‘ශ්‍රී ලංකාව ඉන්දියාවේම කොටසක්’ බව පිළිගනිමින් ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවැති ව්‍යාපාරික හා ව්‍යවසායක හමුවකදී කැබිනට් අමාත්‍යවරයකු වන හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. ඔහු එම අදහස ඉංග්‍රීසි බසින් පැවැසුවේ මෙසේය.(Sri Lanka Latest News)
‘Fuel tanks are taken by the Indian companies’ Our solar power energies provided by the Indian companies’ This is one of the reasons I think the Indian external affairs secretary mentioned” if you are traveling somewhere” travel to Sri Lanka” because Sri Lanka is a part of India” actually’
එහි දළ සිංහල පරිවර්තනය මෙසේය.
‘තෙල් ටැංකි ගත්තේ ඉන්දීය සමාගම්වලින්. අපේ සූර්ය බලශක්ති සපයන්නේත් ඉන්දීය සමාගම්. මම හිතන්නේ, ඒ නිසා තමයි ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කළේ, ඔබ කොහේ හරි සංචාරය කරනවා නම්, ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න කියලා, මොකද, ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් ඇත්තට’
එහිදී, ඔහු ‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්’ ලෙස අර්ථ නිරූපණය කරමින් එය ඉන්දීය ව්‍යවසායකයන් ඉදිරියේ ප්‍රසිද්ධියේ පිළිගනිමින් කළ ප්‍රකාශය ‘ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්’ බවට චෝදනා එල්ල වෙමින් පවතී.
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළකර තිබූ අදහස් කිහිපයක් පහත දැක්වේ.
‘අමාත්‍ය ධුරයෙන් වහා ඉවත් කළ යුතුයි’
කැබිනට් අමාත්‍යවරයකු ලෙස හරීන් ප්‍රනාන්දු ‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව ඒත්තු ගන්වමින් කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්’ බව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු මෙන්ම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස ද සේවය කළ ආචාර්ය දයාන් ජයතිලක අවධාරණය කරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, කැබිනට් අමාත්‍යවරයකු ලෙස ඔහු ඉන්දියාවේදී කළ එම ප්‍රකාශය අතිශයින් බරපතළ එකක් බවය.
‘ඔහු මේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරයකු හැටියටයි. ඒ වගේම, මේක සම්මුඛ සාකච්ඡාවකදී සිදුවුණු වචන පටලැවීමක් විදිහට සලකන්නත් බෑ. මේක හිතාමතා කරන දේශනයක් අතරතුර කරපු ප්‍රකාශයක්. ඒ වගේම, ඔහු කියනවා, ‘ඇත්තටම ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නිසා’ කියන අදහසක්. ඒ නිසා මේක අත්වැරදීමක් හෝ කටවැරදීමක් ලෙස ලඝු කොට සලකන්න පුළුවන්කමක් නෑ’ ආචාර්ය දයාන් ජයතිලක පැවැසීය.
ඔහු අවධාරණය කළේ, මෙවන් ප්‍රකාශයක් කළ පුද්ගලයකු කැබිනට් අමාත්‍ය ධුරයෙන් වහා නෙරපා දැමිය යුතු බවය. එසේ නොකළහොත්, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය අනුමත කරන බවට උපකල්පනය කිරීමට සිදුවන බවද ආචාර්ය දයාන් ජයතිලක ප්‍රකාශ කළේය.
‘රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවත් මේක වැරදි ප්‍රකාශයක්. ඒ කියන්නේ මේ ප්‍රකාශය හරහා ඔහු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා තියෙනවා. ඒ නිසා වහාම ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතුයි. එහෙම කරන්න ආණ්ඩුව අසමත් වුණොත් අපට කියන්න වෙනවා, ආණ්ඩුවත් ඔහුගේ ප්‍රකාශය අනුමත කරනවා කියන එක’
අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ අදහස
කැබිනට් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය ‘වගකීමකින් කරපු ප්‍රකාශයක් නොවන බව පෙනී යන්නේ’ යැයි අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.
‘මට නම් තේරුණේ එයා ඒක හරියට අර්ථයක් ඇතුව කියපු දෙයක් නෙවෙයි. කතා කරනකොට කට වරදිනවා කියන්නේ, ඒ වගේ වැරදීමකින් කියවෙච්ච ප්‍රකාශයක් කියලා. වගකීමකින් කරපු ප්‍රකාශයක් නොවන බව පේනවා. සමහර විට හොඳ හිත තහවුරු කරගන්න යාමේදී අන්තෙට ගිහිල්ලා ඕවර් රියැක්ෂන් එකකට ගිහිල්ලා වගේ තියෙන්නේ. විදේශ රාජ්‍යයක ගිහිල්ලා කතා කරනකොට වගකීමකින් කතා කරනවා නම් ඔය වගේ ගැටලු එන්නෙ නෑ.’
මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ අදහස දැනගැනීම සඳහා කිහිප වරක් උත්සහ කළද එය ව්‍යර්ථ විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව
ශ්‍රී ලංකාව, ඉන්දියාවට අයත් නොවන වෙනත් රාජ්‍යයක් ලෙස ඈත අතීතයේ සිටම පැවැති බවට මහාවංශය ඇතුළු ලේඛනගත සාක්ෂි රැසක් පවතී. ඉන්දියාවෙන් මෙරටට වෙළෙඳ, සමාජයීය, සංස්කෘතික, ආගමික, දේශපාලනික ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව බලපෑම් සිදුවුවද, ශ්‍රී ලංකාව පැවතියේ වෙනම රාජ්‍යයක් ලෙසය. කෙසේ වෙතත්, මෙම අසල්වැසි රාජ්‍යයන් දෙක අතර පවතින සබඳතාවලට වසර 2500කට අධික ඉතිහාසයක් තිබේ.
වසර 30ක් පැවැති සිවිල් යුද්ධය, ආර්ථික අර්බුදය ඇතුළු ශ්‍රී ලංකාව මුහුණ දුන් අර්බුද ගණනාවකදී ඉන්දියාවේ සහයෝගය ශ්‍රී ලංකාවට ලැබිණි.
‘නින්දිත උත්සාහයන්’
මේ අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ට්විටර් ඔස්සේ පළකරන ලද පණිවුඩයක් ලෙස හුවා දක්වමින් සංසරණය වූ ‘ව්‍යාජ ඡායාරූපයක්’ සම්බන්ධයෙන් 2022 වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තරයේ හෙළාදැක තිබිණි. එහි සඳහන් කර තිබුණේ, ‘ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප, මිත්‍රශීලී සහ ඉපැරණි සබඳතා දුර්වල කිරීමට බංකොලොත් පාර්ශ්වයන් ගන්නා මෙවන් නින්දිත ප්‍රයත්නයන් කිසිදා සාර්ථක නොවනු ඇත’ යනුවෙනි.
බීබීසී සිංහල වෙබ් අඩවියෙනි










