මහ බැංකුවෙන් මහ රෑ උස්සපු ලක්ෂ 50 කෝ…
එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් කප්පම් ගත්ත චාමර ගුණසේකර කෝ…
මහ දවල් අගනුවර මරා දැමූ ෂාෆ්ටර්ගේ මිනීමරුවන් කෝ…
ගුවනින් ගමන් යන්නෝ වාහන තදබදය, පොලිස් දඩකොළ වැනි දේට බිය නොවුණත්, බර්මියුඩා ත්‍රිකෝණයට උඩින් යන්නට බයය. ඊට හේතුව බර්මියුඩා ත්‍රිකෝණය ඇතුළත් සාගර කලාපය යනු ගුවන් යානා ගිලගන්නා මාරයෙක් බඳු තැනක් වීමය.(Sri Lanka Latest News)
එම සාගර කලාපයට ඇදවැටුණු ගුවන් යානා රාශියකට සිදුවූ දේ අදටද සොයාගන්නට නැත. එහෙත් ඒ ආකාරයේ සොයාගන්නට නොහැකි ලෙස බොහෝ දේ අතුරුදන් වන රටක් ඉන්දීය සාගරයේද වෙයි. ඉන්දියාවට පහළින් පෝක් සමුද්‍ර සන්ධියට සහ බෙංගාලබොක්කට සමීපව පිහිටා ඇති ඒ රට අනෙකක් නොව අප සැමගේ මවු රට වන ශ්‍රී ලංකාවය.
ශ්‍රී ලංකා ඉතිහාසය විමසා බලන කල සොයාගැනීමට නොහැකි වූ අපරාධ බොහෝය. පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන කොතරම් තිබුණත් අදටත් ලංකාවේ සොයාගත නොහැකි අපරාධ බොහෝය.
අපරාධ පමණක් නොව සාමාන්‍ය සමාජයේ නිතර කතාබහට ලක්වන සිල්ලර සිදුවීම්ද එසේමය. පැමිණිල්ලක් ලද සැණින් මිනිසුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පුරුදුවී සිටින නිසා කිසිම සාක්ෂියක් නොමැතිව වසර දහය දොළහ බන්ධනාගාරවල දුක් විඳ චෝදනා විරහිතව නිදහස ලබන්නෝ බොහෝය.
හිටපු ජනපතිට බෝම්බ ගැසූවැයි කියා සැකපිට අත්අඩංගුවට ගත් සිවලිංගම් අරූරන් නමැති ඉංජිනේරුවා දාහතර වසරක් සිරගත කරගෙන සිට චෝදනා විරහිතව පසුගියදා නිදහස් කළේද පොලිසියට කිසිවක් සොයාගන්නට නොහැකි වීම නිසාය.
එහෙත් මේ කියන්න යන්නේ ඒ ආකාරයේ අපරාධ කරුණු ගැන නොවේ. රටම දන්නා එහෙත් වග කිවයුත්තෙක් සොයා ගන්නට බැරි, සිදුවූයේ කුමක්දැයි වටහා ගන්නට නොහැකි කරුණු කාරණා කිහිපයක් ගැනය. සාමාන්‍ය ජනයා තම මුදල් හදල් වැඩි ප්‍රවේශමට බැංකුවේ තැන්පත් කරති. රන් භාණ්ඩද එසේමය. අනුන්ගේ මුදල් පරෙස්සම් කරන්නට භාරගත්තද බැංකුවට තම මුදල් පරෙස්සම් කරගන්නට බැරි තත්ත්වයක් දැන් උදාවී ඇත්තේය. සාමාන්‍ය බැංකුවක නොව මහ බැංකුවේද තත්ත්වය එසේය.
මහ බැංකුවේ තිබී රුපියල් මිලියන පහක් නැතිනම් ලක්ෂ පනහක් අතුරුදන් වූයේ පසුගිය අප්‍රේල් මස 11 වැනිදාය. දෛනික මුදල් මෙහෙයුම්වලදී මහ බැංකුවේ සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 5ක මුදලක් අඩු බව එහි සේවකයන් අනාවරණ කර ගත්තේය. මෙම රුපියල් මිලියන පහ රුපියල් 5,000 නෝට්ටුවලින් තිබී ඇත. මේ සැලවූ වහාම මහ බැංකුව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.
එහෙත් අතුරුදන් වූ මුදල් තොගය හමු වූයේ නැත. අනතුරුව මහ බැංකු නිලධාරීන් කොටුව පොලිස් ස්ථානයට ඒ පිළිබඳ පැමිණිල්ලක්ද කළේය. ඊට අදාළ පරීක්ෂණ වහාම ආරම්භ කරන ලදුව අද දක්වාම පැවැත්වෙයි. මේ වන විට එම මුදල් තොගය අතුරුදන් වී මාස දෙකක් ගෙවී ඇත. එහෙත් මේ වන තුරුත් ඊට සිදුවූ දෙයක් සොයාගැනීමට නැත. ශ්‍රී ලංකාවේ වඩාත්ම ආරක්ෂාව සහිත බැංකු පරිශ්‍රයේ සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 5ක මුදල තවමත් සොයාගන්නට පොලිසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිව නැත.
අවම වශයෙන් එකී නෝට්ටුවල ඇති අංක ඔස්සේ පරීක්ෂා කර හෝ මෙකී මිලියන පහට සිදුවූ දෙය සොයාගනිතැයි ජනතාව තුළ වූයේ බලාපොරොත්තුවකි. එහෙත් අද වනතුරු ඒ පිළිබඳ එක ආරංචි මාත්‍රයක් සොයාගන්නට හැකිව නැත. මෙම සොරකම මහ රෑ මහ බැංකුව කඩා කළ සොරකමක් නොවේ. බොහෝ විට එය පොත්පත් ඉලක්කම් එහා මෙහා කිරීමෙන් කළ සුදු කරපටි අපරාධයක් විය හැක. එහෙත් මාස දෙකකට පසු අදටත් මහ බැංකුවේ මිලියන පහට සිදුවූ දෙය සොයාගන්නට නැත.
ලංකාවේ සාගරය මත රසායනික බෝම්බයක් වැනි දෙයක් පුපුරවා හරිමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වී දැන් දෑ අවුරුද්දක් ඉක්මවයි. එහෙත් ඒ සඳහා වන නඩුව පැවරුවේ කාලාවරෝධ නීතිය යටතේ එය පැනවිය හැකි අන්තිම පැය කිහිපයේදීය. ඊට සමගාමීව කියවූයේ චාමර ගුණසේකර නමැත්තෙක් එම නඩුව පමාකිරීම සඳහා නෞකා සමාගමෙන් අල්ලසක් ගෙන ඇති බවයි.
එමතුදුනොව අල්ලස ලෙස ඩොලර් මිලියන 250ක් ලබාගෙන ඇති බවත්, එය එංගලන්තයේ නැට්වෙස්ට් බැංකුවේ තැන්පත් කර ඇති බවත් එකල ප්‍රකාශ විය. මේ කියන චාමර ගුණසේකරගේ නම පාර්ලිමේන්තුවේ කියවූයේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසිනි. ඊට පසු චාමර ගුණසේකර සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක්ද ගොනු කෙරිණි. එහෙත් චාමර ගුණසේකර තබා ඔහුගේ ගිණුම තිබූ නැට්වෙස්ට් බැංකුවේ හරිහමන් තොරතුරක් සොයා ගැනීමටද පොලිසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිව නැත.
මේ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.ඇල්. පීරිස් පවසා සිටියේ චාමර ගුණසේකර සොයාගැනීමට ඇති හොඳම ක්‍රමය මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහාය ලබාගැනීම බවය. එමගින් වඩාත් සාර්ථකව බි්‍රතාන්‍ය බැංකු පද්ධතිය සමග සබඳතා ගොඩනගාගත හැකි බව මහචාර්යවරයා පෙන්වා දුන්නේය. එහෙත් අද වනතුරු චාමර ගුණසේකර සොයාගන්නටවත් නැත.
මීට අමතරව පසුගිය කාලයේ ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේද ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ දිනේෂ් ෂාෆ්ටර මහතාගේ මරණය සම්බන්ධයෙන්ද මතුව තිබුණේ ආන්දෝලනාත්මක තත්ත්වයකි. මෙහිදී පොලිසිය නිසි අයුරින් පරීක්ෂණ මෙහෙයවූයේ නැති බවට චෝදනා එල්ල විය. ඒ නිසා අවසානයේදී සිදුවූයේ අධිකරණය හරහා ෂාෆ්ටර්ගේ දේහය යළි ගොඩගෙන නැවත පරීක්ෂණ ආරම්භ කිරීමටය.
ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අමාත්‍යවරියකි. ඇය ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන්නා සේම ඇය සතු ගමන් බලපත්‍රයද ව්‍යාජ එකක් බවට අධිකරණය හමුවේ නඩුවක් ගොනුව තිබිණි. එහිදී ගරු විනිසුරුතුමන්ගේ අදහස වූයේ ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නට අධිකරණයෙන් නියෝග අනවශ්‍ය බවත්, ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසියට බාධාවක් ඇති බවත්ය.
එහෙත් පුදුමය නම් අදටත් පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජ්‍ය අමාත්‍යවරිය අත්අඩංගුවට ගෙන නැත. එහෙයින් නඩුවේ තීන්දුව තවමත් ප්‍රකාශ කර නැති අතර, නඩුව බහා තබා ඇත. කරපු කෙනෙක් නැති, එහෙත් දැවැන්ත පාඩුවක් සිදුවී ඇති දූෂණ වංචා අනන්තවත් මේ රටේ සිදුව ඇත. වසර ගණන් පරීක්ෂණ කරන එකී සිදුවීම් අතහැර මෑත භාගයේ සිදුවූ සිද්ධීන් කිහිපයක් ගැන පමණක් සාකච්ඡා කළේ ඒවායේ කාලීන බව නිසාමය. මේ සියලු සිදුවීම් සතාසිවම් නඩුව වගේ යයි ඇතැම්හු පවසති. එහෙත් එය සාධාරණ කතාවක් නොවේ. ඒ, සතාසිවම් නඩුවේ අවසානයට වංගෙඩිය හෝ වැරැදිකරු විය. මේවායේ එහෙමටවත් කිසිවෙක් වැරැදිකරු වී නැත.
නිර්මාල් දේවසුරේන්ද්‍ර










