පුත්තලම සිට අනුරාධපුර මාර්ගය ඔස්සේ අනුරාධපුර දෙසට ගමන් කරන විට හමුවන 17 කනුව හන්දියෙන් වමට හරවා කිලෝමීටර් 12ක් පමණ දුරක් ඝන වනාන්තරය මැදින් ගමන් කිරීමේදී ප්‍රථමයෙන් අපට හමුවන්නෙ ඓතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමක් තිබෙන විලඳගොඩ රජමහා විහාරස්ථානයයි. මෙම විහාරස්ථානය ක්‍රි.ව. 4-5 වැනි කාලවලදී පෙර රජ දවස ඉදිවන්නක් බවට ඉපැරණි ඉතිහාස ග්‍රන්ථ සාක්ෂි සාධක මනාව හෙළිදරව් කරයි.
සාලිය අශෝකමලා පුරාවෘත්තය පැහැදිලව කියැවෙන මෙකී ස්ථානය සාලිය අශෝකමාලා සැඟව සිටි ලෙන ලෙස ජනවහරේ හැඳින්වේ.
ශිලා ලිපි දහයකට අධික ප්‍රමාණයක් මෙහි සටහන්ව ඇති අතර, පොදුවේ වහරල මිදීමේ ලිපි වශයෙන් හඳුන්වනු ලබන මේවා බොහෝ විට පඩි පේළි අසල සටහන් කර ඇත. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතයට අනුව ‘වහරල මිදීම’ යනු වහලුන් වහල්භාවයෙන් නිදහස් වීම ලෙස ඔහු අර්ථකථනය කර තිබේ.
දුටුගැමුණු රජු තම පුත්‍රයා බැහැදැකීමට පැමිණි මොහොතේ විලඳ සමග මීපැණි පූජා කිරීම නිසා එහි තිබූ විලඳ ඇට හා සමානව වෙහෙර විහාර ඉදිකරන ලෙස තම පුතුට අවවාද අනුශාසනා කළ බැවින් මෙය වර්තමානයේ විලදගොඩ ලෙසින් නම්කර ඇති බව ජන වහරේ සදහන් වෙයි.
කලාවැව ඉදිකරවූ ධාතුසේන රජු ඉදිකරන ලද වෙහෙර විහාර 18ක් අතරින් මෙහි පිහිටා ඇති සුවිශේෂ වූ සල්වානා වෙහෙර, ගිරිපබ්බත යන වෙහෙර විහාර ඉදිකර ඇති බව ඉතිහාස වංශකතාවේ මනාව පිළිඹිබු කරයි.
තවද මෙහි ගල් පඩි සහිතවූ සාලිය පොකුණ, අනුරාධපුර ලෝවාමාපායට සමාන ගල් කනු කරු සහිත උපෝස්ථක ගෙය හෙවත් සීමාමාලකය, චන්ද්‍රකාන්ති පාෂාණයෙන් කරවන ලද බුදු පිළිමය, ඇතුළු කටාරම් කොටන ලද ලෙන් 60ක් සහිතය. මෙහි භික්ෂුන් වහන්සේලාගේ පැන් පහසුව සඳහා ඉදිකරන ලද පොකුණු කිහිපයකට අමතරව ගිනිහල් පොකුණ, අඩි දහඅටක් ගැඹුරැති දිය කෙමිය ඇතුළු තවත් විස්මිත වූ සුවිශේෂ නටබුන් රැසක් මෙහි පිහිටා ඇත.
බැලුම් ගල නම් උස අඩි 60ට ආසන්න විශාල ගල් පර්වතයක් පොළොව මට්ටමට සවිවී ඇත්තේ අඩියක් වැනි සුළු කොටසකිනි. මෙම ගල් පර්වතය එකල රහතන්වහන්සේලා භාවනා කිරීම සඳහා ධ්‍යාන ලෙන් වශයෙන් උපයෝගී කරගෙන ඇත.
අක්කර 500ට ආසන්න වපසරියකින් සමන්විත වූ මෙම විහාර භූමිය එක් පසෙකින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සීමා මායිම්වත්, තවත් පසෙකින් නීලබැම්ම ගොවි ජනපදයට සීමාමායිම්වත් පිහිටා ඇති අතර, මෙහි ප්‍රෞරාණික වැව් 15කට අධික සංඛ්‍යාවක් පිහිටා තිබීම එහි ඇති සුවිශේෂ ලක්ෂණයකි. එල්ලංගා පද්ධතියට හිමිකම් කියන ගස් ගොම්මන සහිත වූ මෙකී වැව් ජලය රැගෙන යාමේ ක්‍රියාන්විතය නිසි ලෙස ක්‍රමවත්ව සිදුකරයි.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැරිසරන අලි, කොටි, වළසුන්, මුවන්, ගෝනුන් ඇතුළු අපා දෙපා සිවුපාවුන්ගේ නිජ භූමිය කරගෙන ඇත. කොටි ලෙන, ඇත් පවුර එයට කදිම නිදසුනක්ව තිබේ.
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද්දකි.)