• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම කෙනෙක් ජනපතිට කියන්න බය හිතෙන කතාවක් විජයදාස ජනපතිට ලියුමකින් කියයි! ඔබත් කියවලාම බලන්න!

August 13, 2021
in Exclusive, Uncategorized
Reading Time: 9 mins read
A A
විජේදාස දෙබරෙට ගල් ගහයි: 20ට එරෙහිව ජනපතිට ලිපියක් යවයි
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය කාල සමයේ ආණ්ඩුවේ ක්‍රීයාකාරීත්වය පිළිබදව සටහන් කරමින් විශේෂ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කොට තිබේ.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

                                                                 2021 අගෝස්තු මස 13 දිනදීය

                           ජනපති ගෝඨාභයට - විවෘත සංදේශයක්?

හිතවත් ගෝඨාභය,

මෙහෙම ආමන්ත්‍රණය කළේ ඔබ හිතවත් ඇතැයි කියලා හිතලා. මම නම් හිතවත්. මොකද ඔබ මගේ පමණක් නොවේ රටේ මිලියන 22 ක ජනතාවගේ ම රාජ්‍ය නායකයානේ. ඔබෙ හිත රිදුනත් කමක් නැහැ. ඔබට තේරෙනවා ඇතිනෙ මම කථා කළේ රට සහ ජනතාව ගැන හිතල කියලා. මොකද ඔබව පත්කර ගන්නත්, ආණ්ඩුව හදන්නත් මම දායක වුණා. මම පසුගිය කාලෙ කියපුවට ඔබගෙ හිත රිදිලත් ඇති. ඇත්ත කතා කිරීම මහජන නියෝජිතයන්ගෙ වගකීමනෙ. සමහර නාලිකා වුනත් කියන්නේ පැත්ත ගියත් ඇත්ත කියනව කියල යි. ඒ වුණාට ඔබගෙ ගෝලබාලයො නම් කිව්වෙ මට ඇමතිකම නැති නිසා හිත අමනාපෙන් ඉන්නවා කියලා. මේ ලෝකෙ ජීවත්වන කෙටි කාලය තුළ වගකීම් නැතිව නිදහසේ ජීවත්වන්න ඇත්නම් මොන තරම් වාසනාවන්ත ද? මම ජීවිතය විඳවන්න මේ ලෝකෙට ආපු කෙනෙක් නෙමෙයි, විඳින්න ආපු කෙනෙක්. ඒත් රටට වෙන දේ බලාගෙන ඉන්න බැරිම තැන් වල දි මමත් දේශපාලනයට මැදිහත් වුණා. මම ඇමතිකම් භාර ගත්තා. මා භාරගත්ත වගකීම් සියල්ල ම හරියට ම ඉටු කළා.

මහින්දගේ ආංඩු කාළෙ නිර්මාණය වුන SAITEM ප්‍රශ්නය අවුරුදු තුනක් රට අකර්මණ්‍ය කළා. පෙළපාලි, උද්ගෝෂණ 410 ක් තිබුනා. මම සතියක් ඇතුළත එය සම්පූර්ණයෙන්ම විසදුව. 2017 දි මා විසින් පවත්වන ලද එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය තමයි ලෝකයේ පවත්වන ලද විශාලතම බෞද්ධ උත්සවය. රටවල් 74ක සහභාගිත්වයෙන්. අපි ජාත්‍යන්තර කීර්තියක් දිනා ගත්ත.

ඔබලා යුධ අපරාධ කළයි කියල බැංකි මූන් හේග් ජාත්‍යන්තර අධිකරණය ට ගෙනියන්න 2011 ක්‍රියාකළ වෙලාවෙ මම විතරයි ඔහුට අභියෝග කළේ. ඒකත් විපක්ෂයෙ ඉදන් කළේ. ඔබලා ඉල්ලලා පත්කර ගත්ත දරුස්මාන් කොමිටිය ම තමයි ඔබලා යුධ අපරාධ කළයි කියල චෝදනා ඉදිරිපත් පත් කළේ. ඒකට මහින්ද මට ප්‍රසිද්ධියේ ස්තුති කළා. 2015 ආණ්ඩුවෙ අපි ජිනීවා ගිහිල්ල බොහොම අමාරුවෙන් තමයි ඒවා සමනය කළේ.

මම ඇමතිකම් පස් වතාවක් ප්‍රතික්ෂේප කළා. වරක් ඉල්ලා අස්වුණා. මම කාගෙන්වත් පළිගත්තෙ නැහැ. එහෙම කරනවා නම් මගේ ගෙදරට වෙඩි තියපු අයගෙනුත් පළිගන්න තිබුන. ඔබ වැලිකඩට නොගිහින් බේරුනෙ ඒ හින්දමයි. එහෙම කළා කියලා මම තවමත් හරියට බැණුම් අහනවා. මම කටයුතූ කළේ සැමට සම ව නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරන්නයි. පාලිතයා පමණක් නොව පාලකයා ද නීතියට යටත් විය යුතුය. නීතියට උඩින් කිසිවෙකු සිටිය නොහැක. නීතියට යටින් ද කිසිවෙකු සිටිය යුතු නැත.

මම වගේ ම දසලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔබ මේ රට වෙනස් කරයි කියලා විශ්වාස කළා. System එක Change කරයි කියලා හිතුවා. ඔබ ඇමරිකානු පුරවැසියෙක් වූ නිසා අඩු තරමේ ජනාධිපතිට Mr. ගෝඨාභය කියලා කියන තරම්වත් ඔබ ජනාධිපති තනතුර ජනතාවට ළං වුන ප්‍රජාතන්ත්‍රවාදයේ අංගයක් බවට පත් කරාවි කියලා හිතුවා. 19 සංශෝධනයෙන් අපි බොහෝ දුරට රට ප්‍රජාතන්ත්‍රවාදයේ ඉසව්වට ගෙනාවත් පාලකයො අමන වැඩ කරන්න ගත්තා. ඒක ව්‍යවස්ථාවෙ වරදක් නොවේ. පාලකයන්ගෙ තෘෂ්ණාව සහ බලලෝභය නිසා ඇති වූ අවුලක්. ඇමරිකාවෙ ජනතාව Mr. ඔබාමා, Mr. බයිඩන් කියල තමයි ඔවුන්ව අමතන්නේ. ඒ රට ධනවාදී රටක් වුනත් ඒ තරමට ප්‍රජාතන්ත්‍රවාදයට පාලකයො ගරු කරනවා. ඒත් ඔබත් ආපු ගමන් ම අතිගරු වුනා. උපදේශකයන්ට අමතක වෙන්න ඇති මුලට ‘අති උතුම්’ කියලා යොදන්න. එහෙම යෙදුවා නම් ඊටත් වඩා එය ගරු ගාම්භීරයි කියල ඔවුන් හිතාවි.

තිස් අවුරුදු යුද්ධය දිනලා වසර 3-4 ක් යනකොට රාජපක්ෂලාට බහුතර ජනතාව වෛර කරන්න ගත්තා. රට කෑලි කෑලි වලට විකුණුවා. ට්‍රිලියන අටකට ජනතාව උකස් කළා. දැන් අපි සමග රට රු. ට්‍රිලියන 16 ට උකස්. කොමිස්, අල්ලස්, කුඩු ජාවාරම, ප්‍රධාන මාතෘකා වුනා. පවුල්වාදය ඊටත් උඩින් රට වැනසුවා. අවුරුදු හතරක් ගිය තැන ජනතාව පාලනය වෙනස් කළා. ජනතාව හිතුවා ඔබ ඇතුළු පවුලේ අය පාඩමක් ඉගෙන ගත්තා කියලා. ඔබ කවදාවත් කුණු ලේ පාට සාටකය පැලඳුවේ නැති එකට මිනිස්සු ගරු කළා. ඒ නිසා ඔබ අන් රාජපක්ෂලාට වඩා වෙනස් කියලා ජනතාව හිතුවා. System එක Change කරයි කියලා විශ්වාස කළා. ඒත් ඉතින් මොන වෙනසක් ද? මිනිස්සු කියන්නෙ බූවල්ලො පැටව් ගැහුවා කියලා.

රුවන්මැලි සෑයේ දී දිවුරුම් දෙනකොට මට රට ගැන මහ බයක් ඇති වුනා. රුවන්මැලි සෑය වඳින්න දහස් ගණන් දෙවි දේවතාවො වඩිනවා. එතන ගිහියන්ට කැප නැහැ. බුදු දහමට දිවුරුම පටහැණියි. ඒක රාජ නීතිය පමණයි. දළදා මාළිගාව සහ කැළණි රජ මහ විහාර පරිශ්‍රයනුත් ඒ වගේ ම පාරිශුද්ධයි. සමහරු මෙහෙමත් හිතනවා. අන්‍ය ආගමිකයෙක් ජනාධිපති වෙලා කෝවිලක හෝ පල්ලියක දිවුරුම් දුන්නා නම් සිංහල බෞද්ධ අපට මොනවා හිතේවි ද? භික්ෂූන් වහන්සේලා හැමදාම පෙරට ආවෙ රටට විපත්තියක් වෙන වෙලාවකට. ඒ රට බෙරගන්න. ඔබත් පොරොන්දු වුනානෙ හම්බන්තොට වරාය ඇතූලු විකුණපු ජනතාවගෙ සම්පත් ආපහු ගන්නවා කියල. මහින්දත් කිව්වනෙ. සමහර හාමුදුරුවො හිට්ලර් කෙනෙකු ඕනයි කියන්න ඇත්තෙ ඒ වැඩේ කර ගන්න. හිට්ලර් රට කොටස් කරල විකුණුවෙ නැහැනේ. මිනිහ යුද්ධ කළේ රටට කොටස් එකතු කර ගන්න. රටේ බලය ලෝකයටම පතුරවන්න. ඔබට ඒක තේරිලා නැහැ. ඔබ රට කොටස් වශයෙන් විකුණන එකනෙ කරන්නෙ. ඒකනේ ඔබව බලයට ගෙනාපු මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, ඇල්ලේ ගුණවංස නාහිමි වගේ හාමුදුරුවෝත් ඔබට අද නැත්තේ. හාමුදුරුවෝ ඔහොම නායකයන් තෝරන්න හැමදාම එන්නෙ නැහැ. 1956 ජන්දෙදි බණ්ඩාරනායක මහත්තයා ට වැඩියෙන් ම උදව් කළේ කැළණියෙ නායක හාමුදුරුවෝ. අවාසනාවකටදෝ උන් වහන්සේ ම ඔහු ව ඝාතනය කලා. ඊට පස්සේ හාමුදුරුවෝ රැල්ලක් හැදුවෙ ඔබට. ඒ රනිල්ගෙ වෙන්දේසිය නතර කරන්න මිසක් ඒක වේගවත් කරන්න හෙම නොවෙයි.

ඔබ ජනාධිපති වෙලා මාස තුනෙන් කොරෝනා රැල්ල ආවා. ඒක පළවෙනි රැල්ල. අනිල් ජාසිංහ, පබා පලිහවඩන, ඉඳුනිල් බණ්ඩාර, හද්‍රාණි ජයවර්ධන ඒක හොඳට පාලනය කළා. රට ම පාස් වුනා. ඔවුන් ඔක්කොම ඉවත් කළා. ඒගොල්ලා ෆේල් වුනා නම් තවමත් ඒ තනතුරු වල. ඒකට ජනතාවට කේන්ති ගියා. සර් ෆේල් කිව්වා. ෆේල් වුනා ම කරන්න ඕන ආයෙමත් පාස් වෙන්න උත්සාහ කරන එක මිසක් ෆේල් කියන කොල්ලන්ට තලන එක නෙමෙයි. අම්මා තාත්තා දාපු නම කීවට තරහ ගන්න එපා. ඒ නම් ඇහෙන කොට දෙමාපියො ඉන්න ලෝකෙක ඉඳන් සතුටු වෙනවා. ආශිර්වාද කරනවා.

ඔබ නීතියේ ආධිපත්‍යය තහවුරු කරනවා කිව්වට විස්සෙන් ඒකාධිපතියකු හදන බව හොඳට ම දැනගෙන හිටියා. ඔබ ජේ.ආර්.ටත් වඩා බලයෙන් වැඩියි. දැන් තාක්ෂණය දියුණු නිසා මිනිසෙක් ගැහැණියක් කරන්නත් පුළුවන්. ඒත් ඇහැට නොපෙනෙන දූවිලි අංශුවක් තරම් වෛරසයකට හැකි වුනා අපි විතරක් නොවෙයි ලෝකය ම දණගස්සන්න. බලයට ලොකු බලයක් නැති බව ඒකෙන්ම පේනවා නේද. ඒක තාවකාලික දෙයක්. කළොත් හොදක් නම විතරක් පවතීවි. 2021 නොවැම්බර් 16 ට පෙර අළුත් ආංඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම සම්මත කරන බවට ඔබ අපටත්, රටටත් පොරොන්දු වුනා. ඒ එකගතාවය නිසයි අපි මංත්‍රිවරු 20 ක් 20 සංශෝධනය ට අත ඉස්සුවේ. ඒක කරන්න බැරි බවත් දැන් ස්ථිරයිනෙ.

කෝවිඩ් 19 දෙවැනි රැල්ල එනකොට සෞඛ්‍ය අංශයේ අර හිටපු කවුරුත් ඒ තැන්වල හිටියේ නැහැ. කොවිඩ් දිනුව, අපි පරාද වුණා. වසංගතයෙන් උතුරා ගිය යුක්‍රේනයෙන් ඔබගේ ඥාතියා වෙන වීරතුංග සංචාරක බුබුළු ගෙනාවා. බැලින්නම් ඇත්තට ම ගෙනත් තිබුණෙ කොරෝනා බුබුළු. ඔබගේ මලයා, බැසිල් කිව්වෙ ඒක අත්හදා බැලීමක් කියලා. මලය කිව්වට අමනාප වෙන්න එපා. ඒක ගිරුවාපත්තුවෙ අපි ආදරේට කරන ආමන්ත්‍රණයක්. පර්යේෂණ ය සාර්ථක වුනා. රට අනතුරට වැටුණා. අඩු තරමේ 2020 ඔක්තෝබර් 15 දින රට වහන්න කියලා වසංගත රෝග විශේෂඥයින් උපදෙස් දුන්නා. ඒත් ඔබට වැඩිය වටින්නෙ විස්සනෙ. විස්ස 22 දා සම්මත කරලා රට වැහුවෙ 26 වැනිදා. දින 11 ක් ප්‍රමාදයි. වසංගතය රට පුරා ව්‍යාප්ත වුනා.

තුන්වෙනි රැල්ලත් ආවා. සියලු ම වෛද්‍ය විශේෂඥයො ඉල්ලා සිටියා අප්‍රේල් 8 සිට 22 දක්වා රට වහන්න කියලා. ඒ උපදෙස් සහිත ඉල්ලීම ඔබ විසි කළා. මැයි පහ කොළඹ වරාය නගරය චීනෙට විකුණන්න පනත සම්මත කරගන්න තෙක් වහන්නෙ නෑ කියලා ඔබ තීරණය කළා. අපි පනතට විරුද්ධ ව උසාවි ගියා. තීන්දුව ආවෙ පහුවෙලා. පනත මැයි 20 සම්මත කළා. එදින ම රට ලොක් ඩවුන් කළා. දින 43 ක් ප්‍රමාද වුනා. වසංගතය රට ම ගිලගත්තා. එතකොට ජනතාව ඔබ ෆේල් කියපු එකේ තියෙන වරද තේරුම් ගන්න අමාරුයි.

ලෝකෙ බොහෝ රටවල් වසංගත කාලෙ හොටල්, ක්ලබ්, කඩසාප්පු වැහුවා. ඉතා ඉක්මනට පාසල් සහ විශ්ව විද්‍යාල ඇරියා. අපේ රටේ දැන් මාස 17 ක් ම පාසල්, විශ්ව විද්‍යාල වහලා. දරුවන්ට අනාගතයක් තියේවි ද? ලක්ෂ දහයකට වඩා තරුණ තරුණියො රටවල් අරිනකම් බලා ඉන්නවා. රටේ දරුණුතම බුද්ධි ගලනය ඉදිරි අවුරුදු දෙක-තුන තුළ සිදු වේවි. බොහෝ ව්‍යාපාරිකයො සිය ව්‍යාපාර වලට වෙනත් රටවල් තෝරගෙන. ඉතා ඉක්මනට ඔවුන්ගේ ප්‍රාග්ධනය අරන් ඔවුන් විදෙස්ගත වෙනවා. ඉතිරි වන්නේ අධ්‍යාපන සුදුසුකම් නැති අයයි, අසාර්ථක ව්‍යාපාරිකයොයි, ඔබයි මමයි වගේ වයසක කණ්ඩායමයි පමණයි. එතකොට මේක නිකන් ම චීන කොලණියක් වෙන එක කාටවත් වළක්වන්න බැහැ.

බලන්නකො චීනගෙ නගරංකාරකම. බංගලාදේශයට ඩොලර් 10 ට විකුණපු සයිනොෆාම් එන්නත අපිට දුන්නෙ ඩොලර් 15 ට. ඕව සහගහන අපරාධනෙ. මේක චීන කොලණියක් වෙයි කියලා මුලින් ම අනතුරු ඇඟෙව්වෙ සර් ජෝන් කොතලාවල අගමැති. ඒ 1955 දි බැන්ඩුන් සම්මේලනයේ දි. එවෙලෙ චෞඑන්ලායි, ශ්‍රී නේරු එහෙමත් හිටියා. බලන්නකො එතුමා අවුරුදු 65 කට පෙර අද දවස ගැන දැකපු හැටි. ගමේ කොල්ලන්ට මම ඕක කිව්ව ම ඔවුන් කිව්වෙ ඒක ‘පට්ට මොලයක්’ කියලා. තරුණයන්ගෙ භාෂාවනෙ. කාලය දැන් වෙනස්. කොල්ලො කෙල්ලො හරි බුද්ධිමත්. ඒ වගේ ම කටකාරයි. දැන් ලෝකය එක යායක් නෙ. ඒකනෙ වසංගතයත් එක යායට ම පැතුරුනෙ.

ප්‍රජානත්ත්‍රවාදී පාලනය යනු ජනතාව විසින් ජනතාව උදෙසා ගෙන යන ජන සම්මතවාදී පාලනයක් කියලා කිව්වෙ ඔබ ජීවත් වුන රටේ 16 වන ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්. ඒ වුණාට අපේ ගුරුවරුන්ට වසර 24 ක් තිස්සෙ තියෙන ගුරු ප්‍රශ්න විසඳලා දෙන්න කියලා ඒගොල්ලා ඉල්ලුවහම ඔබගේ ඇමතිවරු ඒ ගොල්ලන්ට කාලකණ්ණි කිව්වා. අපි තාමත් අපිට උගන්නපු ගුරුවරයෙක් මුණගැහෙනකම් ආශාවෙන් බලා ඉන්නෙ. ඒ ඔවුන්ට කාලකණ්ණි කියන්න නෙවෙයි, දණ ගහලා වඳින්න. කෘතගුණ සළකන්න. ජනතාව කියන්නෙ ඕව කියන ඇමතිවරු ඔබගේ සට්ටැඹිරාළලා කියලයි.

පාස්කු ඉරිදා ඝාතනයේ මහ මොලකරුවන්ට දඬුවම් දෙන බවට ඔබ පොරොන්දු වුනා. එහෙම නොකිව්වා නම් ඔබ පරාදයි. ජනාධිපති කොමිෂන් වාර්තාව ජනවාරි මාසෙ ආවා. ඒක අසම්පූර්ණයි. ඔබ අප ව කැඳවලා ඇහුවා ඒ ගැන ගත යුතු පියවර. මම කිව්වෙ වගකීමට සම්බන්ධ නැති පොලිස් නිලධාරී කණ්ඩායමකට සිද්ධිය මෙහෙයවපු අය ව මාස දෙකක් ඇතුළත හොයන්න බාර දෙන්න කියලා නීතිපතිගෙ සෘජු අධීක්ෂණය යටතේ. අපි හිතුවා ඔබ ඒක කරාවි කියලා. නමුත් මාස හයක් ගත වුනා. තව ම ප්‍රතිඵල නෑ. වින්දිතයන්ගේ මර අඳෝනාව තවමත් අපේ කන්වල දෝංකාර දෙනවා. ඒක ගැන කිව්වයි කියලා කට්ටිය හැදුවෙ මාව උල තියන්න. සිද්ධියට මාස 29 කට පෙර මම ඒක කිව්වෙ පාර්ලිමේන්තුවෙ දි. ඒකට බොහෝ අය කිව්වෙ මම ජාතිවාදියෙක්, අන්තවාදියෙක් කියලා. දෛවයේ සරදමක්. වාර්තාව කියනවා එවකට ආණ්ඩුව පණිවිඩකරු මරා දැම්මා කියලා. ඒ මාව. මේ අපරාධ ගැන පියවර ගත්තනං කවුරුත් මැරෙන්න නැහැනෙ.

කොළඹ දිස්ත්‍රික්කයේ ඇමතිවරු හතර දෙනෙකු ළඟ දි කොළඹ ප්‍රසිද්ධ පංසලකට ඇවිල්ලා කිව්වනෙ ‘අනේ හාමුදුරුවනේ, අපිට වැරදුණා’ කියලා. අපි දන්නෙ නැහැනෙ අපේ ආණ්ඩුව මොනවද කරන්නෙ කියලා. ඔබගේ ඇමති අයියාලත් පංසල්වලට ඇවිල්ලා කියනවා ‘අනේ හාමුදුරුවනේ, මේ මනුස්සයා මොනවද කරන්නෙ කියලා අපිටත් තේරෙන්නෙ නෑ’ කියලා.

ස.තො.ස. සීනි වලින් රු. කෝටි 1,600 ක් පාඩු කරපු නුෂාඩුත් පාස්. පොල්තෙල් වල ඇෆ්ලොටොක්සින් නෑ කියපු, අනෙක් ආහාර වල වස තියෙනවා කියලා කිව්වොත් සමාගම් කඩා වැටෙන නිසා ඒවා හංගනවා කියපු සිද්ධිකාත් පාස්. මුහුදෙ නැව් ගිණි ගත්ත ම මාලු මැරෙන්නෑ කියපු වියතුනුත් පාස්. ඒ විතරක්යැ මගෙ කෝප් වාර්තාව අනුව රු. කෝටි තිස් දාහක් රජයට අලාභ කළ බව ඔප්පු උනයි කියල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා ලේකම් කමින් එලියට දාපු පී. බී. ජයසුන්දරත් ඔබේ ලේකම් වෙච්චි. ඒකෙ අනිත් හවුල්කාරය වුන මිලින්දත් මහ කොමසාරිස් වෙච්චි. එසේ මෙසේ රටක නොව ඉන්දියාවේ. හෙජින් ගනුදෙනුවෙන් රු. කෝටි 11,000 ක්ද, ග්‍රීක බොන්ඩ් වලින් රු. කෝටි 1,400 ක් ද, මහ බැංකු බැදුම්කර මගින් රු. කෝටි 1,100 ක් ද පාඩු කළ, ඇමරිකානු CIA ඔත්තුකරුවෙකුට රු. කෝටි 1,400 ක් මහජන මුදලින් සන්තෝසම් දුන්න කබ්රාල් ද පාස් ය. ඒ ඇති. ලැයිස්තුව දිග වැඩියි. මිනිස්සු කියන්නෙ 69 ලක්ෂය ෆේල් කියලා. ඒකත් වැරදියි. විරුද්ධ ව ඡන්දෙ දුන්න අයගෙත් ජනාධිපති ඔබමනේ. ඉතින් ඒ ගොල්ලන් එක්ක අපට සෞභාග්‍යය උදා වෙයි ද?

දැන් රට ම තියෙන්නේ ඉතා භයානක තැනක. කොළඹ සහ හම්බන්තොට අපේ වටිනම සම්පත් චීනය ට දීල ඉවරයි. කොළඹින්, ත්‍රිකුණාමලය ඇතුළු ආරක්ෂක මර්මස්ථාන වලට ඇමරිකාව, යුරෝපා හවුල, ඉංදියාව ළඟ දි ම මැදිහත් වෙනවා ස්ථීරයි. ‘දකුණ චීනයට නම් අපිට උතුර’ ක්‍රියාන්විතය බලාත්මකයි. කෝවිඩ් නිසා ටිකක් ප්‍රමාදයි. දෙවන ලෝක යුද්ධය ඉවර වෙන කොටත් කොරියාව එක රටක්. ජපන් පාලනයට යටත්වයි තිබුණෙ. යුද්ධය කාලෙ උතුරු කොටසෙ සිටියෙ රුසියානු හමුදාව, දකුණු කොටසේ සිටියෙ ඇමරිකානු හමුදාව. රුසියාවයි ඇමරිකාවයි එකඟ වුණා කොරියාව දෙකට බෙදන්න. බලවතුන් ඔවුන්ගේ බලය රැක ගන්න එහෙමයි කරන්නෙ. අප රටටත් ඒක අදාලයි. ඇමරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සූක්ෂ්ම ලෙස 1948 අගෝස්තු 15 දින දකුණු කොරියානු රාජ්‍යය ප්‍රකාශයට පත් කළා. උතුරු කොටසෙ සිටි කිම් ඉල් සුං 1948 සැප්තැම්බර් 9 රුසියානු යුධ බලයත් සමග උතුරු කොරියානු රාජ්‍යය බිහි කළා. ජනතාව ට වෙන්නෙ මොකක්ද කියල වත් ඔවුන් ට අවබෝධයක් තිබුණෙ නැහැ. උදේ නැගිට්ටමයි සමහරු දැනගත්තේ ස්වාමි පුරුෂයා උතුරු කොරියානු පුරවැසියෙක්, බිරිඳ දකුණු කොරියානු පුරවැසියෙක් කියලා. අවුරුදු 76 ක් ගිහිල්ලත් තාමත් එහෙමමයි. කොරියාව දෙකට බෙදන්න ඇදපු රේඛාව ට සමාන රේඛාවක් කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඇදලයි තියෙන්නෙ. ඒක තියෙන්නෙ SOFA ගිවිසුමේ. ඔබගේ මැතිවරණ වේදිකාවලත් ඒක දිගහැරුන. ඒක උතුරු ශ්‍රී ලංකාවේ සහ දකුණු ශ්‍රී ලංකාවෙ බෆර් සෝන් එක. දකුණ චීනයට යන විට උතුර අල්ලා ගන්න ඉංදියාව, ඇමරිකාව, යුරෝපා හවුල, ජපානය ඒකරාශී වී අවසන්. ඔබගේ බුද්ධි අංශයට මේක නොතේරෙනව ඇති. 2005 ට පෙර රට විකුණන පාලකයො ගිරුවාපත්තුවෙන්වත්, දකුණෙන් වත් බිහි වුනේ නැහැ. දැං ඉතිං මන්ද?

ඔබගේ ක්‍රියා කලාපය අනුව මට කියන්න තියෙන්නෙ අපේ රටටත් කොරියාවට වුන දේ වේගෙන එනව කියලා. නීතියේ තියනවා ආප්තෝපදේශයක් ‘යමෙකුගේ බිරිඳ සහ දරුවන්ගේ නිත්‍ය වාසය කොහි ද, ඔහුගේ නිත්‍ය වාසය ද එහි ම වේ’ කියලා. ඒ නිසා ඔබගේ ප්‍රමුඛතාවය මෙරටට දැයි ජනතාව ප්‍රශ්න කරනවා. අපේ ගමේ ඇත්තෝ කියනව ‘ වත්ත බද්දට දීල ඇස්සට දත නියවනව වගේ දෙයක් අපිට වෙලා තියෙන්නේ’ කියලා. සමහරු කියනවා ආණ්ඩුවේ වැඩ හරියට ‘අරියාදුවට මඩ ඉඩමෙ පොල් හිටවනවා වගෙයි’ කියලා.

ඇත්ත කතා කරන අයට ආංඩු ඇතුළෙ ඉඩ නැතිකම අපේ දේශපාලන සංස්කෘතිය. 2007 මම කෝප් වාර්තාව ඉදිරිපත් කළා කියල මහින්දටත් කේන්ති ගියා. ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා රෝහල, වරාය අක්කර 8.2 කෝප් නිර්දේශ අනුව ආපහු ගන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියන කොට මහින්ද නීතිපති මොහාන් පීරිස් යවලා අධිකරණය ට කිව්ව ඒව ආංඩුවට ඒව එපැයි කියලා. රක්ෂණ සංස්ථාවෙ සේවකයන් ඒකට උපහාර උත්සවයක් සංවිධානය කරලා මටත් ආරාධනා කළා. මහින්ද අයියගෙ ආංඩුව නියෝග කරල තිබුණ මට රක්ෂණ සංස්ථා භූමිය තහනම් කියල. සරත් එන් සිල්වා අගවිනිසුරුතුමාගේ නඩු තීන්දු දෙකකින් අපි නැවත අත්පත් කර ගත් දේපළවල වටිනාකම අදට අනුව නම් රු. කෝටි දෙලක්ෂයක්වත් වටිනවා. ඒවයෙ සල්ලිවලින් තමයි Litro Gas සමාගම හැදුවෙත්. රනිල් 2003 විකුණුම් ලං.ග.ම. බේරා ගැනීමට මහින්දවත් ඉදිරිපත් වුණේ නැහැ. මම තනියම ශ්‍රේෂ්ඨාධිකරණයේ සටන් කරල තමයි ඒකත් බේරා ගත්තෙ. දැන් ඒකෙ වටිනාකම රු. කෝටි හාර ලක්ෂයකටත් වඩා වැඩියි. රනිල්ගෙ ඉඩම් පනත දෙවතාවක්ම අධිකරණයට ගොස් අප පරාද නොකරා නම් අද අඩුම ගණනේ ගොවි පවුල් ලක්ෂ හත අටක් මහ පාරෙ අනාත වෙලා. එහෙම කලා කියල රනිල් වෛර බැන්ද. මා ඇති තරම් දූෂිතයන්ගෙ වෛරයට පාත්‍ර වෙලා තියනව. ඒකට මම පදම් වෙලා. සරත් එන් සිල්වා අගවිනිසුරුත් රටට ආදරය කරන කෙනෙක්. සමහරු අහනවා අපි රටට මොනවද කළේ, 225 ම හොරු කියලා. ඒක යි මේව මතක් කළේ. පඩුරු පාක්කුඩම් හෙම බලාගෙන නෙමෙයි.

මා ඕ සේතුං කිව්වා සිංහාසනයේ ඔබ හිඳවන අයගේ ම දෑත් වලින් තමයි ඔබ ව නැවත ඔසවා පොළොවෙ ගහන්නෙ කියලා. චීන නායකයා කියපු දෙයක් අපි කොහොමද අහක දමන්නේ. ඒ නිසා මහාචාර්ය ආරියරත්නයන් ලිව්වා ‘පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ’ කියලා. මේක කවුරුත් නොදන්නවා නෙමෙයි. එය නන්දා මාලනිය විසින් ගැයුවා. රාජ්‍ය මාධ්‍යයේ තහනමටත් ලක් වුනා. යදැමින් බැඳ විලංගු දා මගේ පුතා රැගෙන යන්නෙ’ ‘කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරන්’ කියලා ගීතයෙන් ප්‍රශ්න කළා කියලාත් ඇය ව තහනමට ලක් වුනා. ඒත් නන්දාවන් තව ම ගයනවා.

ඔබ ෆේල් කියලා කියන්න තරම් මගේ හිත දරුණු නෑ. ඒ වුනාට ගෙවී ගිය සතියෙ ජන අනුපාතය අනුව වැඩිම කොරෝනා මරණ වාර්තාවේ අංක එක ලංකාව. දැන් ලංකාවෙ මරණ සංඛ්‍යාව ඊයෙට 5,464 යි. පහුගිය කාලෙ අපේ පැත්තෙ මැති-ඇමතිලා ජනතාවට එන්නත් දුන්නා. මම නම් ගියේ නැහැ. මට ඒක තේරෙන්නේ නැති නිසා. වසංගත මර්ධනයට වෛද්‍යවරුන්ගෙන් ම උපදෙස් ගත්තොත් හොඳයි. ඒවා ක්‍රියාත්මක කරන්න හමුදාව ඉතා ම දක්ෂයි.

දැන් ශ්‍රී ලංකාවෙ බුද්ධ ශාසනය සංරක්ෂණය කරන්න යනවා කියලා ආරංචියි. ඒකට වෛද්‍ය විශේෂඥයො උපදෙස් දෙන බව රට ම දන්නවා. අපේ සමහර වියත් සාදුලා කීප දෙනෙකුට මහානායක හාමුදුරුවන්ටත් වඩා උඩින් ඉන්න ඕනලු. වියත් අයට එහෙම පහළින් ඉන්න අමාරු ඇති. ඒ වුනාට මහානායක, අනුනායකකම් ආවට ගියාට ගත්ත ඒවා නම් නෙවෙයි. තුන්කල් බලලයි ඒව දෙන්නෙ. ඒකනේ අවුරුදු 2650 කට වැඩිය මේක පැවතුනේ. ත්‍රිපිටකයට ව්‍යවස්ථාපිත බලතල දුන්නොත්, බයිබලයටත්, කුරානයටත් ඉල්ලුවොත් දෙන්න වේවි. එතකොට ආගමික ගැටුම්වලින් ම රට විනාශ වේවි. මෙය තවත් ඊශ්‍රායලයක් ම වේවි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන යැපීම් මාර්ගය ගොවිතැන සහ කෘෂි ආර්ථිකය. ඒ වුනාට ගොවියො ඔක්කොම අසරණ වෙලා. විශේෂඥයො කියනවා වකුගඩු, පිළිකා හැදෙන්නෙ රසායනික තෙල් සහ පොහොර නිසා කියලා. මසුරන් වටින කතාවක්. ලෝකයේ වස විස කන රටවල් අතරින් ලංකාව අංක එක. අපි කාබනික පොහොර වලට හුරු විය යුතුමයි. ඒත් සියයට සීයක් එහෙම කරන්න බැහැ. අපි ‘පෝර’ ප්‍රශ්නෙට පෙර ‘බීජ’ ප්‍රශ්නය තේරුම්ගත යුතුයි. අද පාරම්පරික බීජ හරි අඩුයි. ලෝක බීජ මාෆියාව හරි ප්‍රබලයි. මාස හයෙන් පැහෙන වී මාස දෙකෙන් පැහෙන්නෙ දෙමුහුන් කරලා. ජාන තාක්ෂණය හරි දියුණුයි. ඒ බීජ හදන්නෙ ම නියමිත කාලවල දි නයිට්‍රේට්, යූරියා වැනි ඒවා ලැබුනොත් විතරක් වර්ධනය වෙන්න. ගොයම් ගහ තාක්ෂණය විසින් අඩි 2 ට මිටි කරපු නිසා වල්ගස් ගොයමටත් උඩින් යනවා.

පිටරටවලින් ගේන බීජවලට ජෙනරේෂන් සීස් කියන තාක්ෂණය යොදලා තියෙනවා. ඒ බීජ පැලවෙලා හැදෙන ගස්වැල් වල ඇට වලින් ආයෙත් ඒකෙ ඵලදාව එන පැලයක් හදන්න බැහැ. ඒ නිසා හැම කන්නෙ ම බීජ ආනයනය කරන්න රුපියල් බිලියන ගණනක් යනවා. මේවායේ දත්ත කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේවත් ඇත්දැයි සැකයි. අපේ විද්‍යාඥයින්ට කිව්වා නම් නරක ද බීජ ගැන පර්යේෂණ කරලා කාබනික පොහොරට ගැලපෙන බීජ හදන්න කියලා. ඒක කරලා වසර දෙක තුනකට පසුව රසායනික පොහොර ක්‍රමානුකූල ව සීමා කරගත හැකියි. එහෙම නොකළොත් විශාලාවේ තුන්බිය මෙන් ඊළඟ කන්නයේ දී සාගතයක් ඇති වෙනවා ස්ථිරයි. මම අදටත් කුඹුරු වලට බැහැලා ගොවිතැන් කරන කෙනෙක් නිසයි මෙහෙම කියන්නෙ. තෙල් පෝර නැති නිසා බොහෝ ගොවීන් ලබන කන්නෙ කුඹුරු වපුරන්නෙ නැහැ. එතකොට චීනය කියාවි ඒගොල්ලො අපට හාල් දෙන්නම්, කුඹුරු ටික ඒ ගොල්ල වවන්නම් කියල. එතකොට අපි චීනගෙ කුලී කාරයො. ඔබට ඒක නවත්වන්න බැහැ. මම කැට තියල කියනව. අපිට උදව් කරන්න හිටපු රටවල් සියල්ල තරහ කර ගෙන හමාරයි. චීන බලය කඩන්න බලවත් රටවල් අපටත් ගහනව.

ඔබට තිබෙන ධුර කාලය සීමිත යි. තව මාස 38 යි. නිවැරැදි වෙන්න.

ප්ලේටෝ කිව්වා පාලකයො දාර්ශනිකයො විය යුතුයි කියලා. නැත්නම් දාර්ශනිකයො පාලකයො විය යුතුයි කියලා. වසර 2350 කට පමණ පෙර ඔහුට මොනවා හිතිල ඒක කිව්ව ද කියලා අපිටත් දැන් තමයි තේරෙන්නෙ.
ඔබතුමත් ඒක අවබෝධ කරගෙන සිටි බව පැහැදිලියි. ඒක නිසා වෙන්න ඇති අපිට දාර්ශනිකයො නැතැයි සිතා වියතුන් ඉදිරියට ගෙනාවෙ. ඒ අය ගැන ජනතාව කියන දේ මම මේකෙ ලිව්වොත් ඔබ මාත් එක්ක තරහ වෙනව ස්ථිර යි. ඒක නිසා මෙහි ලියන්නෙ නැහැ. උඩ බලාගෙන කෙළ ගහගන්න එක හොඳ නැහැ කියලා ගමේ ඉන්න සයිමන්ලා, ජේමිස්ලා නිතර කියනවා.

ඇරිස්ටෝටල් කිව්වෙ ‘මිනිසා නිවැරදි විට ඔහු ලෝකයේ සිටින හොඳ ම සත්වයා ය. ඔහු නීතියෙන් සහ යුක්තියෙන් ඈත් වූ කළ ලොව සිටින දුෂ්ඨතම සත්වයාය’ කියල. ඔබ කියූ එක රටක් එක නීතියක් බොහොම හොඳයි. අද රට මෙහෙම තියෙන්නෙ ව්‍යවස්ථාදායකය හෝ විධායකය පිළිබඳ ජනතාවට තිබෙන විශ්වාසය නිසා නොව අධිකරණය පිළිබඳ ඉතිරි වී ඇති විශ්වාසය නිසාමයි. ඒක අහෝසි කළොත් රාජ්‍ය බිඳ වැටෙනවා. එදාට ත්‍රිවිධ හමුදාව සහ පොලිසියත් අසරණ වෙනවා. ඒ අයටත් ජනතාවගෙ පැත්ත ගන්න සිද්ධ වෙනවා.

මේක කියවලා තරහක් ආවොත් වතුර සෙලවන ලිඳේ පතුල නොපෙනෙනවා වගේ සියල්ල විකෘති වී පෙනේවි. නිවී සැනසිල්ලේ ඉහත කරුණු ආවර්ජනය කර බැලුවොත් යථාර්ථය තේරුම්ගත හැකියි. බුදුන්වහන්සේ දේශනා කළ පරිදි ඔබට ඔබ ම ආලෝකයක් වන්න. තනිව සිතන්න. ඇත්ත වටහා ගන්න. පුරෝහිතලාගේ උපදෙස් අනුව ගියහොත් ‘සුබ සහ යස’ රජ කතාව නැවතත් වේදිකාගත වේවි.

සොලමන් රජ දවස සිදුවූ සත්‍යය සිද්ධියක් පදනම් කර ගෙන ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට් නිර්මාණය කළ Cocasian Chalk Circle නම් නාට්‍ය හෙන්රි ජයසේන සාහිත්‍යධරයා ‘හුණුවටයේ කතාව’ නමින් සිංහලට පරිවර්තනය කළා. ඒ වේදිකා නාට්‍ය ආරම්භ වන්නේ මෙහෙම යි.

ඈත එක් යුගයක – ලෙයින් නැහැවුණු සමයක
කව්කාස්කි නගරයක – සාපලත් නරයයි නම් වූ
විසුවා යුව රාජයෙක්
ජෝර්ජී අභෂ්විල්ලේ, ඔහුගේ පුදුම නම විය.
………………. සිටියාලු මේ රජු හට.
ගෘසේනියාවේ වෙන කිසිම සුරෙකුට,
නොවූ තරම් අසුන් අස්හලෙහි ද
යාචකයින් ද දොරකඩ, භටයෝ ද සේවයේ,
පෙත්සම්කරුවෝ ද ගෙමිදුල.
මේ රජුට සිටියා ,……….
ජෝර්ජී අභාෂ්විල්ලේ …… කෙසේ නම් විස්තර කරන්න ද ඔහු.
ඔහු සැපෙන් සිටියා……
පාස්කු ඉරිදා උදයේ පවුලත් සමඟ ඔහුගේ. සපැමුණා
රජු දේව මැදුරට.
ජෝර්ජී අභාෂ්විල්ලේ පාස්කු ඉරිදා දේව මෙහෙයට විත් වසර දෙක යනවිට ඔහුද රටද දෙකම අවසන් විය.
අපිත් බලයට ආවේ ජෝර්ජි අභාෂ්විල්ලේ පාස්කු ඉරුදින දේව මැදුරට ආ පරිද්දෙන් ම ය.
ඒ නැවතත් හුනුවටයේ නාට්‍යයක් වේදිකාව මත රග දැක්වීම සඳහා ම ද?

මෛත්‍රී සහගත චින්තනයෙන් ලිව්වේ
විජයදාස රාජපක්ෂ

SendShareShare
Previous Post

පාර්ලිමේන්තු පොකුර ලොකුවෙයි! ඇමැති ප්‍රසන්නටත් කොරෝනා!

Next Post

කාදිනල් හිමි ආණ්ඩුවේ කමිටුවට එරෙහි වෙයි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.