• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පාස්කු ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවන් හෙළි කරමින් චම්පික කළ අතිවිශේෂ හෙළිදරව්ව EXCLUSIVE

April 28, 2020
in News, Politics
Reading Time: 6 mins read
A A
පාස්කු ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවන් හෙළි කරමින් චම්පික කළ අතිවිශේෂ හෙළිදරව්ව EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

2019 අප්‍රේල් 21 අමතක නොවන දිනයකි. එදින මාගේ පළමු පොදු කටයුත්ත යෙදී තිබුණේ අත්තිඩියේ ය. මා හිතවත් හපුතලේ ප්‍රඥාරාම නායක හිමියන්ගේ “සහන උදය” වැඩිහිටි නිවසයේ අලුත් අවුරුදු උළෙල එදින උදෑසනට යෙදී තිබිණි. උත්සවය ඇරඹීමට පෙර තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි. ඒ අතරේ දිවයින පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුද සිටියේය. ඔහුට පැමිණි දුරකථන ඇමතුමකින් කියැවුණේ කොළඹ ප්‍රධාන හෝටලයක බෝම්බයක් පුපුරා ඇති බවය. එක්වරම අප සියළු දෙනාටම දැනුනේ කොටි සංවිධානය නැවත ක්‍රියාත්මකද යන පැණයයි. විනාඩි කිහිපයක් යනවිට තොරතුරු රැසක් ගලා ආවේය. කොච්චිකඩේ කතෝලික දේවස්ථානයේ පිපිරීම එයින් මූලික විය. උත්සවය සුළු වශයෙන් පවත්වා මියගිය අයට ශෝකය පලකර, ඉදිරි කටයුතු දෙහිවල ගල්කිස්ස නගරාධිපති තුමාට පවරා අපි පාරට පැමිණියෙමු. එවිටම වාගේ පිපිරීම් ශබ්දයක් ළඟින්ම ඇසිනි. (කරගම්පිටිය හෝටලයේ සිදුවූ පිපිරීම) ආරක්ෂක අංශවල කිහිප දෙනෙකුට කතා කිරීමේදී වැටහී ගියේ පිපිරීම කොටි සංවිධානයේ වැඩක් නොව ඉස්ලාමීය මූලධර්මවාදී ත්‍රස්ත ප්‍රහාරයක් බවය.

මම ජනාධිපතිතුමා හා අගමැතිතුමා සම්බන්ධකර ගැනීමට උත්සාහ කළෙමි. ජනාධිපතිතුමා අවුරුදු නිවාඩුවකට සිංගප්පූරුවට ගොස් නැවත පැමිණ නැති බව වාර්තා විය. අගමැතිතුමා, ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමා සමග ආරක්ෂක අමාත්‍යාංශයට ගිය බව වාර්තාවිය. මම අරලියගහ මන්දිරයට ගියෙමි. ඒ වනවිට ඇමතිවරු ගණනාවක් එහි විය. ආරක්ෂක අමාත්‍යාංශයට ගිය අගමැති රනිල් වික්‍රමසිංහට හොඳ පිළිගැනීමක් ලැබී තිබුනේ නැත. ජනාධිපතිවරයා, අගමැතිවරයා සමග තිබූ දේශපාලන කෝන්තරය මේ ඛේදවාචකය හමුවේවත් අමතක කර දැමීමට සූදානම් නොමැති බව පැහැදිලි වෙමින් පැවතුනි. ඉන් පසුව අගමැතිතුමා සිද්ධිය වූ ස්ථානයට යන බවද වාර්තාවිය.

මේ අතර විවිධ අදහස් පලවන්නට විය. ඇතැමුන්ගේ අදහස වූයේ මෙය විපක්ෂයේ කුමන්ත්‍රණයක් විය හැකි බවය. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යම් කණ්ඩායමක් යොදවා තමන් ඉදිරියට මුහුණ දීමට නියමිත ජනාධිපතිවරණය ජයගැනීම සඳහා මේ පිපිරීම් මාලාව සිදුකරන්නට ඇති බවට ප්‍රබල තර්කයක් සමහරු මතු කළහ. මම එය තරයේ ප්‍රතික්ෂේප කළෙමි. මෙබඳු කුමන්ත්‍රණ න්‍යායන් අපේ රටේ ඉතා සුලබ දෙයකි. මා හට රාජපක්ෂලා සමග දේශපාලන ගැටුමක් තිබෙන බව ඇත්තය. නමුත් අද පවා සමහරුන් ඉදිරිපත් කරන මේ මතය ඉතාමත්ම වැරදි සහගත එකකි. මෙය රාජපක්ෂලා නොව ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරයකි. ඒ ඇත්ත තේරුම් නොගැනීමෙන් සිදු වෙන්නේ අප මංමුලා වීම පමණකි.ප්‍රශ්නය විසඳීමට නම් පළමුවෙන්ම ප්‍රශ්නය තේරුම් ගත යුතුය.

වහාම හදිසි නීතිය පණවා ආරක්ෂක හමුදාවලට තත්වය පාලනය කිරීමට නීතිමය තත්වයක් ඇතිකළ යුතු බවත්, කොළඹින් පිටතට කිසිවෙකුට යා නොදී නගරය සීල් කර ඇඳිරි නීතිය පැණවිය යුතු බවත් මාගේ යෝජනාව විය. තත්වය පැහැදිලි නැති හෙයින් එවැන්නක් සිදුකළ නොහැකි බවත්, කෙසේ වෙතත් එවැන්නකට හෝ බලතල ඇත්තේ ජනාධිපතිවරයාට බවත් ප්‍රකාශ විය. තවත් පැයක් දෙකක් යනවිට තත්වයේ බරපතලකම මීගමුවෙන්, මඩකලපුවෙන්, දෙමටගොඩින් ආරංචි විය. ඇඳිරි නීතිය පැණවීමක් නොවුණහොත් ආගමික ගැටුම් ඇතිවිය හැකිය යන්න අගමැතිතුමා ඇතුළු සියල්ලන්ට අවබෝධ වීමෙන් පසු ජනාධිපතිතුමාට මේ පිලිබඳව සෘජුව ප්‍රකාශ කළ යුතු බව යෝජනා විය. ජනාධිපතිතුමාගේ හිතවතෙකු මා හට කීවේ ආරක්ෂක ප්‍රධානීන්ට තත්වය පාලනය කිරීමට දැනටමත් ජනාධිපතිතුමා නියෝග කර ඇති බවය.

මාගේ ආරක්ෂක නිලධාරීන් විරෝධය දැක්වුවත් එය නොතකා කොච්චිකඩේ පල්ලියට යා යුතුම යැයි මට සිතුණි. ඛේදවාචකයේ තරම අවබෝධ වූයේ එහි ගිය විටය. තැන තැන මළ සිරුරු වැටී තිබුණි. ලේ ගඳ, පිපුරුම් ද්‍රව්‍යවල ගඳ, කළු පැහැති දුමාරය සමග නාස්පුඩුවලට දැනෙන්නට විය. මට අතීතය මතක් විය. 1987 අප්‍රේල් 21 පිටකොටුව බස් නැවතුම්පලේ ප්‍රහාරය පළමුව සිහියට නැගුණි. කොළඹ වෛද්‍යපීඨය අසල මෘත ශරීරාගාරයේ ගොඩගැසී තිබුණු මළකඳන් සිහිවිය. ඉන්පසු කී වතාවක් එවැනි දෑ සිදුවිනිද? 1987 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පෙළපාලි ගියවුන්ගේ මළ සිරුරු සමග මම රැයක් පහන් කළා මතකය. ඒ අපගේ විශ්ව විද්‍යාල සගයින් වූ නිමල් හා ක්ලිෆඩ් එදින මරා දැමුණු නිසාය. ඉන්පසු මහ බැංකු ප්‍රහාරය (මාගේ වැඩිමහල් සොහොයුරිය එවකට සේවය කළේද මහ බැංකුවේය) සිදුවීමෙන් පසු මළ සිරුරු ගොඩගැසී තිබුණු ආකාරය මට මතක් විය. පදවි පරාක්‍රමපුර, මංගලගම, කැබිතිගොල්ලෑව වැනි ගම්මානවල ඝාතන මගේ මතකයට නැගිණි. අලිමංකඩ සිදුවීමෙන් පසු රතුකුරුසයට බාරදුන් සෙබල දරුවන්ගේ සියගණන් මළ සිරුරු වලදැමූ ආකාරය මට සිහිපත් විය. 1985-2009 කාලය තුළ මගේ තරුණ දිවියෙන් බොහෝ කාලයක් මම කැපකළේ ත්‍රස්තවාදයට එරෙහිවය. මළකඳන්, සමූහ මිනී වලවල්, ටයර් සෑයවල් හරහා ලේ කඳුළු මැදින් අපගේ තරුණ දිවිය ගෙවී ගියේය. මේ නැවත එවැනි අඳුරු යුගයක ආරම්භයක්ද? අපගේ දරුවන්ටද ලේ කඳුළු සමග ජීවත් වීමට සිදුවේවිද?

අප්‍රේල් 21 රාත්‍රිය මා සිටියේ නිදි වර්ජිතවය. එක අතකින් තවත් ත්‍රස්ත ප්‍රහාර එල්ලවේදැයි යන සැකයයි. අනෙක් පසින් කෝපයට පත් ජනයා ආවේගශීලීව ආගමික ගැටුම් ඇතිකරාවිය යන බියයි. පසුගිය කාලය පුරාවටම අලුත්ගම, දිගන, අම්පාර ආදී ප්‍රදේශවල ඇතිවූ ගැටුම් මුලදීම පාලනය කිරීමට රජයට නොහැකිව තිබිණි. රාත්‍රියේ ආරංචි වූයේ ජනාධිපති තුමා එන මාර්ගය අසල ගුවන් තොටුපල ආසන්නයේ පයිප්ප බෝම්බයක් තිබී සොයාගත් බවය.

පසුදා උදෑසන ජනාධිපතිතුමා ඇමතිවරුන්ගේ රැස්වීමක් කැඳවා තිබිණි. ආරක්ෂක ප්‍රධානීහු තත්ත්වය පැහැදැලි කළහ. ඒ වනවිට සමාජ මාධ්‍යවල පලවී තිබූ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇමති ආරක්ෂක අංශවලට යැවූ අනතුරු ඇඟවීම ප්‍රධාන මාතෘකාව විය. පැහැදිලි අනතුරු ඇඟවීමක් තිබියදීත් ප්‍රහාරය වලක්වාගෙන නැති බව කාටත් පැහැදිලි විය.

ඉන්පසු ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් පැවැත්විණි. කැමති ඇමතිවරුනට එයට සහභාගීවන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. අගමැති රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අර්ජුණ රණතුංග, රාජිත සේනාරත්න වැනි ඇමතිවරු සමග මමද එයට සහභාගි වුණෙමි. බුද්ධි අංශ ප්‍රධානියා (SIS) ප්‍රහාරය ගැන, ප්‍රහාරකයින් ගැන ඔවුන්ගෙන් නොමල පිරිස් ගැන සිදුකරන මෙහෙයුම ගැන දීර්ඝ විස්තරයක් කළේය. මාවනැල්ල හා පුත්තලම ගොවිපල ආදියේ සිදුවූ සිදුවීම් පිළිබඳවද වාර්තාවිය.
ඉන්පසු රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීම් කිහිපයකට මමද සහභාගි වුණෙමි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක් රැස්වීමකට සහභාගිවී සුළු වේලාවක් රැඳී සිට පිටවී ගියේය.

අප්‍රේල් 26 රාත්‍රියේ සයින්දමරුදු වල සිදුවූ ප්‍රහාරයෙන් හා පිපිරීමෙන් පසු සහරාන් හෂීම්ගේ ත්‍රස්ත කල්ලිය පිළිබඳවද අභ්‍යන්තර තොරතුරු රැසක් කරලියට ආවේය. කොළඹ මාළිගාවත්තේ හා කාත්තන්කුඩියේ ක්‍රියාත්මක වූ තව්හිද් ජමාත් නම් ඉස්ලාමීය සංවිධානය ගැන දශකයකට වැඩි කලක සිට ආරක්ෂක අංශ දැන සිට ඇත. එහි ඇතැම් නායකයෝ හා සාමාජිකයෝ ආරක්ෂක බුද්ධි අංශ සමග කිට්ටුවෙන් වැඩකළහ. එමෙන්ම, තව්හිද් ජමාත් ව්‍යාපාරය දෙකඩ වෙමින් අලුත් අලුත් සංවිධාන බිහි කිරීමත්, ඇතැමෙක් දකුණු ඉන්දියානු සංවිධාන සමග සම්බන්ධතා පවත්වා ගැනීමත් වාර්තා වී තිබිනි. සහරාන් හෂීම් 2011 තරම් කාලයේ සිට වෙනත් මුස්ලිම් ආගමික කණ්ඩායම් සමග ගැටුම් ඇතිකරගත් අයෙකි. තව්හිද් ජමාත් ව්‍යාපාරය නව පල්ලි ඇති කිරීමට ගොස් බේරුවල, පුත්තලම ආදී ප්‍රදේශ ගණනාවක ගැටුම් ඇතිකරගෙන තිබිණි. කෙසේ වෙතත් වැදගත් කරුණක් වූයේ මාවනැල්ල, කුරුණෑගල ආශ්‍රිතව ගොඩනැගී තිබුණු නව අන්තවාදී සංවිධානය හෝ කොළඹ දෙහිවල ආශ්‍රිතව ව්‍යාපාරික හා වෘත්තීයවේදී ලෙස සංවිධානය වී තිබුණු නව අන්තවාදී සංවිධානය පිළිබඳව බුද්ධි අංශවලට ප්‍රමාණවත් තොරතුරු ලැබී නොතිබීමය. පාස්කු ප්‍රහාරය එල්ල වූයේ කාත්තන්කුඩි – සයින්දමරුදු කණ්ඩායම හා මාවනැල්ල – කුරුණෑගල සංවිධානය සමග කොළඹ – දෙහිවල සංවිධානය එක්වීමෙනි.

මොවුන් හුදු ආගමික දේශනාවලට සීමා නොවී අවි ගැනීමට සූදානම් බවට වූ පළමු සංඥාව වූයේ 2018 නොවැම්බර් 30 මඩකලපුව, වවුනතිව් පොලිස් මුරපොලට පහරදී අවි පැහැර ගැනීමය. අවාසනාවට විපක්ෂය එය දුටුවේ 2015 සිටම තමන් ප්‍රකාශ කරමින් තිබූ කොටි නැගිටින කතාවට ජීවමාන සාක්ෂියක් වශයෙනි. 2009 සිටම මා විශ්වාස කරන දෙයක් වන්නේ එල්ටීටීඊ සංවිධානයට නුදුරු අනාගතයේදී සන්නද්ධ නැගිටීමක් කිරීමේ ප්‍රායෝගික හැකියාව ඉතාමත්ම අඩු බවය.

මේ ශබ්ද ඝෝෂාවට යටත් වීමේ ප්‍රතිඵලය වූයේ ඇත්ත වරදකරුවන් හඹා යනු වෙනුවට හිටපු කොටි සාමාජිකයන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීමය. ඉන්පසු 2018 දෙසැම්බර් 24 දා බුදුපිළිම හා ක්‍රිස්තියානි සුරුවම් වලට හානි සිදුවිය. එම සිදුවීම් හඹා යද්දී මාවනැල්ල – කුරුණෑගල කල්ලිය ගැන තොරතුරු ලැබිණි. මේ පිළිබඳව හෙළිදරව් කළ, කබීර් හෂීම් ඇමතිතුමාගේ ලේකම්වරයෙකු වන තස්ලීම් මහතාට ප්‍රහාරයක් එල්ල විය. නමුත් නොයෙක් ඕපාදූප මැද එයද යට ගියේය. කෙසේ වෙතත්, පුත්තලම ප්‍රදේශයේ “කොලාට්” පොල් වත්ත හා එහි සඟවා තිබුණු පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ පැහැදිලි තොරතුරු 2019 ජනවාරි 18 වනවිට ලැබිණි. සති කිහිපයක් යනවිට තමන් ඉස්ලාමීය සන්නද්ධ ව්‍යාපාරයකට සම්බන්ධ බවත්, නුවර එළිය ප්‍රදේශයේ පුපුරණ කඳවුරකට ගිය බවත් එක් පුද්ගලයෙකු පාපොච්ඡාරණය කර තිබිණි. 2019 අප්‍රේල් 08 පළමු අනතුරු ඇඟවීම ආවේය. 2019 අප්‍රේල් 16 කාත්තන්කුඩියේදී පිපිරීම් අත්හදා බැලිනි. අප්‍රියෙල් 18 හා 20 නැවත නැවත විදේශ බුද්ධි අංශවල අනතුරු ඇඟවීම් සිදුවිය. මේ සිදුවීම් මාලාව නිසි ලෙසට පෙළගස්වා ගත්තා නම් සිදුවෙමින් පවතින ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමට ආරක්ෂක අංශවලට සම්බන්ධ නැති අයෙකුට පවා හැකිවිය යුතුව තිබිණි. එහෙත් රටේ අවාසනාවට එය සිදු වූයේ නැත.

වරද සිදු වූයේ කොතැනද? මගේ හැඟීමේ හැටියට නම් වැරදේ වැඩිම වගකීම භාර ගත යුතු වන්නේ ආරක්ෂක ඇමති ලෙසත්, සේනාධි නායකයා ලෙසත් කටයුතු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඔහු 2018 ඔක්තෝබර් 26 දින සිදුකළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය විසින් ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය දුර්මුඛ කළේය. විශේෂයෙන්ම පොලීසිය තුළ අභ්‍යන්තර පුද්ගලික ගැටුම් උත්සන්න විය. නාමල් කුමාර – නාලක සිල්වා නාටකය කරලියට ගෙන ආවේ ඇතැම්විට අනුකම්පාව දිනා ගැනීමේ උපක්‍රමයක් ලෙස වුවද එය ආරක්ෂක අංශ තුළ වූ බෙදීම් තීව්‍ර කළේය. සිදුවීම් සම්බන්ධයෙන් වූ විමර්ශනයන් එක තැන පල් වන්නට විය. විශේෂයෙන්ම ඔහුගේ ලොකුම වරද නම් 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් පසුව යළි එජාපය ප්‍රමුඛ සංධානයට බලය ලැබුණු විට, යළිත් එම ආණ්ඩුවත් සමග සහයෝගයෙන් කටයුතු කරනු වෙනුවට, පුද්ගලික කෝන්තරයකදී හැසිරෙන ආකාරයෙන් හැසිරෙන්නට වීමය. පරිණත දේශපාලනඥයෙකු හා ප්‍රධානතම පුරවැසියා වෙතින් දිස්විය යුතු පරිණත බව ඔහු කෙරෙන් විද්‍යමාන නොවීය. මෙයින් රාජ්‍ය යාන්ත්‍රණය, විශේෂයෙන්ම ඔහු වගකීම දරන ජාතික ආරක්ෂාව විෂයය නායකත්වයක් නැති, මෙහෙයවීමක් නැති දෙයක් බවට පත්විය.

දෙවැනි වගකීම යන්නේ අගමැති රනිල් වික්‍රමසිංහටය. ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් පසුව යළිත් අගමැති ධූරය ගත පසුව තමන්ට ජනාධිපතිවරයා විසින් ආරක්ෂක මණ්ඩලයට ආරාධනා නොකිරීම ගැන නිහඬව සිටීම සම්බන්ධයෙන් ඔහුට සමාවක් නැත. රනිල් වික්‍රමසිංහ යන පුද්ගලයාට, මෛත්‍රීපාල සිරිසේන නැමති පුද්ගලයා පුද්ගලික ආරාධනවක් නොකිරීම ගැන ඉවසා සිටීම රනිල් වික්‍රමසිංහගේ නිහතමානීකම ලෙස සැලකිය හැකි වුවද රටේ අගමැති පදවිය දරන්නා ලෙස එයට එරෙහිව ක්‍රියා නොකිරීම බරපතල දේශපාලන නොසැලකිල්ලක් හා වගකීම් විරහිත හැසිරීමකි. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවේ නායකයා වන්නේ ජනාධිපතිවරයා යැයි සුලබව කියවුනද, ඇත්ත තත්ත්වය වන්නේ ආණ්ඩුවේ නායකයා වන්නේ ඇත්තෙන්ම නම් පාර්ලිමේන්තුවේ බහුතර බලය දරන්නා බවය. ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහට රටක ආණ්ඩුවේ නායකයා ලෙස ක්‍රියා කිරීම වගකීම නිසැකවම පැවරී තිබුණි. අගමැතිධුරයේ තත්ත්වය 19 වන සංශෝධනයෙන් තවත් බලවත්ව පැවතුණි. එසේම ඔක්තෝබර් කුමන්ත්‍රණය පරාජය කිරීමෙන් පසුව ආණ්ඩු බලය අගමැතිවරයාගේ පාර්ශවයට නියතවම ලැබුණු බවද අමතක නොකළ යුතුය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩු නොකර සිටීමේ අයිතියක් නොතිබුණි. ආණ්ඩුවක මූලිකම වගකීම නම් නීතිය හා සාමය රකිමින් ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂා කර දීමය.

අනෙක් අතින් මේ රටේ ජනතාව 2015 දී ලබාදුන් විශිෂ්ට ජන වරම බාල්දු වූයේම අගමැතිවරයා විසින් නීතිය හා සාමය භාර අමාත්‍ය ධූරය තමන්ගේ ගජමිතුරු “ඩීල්කරුවන්ට” ලබාදීම නිසා බවද අමතක නොකළ යුතුය. 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණය ජය ගැනීමෙන් පසුව වුව අගමැතිවරයා මේ ධූරය ගැන දැරූ ආකල්පය වූයේ තමන්ගේ ගජමිතුරෙකුට නොලැබේ නම් එය ජනාධිපතිවරයා ගාවම තිබුණාවේ යන්නයි. රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම ධූරය දැරූ කෙටි කාලයේදී ඔහුට එම කටයුතු ස්වාධීනව කිරීමට ඉඩ ලැබුණේම නැත. මේ ගැන මටද පුද්ගලික අත්දැකීම් ඇත.

ඛේදවාචකයෙන් පසුව පවා අගම්තිවරයා වගකීම සහගත සහ විවෘත ලෙස හැසිරීමට උත්සාහ කළේ නැත. පාස්කු ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අමාත්‍ය ධූරය හෝ නීතිය හා සාමය අමාත්‍ය ධූරය එක්සත් ජාතික පෙරමුණට ලබාගත යුතුය, නැත්නම් ජනතාව ඉදිරියේ වෛරයට ලක් වන්නේ අපය යන අවබෝධය පොදුවේ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියළු දෙනාටම ඇති විය. මේ කාලයේ ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කළ එ.ජා.පෙ. ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් නීතිය හා සාමය අමාත්‍ය ධූරය එ.ජා.පෙ. ට ලබාදීමට ජනාධිපතිවරයා එකඟකරවා ගත්තේය. දිනක් ජනාධිපතිවරයා මා හට ඇමතුමක් ලබාදී නිල නිවසට එන ලෙස කීවේය. එ.ජා.පෙ. ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙක් එහි විය. නීතිය හා සාමය අමාත්‍ය ධූරය භාර ගන්නා ලෙස ජනාධිපතිතුමා මට යෝජනා කළේය. ඒ සඳහා අගමැතිවරයා විමසිය යුතු බව මම කීවෙමි. සියල්ලන්ගේ අදහස වූයේ අගමැතිගේ කැමැත්ත එයට නොලැබෙන බවය. කෙසේ වෙතත් දින 52 ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කාලයේ අප විසින් මතුකළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සිහිකර ගනිමින්, මම මේ පිළිබඳව අගමැතිවරයාට කීවෙමි. ඔහුගේ පිළිතුර වූයේ ආණ්ඩු පක්ෂය ලෙස ඒ ගැන තීරණයක් ගත යුතු බවයි. පසුදින මාධ්‍ය මගින් ආරංචි වූයේ එ.ජා.පෙ. විසින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා නීතිය හා සාමය අමාත්‍ය පදවියට යෝජනා කර ඇති බවය.! සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක කටයුතු, ත්‍රස්ත විරෝධී කටයුතු හා මෙහෙයුම් වලදී අද ලංකාවේ සිටින වටිනාම පුද්ගලයා බව මගේද පිළිගැනීමයි. නමුත් ඔහු හා ජනාධිපතිවරයා අතර ඇතිව තිබූ විරසකය නිසා එකී ධූරය ඔහුට ලබාදීමට ජනාධිපතිවරයා කිසි ලෙසකින්වත් එකඟ නොවන බව අගමැති රනිල් දැන සිටියේය. කවුරුත් තේරම් ගත්තේ වික්‍රමසිංහ මහතා ඔහුව යෝජනා කළේම එය තම සමීප කණ්ඩායමේ කෙනෙකුට නොලැබේ නම් ජනාධිපති ලඟම එය තිබිය යුතුය යන ඔහුගේ සුපුරුදු ප්‍රතිපත්තියේ පිහිටමින් බවය.

අනෙක් අතින් මධ්‍යස්ථ මුස්ලිම් ජනතාවද සම්බන්ධ කරගෙන සියළු ආකාරයේ අන්තවාදයන්ට වැට බඳින නීති රීති සම්මත කර ගැනීමට ස්වර්ණමය අවස්ථාවක් පාස්කු ප්‍රහාරයේ පසුව ඇතිවිය. අපද සහභාගිවී ඇතිකළ “ජාතික මග” නැමති ව්‍යාපාරය මේ පිළිබඳව සංවිධිත යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කළේය. පාර්ලිමේන්තුවේදී මලිත් ජයතිලක මන්ත්‍රීතුමා මූලික වී ආරක්ෂක කාරක සභාව හරහා යෝජනා රැසක්ද ලබා ගත්තේය. අධිකරණ ඇමතිතුමියද විටින් විට කැබිනට් පත්‍රිකා මගින් නව නීති හඳුන්වා දීමට උත්සාහ කළාය. පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට හා ජනයාගේ හදවතට දැනුනු වේදනාවට පිළිතුරු සැපයිය යුතුව තිබුණේ එවැනි නව නීති පෙළක් විසින් ශ්‍රී ලාංකික නීති රාමුවක් තුළ ත්‍රස්තවාදය මැඩලීම හා ආගමික අන්තවාදයට වැට බැඳීමට ක්‍රියා කිරීමට මගිනි. නමුත් අවාසනාවට ජනාධිපති හා අගමැති යන දෙදෙනාම ඒ පිළිබඳව උනන්දුවක් දැක්වූයේම නැත. ඔවුන් දෙදෙනාම ඒ අවස්ථාවට පයින් ගසා ඒ වෙනුවට උනුන් පරදවන ක්‍රම සහ විධිවලට උනන්දු වූහ.

මෙහිදී තවත් දෙයක් විශේෂයෙන් සඳහන් කළ යුතුය. සාමාන්‍ය ජනයා සිතන්නේ කැබිනට් මණ්ඩලයේ සිටින සියලු දෙනාට ආණ්ඩුකරණ ක්‍රියාවලියේදී සම අවස්ථාව ලැබෙනු ඇති බවය. එහෙත්, ප්‍රායෝගිකව ආණ්ඩු පවත්වා ගන්නේ ආණ්ඩුවේ ප්‍රධානියා හෝ ප්‍රධානීන් කිහිප දෙනෙකු වටා එක්වුණු බල කණ්ඩායමක් විසිනි. කුස්සි කැබිනෙට්ටුව ලෙස හඳුන් වන්නේ මෙයයි. සිරිමාවෝ මැතිණියගේ කාලයේ එහි ෆීලික්ස්, රත්වත්තේ ඇතුළු පිරිසක් විය. ජේ.ආර්.ගේ කාලයේ එහි එස්මන්ඩ්, ලලිත්, මැණික්දිවෙල ආදී පිරිසක් විය. චන්ද්‍රිකාගේ කාලයේ එය ජී.එල්, කදිරගාමර්, මංගල, එස්.බී. වැනි පිරිසක් හා මනෝ තිත්වැල්ල වැනි නිලධාරී පිරිසක් විය. මහින්ද රාජපක්ෂගේ කාලයේ එය ඔහුගේ සහෝදරයින් විය. එයාකාරයෙන්ම රනිල් වික්‍රමසිංහගේ කාලයේදී ඔහුගේ ඇත්ත ආණ්ඩුව සමන්විත වූයේ ඔහුගේ ගජ මිතුරන් කණ්ඩායමෙනි. මේ කණ්ඩායමේ දැකිය හැකි විශේෂත්වයක් වූයේ ඊට පෙර ආණ්ඩුවල පැවති එබඳු කණ්ඩායම් සෑම එකකටම වඩා රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම දුර්වල සහ අකාර්යක්ෂම එකක් වීමය. ඒ නිසා සංකීර්ණ ප්‍රශ්න හෝ අර්බුදවලට මුහුණ දීමේ හැකියාවක් ඔවුන්ට නොවීය. මේ තත්ත්වය පාස්කු ප්‍රහාරයට යම් පසුබිමක් සකස් කළ අතරම එයින් පසු එහි දේශපාලන ඵලවිපාකයන්ට මුහුණ දීමේදී ඉතා දුර්වලබවක් පෙන්වීමටද හේතු විය.

දේශපාලන අධිකාරියෙහි මේ සියලු දුර්වලතා මේ මහා ඛේදවාචකයට හේතු වූ බවට සැකයක් නොමැත. එහෙත් ඒ අතරම පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල හැසිරීම සම්බන්ධයෙන්ද යම් නොපැහැදිලිතාවක් ඇති බවද සඳහන් කළ යුතුමය. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමෙහිලා බුද්ධි අංශවල කාර්යය ඉටු වී ඇති බව පැහැදිලිය. එහෙත් ඒ මත පිහිටා කාර්යක්ෂම ලෙස මෙහෙයුම් අංශවල වගකීම ඉටු නොවූයේ ඇයිද යන්න ගැටලුවකි. රාජ්‍යයේ දේශපාලන අධිකාරියෙහි අකාර්යක්ෂමතාවක් සහ විභේදනයක් තිබූ බව ඇත්තය. නමුත් මෙතරම් බැරෑරුම් අනතුරක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට පමාවීම සම්බන්ධයෙන් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත යම් වගකීමක් පැවරෙන බව පැහැදිලිය. අපරාධයක් වළක්වා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලීසියට ඇති සාමාන්‍ය බලතල පාවිච්චි කරන්නට ආණ්ඩුවෙන් උපදෙස් ලැබෙන තෙක් සිටීමට අවශ්‍ය නැත.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව සතියක් ඇතුලත සහරාන් හෂීම්, ඉබ්‍රාහිම් ඇතුළු ත්‍රස්ත කල්ලිය හඳුනා ගැනීමට හා නිෂ්ක්‍රිය කිරීමට ආරක්ෂක අංශයන්ට හැකිවිය. එමෙන්ම, තැන තැන විවිධ උසිගැන්වීම් මත ගැටුම් ඇතිවුවද 1983 ජූලි පන්නයේ මහා පරිමාණ ආගමික ගැටුමක් වලක්වා ගැනීමටද රජය සහ ආරක්ෂක අංශ සමත් විය. ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් පසුව ගත වූ වසර තුළ එබඳු ප්‍රහාරයක්වත් එසේම ආගමික ගැටුමක්වත් ඇති වූයේ නැත. එය ප්‍රශංසාවට ලක්විය යුතු දෙයකි.

එහෙත් එසේ ප්‍රහාරයක් එල්ල නොවීම නිසාම මේ තර්ජනයේ ස්වභාවය සුළු කොට තැකිය යුතු නැත. මේ ආගමික ත්‍රස්තවාදය තවමත් ලොව පුරාම සක්‍රීය දෙයකි. අල් කයීදා විනාස වූ විට අයිසිස් මතු වූවාක් මෙන් අලුත් නමකින් අලුත් වේශයකින් මෙය යළි යළිත් මතු විය හැකිය. ලෝකයේ කොහේ හෝ කොරෝනා තිබෙන තෙක් අපේ රටද අනාරක්ෂිත වන්නේ යම් සේද ලෝකයේ කොතැනක හෝ මේ ආගමික අන්තවාදය පවතින තෙක් අපද අනාරක්ෂිතය. අප සැමදා මතක තබා ගත යුතු සත්‍යය එයයි.

පාඨලී චම්පික රණවක

SendShareShare
Previous Post

නේවි එක ඇල්ලූ විශාලම කුඩු තොගයෙන් කොටසක් හොරෙන්ම විකුණුවේ කව්ද-කාටද?

Next Post

ගෝඨාව ලෝකෙන්ම 9 කරපු CMAA පිටිපස්සේ ඉන්නේ කව්ද?

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.