රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය නියමුවකු, නවාතැන් ගෙන සිටි හෝටලයේ ඇදවැටීමෙන් මරණයට පත් වී ඇති බව කටුනායක පොලිසියේ උසස් නිලධාරීවරයෙකු පැවසීය. (Sri Lanka Latest News)
63 හැවිරිදි Dovgaienko Valerii නැමැති මෙම සහාය ගුවන් නියමුවා පසුගිය 15 වැනිදා රාත්‍රී 10.00 ට පමණ ඔවුන් නැවතී සිටි කටුනායක පීල්ලවත්ත ප්‍රදේශයේ ” ටැමරින් ට්‍රී ” නැමැති හෝටලයේ කානුවකට ඇද තිබේ.
පසුව කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම ගුවන් නියමුවා මීගමුව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, එහි සේවය කළ වෛද්‍යවරුන් මොහු පරීක්ෂා කර බලා, මොහු මියගොස් ඇති බවට සනාථ කර තිබේ.
මරණයට හේතුව හෘදයාබාධයක් විය හැකි බවට සැක කරන අතර , මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය 06/16 දින මීගමුව මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.
මෙම සහාය ගුවන් නියමුවා 16 වැනිදා දහවල් 12.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව එරොෆ්ලොට් ගුවන් යානයේ සහාය නියමුවා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියේය.
dinamina










