විජය කුමාරණතුංගයන්ගේ තිස් දෙවැනි ගුණ සමරු විශේෂ අතිරේකය ඔස්සේ අපි ඒ අසහාය කලාකරුවා ගැන බොහෝ දේවල් ඔබ වෙත ගෙන එනවා. ඒ අතර වෙන් වන තවත් සුවිශේෂී ඉඩකඩක් මේ. විජය මියගිය බව දැන ගත්ත වෙලාවේ මුළු රටම හැඬුවා කිව්වොත් ඒක වැරැදි නැහැ. ඒ වගේම තමන් ආදරය කළ විජයගේ අවසන් මොහොත දැක ගන්න ලක්ෂ සංඛ්‍යාත රසික පිරිසක් ඔහුගේ මළගෙදරට ආවා. අවසන් වරට විජයගේ මුහුණ දැක ගන්න බලාපොරොත්තුවෙන් ඇඬූ කඳුළින් යුතු ජනතාව දිගු පෝලිම්වල මඟ බැලුවා. ඒත් විජයගේ මුහුණ අන්තිම සැරේට දැක ගන්න ඒ කාටවත් අවස්ථාව ලැබුණේ නැහැ. විජයගේ ඝාතකයෝ ලක්ෂ ගණනක් ආදරය කළ විජයගේ මුහුණත් සම්පූර්ණයෙන්ම විනාශ කරලා තිබුණා.
විජයගේ වියෝව ඔහුගේ පවුලේ අයට, රසික රසිකාවියන්ට විතරක් නෙවෙයි ඔහුගේ ක්ෂේත්‍රයේ සමකාලීනයන්ටත් ඉතාම තදින් දැනුණා. මොකද විජය කියන්නේ ඔවුන්ට හරිම ළැදි චරිතයක්. ක්ෂේත්‍රයේ හැම දෙනාගෙම මිතුරෙක්. හැමෝටම උදවු කරපු මනුස්සයෙක්. ඒ හින්ද විජයගේ වෙන්වීම ඒ අයටත් දරා ගන්න බැරි තරමේ දෙයක් වුණා. මේ අපි කතා කරන්නේ විජයගේ අවසාන මොහොතට සහභාගි වූ කලාකරුවන් එදා දක්වපු අදහස්. අවුරුදු තිස් දෙකකට පස්සෙත් ඒ වදන් ඔබේ නෙතට කඳුළක් ගෙන එනවා නොඅනුමානයි.
මේ සියලු කලාකරුවන්ගේ දුක් සුසුම් අතරට එකතු වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ කඳුළු මැදින් කලාභවනේ සිට නිදහස් චතුරස්‍රය දක්වා රැගෙන ගිය විජයගේ දේහය එහිදී දැවී අළුවී වාතලය සමඟ එකතු වුණා. ඒත් අපි විජය ගැන තාමත් කතා කරනවා. ඒකට හේතුව විජය අසහාය නළුවෙක් වීම විතරක් නෙවෙයි. ඔහුගේ සමකාලීනයෝ කිව්ව විජය සතුව තිබූ අසාමාන්‍ය මනුෂ්‍යත්වයක් ඒකට ලොකු හේතුවක්. ඒ වගේ උතුම් මිනිස්සු සදා අමරණීයයි.
ශ්‍රියානි අමරසේන
ඇත්ත වශයෙන්ම කියන්න කාරණා නම් හුඟාක් තියෙනවා. මුලින්ම මට කියන්න තියෙන්නේ අපිට හිටිය හොඳ උසස් ගණයේ කලාකාරයෙක්, හොඳ හදවතක් තියෙන රත්තරන් මනුස්සයෙක් අපි අතරින් නැතිවුණා කියලයි. මං හිතන්නේ අපි හැමෝටම ඒ වෙනුවෙන් තියෙන දුක කනගාටුව කියලා නිම කරන්න බැහැ.
ජයලත් මනෝරත්න
පසුගිය දවස් කිහිපය තුළ රැස්වූ සහ ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණි විශාල ජනකායෙන් පෙනී යන්නේ විජය ජීවත්ව සිටි කාලයට වඩා ඔහු ජීවිතයෙන් සමුගත්තට පස්සේ තමයි අපිට විජයට ආදරය කළ ජනතාවගේ තරම දැන ගන්න ලැබුණේ කියන එකයි. මං හිතන්නේ සැබෑ මිනිසෙක් ඉවෙන් වගේ හඳුනා ගන්නා ශක්තිය ඇති කරන්න පුළුවන් වෙන්නේ ඉතාමත්ම දුර්ලභ ගණයේ පුද්ගලයන්ට පමණයි.
මහාචාර්ය සුනිල් ආරියරත්න
මං හිතන්නේ විජය නැති වීමෙන් සිංහල සිනමාවට වුණු පාඩුව දරන්න බැරි පාඩුවක්. ඔහු විශිෂ්ට ගණයේ නළුවෙක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඇත්තෙන්ම පසුගිය කාලය තුළ ඔහුගේ ප්‍රතිභා ශක්තිය තිබුණා විතරක් නෙවෙයි ඔහු පසුගිය කාලේ ලබපු ජීවිත අත්දැකීම් තුළින් ඔහුගේ රඟපෑම් ඉතාම වේගයෙන් දියුණු වෙමින් තිබුණු අවධියකයි ඔහුගේ මේ අභාවය සිදු වුණේ.
එම්. එස්. ප්‍රනාන්දු
මට ඒක ඇහුණ හැටියෙම ලොකු කම්පනයක් ඇති වුණා. ඒක මට විශ්වාස කරන්න බැරි වුණා. මම බොහොම ප්‍රිය කරන නළුවෙක්. මම ඔහුට චිත්‍රපට කිහිපයක පසුබිම් ගායනය කරලා තියෙනවා. මට මේ ආරංචිය ලොකු වේදනාවක්. ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා ඒ වේදනාව ඉවසගෙන ඉන්නවා. ඔහුගේ අවසන් කටයුතුවලට අපේ මේ ශිල්පීන් ඔක්කොම රැස් වෙලා ඉන්නවා.
රෝයි ද සිල්වා
මට කියන්න තියෙන්නේ අපේ කර්මාන්තයේ හිටපු අවංක හිතවත් දයාබර මිතුරෙක් අපිට නැතිවුණා කියන එකයි. මට නම් හැඟෙන්නේ සිනමාවේ හතරෙන් තුනක් නැති වුණා වගෙයි. මට තවත් කනගාටු මං හිතන්නේ විජයගේ ජීවිතයේ අවසාන ජවනිකාවේ රඟපෑවේ මාත් එක්ක. මිහිදුම් සිහින දෙවැනි කොටස චිත්‍රපටියේ. ඔහු අවසානයේදී රඟපෑවෙත් සොහොන් පිට්ටනියක දර්ශනයක්.
ෆ්‍රෙඩී සිල්වා
විජය කුමාරණතුංග මහත්මයා ගැන කියනවා නම් නළුවෙක් වශයෙන් නෙවෙයි මනුස්සයෙක් වශයෙන් ඉතාම උතුම් ගතිගුණ තිබුණු පුද්ගලයෙක්. මම කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා චිත්‍රපටියක් කරන්න සූදානම් වුණා. මම ඒ මහත්මයාගෙන් ඇහුවා මට උදව් කරනවද කියලා. ඇත්ත වශයෙන්ම ඒ මහත්මයා එක පාරටම කිව්වේ ෆ්‍රෙඩී ඕනෑම උදව්වක් මං උඹට කරනවා, ඕන එකක් කියන්න කියලා. ඊට පස්සේ මං ඇහුවා මං දෙන දින ටික ලියා ගන්න පුළුවන්ද කියලා. එතකොට කිව්වා දෙයියන්ට නොදුන්නත් මං උඹට ඒ දින දෙනවා කියලා.
ජෝ අබේවික්‍රම
විජේව මං අඳුරගෙන අවුරුදු විස්සක් විතර වෙනවා. ඒ කියන්නේ විජය චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසි කාලයේ ඉඳන්ම අපි ළඟින් ආශ්‍රය කළා ඔහු නැති වෙන කල්ම. අපි කවදාවත් විජය එක්ක මොනම හේතුවක් හින්දාවත්, මොනම කාරණාවක් හින්දාවක් කිසිම අමනාපයක් ඇති කර ගත්තේ නැහැ. මාත් එක්ක විතරක් නෙවෙයි විජය අපේ ක්ෂේත්‍රයේ හැම දෙනාගේම ප්‍රියතම පුද්ගලයෙක් වශයෙන් ජීවත් වුණා. විජය කලාකාරයෙක් වශයෙන් අංශ කිහිපයකින්ම ඉතාම දක්ෂයෙක්. ඒ හැම දක්ෂකමටම වැඩිය මම අගය කරන්නේ විජය ළඟ තිබුණු මිනිස්කම.
කේ. ඒ. ඩබ්. පෙරේරා
මං හිතනවා මෙවැනි ඝාතනයක් ලෝකයේ ඇති වුණු පළමුවැනි අවස්ථාව කියලා. සමහරවිට තමුන්නාන්සේලා හිතන්න පුළුවනි මේ පුද්ගලයා මේ කිව්වේ මොකක්ද කියන එක. විවිධ දේශපාලන හේතූන් නිසා ලෝකයේ ඇතැම් දේශපාලනඥයන් ඝාතනය කරලා තියෙනවා. නමුත් ලංකාවේ ඉතාමත් ජනප්‍රිය නළුවා දේශවාසීන්ගේ ජනතාවගේ ඉතාමත්ම සුරතලා බවට පත්වෙච්ච මේ නළුවා මේ අන්දමින් ඝාතනය කිරීම මං හිතනවා ලක්වැසි ජනතාව නුහුලන ඉතාමත් ඛේදජනක සිද්ධියක් කියලා. නළු නිළියෝ අපිට අනන්ත ඉන්නවා. දේශපාලනඥයෝ අපිට අනන්ත ඉන්නවා. බුද්ධිමතුන් අප අතර ඉන්නවා. නමුත් මේ වගේ මනුස්ස හදවතක් තියෙන අය හොයා ගන්න ඉතාමත්ම අමාරුයි. එවැනි පුද්ගලයන් නැති වීම අපේ අභාග්‍යයක්.
ඇන්ටන් වික්‍රමසිංහ
ඉස්සෙල්ලාම මම කියන්න ඕනේ මම ඉතාම කනගාටු වෙනවා. මේ ප්‍රවෘත්තිය ඇහුවට පස්සේ මේ සංස්ථාවේ කිසි කෙනෙක් වැඩ කළේ නැහැ. මොකද විජය කුමාරණතුංග හොඳ මහත්මයෙක්. හොඳ මිනිස් ගුණ තිබුණු කෙනෙක්. ඒ වගේම සෑම දෙනාම ඉහළම මට්ටමෙන් මෙයාව පිළිගත්තා. ඉතාම සුළු දෙයක් වුණත් චිත්‍රපට කර්මාන්තයට බලපානවා.
සිසිර සේනාරත්න
ඒ වගේ උතුම් මිනිස් ගුණ දම් තියෙන ඒ නිහඬ කලාකරුවා අවසන් ගමන් යන මොහොතකදි අපිට මේ වගේ සුළු වෙලාවක් හරි රැස්වෙලා මෙවැනි ගෞරවයක් කරන්න ලැබීමත් පුද්ගලිකව අපේ භාග්‍යයක් කියලා හිතනවා. මේ වගේ කලාකාරයෙක් අපි අතර නැවතත් උපදීවා, ඒ වගේ තැනැත්තකුගේ ඇසුර නැවත අපට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
සනත් ගුණතිලක
සිංහල සිනමාවේ මට ඒ වගේ අවංකව හිතවත් යාළුවෙක් හිටියේ නැහැ. උතුම් මනුස්සයෙක්. ඒ වගේ ගතිගුණ මනුස්සයකුට පිහිටන්නේ හුඟාක් කලාතුරකින්. ඒ වගේ මනුස්සයෙක්ව කවදාවත් සිනමාවෙදි ආයෙ හම්බවේවි කියලා මම විශ්වාස කරන්නේ නැහැ.
එච්. ඩී. ප්‍රේමරත්න
විජය කුමාරණතුංග අවසන් වරට රඟපාන්න සූදානම් වෙලා හිටියේ සහරාවේ සිහිනය චිත්‍රපටයේ. එයා මාත් එක්ක එකට වැඩ කෙරුවේ සිකුරුලියා චිත්‍රපටයේ. ඊට පස්සේ එයාම යෝජනාව ගෙනල්ලා මේ විදියට කරමු කියලා එයාම උනන්දු වෙලා කරපු චිත්‍රපටයක් තමයි සහරාවේ සිහිනය. එහි පසුබිම් දර්ශන සඳහා තෝරා ගන්න නියම කර ගෙන තිබුණේ මාර්තු මාසයේ මුල් සතියේ. එහේ වාතාවරණයයි, මෙයා දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙලා සිටීමයි නිසා තමයි ඒ දින යොදා ගත්තේ. සමහරවිට අපි මුලින් යොදා ගත්ත විදියට පෙබරවාරි මාසේ ගියා නම් මං හිතනවා මේ වගේ අකල් මරණයක් එයාට වෙන්නේ නැහැ කියලා. නමුත් අපි හැමෝගෙම අවාසනාවට මේ වගේ දක්ෂ නළුවෙක් ඒ වගේම හිත හොඳ මනුස්සයෙක් අපිට නැතිවුණා.
රවීන්ද්‍ර රන්දෙණිය
මම බලවත් ලෙස කම්පාවට ලක් වුණා. මොකද විජයගෙයි මගෙයි මිත්‍ර සම්බන්ධය ඇරඹෙන්නේ පාසලෙන්. අපි පාසල් මිතුරෝ. අපේ ඉතාම කිට්ටු ආශ්‍රයක් ඒ යුගයේ ඉඳලාම තිබුණා. කලාතුරකින් වෙන දෙයක් විදියට එක පන්තියේ ඉගෙන ගත්ත දෙන්නෙක් එකට වෘත්තියේ යෙදුණා. අපි අදහස් අතින් සමහරවිට විවිධ වෙන්න ඇති. නමුත් අපේ මිත්‍රත්වය කවදාවත් ඒ නිසා පලුදු වුණේ නැහැ. මිත්‍රත්වයකට වඩා බැඳි සහෝදරත්වයකින් කර්මාන්තයේ වගේම පෞද්ගලික ජීවිතයේදීත් අපි හිටියා. අපි කවුරුත් නොසිතූ විරූ මොහොතක විජයගේ මේ වියෝවීම මම හිතනවා අපේ කර්මාන්තයට සිදුවූ අතිශය විශාල පාඩුවක් වගේම අපිට ඉතාමත්ම ශෝකය දනවන කාරණයක්.
වසන්ති චතුරාණි
විජය අයියා අපේ සිනමා කර්මාන්තයේ හිටපු ලොකුම බලවතෙක්. ඒ වගේ කෙනෙක් අපිට නැති වීම ගැන හරිම කම්පා වෙනවා. අපේ කලාකාරයකුට ඒ වගේ දෙයක් කරපු එක ගැනත් අපි කම්පා වෙනවා. පසුගිය දවස් ටිකේ අපිත් එක්ක චිත්‍රපට රූගත කිරීමකට ගිහිල්ලා හිටියා. මට දැනුත් මතක් වෙනවා එදා රාත්‍රියේදී පොඩි උත්සවයකදී සින්දුවක් කියන්න කිව්වම ගඟ අද්දර කියපු හැටි. විජය අයියා මට මුලින්ම හම්බ වුණේ අහසින් පොළොවට චිත්‍රපටයේදී. ඒකෙදි තමයි අපි දෙන්නා මුලින්ම එකට රඟපෑවේ. ඊට පස්සේ තමයි ගඟ අද්දර චිත්‍රපටයේදී මට විජය අයියව හම්බ වුණේ. ඉතින් විජය අයියා හදිසියෙන් අපි අතරින් නැති වෙච්ච එක අපිට කියන්න බැරි තරම් ශෝකයක්.
චන්දන පොන්නම්පෙරුම










