හරියටම දිනය 1975 වසරේ ජූලි 27 වැනිදාය. යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා තමන්ගේ හිතවතුන් දෙදෙනෙකු සමග යාපනයේ පොන්නාලෙයිහි පිහිටි ‘මහා විෂ්ණු දේවාලය’ වැඳගන්නට ගියේ, තමන් සෑම සති අන්තයකම සිකුරාදා එම ආගමික සිරිත ඉටු කරන හෙයිනි. එවකට ඉතා සුපිරි පන්නයේ මෝටර් රථයක් වූ ‘පර්ජෝ 404’ රථය යාපනය නගර සභාවේ සේවකයකු වන ලෝගනාදන් විසින් පදවාගෙන ගිය අතර, ඉදිරිපස අනෙක් අසුනේ සිටියේ යාපනය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු වූ රාජරත්නම්ය. මෝටර් රථයේ පිටුපස අසුනේ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා අසුන්ගෙන සිටියේය. වේලාව සවස් යාමය එළැඹ තිබිණි.
‘පර්ජෝ 404’ රථය කෝවිල පෙනෙන තෙක් මානයේ ඇති ස්ථානයක නතර කළේය. මෝටර් රථයේ සිටි තිදෙනා රථයෙන් බැස ගන්නට දොරටු විවෘත කළේය. දොරේඅප්පා මහතා රථයෙන් අඩිය තබා නැඟිටගෙන සිටියේය.
ගතවූයේ ක්‍ෂණයකි, දොරේඅප්පා මහතා අසලට සැඟවී සිට කඩාගෙන පැන්නේ මාරාවේශ වූ යක්‍ෂයෙකි. මිලිමීටර් 09 පිස්තෝලයක් අතින්ගත් මේ යක්‍ෂයාට එකල වයස හරියටම අවුරුදු 21කි. එතරම් උස, මහත ශරීරයකින් නොයුතු වූ ‘තරුණ මාරයා’ දොරේඅප්පා මහතා දෙසට එල්ල කරමින් පිස්තෝලයෙන් වෙඩි තබාගෙන, තබාගෙන ගියේය. ඒ සමගම එතැනට සැණෙන් පැමිණි තවත් එවුන් දෙදෙනෙකු දොරේඅප්පා මහතාගේ ආධාරකරුවන්ටද වෙඩි තබන්නට වූයේය. එහෙත් එම හිතවතුන් දෙදෙනා වහා එතැනින් ගැලවී දුවන්නට විය. තරුණ මාරයාගේ වෙඩි පහරින් දොරේඅප්පා මහතා ලේ පෙරමින් රථයේ දොරටුව අසලම බිම ඇදගෙන වැටුණේය. තමන්ගේ කාරිය වහා ඉටුකරගත් මාරයන් පිරිස සැණින් එතැනින් අතුරුදන් වූයේය.
එදා එනම් අදට හරියටම අවුරුදු 50කට පෙරදී, යාපනයේ පොන්නාලෙයි මහා විෂ්ණු කෝවිල අසලට කඩාගෙන වැදී, එවකට යාපනය නගරාධිපතිවරයාගේ ජීවිතය බිලිගත් යක්‍ෂයා වෙනත් කවුරුවත් නොව අපි හොඳින් හඳුනන වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. අහිංසක මිනිසුන් දස, දහස් ගණනාවකගේ ජීවිත බිලිගත් ප්‍රභාකරන් නැමැති කොටි ත්‍රස්ත නායකයාගේ පළමු බිල්ල වූයේ යාපනය නගරාධිපතිවරයාය. එකල ප්‍රභාකරන් වයස අවුරුදු 21ක් වූ ඉතා කෙසඟ ශරීරයකින් යුක්ත වූ තරුණයෙකි. එසේම එවකට වයස අවුරුදු 49හි පසුවූ උස, මහත දේහධාරී ශරීරයකින් යුක්තවූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා ඝාතනය කිරීමට තම පිස්තෝලය එසවූ විට ප්‍රභාකරන්ගේ දෙඅත් වෙව්ලන්නට ගත්තේය. දේහකාය පමණක් නොව එකල දොරේඅප්පා මහතාට යාපනය ජනතාවගෙන් තිබුණු මහා ගරු බුහුමණ මත ඔහුව ඝාතනය කිරීම ප්‍රභාකරන්ට අභියෝගයක් විය. ප්‍රභාකරන් එකල සිහිවිකල වූවකු මෙන් තම බිල්ල ඩැහැගත් බව එකල පුවත්පත් වාර්තා කර තිබිණි. එතැන් සිට ඔහු වසර 35ක් පුරා මහා ව්‍යසනයක් ශ්‍රී ලංකාවට සිදුකළේය.
කෙසේ හෝ මෙලෙස වසර 50කට පසුව යාපනය හිටපු නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතාගේ ඛේදාන්තය ලියා තැබුවේ ඇයි? මෙලෙස ප්‍රභාකරන්ගේ කුලුඳුල් බිල්ල වූ දොරේඅප්පා මහතා, සැබෑ ලෙසම කිසිදු ජාති, ආගම් භේදයක් නොතැකූ මානව හිතවාදියකු මෙන්ම, දක්‍ෂ පරිපාලකයකුද විය. ඒ නිසාම ඔහුට ජාතිවාදී, ආගම්වාදී සතුරන් ඇති විය. කෙසේ හෝ අපගේ ඉතිහාසයට මෙන්ම, ලෝක ඉතිහාසයටද කළු පැල්ලමක් එකතු කළ මෙම කුරිරු ඝාතනයෙන් වසර 50කට පසුව අද අප සිටින්නේ කොතැනකද? එදා එම මානව හිතවාදී නගරාධිපතිවරයා ඝාතනය කිරීමට පෙර එම යාපනය නගරාධිපති ධුරයෙහි, 1937 වසරේ සිට නගරාධිපතිවරුන් 17 දෙනෙකු කටයුතු කර ඇත. ඉන්පසුව දොරේඅප්පා මහතා ඝාතනය කිරීමෙන් පසුව එම තනතුරෙහි නගරාධිපතිවරුන් 07 දෙනෙකු කටයුතු කර ඇත. එම තොරතුරු අධ්‍යයනයට ගත් කල දැන් යාපනයේ 24 වැනි නගරාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ කවුද? ඔහු ගැන පසුගිය කාලයක් පුරාම මෙරට තුළ යම් කතාබහකට ලක්විය. එසේම මෙයට දින කිහිපයකට ඉහතදීත් ඔහු ගැන සුවිශේෂී කතාබහක් ඇති විය. වසර 50කට පමණ පසු නැවැත රට තුළ ආන්දෝලනයක් ඇති කරන යාපනය නගරාධිපතිවරයා කවුද?
විශ්වලිංගම් මනිවන්නන් මෙම සුවිශේෂී මිනිසාය. පසුගිය 2020 වසරේ දෙසැම්බර් 30 වැනිදා ඔහු යාපනය නගරාධිපති ධුරයට පත්වන අතර, දැනටද එම තනතුර දරමින් සිටියි. මොහු මෙම තනතුරට පත්වී ගතවූ මාස 07ක පමණ කෙටි කාලයට ඔහු ගැන අසන්නට ලැබී ඇත්තේ එක්තරා ආකාරයක අරුම, පුදුම කතාන්දරය. ශ්‍රී ලාංකික දමිළ ජාතිකයකු වන විශ්වලිංගම් මනිවන්නන් වෘත්තියෙන් නීතිඥවරයෙකි. එසේම ඔහු යාපනය අර්ධද්වීපය නියෝජනය කරන දමිළ දේශපාලකයකුද වෙයි. මොහු උතුරේ දේශපාලන පක්‍ෂයක් වන දමිළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයෙකි. ඔහු මෙම නගරාධිපති තනතුරට පත්වන්නේ බොහෝ අහම්බයකින් වන අතර, එනම් එවිට යාපනය නගරාධිපති ධුරය ඉසිලුවේ එම්මෑනුවෙල් ආනෝල්ඩ්ය. එහෙත් හදිසියේම ඔහුට එම තනතුර අහෝසි වන්නේ නගරාධිපති ධුරය සඳහා පැවැති ඡන්දයේදී ඔහු පරාජයට පත්වීම හේතුවෙනි. මෙහිදී ආනෝල්ඩ්ගේ ප්‍රතිවාදියා වූයේ මනිවන්නන්ය. එනම් යාපනය නගර සභාවේ පැවැති එම ඡන්දයෙන් මනිවන්නන්ට ඡන්ද 22ක් හිමිවූ අතර, ආනෝල්ඩ්ට හිමිවූයේ ඡන්ද 20ක් පමණි. මේ අනුව මනිවන්නන් වැඩි ඡන්ද 02කින් නගරාධිපති ධුරයට තේරී පත්විය.
විශ්වලිංගම් මනිවන්නන්ට මෙලෙස උත්තරීතර තනතුරක් වූ යාපනය නගරාධිපති ධුරයේ අසුන් ගන්නට වාසනාව හිමි වූයේය.
මෙම කතාව මෙසේ ගලාගෙන යන අතරතුරදී පසුගියදා මාරක කොරෝනා වසංගතය මැදම සිදුවූයේ මහා ගාලගෝට්ටියකි. එනම් මෙයට දින කිහිපයකට ඉහතදී ලංකා ගුරු සංගමය විසින් අධ්‍යාපන පනතකට එරෙහිව කොළඹදි මහා උද්ඝෝෂණයක් පවත්වන්නට ගත්තේය. කොවිඩ්-19 වසංගතය තිබෙන මෙම කාලයේදී කිසිදු උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීම තහනම් යැයි රජය විසින් ඊට පෙර විශේෂ ගැසට්ටුවක්ද නිකුත් කර තිබිණි. එහෙත් ඒ අතරතුරදිම ලංකා ගුරු සංගමය, විශාල පිරිසක් සහභාගී කරවා ගනිමින් මෙම අරගලය දියත් කළේය. එය ආරම්භ කර විනාඩි කිහිපයක් ගතවීමත් සමගම පොලිසිය එතැනට කඩාගෙන වැදුණේය. උද්ඝෝෂණය පැවැත්වීම වහාම නතර කරන්නැයි පොලිස් නිලධාරීන් පැවැසුවද එය සිදුවූයේ නැත. උද්ඝෝෂකයන් දිගින්, දිගටම බොහෝ වේගවත් අයුරින් තම අරගලය සිදුකරගෙන ගියේය. ගතවූයේ මොහොතකි. පොලිස් නිලධාරීහු වහා කඩා පැන උද්ඝෝෂකයන්ට පහර දෙමින් ඔවුන් සිටි තැනින් ඔසවාගෙන දුවන්නට වූහ. ඔසවාගෙන ගිය පිරිස වහා බස් රථයකට පටවා ගත්තේය.
මෙලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු ප්‍රධාන වෘත්තීය සමිති නායකයන් කණ්ඩායමක් වහාම නිරෝධායනය සඳහා එම බස් රථයෙන් මුලතිව්හි පිහිටි ගුවන් හමුදා මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගියේය. ඇඳිවත පිටින්ම බස් රථයට පටවාගත් මෙම ගුරු සංගම් නායකයන්ට ගුවන් හමුදා කඳවුරට පැමිණි පසුවත් කිසිදු පහසුකමක් නොලැබුණේ යැයි චෝදනාවන් නැඟෙන්නට විය. නිරෝධායනයට මෙසේ ගෙනගිය විරෝධතාකරුවන්ට මුලතිව් ගුවන් හමුදා කඳවුරේදී අඳින්නට ලැබුණේ ඇඳ ඇතිරිලි යැයි සේයාරූ මගින් ප්‍රකාශයටද පත්විය. මෙම විරෝධතාකරුවන් අතර රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු වන, තැන්නේ ඥානානන්ද හිමියන්ද විය. මෙලෙස ගතට නිසි වස්ත්‍රයක් නොමැති වූ පිරිස ගැන වහා ආරංචි වූයේ එක්තරා සුවිශේෂී මිනිසෙකුටය. ඔහු මේ යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතාය. ඔහු වහාම මෙම අසාධාරණය ගැන තමන්ගේ සමීප නිලධාරීන් සහ හිතවතුන් වෙත කියා සිටියේය. මේ සියල්ලන්ම උතුරේ වෙසෙන දමිළ ජාතිකයන්ය. යාපනය නගරාධිපතිවරයා සමග වළකාමම් නැඟෙනහිර ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපතිවරයාද මෙයට සහභාගි විය.
යාපනය නගරාධිපති මනිවන්නන් මහතා වහාම තමන්ට හැකි ආකාරයෙන් තවත් ආධාරකරුවන්ගේද සහාය ලබාගෙන නිසි ඇඳුමක් නොමැති වෘත්තීය සමිති නියෝජිතයන් වෙත අවශ්‍ය පමණට ඇඳුම්, පැලඳුම් මිලයට ගත්තේය. බලයෙන් නිරෝධායනයට යොමු කළ තැන්නේ ඥානානන්ද හිමියන්ට අලුත් සිවුරක්ද මිලයට ගත්තේය. විරෝදතා මොහොතේ එම හිමියන්ද බලහත්කාරයෙන් ඔසවාගෙන යෑමේදී උන්වහන්සේගේ සිවුරද ඉරීගොස් තිබිණි. මිලයට ගත් වස්ත්‍ර තොගයද සමග මෙම දමිළ ජනතා පිරිස වහාම මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙත ගියේය. එතැනට ගොස් නිසි කොවිඩ්-19 නීතිරීතිවලට අනුව රෙදිපිළි ගුවන් හමුදා නිලධාරීන්ට බාර දුන්නේය. නිරෝධායනයට යොමුකර සිටි පිරිස සියලුම දෙනා සිංහල ජාතිකයන් විය. මෙහිදී ඔවුන් උදෙසා දමිළ ජාතිකයන් සිදුකළ මෙහෙවර අතිශය සුවිශේෂී එකකි. එයට පෙරගමන් තැබුවේ යාපනය නගරාධිපති මනිවන්නන් මහතා විසින්ය. ඔහු මෙලෙස අසාධාරණ, නින්දිත ලෙස විරෝධතාකරුවන්ට සැලකීම ගැන බොහෝ විවේචනාත්මකව තම අදහස්ද ප්‍රකාශ කර ඇත.

කෙසේ හෝ පසුගියදා පාර්ලිමේන්තු වටරවුම අසලදී මෙසේ අත්අඩංගුවට ගත් පිරිස 16 දෙනෙකු වූ අතර, ඔවුන්ට අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසුව මුලතිව් කරා රැගෙන ගියේ පොලිසිය මගිනි. යාපනය නගරාධිපතිවරයා ප්‍රධාන පිරිස විසින් මෙම පුද්ගලයන් 16 දෙනාටම අවශ්‍ය අලුත් ඇඳුම්, පැලඳුම් ලබා දී තිබිණි. යාපනය නගරාධිපති මනිවන්නන් මෙයට මාස කිහිපයකට ඉහතදී රටම ආන්දෝලනයකට පත් කරන ක්‍රියාවක්ද සිදුකළේය. එය නම් යාපනය නගරාධිපතිවරයා විසින් යාපනය නගරය තුළ ‘එල්.ටී.ටී.ඊ. කොටි පොලිසියක්’ නිර්මාණය කළේ යැයි පැවසෙන සිදුවීමය. දැනට මැදි වයසේ පසුවන මෙම තරුණ, දේහධාරී නගරාධිපතිවරයාට තමන්ගේ පරිපාලනය යටතේ ඇති යාපනය මහනගර සභාවට අනුයුක්ත කර මෙම කොටි පොලිසිය පිහිටුවූයේ යැයි චෝදනා නැඟිණි. මෙයට පෙර කාලයකදී කොටි නායක ප්‍රභාකරන් යටතේ පිහිටුවා තිබුණු එල්.ටී.ටී.ඊ. පොලිසියේ නිලධාරීන්ගේ නිල ඇඳුමට සමාන නිල ඇඳුමක් සහිතව මෙම ‘නව කොටි පොලිසිය’ ස්ථාපිත කළේ යැයි, වත්මන් නගරාධිපතිවරයාට එරෙහිව ප්‍රබලව චෝදනා නැඟිණි. මෙය එල්.ටී.ටී.ඊ. දමිළ කොටි සංවිධානයේ මතවාදයට ශක්තියක් ලබාදෙන ක්‍රියාවක් ලෙසට රජය ප්‍රබල චෝදනාවක් කළේය.
වත්මන් රාජපක්‍ෂ රජය එය එතැනින් නතර කළේ නැත. වහාම යාපනයේ ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත නියෝග නිකුත් කෙරුණේ, යාපනය නගරාධිපතිවරයා හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නා ලෙසය. සැණෙන් එම නියෝගය ක්‍රියාත්මක වුණු අතර, පොලිසිය විසින් වහාම නගරාධිපතිවරයා අත්අඩංගුවට ගත්තේය. මෙය හරියටම සිදුවූයේ පසුගිය 2021 අප්‍රේල් 09 වැනිදාය. මෙම සිදුවීම උතුරුකරය මෙන්ම මුළුමහත් රටම මහත් ආන්දෝලනයකට පත්කළ සිදුවීමක් වූ අතර, විවිධ පාර්ශ්ව එයට එරෙහිව තම හඬ නැඟුවේය. කෙසේ හෝ එදිනම යාපනය නගරාධිපතිවරයා රුපියල් ලක්‍ෂ 02ක ශරීර ඇප මත යාපනය ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිදහස් කළේය. යාපනය නගරාධිපතිවරයා විසින් මෙසේ සිදුකළ කොටි පොලිසියේ ක්‍රියාව ගැන රාජ්‍ය හිතවාදී පාර්ශ්ව මෙසේ ප්‍රකාශ කර තිබුණේය.
‘යාල් මානගර කාවල් පඩෙයි’ (යාපනය මහ නගර ආරක්‍ෂක බළකාය) නමින් යාපනය මහ නගර සභාවේ නගරාධිපතිවරයා විසින් ආරම්භ කර ඇති මෙම බළකාය, යාපනය සිවිල් ජනතාවට නැවැත එදා කොටි පොලිසිය සිහිගැන්වීමට සමත්ව තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂක රාජකාරිය, රථවාහන හැසිරවීම, නගර පිරිසුදු කිරීම, මහමග කුණු දැමීම හා කෙළ ගැසීම වැනි වැරැදි සඳහා දඩ මුදල් ආදිය පවා අය කිරීමේ බලතල වැනි කටයුතු මෙම බළකායේ රාජකාරී බැව්ද නගරාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබෙනවා. පොලිසිය ඇතුළු වෙනත් පිළිගත් ආයතනවලට අයත් මෙම රාජකාරී සඳහා ජනතාව දඩ නිකුත් කිරීමට මොවුන්ට ඇති නීතිමය හැකියාව කුමක්ද? මෙම පිරිස්වල යටි අරමුණ වන්නේ නැවැත එදා ත්‍රස්තවාදී පාලන යුගයේ මතක නැවැත ජනතාවට සිහිගැන්වීමයි. එදා කොටි පොලිසියේ නිල ඇඳුමට 95%ක්ම සමාන අයුරින් මෙම නිල ඇඳුම නිමවා ඇති බැව් ඕනෑම කෙනෙකුට දැකගත හැකියි.’
කෙසේ හෝ මෙලෙස ආන්දෝලනයට ලක්වූ බළකායේ නිලධාරීන් 05 දෙනකු ඉහත නිල ඇඳුම පැලඳ යාපනය නගරයේ රථවාහන හැසිරවීම සහ තවත් සිවිල් කටයුතුද සිදුකරන ආකාරයද දක්නට හැකි විය. යාපනය පොලිසියට මෙම සිදුවීම ආරංචි වූයේ ඉන් පසුවය. තත්ත්වය එසේ වුවද යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා තමන්ගේ අදහස් ප්‍රකාශ කර සිටියේ මෙසේය.
‘මගේ එකම අරමුණ යාපනය නගරය පිරිසුදුව තබා ගැනීමයි. ඒ වෙනුවෙන් මමත් මහ රෑ පාරට බැහැලා කුණු කානු හෝදලා තියෙනවා. තවත් මම ඉදිරියටත් නගරාධිපතිවරයා වශයෙන් යාපනය පිරිසුදුව තබාගන්නට යමක් කරන්න තියෙනවා නම් මම ඒක කරනවා. මට මේ රට බෙදන්නවත්, තිබුණු යම් සංවිධානවලට පණ පොවන්නවත් ඕනේ නැහැ. මම කළේ මට ඇති බලය අනුව නගරයේ ඇති පිරිසුදුකමෙහි පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන්න වෙනම බළකායක් පිහිටුවීමටයි. ඒකට ‘පොලිස්’ කියන වචනය දාගෙන තියෙන්නේ මම නෙවෙයි. මේ අය ඇඳගෙන ඉන්න ඇඳුම කොටි පොලිසියේ ඇඳුමම කියලා ඔප්පු කරන්නයි පොලිස් ත්‍රස්ත මර්දන අංශයට වුවමනා වුණේ. මේ වගේ ඇඳුමක් කොළඹ නගර සභාවේ නිලධාරීන් පිරිසකටත් තිබෙනවා. ඒ වගේම පෞද්ගලික ආරක්‍ෂක අංශවලත් මේ හා සමාන ඇඳුම් තිබෙනවා. දෙමළ අය මේ පාට ඇන්දම තමයි වැරැදි, මේක තමයි විශාලතම අසාධාරණය.’
මේ පිළිබඳව යාපනය මහාධිකරණයේ තිබුණු නඩු විභාගයේදී යාපනය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, එම නඩුව වෙනුවෙන් පෙනී සිටි ද්‍රවිඩ ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතාගෙන් විමසා ඇත්තේ, ඉහත නිල ඇඳුමෙහි කොටි ලාංඡනය තිබුණේ දැයි යන්නය. එවිට ඔහු පවසා තිබුණේ කොටි ලාංඡනය නොව, යාපනය නගර සභාවේ ලාංඡනය තිබුණු බැව්ය. එනම් කොටියාගේ රුව නොව, හංසයකුගේ රුව එහි තිබුණු බැව්ය. එය සිනා උපදවන කරුණක් විය.
කෙසේ හෝ යාපනය නගරාධිපතිවරයා බොහෝ දිගු කාලයකට පසු එම තනතුරට පත්වූ ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු බොහෝ විට රැඩිකල්වාදී අදහස් දරන විප්ලවවාදියෙකි. දැනට 37 වැනි තරුණ වියෙහි පසුවන ඔහු ගැන පසුගියදා තවත් අපූරු පුවත්ද වාර්තා වූයේය. එනම් ඔහු පසුගිය 2020 දෙසැම්බර් මාසයේදී නගරාධිපති ධුරයට තේරී පත්වූ පසු ඔහු ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට නියමිත වැටුප ලබා නොගන්නා බැව්ය. එසේම එය නගර සභාවේ මහජන සුබසාධන යෝජනා ක්‍රම සඳහා යොදාගන්නා බවද ප්‍රකාශ කර ඇත. එසේම මෙම උත්තරීතර තනතුර සඳහා රජයෙන් ලබාදෙන සුඛෝපභෝගී මෝටර් රථයද ඔහු ප්‍රතික්‍ෂේප කර ඇති අතර, තමන්ගේ සාමාන්‍ය මෝටර් රථය භාවිත කරන බවට දැනුම් දී ඇත. එසේම ඔහු දැනට තමාගේම පෞද්ගලික මෝටර් රථය නිල කටයුතු සඳහා භාවිත කරයි. මෙයට පෙර සිටි නගරාධිපතිවරයා වන එම්මානුවෙල් ආනෝල්ඩ් භාවිත කර ඇත්තේ අතිශය සුපිරි රථයකි.
මෙවැනි මහජන හිතකාමී තත්ත්වයක් යටතේ මේ වන විට යාපනයේ පොදු ජනතාවගෙන් මනිවන්නන් මහතාට හිමිවී ඇත්තේ මහත් ජනප්‍රසාදයකි. ඔහු නිරන්තරයෙන් ජනතාව සමගම සිටින හෙයින් ඔහුට පසුගියදා කොරෝනා රෝගය පවා වැලඳී පසුව සුවපත් වූයේය. විශ්වලිංගම් මනිවන්නන් සැබෑ ලෙසම අපූරු මිනිසෙකි.
ප්‍රියන්ත හෙට්ටිගේ










