අදත් රටේ ක්‍රියාත්මක වන්නේ රටේ ජනතාව ගොනාට ඇන්දවීම බවත් මුළු රටම බොරුවෙන් මුසාවෙන් මුලාවෙන රවටන බවත් ඇස්බැන්දුම් රංගන දියත් කරන ආකාරය පෙනී යන බවත් මේවාට ඔස්කා සම්මානවලටත් වඩා සම්මාන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
පාලකයන් ජනතාව ඇන්දවීම, රැවටීම, මංමුලා කිරීම පැය 24ම දවස් 365ම තමන්ගේ වෘත්තීය බවට පත් කර ගෙන ඇති මොහොතක ගොබෙල්ස්ගේ න්‍යාය මනා ලෙස රටේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නැති දේ ඇති කර ඇති දේ නැති කර බොරුව සත්‍ය කර සත්‍ය බොරුව කරනා බවත් මෙවැනි මිත්‍යාවාදී ගමනකට නම් රට ගොඩනැගිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හිට්ලර්ගේ ගොබෙල්ස්ගේ පාලන තන්ත්රය තුළ බොරුව කියමින් බොරුව ඇත්ත කළ බවත් එවැනි න්‍යායක් අදත් ක්‍රියාත්මක විය යුතු බවත් රට ගොඩ ගැනීමට නම් රටේ ඇති සැබෑ තත්ත්වය අවබෝධ කර ගත යුතු බවත් තිත්ත ඇත්ත මේ රටේ ජනතාවට කිවයුතු බවත් අප රට ඇ. ඩොලර් බිලියන 92කට වැඩි ණයබරතාවකින් පෙළෙන බවත් මේ ණය බරතාව දේශීය හා විදේශීය ණය ලෙස වෙන් වන බවත් මේ ණය සම්බන්ධයෙන් දැන ගැනීමේ අයිතිය ජනතාවට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 26) ගම්පහ බියගම පමුණුවිල මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 262 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමේ කණ්ඩායමේ දූදරුවන්ට ඇඳුම් ලබා ගැනීම පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.
එදා බදු සහන දීලා රට විනාශ කළා. අද බොරු කියලා රට විනාශ කරනවා.
රට බංකොලොත් භාවයෙන් එළියට ආවනම් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොලොන් ණය ගැනීමේ හැකියාවක් ඇති බවත් මේ ගැන පුරවැසියන් තොරතුරු දැන ගත යුතු බවත් පාලකයන්ද ජනතාව නිවැරදිව තොරතුරුවලින් සන්නද්ධ කල යුතු බවත් එදා බදු සහන දීමෙන් රට ගොඩගත හැකි බවට පාලකයන් පැවසුවත් ඒ නිසා ආර්ථික මරඋගුලකට අප රට හසු වූ බවත් සෑම අතකින්ම රටේ ආර්ථිකය විනාශ වූ බවත් ඒ බොරුව පිළිගැනීම නිසා රට සම්පූර්ණයෙන්ම කඩා වැටුණු බවත් අදත් එම බොරුව නැවත වරක් කීමට රජය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බොරුවෙන් තවදුරටත් ඉදිරියට යන්න බැහැ
මේ අවස්ථාවේ රජය සූදානම් වන්නේ ජනතාව මංමුලා කර බොරුවෙන් ඉදිරියට යාමට බවත් තවදුරටත් අපට බොරුවෙන් ඉදිරියට යා නොහැකි බවත් සත්‍ය හා සැබෑ තත්ත්වය මත කේන්ද්‍රීයව රට ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ලෙඩේට හරියට බෙහෙත් නොකළොත් ලෙඩා මැරෙනවා වගේ තමයි මේකත්
යම් අයකු රෝගාතුරු වූ අවස්ථාවක ලෙඩක් නෑ කියා ප්‍රතිකාර නොකර සිටියොත් ලෙඩාගේ ජීවිතයට අනතුරක් වන බවත් ඒ හා සමානව අද දවසෙත් ගැටලුවක් නැ හැමදේම හරි බංකොලොත් නෑ කියමින් බොරු කිව්වොත් රටටත් සිදුවන්නේ මරණයට ලක්වීම බවත් රජය ගිවිසුම් අත්සන් කර ඇත්තේ ද්විපාර්ශ්වීය ණය හිමිකරුවන් සමඟ බවත් සෛරී බැදුම්කර හිමිකරුවන් සමඟ ගිවිසුමක් නොමැතිව බංකොලොත් නෑ කියන්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ නාට්‍යවලට ඔස්කා සම්මාන දුන්නත් මදි
මේ දිනවල රඟ දක්වන විවිධ ටෙලිනාට්‍යවලට මවාපැම්වලට රගපෑම්වලට මේ රටේ ජනතාව රැවටෙන්න එපා යැයි පවසන බවත් දත්ත මත පදනම්ව සාක්ෂි මත තොරතුරු මත පදනම්ව අපේ රට ගොඩනගන වැඩපිළිවෙළට යොමු වන ලෙසත් අප පරිත්‍යාගයන් සිදු කළ යුත්තේ සමාජයේ අධි පොහොසතුන්ට බවත් වැඩ කරන ජනතාවට එම පරිත්‍යාග සිදු කළ නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය වැඩ කරන ජනතාවගේ අර්ථසාධකයට දැඩි බලපෑමක් කරමින් ගජමිතුරු ධනවාදීන්ට සහන දුන් බවත්ය.
රජයෙන් සිදුවිය යුතු අවම යුතුකමවත් ඉටු වෙන්නේ නැහැ
රටේ ජනතාව දුක්ඛිත ජීවිතයක් ගත කරන විට දරුවන් අපහසුතාවෙන් ඉගෙන ගන්නා විට රජයක් සිදු කළ යුතු අවම යුතුකම හා වගකීම වන්නේ මේ පාසල් පද්ධතියේ සම්පත් ඌනතා බිහි වන්නට නොදී මඟහරවා ගැනිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම බවත් අප රටේ දරුවන් අතිශය දක්ෂ වුවත් අපි රටක් ලෙස වැරදි මාර්ගයක යන්නේ නම් ඉන් ප්‍රතිඵලයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දේශපාලන වාසි අනුව ප්‍රතිපත්ති වෙනස් කිරීම රටට අවශ්‍ය නැහැ
මේ රටේ සුදුපුරු පරිදි ක්‍රියාත්මක වන ජාතිය, ආගම, තරාතිරම හා දේශපාලන වාසි අනුව කෙරෙන ප්‍රකාශ මත තීන්දු වූ ප්‍රතිපත්ති රටට අවශ්‍ය නොවන බවත් ඒවායින් රටට සෙතක් වෙනවා වෙනුවට අතිවිශාල හානියක් සිදුවන බවත් එම නිසා අධ්‍යාපන ක්ෂේත්රයේ සාධනීය වෙනසක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 262ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2850ක් වැය කර තිබේ.