කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් හමුවීමට දින කිහිපයකට පෙර ආරක්ෂක අංශ ප්‍රධානියෙක් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙක්ව කොළඹ පිහිටි සිය කාර්යාලයට කැඳවන්නේ විශේෂ කරුණක් පිළිබඳව ඔහුගෙන් යමක් දැන ගැනීමේ අරමුණිනි. ඒ වෙන කිසිවක් නොව, ජාත්‍යන්තර මත්කුඩු ජාලයේ ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගමන් මාර්ගය ගැන දැන ගන්නටය.
මෙම නිලධාරියා පොලිස් පරීක්ෂකවරයෙක් වුවත් හරි නම් ඔහු සිටිය යුත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයක හෝ සහකාර පොලිස් අධිකාරී ධුරයේය. ඒ තරමටම ඔහු මෙරට මත්කුඩු ජාලය බිඳ දැමීමට වැඩ කොටසක් කර ඇති නිලධාරියෙකි. 2015 වසරේදී සීනි කන්ටේනර් අස්සේ සගවා මෙරටට රැගෙන පැමිණි කොකේන් තොග අල්ලන්නට පවා මුල්ම ඔත්තුව ලැබුණේ ඔහුටය. එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය සංදර්ශන පවත්වමින් එදා ප්‍රසිද්ධියේ විනාශ කළේ එම මත්කුඩු තොගයන්ය. එම නිලධාරියාගේ තොරතුරු මත මෙතෙක් වටලා ඇති මත්කුඩු ප්‍රමාණය කිලෝ 1000කට වැඩිය. මුහුදේ මෙන්ම ගොඩබිමේද ඔහු තබා ඇති වාර්තා අදටත් කිසිවෙක් බිඳ හෙලන්නට සමත්ව නැත. ඒ මෙම නිලධාරියාට ඒ තරමට මත්කුඩු අල්ලන්නට ඇති සම්බන්ධකම් මෙන්ම තොරතුරුකරුවන් බොහෝය. පාකිස්තානයෙන් මෙරටට ගෙන ඒමට මත්කුඩු තොග නෞකාවට පටවන විට මේ නිලධාරියාට එය රහසක් නොවන තරමට ඔහුගේ තොරතුරු ජාලය ශක්තිමත්ය. එම ඔත්තුකරුවන් අතර බන්ධනාගාරගත රැඳවූවන් මෙන්ම මරණීය දණ්ඩනයෙන් දඬුවම් ලබන සිරකරුවන්ද නැතුවාම නොවේ. ඒ කුමන පුද්ගලයින් සමග වුවත් සම්බන්ධකම් ගොඩනගා ගනිමින් ඔහු කරන්නේ රාජකාරිය දේවකාරියක් සේ සලකාය.
මේ නිලධාරියාව සිය කර්යාලයට කැඳවූ ආරක්ෂක අංශ ප්‍රධානියා ඉතා සුහද කතාබහක නිරතවන්නේ තේපැනින් ඔහුට සංග්‍රහයක්ද කරමිනි. ඔහුව ඒ හදිසියේ කැඳවීමට මුල්වූ කාරණාව එම ආරක්ෂක අංශ ප්‍රධානියාගේ මුවින් එළියට එන්නේ අනතුරුවය. ඒ පාකිස්තානයත්, ඉරාන් දේශසීමාවත් අතර ඇති ධීවර වරායකින් හොර රහසේ කුඩා නෞකාවන්ට පටවන මත්කුඩු තොග ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දුනීසියාව, සීසෙල්ස් සහ ඕස්ටේ්‍රලියාවට රැගෙන යන ගමන් මාර්ගය ගැන විමසීමේදීය. ඒ ගැන හසළ දැනුමකින් හෙබි මෙම නිලධාරියා කිසිවක් සඟවන්නට ගියේ නැත. පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ජාත්‍යන්තර මුහුදු සැපයුම් මාර්ගය ගැන සියල්ල නොසඟවා හෙළි කළේය.
නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී දැවැන්ත වැටලීමක් කරමින් දහසකට අධික මත්කුඩු තොගයක් සමග ඉරාන් නෞකාවක් පාකිස්තානුවන් 09 දෙනෙක් සමග අත්අඩංගුවට ගන්නේ එම කතාබහින් සතියක් දෙකක් ඉක්මවන්නට මත්තෙනි. එම වැටලීම මෙරට ඉතිහාසයේ සුවිශේෂී වැටලීමකි. එම මත්කුඩු තොගය මෙරටට රැගෙන ඒමට නියමිතව තිබූවක් බව නාවික හමුදාව පාර්ශ්වයෙන් මුල් අවස්ථාවේදී කියැවුණත් මේ වන විට අනාවරණය වෙමින් ඇති තොරතුරුවලට අනුව එම මත්කුඩු තොගයේ ගමනාන්තය ඕස්ටේ්‍රලියාවයි. ඒ ඉන්දුනීසියාවේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේද සහය ඇතිවය.
නාවික හමුදා ඉතිහාසයේ ගැඹුරු මුහුදේදී කළ විශාලතම මත්කුඩු වැටලීම මෙන්ම මෙරට ආරක්ෂක අංශයක් විසින් කළ විශාලතම වැටලීම ලෙස මේ වන විට ඉතිහාසගතව ඇත්තේ මෙම මත්කුඩු තොගයයි. නාවික හමුදාව පාර්ශ්වයෙන් නිල වශයෙන් මෙම වැටලීම ගැන කියැවුණේ ඔවුන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කළ බවකි. මත්කුඩු සමග අල්ලාගත් නෞකාවේ එම නෞකාව අයත් රටේ ධජය නොමැති වීම මෙම නෞකාව කෙරෙහි සැකයක් උත්පාදනය වීමට බලපෑ බවද කියැවුණි.
ඒ අතර විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයාට අදාළ ආරක්ෂක අංශ ප්‍රධානියාගේ සහයකයෙකුගෙන් ඇමතුමක් ලැබෙන්නේ ස්තූතියක්ද සමගිනි. ඒ මෙරට ඉතිහාසයේ ලොකුම මත්කුඩු වැටලීමට මුල්වූයේ ඔහුගෙන් ලද තොරතුරු ඉවහල්වූ බව සඳහන් කරමිනි. ඒ ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට නොහැකි වීම ගැන කනගාටුවද එහිදී එම සහායකයා පළකරන්නට විය.
මේ අතර අහංගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුලද සිල්වාට සිය තොරතුරුකරුවෙක් මගින් ඔත්තුවක් ලැබෙන්නේ කොළඹ ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙකු විසින් පාකිස්තානයෙන් කළ මත්කුඩු කිලෝ සිය ගණනක ඇණවුමක් ගැනය. එම මත්කුඩු තොගය ඉරාන් නෞකාවට පටවන දින වකවානු පවා මංජුල ද සිල්වාට සිය ඔත්තුකරු මගින් දැනගන්නට ලැබෙන්නට විය.
මංජුලද සිල්වා යනු විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ කලක් සේවය කළ නිලධාරියෙකි. යුද්ධය දරුණුවටම පැවැති වකවානුවේ කොළඹ පිපිරවීම් සඳහා සූදානමින් සිටි ත්‍රස්තයින් රැසක්ම ඔහු කොටුකරගත්තෙකි. 2010 වසරේ ඔහු නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාව සිටියදී ලද ඔත්තුවකට අනුව දකුණු මුහුදේදී කිලෝ 105ක මත්කුඩු තොගයක් අල්ලන්නේ එවකට මහා මුහුදේදී අල්ලාගත් විශාලතම මත්කුඩු තොගය ලෙස ඉතිහාසයට එක්වෙමිනි. එම මෙහෙයුමට නාවික හමුදාවේ සහය ලැබී තිබුණු අතර මෙහෙයුම සංවිධානය වූයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උපදෙස් ඇතිවය.
මෑතකදී බණ්ඩාරගමින් අල්ලාගන්නා හොරොයින් කිලෝ 200 වැටලීමද සිදුවූයේද මංජුල ද සිල්වාගේ නායකත්වයෙනි. මෙවර ඔහුට ලැබුණු ඔත්තුවට අනුව මෙරටට රැගෙන ඒමට පාකිස්තානයෙන් පැටවෙන්නේ ඊටත් වඩා විශාල මත්කුඩු තොගයකි. මේ ගැන ඔහු සිය ඉහළ නිලධාරීන්ව මෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානීන්වද දැනුවත් කළේය. ඒ අයගේ උපදෙස වූයේ මහා මුහුදේදී වැටලීම කර මත්කුඩු තොගය සමග ඉරාන් හෝ පාකිස්තාන් ජාවාරම්කරුවන් අල්ලා ගන්නවා වෙනුවට මෙරට නියෝජිතයින් කොටු කර ගැනීමට මෙහෙයුමක් දියත් කිරීම වැදගත් බවය. ඒ අනුව මංජුලද සිල්වා ඉහළ නිලධාරීන්ගේ උපදෙසින් විශ්වාසවන්ත නිලධාරීන් කණ්ඩායමක් සමග රහස් මෙහෙයුමත් සංවිධානය කළේය. එම මෙහෙයුමට නාවික හමුදාවේද සහය ඇවැසි වූ බැවින් ඔහු නාවික හමුදාවේ බලධාරීන් කිහිප දෙනෙක්ද හමුවිය. සැලසුම වූයේ ධීවර වෙස් ගෙන දකුණෙන් ඈත මුහුදට යන ට්‍රෝලරයකට පාකිස්තානයෙන් පැමිණෙන ඉරාන් නෞකාවෙන් මත්කුඩු තොගය පටවන අයුරු නාවික හමුදා යාත්‍රා මගින් නිරීක්ෂණය කිරීමය. එම මත්කුඩු තොගය ඉරාන් නෞකාවෙන් භාර ගැනීමට ඈත දියඹට යන ට්‍රෝලරයද ඒ වන විටත් මංජුල ද සිල්වා ඇතුළු නිලධාරීන් සිටියේ හදුනාගෙන ය. එම ට්‍රෝලරය ගැන පවා නාවික හමුදාව දැනුවත් කළ මංජුල ද සිල්වා සූදානමින් සිටියේ මත්කුඩු තොගය ගොඩබිමට රැගෙන විත් වෙනත් වාහනවල පටවාගෙන කොළඹට රැගෙන ගොස් ඒවා මෙරට ප්‍රධාන ජාවාරම්කරුට භාරදෙන විටම අල්ලා ගන්නටය. මංජුල සිල්වාට සිය ඔත්තුකරුවන්ගෙන් ලැබී තිබුණු තොරතුරුවලට අනුව එම මත්කුඩු ජාවාරම්කරු ආරක්ෂක අංශවලට සම්බන්ධ වූ අය ඇසුරුකරන සුදුපිරුවට හැඳි පුද්ගලයෙකි. සැලසුම් කරන්නේ සුදුවත ගලවා එම ජාවාරම්කරුගේ සැබෑ වත පෙන්වන්නටය. එහෙත් ඒ සියලු සැලසුම් බිඳ වැටෙන්නේ මංජුල සිල්වා විසින් ගොඩබිමට එන තුරු බලා සිටි නාවික හමුදාවද ඒ ගැන දැන සිටි මත්කුඩු රැගෙන පැමිණි ඉරාන් නෞකාව අතර මගදීම නාවික හමුදාව විසින් අල්ලා ගැනීමය. නාවික හමුදාව නම් කියන්නේ ඔවුන්ට ලැබුණු තොරතුරකට අනුව එම වැටලීම කළ බවය. ඒ අය අහංගම පොලීසියේ මෙහෙයුම ගැන කියන්නේ නැත. එවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබියදී නාවික හමුදාව මෙම වැටලීම කළ බවට වචනයක්වත් කියන්නේ නැත. නාවික හමුදාව කියන්නේ ඔවුන්ට ලද තොරතුරකට අනුව ඉරාන් ජාතිකයින් 07 දෙනෙක් සමග මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ නෞකාවක් අල්ලාගත් බව පමණි. එම නෞකාවේ හෙරොයින් කිලෝ 281 ක්ද, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 48 ක්ද තිබුණු බව නාවික හමුදාව නිල වශයෙන් සදහන් කරමින් සිටී.
පොලීසිය පැත්තෙන් ඇසෙන්නේ නාවික හමුදාවේ මෙම ක්‍රියාව හේතුවෙන් ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකුට ගැලවෙන්නට අවස්ථාවක් ලැබුණු බවය. අහංගම පොලීසියේ වැටලීම ගැන පොලීසියේ ඉහළ නිලධාරීන් දෙතුන් දෙනෙක් හැරුණු කොට දැන සිටියේ නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් පමණි. මහා ජාවාරම්කරුට නිදහස උරුමකර දෙමින් අතරමගදී මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ නෞකාව අල්ලාගත්තේ කාගේ උවමනාවටදැයි මේ වන විට පොලීසිය ඇතුළේ ඇත්තේ කසුකුසුවකි. ඒ නිසාම මේ ගැන පොලිස් ප්‍රධානීන් මේ වන විටත් බලධාරීන්ගෙන් පරීක්ෂණයක් ඉල්ලා ඇත්තේ යම් සැකයක් ඒ ගැන ඇතිව තිබෙන බැවින් එය නිරාකරණය කර ගැනීමටය.
මෙසේ මත්කුඩු ප්‍රවාහනය කරමින් තිබුණු ඉරාක් නෞකාවක අයිතිය පිළිබඳව පොලීසිය හා නාවික හමුදාව අතර හිත් අමනාපයක් ඇතිවී තිබියදී මෙරට ප්‍රමුඛතම බුද්ධි අංශයකට තොරතුරක් ලැබෙන්නේ පිරිසක් විසින් මත්කුඩු තොගයක් අලෙවි කිරීමට දරන උත්සහයක් ගැනය. එම තොරතුර එම බුද්ධි නිලධාරීන්ට ලැබෙන්නේ තෙවැනි පාර්ශ්වයක් හරහාය. එබැවින් ඒ ගැන වැඩි තොරතුරු සොයා බලන්නැයි එම බුද්ධි අංශ ප්‍රධානීන් අදාළ තොරතුර රැගෙන පැමිණි නිලධාරියාට දැනුම් දී ඇත්තේ ඒ ගැන පැහැදිලි බුද්ධි තොරතුරක් බලධාරීන්ට ලබා දෙන්නට සහ පොලීසිය සමග එක්ව එම මත්කුඩු තොගය වැටලීමට ඇවැසි පාර කපා ගන්නටය. ඒ විකිණීමට ඇතැයි කියනු ලබන මත්කුඩු තොගය සුළුපටු ප්‍රමාණයක් නොවන බැවිනි.
පොලිසියේ ආයෙමත් කකුල් වැද සමාව ගැනීමක්!!!
කොවිඞ් 19 වෛරස ව්‍යාප්තිය අතර මත්ද්‍රව්‍ය ජාවාරම ගැන මෙවැනි කතා ඇසෙන අතර වැඩබලන පොලිස්පතිවරයාවත් කපාගෙන පොලිස්පති වන්නට මේ වන විට දේශපාලන වන්දනාවේ යමින් සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට නොදෙවෙනි ආකාරයේ රංගනයන්වල මේ දිනවල නිරතව සිටින්නේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම ඉහළ නිලධාරීන්ගේ හාස්‍යයට ලක්වෙමිනි. පූජිත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ව නැගෙනහිර පළාත්භාර පොලිස් ප්‍රධානියාව සිටියදී පොලීසියක්ම දණ ගස්සවා තැබූ වාර්තාවට නොදැවෙනි වාර්තාවක් පසුගිය සතියේ මේ කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තැබුවේය. ඒ විනය විරෝධි ක්‍රියාවකට දඬුවම් කළ පොලිස් සැරයන්වරයෙකුගේ දෙපා නැමැද සමාව ගන්නැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට නියම කරමිනි. ඒ එම සැරයන්වරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සමීපතම ගෝලයෙක් වන බැවිනි.
කාදිනල් හිමියන්ගේ ජයාරූපයක් සමාජ මාධ්‍ය කළඹයි
මේ අතර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා විසින් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වෙත ඉකුත් 12 වෙනිදා විශේෂ ලිපියක් යොමුකර තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය හා සම්බන්ධයෙනි. එම ලිපියට මුල්වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු කාදිනල් හිමියන් හමුවීමකට අදාළව ජායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවීමකි. පාලිත සිරිවර්ධන මහතා පෙන්වා දෙන්නේ කටුවපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ලවීම සම්බන්ධයෙන් චූදිතයෙක් බවට මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා පත්ව ඇති බවය. පාලිත සිරිවර්ධන මහතා පෙන්වා දෙන්නේ එම ප්‍රහාරය වළක්වා ගැනීමට ඔහු නිසි ක්‍රියාමාර්ග නොගත් අයෙක් බවය. එබැවින් එම නිලධාරියා කාදිනල් හිමියන්ට සමීප වී ලබාගත් ජායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම එතරම් සුදුසු නොමැති බව ඇතුළු තවත් බොහෝ කරුණු එම ලිපියෙන් පාලිත සිරිවර්ධන මහතා පෙන්වා දී තිබෙන්නේ ඒ ගැන කාදිනල් හිමියන්ගේ විශේෂ අවධානයට යොමු කරමිනි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යන්නට මෙන්ම හිරේ විලංගුවේ වැටෙන්නටද බලපෑවේ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම හේතුවෙනි. ජාතික පොලිස් කොමිසම පවා ප්‍රහාරයෙන් දින දෙක තුනක් තුළ වගකීම් නිසි ලෙස ඉටු නොකළ බවට හඳුනාගත් පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුටම ස්ථාන මාරුවීම් ලබාදුන්නේය. එසේම ඒ අයට එරෙහිව විමර්ශනයන්ද ආරම්භ කළේය. ඒ අයගෙන් එකල කොළඹ උතුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා හැරුණු කොට වෙන කිසිදු නිලධාරියෙකුට කිසිදු හානියක් නොවීය. ලබාදුන් ස්ථාන මාරුවීම් පවා පැය 24ක් ගතවන්නට මත්තෙන් අවලංගු වන්නේ පොලිස් කොමිසමට පවා දරන්නට බැරි තරමින් එල්ලවුණු දේශපාලන බලපෑම් හමුවේය. පාස්කු ප්‍රහාරය වළක්වා ගන්නට නොහැකි වීමේ චෝදනාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පූජිත්ට පළමු වතාවේදී ඇප නියම වීමට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉහළ අධිකරණයට ගොස් ඇප අවලංගු කිරීමෙන් පසු අධිකරණයට කරුණු දක්වා කියා සිටියේ පූජිත් මෙන්ම තවත් ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවය. පූජිත්ට ඇප දීමට නීතිපති දෙපාර්තමේන්තුව එරෙහිවූයේ ඒ ගැන කියමිනි. ඒ නම් සහ නිල තල පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන ජනපති කොමිසම හමුවේදීද කියැවෙන්නට වූයේ අත්අඩංගුවට ගන්නවා යැයි කී ඒ නිලධාරීන් දැන් උසස්වීම්ද ලබා සිටින බවද හෙළිවෙමිනි. අඩුම තරමින් මේ කියන කිසිදු නිලධාරියෙකුට එරෙහිව නිසි විමර්ශනයක් සිදුවූ බවක් මෙතෙක් ප්‍රසිද්ධියට පත්ව නැත. ඊට මුල්වී ඇත්තේ ඒ සෑම නිලධාරියෙක්ම පාහේ දේශපාලන වන්දනාවේ යමින් සිය තනතුරු රැකගැනීමට තරම් දක්ෂයන් අතර අති දක්ෂයන් බවට පත්ව ඇති බැවිනි.
රුවන් වෙඩිවර්ධන










