ජාත්‍යන්තර මුහුද හරහා ශ්‍රී ලංකාවට නීති විරෝධීව පසුගිය 2023 වසරේ ගෙනැවිත් තිබූ රුපියල් මිලියන 26,000කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොග ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතා ‘මව්රට’ට පැවැසීය.
එවැනි අන්දමට නීති විරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ආ දේශීය සහ විදේශීය ජාවාරම්කරුවන් 216 දෙනකු සමග බහුදින යාත්‍රා සහ ට්‍රෝලර් යාත්‍රා 25ක්ද නාවික හමුදා භාරයට ගෙන රේගුවට සහ පොලිස් මත්ද්‍රව්‍ය අංශයට භාරදී ඇති බවද ඔහු සඳහන් කළේය.
මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග අතර හෙරොයින් කිලෝග්‍රෑම් 715.05ක්ද, හෂීස් කිලෝග්‍රෑම් 240ක්ද, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11.1ක්ද, කේරළ ගංජා කිලෝග්‍රෑම් 3,711.08ක් සහ ගංජා කිලෝග්‍රෑම් 50.05ක්ද වන බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මීට අමතරව මෙම වසරේ බේරුවල මුහුදේදී ජාත්‍යන්තර මුහුදේ හුවමාරු වූ රුපියල් මිලියන 3,190ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 06 දෙනකුද අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 648ක්, අයිස් කිලෝග්‍රෑම් 189යි ග්‍රෑම් 388ක් සොයාගැනීමට හැකිව තිබේ.
ප්‍රේමලාල් විජේරත්න









