ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන රියාස් මියුලර් මහතා පත් කර තිබෙන අතර, ඊයේ (20) පෙරවරුවේ රැස් වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.Sri Lanka Latest News
ශ්‍රී ලංකා ටෙලිකොම් පනතට අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස එම යෝජනාව සම්මත කරගෙන ඇති අතර, ඒ අනුව ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා වෙනුවට රියාස් මියුලර් අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් පත් කරගෙන තිබේ.
KPMGහි මෙරට ප්‍රධානියා වන රියාස් මියුලර් මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පසුගියදා ජනාධිපතිවරයා විසින් පත් කෙරිණි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට රොහාන් ප්‍රනාන්දු මහතා දිගින් දිගටම විරෝධය පළකර තිබෙන බවට වාර්තා වන අතර, ඒ මහතා පසුගිය 2020 වසරේ සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වශයෙන් පත් කෙරිණි.










