සිය තෙමස් වියැති කුළුඳුල් දරුවාගේ කිරි දානයට අවශ්‍ය මල් රැගෙන නිවස කරා පැමිණෙමින් සිටි පියෙකු ඉතා අවාසනාවන්ත ලෙස සිදුවූ සිදුවීමකින් මියගොස් තිබේ.
සුඛෝපභෝගී මෝටර් රථයකින් අද (04) අලුයම් කාලයේ නිවසට පැමිණෙමින් සිටි ඔහු ගෝනපොල කුඹුක ප්‍රදේශයේදී අනාරක්ෂිත ලෙස දමා තිබූ මාර්ග බාධකයක ගැටි සිදුවූ අනතුරකින් එලෙස මියගොස් ඇත.
අනතුරින් මිය මියගොස් ඇත්තේ ගොනපොල කුඹුක නැගෙනහිර පදිංචි නැනෝ තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ විද්‍යාඥයෙක් වන විමුක්ති ප්‍රසාද් ජයවීර නම් 37 හැවිරිදි පුද්ගලයෙකි.
කිරි දානය සඳහා අවශ්‍ය මල් රැගෙන ඒම සඳහා පිළියන්දල ප්‍රදේශයට ගොස් යලි නිවස කරා පැමිණෙමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ දී තිබේ.
කිසියම් සංවර්ධන කටයුත්තකින් පසු අනාරක්ෂිත අයුරින් තබා තිබූ මාර්ග බාධකයක් සහ කොන්ක්‍රීට් තට්ටුවක් මත මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය පවසයි.
අනතුරත් සමගම මෝටර් රථයේ වායු බැලුන් දෙක ක්‍රියාත්මක වී ඇති අතර රථය මීටර් 100 ක් පමණ ඉදිරියට ඇදී ගොස් මාර්ගයේ මැද ඇති කොන්ක්‍රීට් කොටසේ ගැටී තිබේ.
මෝටර් රථයේ වායු බැලුන් ක්‍රියාත්මකවීමත් සමගම එයින් විසි වූ ප්ලාස්ටික් කැබැල්ලකින් ඔහුගේ ගෙල ප්‍රදේශය තදින් කැපී ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවද වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.