එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරයට සහභාගී වීමට පසුගියදා ජිනීවා නුවර බලා පිටත්ව ගිය නිදහස ජනතා සභාව නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා ඊයේ(13) දින අන්තර් පාර්ලිමේන්තු සංගමයේ තානාපති, විදේශ කටයුතු පිළිබඳ අධ්යක්ෂ ඇන්ඩා ෆිලිප් මහත්මිය හමු වී වර්තමාන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු සම්ප්රදාය සහ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය හකුලා දමමින් විපක්ෂය මර්ධනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වන ලිපියක් බාර දීමට කටයුතු කළේය.Sri Lanka Latest News
එහිදී තානාපතිතුමිය සමඟ සිදු කළ සාකච්ඡාවේදී වසන්ත යාපාබණ්ඩාර මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විපක්ෂයට ලැබෙන අවස්ථාවන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර විපක්ෂය මර්ධනය කිරීමට පමණක් ආණ්ඩුව උත්සාහ කරන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (Business Committee) නියෝජනය කිරීමට විපක්ෂ කණ්ඩායම් වලට ප්‍රමාණවත් ඉඩක් හිමි නොවන බවයි.
තවද පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව), සහ ආංශික අධීක්ෂණ කාරක සභාවන්හි වැදගත් සහ තීරණාත්මක කාරක සභා වල විපක්ෂ කණ්ඩායම් වලට ප්‍රමාණවත් ඉඩක් නොලැබෙන අතර එනිසා පාර්ලිමේන්තුව තුල විපක්ෂ කණ්ඩායම් වලට 40% ක පාර්ලිමේන්තු බලයක් ඇති නමුත්, එම පාර්ලිමේන්තු බලය නියෝජනය කිරීමට අවස්ථාවක් නොමැයි බවයි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් මර්ධනය කිරීමේ සහ වරප්‍රසාද කඩකිරීමේ අවස්ථා කිහිපයක්ම මෑත කාලීනව සිදු වූ අතර ඒවා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කථානායකතුමන් වෙත පැමිණිලි කරත් ඒ පිළිබඳව කිසිඳු පියවරක් ගැනීමට කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බව ඒ මහතා කියා සිටියේය.
ඒ අතරින් පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී තමා විසින් වනජීවී අමාත්‍යතුමිය වෙත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේදී පළමු අතුරු ප්‍රශ්නයට පමණක් පිළිතුරු දී අමාත්‍යතුමිය විසින් උද්ධච්ඡ අයුරින් සභාවෙන් නික්ම යාමට කටයුතු කළද කථානායකතුමන් විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාට පමණක් එදින පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වීම තහනම් කළ ද ස්ථාවර නියෝග යටතේ වාචික ප්‍රශ්න දෙකක් ඇසීමට මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය කඩ වීම සහ අමාත්‍යතුමිය විසින් පිළිතුරු නොදී පලා යාම සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගෙන ආණ්ඩු පක්ෂයට එක් ආකාරයකටත් විපක්ෂයට තවත් ආකාරයකටත් සැලකීමත්, එම සිදුවීම අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමන් විසින් මූලාසනය හෙබවූ නියෝජ්‍ය කථානායකතුමන්ට කළ අනිසි බලපෑම් වලට පියවරක් නොගැනීම පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට එල්ල කළ මරු පහරක් බව ඒ මහතා පෙන්වා දුනි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මානව හිමිකම් පිළිබඳ කමිටුවක් ක්‍රියාත්මක නොවීමත් එවැනි කමිටුවක් පිහිටුවීමේ වැදගත්කමත් ඒ මහතා විසින් මෙහිදී තානාපතිතුමිය වෙත පෙන්වා දුනි.











