• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

ආණ්ඩුවයි-දෙමළ සන්ධානයයි රහස් හමුවක! මහින්දගේ ලියුම විසිවෙයි! විමුක්තිට සුනේත්‍රා හරස් වෙයි! (රාජ්‍ය රහස්)

August 15, 2021
in Exclusive, Rajya Rahas, Uncategorized
Reading Time: 14 mins read
A A
නීතිපති පත්තු කරපු ‘බෝම්බයේ’ වීඩියෝවට මොකද වුණේ? ගේම් ගහපු හර්ෂට සජබෙන් දැඩි ප්‍රහාරයක් (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

පසුගිය සතිවලදී අප අනාවරණ කළ පරිදිම කොරෝනා අර්බුදය මුල් කරගෙන රට මේ වන විට මුහුණ දී ඇත්තේ බරපතළ අර්බුදකාරී තත්ත්වයකටය. තත්ත්වය කෙතරම් දරුණුද කියනවා නම් පසුගිය දින කිහිපයේම ලංකාවේ කොරෝනා මරණ සියය ඉක්මවා වාර්තා වූ ආකාරයක් දැකගත හැකි විය. බ්‍රහස්පතින්දා දින වාර්තාවක් තබමින් මරණ සංඛ්‍යාව 150ද ඉක්මවා ගියේය. ඒ අනුව සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කර සිටින්නේ ඉදිරි සති දෙක ඉතා තීරණාත්මක යැයි කියාය. කෙතරම් බරපතළද කියනවා නම් ලොක්ඩවුන් කිරීමක් සිදු නොකළහොත් සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි තත්ත්වයටම එය බරපතළ වනු ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ.

කොරෝනා මැද ජිනීවා

කෙසේ වෙතත් මෙම අර්බුදය එසේම පැවැතියදී ආණ්ඩුවට ජිනීවා අර්බුදයටද මුහුණ දීමට සිදුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ආණ්ඩුව මුල් අවස්ථාවේදී මේ පිළිබඳ එතරම් තැකීමක් නොකළද මේ වන විට ජිනීවාවලින් එන ආරංචිවලින් කියැවෙන්නේ මෙවර සැසිවාරය ආරම්භ වන සැප්තැම්බර් 13 වැනිදාම ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එහි කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ තීන්දු කර ඇති බවය. ඒ අනුව න්‍යාය පත්‍රයේ පළමු දිනම ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකිරීමට නියමිත බවක් දැනගන්නට තිබේ. ඒ සම්බන්ධයෙන් පසුව ලංකාවේ නියෝජිතයන්ට අදහස් දැක්වීමට අවස්ථාවක් සලසා දී ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

ඉන්දියාව නිකුත් කළ බරපතළ නිවේදනය

මීට අමතරව පසුගිය සතියේ ඉන්දියාව පැත්තෙන්ද ලංකාව ඉලක්ක කරගෙන කිසියම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් විය. ඒ සඳහා කටයුතු කර තිබුණේ ඉන්දීය නාවික හමුදාවේ දෙවැනියා ලෙස සැලකෙන වයිස් අද්මිරාල් ජී. අශෝක් කුමාර්ය. අශෝක් එහිදී මාධ්‍ය වෙත කියා සිටියේ ලංකාව තුළ චීන බලපෑම දැඩි ලෙස ඉහළ යෑමත් සමග මෙම කලාපය තුළ සිදුවන සියලු ක්‍රියාකාරකම් ඉතා සමීපව නිරීක්ෂණය කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇති බවය. සාමාන්‍යයෙන් මීට පෙර ඉන්දියාව පාර්ශ්වයෙන් මෙවැනි ප්‍රකාශයක් නිකුත් වී නොතිබුණු අතර ඉන්දීය නාවික හමුදාව පාර්ශ්වයෙන් එවැනි ප්‍රකාශයක් සිදුවූ පළමු වතාව ලෙස මෙය සැලකිය හැකිය. ඒ අනුව ඉදිරියේදී චීන ව්‍යාපෘති ඉහළ යෑමත් සමග ඉන්දියාවද තම ආරක්ෂක ඇස ලංකාවට ඉලක්ක කර තබා ගනු ඇති බව මේ අනුව පැහැදිලිවම පෙනීයන කාරණාවකි.

අමෙරිකාව යළි එළියට එයි

පසුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණ සමයේදී මැතිවරණ වේදිකාවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණේ ඇමෙරිකාවය. ඊට හේතු වූයේ ඇමෙරිකාව ලංකාවත් සමග එම්.සී.සී. ගිවිසුම අස්සන් කිරීම හරහා එරට ආරක්ෂක අංශ ලංකාවට ගොඩබැසීමෙ අනතුරක් මතුව ඇති බවටත්, රට ඇමෙරිකාවට පාවාදී ඇති බවටත් විපක්ෂය දැඩිව චෝදනා එල්ල කිරීමය. තමන් බලයට පැමිණි විට එම්.සී.සී. ගිවිසුම අහෝසි කරන බවද එවකදී විපක්ෂය දැඩිව කියා සිටියේය.

කෙසේ වෙතත් මේ වන විට නැවත වතාවක් ඇමෙරිකාව පිළිබඳ රට ඇතුළේ සාකච්ඡාවක් මතුවෙමින් තිබේ. එදා බලයේ සිටි වත්මන් විපක්ෂය මේ වන විට ආණ්ඩුවට චෝදනා කරමින් සිටින්නේ හම්බන්තොට සහ ත්‍රිකුණාමල වරායයන් ආසන්නයේ විශාල ඉඩම් ප්‍රමාණයක් ඇමෙරිකාවට ලබාදීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බවත්, ලංකාවේ විදුලි බලාගාර පවා ඇමෙරිකානු සමාගම්වලට ලබාදීමට සැලසුම් කරමින් ඇති බවත්ය. පසුගිය දිනවල ජවිපෙ දැඩිව මෙම චෝදනාව ආණ්ඩුවට එල්ල කරමින් සිටි ආකාරයක්ද දැකගත හැකි විය.

ටෙප්ලිට්ස්ගේ ගෙදර ආණ්ඩුවයි-දෙමළ සන්ධානයයි රහස් සාකච්ජාවක

ඒ අතරවාරයේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය වන ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පසුගිය සතියේ තවත් ආන්දෝලනාත්මක කතාවක් කළාය. එහිදී ඇය කියා සිටියේ ඇමෙරිකානු රජය ප්‍රදානයක් ලෙස ලංකාවට ලබාදීමට සැලසුම් කර තිබූ එම්.සී.සී. මුල්‍යාධාරය එදා කිසියම් පිරිසක් විසින් කොල්ලකෑ බවකි. ඒ හරහා ලංකාවේ ජනතාවට ලැබීමට තිබූ විශාල වාසියක් අහිමි වී ගිය බවද ඇය කියා සිටියාය.

ඇමෙරිකානු තානාපතිවරිය වූ ටෙප්ලිට්ස් එදා පටන්ම ආන්දෝලනාත්මක චරිතයකට පණ පොවා සිටියාය. ඉදිරි මාස කිහිපය ඇතුළත ඇමෙරිකානු තානාපතිවරිය ලංකාවට සමුදීමට නියමිතව තිබුණත් ඇගේ ආන්දෝලනාත්මක කටයුතු නම් තවම නිමා වී ඇති බවක් පෙනෙන්නට නැත. ඊට හේතු වූයේ මීට සති කිහිපයකදීද ඇය තවත් ආන්දෝලනාත්මක කටයුත්තකට අත ගසා සිටීම නිසාය. එනම් ආණ්ඩුවේ ප්‍රධානියකු සහ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානියකු අතර හමුවක් සංවිධාන කිරීමට පියවර ගෙන තිබීමය. ආණ්ඩුවේ ප්‍රබලයා වූයේ වෙන කවුරුවත් නොව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාය. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානියා වූයේ එම්.ඒ. සුමන්තිරන් මහතාය. හමුව සංවිධාන කොට තිබුණේ ඇමෙරිකානු තානාපතිවරියගේ නිල නිවෙසේදීය. මෙහිදී පැය කිහිපයක් පුරා දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවේදී උතුරු නැගෙනහිර බලය බෙදීම, ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ආණ්ඩුවට මුහුණ දීමට ඇති ගැටලු, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදිය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වී ඇති බවක්ද ආරංචිය. කෙසේ වෙතත් එම සාකච්ඡා සම්බන්ධයෙන් වැඩිදුර කිසිදු තොරතුරක් ආණ්ඩුව පැත්තෙන් හෝ දෙමළ ජාතික සන්ධානය පැත්තෙන් හෝ ඇමෙරිකානු තානාපතිවරියගේ පාර්ශ්වයෙන් හෝ එළියට නොපැමිණීම විශේෂ සිදුවීමක් විය.

සාකච්ජාවේ තොරතුරු බැසිල්ට ආ හැටි

කෙසේ වෙතත් එම සාකච්ඡාවේ තොරතුරු එළියට ආවේ පසුගිය සතියේ සිදුවූ එක්තරා විශේෂ සිදුවීමක් හරහාය. ඒ, පාර්ලිමේන්තුවේ ලොබියේදී සිදුවූ සිද්ධියක් මුල් කරගෙනය.

පසුගිය සතියේ පාර්ලිමේන්තු සැසිවාරය නිමවී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදුලි සෝපානයෙන් බැස එළියට පැමිණෙද්දී දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මහතා බැසිල්ට මුණගැසිණි. එහිදී බැසිල් දුටු සැණින් සුමන්තිරන් කියා සිටියේ ඉකුත් දිනෙකදී තමා සහ ජී.එල්. අතර විශේෂ හමුවක් ඇමෙරිකානු තානාපතිවරියගේ නිල නිවෙසේදී පැවැත්වුණු බවකි. ඊට බැසිල්ද ලබාදුන්නේ අපූරු පිළිතුරකි.

“ඔව් ඔව්, මටත් ඒක ආරංචියි. ජී.එල්. පීරිස් ඇමැතිතුමා මට සාකච්ඡාවෙ තොරතුරු ඔක්කොම කිව්වා….” යන්න බැසිල් එහිදී ලබාදුන් පිළිතුර විය.

විමුක්තිව අරන් ආ කසකාරයෝ

පසුගිය කාලය පුරා දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය කටකතාවලින් කියැවුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පුතණුවන් වන විමුක්ති කුමාරතුංග ලංකාවේ දේශපාලනයට පැමිණීමට සැලසුම් කරමින් සිටිනවා යැයි කියාය. විමුක්තිගේ මෙම ලංකාගමනය පිටුපස චන්ද්‍රිකාගේ දේශපාලන සමීපතමයකු ලෙස සැලකෙන මංගල සමරවීර මහතා සිටින බව වරෙක කියැවිණි. මංගල වරක් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීද ඒ බව නොනිල වශයෙන් කියැවී තිබිණි. මංගලට අමතරව බණ්ඩාරනායක පවුලේ තවත් සමීපතමයකු ලෙස සැලකෙන කුමාර වෙල්ගම මහතාද මීට සති කිහිපයකට ඉහතදී විමුක්තිගේ දේශපාලන ආගමනය පිළිබඳ ප්‍රසිද්ධියේම සඳහන් කර තිබිණි. වෙල්ගම ‘අපි ශ්‍රී ලංකා’ යනුවෙන් දේශපාලන පක්ෂයක් පිහිටෙව්වේද විමුක්තිව දේශපාලනයට රැගෙන ඒමේ බලාපොරොත්තුව සහිතවය.

චන්ද්‍රිකා පුතා ගැන කියපු කතාව

එසේම මීට මාසයකට පමණ ඉහතදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා හිටිහැටියේම ලන්ඩනය බලා පිටත්ව ගිය අතර, බොහෝ දෙනා ඒ අවස්ථාවේදී කියා සිටියේ එම සංචාරය අතරතුරදී විමුක්ති ලංකාවේ දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුම චන්ද්‍රිකා විසින් සිදුකරනු ඇතැයි කියාය. ඒ අනුව මෙරට මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය ජාලවලද විමුක්ති පිළිබඳ විවිධ පුවත් පළවන ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම චන්ද්‍රිකාට හිසරදයක් වන ආකාරයට ලන්ඩනයට පවා දුරකතන ඇමතුම් ලැබෙන ආකාරයක්ද දැකගත හැකි විය. ඒ අනුව චන්ද්‍රිකා කළේ වහාම ලන්ඩනයේ සිටම සිය ෆේස්බුක් පිටුවේ ඒ පිළිබඳ සටහනක් තබමින් විමුක්ති ලංකාවේ දේශපාලනයට පැමිණෙන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ප්‍රකාශ කර සිටීමය. පහත පළවන්නේ චන්ද්‍රිකා තැබූ එම සටහනය.

මාධ්‍ය නිවේදනයයි

විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පැතිර යන අසත්‍ය ප්‍රචාරය සම්බන්ධවයි.
විමුක්ති කුමාරතුංග ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල අසත්‍ය ප්‍රචාරයක් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා පැතිරෙන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් වන අතර එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමි. ඔහුට දේශපාලනයට පැමිණීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ ආසාවක් නොමැති අතර දේශපාලනය වෙනුවෙන් බණ්ඩාරනායකවරුන් සිදුකළ කැපකිරීම් සහ ලද පීඩාවන් ඔහුටද උරුම කරවීමේ කිසිදු අදහසක් මටද නොමැත.
ඔහු අප රටට බෙහෙවින් ආදරය කළද, රට වෙනුවෙන් සේවය කළ හැකි එකම ක්‍රමය දේශපාලනය නොවන බවද පවසනු කැමැත්තෙමි. එබැවින් මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන මෙන් සියලු‍ ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

මෙයට හිතවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

කවදාවත් නැතිව විමුක්තිත් නිවේදනයක් නිකුත් කරයි

එම සටහන තබා දින කිහිපයකට පසුව, එනම් ඉකුත් අඟහරුවාදා (10) දින චන්ද්‍රිකා නැවත ලංකාවට පැමිණියාය. එසේ චන්ද්‍රිකා ලංකාවට පැමිණ මොහොතක් ගතවීමට මත්තෙන් විමුක්තිගෙන්ද නිවේදනයක් නිකුත් විය. සාමාන්‍යයෙන් තමන් සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය පුරාම විවිධ පුවත් ලංකාවේ මාධ්‍යවල පළවුවද ඒ කිසිදු අවස්ථාවක විමුක්ති ඊට පිළිතුරු ලබාදෙමින් නිවේදන නිකුත් කිරීමට කටයුතු කර තිබුණේ නැත. නමුත් මෙවර විමුක්ති පළමු වතාවට තමන් ලංකාවේ දේශපාලනයට පැමිණීමේ පුවත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය. පහත පළවන්නේ එම නිවේදනයය.

ප්‍රබල දේශපාලන පවුලක පුතෙකු ශ්‍රී ලංකා දේශපාලන කරළියට පිවිසීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් පවතින බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ වාර්තාවලට මාගේ කිසිම සම්බන්ධයක් නොමැති බව තරයේ ප්‍රකාශ කරමි.
ඉකුත් වසර 21 පුරාවටත්, තවදුරටත් පශු වෛද්‍යවරයකු ලෙස මාගේ වෘත්තියටත් සහ පශු අක්ෂි වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥ පුහුණුව සඳහාත් සම්පූර්ණයෙන් කැපවී එක්සත් රාජධානියේ සේවය කරමින් සිටිමි.
මාගේ මාතෘ භූමියට මම ආදරය කරමි. මාගේ පෞද්ගලික හැකියාවන් තුළින් මා වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු පිළිබඳ අන් අය දැනුවත් කිරීම සහ ඒවා වෙනුවෙන් කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.
එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වීමට මාගේ කිසිම අදහසක් නොමැති බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටිමි. එම නිසා අනාගතයේ මා ශ්‍රී ලංකාවේ දේශපාලඥයකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් බැහැර කරන මෙන් සියලු‍ දෙනාගෙන් ඉල්ලා සිටිමි.
ගෞරවනීය, සරල සහ අප්‍රකට ජීවිතයක් ගත කිරීමට මා දැඩි උත්සාහයක් දරා ඇත. මාගේ පෞද්ගලිකත්වයට ගරුකරන මෙන් මම ශ්‍රී ලාංකේය මාධ්‍යවලින් සහ මහජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙයට
හිතවත්
වෛද්‍ය විමුක්ති කුමාරතුංග

බලපෑම් කළේ ලොකු අම්මා සුනේත්‍රා…

ඒ අනුව අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ විමුක්තිගේ දේශපාලන ගමන අත්හිටුවීමට ප්‍රධාන ලෙසම බලපෑම් කොට ඇත්තේ වෙන කවුරුවත් නොව චන්ද්‍රිකාගේ සොහොයුරිය වන සුනේත්‍රා බණ්ඩාරනායක බවය. විමුක්ති සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය තුළ පුවත් පළවද්දී ලන්ඩනයට කතාකොට ඇති සුනේත්‍රා, විමුක්තිට ලංකාවේ දේශපාලනයට සම්බන්ධ නොවන ලෙස දැඩිව බලපෑම් කොට ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. විමුක්ති අදාළ නිවේදනය නිකුත් කොට ඇත්තේ මෙම දැනුම්දීමෙන් පසුව බවද වාර්තා වේ.

දුමින්ද වැඩ බාර ගනී

විශේෂ ජනාධිපති සමාවක් හිමිව නිදහස ලැබූ දුමින්ද සිල්වා පසුගිය අඟහරුවාදා (10) දිනයේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස වැඩ භාරගත්තේය. මෙය පසුපස විවිධ සිදුවීම් රැසක් පැවැති බව මීට පෙර අවස්ථාවකදී අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ නිවාස සංවර්ධන අධිකාරිය අගමැතිවරයා යටතේ පවතින්නක් වීම නිසා එහි සභාපති ධුරයට මුලින්ම අගමැතිවරයා තමන්ට සමීප පුද්ගලයකු ලෙස සැලකෙන රේණුක පෙරේරා පත්කර තිබූ බවකි. නමුත් පසුව එම සභාපති ධුරය වෙනස් කරන බවට කටකතාවක් පැතිර යෑම හේතුවෙන් රේණුක වෙනුවට ගාමිණී අබේරත්න නොහොත් ටැක්සි අබේගේ බිරිය වූ චිත්‍රා මන්තිලක එම තනතුරට පත්කිරීමට අගමැතිවරයා තීන්දු කර තිබූ බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.

ඒ පිළිබඳ දැනුම්දීම කර තිබියදීත් සමාජ මාධ්‍ය ජාලවල හදිසියේම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අස්සනින් යුතුව සැරිසැරීමට පටන්ගෙන තිබූ ලිපියකින් එම තනතුරට දුමින්ද සිල්වා පත්කොට ඇති බව වාර්තා වීමත් සමග චිත්‍රා මන්තිලකගේ පත්වීමද යටගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.

මහින්ද යවපු ලියුමට මොකද වුණේ…

කෙසේ වෙතත් එම සිදුවීමෙන් පසුව අගමැතිවරයා කළේ අදාළ ආයතනය භාර අමාත්‍යවරයා ලෙසට එහි සභාපති තනතුරට දුමින්ද පත් නොකරන ලෙසටත්, අවශ්‍ය නම් දුමින්දට එම ආයතනයේ උපදේශක තනතුරක් ලබාදෙන ලෙසටත් ලිපියක් යොමු කිරීමය. අගමැතිවරයාගේ මේ ලිපිය හේතු කොටගෙන මුල් අවස්ථාවේදී දුමින්දව සභාපති ධුරයට පත් කෙරුණත්, එහි වැඩ භාරගැනීමක් සිදුවූයේ නැත. නමුත් හිටිහැටියේම පසුගිය අඟහරුවාදා දුමින්ද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වැඩ භාරගැනීමත් සමග මේ වන විට ගැටලු කිහිපයක්ම මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඉන් පළමුවැන්න වී ඇත්තේ අගමැතිවරයා විසින් යවන ලද ලිපියට කුමක් වීද යන්නය. දෙවැන්න එවැනි ලිපියක් යොමුකොට තිබියදීත් දුමින්දට වැඩ භාරගන්නා ලෙසට දැනුම් දුන්නේ කවුරුන්ද යන්නය. තවමත් මේ ගැටලුවලට පිළිතුරු ලැබී ඇති බවක් දැකගන්නට නැත.

ගම්මන්පිලට බාලගිරි දෝසය ඇවිත්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ වන විට සිටින්නේ දින 14ක නිරෝධායනයකට ලක්වය. අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීම ගම්මන්පිලගේ මේ හදිසි නිරෝධායනයට හේතුවී තිබිණි. කෙසේ වෙතත් මෙම සිදුවීම වාර්තා වීමට සතියකට පමණ පෙරදී ගම්මන්පිල සැලසුම් කරමින් සිටියේ තමන්ට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංගය යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් පරාජයට පත්කිරීමට සහාය දුන් ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන්ට සුපිරි පන්නයේ රාත්‍රී භෝජනය සංග්‍රහයක් පිරිනැමීමටය. ඒ අනුව අගෝස්තු 05 වැනි දින ඒ සඳහා තෝරාගත් ගම්මන්පිල තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක් වන ‘ග්‍රෑන්ඩ් මොනාක්’ වෙන් කිරීමටද පියවර ගෙන තිබිණි.

ඉන් අනතුරුව ගම්මන්පිල කළේ ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන්ට වට්ස්ඇප් පණිවුඩයක් යවමින් මෙම සාදය සඳහා ආරාධනා කර සිටීමය. එමෙන්ම අවසන් වරට පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නිල වශයෙන් මෙම ආරාධනාව කිරීමට ගම්මන්පිල පියවර ගත්තේය. නමුත් හදිසියේම තමන්ට නිරෝධායනය වීමට සිදුවූ බැවින් ගම්මන්පිල යළිත් වතාවක් සියලුම මැති ඇමැතිවරුන්ට වට්ස්ඇප් පණිවුඩයක් යවමින් කියා සිටියේ එම රාත්‍රී භෝජන සංග්‍රහය ලබන 19 වැනිදා දක්වා කල්දැමීමට පියවර ගත් බවකි. ඒ අනුව මන්ත්‍රීවරුන්ද සිතා සිටියේ ගම්මන්පිලගේ සාදය 19 වැනිදා හෝ පැවැත්වෙනු ඇතැයි කියාය. නමුත් ඊටද කණකොකා හැඬූ බවක් දැකගන්නට ලැබුණේ පසුගිය බ්‍රහස්පතින්දා (12) ගම්මන්පිල විසින් යැවූ තවත් වට්ස්ඇප් පණිවුඩයක් හේතු කොටගෙනය. එහිදී ගම්මන්පිල සඳහන් කර තිබුණේ කොරෝනා හේතුකොටගෙන තමන්ගේ සාදය දින නියමයකින් තොරව කල් දැමීමට පියවර ගත් බවකි. එම වට්ස්ඇප් පණිවුඩය මෙසේය.

හිතවත් මන්ත්‍රීතුමනි/තුමියනි,
රටේ පවතින දැඩි වසංගත තත්ත්වය හේතුවෙන් අගෝස්තු 19 දිනට සංවිධාන කර තිබුණු සාදය දින නියමයකින් තොරව කල්දැමීමට සිදුවිය. කල්දැමීම හේතුවෙන් යම් අපහසුතාවක් සිදුවුණි නම් ඒ පිළිබඳ කනගාටු වෙමි.
උදය ගම්මන්පිල

රනිල් ෂවේන්ද්‍රගෙන් ඉල්ලන් කයි!

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සාමාන්‍යයෙන් ප්‍රචලිතව ඇත්තේ ආරක්ෂක අංශ සමග උපන්ගෙයි වෛරයක් ඇත්තෙකු ලෙසටය. යුද්ධය පැවැති සමයේ හෝ වේවා, යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව හෝ වේවා රනිල් කෙදිනකවත් හමුදා රණවිරුවන් ප්‍රශංසාවට ලක්කරමින් කළ කතාවක් කවුරුන්වත් අසා නැත. එදා සිටම රනිල් කළේ රණවිරුවන්ට එරෙහි ප්‍රකාශයන්ය. මෙවරත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිදුකළ පළමු කතාවෙන්ම රනිල් කළේ කොරෝනා මර්දනය කිරීම සඳහා හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති කාර්යසාධක බළකායට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමය. එහිදී රනිල් කියා සිටියේ එම කමිටුව අසාර්ථක බවත්, එහි වගකීම අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පැවරිය යුතු බවත්ය.

මේ ආකාරයටම රනිල් පසුගිය සතියේ නැවත වතාවක් හමුදාපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක අංශවලට එන්නත්කරණය සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් එල්ල කළේය. එහිදී රනිල් කියා සිටියේ එන්නත්කරණය ආරක්ෂක අංශවලට භාරදීම හරහා සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවත්, සිදුවන මෙම සියලු කරුණවලට කොවිඩ් කාර්යසාධක බළකායේ ප්‍රධානියා වශයෙන් හමුදාපතිවරයා වගකිව යුතු බවත්ය.

රනිල්ට එන්නත දුන්නේ කව්ද?

රනිල්ට අනුව යමින් පක්ෂ මහලේකම්වරයා වූ රංගේ බණ්ඩාරද, සභාපතිවරයා වූ වජිර අබේවර්ධනද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරමින් එම ප්‍රකාශය සාධාරණීකරණය කිරීමට පියවර ගත්හ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුගිය සතියේදී හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහනුවරදී විශේෂ ප්‍රකාශයක් කිරීමට පියවර ගත්තේය. එම ප්‍රකාශය හරහා හමුදාපතිවරයා රනිල්ට උත්තර දුන්නා පමණක් නොව, මෙතෙක් ජනතාව නොදැන සිටි කරුණක්ද රටට හෙළිදරව් කිරීමට පියවර ගත්තේය. ඒ, රනිල් මෙපමණ හමුදාවට බැණවැදුණද පළමු අදියරේදී යුද හමුදා රෝහලට පැමිණ රනිල් කොරෝනා එන්නත ලබාගත් බවය. සාමාන්‍යයෙන් පළමු අදියරේදී මැති ඇමැතිවරුන්ට පමණක් යුද හමුදා රෝහලේදී කොරෝනා එන්නත ලබාදුන්නද ඒ වන විට මන්ත්‍රීවරයකුව හෝ නොසිටි රනිල් කොරෝනා එන්නත ලබාගත්තේ කෙසේද යන්න අදටත් පිළිතුරු නොමැති ගැටලුවක් බවට පත්ව ඇත. ඒ කෙසේ වෙතත් යුද හමුදාපතිවරයා මහනුවරදී රනිල්ට අභියෝග කරමින් කියා සිටියේ මෙවැනි කතාවකි.

“ශ්‍රී ලංකාවේ ජනතාව යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සිදුකරනු ලබන එන්නත්කරණය පිළිබඳ විශාල ප්‍රසාදයක් පළකර තියෙනවා. එවන් විශාල ප්‍රසාදයක් පළකර සිටින අවස්ථාවක එක් පුද්ගලයෙක් පමණක් මෙම ක්‍රියාවලිය විවේචනයට ලක්කිරීම පිළිබඳ මෙවැනි කාලයක මුළු රටේම ජනතාව දැනගත යුතු කාරණය තමා ඒ ත්‍රිවිධ හමුදාව විවේචනය කරන හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ එන්නත ශ්‍රී ලංකා යුද හමුදාවේ නාරාහේන්පිට රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයට ඇවිල්ලා ලබාගත්තා. ඒ වාගේම කාර්යසාධක බළකායේ ප්‍රධානියා වෙන්නේ අතිගරු ජනාධිපතිතුමා. මේ කාර්යසාධක බළකායේ මෙරට සෞඛ්‍යයට සම්බන්ධ අමාත්‍යවරියන් දෙදෙනා සහ අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිප පොළක්ම ඉන්නවා. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා සහ විශේෂඥ වෛද්‍යවරු කිහිපපොළක්ම ඉන්නවා. ඉතින් අතිගරු ජනාධිපතිතුමා මෙහිදී කිසිම අකාරයකින් තනි තීරණ ගන්නේ නෑ. ඒ නිසා විවිධ විවේචන එල්ල වුණත් ඇත්ත මේකයි. අපි හැකි ඉක්මනින්ම කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කරනවා” යැයි යුද හමුදාපතිවරයා කියා සිටියේය.

සජිත් එන්නත ගහගත්තේ කොහොමද?

මේ ආකාරයට රනිල් එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් යුදහමුදාපතිවරයා විසින් විශේෂ රහසක් එළිකරද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එන්නත ලබාගැනීම සම්බන්ධයෙන්ද පසුගිය සතියේදී මහත් ආන්දෝලනයක් පැනනැගී තිබිණි. ඊට මුල් වූයේ රටේම ජනතාවට එන්නත ලබාදීමෙන් අනතුරුව තමන් එන්නත ලබාගන්නා බවට සජිත් ප්‍රකාශ කර තිබියදීත් එම ඉලක්කයට යෑමට පෙර සජිත් විසින් එන්නත ලබාගැනීමය. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අමාත්‍යවරයකු පසුගිය සතියේ ප්‍රසිද්ධියේම අදහස් දැක්වීමට පියවර ගෙන තිබීම මේ අර්බූදයට හේතුවී තිබිණි.

ඇත්ත වශයෙන්ම ආණ්ඩුව සියලු මැති ඇමැතිවරුන්ට එන්නත ලබාගන්නා ලෙසට පළමු වටයේ උපදෙස් ලබාදෙද්දී සජිත් කියා සිටියේ ජනතාවට එන්නත ලබාදෙන තෙක් තමන් එන්නත ලබා නොගන්නා බවකි. ඒ කිව් ආකාරයටම සජිත් එන්නත ලබාගත්තේ නැත. ඒ නිසාම සජිත්ට කොරෝනා රෝගය ආසාදනය විය. එහිදී ඔහුගේ තත්ත්වය තරමක් අවදානම්සහගත වූ බවටද වාර්තා පළවිය. ඒ අනුව වෛiවරුන් විසින් සජිත්ට උපදෙස් ලබාදී තිබුණේ ඩෙල්ටා ප්‍රභේදය යම් හෙයකින් ආසාදනය වුවහොත් තත්ත්වය බරපතළ වන බවත්, එම නිසා වහාම කොරෝනා එන්නත ලබාගන්නා ලෙසත්ය. ඒ අනුව සජිත් පසුගිය සතියේ එන්නත ලබාගත් අතර එය රටට නොසඟවා ප්‍රසිද්ධියේම තම ට්විටර් ගිණුමේ පළකරමින් රටට දැනුම් දීමටද කටයුතු කළේය. එසේ සජිත් එන්නත ලබාගන්නා විට රටේ ජනතාවගෙන් එක්කෝටි විසි ලක්ෂයකට, එනම් 60%කට ආසන්න ප්‍රමාණයකට එන්නත ලබාදී තිබීමද විශේෂ සිදුවීමක් විය.

එතකොට ජනපති අගමැති එන්නත් ගැහුවේ කවද්ද?

කෙසේ වෙතත් ආණ්ඩුව පැත්තෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමත් සමග පසුගිය සතියේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ඊට පිළිතුරු ලබාදීමට පියවර ගත්තේය. එහිදී කිංග්ස් කියා සිටියේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සජිත්ගේ එන්නත් ලබාගැනීම ප්‍රශ්න කළද, කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ ඇමැතිවරුන් එන්නත ලබාගත් දිනය හෝ ලබාගත්තේ කුමන එන්නතද යන්න හෝ ප්‍රසිද්ධියට පත් නොකළ බවය. නමුත් සජිත් තමන් එන්නත ලබාගත් බව ප්‍රසිද්ධියට පත් කළ බවත්, එවැන්නක් ප්‍රකාශයට පත්කොට ඇත්තේ ඉන්දියාව, ඇමෙරිකාව වැනි රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් පමණක් බවත් එහිදී කිංග්ස් නෙල්සන් කියා සිටියේය.

ඔසීගේ පුතා පාස්කු රහස් හෙළි කරයි!

ආණ්ඩුව බලයට පත්වූයේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට හැකි ඉක්මනින් දඬුවම් ලබාදෙන බවට රට හමුවේ ප්‍රතිඥා ලබාදෙමිනි. එම ප්‍රතිඥාවට අනුව යමින් ආණ්ඩුව පසුගිය සතියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් විසිපස් දෙනකුට එරෙහිව අධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකිරීමට පියවර ගත්තේය. ඒ බව දැනුම් දෙමින් පසුගිය සතියේ ආණ්ඩුව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට ලිපියක් පවා යොමුකිරීමට පියවර ගත්තේය.

කෙසේ වෙතත් ආණඩුව මේ ආකාරයට පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට අධි චෝදනා ගොනුකරද්දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් අතිවිශේෂ කරුණු රැසක් පසුගිය සතියේ හෙළිදරව් කිරීමට එක්තරා පුද්ගලයකු පියවර ගත්තේය. ඒ, අන් කිසිවකුවත් නොව ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වූ නීතිඥ අසංග අබේගුණසේකරය. මේ අසංග යනු වෙන කවුරුවත් නොව හිටපු අමාත්‍ය ඔසී අබේගුණසේකර මහතාගේ එකම පුත්‍රයාය. පසුගිය සතියේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අසංග මෙම හෙළිදරව්ව සිදුකර තිබිණි. එහිදී ප්‍රහාරයට පෙර තමන් විසින් සහරාන්ගේ කණ්ඩායමෙන් ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ලවිය හැකි බවට 2018 ජනවාරි මාසයේ වාර්තාවක් සකස් කොට “ජනාධිපතිවරයාගේ ඇස්වලට පමණයි” යන හිසින් යුතුව හිටපු ජනාධිපතිවරයා වෙත යොමු කළ බවත්, එය ආරක්ෂක ලේකම්වරයා හරහා ලබාදුන් බවත් අනාවරණ කර සිටියේය. නමුත් පසු අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් හිටපු බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසූ විට තමන්ට ජනාධිපතිවරයා ‘අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න එපා’ යනුවෙන් ජනාධිපතිවරයා කී බව නිලන්ත තමන්ට පැවසූ බවත් අසංග කියා සිටියේය. එමෙන්ම කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ප්‍රහාරය සිදුවන දින උදෑසන එක්තරා නිලධාරියකු නිලන්තට කතා කොට අද ප්‍රහාරයක් සිදුවන බව ප්‍රකාශ කර ඇති බවත්, එම ඉන්දීය ජාතිකයා තමන්ද හොඳින් හඳුනන බවත්, ඔහු පිළිබඳ පාස්කු කොමිසමට අනාවරණ කිරීමට සූදානම් වූ විට එය වැළැක්වූ බවත් අසංග එහිදී තවදුරටත් කියා සිටියේය. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී තමන්ද ෂැංග්‍රිලා හෝටලයේ උදෑසන ආහාරය ගත් බවත්, අදාළ ඉන්දීය ජාතිකයා ඒ බව දැනගත් විට එවැන්නක් දන්නේ නම් තමන්ටද කතා කොට ප්‍රහාරය පිළිබඳ දැනුම්දෙන බව කියා සිටි බවත් අසංග වැඩිදුරටත් කියා සිටියේය. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයෙන් පසුව තමන්ව ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයෙන් ඉවත් කිරීමට යම් කුමන්ත්‍රණයක් දියත් වූ බවත් එහිදී අසංග වැඩිදුරටත් චමුදිත සමග හෙළිදරව් කර සිටියේය. ඊට අමතරව තවත් ආන්දෝලනාත්මක කරුණු රැසක්ද අසංග මෙම සාකච්ඡාවෙදී අනාවරණ කිරීමට පියවර ගෙන තිබිණි.

සාකච්ජාව දුන් ගමන් අමෙරිකා ගිහින්!

කෙසේ වෙතත් අසංග මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සිදුකළේ නිකම්ම ආවාට ගියාට නොවේ. මක්නිසාද යත් මෙම හෙළිදරව්වෙන් පසු තමන්ට ජීවිත තර්ජනයක් පැමිණිය හැකි බව අසංගට වැටහී තිබිණ. ඒ අනුව අසංග මෙම හෙළිදරව්ව කිරීමට කලක සිට සැලසුම් සකස් කළේය. අසංග මෙම හෙළිදරව්ව කළේ ලංකාව හැරදා ඇමෙරිකාව බලා පිටත්ව යෑමට පැය කිහිපයක් තියාය. එම ගමනට අවශ්‍ය ලියකියවිලි, ගුවන් ප්‍රවේශපත්‍ර සියල්ල අතට ලබාගැනීමෙන් පසුව මෙම පටිගතකිරීම සිදුකළ අසංග තමන් රටින් පිටවූ පසු මෙය ප්‍රකාශයට පත්කරන ලෙස චමුදිතගෙන් ඉල්ලීමක් කිරීමටද පියවර ගත්තේය. ඒ අනුව මෙම සම්මුඛ සාකච්ඡාව චමුදිත ප්‍රසිද්ධියට පත් කළේද අසංග රටින් පිටවූ බව තහවුරු කරගැනීමෙන් අනතුරුවය. ඒ අනුව මේ වන විට අපට දැනගන්නට ඇත්තේ ඇමෙරිකාවට පිටත්ව යෑමෙන් පසුවද මේ ආකාරයේ තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්කිරීම් රැසක් සිදුකිරීමට අසංග සූදානමින් සිටින බවකි.

කපිල පුංචිමාන්නගේ


SendShareShare
Previous Post

දැන් දිනකට රෝගීන් 30,000ක් සමාජයේ! ආචාර්ය ජීවන්දරගෙන් අතිභයානක හෙළිදරව්වක්!

Next Post

අසල්වැසියන්ට වැළඳුණු කොරෝනාවෙන් දරුවා බේරාගන්න මියගිය පියාගේ ආත්මය එයි…

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.