සමහර දේශපාලන ව්‍යාපාරවල මැතිවරණ වෙනුවෙන් අරමුදල් වියදම් කරන ප්‍රීමා ආයතනයට සහ සේරන්ඩිබ් ආයතනයට මෙරට තිරිඟු පිටි ඒකාධිකාරියක් සකස් කර දී ඇති බවත් ඔවුන්ගේ මැතිවරණය වෙනුවෙන් මුදල් රැස් කර ගැනීමට ජනතාවට ඉතා අධික මිලකට පිටි මිලදී ගැනීමට සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් මැදිහත්කරුවන්ගෙන් ප්‍රශ්න කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුරද දිසානායක අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
ඔහු මේ බව පැවසූවේ සමාගම් දෙකකට වෙළඳපොළේ තිරිඟු පිටි ඒකාධිකාරයක් හිමිකර දීමට පියවර ගැනීම හේතුවෙන් බේකරි කර්මාන්තයට හා පොදුවේ පාරිභෝගික ජනතාවට මුහුණපෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව ස්ථාවර නියෝග 27/2 යටතේ නගනු ලබන ප‍්‍රශ්නයක් ආණ්ඩුවට යොමු කරමිනි.
සමාගම් දෙකකට වෙළඳපොළේ තිරිඟු පිටි ඒකාධිකාරයක් හිමිකර දීමට පියවර ගැනීම හේතුවෙන් බේකරි කර්මාන්තයට හා පොදුවේ පාරිභෝගික ජනතාවට මුහුණපෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.
අද වන විට දිවයින පුරා බේකරි හයදහසක් පමණ ක්‍රියාත්මක වන අතර බේකරි කර්මාන්තය මගින් ලක්ෂ 05ක පමණ පිරිසක් තමන්ගේ ජීවනෝපාය සලසා ගන්නවා. එසේම ප්‍රධාන ආහාරය වන බත් හැරෙන්නට වතුකරයේ ජනතාව ඇතුළු වැඩිම පිරිසක් පාරිභෝජනය කරනු ලබන ආහාර වර්ග ගණනාවක ප්‍රධාන අමුද්‍රව්‍යය වනුයේ තිරිඟු පිටියි. මේ අනුව තිරිඟු පිටි මිල පාරිභෝගිකයින් විශාල පිරිසකගේ ජීවන වියදමේ විශාලතම පංගුව වන ආහාර වියදම්වලට ඍජුව බලපාන කරුණක් වනවා.
මෙවැනි තත්වයක් තිබියෙදී ආණ්ඩුව 2023.06.14 දාතමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සහ ආනයන පාලකවරයාගේ 2023.06.16 ලිපිය මගින් ආනයන බලපත්‍ර නොමැතිව තිරිඟු පිටි ආනයනය කිරීම තහනම් කර තිබෙනවා. එසේම නව ආනයන බලපත්‍ර නිකුත් කිරීමක්ද සිදු කර නැහැ. ඒ අනුව දේශීය තිරිඟු පිටි අවශ්‍යතාව සපුරාලීමේ කටයුත්ත තිරිඟු ඇට ආනයනය කර මෙරටදී පිටි නිෂ්පාදනය කරන බහුජාතික සමාගම් දෙකක ඒකාධිකාරයට පත් කර තිබෙනවා. ගැටලුව වන්නේ ආනයනය කරනු ලබන තිරිඟු ඇටවලින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන තිරිඟු පිටි අයුතු ලාභයක් ලබමින් වැඩි මිලකට අලෙවි කිරීමට මෙම සමාගම් විසින් පියවර ගෙන තිබීමයි. ඔවුන් වෙළඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 01ක් අලෙවි කරන්නේ රුපියල් 210ක් තරම් ඉහළ මිලකටයි. එසේම ඔවුන් ආනයනය කරනු ලබන තිරිඟු ඇට කිලෝග්‍රෑම් 01ක් වෙනුවෙන් රජයට ගෙවනු ලබන්නේ රුපියල් 03ක බදු මුදලක් පමණයි.
කෙසේ වුවද රජයේ තිරිඟු පිටි ආනයන තහනම තුළ දේශීය පිටි අලෙවියේදී මෙම සමාගම් අධික ලාභ ලබන බව හෙළි වන්නේ ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල සංසන්දනය කර බැලීමේදීයි. නිදසුනක් ලෙස තුර්කියෙන් ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කිරීමේදී පිටි කිලෝග්‍රෑම් 01ක් වරායට ගොඩබෑ හැකි මිල රුපියල් 110ක් පමණයි. ඊට කලින් පනවා තිබූ බදු මුදල වන රුපියල් 35ක මුදලද එකතු කර වෙළඳපොළේ රුපියල් 160ක පමණ මුදලකට ලාභයක්ද සහිතව පිටි අලෙවි කළ හැකි බව බේකරි කර්මාන්තකරුවන් විසින් පෙන්වා දී තිබෙනවා. 2023 ජනවාරි මාසයේ තුර්කි තිරිඟු පිටි මෙ.ටො. 01ක මිල ඇ.ඩො. 535ක් වූ නමුත් පෙබරවාරියේ 510ක්ද, මාර්තුවේ 490ක්ද, අප්‍රේල් මාසයේ 440ක්ද, මැයි මාසයේ 377ක්ද, ජුනි මාසයේ හා ජූලි මාසයේ ඇ.ඩො. 355ක්ද වශයෙන් ක්‍රමිකව පහත වැටී තිබෙනවා.
එසේම ජනවාරි මාසයේ ලෝක වෙළඳපොළේ ඇ.ඩො. 310ක් වූ තිරිගු ඇට මෙ.ටො. 01ක මිල පෙබරවාරියේ 307ක්ද, මාර්තුවේ 302ක්ද, අප්‍රේල් මාසයේ 292ක්ද, මැයි මාසයේ 279ක්ද, ජුනි මාසයේ 245ක්ද, ජූලි මාසයේ ඇ.ඩො. 238ක්ද වශයෙන් ක්‍රමිකව පහත වැටී තිබෙනවා. අනෙක් අතට ජනවාරි මාසයේ රු. 362.42ක් වූ ඩොලරයේ අගය ජූනි මාසය වන විට සටහන් වූයේ රු. 301.26ක් ලෙසයි. ඒ අනුව මෙම පිටි නිෂ්පාදන සමාගම් අතිශය අසාධාරණ ලාභයක් ලැබූ බව සහ ලබමින් සිටින බව ඉතා පැහැදිලියි.
මෙවැනි තත්වයක් තුළ දේශීය වශයෙන් සාපේක්ෂ මිල අඩු කිරීමකට බල නොකර සහ ආනයනික පිටි කිලෝග්‍රෑම් 01කින් රජයට හිමි විය යුතු රුපියල් 35ක බදු මුදලද අහිමි කර ගනිමින් ආණ්ඩුව තිරිඟු පිටි ආනයන තහනමක් පනවා පාරිභෝගිකයින් සූරාකෑමට පිටි නිෂ්පාදන සමාගම් දෙකකට ඉඩ දී තිබෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න ගැටලුවක්.
එසේම පිටි ආනයන තහනම පැනවීමේදී ආනයනය සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙනු ලබන බව ප්‍රකාශ වුවද මේ වන තෙක් ඒ පිළිබඳ තීරණයක් ප්‍රකාශයට පත් වී නැහැ. අවම වශයෙන් ලෝක වෙළපොළේ තිරිඟු පිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස මෙම සමාගම්වලින් ඉල්ලීමට පවා ආණ්ඩුව බිය වී සිටිනවාදැයි සැක උපදිනවා.
මෙම තත්වය තුළ මතුවන පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
01. ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල අඩු වෙමින් තිබියෙදී පිටි ආනයනය නතර කිරීමට පියවර ගනු ලැබුවේ කවර හේතුවක් නිසාද?
02. ප්‍රකාශ කර ඇති පරිදි තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා ආනයන බලපත්‍ර නිකුත් කිරීමක් සිදු කරන්නේද? එම බලපත්‍ර ලබාදීම සඳහා වන ක්‍රමවේදය කුමක්ද?
03. ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල සහ තිරිඟු ඇට මිල ක්‍රමිකව අඩු වෙමින් තිබියෙදී ආනයනය නතර කිරීමෙන් වෙළඳපොළ තුළ තිරිඟු පිටි ඒකාධිකාරයක් ගොඩනැගුණු බවත් පාරිභෝගිකයාට අසාධාරණයක් වූ බවත් පිළිගන්නේද?
04. ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර පරිභෝජනය හා බැඳුණු මෙම කරුණු සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය මැදිහත්වීම් කිරීමට කටයුතු කරන්නේද? ඒකාධිකාරයෙන් පාරිභෝගිකයා බේරා ගැනීමට ආණ්ඩුව විසින් ගන්නා පියවර කවරේද?
අනුර දිසානායක
පාර්ලිමේන්තු මන්ත්‍රී










