ඩුබායිහි රැඳී සිටින මත්කුඩු ජාවාරමේ නිරත පාතාල අපරාධකරුවන් විසින් දෙන කොන්ත්‍රාත්වලට අනුව පාතාල අපරාධවල නිරතව සිටින බවට සැක කරන යුද හමුදාවේ දැනට සේවයේ නිරත කපිතාන්වරයකු සහ අතුරුගිරියේ පදිංචි ව්‍යාපාරිකයකු ටී56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝල දෙකක් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් නුවරඑළිය ග්‍රෙගරි වැව අසල නිවාඩු නිකේතනයක රැඳී සිටියදී පසුගිය 28 දා අත්අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News
නව මැගසින් බන්ධනාගාරයේ විනයභාර නියාමකවරයකු වන එම්.ටී.එස්.කේ. මාරසිංහ නමැති නිලධාරියා පදිංචිව සිටින මිනුවන්ගොඩ රාජසිංහපුර පිහිටි නිවෙසට පසුගිය මැයි 12 දා අලුයම් කාලයේ කඩාවැදී එම නිලධාරියාගේ හිසට පිස්තෝලයක් තබා පහර දී මරණ තර්ජනයක කිරීම සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මේ කපිතාන්වරයාත් පාතාලයට සම්බන්ධ ව්‍යාපාරිකයාත් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
බන්ධනාගාර නියාමකවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් මේ සැකකරුවන් දෙදෙනාද ඇතුළුව මේ වන විට සැකකරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. බන්ධනාගාරයට මත්කුඩු රැගෙන යෑමට මේ නිලධාරියාගෙන් ඉඩක් සහ සහයක් නොලැබීම හේතුවෙන් පාතාල අපරාධකරුවන් රැසකගේ සම්බන්ධයක් ඇතිව බන්ධනාගාර නිලධාරියාගේ නිවෙසට ගොස් තර්ජනය කර තිබෙන බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. අවන්හලකදී මේ පිරිස එකිනෙකා හමු වී කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මේ තර්ජනය කිරීම කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. වෑන් රථයකින් සහ යතුරු පැදියකින් මිනුවන්ගොඩ ප්‍රදේශයට ගොස් මේ තර්ජනය කිරීම කර ඇති බවද මේ වන විට හෙළි වී ඇත. හමුදාවෙන් පලාවිත් පාතාලයේ කුලී ඝාතකයකු ලෙස කටයුතු කරන අයකුද අත්අඩංගුවේ සිටින අය අතර සිටින බවද සඳහන්ය.
පසුගිය 20 දා රාත්‍රීයේ හෝමාගම නියදගලදී වාහන අමතර කොටස් අලෙවි ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමටද මේ කපිතාන්ගේ සහ ඔහු සමඟ අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකු බව කියන පුද්ගලයාගේ සම්බන්ධයක් ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එම ඝාතනයට යොදාගෙන ඇත්තේ ඔවුන් දෙදෙනා සතුව තිබී හමු වූ ටී 56 අවිය බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය. එම ටී56 අවියේත් එක් පිස්තෝලයකත් අනුක්‍රමික අංක ඇත්තේ මකා දමාය. ටී56 අවියත් සමඟ පතොරම් 138ක්ද පතොරම් ගැබක්ද හමු වී ඇත. අංක මකා දමා ඇති පිස්තෝලය බ්‍රවුනින් වර්ගයේ එකකි. පතොරම් ගැබ සමඟ එම අවියට යොදන පතොරම් 26ක් ද සොයාගෙන තිබේ. අනෙත් පිස්තෝලය මි.මී. 9 වර්ගයේ එකකි. ඊට යොදන පතොරම් ගැබ් දෙකක් සමඟ පතොරම් 3ක්ද හමු වී ඇත.
අත්අඩංගුවට ගත් යුද හමුදා කපිතාන්වරයා 36 හැවිරිදි අයෙකි. ඔහු කුරුවිට කඳවුරේ සේවයේ නිරත බියගම පදිංචිකරුවකු බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය. ඔහු සමඟ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු 39 වියේ පසුවන්නෙකි. ඔහු අතුරුගිරිය ඔරුවල පදිංචිකරුවෙකි. බන්ධනාගාර නිලධාරියාට තර්ජනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ මේ පුද්ගලයාය. එසේම හෝමාගම නියදගල වෙඩි තැබීමටද ඔහු ඍජුව සම්බන්ධ බව අනාවරණය වී තිබේ. හෝමාගම නියදගල ඝාතනය මෙහෙයවා ඇත්තේ මේ වන විට ඩුබායිහි රැඳී සිටින මත්කුඩු ජාවාරමේ නිරත පාතාල අපරාධකරුවකු වන තනුජ සම්පත් නොහොත් ‘හඳයා‘ නමැත්තා බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි. ඒ බව කපිතාන් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. ඔහු හඳයාගේ සමීපතයකු බවටද තොරතුරු අනාවරණය වී ඇත. මේ පුද්ගලයාට එරෙහිව මුදල් වංචා කිරීමේ චෝදනා ඇතැයිද මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය. එවැනි මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් චෝදනා 42ක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරාද තිබේ. අධිකරණ මඟහැරීම් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විවෘත වරෙන්තු දෙකක්ද නිකුත් කර තිබී ඇත.
ගයාන් කුමාර වීරසිංහ










