කොවිඞ් 19 වෛරසයට එරෙහිව අපේ රටේ සිදුවන සටන සංවිධානාත්මකය. මේ සටනේ නියමුවන් කාණ්ඩ කිහිපයක් ලෙසට වෙන් කළ හැකිය. ඒ අය අතර ඉහළින්ම සිටින්නේ වෛරසය ආසාධනය වූ රෝගීන්ට සිය අවදානම ගැන නොතකා ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයි. ඊට ප්‍රධාන හෙදියගේ සිට සුළු සේවකයා දක්වා සියලු දෙනාම ඇතුළත්ය. වැඩියෙන්ම අවදානමකට ලක්ව සිටින්නේද ඒ අයය. දෙවැනි කණ්ඩායම වන්නේ මහජන සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශයේ සාමාජිකයන්ය. බුද්ධි අංශ සාමාජිකයන්ද ඇතුළත් වන්නේ මේ කණ්ඩායමටය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග එක්ව රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමටත්, ජනතාව ස්වයං නිරෝධායනයකට යොමු කිරීමටත් ජනතාව දැනුවත් කිරීමටත් දැවැන්ත කාර්යභාරයක් කරන්නේ හමුදාව සහ පොලීසියයි. ඒ අතර හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් සිය දහස් ගණනක් සැකකටයුතු පුද්ගලයින් නිරෝධායනයට ලක්කරන්නේ කොවිඞ් වෛරසය ව්‍යාප්තියෙන් මෙරට ජනතාවට එල්ල විය හැකි පීඩනයන් කල්තියා පාලනය කිරීම සඳහාය.
හමුදාවේ ඒ ක්‍රියාන්විතයේ සාර්ථකත්වයට ඇති හොඳම උදාහරණය වන්නේ හමුදාවේ අධීක්ෂණයෙන් නිරෝධායනය වෙමින් සිටි පිරිස් රැඳී සිටි නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයකින්ම කොවිඞ් 19 වෛරසය වැලඳුණු රෝගීන් හතළිහකට වැඩි පිරිසක් හමුවී තිබීමෙනි. ඒ අතර විදෙස්ගතව සිටි පිරිස් රඳවා සිටි නිරෝධායන මධ්‍යස්ථානවලින් සොයා ගන්නා වෛරස් ආසාධිතයන්ගේ ගණන තිස් හතකි. ඒ අයගෙන් තිදෙනෙක්ම විදේශිකයන්ය. මේ අය ඉතාලිය, කොරියාව ඇතුළු යුරෝපීය රටවලින් පැමිණි පිරිස්ය. ඒ අය නිරෝධායනයට ලක්කිරීම නිසාම රෝගීන් හදුනා ගැනීමට හැකිවූවා මෙන්ම නිරෝධායනය නොවූ අය මේ වන විට පත්ව ඇත්තේ රටපුරා රෝගය ව්‍යාප්ත කරන වාහකයින් බවටය. අපේ රටේ පළමු කොවිඞ් 19 ආසාධිත රෝගියා ලෙස වාර්තා වන්නේ චීනයේ සිට මෙරට සංචාරයකට පැමිණි චීන කාන්තාවකි. ඇයට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වන්නේ ඇය මෙරට සංචාරය නිමකොට දිවයිනෙන් පිටත්ව යන්නට සූදානම් වූ දිනයේය. ඒ වන විට ඇය රට පුරාම සංචාරයේ නිරතව සිටි බැවින් මුළු රටම පත්වන්නේ අවදානමකටය. ඒ නිසාම ඇය ආගිය තැන් සහ ඇසුරු කළ පුද්ගලයින් හඳුනාගනිමින් ඒ අයව හුදෙකලා කරමින් ස්වයං නිරෝධායනයකට යොමු කිරීම දැවැන්ත අභියෝගයක් බවට පත්විය. එම අභියෝගය භාරගන්නේ අපේ රටේ ජාතික බුද්ධි අංශය වන රාජ්‍ය බුද්ධි සේවය විසිනි. ඉතා කෙටි කලක් තුළ ඇය ආගිය තැන් මෙන්ම ඇසුරු කළ පුද්ගලයින්වද බුද්ධි නිලධාරීන් හඳුනා ගනු ලැබුවේ වසර තිහක් තිස්සේ පැවැති යුද්ධයේදී ත්‍රස්තවාදීන් හඹායාමෙන් ලද අත්දැකීම් හේතුවෙනි.
එදා ත්‍රස්තවාදීන් මෙන්ම සැකකටයුතු පුද්ගලයින් හඹාගිය රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගේ කැපවීම හේතුවෙන් චීන කත ආගිය තැන් මෙන්ම ඇසුරු කළ අය හඳුනා ගත්තා පමණක් නොව, ඒ අයට කොවිඞ් 19 වෛරසය ආසාදනය වීමේ ලක්ෂණ පෙන්නුම් කරන්නේ දැයි ඇස ගසාගෙන සිටියේ චීන කත සුවය ලබා මෙරටින් පිටව යන මොහොත දක්වාමය. ඒ පුරා මාසයක පමණ කාලයක් තිස්සේය.

එම චීන කත මෙරටින් පිටව ගිය පසු කොයි කවුරුත් සිතුවේ අපේ රට දැන් ආරක්ෂිත යැයි කියාය. චීනයෙන් මතුව කොවිඞ් 19 ජපානය, දකුණු කොරියාව පසුකරමින් ඉතාලිය ගිල ගන්නා විට අපේ රටටද කොවිඞ් 19 වෛරසයේ බලපෑම එල්ල වන්නට ගත්තේය. ඒ, සංචාරක ව්‍යාපාරය හරහාය. ඒ අනුව අපේ රටේ පුද්ගලයෙකුට පළමුවරට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වන්නේ පසුගිය මාර්තු 11 වෙනිදාය. සංචාරක මග පෙන්වන්නෙක් වූ ඔහුට එම වෛරසය ආසාදනය වන්නේ යැයි පෙනී යන්නේ ඉතාලියේ සිට පැමිණි සංචාරකයින් පිරිසකගෙනි. එම සංචාරකයන් ඒ වන විට මෙරටින් පිටව ගොස් තිබෙන අතර එම සංචාරකයන්ට මග පෙන්වන්නේ ඔහුය. රෝග ලක්ෂණ ඔහුට පෙන්නුම් කරනුයේද එම සංචාරකයන් මෙරට රැඳී සිටියදීමය.
අපේ රටේ පළමු කොවිඞ් 19 ආසාදිතයා සමග එම ඉතාලි සංචාරකයන් පිරිස රට පුරාම සංචාරයේ නිරතව සිටි බැවින් ඇති වන්නේ බරපතළ තත්ත්වයකි. එසේම එම සංචාරකයාගේ දරුවෙක් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබමින් සිටි බැවින් පාසල් පද්ධතිය තුළ හට ගන්නේ නොසන්සුන් තත්ත්වයකි. ඒ එම දරුවාටද කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වූ දූෂමාන තොරතුරු මුල්කරගෙනය. මේ තත්ත්වය මත පාසල් පද්ධතිය නොසන්සුන් වීම වළක්වා ගැනීමට ආණ්ඩුව තීරණයක් ගන්නේ පාසල්වලට නිවාඩු ලබාදෙන්නටය. ඒ අප්‍රේල් නිවාඩුව කලින් ලබාදෙමිනි.
සංචාරක මඟපෙන්වන්නා සහ ඔහුගේ දරුවා පාසල් අතර මහා ක්‍රිකට් තරගාවලියකටද සහභාගි වූ බවට දූෂමාන තොරතුරක් පැතිර ගිය බැවින් මහා ක්‍රිකට් තරග නොපවත්වන ලෙසට ඉල්ලීමක්ද රජයෙන් කෙරන්නට විය. එම ඉල්ලීම් නොතකා පාසල් කිහිපයක් මහා ක්‍රිකට් තරග පැවැත්වූ අතර ඒ එක් මහා ක්‍රිකට් තරගයකට සහභාගි වූ පිරිසකට තරු පෙනෙන්නට ගන්නේ එම ක්‍රිකට් තරගාවලියට සහාභාගිවූ පුද්ගලයෙකුටත් කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වීම නිසාය. ඔහු ගුවන් නියමුවෙකි. ඔහුට වෛරසය වැලඳුණේ කෙසේදැයි පැහැදිලිව අනාවරණය නොවූවත් ඔහු මහා ක්‍රිකට් තරගාවලියට ගොස් සියමිතුරන් සමග එක්ව විනෝද වී ඇත්තේ කා බීය.
ඒත් එක්කම බරපතළ ලෙස ගැටලුවකට ආණ්ඩුව මුහුණ දෙන්නේ කොවිඞ් 19 වෙරසය මෙම ක්‍රිකට් තරගාවලියට සහභාගිවූවන් මගින් ව්‍යාප්ත වෙතැයි කියාය. ඒ අනුව ඒ ක්‍රිකට් තරගයට සහභාගි වූවන් සොයා ඒ අයව ස්වයං නිරෝධායනයට ලක්කරමින් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ වගකීම පැවරෙන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ටය. එය ඔවුන්ට දැවැන්ත අභියෝගයක් වූවත් ඒ අභියෝගය දින කිහිපයක් ඇතුළත ඔවුන් ජය ගත්තේය. පැහැදිලිවම එදා ඒ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී වෛරසය ආසාදනය වූ ගුවන් නියමුවා රැඳී සිටි ප්‍රදේශයේ සිටි සෑම පුද්ගලයෙක්ම පාහේ නිරෝධායනයට ලක්කරනු ලබන්නේ කොළඹට තිබුණු දැවැන්ත අවදානමක් පාලනය කරමිනි.
එම මෙහෙයුම කොතරම් සාර්ථක දැයි මේ වන විට පැහැදිලිය. ඒ එම ක්‍රිකට් තරගාවලිය නැරඹිමට ගිය කිසිවෙකුටත් කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී නොතිබීමෙනි.
මහා ක්‍රිකට් තරගාවලියට සහගාගි වූවන් එසේ කොවිඞ් 19 වෛරසයෙන් ගැලවී යන විට ගල්කිස්සේ පදිංචිව සිටින ප්‍රකෝටිපති මැණික් ව්‍යාපාරිකයෙක් විදෙස්ගතව පැමිණෙන විට වෛරසය මෙරටට රැගෙන විත් තිබී හමුවිය. ඔහුද රෝහල්ගත නොවී කට්ටි පනිමින් සිටියේ පුද්ගලික රෝහලකටද ගොස් ප්‍රතිකාර ලබමිනි. එම රෝහලේ ඔහුව පරීක්ෂා කළ දිවයිනේ නම ගිය දක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙක්ටද ඔහු කොවිඞ් 19 වෛරසය ආසාදනය කළේය. එම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී අතැයි තහවුරු වන්නේ මැණික් ව්‍යාපාරිකයා මුණ ගැසීමත් සමග බුද්ධි අංශ නිලධාරීන් විසින් ඔහු ඇසුරු කළ අය පස්සේ පැන්නීම නිසාය. එසේ නොවන්නට වෛද්‍යවරයාට පවා තමාට වෛරසය ආසාදනය වූ අයුරු ගැන කිසිවක් සිතා ගන්නට පවා නොහැකි වනු ඇත.
අපේ රටේ කුමන ප්‍රදේශයකින් වෛරසය ආසාදිත වූ පුද්ගලයෙක් හමුවූවත් ඒ පුද්ගලයාගේ අලගිය මුලගිය තැන් සොයා වෛරසය පැතිරයාම පාලනය කිරීමට, ඔහුව ඇසුරු කළ හා ඔහු සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක්කිරීමේ කටයුත්තට හඳුනා ගැනීම් කරනුයේ බුද්ධි අංශ සාමාජිකයන් විසිනි.
මහා ක්‍රිකට් තරගාවලියෙන් පසු සමූහ වශයෙන් කොවිඞ් 19 වෛරසය ව්‍යාප්ත වේයැයි අනුමාන කළ ස්ථානයක් වූයේ යාපනයේ අරියාල ප්‍රදේශයයි. ඒ කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ දේවගැතිවරයෙක් මෙරටට පැමිණ යාපනයේ කළ දේව මෙහෙයක් නිසාය. මේ කියන ස්විස් දේවගැතිවරයා යාපනයේ පදිංචිකරුවෙකි. ඔහු විවාහකය. ඹෟෂධ ප්‍රතිකාරවලින් තොරව යාඥා මගින් ලෙඩ රෝග සුව කළ හැකි බවට විශ්වාස කරන නිකායක සාමාජිකයෙක් වන එම දේවගැතිවරයා සිය බිරිඳ සමග ජීවත්වන්නේ ස්විට්සර්ලන්තයේය. ද්විත්ව පුරවැසියෙක් වන ඔහු සිය ආගමික නිකාය යාපනයේ ව්‍යාප්ත කිරීමට මුදල් අසීමාත්තික ලෙස වියදම් කරන්නෙකි. එදා අප්‍රේල් 10 වෙනිදා ඔහු ස්විට්සර්ලන්තයේ සිට මෙරටට එන්නේ පෙරපාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටත් දේව මෙහෙයක් පැවැත්වීමටත්ය. ඔහු ඒ එන්නේ සිය බිරිඳත් සමගිනි. ඒ පැමිණි ඔහු මෙරටින් පිටත්ව යන්නේ 15 වෙනිදාය. ඔහුට කොවිඞ් 19 වෛරසය වැලඳී ඇතැයි අනාවරණය වන්නේ ස්විට්සර්ලන්තයේදීය. ඒ වන විට ඔහුගෙන් රෝගය පෙර පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීමට කොන්ත්‍රාත්තුව ලබාගත් පුද්ගලයාට වෛරසය වැලඳී තිබුණි. 15 වෙනිදා ඔහු මෙරටින් පිටත්ව යන්නට මත්තෙන් අරියාලේ දේවස්ථානයේදී දේව මෙහෙයක්ද ඔහු විසින් පවත්වා තිබුණි. එම දේව මෙහෙයට 200කට වැඩි පිරිසක්ද සහභාගි වී සිටියහ. ඒ අයගෙන් වැඩි දෙනෙක් ජීවත් වූයේ අරියාලේය. එසේම දේවගැතිවරයා අරියාලේ බොහෝ තැන්වල ඒ දින කිහිපය තුළ සැරිසරා තිබුණු බැවින් තීරණය කෙරෙන්නේ මුළු අරියාලේ ගම්මානයම හුදෙකලා කරමින් නිරෝධායනය කිරීමටය. ඒත් එක්කම යාපනයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතියද පැනවීමට රජය පියවර ගත්තේ අරියාලේ හරහා යාපනයට පොකුරු පිටින් කොවිඞ් වෛරසයට ගොදුරු වූවන් මතුවීම වළක්වා ගැනීමේ ආරක්ෂක පියවරක් ලෙසිනි. ඒත් එක්කම ස්විස් දේවගැතිවරයාට සමීපව සිටි අය සහ ස්විස් දේවගැතිවරයාගෙන් වෛරසය ආසාදනය වූ කොන්ත්‍රාත්කරුගේ පවුලේ සාමාජිකයන් 60 දෙනෙක් තෝරාගෙන ඔවුන්ව යාපනයේ ස්ථාපිත කරනු ලැබූ නිරෝධායන මධ්‍යස්ථානයකටද යොමු කිරීමට පියවර ගත්තේය.මේ ගම්මානයම නිරෝධායනයට ලක්වන්නේ 21 වෙනිදාය. ඒ අයගෙන් එක් අයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වන්නේ දින 10කට පසුවය. ඒ වෙන කිසිවෙක් නොව අරියාලේ දේවස්ථානයේ දේවගැතිවරයාටය. මෙහි ඇති භායානක තත්ත්වය වන්නේ අරියාලේ දේවගැතිවරයා කොවිඞ් 19 වෛරසය ආසාදනය වීමේ රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොතිබීමය. ඔහු ඇතුළු 10 දෙනෙක් කොවිඞ් 19 පරීක්ෂාවට ලක්කරන්නේ දේවගැතිවරයා මෙරටින් පිටත්ව ගොස් 31 වෙනිදා වන විට දින 15 ක් ගෙවී ගොස් ඇති බැවිනි. එහිදී සෙසු අයට වෛරසය ආසාදනය වී නැති බව මෙන්ම දේවගැතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වන්නේ කොවිඞ් 19 වෛරසයේ අලුත්ම මුහුණුවරක් අනාවරණය වෙමිනි.
කොවිඞ් 19 වෛරසයේ මේ අලුත්ම මුහුණුවර ගැන මුල්ම තොරතුර ලැබෙන්නේ පුත්තලම සහිරා විද්‍යාලයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය තුළිනි. යුද හමුදාවේ අධීක්ෂණයේ ඇති එම නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින්නේ පුත්තලම කඩුමයන්කාඩු ගම්මානයේ වැසියන් 80කට වැඩි පිරිසකි. මේ වන විට ඇත්තේ එම ගම්මානය හුදෙකලා කර ගම්මානයම නිරෝධායනයට ලක්කරමිනි. ඒ එම ගම්මානය කොවිඞ් 19 වෛරසය ව්‍යාප්ත කරන මධ්‍යස්ථානයත් බවට පත්ව ඇති බැවිනි.
මෙම ගම්මානයෙන් පළමු කොවිඞ් 19 වෛරසය වැලඳුණු රෝගියා හමුවන්නේ ඉකුත් 28 වෙනිදාය. ඔහු ගම්මානයේ මිතුරන් පස් දෙනෙක් සමග පෙබරවාරි 26 වෙනිදා ඉන්දුනීසියාව, මලයාසියාව සහ තායිලන්තයේ සංචාරයක නිරත වී මෙරටට පැමිණ ඇත්තේ මාර්තු දාහත්වෙනිදාය. ඒ වන විට රජයේ මැදිහත් වීමෙන් නිරෝධායනයට යොමු කරනුයේ දකුණු කොරියාව, ඉතාලිය ඇතුළු යුරෝපීය රටවලින් පැමිණෙන පිරිස්ය. එබැවින් මොහු ඇතුළු මිතුරන්ට ගුවන්තොටුපොළින් පිටතට පැමිණ නිවාස වෙත යන්නට කිසිදු බාධාවක් නොවීය. මේ අයටත් නිරෝධායනය වන්නැයි සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලැබෙන්නේ දින කිහිපයකට පසුවය. ඒ වන විට ඔහු ගමේ හැම තැනකම සැරිසරා තිබෙන්නේ ගුරුවරයෙක් වන බැවිනි. ගමේ දේවස්ථාන තුනකටද ඔහු ගොස් තිබුණේය. කොවිඞ් 19 වෛරසයේ රෝග ලක්ෂණ ඔහුගෙන් පිටවන්නේ ඉකුත් 26 වෙනිදාය. ඒ බව ඔහු ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නේය. 2 වෙනිදා වන විට උණ රෝගය උත්සන්න වීමෙන් ඔහුව ඇතුළත් කෙරන්නේ පුත්තලම රෝහලටය. වෛරසය ඔහුට ආසාදනය වී ඇතැයි තහවුරු වන්නේ එහිදීය.
ඒත් එක්කම බුද්ධි අංශ නිලධාරීන් ක්‍රියාත්මක විය. ඔහු ඇසුරු කළ පුද්ගලයින් ගැන තොරතුරු සොයා බැලුවෝය. එහිදී පෙනී යන්නේ මුළු ගම්මානයම හුදෙකලා කිරීමකින් තොරව ඔහුගෙන් වෛරසය පැතිරයාම වැළැක්විය නොහැකි බවය. ඒ අනුව ගම්මානය හුදෙකලා කරමින් නිරෝධායන මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කෙරන්නේ මේ පුද්ගලයා ඉතා සමීපව ඇසුරු කළ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙනි. මුලින්ම නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරන්නේ 19 දෙනෙකි. ඒ අය අතර ඔහු සමග විදෙස් සංචාරයේ නිරතවූවන් කිහිප දෙනෙක්ද සිටියහ. මේ අය වෛරසය ආසාදනය වීමේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි හමුදා බලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් තීරණය කරන්නේ ඔවුන්ව වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කරන්නටය. ඒ අයගේ පරීක්ෂණ වාර්තා ලැබෙන්නේ 31 වෙනිදා සවසය. ඒ ඔවුන්ගෙන් 10 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටය. මෙතෙක් මෙරටින් එක් දිනක් තුළ හමුවූ වැඩිම කොවිඞ් 19 ආසාධිතයන් ගණනක් හමුවන්නේද එදිනය. ඒ 21 දෙනෙකි. ඒ අයගෙන් 10 දෙනෙක්ම පුත්තලමේ හුදෙකලා කළ කඩුමයන්කාඩු ගම්මානයේ වැසියන්ය. සෙසු අයගෙන් දෙදෙනෙක් හමුවන්නේ යාපනයේ අරියාලේට පසු හුදෙකලා කළ කළුතර අටළුගම්මානයෙනි. ඒ අටළුගම මාරාව තැපැල් කන්තෝරුවේ උප තැපැල් ස්ථානාධිපතිනිය සහ ඇගේ බාල පුතාය. ඇගේ සැමියාද දියණියද වැඩිමහල් පුතාද වෛරසය වැළඳී අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබුණි. මේ අය සිටියේ ගම්මානය හුදෙකලා කිරීමෙන් පසු අටළුගම වෙනුවෙන් බණ්ඩාරගම පිහිටුවූ සර්වෝදය නිරෝධායන මධ්‍යස්ථානයේය.
අටළුගමට කොවිඞ් 19 වෛරසය රැගෙන එන්නේ එම උපතැපැල් ස්ථානාධිපතිනියගේ වැඩිමහල් පුතාය. ඔහු ඩුබායි සංචාරයක නිරතව නිරෝධායනය නොවී ගම්මානය පුරා සැරිසැරූවෙකි. ඩුබායිහී නිතර යන එන අයෙක් වන ඇගේ වැඩිමහල් පුතා දින දෙකක් ඩුබායි සංචාරයක නිරතව මෙරටට පැමිණ ඇත්තේ මාර්තු 19 වෙනිදාය. ඒ වන විටත් ඩුබායි සිට පැමිණි අය නිරෝධායනයට යොමු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීය. ගුවන්තොටුපොළේ සිට ඔහුට ගම්බිම් බලා යන්නට අවස්ථාව ලැබී ඇත්තේ එබැවිනි. ඒ ගිය ඔහු ගම පුරාම කරක් ගැසුවේය. මිතුරන් සමග එක්ව කමින් බොමින් විනෝද විය. දින කිහිපයකට පසු ආණ්ඩුව ඩුබායි සිට පැමිණි අයටත් නිරෝධායනය වන්නට යැයි කළ දැනුම් දීම ඔහු තඹ සතේකට මායිම් කළේ නැත. ඔහු ගැන බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව අටළුගම අයත්වන පොලිසිය වන බණ්ඩාරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් අටළුගමට පැමිණියත් ඔහු පොලීසියට කොකා පෙන්වමින් සැඟව සිටින්නට විය. එහෙත් ඔහුට වැඩි කලක් එසේ කට්ටි පනින්නට ඉඩක් නොවීය. කොවිඞ් 19 වෛරසයේ රෝග ලක්ෂණ මතුවන්නට ගත්තේය. ඒ මාර්තු 24 වෙනිදා සිටය. එදා ඔහු පොලීසියට භාරවෙන්නේ තමාට වැඩ වැරදී ඇතැයි දැනගෙනය. පොලීසිය මැදිහත්වෙමින් ඔහුව රෝහල්ගත කරන්නේ 25 වෙනිදාය. ඒ කළුතර නාගොඩ රෝහලටය. 26 වෙනිදා ඔහුව අයි.ඩී.එච්. රෝහලට යොමු කෙරන්නේ කොවිඞ් 19 වෛරසය ඔහුට ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතු කොටගෙනය.

අටළුගම හුදෙකලා කරන්නේ ඒත් එක්කමය. ඊට පහුවෙනිදා වන විට ඔහුගේ පියාටත් නැගණියටත් වෛරසය වැලඳී ඇතැයි තහවුරු විය. ඒ අනුව ඔවුන්වද අයි.ඩි.එච්. වෙත රැගෙන ගියේය. ඒත් එක්කම ඔවුන්ව ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ 26 දෙනෙක් බුද්ධි අංශ විසින් හඳුනා ගත්තේය. ඒ අයගෙන් නිරෝධායනයට යොමු කිරීමට සොයා ගැනීමට හැකියාව ලැබෙන්නේ 20 දෙනෙක් පමණි. ඒ සෙසු 06 දෙනා කට්ටි පනිමින් ගම්මානයේම සැඟවී සිටින බැවිනි. මෙම ගම්මානයේ රෝගීන් හමුවීම එතැකින් අවසන් වන්නේ නැත. ගම්මානයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන පිරිස් එකා දෙන්නා හමුවෙමින් ඇත. එසේ තිබියදීත් ගම්වැසියන් තවමත් හික්මීමකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. ඔවුන් හොර රහසේ ගමේ ගෙයින් ගෙට පනිමින් සිටින්නේ මුළු ගමටම වෛරසය ව්‍යාප්ත කරමිනි. මේ තත්වය මත ඉදිරියේදී මෙම ගම්මානයේ තෝරාගත් පිරිස් හමුදා අධීක්ෂණයේ ඇති නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට සිදුවනු ඇති බව බුද්ධි අංශවල තක්සේරුව වී තිබේ.
එසේ හුදෙකලා කළ දෙවැනි ගම්මානයෙන්ද කොවිඞ් වෛරසය වැලඳුණු රෝගීන් දෙදෙනෙක් 31 වෙනිදා හමුවන විට තවත් සිවු දෙනෙක් හමුවන්නේ කළුතරින්මය. ඒ බේරුවලිනි. බේරුවලින් මේ වන විට කොවිඞ් ආසාදනය වූ රෝගීන් 10 දෙනෙකුට වඩා හමුවී ඇති අතර කලුතරින් මෙතෙක් හමුවී ඇති ආසාදිතයන් 24 දෙනාගෙන් අඩක් පමණ සිටින්නේ බේරුවලය. ඒ අනුව බේරුවල පන්නිල ග්‍රාමය මේ වන විට හුදෙකලා කර ඇති අතර ගම්මානයේ හඳුනාගත් පුත්ගලයින් 45 දෙනෙක් මේ වනවිට හමුදා අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්වන්නේ මඩකලපුව පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේදීය.
බේරුවලත් මේ වන විට ආසාදිතයන් හමුවන්නේ පවුල්පිටිනි. එකම පවුලේ හය දෙනෙක් මේ වන විට වෛරසය ආසාදනය වී හමුවී ඇති බව සඳහන්ය.
එක්දිනක් තුළ මෙරට වැඩිම ආසාදිතයන් පිරිසක් හමුවන 31 වෙනිදා තවත් 03 දෙනෙක් හමුවන්නේ අකුරණ ගම්මානයෙනි. ඒ මහනුවරට කොවිඞ් 19 වෛරසය රැගෙන පැමිණි පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ය.
කොවිඞ් 19 වෛරසයෙන් තොර කලාපයක් බවට පත්ව තිබුණු මහනුවරින් මුල්ම ආසාදිතයා හමුවන්නේ ඉකුත් 28 වෙනිදාය. ව්‍යාපාරිකයෙක් බව සඳහන් ඒ පුද්ගලයා අකුරණ පදිංචිකරුවෙකි. මේ පුද්ගලයා ව්‍යාපාරික කටයුතු සඳහා චෙන්නායි ගොස් දින හය හතක්ම එහි රැඳී සිට පැමිණ ඇත්තේ මාර්තු 15 වෙනිදාය. ඒ පැමිණි ඔහුද නිරෝධායනය නොවී ගම පුරා කරක් ගැසුවේය. අකුරණ ඇති දේවස්ථාන කිහිපයකටද සිකුරාදා දේව මෙහෙයට පමණක් නොව, සෙසු දේව මෙහෙයන්ටද සහභාගිවී තිබුණේය. විටෙන් විට කොවිඞ් 19 රෝග ලක්ෂණ ඔහුට පෙන්නුම් කළද ඒ ගැන තැකීමක් නොකරමින් ඔහු අකුරණ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාරද ගත්තේය. ඒ ඉන්දියානු සංචාරය ගැන වෛද්‍යවරයාට කරුණු සඟවමිනි. මේ පුද්ගලයා ගැනත් තොරතුරු හෙළිකර ගන්නේ බුද්ධි අංශ විසිනි. ඒ ඉන්දියාවේ සංචාරයේ නිරතව පැමිණ නිරෝධායනය නොවී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ඔහු ගැන කළ සොයා බැලීමකදීය. ඒ අනුව ඔහුව මහනුවර රෝහලට ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත් අතර මේ පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වන්නේ එවිටය. ඒත් එක්කම බුද්ධි අංශ රජයට නිර්දේශ කරන්නේ ගම්මානය හුදෙකලා කරන ලෙසය. ඒ එම ගම්මානයේ වැඩි දෙනෙකුට මේ පුද්ගලයාගෙන් වෛරසය ආසාදනය වන්නට හැකියාවක් ඇතැයි අනුමාන කරමිනි. ඒ අතර 31 වෙනිදා වෛරසය ආසාදනය වූ බව සනාථ වන එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්වද 29 වෙනිදා කොවිඞ් 19 පරීක්ෂණයකට යොමු කළත් ඒ අයට වෛරසය වැලඳී ඇති බවක් තහවුරු නොවීය. ඒ අයට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වන්නේ 31 වෙනිදා උදෑසන ඔවුන්ව නැවත වරක් පරීක්ෂාවට ලක්කිරීමේදීය.
ඒ වන විට කොළඹ, ගම්පහ, කළුතර, යාපනය සහ කොළඹ දිස්ත්‍රික්කයන්ට පමණක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය මහනුවරටත් නැවත දැනුම් දෙන තුරු පැනවෙන්නේ මේ අනුවණ පුද්ගලයා නිසාය. මුල් අවස්ථාවේදීම ඔහු නිරෝධායනය වූයේ නම් අද අකුරණ ගමම හුදෙකලා වන්නේ නැත. සෞඛ්‍ය අංශවල සහ බුද්ධි අංශවල තක්සේරුව වී ඇත්තේ මෙම ගම්මානයද වෛරසය ව්‍යාප්ත කරන රෝගකාරකයන් සිටින ගම්මානයක් බවය. ඒ තත්ත්වයෙන් ගම්මානය මුදා ගැනීමට නම් ගම්මානයේ සියලු දෙනාම සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් පිළිපදිමින් ස්වයං නිරෝධායනය නිසි ලෙස ඉටු කළ යුතුය. එසේ වුවහොත් දින 21කින් පසු ගම්මානයට තබා ඇති මුද්‍රා ඉවත් කෙරෙනු ඇත.
අකුරණින් හමුවූ රෝගීන් තිදෙනා සමග 31 වෙනිදා හමුවූ රෝගීන් 21 දෙනාගෙන් 19 දෙනෙක්ම හමුවන්නේ හුදෙකලා ගම්මානවලිනි. ඒ අය මුලින් වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ ඥාතීන්ය. එදා වෛරසය ආසාදනය වූ බව සඳහන් සෙසු දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ය. ඒ එක් අයෙක් වන්නේ සංචාරක මග පෙන්වන්නෙකි. දෙවැන්නා ඉන්දියාවේ සංචාරයක නිරතව පැමිණි කාන්තාවකි.
මෙම ගම්මාන හරුණු කොට පුත්තලමේ නාත්තන්ඩියේ කොටසක්ද ඇත්තේ හුදෙකලා කරමිනි. ඒ ඉන්දියාවේ ගොස් පැමිණ පුද්ගලයෙක් ස්වයං නිරෝධායනය නොවී සිටියදී කොවිඞ් 19 වෙරසය ආසාදනය වී තිබීම නිසාය. මේ පුද්ගලයා ඉන්දියාවේ යන්නේ ව්‍යාපාරික කටයුතු සඳහාය. මාර්තු 11 වෙනිදා ඉන්දියාවට යන ඔහු නැවත එන්නේ 12 වෙනිදාය. ඔහුද ගම වටේත් රට වටේත් මේ කාලය තුළ සැරිසරා ඇත්තේ වෛරසය වපුරවමිනි. කොළඹටද ඔහු වරෙක පැමිණි ඇති බව බුද්ධි අංශ විසින් සොයා ගත්තේය. ඔහු කොළඹින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන විත් සිය ගම්පළාතේ පුද්ගලයින්ට බෙදා හැරද තිබුණේය. ඔහුට වෛරසය වැළදී ඇතැයි අනාවරණය වන්නේ ඉකුත් 2 වැනිදාය. ඒ කොවිඞ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට වූ බැවින් ඔහු ප්‍රතිකාර සදහා මාරවිල රෝහලට ගිය අවස්ථාවේදීය. අනතුරුව ඔහුගේ බිරිදටත් , පිරිමි දරුවන් දෙදෙනාටත්, දියණියගේ වයස මාස හතරක බිළිඳාටත් වෛරසය වැලඳී ඇතැයි තහවුරු වීම නිසා ඒ අය අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කිරීමට මාරවිල රෝහල් බලධාරීන් පියවර ගත්තේය. මෙරටින් වාර්තා වූ ළාබාලතම කොවිඞ් 19 ආසාදිතයා වන්නේ එම බිලිඳාය.
කොවිඞ් 19 වෛරසයෙන් මිය ගිය පළමු පුද්ගලයාද ජීවත් වූයේ මාරවිලය. සංචාරක මග පෙන්වන්නෙක් වූ ඔහු මිය යන්නේ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. වකුගඩු බද්ධ කිරීමකට පවා ලක්ව සිටි ඔහුට රුධිරයේ සීනි මට්ටම වැඩීවීම සහ අධික රුධිර පීඩනය වැනි රෝග ලක්ෂණ පැවැති බව වෛද්‍යවරු සඳහන් කළහ.
කොවිඞ් වෛරසයෙන් මීගමුව රෝහලේදී මිය ගිය දෙවැන්නාට වෛරසය ආසාදනය වූ ආකාරය අදටත් ඇත්තේ අබිරහසක් ලෙසිනි. මේ වන විට බුද්ධි අංශ ඒ ගැන පුළුල් විමර්ශනයක නිරත වන්නේ ඔහු ආගිය තැන් සහ ඇසුරු කළ පුද්ගලයන් ගැනද කරුණු සොයා බලමිනි.
මේ පුද්ගලයා විදෙස්ගතවීමකට ලක්ව නැති අතර විදේශයක සිට පැමිණි පුද්ගලයින්ව ඇසුරු කළ බවක්වත් අනාවරණය වන්නේ නැත. ඔහු ශ්වසන ආබාධයකින් කාලයක් තිස්සේම පෙළී සිටි අයක් බැවින් කොවිඞ් 19 රෝගය ඔහුට වැලඳී ඇතැයි විශ්වාස කරන්නේ නැත. එබැවින් ඔහු තමන් ජීවත්වූ මීගමුවේ පෝරුතොට පැත්තේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකටත් ගොස් ප්‍රතිකාර ගත්තේය. ඒ ශ්වසන ආබාධයකටය. අනතුරුව ඔහුව පවුලේ උදවිය රැගෙන යන්නේ මීගමුවේ පිහිටි පුද්ගලික රෝහලකටය. මූලික පරීක්ෂාවකින් පසු ඇතිවන සැකයක් මත ඒත් එක්කම එම රෝහලේ වෛද්‍යවරු නිර්දේශ කරන්නේ ඔහුව මීගමුව මහ රෝහලට රැගෙන යන ලෙසය. මීගමුව මහ රෝහල පිහිටා ඇත්තේ එම පුද්ගලික රෝහල සමීපයේය. ඒ අනුව එම රෝගියාව මීගමුව රෝහලට රැගෙන යන විට ඔහු පත්ව තිබෙන්නේ හෘද රෝගියෙක් ලෙසිනි. දැඩි සත්කාර ඒකකයට පවා ඔහුව ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇති අතර ඔහුට කොවිඞ් 19 රෝගය වැලඳී ඇතැයි තහවුරු වන්නේ රෝහල්ගත කර පැය කිහිපයක් තුළ ඔහුගේ මරණය සිදුවීමත් සමගිනි.
මේ වන විට ඔහුගේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇති අතර දැනට ලැබී ඇති එකම තොරතුර වන්නේ ඔහු මාර්තු හත්වෙනිදා විවාහ මංගල්‍යයකට සහභාගිවීමට යාපනයට ගිය බවක් පමණි. එම විවාහ උත්සවයට 100ක පමණ පිරිසක් සහභාගි වී ඇති අතර ඔහු යාපනයට ගොස් ඇත්තේත් නැවත පැමිණ ඇත්තේත් පොදු ප්‍රවාහන සේවා බස් රථයකිනි. ඒ හැරුණු කොට මේ පුද්ගලයා ගමින් පිට වෙනත් ස්ථානයකට ගිය බවක් මෙතෙක් අනාවරණය වී නැති අතර ඔහු පදිංචි ගම්මානයේ විදෙස්ගතව සිටින්නෙක් සමග සම්බන්ධයක් පැවැති බවක්වත් අනාවරණය වී නැත. ඒ අනුව ඔහුට රෝගය වැලඳුණු ආකාරය පත්ව තිබෙන්නේ අබිරහසක් ලෙසිනි.
සෞඛ්‍ය අංශ වාර්තාවලට අනුව කොවිඞ් 19 වෛරසය ආසාදනය වූවන් වැඩි පිරිසක් රැඳී සිටින්නේ බස්නාහිර පළාතේය. පසුගිය 02 වෙනිදා වන විට එම පළාතේ කොවිඞ් 19 වෛරසය ආසාදිත වූවන් ලෙස හඳුනාගත් පුද්ගලයින් ගණන හැත්තෑව ඉක්මවා තිබුණි. ඒ අතරින් වැඩිම වෛරසය වැලඳුණු පුද්ගලයින් පිරිසක් සිටියේ කොළඹය. එම ගණන 30කට වැඩිය. ඒ අතර කොවිඞ් මරණයක්ද වාර්තා වී තිබේ. ඒ මරදාන ප්‍රදේශයෙනි. එම පුද්ගලයා 58 හැවිරිදි අයෙකි. ඔහුට වෛරසය වැලඳී ඇතැයි අනාවරණය වන්නේ 01 වෙනිදාය. එදිනම රාත්‍රියේ ඔහු මිය යන්නේ ආසාදන තත්ත්වය දරුණු අතට පත්වීම නිසාය. ඔහු ජීවත්වූයේ තට්ටු නිවාස සංකීරණයකය. ඒ අනුව එම තට්ටු නිවාස සංකීර්ණයම විෂබීජ හරණය කරමින් මුළු තට්ටු නිවාස සංකීර්ණයේම වැසියන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පවා සිදුවී ඇත.
මේ පුද්ගලයාට වෛරසය වැලඳී ඇතැයි සැකකරන්නේ ඔහුගේ පුතාගෙනි. ඔහු මක්කම වන්දනාවේ ගොස් පැමිණ ඇත්තේ පසුගිය 22 දාය. ඒ පැමිණි ඔහු නිරෝධායනය වූ බවක් අනාවරණය වන්නේ නැත. දැන් ඔහුගේ මුළු පවුලේම සාමාජිකයන් නිරෝධායනය වෙත යොමු කර ඇත්තේ ඔවුන්ද රෝග පතුරුවන රෝගකාරකයන් බවට පත්ව ඇති බැවිනි.
මේ අතර කුරුණෑගලින්ද රෝගියෙක් 01 වෙනිදා මතුවිය. ඇය කාන්තාවකි. එම කාන්තාව නාත්තන්ඩියේ පළමු රෝගියාගේ සහෝදරියක් ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ. මෙම කාන්තාව පදිංචිව සිටියේ කටුපොතය. නාත්තන්ඩියේ පුද්ගලයා බිත්තර මිලදී ගැනීමකට නාත්තන්ඩියේ සිට දුම්මලසූරියට පැමිණ ඇති බවත් ඒ පැමිණි විටදී මෙම කාන්තාව මුණගැසී ඇයට තෑග්ගක්ද ලබාදී ගොස් ඇති බවත් බුද්ධි අංශ හෙළිකර ගෙන තිබේ. මෙම කාන්තාව හමුවීමක් ගැන හෝ දුම්මලසූරියට බිත්තර මිලදී ගැනීමකට ඔහු පැමිණීමක් ගැන මෙයට පෙර බුද්ධි අංශ විසින් හෙළිකරගෙන තිබුණේ නැත. ඒ නිසාම මේ කාන්තාව කල්තියා හඳුනාගෙන නිරෝධායනට යොමු කිරීමට නොහැකි විය. එහි ඇති බරපතළම කාරණාව වන්නේ 01 දා ඇඳිරි නීතිය ඉවත් කිරීමට පෙර අවසන් වරට ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කටුපොත සහ ඒ අවට ප්‍රදේශ රැසක සංචාරය කර තිබීමය. ඇය පොළටද ගොස් ඇත. සතොසින් භාණ්ඩද මිලදී ගෙන ඇත්තේ පොලිමේ රැඳී සිටය. ඇය ආගිය තැන් බොහෝය. ඒ නිසාම බුද්ධි අංශවලට බරපතළ ගැටලුවක් ගෙන දී ඇත්තේ මේ කාන්තාවගෙන් වෛරසය කීදෙනෙක්ට බෝවිය හැකිදැයි සිතාගන්නට බැරිවය.
ඉදිරියට අපේ රටේ තැනින් තැන මතුවන්නේ මේ පුද්ගලයන්ගෙන් වෛරසය ආසාදනය වූ අයය. සෞඛ්‍ය බලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ දැඩි උත්සාහයක නිරතවන්නේ පොකුරු වශයෙන් ගම්මානවලින් රෝගීන් හමුවීම වළක්වා ගන්නටය. ඒ සඳහා මේ වන විටත් ගතහැකි සියලුම ආරක්ෂක විධිවිධාන ගනිමින් සිටිති. ඒ අනුව ඉදිරියේදී තවත් ගම්මාන හුදෙකලා කරමින් නිරෝධායනයට ගම්මාන පිටින්ම වැසියන් ලක්කෙරනු ඇත.
රුවන් වෙඩිවර්ධන










