වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් 29 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වීමත් සමග එම කදවුර හුදකලා කිරීමට පියවර ගත් බව හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
විශේෂ නිවේදනයක් කරමින් හමුදාපතිවරයා මේ බව සඳහන් කරයි.
මෙම පිරිස සමගින් අද දින හඳුනාගත් කොරෝනා ආසාදිත ප‍්‍රමාණය 39 දක්වා ඉහළ ගොස් ඇති අතර දිනක් තුලදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණය එය වේ.
ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික සෙබළෙක් නිවාඩු ගොස් සිටිය දී හදිසි රෝගී තත්ත්වයක් මත වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා (22) දිනයේ දී කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වී තිබුණි.
ඒ අනුව එම සෙබළා සේවය කළ වැලිසර නාවික හමුදා කඳවුරේ භට නිවාසය වහාම නිරෝධායනයට ලක් කර තිබේ.
පළමු කොරෝනා ආසාදිත නාවික සෙබළා සිටි භට නිවාසයේ සියලු නාවික සෙබළුන් PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබු බවද යුද හමුදාපතිවරයා පවසයි.
එම ප්‍රතිඵල අනුව මේ වන විට ලැබු ඇති අතර ඒ අනුව පළමු කොරෝනා ආසාදිත නාවික සෙබළා ඇතුළු නාවික හමුදා සෙබළුන් 30 කට මේ වන විට කොරෝනා ආසාදනය වී තිබේ.
එම භට නිවාසයේ සිටි අනෙකුත් නාවික සෙබළුන් හා පළමු ආසාදිත නැවියා සේවය කළ අනෙකුත් කාර්යාලවල සිටි නාවිකයින් සියලු දෙනා මෙලෙස PCR පරීක්ෂණයට යොමු කර ඇති බවද හමුදාපතිවරයා පවසයි.
පළමු ආසාදිත නාවික සෙබළා සිටි නාවික භට නිවාසයේ සෙබළෙකුගෙන් වෛරසය ආසාදනය වී ඇති බවත්, එම භටයා ඇතුළු අනෙකුත් නිලධාරීන් පසුගිය දිනවල දී සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පිරිස නිරෝධායනයට ලක් කිරීමේ දී මෙම නාවිකයින්ට වෛරසය ආසාදනය වි ඇතැයි තහවුරු වී ඇතැයි ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.










