාගම වත්මන් කොරෝනා වසංගත අර්බුදය හමුවේ දැඩි ලෙස බලපෑමකට පත්වූ සමාගමක් වෙයි. එම සමාගම කියා සිටියේ සංචාරක කර්මාන්තය බින්දුවටම වැටුණු හෙයින් ඔවුන්ගේ හෝටල් සියල්ලෙහිම ආදායමද ශූන්‍ය තත්ත්වයට පත්වූ බැව්ය. එම හෝටල්වල සියලුම මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම අඩාළ වූ අතර එය යථා තත්ත්වයට පත්වන කාලයක් ගැන සිතා ගැනීමට පවා නොහැකි බැව් ජෙට්වින්ග් සමාගම ප්‍රකාශ කළේය. තරු 5-6 පන්තිවල හෝටල් රැසක් අයිති මෙම සමාගම තවත් දැඩි අර්බුදයකට පත්වන්නේ මෙම කොවිඞ් 19 වසංගතය ගෝලීය තත්ත්වයට පත්ව විදෙස් රටවලද සංචාරක කර්මාන්තයද විනාශයට පත්වූ හෙයිනි. මෙම අර්බුදකාරී තත්ත්වය යටතේ සමාගම බැංකු කිහිපයකින් ණය ගෙවීම් සහනද ඉල්ලුම් කර ඇත. තවත් කනගාටුදායක තත්ත්වයක් වන්නේ එම හෝටල්වල සේවකයන් දහස් ගණනකට වැටුප් කප්පාදු කිරීමය. එහෙත් විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ වැටුප් 50%කින් කප්පාදු කර සාමාන්‍ය සේවක වැටුප් කප්පාදු නොකිරීමට එය සමාගම අදහස් කර ඇත.

Commercial Development Company PLC – කොමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැනි පී.එල්.සී.
මෙම සමාගම සේවා සපයන්නේ කොමර්ෂල් බැංකුව වෙත වන අතර තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා එල්ල වූ ඍජු බලපෑම් ඉතා අවම මට්ටමක තිබුණු බැව් පැවැසීය.
සකස් කළේ ප්‍රියන්ත හෙට්ටිගේ











