බගවන්තලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකුට පොලීසිය විසින් පහරදී ඇතැයි පැවසෙන සිදුවීමක් සම්බන්ධයෙන් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. Sri Lanka Latest News
අමාත්‍යවරයා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අද (25) බගවන්තලාව නගරයට ගොස් පොලිස් නිලධාරීන් කැඳවා අදාළ සිදුවීම සම්බන්ධයෙන් බැන තර්ජනය කර ඇතැයි වාර්තා වේ.
බගවන්තලාව නගරයේ පිහිට රාජ්‍ය බැංකු කළමනාකාරවරයෙක් සහ ගනුදෙනුකරුවෙකු අතර ඇති වු බහින්බස් වීමක් හේතුවෙන් බැංකුව සිදුකළ පැමිණිල්ලක් මත අදාළ තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
එම තරුණයාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
කෙසේවෙතත් පොලීසිය අදාළ තරුණයාව අත්අඩංගුවට ගත් අවස්ථාවේ යම් පහරදීමක් සිදුකර ඇතැයි පවසමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ නීතිය අතට ගැනීමට පොලීසියට හැකියාවක් නොමැති බවය.
අදාළ තරුණයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරීන්ට වහාම ස්ථානමාරු වීම් ලබාදෙන ලෙසට ද අමාත්‍යවරයා හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතා හමුවේ පවසා ඇතැයි ද වාර්තා වේ.
එහිදි පොලිස් අධිකාරිවරයා සඳහන් කර ඇත්තේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවු දර්ශන පදනම් කර ගනිමින් මේ වන විටත් තමන් විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇති බවත්, එම විමර්ශනය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
එම විමර්ශන අවසන් වන තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනා ස්ථාන මාරු කිරීමට නොහැකි බවද පොලිස් අධිකාරිවරයා අමාත්‍යවරයා හමුවේ පවසා තිබේ.










