කොරෝනා මැද්දේ දකුණු කොරියාව ජන්දය තිබ්බ හැටි
කොරෝනා වෛරසයෙන් මුල් වටයේදී ඉතා දරුණු ලෙස බැටකෑ දකුණු කොරියාව පසුගිය බදාදා (15දා) එරට මහ මැතිවරණය පැවැත්වීමට පියවර ගත්තේ ඉතා දැඩි සෞඛ්‍ය ආරක්ෂණ වටපිටාවක් යටතේය. ලෝකයේ අනෙක් රටවල් කොරෝනා වෛරසය හේතුවෙන් සිය මැතිවරණ කාලසටහන එහා මෙහා කිරීමට පියවර ගත්තද දකුණු කොරියාව එසේ කළේ නැත. විශේෂයෙන් දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් මහතා කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වද්දී ඉතා දැඩි පියවර අනුගමනය කරමින් එය පාලනය කිරීමට පියවර ගත්තේය. නමුත් කොරෝනා රෝගීන් මතුවීම හෝ කොරෝනා රෝගීන් මියයෑම 100%ක්ම පාලනය කරගත නොහැකි වුවද සැලැසුම් කර තිබූ පරිදි මහ මැතිවරණය පැවැත්වීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා තීන්දු කළේ විපක්ෂයේ දැඩි විරෝධතා මධ්‍යයේය. එහිදී මැතිවරණය දැඩි නීති රීති මධ්‍යයේ සහ සීමා කිරීම් මධ්‍යයේ පැවැත්වීමට තීරණය කළ දකුණු කොරියානු ආණ්ඩුව සියලුම ඡන්දදායකයන්ට මුඛ ආවරණ පමණක් නොව අත්වැසුම් පවා ලබාදීමට පියවර ගත්තේය. සෑම ඡන්දදායකයකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීමද සිදුකෙරුණු අතර, නීරෝධායන වන පිරිස් සඳහා ඡන්දය භාවිතා කිරීමට පළමු වරට ඊමේල් ක්‍රමය පවා හඳුන්වා දීමට පියවර ගත්තේය. (දකුණු කොරියාව මැතිවරණය පැවැත්වූ ආකාරය පිළිබඳව වෙනම ලිපියක් පුවත්පතේ පළවේ).
මේ ආකාරයට පැවැති දකුණු කොරියානු මහ මැතිවරණයෙන් පාලක පක්ෂය වන මූන් ජේ ඉන් මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 163ක් ලබමින් ආසන 300කින් සමන්විත පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීමට සමත් විය.
ආණ්ඩුවත් ජන්දය තියන්න පිපාසයෙන්
මෙවර රාජ්‍ය රහස් තීරය ආරම්භයේදී දකුණු කොරියානු මහ මැතිවරණය පිළිබඳව මුලින්ම කතා කළේ මේ දිනවල දකුණු කොරියානු මැතිවරණය පැවැත්වූ ආකාරය පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයද විශේෂ අධීක්ෂණයක නිරතව සිටින බැවිනි. ඊට හේතුව ආණ්ඩුවද කොරෝනා වසංගතය මැද සැලැසුම් කළ පරිදිම මහ මැතිවරණය පැවැත්වීමට මේ වන විට තීන්දු කර ඇති නිසාය. රාජ්‍ය රහස් තීරය මඟින් පළමු වතාවට මේ පිළිබඳව අප පාඨකයන් දැනුවත් කරමින් පසුගිය සතියේ එය අනාවරණය කළේ මේ ආකාරයටය.
පසුගිය සතියේ රාජ්‍ය රහස්වලින් අප කී කතාව
“නිල නොවන ආරංචි මාර්ගවලින් අපට වාර්තා වූ තොරතුරුවලට අනුව යම් හෙයකින් කොරෝනා අර්බුදය සම්පූර්ණයෙන්ම සමතයකට පත්කර ගැනීමට නොහැකි වුවහොත් ඉන්දියාවේ මෙන් ප්‍රදේශ වෙන්කොට අවස්ථා දෙකකදී හෝ තුනකදී මැතිවරණය පැවැත්විය යුතු බවටද එහිදී යෝජනා වී තිබේ.
මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නැතත් දැනට ආණ්ඩුව තීරණය කර ඇත්තේ නිශ්චිත වශයෙන්ම කලින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ජුනි 01 වැනිදා වන විට අලුත් පාර්ලිමේන්තුව රැස්කරන්නටය. මේ වන විටත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම 90%කින් පමණ පාලනය කොට ඇති බවට ආරක්ෂක අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසා ආණ්ඩුව සැලැසුම් කර ඇත්තේ සිංහල අවුරුද්ද අවසන් වන විට ඒ සම්බන්ධ සත්‍ය තත්ත්වය රටට ප්‍රකාශ කොට මැයි මාසයේ තුන්වැනි සතිය වන විට මහ මැතිවරණය පවත්වා අවසන් කිරීමටය. බොහෝ දුරට එම දිනය මැයි 23 විය හැකි බවද ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මෙම නීති උපදෙස් ලැබීමත් සමඟ ජනාධිපතිවරයා සිය ලේකම්වරයා වූ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට මෙම නීතිමය තත්ත්වය මතක් කරමින් ලිපියක් යොමු කරන ලෙසට දැනුම්දී සිටියේය. අදාළ ලිපියේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එම ලිපි මාධ්‍යයට නිකුත් කිරීම සම්බන්ධයෙන් කනගාටුව පළ කර සිටින ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී සිටියේය. ඒ අනුව මහින්ද දේශප්‍රියගේ ලිපි ලැබී දින 9ක් නික්ම යෑමෙන් අනතුරුව ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත දීර්ඝ මෙන්ම සැර උත්තරයක් යැවීමට පියවර ගත්තේය.
ඒ අනුව දැන් එකක් පැහැදිලිය. ඒ, ආණ්ඩුව මහ මැතිවරණය පැවැත්වීමට ලකලැහැස්ති වෙමින් සිටින බවය. කොරෝනා වෛරසය හමුවේ ඇඳිරි නීතිය පනවා ඇති මොහොතක, ජනතාව නිවෙස්වලට වී සිටින මොහොතක රට ඇතුළේ මහ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පසුබිම ආණ්ඩුව සකසා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය මේ වන විට බොහෝ දෙනකු තුළ මතුව ඇත. නමුත් ආණ්ඩුව ඊටද දැනටමත් පිළියම් යොදා අවසන්ය. ඒ අනුව ආණ්ඩුව මේ දිනවල මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් යෝජනාවලියක් සකස් කරමින් යන බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳව මෙහිදී ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව ආරංචිය. විශේෂයෙන්ම මහා පරිමාණයේ රැස්වීම් දැඩි ලෙස සීමා කිරීමටත්, නිවෙස්වලට නොගොස් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් සෑම නිවෙසකටම ලබාදිය යුතු ආකාරය පිළිබඳවත්, ඩිජිටල් ක්‍රමයන්ට අනුව මැතිවරණ රැස්වීම් පැවැත්වීමටත්, ආණ්ඩුවට මෙන්ම විපක්ෂයේ සෑම පක්ෂයකටම සාධාරණ කාලයක් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ලබාදීමටත් මෙහිදී අවධානය යොමුව ඇති බවක් දැනගන්නට තිබේ. පවතින තත්ත්වය සමනය වුවත්, නැතත් දැඩි ආරක්ෂක ක්‍රමවේදයන් මධ්‍යයේ මෙම ප්‍රචාරක කටයුතු සිදුකිරීම පිළිබඳව ආණ්ඩුව අවධානය යොමුකර ඇති බවත් වාර්තා වේ.”
අපගේ හෙළිදරව්වෙන් දේශපාලන පිටිය කැළඹෙයි
පසුගිය සතියේ අප කළ මෙම අනාවරණයත් සමඟම කොරෝනාවල සිරවී තිබූ ලංකාවේ දේශපාලනය යළි කණපිට හැරවෙන ආකාරයක් දැකගත හැකි විය. ඊට හේතුව වූයේ ආණ්ඩුවේ විවිධ පාර්ශ්වයන් ප්‍රසිද්ධියේම එළියට පැමිණ කලින් සැලැසුම් කරගත් පරිදි මහ මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්, මේ වන විට කොරෝනා වෛරසය පාලනය කර ඇති නිසා කිසිසේත්ම මහ මැතිවරණය පැවැත්වීම කල් දැමිය යුතු නැති බවත් කියා සිටීමය. ඊට මූලිකත්වය ගෙන තිබුණේ වෙන කවුරුවත් නොව ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශත්, පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිලත්ය. මෙහිදී විමල් නම් කෙළින්ම මහ මැතිවරණය පැවැත්විය යුතු බවට කියා සිටියත් ගම්මන්පිල කළ ප්‍රකාශයේ සඳහන්ව තිබුණේ වෙනත් කාරණයකි.
26 වැනිදා ගෝඨාභය කරන්න යන කතාව
එහිදී ගම්මන්පිල කියා සිටියේ ව්‍යවස්ථාවට අනුව අප්‍රේල් 25 වන දිනට පසු නැවැත මහ මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කිරීමේ නීතිමය බලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සතු වනවා යැයි කියාය. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 113 වන වගන්තියට අනුව කලින් මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර තිබූ අප්‍රේල් 25 වන දින මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි නිසා නව දිනයක් ප්‍රකාශයට පත්කිරීමේ හිමිකම අප්‍රේල් 25 වන දිනට පසු ජනාධිපතිවරයා වෙත හිමිවෙනවා යැයි එහිදී ගම්මන්පිල කියා තිබූ කාරණය විය. ඒ අනුව බොහෝදුරට ජනාධිපතිවරයා අප්‍රේල් 26 වැනි දින මහ මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරනු ඇති බවටත්, බොහෝදුරට එය මැයි 23 වන දින වනු ඇති බවටත් දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි පැතිර යමින් තිබේ.
කතාකරපු අයට ගෝඨා කියපු කතාව
කෙසේ වෙතත් පසුගිය සතියේ අප, මහ මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සැලැසුම් කර ඇති බව අනාවරණය කිරීමත් සමඟ ආණ්ඩුවේ බොහෝ දෙනකු තුළ එම පුවත මහත් කුතුහලයක් ඇති කිරීමට සමත්ව තිබිණ. මේ නිසාම ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන් බොහෝදෙනකුම පසුගිය සතිය ආරම්භයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් පොහොට්ටුවේ මහ මොළකරුවා වූ බැසිල් රාජපක්ෂ මහතාටත් කතාකොට ඒ සම්බන්ධයෙන් වටින් ගොඩින් විමසන්නට කටයුතු කර තිබිණ. එහිදී කතා කළ බොහෝ දෙනකුට ජනාධිපතිවරයා ඍජුව පිළිතුරු නොදුන්නද වටින් ගොඩින් මහ මැතිවරණය සම්බන්ධයෙන් ඉඟි කිහිපයක්ම ලබාදීමට පියවර ගත්තේය. එහිදී ඇතැමුන් සමඟින් ජනාධිපතිවරයා බොහෝ වේලාවක් කතාකොට තිබුණේ දකුණු කොරියාව කොරෝනා අර්බුදය මැද්දේ මහ මැතිවරණය පැවැත්වූ ආකාරයය. ඒ සඳහා රට සකස් කළ ආකාරය පිළිබඳවය. මැතිවරණය අතරතුරදී ඔවුන් අනුගමනය කළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳවය.
තවත් අය සමඟ ජනාධිපතිවරයා කතාකොට තිබුණේ කොරෝනා වෛරසය ලංකාවේ පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවරයන් පිළිබඳවය. එමෙන්ම අනෙකුත් රටවල මෙන් භයානක තත්ත්වයක් ලංකාවේ නොමැති බවත්, රෝග ව්‍යාප්තිය දැනටමත් ඉතාම සතුටුදායක ලෙස පාලනය කර ඇති බවත්, වාර්තා වන රෝගීන් පවා නිරෝධායන මධ්‍යස්ථානවලින් හෝ වසා දමා ඇති නගරවලින් මිස වෙනත් ප්‍රදේශවලින් හමු නොවන බවත් ගෝඨාභය මෙහිදී ඒ කතාකළ ඇතැමුන්ට කියා සිටියේය.
ජන්දය කඩ කඩා තියන ලකුණු
මීට අමතරව තවත් කිහිපදෙනකුටම ගෝඨාභය කියා තිබුණේ රටේ ආර්ථිකය පිළිබඳවය. මේ වන විට ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම ආර්ථික අවපාතයක් මතුවීම බලාපොරොත්තු විය හැකි බැවින් ශක්තිමත් දේශීය ආර්ථිකයක් යළිත් රට තුළ ගොඩනැඟීම සඳහා හැකි ඉක්මණින් ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය එහිදී ගෝඨාභය මේ මැති ඇමැතිවරුන්ට පෙන්වා දී තිබිණ.
ඒ අනුව කතා කළ සියලු දෙනාටම මැතිවරණය පැවැත්විය හැකි ආකාරය පිළිබඳව ඉඟි පළ කර සිටි ගෝඨාභය ඉන්දියාවේ මහ මැතිවරණය පවත්වන ආකාරයට දින දෙකකට හෝ තුනකට බෙදී යන පරිද්දෙන් මැතිවරණය පැවැත්විය හැකි ආකාරය පිළිබඳව සොයාබැලිය යුතු බවද සඳහන් කර සිටියේය. අපි ගෝඨාභය අනාවරණය කළ මෙම කාරණය පිළිබඳව පසුගිය රාජ්‍ය රහස් තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කිරීමටද පියවර ගත්තෙමු.
විපක්ෂයම ජන්දයට විරුද්ධව
කෙසේ වෙතත් ආණ්ඩුව මේ ආකාරයට සැලැසුම් කරගත් පරිදි මහ මැතිවරණය පැවැත්වීමට සැලැසුම් කරන අතරතුර සමස්ත විපක්ෂය නම් සිටින්නේ ඊට හාත්පසින්ම වෙනස් ස්ථාවරයකය. එනම් ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ තවමත් රට තුළ කොරෝනා වෛරසය නිශ්චිත වශයෙන් මැඩ පවත්වා හෝ පාලනය කර හෝ නොමැති පසුබිමක මහ මැතිවරණය පැවැත්වීම ඉතා අන්තරායකාරී ප්‍රතිඵලවලට අත වැනීමක් හා සමාන ක්‍රියාවක් යැයි කියාය. විශේෂයෙන්ම පසුගිය සතියේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි උපනායක රවි කරුණානායක මහතාත්, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාත්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපි යොමුකරමින් ඉල්ලා සිටියේ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා වහාම වේලාවක් ලබාදෙන ලෙසටය. මෙම හමුව සඳහා සියලුම පක්ෂ නායකයන් හෝ මහලේකම්වරුන් කැඳවන ලෙසට එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් කොමිසමට ලිපිය යොමු කළ රවි ඉල්ලීමක්ද කර තිබිණ. එමෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක්ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට කතාකොට මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඔහුගේ මතය විමසීමටද පියවර ගෙන තිබිණ. නමුත් ඒ සියල්ලන්ටම ඍජු උත්තරයක් නොදුන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ වන විට තීන්දු කර ඇත්තේ ලබන සඳුදා (20දා) සියලු පාර්ශ්වයන් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.
රජිත්ගේ ෆේස්බුක් පිටුවෙන් එළියට පැන්න කතාව
ඒ කෙසේ වෙතත් පසුගිය බදාදා දින සිදුවූ එක්තරා විශේෂ සිදුවීමක් මුල්කොටගෙන මහින්ද දේශප්‍රිය මහතාගේ ස්ථාවරය පිළිබඳව කිසියම් ඉඟියක් එළියට පැන්න ආකාරයක් දැකගත හැකි විය. ඒ එදින හිටපු මැතිවරණ නිරීක්ෂක ප්‍රධානියකු මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයකුද වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් පිටුවේ පළ කොට තිබූ එක්තරා ප්‍රකාශයකට මහින්ද දේශප්‍රිය මහතා දක්වා තිබූ ප්‍රතිචාරය හේතුකොට ගෙනය. මෙහිදී රජිත් සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණේ ‘මහ මැතිවරණ දිනය තීන්දුයි?’ යනුවෙනි. ඒ සඳහා විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙන ආකාරයක් දැකගන්නට තිබුණු අතර විශේෂ සිදුවීම වූයේ ඊට මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද ප්‍රතිචාර දක්වා තිබීමය.
මැකො දුන්න ෆේස්බුක් උත්තරේ
සාමාන්‍යයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඔහුගේ හිතවතුන් අතර ප්‍රචලිතව ඇත්තේ නිතරම ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන චරිතයක් ලෙසය. නිතරම තමන් කැමැති පෝස්ට්වලට ප්‍රතිචාර දක්වන්නකු ලෙසටය. ඒ අනුව යමින්දෝ රජිත්ගේ යොමුව දුටු සැණින්ම ඊට ප්‍රතිචාර දැක්වූ මහින්ද දේශප්‍රිය සටහන් කර තිබුණේ ‘කවුද දන්නෑ තීන්දු කරල තියෙන්නෙ’ යැයි කියාය. මහින්ද දේශප්‍රියගේ මෙම ප්‍රතිචාරය රජිත්ගේ ෆේස්බුක් පිටුවේ සටහන් කරනවාත් සමඟම රජිත් දැමූ සටහනටත් වඩා විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් මහින්ද දේශප්‍රියගේ පිළිතුරට ලැබෙන්නට පටන් ගැනීම විශේෂ සිදුවීමක් විය. ඒ ප්‍රතිචාර ප්‍රමාණය කොතෙක්ද යත් මහින්ද දේශප්‍රියගේ එම “කවුද දන්නෑ තීන්දු කරල තියෙන්නෙ…” ප්‍රතිචාරයට ලයික් 2600ක් වැටී තිබිණ. සිනා මුහුණින් යුත් ‘හා හා’ ප්‍රතිචාර 1700ක් වැටී තිබූ අතර, ‘හදවත්’ 454ක්ද ඊට ලැබී තිබිණ.
මහින්ද දේශප්‍රියගේ මෙම ප්‍රතිචාරය අනුව ආණ්ඩුව මැතිවරණය පැවැත්වීම සඳහා ලහි ලහියේ සූදානම් වුවත් මැතිවරණ කොමිසම නම් තවමත් සිටින්නේ ඒ පිළි බඳව අවසන් තීන්දුවක නොවන බව නම් පැහැදිලිය.
සජිත්ට කැපිල්ලක්ද?
මේ අතර පසුගිය සතිය වන විට සජිත් පිලටද අමුතුම ආකාරයේ අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබිණ. ඊට හේතුවූයේ සමගි ජන බලවේගයේ පක්ෂ නායක රැස්වීමක් සහ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට අවසර දෙන ලෙසට කළ ඉල්ලීමක් වැඩබලන පොලිස්පතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබීමය. වැඩබලන පොලිස්පතිවරයා ඊට හේතු වශයෙන් දක්වා තිබුණේ ඇඳිරි නීතිය පනවා ඇති තත්ත්වයක් යටතේ සෞඛ්‍ය උපදෙස් මත සියලු රැස්වීම් පැවැත්වීම සහ ගමනාගමන කටයුතු දැඩිව සීමා කර තිබීම නිසා ඊට අනුමැතිය ලබාදිය නොහැකි බවකි. වැඩබලන පොලිස්පතිවරයාගේ මෙම ලිපිය ලැබීමත් සමඟ සජිත් පිල පුදුමයට පත්වූයේ ආණ්ඩුව කිසිදු බාධාවකින් තොරව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පුවත්පත් සාකච්ඡා කැඳවා ඇති පසුබිමක් යටතේ තමන්ට එවැනි අවස්ථාවක් ලබා නොදීම පිළිබඳවය. ඒ අනුව වහාම සජිත් පිළ තීන්දු කළේ විපක්ෂයේ පක්ෂ නායක හමුවට අවසර ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කොට වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කිරීමටය. පහත දැක්වෙන්නේ පොලිස්පතිවරයා විසින් සජිත් පිල වෙත යොමුකරනු ලැබූ ලිපියත්, ඊට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකළ ලිපියත්ය.
පොලිස්පති එවපු ලියුම
නීතිඥ රවි ජයවර්ධන මහතා,
හිටපු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ලේකම්,
පවත්නා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා පක්ෂ නායකයන්ගේ හමුව
උක්ත කාරණය සම්බන්ධව 2020.04.12 දිනැතිව මා වෙත යොමුකර ඇති ලිපියෙන් පක්ෂ නායක හමුවක් සහ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ඉල්ලා ඇතත්, කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ වෛද්‍ය උපදෙස් මත සියලුම රැස්වීම් පැවැත්වීම සහ ගමනාගමන කටයුතු දැඩි ලෙස සීමා කර ඇති බැවින් ඔබගේ ඉල්ලීමට අනුමැතිය ලබාදිය නොහැකි බව කාරුණිකව දන්වා සිටිමි.
සී.ඩී. වික්‍රමරත්න
වැඩබලන පොලිස්පති
අප්‍රසාදය පළකරමින් සජිත් පිල පොලිස්පතිට යවපු ලියුම
වැඩබලන පොලිස්පතිතුමා,
ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් මූලස්ථානය,
කොළඹ 01.
2020/04/15
විපක්ෂයේ පක්ෂ නායක හමුවට අවසර ලබානොදීම සම්බන්ධවයි
මේ වන විට රටේ උද්ගතව පවත්නා තත්ත්වය පිළිබඳව විපක්ෂයේ කාර්යභාරය සහ මැදිහත්වීම වගකිවයුතු විපක්ෂයක් සතු අයිතියකි.
මේ ව්‍යසනය මැඩලීම අප කාගේත් තීරණාත්මක වගකීමක් වන අතර ප්‍රබල විපක්ෂයේ කණ්ඩායමක් ලෙස ඒ වගකීම අප නොපිරිහෙලා ඉටු කළෙමු. කොරෝනා උවදුර මැඩලීම උදෙසා රජය දියත් කළ සාධනීය කටයුතු උදෙසා අපගේ කොන්දේසි විරහිත සහයෝගය ලබාදීමට නොපැකිලව කටයුතු කළ බවද මෙහිදී අවධාරණය කළ යුතුය.
අතිගරු ජනාධිපතිවරයා සමඟ වූ හමුවේදීත්, සර්ව පාක්ෂික හමුවේදීත් අපි ඒ පිළිබඳව අපගේ සහයෝගය ප්‍රකාශ කළ අතර ක්‍රියාවෙන්ද එය සනාථ කළෙමු.
කෙසේ වෙතත් මේ ව්‍යසනකාරී මොහොතේ පවත්නා යම් යම් ගැටලු සහගත තත්ත්වයන් සහ අපගේ මැදිහත්වීම පිළිබඳව සාකච්ඡාවක් හා විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීම සඳහා (නො. 30 විපක්ෂ නායක කාර්යාලයේදී) ඔබතුමා විසින් අනුමැතිය නොදීම සම්බන්ධයෙන් අපි අපගේ බලවත් විරෝධය පළකරන අතර ඒ කටයුත්ත හෙළා දකින බවද සඳහන් කරමු.
මේ ව්‍යසනකාරී මොහොතේත් වගකිවයුතු පක්ෂ නායකයන් ලෙසත් වගකිවයුතු පුරවැසියන් ලෙසත් අප කළ යුතු කාර්යයන් කරන බව ඔබට සිහිපත් කරන අතර සාකච්ඡා සඳහා හමුවීම අපට අනුමැතිය නොලද නමුත් ආණ්ඩුවේ ප්‍රධානීන්, හිටපු මන්ත්‍රිවරුන්ව කැඳවා සාකච්ඡා පවත්වනු අපට දැකගත හැකි විය.
නිරන්තරයෙන්ම අප මහජන සුබසිද්ධිය උදෙසා පෙනී සිටි සහ සිටින අතර ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලෙකු ලෙස විපක්ෂයේ කාර්යභාරය පිළිබඳව නැවත ඔබට සිහිපත් කරන්නට සිදුවීම ගැන කනගාටු වෙමු. අපට අවශ්‍ය වූයේ අප හා සම්බන්ධ විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් තුළින් රටේ උද්ගතව පවත්නා තත්ත්වය පරාජය කිරීමටත් ජනතාව වෙත එකී පණිවුඩය යැවීමටත්ය.
ඔබගේ ‘අවසර නොදීමේ ලිපිය’ හරහා එකී කාර්යභාරය නොසලකා හැරීම සහ එම කාර්යභාරයට එදිරිව යෑම කෙරෙහි අප විමතියටත්, තිගැස්මටත් ලක්වීමු. එකී තීරණය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ අත්තනෝමතික මරු පහරක් වන අතර, මේ රට ඒකාධිපති දිශානතියකට රැගෙන යෑමේ ක්‍රියාන්විතයේ එක් අවස්ථාවක් ලෙස අපි දකිමු.
එබැවින් රටේ පොලිසිය භාර ප්‍රධානියා ලෙස මේ විපරීත ක්‍රියාවට එරෙහිව අපේ විරෝධය ප්‍රකාශ කරමු.
රන්ජිත් මද්දුමබණ්ඩාර
මහලේකම්-සමගි ජන බලවේගය
පක්ෂ නායක රැස්වීමක් ඉල්ලයි
මේ තත්ත්වයත් සමඟ පසුගිය සතියේ සුපුරුදු පරිදි කෝල් කොන්ෆරන්ස් මාර්ගයෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කළ සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ ප්‍රධානීන් තවත් එක් තීන්දුවක් ගත්තේය. ඒ ආණ්ඩුවේ ඇති මැතිවරණ හදිසිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කිරීමට තීන්දු කිරීමය. ඒ අනුව ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කිරීමටද සමගි ජන බලවේගය කටයුතු කළේය. ඒ සඳහා සමගි ජන බලවේගය මැතිවරණ කොමිසමට යොමුකළ ලිපිය මෙසේය.
මහින්ද දේශප්‍රිය මහතා,
සභාපති, මැතිවරණ කොමිෂන් සභාව,
සරණ මාවත,
රාජගිරිය.
2020/04/05
මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවීම
මහත්මාණෙනි,
පවත්නා ව්‍යාකූල සහ දැඩි අවදානම්කාරී තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් මේ මොහොතේ මැතිවරණය පැවැත්වීමේ නොහැකියාව ගැන වටහාගෙන, මැතිවරණය පැවැත්වීමේ හෝ නොපැවැත්වීමේ හැකියාව ශ්‍රේෂඨාධිකරණයෙන් විමසන ලෙස අතිගරු ජනාධිපතිවරයා වෙත ඔබතුමන් යොමුකළ ලිපිය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාගේ අවධානය යොමුවූ බව නොරහසකි.
මැතිවරණය සම්බන්ධයෙන් ඔබතුමන් දරන ස්ථාවරය අපිද අනුමත කරන අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මේ කිසිසේත්ම සුදුසු අවස්ථාව නොවන බව අපි විශ්වාස කරමු.
කොරෝනා උවදුර තවමත් පවත්නා අතර ඊයේ (14) දිනයේත් ආසාදිතයන් 15ක් හමුව තිබේ.
මේ ලිපිය ඔබතුමා වෙත යොමුකරන අවස්ථාව වන විටත් බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ රැසකට නැවැත දන්වන තුරු ඇඳිරි නීතිය පනවා තිබේ.
මේ මැතිවරණය සඳහා රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් යොදවන්නට සිදුවන අතර ප්‍රතිඵල නිකුත් කිරීම දක්වා කාර්යය තුළ විශාල පිරිසකගේ දායකත්වය අවශ්‍ය වේ. එක් අතකින් මෙය ඔවුන්ගේ ජීවිතද අවදානමකට ඇදදැමීමකි.
අනෙක් අතට මැතිවරණයට මේ අවස්ථාවේ විශාල මුදලක් වියදම් කරනවාට වඩා ව්‍යසනයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් කළ යුතු දේ බොහෝ පවතී.
එමෙන්ම කිසිදු අපේක්ෂකයකුට සිය මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට හැකියාවක් ඇතිවන්නේ නැත. මැතිවරණයට අදාළ කිසිවක් කිරීමේ හැකියාව නොමැති තත්ත්වයක් තුළ මැතිවරණයක් පැවැත්වීමට සිතීමම විහිළුවකි.
මෙවැනි කාරණා සැලකිල්ලට ගෙන ඔබතුමා විසින් අතිගරු ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය හා ඒ තීන්දුව නිවැරැදි බව අපි විශ්වාස කරමු.
කෙසේ වෙතත් පසුගියදා ජනාධිපති ලේකම්වරයා විසින් ඔබතුමා වෙත එවන ලද ලිපිය ප්‍රකාරව ඔහු පවසන්නේ ඔබතුමා සතු බලතලවලට අනුව ජුනි දෙවැනිදාට පෙර මැතිවරණය පවත්වන ලෙසටය.
එය මේ මොහොතේ කිසිසේත්ම කළ නොහැක්කක් වන අතර මැතිවරණය යනු එක් පාර්ශ්වයක උවමනාවට පමණක් කළ යුත්තක් නොවන බව අප අවධාරණය කරමු.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා සියලු පක්ෂ නායකයන්ට සහ ලේකම්වරුන්ට අවස්ථාවක් ලබාදෙන ලෙසද ඉල්ලා සිටිමි.
රන්ජිත් මද්දුමබණ්ඩාර
මහලේකම්
සමඟි ජන බලවේගය
සජිත්ට ලක්ෂයක් ගෙවන්න වෙයි
කෙසේ වෙතත් මේ සියල්ල අතරතුර වැඩබලන පොලිස්පතිවරයා පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීම සඳහා සජිත් පිළට අවසර ලබා නොදුන්නද පසුගිය සතියේදී සජිත්ගේ සමගි ජන බලවේගය ඒ සඳහා අවස්ථාවක් සහ ස්ථානයක් ලබාගැනීමට සමත් විය. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට යොමුකර තිබූ කැබිනට් පත්‍රිකාවක් හරහාය. එම කැබිනට් පත්‍රිකාව හරහා මහින්ද කියා තිබුණේ මහ මැතිවරණය පවත්වන තෙක් කතානායකවරයාත්, අගමැතිවරයාත්, විපක්ෂ නායකවරයාත් භාවිතා කළ නිල කාර්යාලය සහ නිල නිවෙස මෙන්ම නිල වාහනද භාවිත කිරීමට හැකි බවත්, ඒ සඳහා මාසිකව රුපියල් ලක්ෂයක මුදලක් ගෙවිය යුතු බවත්ය. මෙම කැබිනට් තීන්දුවට අනුව යමින් පසුගිය සතියේ සජිත් පිල විපක්ෂ නායක කාර්යාලය යළිත් ලබාගැනීම සඳහා අවශ්‍ය වූ රුපියල් ලක්ෂයක මුදල පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට ගෙවීමට පියවර ගත්තේය. ඒ අනුව යළිත් කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි අංක 30 විපක්ෂ නායක කාර්යාලය ලබාගැනීමට කටයුතු කළ සජිත්, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින තුළම එහි ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමටද පියවර ගත්තේය.
ආණ්ඩුවේ මුස්ලිම් නියෝජිතයන් මහින්දව හමුවන්න කාල්ටන් යයි
කොරෝනා වෛරසය වැලඳීමෙන් අනතුරුව මරණයට පත්වූ මුස්ලිම් ජාතිකයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරාම මතුව තිබූ ආන්දෝලනය තවමත් පහව ගොස් ඇති බවක් දැකගන්නට නැත. ඒ සම්බන්ධයෙන් මුලින්ම දෙබරයට ගල ගැසූ රවුෆ් හකීම් ඇතුළු පිරිස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වුවත් එහිදී හෝ කිසියම් එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වයට නොහැකි විය. මේ නිසාම පසුගිය සතිය වන විට ආණ්ඩුව සමඟ හිතවත්ව සිටින මුස්ලිම් නියෝජිතයන්ටද විවිධ පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ලවීමට පටන්ගත් අතර එම බලපෑම්වලින් කියැවුණේ මේ සම්බන්ධයෙන් තවදුරටත් ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට පියවර ගන්නා ලෙසටය. මෙම බලපෑම දෙගුණ තෙගුණ වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගම් සහ ඇදහීම් පිළිබඳව විශේෂ නියෝජිතයා වූ අහමඞ් සහීඞ් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එවූ ලිපියත් සමඟය. එමඟින් එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේ ජාත්‍යන්තරව පිළිගත් නීති රීතිවලට අනුව එම දේහයන්වල අවසන් කටයුතු සිදුකිරීමට පියවර ගන්නා ලෙසටය.
අලි සබ්‍රි මූලිකත්වය ගනී
ඒ අනුව එල්ල වූ බලපෑම ඉහළ යෑමත් සමඟ ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් නියෝජිතයන් තීන්දු කළේ අගමැතිවරයා මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඒ සඳහා මූලිකත්වය ගත්තේ ජනාධිපති නීතිඥ අලි සබි්‍රය. අලි සබි්‍ර යනු පසුගිය කාලවකවානුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පැවැති නඩු සියල්ලකදීම පාහේ රාජපක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාය. ඒ අනුව අලි සබි්‍රගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායමට සජාඞ් මව්ජූඞ් (ශැංග්‍රිලා නියෝජිත), මල්ටිලැක් හිමිකරු ඇතුළු විශාල පිරිසක් මහින්ද සමඟ සාකච්ඡා කිරීමට මෙම කණ්ඩායමට එක්වීමට කැමැත්ත පළ කළහ. ඒ අනුව පිරිස වේලාවක් ගැනීම සඳහා මහින්දට කතා කළ විට මහින්ද කියා සිටියේ තමන් ඒ මොහොතේ මැදමුලන කාල්ටන් නිවෙසේ රැඳී සිටින බවත්, අවශ්‍ය නම් සාකච්ඡා කිරීම සඳහා මැදමුලනට පැමිණෙන ලෙසත්ය. මහින්ද කළ එම දැනුම්දීමත් සමඟ පිරිස කාල්ටන් බලා පිටත්ව ගියේ මෙම ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කොට මහින්දගෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහාය.
මහින්දගෙන් වෙනස් තීන්දුවක්
මෙහිදී මහින්ද සුබදායී පිළිතුරක් දෙනු ඇති බවට වූ බලාපොරොත්තුව සහිතව පිරිස කාල්ටන්හිදී මහින්දව හමුවුවද මහින්දගෙන් ඒ සියල්ලන්ටම ලැබුණේ සුබදායී පිළිතුරක් නම් නොවේ. මහින්ද සිටියේ තමන් කළින් දැරූ ස්ථාවරයේමය. සාකච්ඡාවට එක්වූ මුස්ලිම් නියෝජිතයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනාධිපතිවරයා එවූ ලිපිය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය මහින්දගේ අවධානයට යොමුකළද, මහින්ද එම මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරනවාට හෝ එතරම් කැමැත්තක් දක්වන ආකාරයක් පෙනෙන්නට නොතිබිණ.
ඒ අනුව අවසානයේදී මහින්ද කියා සිටියේ තමන් සෞඛ්‍ය අංශ සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත්, ඔවුන් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇති බවත්ය. මහින්දගේ මේ පිළිතුරත් සමඟ අවසානයේදී පිරිසට සිදුවූයේ කාල්ටන් නිවෙසින් ලැබුණු තේපැන් සංග්‍රහයද බුක්ති විඳ හිස් අතින් යළිත් කොළඹට පැමිණීමටය. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙම සාකච්ඡාව නිමාවී පැය 24ක් යෑමටත් මත්තෙන් කොරෝනා වැළඳී මියගිය අයගේ සිරුරු සෞඛ්‍ය අංශවල නිර්දේශ පරිදි ආදාහනය කිරීමට පියවර ගන්නා බවට ආණ්ඩුව තීන්දු කිරීමය.
ආර්ථික සැලසුම් 3ක් හැදෙයි
කොරෝනා වෛරසය හේතුවෙන් රටටම ඇඳිරි නීතිය පනවා දැනට මාසයකට ආසන්නය. එම ගෙවුණු මාසයකට ආසන්න කාලය ඇතුළත ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගීන් 243ක් හමුවූ අතර, රෝගීන් හත්දෙනකු මියගොස් තිබිණ. කෙසේ වෙතත් මෙම කොරෝනා වෛරසය හේතුවෙන් රටට මුහුණදීමට සිදුව ඇති ඇත්ත ප්‍රශ්නය තව ටික කාලයකින් මුහුණදීමට සිදුවන බරපතළ ආර්ථික අර්බුදය බව ආණ්ඩුවේ ප්‍රධානීන් නොදන්නවා නොවේ. ඒ අනුව ආණ්ඩුව දැන්ම තියා ඊටද යම් යම් පිළියම් සොයමින් සිටින බවක් දැකගන්නට ඇත. රටින් පිටට යන මුදල් නතර කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය නොවන සියලුම ද්‍රව්‍ය ආනයනයට තහනමක් පැනවීම මෙහි එක් පියවරකි. ජනතාව ගෙවතු වගාවට හුරු කිරීම තවත් පියවරකි.
මීට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ගතයුතු පිළියම් කවරේද යන්න සොයාබලා වැඩපිළිවෙළක් සකස් කිරීමේ කටයුත්ත පසුගිය කාලයේ ඔහුට හිතවත්ව සිටි ප්‍රධානීන් තිදෙනකුට පැවරීමට පියවර ගත්තේය. ඉන් එක් ප්‍රධානියකු වන්නේ පාත්ෆයින්ඩර් ආයතනයේ සභාපතිවරයා වන මිලින්ද මොරගොඩය. අනෙක් ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරණ සමයේ ගෝඨාභයට සහාය දැක්වූ වියත්මග සංවිධානයේ ප්‍රධානියකු වූ ආචාර්ය නාලක ගොඩහේවාය. අනෙක් ප්‍රධානියා වන්නේ මහාචාර්ය චන්න ජයසුමනය.
මිලින්දගේ කමිටුවේ යහපාලන ලොක්කෙක්
මෙම තිදෙනාගෙන් පාත්ෆයින්ඩර් ආයතනයේ ප්‍රධානියා වන මිලින්ද මොරගොඩ ගෝඨාභය ජනාධිපති පුටුවට ගෙන ඒම සඳහා තිරය පිටුපස විශාල මෙහෙයක් සිදුකළ තැනැත්තෙකි. විශේෂයෙන්ම ඇමෙරිකාව සමඟ විශාල සබඳකම් ඇති තැනැත්තකු ලෙස ප්‍රකට මිලින්ද ගෝඨාභයගේ ඇමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ අයකු බවද පැවැසේ. ඒ අනුව මිලින්දගේ පාත්ෆයින්ඩර් ආයතනය පසුගිය සතියේ මෙම ආර්ථික සැලැස්ම සකස් කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පත්කිරීමට පියවර ගත්තේය. ඊට ආර්ථික විශේෂඥයන් කිහිපදෙනකුම සම්බන්ධ කර ගැනීමටද මිලින්ද පියවර ගත්තේය. මෙහිදී දැකගන්නට තිබූ විශේෂම සිදුවීම වූයේ ඉකුත් මෛත්‍රි – රනිල් යහපාලන ආණ්ඩුවේ මහ බැංකුවේ අධිපතිවරයාව සිටි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙම කණ්ඩායමේ ප්‍රධානියා බවට පත්කිරීමට මිලින්ද පියවර ගෙන තිබීමය. මෙම ආචාර්ය කුමාරස්වාමි චන්ද්‍රිකාට සහ මංගලට ඉතා හිතවත් අයකු බවද සැලකේ.
මීට අමතරව එම කණ්ඩායමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ආචාර්ය සිසිර පින්නවල, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ගනේෂන් විග්නරාජා, ආචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය රොහාන් සමරජීව, මහාචාර්ය මුතුක්‍රිෂ්ණ සර්වනාදන් මෙන්ම බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධානී අෂ්රොෆ් ඔමාර්, ආචාර්ය හාන්ස් විජේසූරිය, ක්‍රිෂාන් බාලේන්ද්‍රන් සහ මොහොමඞ් මුෂීන් යන අයද ඇතුළත්ය. මෙම පිරිස විසින් සකස් කරනු ලබන ඉදිරි ආර්ථික සැලැස්ම අප්‍රේල් මස අවසානයේ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව ආරංචිය. බොහෝ දුරට මෙම ආර්ථික සැලැස්ම ලිහිල් විදේශ ප්‍රතිපත්තියක් මත පිහිටා සකස් කළ විවෘත සහ යැපුම් යන ක්‍රම දෙකෙන්ම සමන්විත ආර්ථික සැලැස්මක් බව දැනගන්නට තිබේ.
ගොඩහේවා කමිටුවේ සහ ජයසුමන කමිටුවේ තියෙන දේවල්
කෙසේ වෙතත් ආචාර්ය නාලක ගොඩහේවා විසින් සකස් කරන ආර්ථික සැලැස්ම සංවෘත ආර්ථිකයක ලක්ෂණ පෙන්නුම් කරන බව ආරංචිය. එහි සඳහන් කරුණු 70 – 77 මැතිනියගේ සමයේ ගෙනගිය ආර්ථික ප්‍රතිපත්තිවලට සමාන්තරව වර්තමානයේ පවතින ලෝක තත්ත්වයත් සමඟ ගලපා සකස් කර ඇති එකක් බව දැනගන්නට තිබේ.
මීට අමතරව මහාචාර්ය චන්න ජයසුමන විසින් සකස් කරනු ලබන ආර්ථික සැලැස්මද දේශීය ආර්ථිකය මත පිහිටා සකස් කර ඇති එකක් බව කියැවේ. කෙසේ වෙතත් මේ ආර්ථික සැලැසුම් සියල්ලම මේ මස අවසානය වන විට ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිත අතර ඒ සියල්ල අධ්‍යයනය කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් රටට උචිත ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති බව පැවැසේ. බොහෝ දුරට එය දේශීය කර්මාන්ත, දේශීය කෘෂිකර්මය මත පිහිටා සකස් කරන දේශීය එකක් වනු ඇති බවද දැනගන්නට ඇත.
රනිල් කොළඹින් පිට බංගලාවක නිදහසේ
කොරෝනා වෛරසය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා දිස්ත්‍රික් අතර යාම් ඊම් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබුණද පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ කොළඹින් පිට තම පවුලට අයත් බංගලාවකට වී විවේක සුවයෙනි. මෙහිදී රනිල් කෙතරම් විවේක සුවයෙන් සිටියාද කියනවා නම් ඒ කාලය තුළ රනිල් කළේ ලෝකයේ දැවැන්ත චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් වන ‘නෙට්ෆ්ලික්ස්’ ආයතනය විසින් නිෂ්පාදනය කළ චිත්‍රපට නරඹමිනි. එහිදී රනිල් බැලූ ජනප්‍රියතම සිනමාපටය වූයේ ‘හොටෙල් මුම්බායි’ය.
කොළඹ ආපු ගමන් රැස්වීමක
කෙසේ වෙතත් මෙසේ විදෙස් සිනමාපට බලමින් කොළඹින් පිට විවේක සුවයෙන් කල් ගත කළ රනිල් පසුගිය සතියේ නැවැත වතාවක් කොළඹ පැමිණියේ යළිත් උණුසුම් වෙමින් පැවැති දේශපාලන වාතාවරණය නිසාය. ඒ අනුව කොළඹ පැමිණි වහාම තමන්ට හිතවත් කණ්ඩායම සිය නිවෙසට කැඳවීමට රනිල් පියවර ගත්තේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සජිත් ඇතුළු කණ්ඩායමට මුණගැසී සාකච්ඡා කිරීමට හෝ ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමට අවසර නොදීමට වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කර තිබුණද රනිල් ඇතුළු කණ්ඩායමට ඒ කිසිදු බාධාවක් එල්ල නොවීමය. ඒ අනුව රනිල් කැඳවූ සාකච්ඡාවට රවි, අකිල, නවීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී සියලු දෙනාම ආණ්ඩුව මහ මැතිවරණයට යෑමට සැලැසුම් සකස් කරන බව කියා සිටියද රනිල් සිටියේ වෙනත් ස්ථාවරයකය. ඔහු කියා සිටියේ පවතින සෞඛ්‍ය අර්බුදය හමුවේ ආණ්ඩුවට කිසිසේත්ම මහ මැතිවරණයට මේ අවස්ථාවේ යාමට නොහැකි යැයි කියාය. නමුත් රැස්ව සිටි පිරිස දිගින් දිගටම රනිල්ගේ ස්ථාවරයට එරෙහිව කරුණු දැක්වීම නිසා රනිල් කළේ ඒ මොහොතේම සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන එක්තරා ප්‍රධානියකුට දුරකතන ඇමැතුමක් ලබාදී වත්මන් තත්ත්වය පිළිබඳව ඔහුගෙන් විස්තර විමසා සිටීමටය. දැනට කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශවලට හැකියාව ලැබී ඇති බව මෙහිදී රනිල්ට දැනුම් දී සිටි එම සෞඛ්‍ය අංශ ප්‍රධානියා, එසේ වුවත් මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තමන්ට කිසිවක් පැවැසිය නොහැකි බවද කියා සිටියේය.
ෆෝන් එකෙන් ඇවිත් රංගේ කියපු දේ
මෙම සාකච්ඡාව අතරතුරදී ඊට දුරකතනය ඔස්සේ පුත්තලම් දිස්ත්‍රික් හිටපු මන්ත්‍රි රංගෙ බණ්ඩාර එක්කර ගැනීමටද පිරිස පියවර ගත්හ. එහිදී රංගේ රනිල් ඇතුළු පිරිසට දැඩිව කියා සිටියේ මේ වන විට එජාපයේ සැලකිය යුතු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් කණ්ඩායමක් සජිත්ගේ පක්ෂයේ සාමාජිකත්වය ගෙන ඇති බවත්, සජිත් ඇතුළු කණ්ඩායම එජාපයෙන් නෙරපා නොහරින්නේ නම් අවම වශයෙන් සජිත්ගේ පක්ෂයේ සාමාජිකත්වය ගත් මෙම මෙම ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රිවරුන් හෝ එජාපයෙන් එළවා දැමිය යුතු බවත්ය. නමුත් රනිල් රංගේගේ මේ කතාව අසා සිටියා විනා ඊට පිළිතුරක් ලබාදෙනු දැකගන්නට නොලැබිණ.
කපිල පුංචිමාන්නගේ










