යුද්ධෙ කාලෙ ගොඩක් පේන්න හිටපු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලෙ බොහොම ලංකාවෙ ප්‍රසිද්ධ නමක් වෙච්ච ලක්ෂ්මන් හුළුගල්ල හිටපු හැටියෙ මොකද ලංකාවෙ නොපෙනී ගියෙ?
කාල දෙකක් තිබ්බා. 2015 මැතිවරණයෙන් අපි පරාජය වීමත් සමග අපි අලුත් පක්ෂයක් හැදුවා. ඒ පක්ෂය හදනකොට බොහොම නිහඬ චරිතයක් ලෙස තමයි මම පක්ෂයෙ වැඩකටයුතු කළේ. ඊට පස්සේ මැතිවරණයෙ ජයග්‍රහණය තාක් කල් බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග පොදුජන පෙරමුණේ කාර්යාලය භාරව හිටපු කිහිප දෙනාගෙන් එක්කෙනෙක් තමයි මම. ඉතින් ඒ කාලෙ අපි බොහොම මහන්සි වෙලා වැඩ කළා. නමුත් මම ඡන්ද අපේක්ෂකයෙක් නෙවෙයි හින්දා ඉස්සරහට ඒමේ අවශ්‍යතාවක් තිබ්බෙ නෑ. මැතිවරණය අවසන් වුණාට පස්සේ, විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කරන අවස්ථාවේ ඒ සම්බන්ධව මැදිහත්කරුවකු හැටියට, එහෙම නැත්නම් පක්ෂයයි, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි අතරමැදියා හැටියට විශාල වැඩ කොටසක් නිහඬව මම කළා. ඒ කරලා ඉවර වෙලා මැතිවරණය අවසානයෙදි ගෝඨාභය රාජපක්ෂ බලයට ආපුවාම ගෝඨාභය රාජපක්ෂ පත්කරපු පළමුවැනිම විදේශ තානාපතිවරයා තමයි මම. මාව ඉස්සෙල්ලා ඇමෙරිකාවට පත් කළා. මම ඊට පස්සෙ කිව්වාම ඇමෙරිකාව ටිකක් දුර වැඩියි කිව්වාම මාව ඔස්ට්‍රේලියාවට පත් කළා. ඉතින් දැන් ඊට පස්සෙ තිබුණු මැතිවරණය ඉවර වෙලා, මැතිවරණය ජයග්‍රහණයට පහුවදා තමයි මම ගිහිල්ලා වැඩ භාරගත්තේ.
ප්‍රශ්නයක් තියෙනවා දැන් ලක්ෂ්මන් හුළුගල්ල වගේ දේශපාලනයේ හිටපු ලොකු චරිතයක් තිරයෙන් පිටිපස්සේ, තිරය ඉස්සරහා හිටපු චරිතයක්. කවදාවත් තානාපති සේවයට එන්නෙ නැතුව මේ ලංකාවේ දේශපාලනයත් එක්ක තනතුරුත් එක්ක හිටපු ඔබට මොකක්ද තානාපති කමකට ගිහිල්ලා කරන්න පුළුවන් දේ?
දැන් අපේ තියෙන පරිණතභාවයත් එක්ක, විශේෂයෙන්ම මම කැබිනට් ඇමැතිවරුන් දෙතුන් දෙනෙක් එක්ක, රටේ ජනාධිපතිවරයෙක් එක්ක ළඟින්ම වැඩ කරපු කෙනෙක් හැටියට මට තියෙන පළපුරුද්ද දිහා බලපුවාම මට ඕනෑම රටක ඕනෑම රාජ්‍ය නායකයෙක් හමුවෙලා රට ගැන දැනුවත් කිරීමේ පූර්ණ සුදුසුකමක් තියෙනවා. විශේෂයෙන්ම 2005 ඉඳලා 2013 දෙසැම්බර් වෙනකල් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හැටියට වැඩ කරන කොට ලංකාවේ මාධ්‍ය එක්ක පමණක් නෙවෙයි මං විදේශ මාධ්‍ය එක්කත් ඉතා ළඟින් වැඩ කළා. ඒ කාලෙ මට තිබුණු එක කටයුත්තක් තමයි සියලුම තානාපති කාර්යාල, ඒ කියන්නේ අපේ තානාපති කාර්යාල වගේම විදේශ තානාපති කාර්යාල දැනුවත් කිරීම. ඒ කටයුත්ත මම හිතනවා මම අතින් හරියට කෙරුණා යුද සමයේදි. ඊට පස්සෙ වුණත් විදේශීය මාධ්‍යවේදීන් එක්ක මම ඉතාමත් ළඟින් කටයුතු කළා. ඉතින් ඒ වෙලාවෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්වෙ මට තියෙන පළපුරුද්ද පාවිච්චි කරලා රට ඉස්සරහට අරන් යන්න, රට දියුණු කරන්න, මේ රට ගැන කතා කරන්න දන්න කෙනෙක් යවනවා ඇරෙන්න නිකන් කෙනෙක් යවල වැඩක් නෑ කියලා.

විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ මේ වෙනකොට මුළු යුරෝපය, ඇමෙරිකාව වගේ රටවල නැවත ලංකාවට විරුද්ධ මතයක් උඩට එනවා. සාමාන්‍යයෙන් ලංකාවෙ අයගෙ මතයක් තියෙනවා ඔස්ටේ්‍රලියාවත් අනිවාර්යයෙන්ම ඒ සන්ධානයට යයි, ලංකාවට විරුද්ධ ඒ මතයට එකතු වෙයි කියලා. ඉතින් ඔබතුමාට කොච්චර දුරට මේක සමනය කරගන්න පුළුවන් වුණාද මේක කාලසීමාව තුළ?
පසුගිය මාස එකොළහමාර ඇතුළත මගේ ශක්ති ප්‍රමාණයෙන් මං ගොඩක් දුරට වැඩ කරලා තියෙනවා. එතකොට ඔස්ටේ්‍රලියාව හැම වෙලාවෙම, ඇමෙරිකාව වගේම එංගලන්තය, යුරෝපයත් එක්ක යන රටක්. හැබැයි ඒත් එක්කම ඒගොල්ලන්ට ස්වාධීන අදහසුත් තියෙනවා. ඒ පාර්ලිමේන්තුවල ඉන්නෙ බොහොම උගත් පිරිස. සමහරු අපි ගත්තොත් හිටපු ඇටෝර්නි ජෙනරල්වරු. ඒ වගේ අය තමයි පාර්ලිමේන්තු යන්නෙ. මේ අයට ඇත්ත සත්‍ය කතාකරපුවාම, රටේ වර්තමාන තත්ත්වය කියපුවාම, ඒ අයට සත්‍ය කියන්න ඕනෙ. බොරු කියලා කරන්න බෑ. අපි හැම වෙලාවෙම ඩොකියුමන්ට්ස් අරගෙන ගිහිල්ලා කතා කරන්න ඕනෙ. එතකොට රටේ ඇත්ත තත්ත්වය කියන්න ඕනෙ. මෙතැනදි මම එක දෙයක් කිව යුතුයි. මේක මම දේශපාලන වශයෙන් කියන කතාවක් නෙවෙයි. ඒ අය හිතනවා මේ සවුත් ඊස්ට් ඒෂියාවල දකුණු ආසියාවේ රටවල් දෙකක් පිළිබඳ ඒගොල්ලන්ගෙ නායකයො මාත් එක්ක කතා කළා. එකක් තමයි ගෝඨාභය රාජපක්ෂ ඉන්න ශ්‍රී ලංකාව. අනෙක් රට තමයි පාකිස්තානය, ඒ ඉම්රාන් ඛාන්. මේ දෙන්නා ගැන විශාල ගෞරවයක් සහ විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. ඒ අයව ඒගොල්ලො බලන්නෙ වෘත්තීයවේදීන් (ප්‍රොෆෙෂනල්ස්ලා) හැටියට. මේ දෙන්නම දේශපාලනිකව පක්ෂවල හිටියට ඒ ස්ට්‍රක්චර් එකෙන් පිට ආපු අය. ඒගොල්ලො කල්පනා කරනවා ඉම්රාන් ඛාන් කරන වැඩපිළිවෙළත්, ගෝඨාභය රාජපක්ෂ අරන් යන වැඩපිළිවෙළත් අතර ලොකු වෙනසක් තියෙනවා, හිටපු නායකයොත් අතර කියලා. ඉතින් ඒ තියෙන විශ්වාසය ගොඩනගන්න තමයි අපට තියෙන්නෙ.
ඒ සම්බන්ධතාව වැඩිකරන්න මොනවද ඔබතුමාට දැනෙන දේවල්? ඔබතුමාට දේශපාලනයත් දැනෙනවා, රාජ්‍ය තාන්ත්‍රයත් දැනෙනවා. ඒගොල්ලො මොකක්ද ඉල්ලන්නෙ වෙනස් වෙන්න ඕනෙ කියලා?
ඒගොල්ලො බලාපොරොත්තු වෙනවා ලංකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය මීට වඩා වැඩිවෙයි කියලා. අපි ගත්තොත් අපි නීතිගරුක විය යුතුයි කියලා. ඒක ඇත්තටම රාජ්‍යයකට වැඩිය ජනතාවගෙන් බලාපොරොත්තු වෙන දෙයක්. නීතිගරුකත්වය. එතකොට අපි මාධ්‍ය නිදහස ගැන කතා කරනවා. දැන් අපේ මාධ්‍ය නිදහසයි, ඔස්ටේ්‍රලියාවෙ මාධ්‍ය නිදහසයි බලපුවාම අහසයි පොළොවයි වගේ. මම මධ්‍යවේදියෙක් නොවුණට, මම මාධ්‍යයත් එක්ක වැඩ කරපු කෙනෙක්. උදාහරණයකට ගන්න කොවිඩ්. කොවිඩ් 19 අද නිවුස් චැනල් එකකට දාපුවාම ඒකෙ දෙන කරුණු කාරණා, මරණ සංඛ්‍යාව, ලෙඩ වෙච්ච සංඛ්‍යාව, ඉන්ජෙක්ෂන් ගහපු සංඛ්‍යාව මේ වගේ විනාඩි 10-15ක් විතර ඒ වෙනුවෙන් වෙන් කරනවා මාධ්‍ය. නමුත් ඔස්ටේ්‍රලියාවෙ නිවුස්වල එහෙම යන්නෙ නෑ. ඔස්ටේ්‍රලියාවෙ සතියකට සැරයක් අගමැතිවරයයි, සෞඛ්‍ය ඇමැතිවරයයි එනවා. ඇවිල්ලා කියනවා අද රටේ තත්ත්වය මේකයි, ඉදිරි සතිය තුළ නීති මාලාව මේකයි. එච්චරයි. මම හිතනවා හුඟාක්ම වගකිව යුත්තේ අපේ මාධ්‍යයි. ඒ කියන්නේ අපේ නිවුස්වලට පෙන්නන දේවල් සමහර වෙලාවට අපේ රටට හරියට බලපානවා. හානියක් වෙනවා. ඒගොල්ලො ඒ හැම නිවුස් එකක්ම බලනවා. ඒවා ට්‍රාන්ස්ලේට් කරගන්නවා.
උදාහරණයක් විදියට මොන වගේ ප්‍රවෘත්තිද?
ප්‍රවෘත්ති ගත්තාම මේ රටේ වෙන උද්ඝෝෂණයක්. එක එක කාලෙට නොයෙක් දේවල්වලට උද්ඝෝෂණ කරනවා. එහේ තියෙනවා උද්ඝෝෂණයක් කරන්න පුළුවන් ප්‍රමාණයක්. ඒගොල්ලො උද්ඝෝෂණයකට කලින් ගිහින් පොලිසියෙන් පර්මිෂන් ගන්න ඕනෙ. පොලිසියෙන් පර්මිෂන් ගත්තාම ඒකට දෙනවා ඕගොල්ලන්නට අද උද්ඝෝෂණයට සහභාගි වෙන්න පුළුවන් විසිපස් දෙනාටයි. අපි හිතමු මොකක් හරි එම්බසි එකක් ඉස්සරහට ඇවිල්ලා උද්ඝෝෂණය කරනවා නම් ඒ වෙලාවට පොලිසිය සම්පූර්ණයෙන්ම ආරක්ෂාව ලබාදෙනවා. ඒ ලබාදෙන ආරක්ෂාවට ඒගොල්ලො වැඩිම අවසර දෙන්නෙ 25කට හෝ 30කට. එතකොට අපේ නිවුස්වලට අපි පෙන්නපුවාම 1000ක් 1500ක් ඇවිල්ලා උද්ඝෝෂණයක් කරනකොට, එහෙම නැත්නම් වතුර ගහපුවාම, පොලිසියෙන් බැට්න් පහර දුන්නාම ඒගොල්ලො හිතන්නෙ රටේ විශාල කැරැල්ලක් ආණ්ඩුවට විරුද්ධව ඇවිල්ලා කියලා. එතකොට ඒගොල්ලො ආණ්ඩුවෙන් අයින් වෙනවා.
ඔබතුමා කියන්නේ ඔබතුමාගෙ පළපුරුද්ද හැටියට මේ අවුරුදු දෙකේ, මේ රටේ මාධ්‍යයෙන් රටට විශාල විනාශයක් කරලා තියෙනවා කියන එකද?
අනිවාර්යයෙන්ම රටේ මාධ්‍ය ලොකු මෙහෙයක් කරන අතර, මේවා පෙන්නන ආකාරයෙන් විනාශයක් වෙනවා. ඒකට උදාහරණයක් තමයි මම කිව්වේ 25 දෙනෙක් එන ප්‍රොටෙස්ට් එකක් ඒගොල්ලන්ට ලොකු දෙයක්. ඒ වගේ තැනක 1000 ආවාම, ඒගොල්ලන්ට ඒක ලොකු දෙයක්. එතකොට හිතන්නෙ රටේ විශාල කෝලාහලයක් ඇවිලිලා කියලා. අපේ රටේ 1000ක් කියන්නේ විනාඩියෙන් එකතු කරගන්න පුළුවන්. පාරෙ යන මිනිස්සුත් එක්ක.

දැන් ලොකුම ප්‍රශ්නය තමයි දෙමළ ඩයස්පෝරාව. යුරෝපෙ ගැන කතා කළත්, ඇමෙරිකාව ගැන කතා කළත්, ඔස්ටේ්‍රලියාව ගත්තත්, ආණ්ඩුවටත් වඩා බලවත්, ආණ්ඩු පෙරළන්න පුළුවන් පුදුම බලයක් දෙමළ ඩයස්පෝරාවට තියෙනවා කියලා මතයක් අපේ සිංහල මිනිස්සු තුළ තියෙනවා. හැබැයි ඔබතුමා ගිය ඔස්ටේ්‍රලියාවෙ සිංහල ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔබතුමා දේශපාලනයත් එක්ක ගිය කෙනෙක්. ඇයි සිංහල ජනතාවටත් මේ විදියට ඩයස්පෝරාවක් හදාගන්න බැරි?
ඉතා කෙටියෙන් ඒකට උත්තරයක් දෙනවා නම්, ඔය ප්‍රශ්නෙම ඩොක්ටර් ලී කියලා ඉන්නවා මල්ටි කල්චරල් ඇන්ඩ් එඩියුකේෂන් මිනිස්ටර්. එයා මගෙන් අහපු ප්‍රශ්නෙ තමයි ඔබ මගෙන් ඇහුවෙ. අපේ ශ්‍රී ලාංකිකයන් 2,25,000කට ආසන්න සංඛ්‍යාවක් ඔස්ටේ්‍රලියාවෙ ජීවත් වෙනවා. මේකෙන් 70% – 75%ක් වගේ ඉන්නේ සිංහල. ඉතිරි අය දෙමළ. බොහෝම සුළු පිරිසක් ඉන්නවා මුස්ලිම්. පැරැණිම බර්ගර් ජාතිකයොත් ඉන්නවා. ඒගොල්ලො ඔස්ටේ්‍රලියානු ජාතිකයො වගේම වෙලා. නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත දෙක ගත්තොත් ඒවායෙ තියෙනවා 60ක් 70ක් විතර සිංහල සංවිධාන. දෙමළ සංවිධාන ගත්තොත් දෙකක්, තුනක් හෝ හතරයි. ඒ කණ්ඩායම පුංචි වුණාට ඒගොල්ලන්ගෙ එකමුතුභාවය වැඩියි. ශ්‍රී ලංකාවෙ අද සිංහල ජනතාව බෙදිලා වෙන්වෙලා ඉන්න තත්ත්වය ඒ රටෙත් තියෙනවා. අවුරුදු ගානක් පදිංචි වෙලා ඉන්න අය පවා බෙදී වෙන්වෙලා තමයි ඉන්නෙ. එහෙත් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පක්ෂ භේදය ඇවිල්ලා තියෙනවා, ජාති භේදය ඇවිල්ලා තියෙනවා. මේ අය එක්කෙනෙකුට එක්කෙනෙක් එකතු වෙන්න කැමැති නෑ. මම ලොකු උත්සාහයක් දරනවා මේ සිංහල ජනතාව එකට එකතු කරන්න. අපි ගත්තොත් සමහර මන්ත්‍රීවරුන්ගෙ ආසනවල, මන්ත්‍රී කොට්ඨාසවල සිංහල ජනතාව ඉන්නවා 7,500ක් විතර. දෙමළ ජනතාව ඉන්නේ 2,500යි. මේ 2,500 එක කණ්ඩායමක් හැටියට ගිහිල්ලා මෙයාට උදව් කරනවා. එතකොට එයා පාර්ලිමේන්තුවෙදි ගන්නෙ ඒ හඬ. ඒ හඬ අරන් දෙමළ ජනතාවට උදව් කරනවා. හැබැයි මම දැනට ඒ දෙමළ ඩයස්පෝරාවෙ හඬ නිශ්ශබ්ද කරලයි තියෙන්නෙ.
ඒක එක පැත්තකින් තියෙද්දි දැන් මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුරයෙ දෙවැනි වාරයේදී මේ රටේ විශාල ආන්දෝලනයක් ඇතිවුණා ඔස්ටේ්‍රලියානු ආයෝජකයෙක් වූ ජේම්ස් පැකර් සම්බන්ධයෙන්. මාත් පිළිගන්නෙ නෑ, ඒ මාධ්‍යවලින් හදපු ඒ මතය. තරගකාරී ඒ ව්‍යාපාරයේ කොටසක් කරපු වැඩක්. නමුත් රටේ විශාල ආන්දෝලනයක් ඇතිවුණා ජේම්ස් පැකර් ඇවිල්ලා කැසිනෝ එකක් දාන්න යනවා. රට විනාශ වෙයි කියලා. ඔබතුමා එහෙ ගියාම අද මොකක්ද හිතෙන්න, ඇත්තටම එදා පැකර් ආවා නම් අද වෙන්න තිබ්බෙ මොකක්ද?
ටෙරී පැකර්ගෙ පුතා තමයි ජේම්ස් පැකර්. එතකොට ඒගොල්ලො දිගින් දිගටම කළේ ඔට්ටු ඇල්ලීම සහ රේස් බයි රේස්. මෙහෙ තියෙන විදියට නෙවෙයි විශාල විදියට. දැන් ක්‍රවුන් කැසිනෝ එක කිව්වාම ඒක ලෝකෙ තියෙන විශාලම කැසිනෝ එකක් මෙල්බර්න්වල තියෙන්නෙ.
කැසිනෝ කියන එක මෙහෙ තියෙනවා. දැන් ඇමෙරිකාවෙ ලාස් වේගාස්වල කැසිනෝ ඒරියා එකක් තියෙනවා. අපිත් ඒ විදියට යම් කිසි අලුත් පියවරකට රාමුවකට යන්න ඕනෙ. විදේශිකයෙක් ලංකාවට එන්නෙ මොනවටද? හැම කෙනාම බලාපොරොත්තු වෙන්න හොඳ නෑ සීගිරියයි, පොළොන්නරුවයි, අනුරාධපුරයයි විකුණන්න දැන් තවදුරටත් බෑ. ඒක බොරු වැඩක්. මම දැන් ව්‍යාපාරික සභාවක් (බිස්නස් කවුන්සිල් එකක්) හදාගෙන යනවා. ඒකෙ පළමුවැනි කොටස මම ඉවර කරලා තියෙනවා. මේ පෝරට් සිටි එක ගැන විශාල බලාපොරාත්තු තියාගෙන ඉන්නෙ. පෝර්ට් සිටි එක සාර්ථක වුණොත් සිංගප්පූරුව සහ ඩුබායිවල තියෙන බලය අපට ගේන්න පුළුවන්. ඔස්ටේ්‍රලියාව කියන්නේ ලෝකෙ එක කොනක තියෙන රටක්. එතකොට ඔස්ටේ්‍රලියාවෙ බිස්නස් කරන මිනිස්සු බලාපොරොත්තු වෙනවා පෝර්ට් සිටි එකත් එක්ක මෙහාට එන්න. දැන් මේ එන මිනිසුන්ට ඒ සියලු පහසුකම් තියෙන්න ඕනෙ. හොංකොං ගියාම, සිංගප්පූරුවට ගියාම, ඩුබායි ගියාම, බැංකොක් ගියාම මේ හැමතැනම පහසුකම් තියෙනවා. මිනිස්සු මහන්සිවෙලා වැඩ ඉවරවෙලා ඇවිල්ලා හෝටලේට, ඒ මිනිහා ඩි්‍රන්ක් එකක් අරන් බුදියගන්නෙ නෑ. ඒ මිනිහගෙ මනස නිදහස් වෙන්න ඕනෙ.
ලංකාවෙ මතයක් තියෙනවා මේ පෝර්ට් සිටිය චීනගෙ කියලා. සුද්දො එන්නෙත් නෑ, ඇමෙරිකන් කාරයො එන්නෙත් නෑ, එංගලන්තකාරයා එන්නෙත් නෑ කියලා. ඉතින් ඔය විදියට ඔස්ටේ්‍රලියන්කාරයො එයිද?
මම ඒකයි කිව්වේ ඔස්ටේ්‍රලියන්කාරයො ඔස්ටේ්‍රලියාව අරිනකල් බලාගෙන ඉන්නෙ මෙහාට එන්න.
මොකක්ද ඒකට හේතුව?
හේතුව තමයි, ශ්‍රී ලංකාව කියන්නේ භූගෝලීය වශයෙන් ගත්තාම ඉතාම හොඳ තැනක තියෙන්නෙ.
ඒ කියන්නෙ ඔබතුමාලා කැම්පේන් එකක් පටන් අරගෙන තියෙනවද මේ වෙද්දි?
මම කැම්පේන් එකක් පටන් අරන් තියෙනවා. මම යන්න අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා ඔස්ටේ්‍රලියාවෙ බිස්නස් කවුන්සිල් එකක් හදලා තියෙනවා. නමුත් ඒකෙ මූලිකත්වය අරන් තියෙන්නේ අපේ කවුන්සිල් එක. එතකොට කවුන්සිල් එකේ කවුන්සිල් ජෙනරල් ගියාට පස්සේ ඒක වැටෙනවා. මම එකතු කළා ඔස්ටේ්‍රලියානු කණ්ඩායමක් 40ක විතර. ඔස්ටේ්‍රලියාවෙ 40ක් කියන්නෙ ලොකු පිරිසක්. ඒ ඔස්ටේ්‍රලියානු ව්‍යාපාරිකයො. ඒකට තව සිංහල ව්‍යාපාරිකයො පිරිසකුත් ඇවිල්ලා මේ මාසෙ 27 වැනිදා තමයි මම ඒක ලෝන්ච් කරන්න හිටියෙ. සියලු දේ දැන් අපි කරලා තියෙන්නෙ. එහෙ තියෙන ලොකුම හෝටලේ ‘ෂැන්ග්‍රිලා’ එකේ මං කරන්නෙ. මේ කරන්න මුල් වුණේ, ලංකාවට එන්න මේ මිනිස්සු බලාගෙන ඉන්නෙ. ඔස්ටේ්‍රලියාවෙ බවුන්ඩී්‍රස් ඇරපු ගමන් සති දෙකක් ඇතුළත අඩුම වශයෙන් 12 දෙනකුගෙ කණ්ඩායමක් මම අරන් එනවා ලංකාවට.

ඊළඟ එක තමයි ලංකාවෙ සංචාරක ව්‍යාපාරය. අපි දකුණේ ගියාම, අනුරාධපුර සීගිරියෙ ගියාම අපට දකින්න ලැබෙන්නෙ ජර්මන්, ප්‍රංශ, එංගලන්තෙ වගේ යුරෝපා රටවල සංචාරකයො. අලුතෙන් චීන සහ ඉන්දියානු සංචාරකයොත් දකින්න ලැබෙනවා. නමුත් අපට අහන්න දකින්න ලැබෙන්නෙ නෑ ඔස්ටේ්‍රලියානු ජාතිකයො දකුණෙ සංචාරය කරන්න එනවා, සීගිරිය නගින්න එනවා කියලා. එතකොට ඇයි ඔස්ටේ්‍රලියානු ජාතිකයන්ට ලංකාවෙ සංචාරය කරන්න හිතෙන්නෙ නැත්තෙ?
හිතෙන්නෙ නැතිකමක් නෙවෙයි තියෙන්නෙ. කවුරුවත් දන්නෙ නෑ, මම එහෙ ගියාම හොයලා බැලුවා. ලංකාවට එන සංචාරකයන්ගෙන් 10% -11% අතර පිරිසක් එන්නෙ ඔස්ටේ්‍රලියාවෙන්. එකක් තමයි එහෙ ජනගහනය අඩුකම. තව පිරිසක් ඉන්නවා එන්න. ඒ වගේම අපේ ශ්‍රී ලාංකිකයො පිරිසකුත් ඉන්නවා. තව ඉන්දියානුවන් වගේ පිරිසකුත් ඉන්නවා. දැන් මේ රට ගැන විශ්වාසයක් තියෙන්න ඕනනෙ. අපි හැමදාම රටේ ප්‍රශ්න නිවුස්වලට පෙන්නන්න ගියාම, පාරවල් වහගෙන, ගුටි ගහගන්න, බෝම්බ ගහගන්න දේවල්. එතකොට ඒ මිනිසුන්ට බයක් තියෙනවා. මොකද ඇත්තම කියනවා නම් ඔස්ටේ්‍රලියාව කියන්නෙ හරිම සාමකාමී රටක්.
බලන්න ලංකාවෙ තියෙන ලොකුම හෝටල් හිල්ටන්, ටාජ්, ගෝල්ෆේස්, ෂැන්ග්‍රිලා. දැන් හැමදාම ගෝල්ෆේස් එක වහලා. ඉතින් කොයි මනුස්සයද කැමැති? ගෝල්ෆේස් එකේ ඇවිදින්නවත් බෑනේ. අපේ ජනාධිපතිතුමා මේවා ලස්සනට හදනවා. බයිසිකල්වලින් යන්න වෙනමම පාරක් හදල තියෙනවා. නමුත් අපි ජනතාවක් හැටියට අපිම ඒවා විනාශ කරගන්නවා. ටුවරිස්ට්ලා ගේන්න පුළුවන්. මම කියන්නෙ මගේ දක්ෂකම නෙවෙයි. මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු කැමැතියි මේ රටට එන්න. මොකද ඒගොල්ලන්ට වැඩක් නෑ තවත් ලොකු රටකට ගිහිල්ලා ඒ සැප විඳින්න. ඒගොල්ලන්ගෙ රටවල ඒ සැප තියෙනවා. ඒගොල්ලො අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්නෙ. කෑමෙන්, බීමෙන්, අලුත් දේවල් නරඹන්න. මේ හැම දෙයක්ම කරන්න තියෙන අවස්ථාව අපිම නැති කරලා තියෙන්නෙ.
අද තරුණයන්ගෙ, විශේෂයෙන්ම ඉගෙනගන්න ළමයින්ගෙ ලොකු සිහිනයක් තමයි ඔස්ටේ්‍රලියාවට යන එක. අද නගරයේ වගේම ගම්වලත් ළමයින්ගෙ හීනයක් ඒක. මේ හීනය දකින ලංකාවෙ තරුණයන්ට මොකක්ද ඔබතුමා දෙන පණිවුඩය ?
හැම කෙනෙක්ම කැමැතියි ඔස්ටේ්‍රලියාවට යන්න. සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්න පුළුවන්. මේ සිහිනෙ සෑබෑ කරගන්න නම් අපි හරියට ඉගෙන ගන්න ඕනෙ. ඉගෙනගෙන යන්න ඕනෙ හරි මාර්ගයෙන්. වැරැදි මාර්ගයෙන් නෙවෙයි. මම කල්පනා කරන එක දෙයක් තමයි මේ ගිහිල්ලා ඉන්න අය හොඳ සුඛෝපභෝගී ජීවිත ගතකරනවා. ඒගොල්ලො ඉන්නෙ හරි උසස් මට්ටමේ. හැබැයි ඒ ඉන්න හැම කෙනෙක්ම, හෝටල් ක්ෂේත්‍රයේ පවා අයට හොඳ උගත්කමක් තියෙනවා. ඒගොල්ලො බලනවා පොඩි පළපුරුද්දක්. ඒ පළපුරුද්ද තියෙනවා නම් ඒක අපට ජයග්‍රහනය කරන්න පුළුවන්. දැන් මේකෙදි බලන්න අපේ මුදල් කොච්චර ඇදිලා යනවද කියලා ඔස්ටේ්‍රලියාවෙ විශ්වවිද්‍යාලවලට. අපි ඉන්නෙ එක මානසිකත්වයක, පෞද්ගලික විශ්වවිද්‍යාල ගේන්න එපා කියලා. පෞද්ගලික විශ්වවිද්‍යාල හින්දා සිදුවෙන පාඩුව, පාඩුවක් නෙවෙයි. පෞද්ගලික විශ්වවිද්‍යාල එන්න ඕනෙ. ලංකාවෙ ළමයි සල්ලි වියදම් කරගෙන මොනෑෂ් යුනිවසිටි එකට යනවා.
එතකොට සාමාන්‍යයෙන් එක දරුවෙක් කොච්චර විතර මුදලක් වියදම් කරනවද ඔස්ටේ්‍රලියාවට එන්න?
ස්කූල් ෆී එක විතරක් ඩොලර් හත් අට දාහක් ගෙවන්න වෙනවා.
මෙහෙ මොනෑෂ් යුනිවසිටි එකේ ශාඛාවක් ඇරියොත් ගමක තරුණයකුට තරුණියකට වුණත් සාමාන්‍ය වියදමක් දරලා ඉගෙන ගන්න පුළුවන්?
ඔව්, සාමාන්‍ය වියදමක් දරන්න පුළුවන් කෙනකුට විදේශ විශ්වවිද්‍යාලයකට තමන්ගෙ දරුවව යවන්න පුළුවන්. ඊට පස්සෙ අවසානයේ ඔස්ටේ්‍රලියාවට යන්න පුළුවන්. ඒ සෙටිෆිකට් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයින්ගෙ එම්.එස්.සී. එක කරන්න පුළුවන්. මේ අවස්ථාව අපේ ළමයින්ට අපි නැති කරලා තියෙන්නෙ. අපි අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි, අනෙක් විශ්වවිද්‍යාලයි විතරක් කරන්න ගියොත්, එකක් ඒවයෙ ධාරිතාව සීමිතයි. අපේ දක්ෂ, හොඳට මොළේ තියෙන පිරිසක් ඉන්නවා විශ්වවිද්‍යාලවලට ඇතුළු කරගන්න බැරුව. ඒක නවත්තන්නත් ඕනෙ. අනෙක් කාරණාව, සමහර සල්ලි තියෙන අය විශාල මුදලක් වියදම් කරලා දරුවන්ව ඔස්ටේ්‍රලියාවට යවනවා. අවසානයෙ ළමයා ඉගෙනගන්නවා. නමුත් ළමයා නැතිවෙනවා. එක්කො ඒ ළමයා එහෙ සංස්කෘතියට හැදිලා, ඒ ළමයා කැමැති වෙන්නෙ නෑ ආපහු ශ්‍රී ලංකාවට එන්න, ඒ විදියට සමහර විට ඒ ළමයා දෙමව්පියන්ට නැති වෙනවා. එහෙම නැති නොවී, මේ සංස්කෘතියට අනුව දක්ෂයන් උගතුන් බිහිකරන්න පුළුවන් ඒ විශ්වවිද්‍යාල මෙහෙට ආවොත්. ශ්‍රී ලංකාවෙ ළමයි ගැන, ඒ අයගෙ අධ්‍යාපනය ගැන ලොකු විශ්වාසයක් ඒ අයගෙ තියෙනවා. මම ඒකයි කලින් කිව්වේ, අයි.ටී. ඉගෙන ගෙන එකවුන්ටන්සි ඉගෙන ගෙන යන කෙනකුට, ශ්‍රී ලංකාවෙ ඉගෙනගත්තයි කියලා කිව්වොත් ඒ අයට පුදුම පිළිගැනීමක් තියෙනවා.
අවසාන වශයෙන් ඔබතුමාට මොකක්ද ලංකාවෙ ජනතාවට දෙන්න තියෙන පණිවුඩය, මොකද රට බොහොම තීරණාත්මක තැනක තියෙන වෙලාවක් මේක?
මේ තීරණාත්මක වෙලාවෙ අපි පෞද්ගලිකව අපි ගැන හිතන්න හොඳ නෑ. රට ගැන හිතන්න ඕනෙ. ඒක හොඳටම දැනෙන්නෙ අපි වෙනත් රටවල ජීවත් වෙද්දි. රට දියුණු වුණොත් අපි ඉබේම නැගිටලා. අපට වාහන ගන්නද, ගෙවල් හදන්නද මේ හැම එකකටම අපට ශක්තිමත් අර්ථිකයක් තියෙන්න ඕනෙ. ඒ ශක්තිමත් ආර්ථිකය ගොඩනගන්න අපි ලෝකය යන පාරෙ යන්න ඕනෙ. අපි රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර පාවිච්චි කළොත් මම දන්නවා 100%ක් අපේ එළවළු පලතුරුවලට වෙළෙඳපොළක් හැදෙනවා ඔස්ටේ්‍රලියාව වගේ යුරෝපා රටවල. ඒකට අපි යන්න ඕනෙ. ඒක මේ පළමුවැනි කන්නයෙන්ම කරන්න පුළුවන් දේවල් නෙවෙයි.
සංවාදය තුෂාර ගුණරත්න










