ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපනය කර තිබේ.
ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා කාර්ය සාධක බළකායේ සභාපතිත්වය හොබවන අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා සහ ඩී.එස්. ජයවීර මහත්වරු සමලේකම්වරු වෙති.
ලොව පුරා ව්‍යාප්ත කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ගත ආර්ථික හා සමාජයීය අභියෝග සහ ඉඩ ප්‍රස්ථා කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනය සැලසීමේ සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ වගකීම කාර්ය සාධක බළකායට පැවරේ.
“සෞභ්‍යාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත දර්ශනය පදනම් කර ගනිමින් නව ප්‍රවේශයක් ඔස්සේ මෙරටට අනන්‍ය වූ ආර්ථික රාමුවක් සකස් කිරීම මගින් නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අදාළ ආයතනවලට අවශ්‍ය මගපෙන්වාදීම කාර්ය සාධක බළකායට පැවරී ඇති ප්‍රමුඛ වගකීමකි.
දේශීය කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් දිරි ගන්වන ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ස්ථාපනය කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම තවත් කාර්යයක් වේ.
ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට සෞඛ්‍ය හා අධ්‍යාපන කාර්ය සාධක බලකායන්ගේ ක්‍රියාකාරිත්වය ද සැලකිල්ලට ගෙන සියලුම ආයතන සම්බන්ධීකරණය කරමින් නිෂ්පාදන බෙදාහැරීමට අවශ්‍ය පියවර ගැනීම ද ඊට පවරා තිබේ.
කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ අමාත්‍යාංශයක්, රජයේ දෙපාර්තමේන්තුවක්, රාජ්‍ය සංස්ථාවක් හෝ වෙනත් එබඳු ආයතනයක් කාර්ය සාධක බළකාය විසින් පවරනු ලබන රාජකාරී හා වගකීම් ඉටුකිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ සියලු අවස්ථා ජනාධිපතිතුමා වෙත වාර්තා කරන ලෙස බළකායට විධාන කර ඇත.
2020 ජනවාරි 24 හා 2020 මාර්තු 24 දිනැති දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා වූ කාර්ය සාධක බළකාය සහ 2020 මාර්තු 23 දිනැති කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී වැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇති දිස්ත්‍රික්කවල සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සේවාවන් විධිමත් ලෙස කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කිරීමට අදාළ විධිවිධානයන් මේ සමග අවලංගු කෙරේ.
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය වෙත පැවරී ඇති කාර්යභාරය සහ වගකීම් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.










