ප්‍රසන්න-කංචන-ලන්සා කැපෙයි!
නාමල් ලන්සාට දැඩි උත්තරයක් දෙයි!
උතුරු නැගෙනහිරට යළි අන්තර්වාර පාලන යෝජනවාක්!
ඉන්දියාවේ රජ මගුලක්!
ගෝඨාට දීපු ගෙදර දේශපාලන කාර්යාලයක් අරී!
හදිසි මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේත්, දේශපාලන ක්ෂේත්‍රයේත් විශාල කතාබහක් පැතිර යමින් ඇති පසුබිමක ඊට මුහුණ දීම සඳහා අලුත් දේශපාලන පෙරමුණක් නි්මාණය කිරීමේ මෙහෙයුමක් ආණ්ඩුව පැත්තෙන් දියත් වී ඇති ආකාරයක් අපි මීට පෙර සතියේදී පළමුවරට රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ කලක් උග්‍ර පොහොට්ටු පාක්ෂිකයකු වූ නිමල් ලන්සා විසින් මෙම දේශපාලන මෙහෙයුම භාරගෙන ඇති බවත්, ඒ සඳහා ජනාධිපතිවරයා ලන්සා හට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කලින් වාසය කළ මලලසේකර මාවතේ නිල නිවෙස ලබාදීමට පියවර ගෙන තිබූ බවත්ය. මහාමාර්ගය ආසන්නයේම පිහිටා ඇති හෙයින් වාහනවල ශබ්දය නිතර ඇසෙන බව කියමින් ගෝඨා තමන්ට වෙනත් නිවෙසක් ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුව විදේශ අමාත්‍යවරයාට නිල බලයෙන් හිමිව ඇති ස්ටැන්මෝර් ක්‍රෙසන්ට්හි පිහිටි සුපිරි නිල නිවෙස ගෝඨාට ලබාදීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව හිස්වූ මලලසේකර මාවතේ නිල නිවෙස අලුත් දේශපාලන පෙරමුණක් බිහිකිරීමේ මෙහෙයුම දියත් කිරීම සඳහා බාරදී තිබුණේ නිමල් ලන්සා හටය.Sri Lanka Latest News
මෙහෙයුම ප්‍රසන්නට-කංචනට-ලන්සාට බාරදෙයි!
ඒ අනුව නිමල් ලන්සා මෙහි පළමු අදියර ක්‍රියාත්මක කරමින් මෙම නිවෙසේ සිට ආණ්ඩුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයන් සම්බන්ධ වූ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ කැඳවීමට පියවර ගත්තේය. ලන්සා මේ කටයුත්ත තනිවම කිරීමට වගබලා ගත්තේ නැත. ඒ සඳහා ආණ්ඩුව නියෝජනය කරන පොහොට්ටුවේ තවත් ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු සම්බන්ධ කරගැනීමට ලන්සා පියවර ගත්තේය. ඒ දෙදෙනා වෙන කවුරුවත් නොව මේ වන විට ජනාධිපතිවරයා සමග ඉතා සමීපව කටයුතු කරන අමාත්‍ය ප්‍රසන්න රණතුංගත්, අමාත්‍ය කංචන විජේසේකරත්ය. ඒ අනුව මලලසේකර මාවතේ නිල නිවෙසෙහි එක් කාමරයක් පමණක් තමන්ට තබාගත් ලන්සා එහි අනෙක් කාමර ප්‍රසන්නට භාරදීමට පියවර ගත්තේය.
එක කාමරයක සිරිපාල අමරසිංහ!
ඒ අනුව එහි සිට දේශපාලන මෙහෙයුම දියත් කිරීම සඳහා සම්බන්ධීකරණ ලේකම්වරුන් පත්කිරීමටද ලන්සා සහ ප්‍රසන්න පියවර ගෙන තිබිණි. ඒ අනුව ලන්සාගේ කාමරයේ සිට මෙම දේශපාලන මෙහෙයුම දියත් කළේ පොහොට්ටුව නිර්මාණය කිරීම සඳහා විශාල දායකත්වයක් සැපයූ හිටපු අමාත්‍යවරයකු වන සිරිපාල අමරසිංහය. සිරිපාල අමරසිංහ මුලින්ම පාර්ලිමේන්තු පැමිණියේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයකු ලෙසය. පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්වූ සිරිපාල අමරසිංහ වරක් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. ලන්සාගේ කාමරයේ සිට දේශපාලන මෙහෙයුම ක්‍රියාත්මක කළ ප්‍රධාන චරිතය වූයේ මේ කියන සිරිපාල අමරසිංහය.
කෝල් කළේ මේ කට්ටිය!
අනෙක් චරිතය වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සුගීෂ්වරය. සුගීෂ්වරට අමතරව ප්‍රසන්න රණතුංගට අයත් කොටසේ කාමරයක තවත් සම්බන්ධීකරණ ලේකම්වරුන් තිදෙනෙක් මෙම මෙහෙයුමට සම්බන්ධ වී තිබිණ. ඔවුන් තිදෙනා වන්නේ සුපුන් ජීවානන්ද, ඉසුරු හේරත් හා ශ්‍රීනාත් ගමගේය. මොවුන්ගේ රාජකාරිය වී තිබුණේ ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡාවලට පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් සම්බන්ධීකරණය කිරීමය.
සාගර බාල්දිය පෙරළුවා!
ඒ අනුව මෙම පිරිස මෙහි පළමු සාකච්ඡාව මීට සති දෙකකට ඉහතදී සංවිධාන කිරීමට පියවර ගත්තේය. එහිදී පොහොට්ටුවට නිල ආරාධනාවක් සිදුකිරීමකින් තොරව පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් ඇතුළු තෝරාගත් පිරිසකට ආරාධනා කිරීම හේතුකොටගෙන පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා ජනාධිපතිවරයා ඉදිරියේදීම ඊට විශාල බාල්දියක් පෙරළීම හේතුවෙන් එම සාකච්ඡාව අසාර්ථක එකක් බවට පත්විය. මේ බව අප පසුගිය 05 වැනිදා ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමටද පියවර ගත්තේ මෙසේය.
අපි මීට සති 2කට පෙර කළ හෙළිදරව්ව!
‘ජනාධිපතිතුමනි, ඔබතුමාට පුළුවන් ඕනෙ වෙලාවක කැබිනට් මණ්ඩල රැස්වීම් කැඳවන්න. ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් කැඳවන්නත් ඔබතුමාට පුළුවන්. හැබැයි මේ වගේ දේශපාලන සාකච්ඡාවකට ආණ්ඩුවත් එක්ක ඉන්න දේශපාලන පක්ෂ කැඳවනවා නම් ඒක කරන ක්‍රමයක් තියෙනවා. හැබැයි මේ කැඳවන විදිය ගැන නම් අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද තාම පොහොට්ටුවෙ ආණ්ඩුවක් තියෙන්නේ. ඉතින් ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න කතාකරනවා නම් ඔබතුමා ඒකට කෙළින්ම පොහොට්ටුවේ ප්‍රධානීන් කැඳවලා ඒ ගැන සාකච්ඡා කරන්න ඕනේ. ඒ සාකච්ඡාවට සහභාගි වෙන්නේ කවුද කියලා තීන්දු කරන්නේ අපේ පක්ෂය’ යනුවෙන් කියමින් සාගර විරෝධය පළකරද්දී කාටත් කලින් ඊට පිළිතුරු දීමට නැගී සිටියේ නිමල් ලන්සාය.
ලන්සා කියපු කතාව!
‘එහෙම කොහොමද? මේ වෙලාවේ අරයගෙ පක්ෂය මෙයාගෙ පක්ෂය කියලා තෝරලා බේරලා වැඩ කරන්න බෑ. අපි ඔක්කොම එකතු වෙලා පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩු පක්ෂය ශක්තිමත් කරන්න පියවර ගන්න ඕනෙ. මොකද, දැන් කොහොමත් ඡන්දයක් එනවා. අපි ඔක්කොම එකතුවෙලා ශක්තිමත්ව ඒකට මුහුණ දෙන්න ඕනෙ’ යනුවෙන් ලන්සා කියද්දී, නැවතත් ඊට විරෝධය පළකරමින් අදහස් දැක්වූ සාගර කියා සිටියේ කුමන සාකච්ඡාවක් පැවැත්වුවද ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ නම් ඒ සඳහා පොහොට්ටුවේ ප්‍රධානීන් සහභාගි වී සිටිය යුතු යැයි කියාය. සාගර මෙසේ කියද්දී සුසිල් ප්‍රේමජයන්ත, ඩයනා ගමගේ සහ වජිර අබේවර්ධන යන මැති ඇමැතිවරුන් ලන්සාට පක්ෂව අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. නමුත් සාගර සිය ස්ථාවරය වෙනස් නොකොට මුලින් සිටි ස්ථාවරයේ සිටම අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.
උගන්වලා එව්වේ බැසිල්!
මේ සියල්ල දෙස නිහඬව බලා සිටි ජනාධිපතිවරයා අවසානයේදී කියා සිටියේ ඉදිරියේදී සියලු දෙනාම එක්ව වැඩකටයුතු කළ යුතු බැවින් තවදුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගන්නැයි කියාය.
මේ ආකාරයට පැවැති සාකච්ඡාව අවසන් වී සාගර ඇතුළු පොහොට්ටුවේ පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව ගිය පසු ලන්සා එහි සිටි පිරිසට මහ හයියෙන් සිනාසෙමින් අපූරු කතාවක් කියා සිටියේය.
‘ඔය විදියට කතාකරන්න සාගරට හයියක් නෑ. එයාට ඔය විදියට කතාකරන්න කියලා උගන්නලා එව්වේ වෙන කවුරුවත් නෙවෙයි, බැසිල්. අපි දන්නැද්ද ඒගොල්ලන්ගෙ වැඩ’ යන්න ලන්සා එහිදී කියා සිටි කතාව විය.
වැඩේ අතෑරියේ නෑ! තවත් රැස්වීමකට කතා කළා!
කෙසේ වෙතත් මෙම රැස්වීම අසාර්ථක වුවද ලන්සා, ප්‍රසන්න සහ කංචන සිය මෙහෙයුම ලෙහෙසියෙන් අත්හැර දැමීමට සූදානම් වූයේ නැත. ඒ අනුව නැවත වතාවක් ඉකුත් සඳුදා දින මේ ආකාරයේම සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ඔව්හු කටයුතු සැලසුම් කළහ. කලින් වතාවේ මෙන්ම ලන්සාගේ සහ ප්‍රසන්නගේ, කංචනගේ කාර්යාලවල සිටින සම්බන්ධීකරණ නිලධාරීන්ගෙන් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ට සහ දිස්ත්‍රික් නායකයන්ට ඇමතුම් ලබාදීම සිදුකළ නමුත් පළමු අවස්ථාවේ සිදුකළ අත්වැරැද්ද යළිත් කරමින් පොහොට්ටුවට නිල වශයෙන් ආරාධනා කිරීමක් සිදුකෙරුණේ නැත. ඒ අනුව පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් ඇතුළු 48කට දුරකතන ඇමතුම් ලබාදී සාකච්ඡාවට ආරාධනා කිරීමට පිරිස කටයුතු කොට තිබිණි. ඒ අතර කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු මෙන්ම පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුද සිටියහ.
පොහොහ්ටුවට යකා නගී! රැස්වීම වර්ජනය කරන්න තීන්දු කරයි!
මේ ආකාරයට කැඳවූ පළමු රැස්වීම අසාර්ථක වී තිබියදීත්, එහිදී පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් ජනාධිපතිවරයා ඉදිරියේ පක්ෂයේ නිල විරෝධය පළකර සිටියදීත් එහි උණුසුම යෑමටත් මත්තෙන් තවත් එවැනිම ආකාරයේ රැස්වීමක් සංවිධාන කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වීමත් සමග පොහොට්ටුවෙ ප්‍රබලයන්ටද යකා නැග තිබිණි. ඒ අනුව මහින්ද, බැසිල්, සාගර ඇතුළු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ඉකුත් ඉරිදා දින සිටම මීට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී විවිධ යෝජනා ඉදිරිපත් වූ අතර, ඒ සියල්ලකින්ම පාහේ කියැවුණේ ආණ්ඩුව මේ සිදුකරන අත්තනෝමතික කටයුත්තට එරෙහිව දැඩි විරෝධයක් දැක්විය යුතු යැයි කියාය. කොටින්ම කියනවා නම් හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි කියාය. ඒ අනුව අවසානයේ තීන්දු කෙරුණේ ලන්සා, ප්‍රසන්න, කංචන විසින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ සඳුදා දින රැස්වීම පොහොට්ටුව විසින් වර්ජනය කිරීමටය. නමුත් රැස්වීමේ සිදුවන්නේ කුමක්ද කියා සොයාබැලීම සඳහා පොහොට්ටුවේ නියෝජිතයකු ඊට සහභාගි කිරීමටද පොහොට්ටු ප්‍රධානීහු මෙහිදී තීන්දු කළහ.
තේනුකගෙන් බැසිල්ට කෝල් එකක්!
කෙසේවෙතත් සාකච්ඡාවට ආරාධනා ලැබ තිබූ පොහොට්ටුවේ රාජ්‍ය ඇමැතිවරයකු වන තේනුක විදානගමගේ, බැසිල්ට දුරකතන ඇමතුමක් ලබාදී තමන්ට මෙවැනි ආරාධනාවක් ලැබී ඇති බවත්, ආණ්ඩුවේ අමාත්‍යවරයකු වීම නිසා තමන්ට ඊට සහභාගි වීමට සිදුව ඇති බවත් දැනුම් දී සිටියේය. බැසිල් ඊට කිසිදු විරෝධයක් පළ නොකළ අතර, රැස්වීමට සහභාගි වීම සඳහා තේනුකට අවසර ලබාදීමටද පියවර ගත්තේය. නමුත් පොහොට්ටුවේ ප්‍රධානීන් දිස්ත්‍රික් නායකයන් එම රැස්වීම වර්ජනය කිරීමට තීන්දු කර ඇති බවද බැසිල් තේනුකට කියා සිටියේය.
48කට කියලත් ආවේ 27යි! රනිලුත් අවුල්!
ඒ අනුව සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීම අවසන් වීමෙන් පසු හරියටම 6ට ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවට සහභාගි වීම සඳහා පැමිණි ආකාරයක් දැකගත හැකි විය. ශාලාව පිරෙන්නට පොහොට්ටුවේ මැති ඇමැතිවරු සිටිනු ඇති බව සිතා සාකච්ඡාවට පැමිණියත් ජනාධිපතිවරයාට දැකගන්නට ලැබුණේ 27ක පමණ පිරිසක් පමණක් සාකච්ඡාවට පැමිණ ඇති බවකි. එමෙන්ම රැස්වීමේ පොහොට්ටු ප්‍රධානීන්ගේ මුහුණු කිසිවක් දැකගන්නට නොලැබීම නිසා කුමක් හෝ අවුලක් මතුව ඇති බව ජනාධිපතිවරයාටද වැටහිණි. ඒ අනුව ජනාධිපතිවරයා සාකච්ඡාවට අසුන් ගන්නේම තරමක අපහසුතාවකින් යුක්තවය.
කංචන පිටුපස පුටුවක!
මෙහිදී ප්‍රසන්න ඉදිරි පෙළ අසුනක වාඩිවී සිටියද සාකච්ඡාවට සිතූ තරම් පොහොට්ටු මන්ත්‍රීවරු නොපැමිණීම හේතුවෙන් කංචන විජේසේකර සිටියේ පසුපෙළ අසුනක අසුන්ගෙනය. කෙසේ වෙතත් සාකච්ඡාව ආරම්භ කරමින් ප්‍රසන්න පොහොට්ටුවට පහර දෙමින් කළ ප්‍රකාශයත් සමග ජනාධිපතිවරයා තවත් අපහසුතාවට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
ප්‍රසන්නගෙන් පොහොට්ටුවට ෂොට් එකක්!
‘අපි මේ රැස්වීම කැඳෙව්වේ වෙන මොකකටවත් නෙවෙයි ආණ්ඩුව ශක්තිමත් කරන්නයි. මේ තියෙන අර්බුදත් එක්ක ආණ්ඩුව නියෝජනය කරන සියලු දෙනාම ආණ්ඩුව ශක්තිමත් කරන්න එකා වගේ වැඩ කරන්න ඕනෙ. හැබැයි මේක කඩාකප්පල් කරන්න එක එක්කෙනා ගේම් ගහනවා නම් මේ ගමන අපිට ඉස්සරහට යන්න බැරිවෙනවා…’ යනුවෙන් ප්‍රසන්න කීවත් රැස්වීමේ අසාර්ථකභාවය නිසාම ජනාධිපතිවරයා එය වැඩිදුර ගෙන යෑමට කටයුතු කළේ නැත. ඒ අනුව සඳුදා දින කැඳවූ දෙවැනි රැස්වීමද විනාඩි 10කට වඩා පැවැත්වුණේ නැත.
කවුරුත් මාධ්‍යයට කතා නෑ! කටවහගෙන මාරුවෙයි!
වෙනදා නම් මෙවැනි රැස්වීමක් අවසන් වී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එළියට බසිද්දී පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් සාකච්ඡා සාර්ථක බව කියමින් දිගට හරහට මාධ්‍යයට ප්‍රකාශ ලබාදුන්නද එදින කිසිදු මැති ඇමැතිවරයෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ එළියේ සිටි මාධ්‍යවේදීන්ට වචනයක් හෝ කතා කිරීමට ඉදිරිපත් වූයේ නැත. ඒ හරහා ආණ්ඩුව හා පොහොට්ටුව අතර දේශපාලන ගැටුමක් මතුව ඇති බව මුල්වරට රටටම පැහැදිලිවම දැකගන්නට ලැබිණි.
තවත් රැස්වීමක්! ලන්සලා කැන්සල්! ඇමතුම අගමැති කාර්යාලයෙන්!
මේ තත්ත්වය යටතේ පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ද සම්බන්ධ කරගෙන අලුත් දේශපාලන පෙරමුණක් නිර්මාණය කිරීමේ මෙහෙයුම ප්‍රසන්නලාට, ලන්සලාට, කංචනලාට කිරීමට නොහැකි බව ආණ්ඩුවේ ප්‍රධානීන්ට තහවුරු වී තිබිණි. ඒ හරහා සිදුවූයේ ආණ්ඩුව හා පොහොට්ටුව අතර ගැටුමක් නිර්මාණය වීම පමණක් බව වටහාගත් ආණ්ඩුවේ ප්‍රධානීන් වහාම තීන්දු කළේ නැවත වතාවක් දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් සංවිධාන කොට පලුදු වූ හොඳ හිත වර්ධනය කරගැනීමේ මෙහෙයුමකට අත තැබීමටය. අවස්ථා දෙකකදීම ප්‍රසන්න, කංචන, ලන්සා හවුල අසාර්ථක වීම නිසා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙවර මෙම මෙහෙයුම භාර කෙරුණේ අගමැති කාර්යාලයටය. ඉකුත් අවස්ථා දෙකේදීම පොහොට්ටුවට නිල වශයෙන් ආරාධනා නොකොට එහි දිස්ත්‍රික් නායකයන් ඇතුළු තෝරාගත් පිරිස් හට ආරාධනා කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළවීම නිසා මෙවර සාකච්ඡාවට පොහොට්ටුවට නිල වශයෙන් ආරාධනා කිරීමටත්, ආණ්ඩුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ට ඊට ආරාධනා කිරීමටත් තීන්දු විය. රැස්වීම පැවැත්වීමට බදාදා දිනය යොදාගෙන තිබුණු නිසා, අඟහරුවාදා පෙරවරුවේ සිටම අගමැති කාර්යාලයේ සියලු නියෝජිතයන්ට ඒ සඳහා ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි.
මහින්දව නවත්වයි! යන්නේ බැසිල්-සාගර විතරයි!
කෙසේ වෙතත් සඳුදා රාත්‍රී පැවැති සාකච්ඡාව වර්ජනය කිරීම නිසා එය අසාර්ථක වී තිබූ පසුබිමක නැවත වතාවක් අඟහරුවාදා දිනයේදී සාකච්ඡාවට ආරාධනා ලැබීම හේතුවෙන් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් සිටියේ තරමක කලබලයට පත්වය. ඒ අනුව අඟහරුවාදා පෙරවරුවේ සිටම පොහොට්ටුව ඇතුළේ මෙම ආරාධනාව සම්බන්ධයෙන් ගනු ලබන තීන්දුව පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්විණි. එසේම සාකච්ඡා සඳහා පැමිණෙන ලෙසට අගමැති කාර්යාලයෙන් හිටපු අගමැති සහ පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂටද දැනුම් දීමක් කෙරුණු අතර, නිල සාකච්ඡාවක් වීම හේතුවෙන් තමන් ඊට සහභාගි වන බව මහින්ද ස්ථිර කිරීමටද පියවර ගෙන තිබිණි. නමුත් සාකච්ඡාවේ සිටි බොහෝ දෙනකු අවධාරණය කර කියා සිටියේ මහින්ද සාකච්ඡාවට පැමිණෙන බවට තහවුරු කර තිබුණද ජනාධිපතිවරයා කැඳවන මෙවැනි සාකච්ඡාවලට මහින්ද සහභාගි වී සිටීමෙන් වැළකී සිටිය යුතු යැයි කියාය. මහින්දද දෙවරක්ම ජනාධිපති ධුරය දැරූවකු වන බැවින් අත්‍යාවශ්‍යම සාකච්ඡාවකට හැරුණු කොට ජනාධිපතිවරයා සමග පවත්වන අවශේෂ සාකච්ඡාවන්ට සහභාගි නොවිය යුතු බව බොහෝ දෙනාගේ ස්ථාවරය වී තිබිණි. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ මහින්දව මෙම රැස්වීමට සහභාගි නොකිරීමටය. මීට අමතරව පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් කැඳවා තිබුණද ඔවුන්වද මෙම සාකච්ඡාවට සහභාගි නොකිරීමට පොහොට්ටු ජ්‍යෙෂ්ඨයෝ තීන්දු කළහ. ඒ අනුව අවසානයේදී සාකච්ඡාවට සහභාගි විය යුත්තේ පක්ෂ මහලේකම්වරයා වශයෙන් සාගර කාරියවසම් සහ පක්ෂයේ ජාතික සංවිධායකවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ යන දෙදෙනා පමණක් බවද තීන්දු විය.
මාධ්‍ය ඒකකවලින් අලුත් ප්ලාන්ට් එකක්!
නමුත් ප්‍රශ්නය පැනනැගුණේ බදාදා සවස රැස්වීම පැවැත්වීමට නියමිතව තිබියදී එදින පෙරවරුවේ ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය ඒකකයකින් මාධ්‍යයට නිකුත් කෙරුණු පුවතක් මුල් කරගෙනය. මේ ආකාරයට මෙවැනි මාධ්‍ය ඒකක මගින් පසුගිය කාලවකවානුව පුරා මාධ්‍ය තුළ ‘පැළ’ කළ බොරු පුවත් පිළිබඳ අපි අවස්ථා කිහිපයකදීම මෙම තීරය ඔස්සේ තොරතුරු රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. ජනාධිපතිවරයා බලයට පත්වූදා සිටම සජබයෙන් 10ක් එනවා, 20ක් එනවා, 40ක් එනවා යනුවෙන් පුවත් ‘පැළ’ කළ ආකාරයත්, ඒවා අසත්‍ය වූ ආකාරයත් අපි මුල සිටම මෙම තීරය ඔස්සේ රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. අප කළ මෙම හෙළිදරව් හේතුවෙන් අවස්ථා ගණනාවකදීම ආණ්ඩුවේ රෙදි ගැළවුණා පමණක් නොව, රටේ ජනතාවද මෙම මාධ්‍ය ඒකක මගින් තෝරාගත් පුවත්පත්වල පැළකරන පුවත් අසත්‍ය ඒවා බව තෝරාබේරා ගන්නා තැනට දැනුවත් වී තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
පොහොට්ටුව ගියොත් සජබෙත් එක්ක ආණ්ඩුවක්!
ඒ අනුව බදාදා පෙරවරුවේම ආණ්ඩුව පැත්තෙන් වෙබ් අඩවිවල මෙසේ ‘පැළ’ කළ අසත්‍ය පුවත්වලින් කියැවුණේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම් බවත්, පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත් වීමට කටයුතු කරන්නේ නම් සජබය සමග එක්වී ආණ්ඩු කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවත්ය. එම පුවත පළව තිබුණේ මෙසේය.
මෙන්න ගහපු ප්ලාන්ට් එක!
‘පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ආණ්ඩුව පවත්වාගෙන යෑමට බාධාකාරී තත්ත්වයන් ඇති වුවහොත් මෙම පියවර ගැනීමට ඔහුගේ අවධානය යොමුව ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් දිගින් දිගටම ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුට අමාත්‍ය ධුර ලබාදෙන ලෙස එල්ලවන බලපෑම්ද මීට බලපා ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපතිවරයා විසින් ඉකුත්දා කැඳවන ලද පොදුජන පෙරමුණේ හමුවක් සඳහා අදාළ ජ්‍යෙෂ්ඨයන් පිරිස සහභාගි නොවීය.
මේ අතර සමගි ජන බලවේගය පාර්ශ්වයෙන්ද ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ පාරලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකින් පිහිටුවන තම ආණ්ඩුවක් වත්මන් ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට සූදානම් බවයි.
නව ආණ්ඩුවක් යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරි කාලය රට මෙහෙයවීමට සූදානම් යැයිද සමගි ජන බලවේගය ද දැනුම් දී ඇත.’
අමූලික බොරුවක්! සජබෙන් වහාම නිවේදනයක්!
ඒ අනුව බදාදා පෙරවරුවේම මෙම පුවත දුටු සැණින් සාකච්ඡා කිරීමට පැමිණෙන පොහොට්ටුවේ නියෝජිතයන් බියගැන්වීම සඳහා මෙලෙස පුවතක් පළවී ඇති බව වටහා ගැනීමට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ට වැඩි වේලා ගතවූයේ නැත. එමෙන්ම පුවත දුටු සජබෙ ජ්‍යෙෂ්ඨයන්ටද වැටහී ගියේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය සජබයත් ඈඳාගෙන අසත්‍ය පුවතක් පළකොට සජබය හා ජනාධිපතිවරයා අතර ඩීල් එකක් අති බවට රටට පෙන්වීමට පියවර ගෙන ඇති බවය. හොඳම වැඩේ කියන්නේ මෙම පුවත පළවෙද්දී සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාත් මොනරාගල ආසන ක්‍රියාකාරිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්ව සිටීමය. ඒ අනුව මුලින්ම මෙම පුවත පිළිබඳ කොළඹින් පණිවුඩය ලැබුණේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරටය. ඒ අනුව මෙවැනි අසත්‍ය පුවතක් පළව ඇති බව රංජිත් මද්දුමබණ්ඩාර සජිත්ට දැනුම් දුන් අතර, සජිත් පෙරළා කියා තිබුණේ වහාම මෙය නිවැරැදි කිරීමට පියවර ගන්නා ලෙසටය. මොනරාගල සිටම රංජිත් මෙම පුවත සම්පූර්ණ අසත්‍යයක් බවටත්, ජනාධිපතිවරයා සමග කිසිසේත්ම ආණ්ඩු සෑදීමට කටයුතු නොකරන බවටත් දැනුම් දෙමින් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත්තේ ඒ අනුවය.
පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී!
මොහොතක් යෑමට මත්තෙන් ආණ්ඩුව පැත්තෙන් ‘පැළ’ කරනු ලැබූ මෙම අතේ රෝල ඒ වන විටත් විවිධ සාකච්ඡාවල නිරතව සිටි පොහොට්ටුවේ නායකයන්ටද දැකගන්නට ලැබී තිබිණි. පුවත දුටු සැණින් පොහොට්ටුවේ නායකයන්ටද සිනා නොවී සිටිය නොහැකි වූයේ ආණ්ඩුව පොහොට්ටුවට බලපෑම් කිරීම සඳහා දෙකේ පන්තියේ වැඩක් කර ඇති බව වැටහී යෑමත් සමගය. ඒ අනුව එම පුවත සම්පූර්ණයෙන්ම බැහැර කළ පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් අනතුරුව සාකච්ඡා කළේ සවස පැවැත්වෙන ජනාධිපතිවරයාගේ රැස්වීමේදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කුමන අභියෝග පොහොට්ටුවට එල්ල විය හැකි දැයි කියාය. ඒ අනුව මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අප පළමුවරට පොහොට්ටුව විසින් මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ අතිශය තීරණාත්මක තීන්දුවක් රටට හෙළිදරව් කිරීමට සූදානම්ය. යම් හෙයකින් ජනාධිපතිවරයා සවස පැවැත්වීමට නියමිත රැස්වීමේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයතු කරන බවට පොහොට්ටුවට තර්ජනය කිරීමට කටයුතු කළහොත් ඊට නිසි ප්‍රතිචාර දැක්විය යුතු බවට දැඩි තීන්දුවක් ගැනීමට මෙහිදී පොහොට්ටු ප්‍රබලයෝ පියවර ගත්හ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පෙන්වා බය කිරීමට උත්සාහ කළහොත් ඊට එකඟතාව පළකොට මහමැතිවරණයක් කැඳවන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දීමටද පොහොට්ටු නායකයෝ එහිදී තීන්දු කළහ. ඊටද බලපෑ හේතුවක් තිබිණි. මෙම සාකච්ඡාවේදී දිස්ත්‍රික් නායකයන් පොහොට්ටු නායකයන්ට පෙන්වා දී තිබුණේ පසුගිය කාලයේ පසුබැස සිටි පොහොට්ටු පාක්ෂිකයන් මේ වන විට යළි ශක්තිමත් වෙමින් සිටින බවත්, ඉකුත් දින කිහිපයේ රට වටා පැවැති පොහොට්ටු බලමණ්ඩල රැස්වීම්වලදී ඒ බව දැකගන්නට ලැබුණු බවත්ය. ඒ හේතුවෙන් ජනාධිපතිවරයා මහමැතිවරණය පෙන්වා පොහොට්ටුව බයගැන්වීමට සූදානම් වුවහොත් ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට පොහොට්ටු ප්‍රබලයෝ මෙහිදී අවසන් තීන්දුවක් ගත්හ.
ලන්සාගෙන් නාමල්ලාට පොහොට්ටුවට ප්‍රහාරයක්!
මේ අතරවාරයේ තවත් අපූරු සිදුවීම් කිහිපයක්ද මීට සමගාමීව දේශපාලනයේ දිගහැරෙමින් තිබිණි. ඉන් එක් සිදුවීමකට සම්බන්ධ වී සිටියේ ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කරන නිමල් ලන්සාය. ඒ වන විට නිමල් ලන්සා විදෙස්ගතව සිටි අතර, එහි සිටිමින් මෙරට එක්තරා වෙබ් අඩවියකට ලබාදී තිබූ ප්‍රකාශයක් හේතුවෙන් නැවත වතාවක් දේශපාලනය ගිනිගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී එම වෙබ් අඩවිය ලන්සාගෙන් විමසා තිබුණේ පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරනවාදැයි කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් දැඩි පිළිතුරක් ලබාදී තිබූ ලන්සා සිය ප්‍රකාශය හරහා නාමල් රාජපක්ෂටද ෂොට් එකක් ලබාදීමට පියවර ගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් වෙබ අඩවිය පළ කර තිබූ පුවත මෙසේය.
මෙන්න දාපු නිව්ස් එක!
‘මැති ඇමැති ධුර ඉල්ලා බලකරමින් නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවාදීන් ආණ්ඩුවෙන් ඉවත්වුවද ආණ්ඩුව කඩා නොවැටෙන බවත්, එහෙයින් ආණ්ඩුව විසුරුවා හැරීමේ අවශ්‍යතාවයක් මතුනොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසයි.
විදෙස්ගතව සිටින ලන්සා මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ, ‘පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක්’ යන ශීර්ෂයෙන් යුතුව 14 වැනිදා පළවී ඇති පුවත් වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ලෙස පළමුවරට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවූ අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසුරුවනවා දැයි පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළ බව සිහිපත් කළ ලන්සා මන්ත්‍රීවරයා, ‘මම විසුරුවන්නේ නෑ. එත් ඔබතුමාලා කියන වෙලාවක ව්‍යවස්ථානුකුලව පාර්ලිමේන්තුව විසුරුවන්නම්’ කියා පැවැසූ බවද කියා සිටියේය.
එනිසා කැබිනට් ඇමැතිකම් ප්‍රශ්නයක් මත මේ අවස්ථාවේදී ආණ්ඩුව විසුරුවාහැරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව පැවැසූ මන්ත්‍රීවරයා, නාමල් රාජපක්ෂ කණ්ඩායමට මේ අවස්ථාවේදී පොහොට්ටුවේ මන්ත්‍රීවරු 25කට වැඩි සහායක් නොමැති බවද අවධාරණය කළේය.
රාජපක්ෂලා ගියත් ප්‍රශ්නයක් නෑ!
‘රාජපක්ෂවාදීන් ආණ්ඩුවෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ. මොකද එයාල යනවනම් විපක්ෂයෙන් මන්ත්‍රීවරු ඊට වැඩි පිරිසක් ජනාධිපතිවරයාට සහය පළකිරීමට එකඟවී තියනවා. සජබෙන්, නිදහස් කණ්ඩායමෙන්, උත්තර කණ්ඩායමෙන් ආණ්ඩුවට එන්න බලන් ඉන්න මන්ත්‍රීවරුන්ට තියන එකම බැරියර් එක ඔය බැසිල් කණ්ඩායම…’ ලන්සා මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.
‘පහුගිය කාලේ පාන් කියාගන්න බැරුව හැංගිලා හිටපු කට්ටිය, රනිල් ජනාධිපතිතුමා යාන්තන් රට ගොඩදාගෙන එනකොට ඔන්න දැන් ජනාධිපතිතුමාට විරුද්ධව වැඩකරන්න පටන් අරන්. මේවා පැහැදිලිවම කුහක වැඩ. සේරම එකතුවෙලා ආර්ථිකය ගොඩදාගන්න ඕන වෙලාවක ජනාධිපතිතුමාගේ කකුලෙන් අදින එක අනුමත කරන්න බැහැ. මම ලංකාවට ආපු ගමන් ඔය ගැන විශේෂ ප්‍රකාශයක් කරනවා.’ නිමල් ලන්සා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.’
නාමලුත් හිටියෙ රට! ලන්සාට දීපු උත්තරේ!
ලන්සා මේ ආකාරයේ ප්‍රකාශයක් කරන විට නාමල්ද සිටියේ විදෙස්ගතවය. ඒ අනුව කොළඹින් නාමල්ට කතා කළ එක්තරා හිතවතෙක් නාමල්ට ලන්සා එල්ල කර ඇති ප්‍රහාරය පිළිබඳ දැනුවත් කර සිටියේය. ඒ අනුව මොහොතක් යෑමට මත්තෙන් නාමල්ද ලන්සාට ප්‍රතිචාර දක්වමින් දැඩි ප්‍රකාශයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. පහත දැක්වෙන්නේ එම ප්‍රකාශයය.
නිසි ක්‍රමයක් නෑ!
‘අපි කිවුවෙ ජනාධිපතිවරයා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දේශපාලනික කටයුතු පිළිබඳ කැඳවනවා නම් නිවැරැදි ක්‍රමවේදය අනුව පක්ෂ නායකයන් දනුවත් කර පක්ෂය හරහා දැනුම් දෙන ලෙසයි. මොකද සන්ධාන දේශපාලනය කියන්නෙ එක එක්කෙනාට ඕනෙ විදියට මන්ත්‍රීවරු ගෙන්නන එක නෙවෙයි. දැන් සමහරු කියනවා ඇමැතිකම් දෙන්නෙ නැති නිසාලු ජනාධිපතිවරයා කැඳවන රැස්වීම්වලට එන්නෙ නැත්තෙ. මම ආයෙත් කියන්න කැමැතියි ඉස්සෙල්ලාම ඇමැතිකමක් ගන්නෙ නෑ කියලා කිව්වෙ මම. ඒ වගේම ජ්‍යෙෂ්ඨයන් රැස්වීම්වලට නොගියෙ නිසි ක්‍රමවේදයට අනුව දැනුම් නොදීම නිසා පමණයි.
ජනාධිපති එක්ක වැඩකරන්න සජබය කැමැතියි හැබැයි පොහොට්ටුවේ අය නිසා තමයි විපක්ෂයෙන් ආණ්ඩුවට එන්නෙ නැත්තෙ කියලා කියනවා. අපි කී පාරක් කිවුවද සජබෙන් මන්ත්‍රීවරු අරන් ආණ්ඩුව ශක්තිමත් කරන්න කියලා. අපි කීපාරක් කිවුවද අපිට ඇමැතිකම් එපා, අපේ ඇමැතිකම් හරි අරගෙන විපක්ෂෙන් සජබෙන් එන අයට ඒ ඇමැතිකම් දීලා ආණ්ඩුව ශක්තිමත් කරන්න කියලා. කෝ කියනවා විතරනෙ අවුරුද්දක් තිස්සෙ කවුරුත් ආවෙ නෑනෙ. අපේ සම්පූර්ණ ආශීර්වාදය තියෙනවා සජබෙ අය එනවා නම්.
සජබෙන් එනවා කියපු අය කෝ?
පහුගිය කාලෙම කිවුවා විපක්ෂයෙන් 40ක් එනවා 20ක් එනවා අහවලා එනවා කියලා. කෝ ආවෙ නෑනෙ කවුරුත්. පුළුවන් නම් අපේ ඕනෙ තනතුරක් දීලා විපක්ෂයේ අයව අරගෙන ආණ්ඩුව ශක්තිමත් කරන්න කයිවාරු නොගහ. අපි කිවුවෙ රැස්වීම්වලට එන්න ඕනෙ නම් හරියට පක්ෂෙ දනුවත් කරන්න විතරයි. ඒකට භූමිතෙල් ගහපු ගැරඬි වගේ ඇමැතිකම් ගැන වගේ ඒවා කිය කියා ඉන්නෙ නැතුව නිසි ක්‍රමවේදයට පක්ෂය හරහා අපිව දැනුවත් කරන්න. සජබෙන් කවුරුත් එන්නෙ නෑ වගේ තමයි මට නම් පේන්නෙ. නොහැකියාව පොහොට්ටුව පිටින් යවන්න එපා කියලා කියන්න කැමැතියි. මොකද අපේ ඩීල් තියෙන්නෙ පක්ෂය එක්ක මිසක් ජනාධිපති එක්ක නෙවෙයි. පෞද්ගලිකව ඩීල් දාගත්ත අයට ගොඩක් මේ ගැන රිදිලා ඇති’ යන්න නාමල් එහිදී කී කතාව විය.
සාගර යළි ප්‍රහාරය අරඹයි!
සවස් වරුවේ ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂ නියෝජිතයන් අතර රැස්වීම ආරම්භ වූයේ මෙවැනි පසුබිමක් යටතේය. සාකච්ඡාව ආරම්භයේදීම එය උණුසුම් එකක් බවට පත්කරමින් කතාව ආරම්භ කළේ පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්ය. ඊට පෙර පැවැති සාකච්ඡාවලදී තීරණය කරගත් ආකාරයටම සාගර පළමු ප්‍රහාරය අරඹමින් ජනාධිපතිවරයාට පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කර දීමට පියවර ගත්තේය.
පක්ෂය කඩන්න එන්න එපා!
‘ඔබතුමා ජනාධිපති කළේ අපි. පොහොට්ටුව කියන්නේ අපටම අනන්‍යතාවක් තියෙන පක්ෂයක්. අපි අර්බුදය ආපු වෙලාවේ පක්ෂයෙ තීන්දුවක් අරගෙන තමයි ඔබතුමාව මේ තනතුරට අරගෙන ආවේ. හැබැයි ඔබතුමා දැන් අපේ පක්ෂය කඩලා, අපේ පක්ෂය ඇතුළේ අර්බුද ඇතිකරලා, අපේ පක්ෂයේ අනන්‍යතාව නැති කරන්න හදනවා නම් ඒක ප්‍රශ්නයක්. එක එක ක්‍රම භාවිත කරලා පක්ෂය ඇතුළේ අර්බුද හදන්න යනවා නම් ඒකත් ප්‍රශ්නයක්. එහෙම කරන්න එපා කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලනවා. ගිය පාර විවිධ ක්‍රමවලින් කැඳවපු රැස්වීමට අපි විරෝධය පළකළේ විවිධ පාර්ශ්ව අපේ පක්ෂයට ඇඟිලි ගහන්න ලෑස්ති වෙච්ච හින්දා. ඒ නිසා තවදුරටත් ඔබතුමාට අපිව ඕනෙ නම් අපේ පක්ෂයේ අනන්‍යතාවට ඉඩ දෙන්න. පක්ෂය දෙකඩ කරන්න අනුබල දෙන්න එපා. එහෙම නොවනතාක් අපිට එක ගමනක් යන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපටත් තීන්දුවක් ගන්න වෙනවා. මොකද ඉදිරි ඡන්දවලදී අපට පොහොට්ටුවෙන් තරග කරන්න සිද්ධ වෙනවා. පක්ෂයක් විදියට එතකොට අපි මැතිවරණයට මුහුණ දෙන්න ඕනෙ. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ අපිව අපහසුතාවට පත්කරන්න එපා කියලා…’ යනුවෙන් කියමින් සාගර එක දිගට කියාගෙන යද්දී ජනාධිපතිවරයාද තරමක් අපහසුතාවට මුහුණ දී තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ බව වටහාගත් නිසාදෝ වහාම බැසිල් සංවාදයට මැදිහත් වී තරමක් නිවුණු ස්වරයකින් අදහස් දැක්වීමට පියවර ගත් ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
බැසිල් ෂේප් කරයි!
‘ඔබතුමාව ජනාධිපති ධුරයට පත්කිරීමේ ඉඳන් මේ දක්වා අපි කිසිම ගැටලුවක් නැතිව ආවා. සාගල රත්නායක මැතිතුමත්, සමන් ඒකනායක මැතිතුමත් ඉතාම හොඳට අපිත් එක්ක ගනුදනු කළා. අපේ ඕනෙ කෙනෙක් එතුමන්ලා එක්ක ප්‍රශ්නයක් කතා කළාම, එතුමන්ලා ඒකට මැදිහත් වෙලා විසඳලා දුන්නා. කෝල් එකක් දුන්නාම ආන්සර් කරනවා. එතුමන්ලා දෙන්නත් එක්ක වැඩකරන්න ලේසියි. හැබැයි අතරමැදි අය මේක මැදට ආවම තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ. ඒ නිසා අපට ඔබතුමත් එක්ක ප්‍රශ්නයක් නෑ. අපේ සහයෝගය ඉදිරියටත් ඔබතුමාට ලබාදෙන්න අපි සූදානම්. ඒක මේ දක්වා කළා වගේම සාගලයි සමනුයි හරහා කරන්න පුළුවන්. අතරමැදි උදවිය ඒකට අවශ්‍ය නෑ….’ යනුවෙන් බැසිල් කියද්දී ජනාධිපතිවරයාද පළමුවරට සාකච්ඡාවට මැදිහත් වීමට පියවර ගත්තේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ට පොහොට්ටුව බෙදීමට හෝ පොහොට්ටුව ඇතුළේ අර්බුද ඇතිකිරීමට අවශ්‍යතාවක් නැතැයි කියාය.
රනිල් ප්‍රශ්නය ඉවර කරයි! ලන්සලාව කපලාම දායි!
‘නෑ නෑ. මට ඔබතුමාලගේ පක්ෂය කඩන්නවත්, පක්ෂය ඇතුළේ අර්බුද හදන්නවත් ඕනෙ නෑ. අපි මේ ගමන එකටයි යන්න ඕනෙ. මම සමන්ටයි, සාගලටයි කියන්නම් ඒගොල්ලො කරගෙන ආව වැඩපිළිවෙළ දිගටම කරගෙන යන්න කියලා. ඒ වගේම අපි මාසෙකට වරක් මේ විදියට මුණගැහිලා පක්ෂ නායක මට්ටමින් කතාබහ කරලා මේ තියෙන ප්‍රශ්න විසඳගම්මු…’ යනුවෙන් කියමින් ජනාධිපතිවරයා සාකච්ඡාව සාමකාමීව අවසන් කිරීමට පියවර ගත්තේය.
මාධ්‍ය ඒකක සාගරගේ කෑල්ල කපයි!
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ රැස්වීම පැවැත්වීමට පෙර පොහොට්ටුව බයකිරීම සඳහා පුවත් ‘පැළ’ කළ ආණ්ඩුවේ ඇතැම් මාධ්‍ය ඒකක මේ රැස්වීම සම්බන්ධයෙන්ද අමුතුම අකාරයේ පුවතක් පළකර තිබීමය. මෙහිදී සාගර කාරියවසම් එල්ල කළ ප්‍රහාරය ගැන වචනයක් හෝ සඳහන් නොකොට එම මාධ්‍ය ඒකක විසින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ බැසිල්, ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් සහාය ලබාදෙන බවට සහතිකයක් දුන්නා යැයි කියාය.
බයවෙලා වගේ!
ඒ අනුව මේ සිදුවීමෙන් එකක හොඳ හැටි පැහැදිලිය. ඒ, මෙම රැස්වීමේදී කුමක් සිදුවනු ඇද්දැයි ආණ්ඩුවේ පාර්ශ්වයන් පණ බයෙන් සිටියා යැයි කියන එකය. මන්ද යත් එසේ අවුලක් සිදුවූවා නම් එය නියත වශයෙන් ආණ්ඩුවේ බහුතරයට අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබූ බව ආණ්ඩුව හොඳින්ම දැන සිටි කාරණාව විය. යම් හෙයකින් පොහාට්ටුවේ 11 දෙනකු එහාට මෙහාට වුවහොත් තවදුරටත් ආණ්ඩුවට පැවැත්මක් නොමැති බව ඔවුන් මේ වන විට සහසුද්දෙන්ම තහවුර කරගෙන ඇත.
විපක්ෂය එක මතයකට ඇවිත්!
ආණ්ඩුව ඇතුළේ මේ ආකාරයෙන් විවිධ හැලහැප්පීම් සිදුවෙද්දී විපක්ෂය ආණ්ඩුවට එරෙහිව දැවැන්ත බලවේගයක් නිර්මාණය කිරීම සඳහා ලොකු වැඩකොටසක් දියත් කරමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ආණ්ඩුව පසුගිය කාලයේදී සිතා සිටියේ විපක්ෂයට වාසිසහගත වූ පළාත් පාලන මැතිවරණය කල්දැමීමත් සමග විපක්ෂය හතරගාතේ ඇදවැටුණා යැයි කියාය. නමුත් විපක්ෂය මේ වන විට ඡන්ද කල්දැමීමට එරෙහිව අධිකරණය හමුවේ නඩු පිට නඩු පවරා ඇති අතර, එහි අවසන් තීන්දුව බොහෝ විට ලබන ජූලි මාසයේ ලැබීමට නියමිත බව දැනගන්නට ඇත. විශේෂයෙන්ම ජවිපෙ මේ වන විටත් නව සංඛ්‍යාලේඛන සමගින් අලුත් නඩු දෙකක්ද පැවරීමට පියවර ගෙන අවසානය.
එකම දවසක කොළඹට!
මීට අමතරව දැනට සති දෙකකට ඉහතදී අප මුල් පිටුව මගින් විශේෂ අනාවරණයක් කරමින් ජනතා විමුක්ති පෙරමුණ පළාත් පාලන මැතිවරණය ඉල්ලා දැවැන්ත සටනක් ආරම්භ කිරීමට තීන්දු කොට ඇති බව අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ දිස්ත්‍රික් මට්ටමින්, ගම් මට්ටමින් පැවැත්වීමට නියමිත මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අවසානයේ කොළඹට පැමිණ දැවැන්ත රැස්වීමක් පැවැත්වීමට ජවිපෙ සැලසුම් කර ඇති බවකි. කෙසේ වෙතත් මේ වන විට විපක්ෂයේ පක්ෂවලට ලැබී ඇති අලුත්ම යෝජනාවකින් කියැවී ඇත්තේ ඉතිහාසයේ මෙතෙක් නොකළ පරිදි විපක්ෂයේ සියලු පක්ෂ එක්වී, එක් දිනයක කොළඹට පැමිණ පළාත් පාලන මැතිවරණය ඉල්ලා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත උද්ඝෝණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවකි. පාර්ශ්ව කිහිපයකින්ම ලැබී ඇති මෙම යෝජනාව මේ වන විට සජිත්ටත්, අනුරටත්, ඩලස් පිලටත් ලැබී ඇති අතර, ඒ සියලු පාර්ශ්වයන්ගෙන් ඊට දැනටමත් කොළ එළියක් පත්තු වී ඇති බවක් ආරංචිය. පසුගියදා පොදු විපක්ෂයේ විධායක කමිටු රැස්වීමටද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර, ඒ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක්ද එහිදී පැවැත්විණි. එහිදී බොහෝ දෙනා පෙන්වා දුන්නේ විපක්ෂයේ සියලු පක්ෂ වෙන වෙනම උද්ඝෝෂණ සිදුකරන අතරතුර එකම දිනක කොළඹට පැමිණීම හරහා ආණ්ඩුවට දැවැන්ත බලපෑමක් සිදුකළ හැකි යැයි කියාය. මෙම රැලිය එකට පැවැත්වීමට නොව, තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කරගෙන වෙන වෙනම පැවැත්විය හැකි බවද එහිදී කියැවිණි. විශේෂයෙන්ම ඉතිහාසයේ ප්‍රථම වතාවට උතුර නැගෙනහිර නියෝජනය කරන දෙමළ පක්ෂවලින්ද ඊට යහපත් ප්‍රතිචාරයක් මේ වනවිට ලැබී තිබේ. ඔවුන් දැනටමත් එම යෝජනාවට තමන්ගේ එකඟතාව පළකොට ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ජවිපෙ මෙම විරෝධතා ව්‍යාපාරයට පණපොවමින් පළමු රැලිය රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම ඉදිරිපිටදීත්, දෙවැනි රැලිය තංගල්ලේදීත් පැවැත්වීමට කටයුතු කොට තිබුණේ ඒ අනුවය.
එහෙම වෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට!
කෙසේ වෙතත් පසුගිය සති කිහිපයේදීම මේ සම්බන්ධයෙන් අප කළ අනාවරණයත් සමග දේශපාලන පක්ෂවලට අමතරව වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ වෘත්තීයවේදීන්ගේ සංගම් ද මෙම විරෝධතා ව්‍යාපාරයට එක්විය හැකි ආකාරය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලින් විමසීමක් කර ඇති ආකාරයක්ද දැනගන්නට ඇත. ඔවුන් දැනටමත් සජබයටත්, ජවිපෙටත්, ඩලස් පිලටත් කතාකොට ඊට එක්විය හැකි ආකාරය පිළිබඳ විමසීමට කටයුතු කර ඇති බවක් දැනගන්නට තිබේ. ඒ අනුව මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සාර්ථක වුවහොත් ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂයේ සියලු පක්ෂ එකම අරමුණක් උදෙසා එකට පාරට බැස්ස දිනයක් ලෙස එදින සටහන් වනු නොඅනුමානය.
ආණ්ඩුව නාමයෝජනා කැන්සල් කරන උත්සාහයක!
මේ සියල්ල අතරවාරයේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන තවත් ගේම් එකක් ගැසීමට සූදානම් වන ආකාරයක් පසුගිය සතිය වන විට දැකගන්නට ලැබිණි. ඒ, පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමේ මෙහෙයුමකට අත ගසා තිබීමය. ඒ අනුව පසුගිය දිනෙක පළාත් පාලන අමාත්‍යාංශයේ ආංශික කාරක සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති අතර, ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඊට පක්ෂව අදහස් පළකර තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
එහෙම කරන්න බෑ!
නමුත් දැනට තිබෙන ප්‍රතිපාදනවලට අනුව ආණ්ඩුවට ආංශික කාරකසභා හමුවේ හෝ වෙනත් ක්‍රමයකින් පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා ආහෝසි කළ නොහැකි අතර, එය සිදුකිරීමට නම් පාර්ලිමේන්තුව තුළ පනතක් සම්මත කරගැනීමට ආණ්ඩුවට සිදුවනු ඇත. ඒ බව පසුගිය දිනෙක මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂවරයා වූ සමන් ශ්‍රී රත්නායක මහතා ද පැහැදිලි කර සිටියේය.
ඉන්දියාවේ යන්න පෙර සහතික ඉල්ලයි!
මේ අතරවාරයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වීමෙන් පසු ලබන ජූලි මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මේ වන විට ඒ සඳහා දින වකවානු නියම කර ඇති නමුත් ජනාධිපතිවරයාගේ ඉන්දීය ගමන එතරම් පහසු නොවන එකක් බව පෙනී යන්නේ එම ගමනට කලින් ගිවිසුම් කිහිපයකටම අස්ස් තැබීමටද ජනාධිපතිවරයාට සිදුව ඇති නිසය. මීට අමතරව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පමණක් නොව, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද ඉන්දීය සංචාරයට පෙර ජනාධිපතිවරයා විසින් සහතිකයක් ලබාදිය යුතුව ඇති බවක් දැනගන්නට තිබේ.
ඉන්දියාවෙන් බැසිල්ට තොරතුරක්!
කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉන්දියාව ජනාධිපතිවරයාගෙන් සහතිකයක් බලාපොරොත්තු වන බවට වූ තොරතුර පසුගිය සතිය වන විට ඉන්දියාව පැත්තේ බැසිල්ටද ලැබී තිබිණි. ඒ අනුව බැසිල්ද ඉතා රහසිගත ලෙස පක්ෂයේ හිටපු පළාත් සභා මැති ඇමැතිවරුන් බත්තරමුල්ලේ ප්‍රධාන කාර්යාලය වෙත කැඳවා මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය. ඒ අනුව බැසිල් ඔවුන්ට කියා සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණය මගින් තීන්දුවක් ලබාදිය යුතු වුවත්, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් නම් ඉන්දියාව මගින් ජනාධිපතිවරයාට දැඩි කොන්දේසියක් පනවා ඇතැයි කියාය
රනිල්ගෙන් අලුත් ගේමක්!
මෙම තොරතුර ලැබීමත් සමග අපද ඒ සම්බන්ධයෙන් යම් සොයාබැලීමක නිරත වීමට පියවර ගත්තෙමු. එහිදී අපට පළාත් සභා මැතිවරණය නොපවත්වා ජනාධිපතිවරයා විසින් වෙනත් ක්‍රමයකට පළාත් සභා පිහිටුවීම සඳහා ගැසූ ගේමක තොරතුරුද අනාවරණ කරගැනීමට හැකි විය.
ඉන්දියාව විරුද්ධ වුණා!
මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වරක් අප ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර පළාත්වලට පමණක් පළාත් සභා මැතිවරණය පවත්වා එහි ප්‍රතිඵල ඉන්දියාවට පෙන්වීමට සැලසුම් කළ මෙහෙයුමක තොරතුරු අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. නමුත් එම තොරතුර වාර්තා වූ වහා ඉන්දියාව ඊට විරෝධය පළ කළ ආකාරයත්, යම් හෙයකින් උතුරු නැගෙනහිරට පමණක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගතහොත් යළිත් රට තුළ ජාතිවාදී ගැටුම් ඇතිවීමේ ඉඩකඩක් ඇති බව ඉන්දියාව එහිදී දැනුම් දී තිබූ බවත් අපි අනාවරණ කර සිටියෙමු. ඒ අනුව ජනාධිපතිවරයා එම වෑයම අකුලා ගත් බවද අපි පෙන්වා දුන්නෙමු. තවදුරටත් අප පෙන්වා දුන්නේ පළාත් සභා මැතිවරණය කැඳවීමෙන් පසු එය පවත්වන ආකාරය තීන්දු කරන්නේ මැතිවරණ කොමිසම විසින් බවත්, ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් කළ නොහැකි බවත්ය.
උතුරු නැගෙනහිරට අන්තර්වාර පාලනයක්!
කෙසේ වෙතත් ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අලුත්ම ගේමක් ගැසුවේ අවසන් වරට දෙමළ ජාතික සන්ධනය සමග පැවැති සාකච්ඡාවේදීය. එහිදී ජනාධිපතිවරයා දෙමළ සන්ධානයට යෝජනා කර ඇත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව උතුරු නැගෙනහිර පළාත් සභාවන්ට අන්තර්වාර පාලනයක් ඇතිකිරීමට තමන් සූදානම් යැයි කියාය. එය ව්‍යවස්ථාපිතව ඇති වගන්තියක් බවත්, ඊට අනුව කටයුතු කළ හැකි බවත් ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයට පෙන්වා දී ඇත. නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදූවීම වූයේ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මහතා ජනාධිපතිවරයාගේ මෙම යෝජනාවට එකහෙළාම විරුද්ධ වීමය. එහිදී නීතිමය තර්කයක් ගෙන එමින් සුමන්තිරන් පෙන්වා දී තිබුණේ මේ අවස්ථාවේ එවැන්නක් සිදුකිරීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවය. එවනි අන්තර් පාලනයක් ලබාදිය හැක්කේ කුමන අවස්ථාවලදී ද යන්න සුමන්තිරන් මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දීමට පියවර ගෙන තිබිණ.
මේ ආකාරයට උතුරු නැගෙනහිරට අන්තර් වාර පාලනයක් යෝජනා කරද්දී ජනාධිපතිවරයාට අමතකව තිබූ කාරණයක්ද මතක් කරදිය යුතුව ඇත. ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද මේ ආකාරයටම එල්.ටී.ටී.ඊ. සංවිධානයට උතුරු නැගෙනහිර සඳහා අන්තර් වාර පාලනයක් යෝජනා කළ බවය. නමුත් එම යෝජනාව අවසන් වූයේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව ගෙදර යවමින් බවද මෙහිදී සඳහන් කළ යුතුව ඇත.
ලංකාවේ ලොක්කන්ට රජ මගුලකට ඉන්දියාවට ආරාධනා!
ජනාධිපතිවරයා ලබන ජූලි මාසයේදී ඉන්දියාවේ යෑමට නියමිත බව මීට ඉහතදී අප වාර්තා කර සිටියෙමු. මේ අප කියන්නට යන්නේ ජනාධිපතිවරයාට අගෝස්තු මාසයේද ඉන්දියාව බලා යෑමට ලැබී ඇති ආරාධනාවක් සම්බන්ධයෙනි. මේ ආරාධනාව ලැබී ඇත්තේ එසේ මෙසේ අයකුගෙන් නොව, ඉන්දියාවේ සිටින සුප්‍රසිද්ධම ව්‍යාපාරිකයකුගෙනි. ව්‍යාපාර ලෝකයට පමණක් නොව, මෙම පුද්ගලයා ඉන්දියාවේ අගමැති වූ නරේන්ද්‍ර මෝදිටත්, පාලක පක්ෂය වූ භාරතීය ජනතා පක්ෂයටත් සබඳකම් කියන තැනැත්තෙකි. ඔහු නමින් ප්‍රකාශ් නායර්ය. දේශපාලන ක්ෂේත්‍රයේ එතරම් එළියට නොඑන චරිතයක් ලෙස ප්‍රකාශ් නායර් ප්‍රසිද්ධ වුවද තිරය පිටුපස ඔහු දැවැන්ත චරිතයක් ලෙස ඉන්දියාවේ ප්‍රකටය.
කොචින් ෂෙරටන් හෝටලය බුක් කරලා!
ප්‍රකාශ් නායර් ජනාධිපතිවරයාට ඉන්දියාවට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇත්තේ ඔහුගේ දියණියගේ විවාහ මංගල උත්සවයටය. විවාහයක් ලෙස සඳහන් වුවද එය ඇත්තෙන්ම විවාහයකටත් වඩා ‘රජ මඟුලක්’ යැයි කිවහොත් නිවැරැදිය. ඊට හේතු වී ඇත්තේ ප්‍රකාශ් මෙම විවාහය සඳහා ඉන්දියාවේ කොචින්හි පිහිටි ෂෙරටන් හෝටලය දින දෙකකට සම්පූර්ණයෙන්ම වෙන්කරවා ගැනීමට පියවර ගෙන තිබීම නිසාය.
ගෝඨා එක්ක සෙට් වෙලා! රනිල්ට බුදු පිළිමයකුත් දුන්නා!
ප්‍රකාශ් නායර් පළමුව ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේය. ගෝඨා සමග සම්බන්ධතාවක් ගොඩනගාගත් ප්‍රකාශ් නායර්, ඉන්දීය බී.ජේ.පී.ය සමගද ගෝඨාට සබඳතාවක් ගොඩනගා දීමට සමත් විය. එහිදී ගෝඨා සමග පමණක් නොව, මහින්ද, බැසිල්, නාමල් සමග පවා ප්‍රකාශ් නායර් සිය සබඳතාව වර්ධනය කරගැනීමට පියවර ගත්තේය. එමෙන්ම ගෝඨාගෙන් පසු රනිල් ජනාධිපති වීමත් සමග ඉතා සූක්ෂ්ම ලෙස රනිල් සමගද සබඳතා ගොඩනගා ගැනීමට නායර්ට හැකියාව ලැබිණි. වරක් අප මෙම තීරය ඔස්සේ අතිවිශේෂ පුවතක් ලෙස වාර්තා කර කියා සිටියේ රනිල් නුවරඑළියට ගිය අවස්ථාවකදී නායර්ද නුවරඑළියට පැමිණ රනිල් මුණගැසී සැතපෙන බුදු පිළිමයක් තෑගි කිරීමට පියවර ගත් බවය. ඊට අමතරව අවස්ථා කිහිපයකදීම කොළඹට පැමිණ ටාජ් හෝටලයේ නවාතැන් ගෙන ජනාධිපතිවරයා මුණගැසී නායර් සාකච්ඡා පවත්වා ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ඔක්කොටම ආරාධනා!
මේ ආකාරයට ලංකාවේ දේශපාලකයන් සමග සමීප සබඳතාවක් ගොඩනගාගෙන ඇති නායර් මීට සති කිහිපයකට ඉහතදී නැවත වතාවක් කොළඹට පැමිණ සිය දියණියගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගි වන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කිරීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයාට පමණක් නොව, අගමැතිවරයාටත්, මහින්දටත්, බැසිල්ටත්, ගෝඨාටත් ඊට ආරාධනා කිරීමට නායර් කටයුතු කළේය. එමෙන්ම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රැසකටද නායර් ආරාධනා පත්‍ර ලබාදීමට පියවර ගත්තේය.
ටිකට් එකත් දීලා!
මෙහිදී දැකගන්නට ලැබුණු තවත් විශේෂම සිදුවීමක් වූයේ මේ ආරාධනාවත් සමගම ඉන්දියාවට පැමිණීම සඳහා පළමු පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍රයක් මේ සියලු දෙනාටම ලබාදීමටද නායර් කටයුතු කිරීමය. මීට අමතරව මොවුන් සියලු දෙනා ඉන්දියාවට පැමිණීමෙන් පසු ගුවන් තොටුපළේ සිට ෂෙරටන් හෝටලය දක්වා අතිසුඛෝපභෝගී රථවල රැගෙන ඒමටත්, ෂෙරටන් හෝටලයේ නවාතැන් ලබාදීමටත් නායර් සැලසුම් කර තිබේ. ඒ, සියලු කෑම බීම සහ පහසුකම්ද සහිතවය.
දැඩි ආරක්ෂාවක්!
එමෙන්ම මෙම මංගල්‍යයටද ඉන්දීය අගමැති මෝදිගේ සිට බී.ජේ.පී.යේ සියලු නායකයන්ටද ආරාධනා කිරීමට නායර් කටයුතු කොට ඇති බව ආරංචිය. ඒ අනුව මංගලෝත්සවය පැවැත්වෙන දිනවල ෂෙරටන් හෝටලය අවට ඉතා දැඩි ආරක්ෂක වළල්ලක් යෙදවීමටත්, අවශේෂ ජනතාවගෙන් එම ප්‍රදේශය හිස් කිරීමටත් ඉන්දීය ආරක්ෂක බලධාරීන් සැලසුම් කර ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.










