ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පසෙක තිබියදී මුලින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සූදානමක් දියත් වෙමින් පවතින බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.Sri Lanka Latest News
එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඒ අනුව බොහෝ දුරට ඉදිරි සති කිහිපය ඇතුළත පළාත් පාලන මැතිවරණය කැදවීමේ සූදානමක් පවතින බවකි.
පළාත් පාලන මැතිවරණය පසුගිය වසරේ මුල්භාගයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට පැවතියදී සහ ඒ වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් කොට පැවතියදී පවා ආණ්ඩුව මුදල් නොමැති බව පවසමින් එම මැතිවරණය පැවැත්වීම කල්දැමීමට පියවර ගත්තේය.
ඊට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ පාර්ශ්ව කිහිපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ අතර එහිදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අධිකරණය හමුවේ පවසා සිටියේ පවතින ආර්ථික තත්ත්වය මත මැතිවරණයට මුදල් ලබා දිය නොහැකි බවකි.
අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මුදල් නිදහස් කරන ලෙසට නියෝග කර සිටියත් ඊට මුදල් වෙන් කිරීමට ආණ්ඩුව කටයුතු කළේ නැත.
මේ අතර පසුගිය කාලයේදී ජනාධීපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවන්වලදීද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද පණිවුඩ මගින්ද අවධාරණය කොට තිබූ කාරණයක් වූයේ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා ලෙසය.
ඒ අනුව මේ වනවිට ජාතික මැතිවරණ අබිබවා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇති බවක් දැනගන්නට ඇත.
තත්ත්වය මෙසේ තිබියදී පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට ලබා දී ඇති අධිකරණය නියෝගය මේ වනතෙක් ඉටු කොට නොතිබීම පාදක කොටගෙන නීතීඥවරුන් කණ්ඩායමක් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ට තීන්දු කර ඇති බවද වාර්තා වේ.
ඒ, අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකිරීම හරහා අධිකරණයට අපහාසයක් කොට ඇති බව පෙන්වා දෙමිනි.










