2023 පළාත් පාලන මැතිරණයට තරග කරන අපේක්ෂකයින් සිය අධ්‍යාපන සුදුසුකම් ඇතුළුව ජීව දත්ත සටහන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමේ නැඹුරුවක් මේ දිනවල දක්නට ලැබෙයි. මැතිවරණ අපේක්ෂකයන් එලෙස සිය සුදුසුකම් සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීම පිළිබඳ යහපත් ප්‍රතිචාර මෙන්ම විවේචනද මේ වන විට එල්ල වෙමින් තිබේ.
ඒ අනුව පසුගිය දිනවල මේ සම්බන්ධව මැතිවරණ තරග බිමේ හුවමාරු වූ උණුසුම් සංවාද සම්බන්ධයෙන් අපි සොයා බැලුවෙමු.
ඡන්ද සටන උණුසුම්
‘නොපවත්වයි’, ‘කල් යයි’ කියූ පළාත් පාලන මැතිවරණයට මේ වනවිට දින නියමවී තිබේ. ඡන්ද සටන පාර්ලිමේන්තු මහ මැතිවරණයක් තරම්ම උණුසුම්ව ඇත. මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්කර කර මේ වනවිට සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මැතිවරණ ව්‍යාපාර ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතව මෙවර පළාත් පාලන මැතිවරණට තරග කරන අතර, සමගි ජනබල වේගය, ජාතික ජනබලවේගය සහ නිදහස් ජනතා සන්ධානය ද ඡන්ද සටන තීව්ර කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර පළාත් පාලන ආයතන සඳහා තරග කරන 43 සේනාංක නියෝජිතයන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නාමයෝජනා භාරදුන්නේ 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙනි.
එසේම රට පුරා පළාත් පාලන ආයතන ගණනාවක් වෙනුවෙන් ස්වාධීනව හා අවබෝධතා ගිවිසුම් මත නව ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික නිදහස් පෙරමුණ එක්ව තරග වදිති.
පාලක පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වදින්නේ අභියෝග රැසක් මධ්‍යයේය. ඒ, රට මුහුණදී සිටින වත්මන් අර්බුදයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් වගකිව යුතු බවට ජනතාව තුළ පවතින හැඟීම හේතුවෙනි.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ රසායනික පොහොර තහනම වැනි අදූරදර්ශීව හදිසියේ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති හේතුවෙන්, මෙරට කෘෂි කර්මාන්තය දැඩි පසුබෑමකට ලක්වූ අතර පොහොර අර්බුදය හේතුවෙන් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකයට මරු පහරක් එල්ල විය. විදෙස් සංචිත පහත වැටීම, රුපියල දිගින් දිගටම අවප්‍රමාණ වීම හා ඉහළ යන ආහාර උද්ධමනය හේතුවෙන් ජනතාව පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටය. ඉන්ධන පොලිම් නොමැති වුවත් ඉන්ධන බෙදාහැරීම තවමත් සිදුවන්නේ QR ක්‍රමය අනුව සීමාසහිතවය. දෛනික විදුලි කප්පාදුව ජනතාවට දැන් හුරුපුරුදු, දෛනික දින චර්යාවේම කොටසක් බවට පත්ව හමාරය.
රජයේ නව ආදායම් බදු සංශෝධනය ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත අතර යෝජිත විදුලි ගාස්තු සංශෝධනයද ක්‍රියාත්මක වුවහොත් ජනතාවට කබලෙන් ළිපට වැටීම වැනි තත්ත්වකට මුහුණ දීමට සිදුවනු ඇත.
මෙවැනි වාතාවරණයක් මැද මහජන ඡන්දය අපේක්ෂාවෙන් නිවෙස් වෙත යෑම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අභියෝගාත්මක වනු ඇතැයි යන්න විපක්ෂ ක්‍රියාකාරීන් පෙන්වා දෙන කාරණයකි. සමගි ජනබලවේගය ද මහ මැතිවරණයේදී ලද තම ඡන්ද පදනම සුරක්ෂිත කරගනිමින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට දැඩි උත්සාහයක නිරතව සිටියි.
ප්‍රධාන දේශපාලන පක්ෂවලින් වෙන්වූ වෙනමම බලවේගයක් ලෙස මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන ජාතික ජනබලවේගය වැඩි බලාපොරොත්තු සහිතව මැතිවරණ ව්‍යාපාරයට එළඹ ඇති අයුරු දක්නට ලැබෙන අතර මැතිවරණ අපේක්ෂකයන් ලෙස උගතුන් මෙන්ම වෘත්තිකයන් රැසක් ඔවුන් තරග බිමට ඉදිරිපත් කර තිබේ.
සුදුසුකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට
මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජනබලවේගය ඇතුළු පක්ෂවල අපේක්ෂකයන් සිය අධ්‍යාපන සුදුසුකම් සහිත ජීවදත්ත සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති අයුරු දක්නට ලැබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කියා සිටියේ මැතිවරණ අපේක්ෂකයන් එලෙස සිය අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කිරීම යහපත් ප්‍රවණතාවක් බවය.
‘හැමෝම සීවී එක දාන්න ඕනේ. ඇයි මේ උගත් බුද්ධිමත්කම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි.’ ඔහු සඳහන් කළේය.
ඔහු පෙන්වා දුන්නේ, ‘සීවී එකක් කියන්නේ මොකද්ද? කිසියම් කාර්යක් සඳහා අපි ඉල්ලුම්කරනවා. ඒ ඉල්ලුම් කරනකොට ඒ කාර්යය අපිට පවරන කෙනාට අපි කියනවා මෙන්න මේ මේ දේවල් නිසා මම මේ කාර්යය ඉෂ්ට කිරීමට සුදුසුයි කියලා. සීවී එක විතරක් නෙමෙයි. එයාව ඉන්ටර්වීව් කරනවා. ඒක එක් අවශ්‍යතාවක්. හැමදාම මහජන නියෝජිතයෝ කියනවා මේන් මේ දේ නිසා මම මේකට සුදුසුයි කියලා. ඒක කියන්න ඕනේ. ඒක ලිඛිතවත් දෙන එක ඡන්දදායකයාට ප්‍රයෝජනවත්…’ යනුවෙනි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ‘අපි අපේක්ෂා කරන්නේ බුද්ධිමත් ඡන්දදායකයෙක් නේ. ඡන්දදායකයෙක් තමන්ගේ අපේක්ෂකයාගේ සුදුසුකම් සොයා බලලා ඒ අපේක්ෂකයට අපිව නියෝජනය කරන්න, ඒ ආයතනවල වැඩකරන්න අවශ්‍ය ධාරිතාව, ශක්‍යතාව ඒගොල්ලන්ට තියෙනවද? එක හොයලා බලලා ඡන්දය දීම තමයි අපි අපේක්ෂා කළයුතු වෙන්නේ. ඒ වගේ ඡන්දදායක ප්‍රජාවක් ඒවගේ අපේක්ෂකයෝ නිර්මාණය කිරීම තමයි කළ යුතු වන්නේ. වියත්මග කතන්දරය වෙන එකක්. ඒකෙ ඉන්නවා යම් යම් කේෂ්ත්‍රවල වෘත්තිකයෝ. වෘත්තිකයෝ කියනවා අපි තමයි කට්ටිය කියලා….’
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ, ‘කවුරු හරි කියනවා නම් මහජන නියෝජිතයෙක් වෙන්න සුදුසුකම් අවශ්‍ය නැහැ කියලා ඒක වෙනම කාරණයක්. මම කියන්නේ සුදුසුකම් අවශ්‍යයි….’
‘සීවී එකක් තියෙන්න උපාධියක් ඕනේ නැහැනේ. පාසල් නොගිය කෙනකුට වුණත් පුළුවන් අවශ්‍ය සුදුසුකම් වෙන මාර්ගවලින් සම්පූර්ණ කරන්න. ඒවා පෙන්වන්න එපැයි…’
‘ඉස්සර ගම්සභා මැතිවරණ තියෙන කාලේ ගමේ මනුස්සයෙක් ඡන්දය ඉල්ලුවා. එතකොට හැමෝම එයා ගැන දන්නවා. පුද්ගලිකව දන්නවා. දැන් එහෙම නැහැනේ. දැන් නගර සභාවකට ඉල්ලන කෙනෙක් ගැන බැලුවොත් ලොකු ප්‍රදේශයක් නේ. ලොකු ජනගහනයක්. මුහුණට මුහුණ සම්බන්ධතා නැහැ අපේක්ෂකයොත් එක්ක. ඒ නිසා මේ වගේ ක්‍රමයක් හරි වැදගත්…’ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අවධාරණය කළේය.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රවණතාව විවේචනයට ලක්කර තිබිණි.
හෙතෙම මෙය පෙන්වාදී තිබුණේ වියත්මගසංවිධානය උදාහරණයට ගනිමින්ය.
‘මේ අලුතින්ම ජවිපෙට රිංගල තියෙන වියත්මගමානසිකත්වය. උගතුන් රට හදාවි කියල හිතන මනස. ගෝඨාභය හදපු වියත්මග සංවිධානයෙ එක රැස්වීමකටවත් මම ගියේ නැහැ. මුල ඉඳලම මම දැනගත්ත ඒක පුස්සක් කියල. ඒකෙන් කියන්නෙ ඒකෙ හිටිය අය පුහු මිනිස්සු කියල නෙමෙයි. ඒකෙ ඉතාම හොඳ බුද්ධිමතුන් ඉන්න ඇති. ඒත් රටක නායකත්වය දෙන්න පුළුවන් දේශපාලන බුද්ධිය තියෙන අයට. ඒක උගතුන්ගේ වැඩක් නෙමෙයි….’
‘උගත්තු කරන්න ඕන පර්යේෂණ හා සංවර්ධන වැඩ (Research and Development). වියත්තු පාලනයට ගිය ගමන් අසාර්ථක වෙනවා. දේශපාලනය කියන්නෙ වෙනම එකක්. ජවිපෙටත් මුල ඉඳල මේ ලෙඩේ තිබුණ. ඔවුන් තමන්ගේ නායකයන් උපාධිධාරීන් කියල තමා මාර්කට් කළේ. ඒත් රාජ්‍ය සේවයට හෝල්සේල් ගත්ත අතිබහුතරයක් කළමනාකරණ සහකාරලත් උපාධිධාරීන් තමා. ඉතින් වෙනස මොකක්ද?…’
‘මේ උගත් උන්මාදයට රැවටෙන්න එපා. මහාචාර්ය කියපු ගමන් හිතන්න එපා මිනිහ සේරම දන්නව කියලා. ඔය සමහරු තමන්ගේ ආචාර්ය උපාධිය කරල තියෙන්නෙ අර ලංකාවේ ඇලවල ඉන්න පෙතියා කියන මාළුවගේ සුදු ඉරක් තියෙන්නෙ ඇයි කියල. ඒත් මිනිහ මහාචාර්ය කියාගෙන සමාජයට බහින්නෙ. ඔය වගේ තමා සේරම. ඒවගේම තමා සෙලිබි්රටීස්ලත්. ඒ අය මොනවද දන්නෙ එයාලා විකුණන බඩු ගැන?’
‘අනිත් පැත්තෙන්, මාර්ක්ස්වාදී පක්ෂයක් අද කොතරම් පිරිහිලා ද කියනව නම්, උගත් නූගත් භේදය නිර්මාණය කරල සමාජ මතය කොල්ලකන්න හදන විදිය හරිම කැතයි. මේකද සමාජවාදය කියන්නෙ…?’ ඔහු තම සටහන මගින් විමසා තිබිණි.
මීළඟ ආණ්ඩුව ගැන සංඥාවක් දෙන මැතිවරණයක් වෙයිද?
2023 ආරම්භයේදී පැවැත්වෙන්නේ පළාත් පාලන මැතිවරණයකි. එය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොවන නමුත් සෑම ප්‍රධාන පක්ෂයක්ම පාහේ තමන්ට වැඩි වාසි ඇති බව අවධාරණය කරමින් මැතිවරණ ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් සිටිති.
සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සඳහන් කළේ මෙය මීළඟ ආණ්ඩුව පිළිබඳ සංඥාවක් දෙන මැතිවරණයක් වනු ඇති බවය. ‘මෙවර පළාත් පාලන ආයතනවලින් බහුතරයක් අපි දිනනවා. අපිට අභියෝගයක් හැටියට ජාතික ජනබලවේගය ගැන කතා කළත් බිමේ ඉන්න මහජනතාවගේ වැඩි බැඳීම තියෙන්නේ සමගි ජනබලවේගය පිළිබඳව….’
ඔහු පෙන්වා දෙන්නේ, ‘පොහොට්ටුව පිළිබඳ බිඳවැටීමක් තියෙනවා. පොහොට්ටුව පිළිබඳ විශ්වාසය බිඳවැටිලා. ඉතින් ඒ නිසා මේක ආණ්ඩු පෙරළියක් කරන, ආණ්ඩු වෙනස් කරන ඡන්දයක් නොවුණත් මේක ඊළඟ අණ්ඩුව පිළිබඳ සිග්නල් එකක්, සංඥාවක් දෙන මැතිවරණයක් බවට පත්වෙයි….’ යනුවෙනි.
ඔහු සඳහන් කළේ විශාල ජනරැලි පැවැත්වීමට වඩා නිවෙසින් නිවෙසට ගොස් ඡන්ද ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති බවය.
මැතිවරණ අපේක්ෂකයන්ගේ සුදුසුකම් ප්‍රසිද්ධ කිරීම සුදුසු ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ජනහමුවක් අමතමින් කියා සිටියේ පළාත් පාලන ආයතන 254කට පොහොට්ටුව ලෙස තනිව තරග කරන බවය. ඉතිරි පළාත් පාලන ආයතනවලට හවුල්කාර පක්ෂ සමග එක්ව තරග කරන බවද ඔහු සඳහන් කළේය.
‘දන්න ලකුණුවලට තමයි මිනිස්සු ඡන්දය දෙන්නේ. ඒ නිසා ඔය නොදන්න ලකුණු පස්සේ මිනිස්සු යන්නේ නැහැ. මේ රටේ මිනිස්සු තීන්දුවක් අරන් තියෙන්නේ පොහොට්ටුවට ඡන්දය දෙන්න. ඒක නියතයක්….’ රංජිත් බණ්ඩාර පැවැසීය.
මේ අතර ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක බියගම ආසන සමුළුව අමතමින් ජනවාරි 23 වැනිදා කියා සිටියේ, ‘ඒගොල්ලෝ මේ ඡන්දය කල්දාන්න වැඩිපුරම උත්සාහ කරන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි, අද ලංකාවේ සියලු සමීක්ෂණ වාර්තා හෙළිකරලා තියෙනවා, උඩින් ඉන්නේ මාලිමාව කියලා. සියලු බුද්ධි අංශ වාර්තා අනුව උඩින් ඉන්නේ මාලිමාව. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වාර්තාව ආවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වාර්තාව අනුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් වැඩිම ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නේ මාලිමාව…’ ඔහු එහිදී කියා සිටියේය.
බී.බී.සී. සිංහල වෙබ් අඩවියෙනි










