කතරගම කිරි වෙහෙරට අයත් ට්‍රැක්ටරයක, කිරිවෙහෙරට සම්බන්ධව සේවය කරන සිවිල් පුද්ගලයෙක් විසින් කිරිවෙහෙරේ රාජකාර සඳහා යුද හමුදා හමුදා සෙබළුන් හත් දෙනෙක් රැගෙන පදවාගෙන පැමිණි ට්‍රැක්ටරයක් පෙරළී සෙබලුන් 07 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
අද (17) උදෑසන හතයි තිහට පමණ කතරගම 10 කණුව යුද හමුදා කඳවුරේ සිට කතරගම කිරිවෙහෙර දක්වා යුද හමුදා සෙබළුන් 07 දෙනකු ප්‍රවාහන කළ මෙම ටැක්ටර් රථය මෙලෙස අනතුරට පත්ව තිබේ.
යුද හමුදා සෙබලුන් රැගෙන අධික වේගයෙන් පැමිණ ඇති මෙම ට්‍රැක්ටරය අපරික්ෂාකාරීව ධාවනය කිරීම නිසා කතරගම කිරිවෙහෙර රථ වාහන නැවතුම් පලට ඇතුළුවන ස්ථානයේදී පෙරළී ගොස් මෙම අනතුර සිද්ධ වී තිබේ.
ට්‍රැක්ටරයේ ටේලරය පෙරළී ඊට යටවුන යුද හමුදා සෙබලුන් 07 දෙනාම තුවාල ලබා තිබුණු අතර, ඉන් සෙබලුන් 04 දෙනෙක් බරපතල තුවාල ලබා තිබිණි.
තුවාලකරුවන් දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තුවාල ලබා සිටි සෙබලුන් 4ක් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.
ඔවුන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, ඔවුන්ගේ තත්ත්වය ඉතා බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය.
අනතුර සිදුවුන කිරිවෙහෙටර අයත් ට්‍රැක්ටරයට ආදායම් බලපත්‍රයක් රක්ෂණ සහතිකයක් ඇතුළු කිසිම වලංගු ලේඛණයක් නොමැතිවා සේම අනතුර සිදුකළ ට්‍රැක්ටරය පැදවූ පුද්ගලයාට ද වලංගු රියදුරු බලපත්‍රයක්ද තිබී නැති බව අනාවරණ වෙයි.
ට්‍රැක්ටර් රථයේ රියදුරු ද මේ වනවිට ප්‍රතිකාර සදහා බව පවසමින් කතරගම රෝහලට ඇතුලත්ව සිටී.
වාර්තාවන පරිදි මෙම ට්‍රැක්ටරය මේ ආකාරයෙන්ම සිතුල්පව්ව පාරේ දී පෙරළී ගොස් එක් පුද්ගලයෙක් මීට පෙර මියගොස් තවත් පිරිසකට තුවාල සිදු කර තිබේ.
ගම්මු මේ ට්‍රැක්ටරය හඳුන්වන්නේ මිනී මරණ ට්‍රැක්ටරය ලෙසින් බව ද වාර්තා වේ.
ට්‍රැක්ටරය මේ වනවිට කතරගම පොලිසියේ ඇති බවත්, කතරගම පොලිසිය මේ සිද්ධිය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී උදාසීන බවක් පෙන්නුම් කරන ආකාරයත් වාර්තා වෙමින් ඇත.










