පෙබරවාරි මාසයේ සති අන්තයේ පැමිණි දීර්ඝ නිවාඩුවත් සමඟ අපි යහළුවන් කිහිප දෙනකුගේ අදහස වූයේ සුන්දර ඇල්ල පුරවරයේ අසිරිය බලා රාත්‍රියේ නාරංගල කඳු මුදුනේ කඳවුරු බැඳීමටය. මාද ඇතුළුව මෙම ගමන සඳහා හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමයක් සහභාගි විය. එයින් 4 දෙනකු කොළඹ සිට බදුල්ල බලා යන රාත්‍රී තැපැල් දුම්රියට ගොඩ වූයේ සිකුරාදා දින රාත්‍රියේය. සිරිපා වන්දනා සමය පැමිණීමත් සමඟ තැපැල් දුම්රිය අතුරු සිදුරු නැතිව පිරී තිබුණේ කොළඹ කොටුවෙන්මය.
මා ඇතුළු තවත් දෙදෙනකු පේරාදෙණිය දුම්රිය ස්ථානයේ රැඳී සිටිය අතර රාත්‍රි 11ට පමණ දුම්රිය ප්‍රමාදවී පේරාදෙණිය දුම්රිය ස්ථානයට පැමිණියේය. අප තිදෙනාට මෙම දුම්රියේ දැඩි සීතලේ හැටන් දක්වා ගමන් ගන්නට වූයේ පාපුවරුවේය. එය ඉතාමත් අනතුරුදායක වෙහෙසකර ජීවිතයේ අමතක නොවන පැය කිහිපයකි.

දුම්රිය හැටන්වලට පැමිණීමත් සමඟ බොහෝ පිරිසක් බැස යන්නට විය. ඉන්පසු අප තිදෙනා කණ්ඩායමේ දුම්රිය තුළ වූ ඉතිරි හතරදෙනා සොයාගත් අතර ඔවුන් සමඟ බදුල්ලේ කිතල් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කරන්නට විය. එම ස්ථානයෙන් අප බැසගත්තේ උදෑසන 6ට පමණය. මුලින්ම කිතල් ඇල්ල නරඹා ඉන්පසු දුම්රිය මාර්ගය දිගේ පයින් 3Km පමණ ගමන් කළ අප පැමිණියේ ඇල්ල දුම්රිය ස්ථානය වෙතටය. එහි සිට තවත් 2Km පමණ ගමන් කළේ Nine Arch පාලම නැරඹීමටය. එහි පැයක් පමණ ගත කළ අප මීළඟට ගමන් කළේ පුංචි සිරිපාදය නැරඹීමටය. තරමක් උස කඳු මුදුනක් වුවත් එහි ඉහළට ගමන් කිරීමට ගතවූයේ විනාඩි 20ක් වැනි සුළු කාලයකි. දැඩි දේශීය විදේශීය සංචාරක ආකර්ෂණයක් එම ප්‍රදේශයේ පැවති බව දක්නට ලැබුණු අතර ඡායාරූප කිහිපයක් ලබාගත් අප ඉක්මනින් ඇල්ල නගරයට පැමිණියේ දිවා ආහාරය ගෙන නැවත දුම්රියෙන් බදුල්ල බලා යෑමටය. බදුල්ල නගරයට අප පස්වරු 3ට පමණ පැමිණි අතර රාත්‍රී කඳවුරු බැඳීමට හා ආහාර පිසීමට අවශ්‍ය භාණ්ඩ බදුල්ල නගරයෙන් ලබාගත්තේ පස්වරු 3.50 තිබුණු කීනකැලේ බස් රථයට ගොඩවීමටය. සැලසුම් කළ පරිදි අදාළ බස් රථයේ නැඟ නාරංගල වෙත යෑමට ගතවූයේ පැයක් පමණි. විශාල වංගු, කඳු, පල්ලම්, තේ වතු අතරින් වේගයෙන් ගමන් කළ එම ගමනද අපහට වෙනස්ම අත්දැකීමක් විය. පස්වරු 5ට පමණ කඳු පාමුලට පැමිණි අපට ඉදිරියෙන් කඳු මුදුන දිස්වූ අතර එය ශීඝ්‍ර නැග්මක් සහිත කන්දක් විය. කණ්ඩායමේ සියල්ලන්ගෙම ගමන් මලු කිලෝ 15කට වඩා බරවූයේ රාත්‍රිය ගත කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ එහිවූ බැවිනි.

කඳු මුදුන තුළ ජලය සොයාගැනීමට නොහැකි බැවින් අප වතුර ලීටර් 20ක් පමණද රැගෙන ගිය අතර එය තරමක අභියෝගයක්ද විය. විනාඩි 45ක පමණ දැඩි වෙහෙසකර ගමනකින් පසු අප කඳු මුදුනට පැමිණි අතර එදා සෙනසුරාදා දිනක් වූ බැවින් තවත් කණ්ඩායම් බොහොමයක් එහි විය. පැමිණි විගස රෑ වීමට කලින් අපගේ කඳවුරු කඳු මුදුනේම සාදාගත්තේ පසු දින ඉර උදාව නැරඹීමට පහසුවන නිසාවෙනි. කණ්ඩායමේ දෙදෙනෙකු ඉක්මනින් දර සොයා යන්නට ගියේ රාත්‍රී ආහාර සූදානම් කිරීමට අවශ්‍ය නිසාවෙනි. සවස හිරු බැස යෑමද ඉතාමත් අලංකාර දසුනක් විය. ටික වේලාවක් අවට සුන්දරත්වය විඳිමින් ඡායාරූප ගත් අප රාත්‍රි 8ට පමණ රාත්‍රි ආහාර සඳහා නූඞ්ලස් සූදානම් කරන්නට විය. නූඞ්ලස් රාත්‍රි ආහාරයට ගත් අතර පසුව පැවති දැඩි සීතල නිසා උණුසුම් වීමට කෝපි බීමටද අමතක නොකළේය.

පසුවදා උදෑසන අවදිවීමට අවශ්‍ය වූ නිසාත් අද දින තිබූ මහන්සිය නිසාත් අප රාත්‍රි 9ට පමණ නිදාගන්නට විය. පසුදා උදෑසන පාන්දර 5ට පමණ අවදිවූ අතර මාගේ යහළුවන් දෙදෙනකු ඒ වන විටත් අවදිවී කෝපි සාදන්නට විය. 10 0C පමණ දැඩි සීතලක් උදෑසන පැවති අතර වලාකුළු අපගේ අතේ දුරකින් විය. එය ඉතාමත් අලංකාර අවස්ථාවක් වූ අතර කඳු මුදුන වටා අහස වලාකුළුවලින් පිරී පැවතුණි. අනෙක් යහළුවන් සියල්ලන්ද නැඟිට මෙම අවස්ථාව ඡායාරූපගත් අතර හිරු උදාව පැමිණීමත් සමඟ කඳු මුදුනේ අසිරිය වචනයෙන් විස්තර කිරීමට පවා නොහැකි තරම් සුන්දරවිය.

බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි බොහෝ ස්ථාන මෙම නාරංගල කඳු මුදුනට දිස්වේ. සැලකිය යුතු කාලයක් කඳු මුදුනේ ගත කළ අප ඉක්මනින් පහළට යෑමට අවශ්‍ය භාණ්ඩ සූදානම් කරගත්තේ උදෑසනම බසයේ බදුල්ල නගරයට යෑමට අවශ්‍ය වූ නිසාවෙනි. හිරු උදාවක් සමඟ වලාකුළු ඉවත්වන්නට විය. උදෑසන 8ට පමණ අප පහළට බසින්නට පිටත් වූයේ අප සිටි ස්ථානය සම්පූර්ණයෙන් පිරිසුදු කිරීමන් අනතුරුවය. විනාඩි 30කින් පමණ පහළට පැමිණි අප උදෑසන 8.45 පිටත් වූ බස් රථයට ගොඩවූයේ ඉක්මනින් බදුල්ල බලා යෑමටය. පැයක පමණ කාලයකින් පසු බදුල්ල නගරයට පැමිණ නගරය අසල පිහිටි ඔයකින් නෑමටද අමතක කළේ නැත. පසුව උදෑසන ආහාරද ගෙන අප දහවල් 10 පමණ බදුල්ල නගරයෙන් පිටත්වූයේ රෑ වීමට පෙර නිවාස වෙත යෑමටය. දින දෙකක ඉතාමත් සුන්දර ගමනක් එසේ නිමා විය.
සංජීව රත්නසිරි











