රට පුරා කොරෝනා අවදානම පැතිරී යන වාතාවරණයක් යටතේ පුවත්පත් මුද්‍රණය කර බෙදා හැරීම දැඩි අවදානම් සහගත තත්ත්වයක් විය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති.
එහිදී පුවත්පත් බෙදා හැරීම සහ පුවත්පත් මිලදී ගැනීම කොරෝනා රෝගය ගෙදරටම ගෙන්වා ගන්නා ක්‍රමයක් විය හැකි බවට එම වෛද්‍යවරු අනතුරු අඟවා සිටිති.
එමෙන්ම එය ජනමාධ්‍යවේදීන්ගේ සහ පුවත්පත් ආයතනවල සේවකයන්ගේ ජීවිතය ද අවදානමකට ලක් කිරීමක් බව ඔවුහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අපේක්ෂා රෝහලේ වෛද්‍ය නිහාල් රංජන් මහතා සදහන් කළේ “මෙම මොහොතේ පත්තර මුද්‍රණයේ විශාල අවදානමක් තිබෙනවා. පත්තරයක් මුද්‍රණය කරල අවශ්‍ය කෙනාගෙ ගෙදරට යවන වැඩපිළිවෙළක් නෑනෙ. මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. පත්තරේ එක්ක කොරෝනා ගෙනයෑමක් බවට මෙය පත්වෙන්න පුළුවන්. ඒක කරනවද නැද්ද කියල කල්පනා කරන්න. විශේෂයෙන්ම මුද්‍රණ අංශ සේවකයන්ට නිශ්චිත දුර තබාගෙන වැඩ කරන්න පුළුවන් ද? බෙදාහැරීමේ දී එහෙම වෙනවද? මේ වගේ ප්‍රශ්න රැසක් එනවා. එනිසා මේ අවස්ථාව මුද්‍රණය වෙනුවට ඊ පුවත්පත් වැනි විකල්ප ප්‍රකාශන මාධ්‍යයකට යොමුවිය යුතු මොහොතක්” යනුවෙනි.
මෙම තත්ත්වය යටතේ අපගේ පාඨකයන් අවදානමේ හෙළිය නොහැකි බැවින් ‘මව්රට’ ජාතික පුවත්පත පසුගිය සතියේ මුද්‍රණය කිරීම අත්හිටුවා එය ‘ඊ’ පුවත්පතක් ලෙස අප පාඨකයන් වෙත ලබා දීමට පියවර ගත්තෙමු.










