රජය විසින් පනවා ඇති නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලනය සමඟ ඊයේ (23) පැවති සාකච්ඡා අසාර්ථක වූ බව වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් අදහස් දක්වන සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝශන් ගොරකානගේ පවසනවා.
“වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ ඊයේ කෑම පැයේ දී කොළඹ වරාය ප්‍රධාන පිවිසුම ඉදිරිපිට කාන් ඔරලෝසුකණුව අසළදී දැවැන්ත විරෝධතාවය අතිශයෙන්ම සාර්ථකයි. මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මුග්ධ බදු ප්‍රතිපතිය පිළිබඳව අපි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පාලනාධිකාරියත් එක්ක අපි සාකච්ඡාවක් පවත් වුවා. ඒක අසාර්ථකයි. දැන් තියෙන්නේ අපිට ඊළඟ ක්‍රියාමාර්ග වලට යන එක. පාලනාධිකාරියට විසඳුමක් දෙන්න බැරිනම් අකමැත්තෙන් වුනත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය විදිහට අපි දැඩි ක්‍රියාමාර්ග තෝරනවා.
අපි දන්නවා ආණ්ඩුවේ මේ හිතුවක්කාරී බදු ප්‍රතිපත්තියට එරෙහිව රට පුරාම විවිධ වෘත්තිකයින් දැන් පාරට ඇවිත් ඉන්න බව. අපි පිළිබඳව විශ්වාසය තබන වරාය සේවකයන් සමඟ එකට එකතු වෙලා ආණ්ඩුවේ මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය අපි ආපසු හරවනවා. ඉදිරි සතිය ඒ අර්ථයෙන් තීරණාත්මක සතියක් වේවි” යයි සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝශන් ගොරකානගේ පවසනවා.










