ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථාන කිහිපයක් පසුගිය දින කිහිපය පුරාම සංවිධානාත්මක නිදන් හොරු කණ්ඩායමක් විසින් කැණීම් කර, තැන තැන ගිනිතබා බරපතළ හානි සිදුකර තිබෙන බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය සිංහපුර චේතියාලංකාර නාහිමියෝ සඳහන් කළහ. (Sri Lanka Latest News)
කූඩාරම් තනාගනිමින් ඉවුම් පිහුම් කර එම ස්ථානවල රැඳීසිට ඇති පුරාවස්තු හොරුන් ඖෂධ පොකුණ, කොස්ගහඋල්පොත ඇතුළු වටිනා පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථාන රැසක මේ විනාශය සිදුකර ඇති බව උන්වහන්සේ කියති.
අද (22) සවස විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ ඉල්ලා සිටියේ මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් කර ආරක්ෂාව තහවුරු කරන ලෙසය.
සංවිධානාත්මක පුරාවස්තු හොරුන් පොසොන් සමයේ සිට ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු මුදුනේ සැඟව සිටිමින් රාත්‍රී සහ දහවල් කාලයේදී මෙම පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථාන කැණීම් සිදුකර ඇති බවද උන්වහන්සේ හෙළි කළහ.
අද සවස අරලගංවිල විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ විහාරස්ථානයේ වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලා කිහිප නමක් එම පුරාවස්තු සංහාරය සිදුකර ඇති ප්‍රදේශයේ නිරීක්ෂණය කිරීමේදී සොරුන් විසින් දමාගිය කූඩාරම් බඩු, වළං මුට්ටි රැසක් සොයාගෙන තිබිණි.
අනුරාධපුර සහ පොලොන්නරුව රාජධානියේ සුවිශේෂ සන්ධිස්ථානයක් වන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පූජා භූමිය සහ කඳු මුදුනේ පුරාවස්තු රාශියක් විසිරී පවති. මේ සමගම මෙම වන භූමියේ දඩමස් ජාවාරමක්ද ඇරඹී ඇති බව නා හිමියෝ කීහ.
lankasara










