මහනුවර මානව හිමිකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනී කුමුදුනී විතානට ස්ථාන මාරුවක් ලබාදී එම තනතුරට මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය විසින් විරංජන් ඩයස් සුමනසේකර අත්තනෝමතිකව පත්කර එවීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් විරෝධය දැක්වීම නිසා මේ වන විට කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
විරංජන් ඩයස් සුමනසේකර මහනුවර මානව හිමිකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි තනතුර භාර නොදීම හේතුවෙන් කුමුදුනී විතාන මහත්මියගේ සේවය අත්හිටුවා, ඇයගේ වැටුප්ද නතර කළ බව දක්වා කොමිෂන් සභාවේ ලේකම්වරයා ඇය වෙත ලිපියක් යොමුකර ඇත.
තමන් මහනුවර කාර්යාලයේ සිට කොළඹ කාර්යාලයට මාරුකරන ලද්දේ විධිමත් ක්‍රියාපටිපාටියෙන් බැහැරව බව දක්වමින් කුමුදුනී විතාන සිය ස්ථාන මාරුව සහ වැටුප් අත්හිටුවීම තාවකාලිකව වළක්වාලමින් අභියාචනාධිකරණය මගින් රිට් ආඥාවක් ලබාගෙන තිබෙන බව වාර්තා වේ. එසේ තිබියදී කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ සහයෝගය ඇතිව විරංජන් ඩයස් සුමනසේකර පසුගිය 30 වැනිදා පැමිණ බලහත්කාරයෙන් කුමුදුනී විතානගේ අසුනේ වාඩිවීමට උත්සාහ කිරීම හේතුවෙන් දැඩි නොසන්සුන්තාවක් ඇතිවූ බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් මහාචාර්ය විජිත නානායක්කාර කීය.
අදාළ සිදුවීම් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට කොමිෂන් සභාවේ ලේකම්වරයා දැඩි විරෝධයක් එල්ල කරමින් එම ස්ථානයෙන් පිටව යෑමත් සමග ඒ අසල සිටි පිරිසක් විරංජන් ඩයස් සුමනසේකරට බැණවැදුණු අතර ඒ අවස්ථාවේ ඔහු ඔවුන්ගෙන් ගැලවී පලා ගියේය.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය කොමිසමේ සාමාජිකයන් නොසලකා හැර අත්තනෝමතික ලෙස තනි තීන්දු ගැනීම හේතුවෙන් මේ වන විට කොමිෂන් සභාවේ වැඩකටයුතු අවුල්වී තිබෙන බවත් මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් මහාචාර්ය විජිත නානායක්කාර කීය.
lankasara










