විපක්ෂය මේ දවස්වල ඉන්නේ එක එක තාලයේ ලස්සන හීන දකිමින්ය. එහෙම දකින ලස්සන එක හීනයක් වන්නේ ගෝඨාභය 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ කියන එකය. ඒ නිසා 2024 ජනාධිපතිවරණයට පොහොට්ටුවට අපේක්ෂකයකු සොයා ගන්නට බැරි ලොකු අර්බුදයක සිටින බවට විපක්ෂය හීන දකිමින් සිටී.
විපක්ෂය දකින දෙවැනි හීනය වන්නේ විමල් ඇතුළු කණ්ඩායම ආණ්ඩුවෙන් කැඩී වෙනම කණ්ඩායමක් ලෙස විපක්ෂයේ වාඩිවෙතැයි කියාය. ඒ හරහා විමල් පමණක් නොව ශ්‍රීලනිපය ඇතුළු සන්ධානයේ සුළු පක්ෂද ආණ්ඩුවෙන් ඉවත්ව යනු ඇති බවට විපක්ෂය සිහින දකිමින් සිටී. එසේ වෙනම පැමිණ 2024 ජනාධිපතිවරණයට විමල් ඇතුළු සන්ධානය විපක්ෂයේ අපේක්ෂකයාට සහාය දක්වනු ඇති බවද විපක්ෂය මේ දකින හීනවලින් පෙනෙනවා වන්නට පුළුවන.
විපක්ෂය දකින තුන්වන හීනය වන්නේ ආර්ථිකය නන්නත්තාර වී මිනිස්සු කන්න බොන්න නැතිව පාරේ හිඟාකනවා වගේ එකකි. 2024 වන විට ලංකාව ඉතියෝපියාව තත්ත්වයට වැටී පාන් කියාගන්න බැරි තැනට පත්වනු ඇති බව විපක්ෂයට මේ හීනෙන් පෙනනවා ඇත.
විපක්ෂය මෙහෙම 2024 ගැන දවල් හීන මවද්දී විපක්ෂයට අමතකව ඇති එක දෙයක් තිබේ. ඒ මීටත් වඩා අමරු සහ අසීරු ආර්ථික, දේශපාලන අර්බුදවලට මේ රට මුහුණ දීලා තියෙනවා කියන එකය.
ඒකට හොඳම උදාහරණය 2001ය. 2001 වන විට ලංකාවේ ආර්ථිකය තිබ්බේ ඍණ තත්ත්වයේය. එල්.ටී.ටී.ඊ.ය උඩින් ඇවිත් කළ පහරදීම් හේතුකොටගෙන කටුනායක ගුවන් තොටුපොළ තිබුණේ වසා දමලාය. කිසිම සංචාරකයෙක් ලංකාව පැත්ත පළාතේ පස් පෑගුවේ නැත. වරායට ප්‍රහාර එල්ල කර තිබූ නිසා විදෙස් රටවල් කොළඹ වරායට තමන්ගේ වෙළෙඳ නෞකා එවන්න බිය විය. විදෙස් රක්ෂණ සමාගම්ද ලංකාවට එන නැව්වලට පවා රක්ෂණ අධිභාරයක් පැනවීමට පියවර ගත්තේය. මේ නිසා විදෙස් නෞකා ලංකාව පැත්ත පළාතක පැමිණියේ නැත.
මේ නිසා හැමෝම හිතුවේ ලංකාවට ආයෙමත් කන්න නැතුව 70-77 වගේ පෝලිම් යුගයක් පැමිණෙතැයි කියාය. මිනිස්සු හිස් මළු අතේ තියාගෙන පාන්දර දෙකේ තුනේ ඉඳන් කඩවල් ඉදිරිපිට ඇනතියන් ඉඳීවි යැයි කියාය. කන්න නැතුව ලංකාවෙ මිනිස්සු පාරට බැස කැරලි ගසන තත්ත්වයට එයි කියාය.
හැබැයි එහෙම වුණේ නැත. ඒ වෙලාවෙ ලංකාවේ පිහිටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත් ආවේය. එම ආයතන දෙක ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදුන්නේය. මුදල් ලබාදුන්නේය. ඒකෙන් ලංකාව වැටෙන්න ගිය අමාරුවෙන් ගොඩ ආවේය.
මේ විදිහටම 1998දීත් ලංකාවට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවිය. ඒ මුළු ලෝකෙටම බලපෑ භයානක ආර්ථික අවපාතය මුල්කරගනය. ඒ ලෝක ආර්ථිකයේ බලපෑමෙන් මිදීමට ලංකාවට නොහැකි විය. ඒ වෙලාවේත් බලයේ හිටියේ මහින්දලාගේ ආණ්ඩුවක්ය. හරියට දෙකොන පත්තුවෙන විලක්කුවක් වගේ එක පැත්තකින් ලෝක ආර්ථික අර්බුදය එද්දී අනෙක් පැත්තෙන් කොටින් එක්ක යුද්ධ කරන්නටත් ආණ්ඩුවට සිදුවිය.
ඒ කාලෙත් අද වගේම රටවල්වල ආර්ථිකය ගැන පුරෝකථන දෙන ජාත්‍යන්තර ආයතන වන මූඩීස්, ෆිච් රේටින්, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් වගේ ආයතන අනාවැකි පළකළේ ලංකාවේ ආර්ථිකය බලාගෙන ඉද්දී බිමට කඩන් වැටෙනවා යැයි කියාය. අද වගේම එදත් විපක්ෂය මේ ජාත්‍යන්තර ආයතනවලින් දුන් වට්ටෝරු ඒ විදිහටම ගිල ආණ්ඩුව අද වැටෙනවා, හෙට වැටෙනවා යැයි කියමින් පම්පෝරි ගැසූහ. හැබැයි ඒ ආයතන කියපු කිසි දෙයක් මේ මහපොළොවේ සිදුවූයේ නැත. ඒ අමාරු තැන් හොඳින් කළමනාකරණය කරගෙන ආණ්ඩුව ඉස්සරහට අරගෙන යන්නට එදා මහින්දලාට හැකි විය.
එදා වගේම අදත් සිද්ධ වෙන්න යන්නේ ඒකය.
ඒ නිසා 2021 අන්තිම වෙද්දී රටේ ආර්ථිකය බින්දුවටම වැටෙයි කියල හීන දකින විපක්ෂයට, 2024 වෙද්දී පාන් කියාගන්න බැරි තැනට රට වැටෙනු ඇති බවට හීන දකින විපක්ෂයට ඒ හීන කවදාවත් හැබෑ වෙනවා දකින්න ලැබෙන්නේ නැත. මොකද ඊට බලපාන ප්‍රධාන හේතු දෙකක් මේ වන විටත් ගොඩනැඟී අවසානය.
පළමු හේතුව වන්නේ 2025 වෙනකොට වැඩකටයුතු අවසන් වීමට නියමිත කොළඹ වරාය නගර ව්‍යාපෘතියය. එදා මෙදාතුර ඉතිහාසයේ දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය ලෙස සැලකෙන්නේ මෙම වරාය නගර ව්‍යාපෘතියය. ඒ හරහා ලංකාවේ ඩොලර් බිලියන ගණනින් ආයෝජන සිදුවීමට නියමිතය. රැකියා ලක්ෂ ගණන් නිර්මාණය වීමට නියමිතය. මේ රටේ ආර්ථිකයේ විශාලතම පිම්ම පැනීමට නියමිතව තිබෙන්නේ මෙම වරාය නගරයේ වැඩ අවසන් වීමත් සමඟය. ඒ විදිහට බලද්දී මේ රටේ ජනතාවට වරාය නගරයේ විශ්මකර්මය ඇස්වලින් දැකබලා ගැනීමට ලැබෙන්නේ 2024 ජනාධිපතිවරණය කටමුල තියාය.
අනෙක් අතට විපක්ෂය සිතාගෙන සිටින්නේ කොරෝනා අර්බුදය හේතුකොටගෙන රටේ ආර්ථිකය නන්නන්තාර වේ යැයි කියාය. නමුත් ජාත්‍යන්තර විශේෂඥයන් දැනටමත් අනාවැකි පළකොට ඇත්තේ තව අවුරුද්දක් පමණ යද්දී කොරෝනා අර්බුදය ලෝකයෙන් සදහටම තුරන් වනු ඇතැයි කියාය. ඒ අනුව 2024 ජනාධිපතිවරණයට දින ළං වීමට කලින් ගුවන් සේවා යළිත් ආරම්භ වී සංචාරක කර්මාන්තය පරණ තිබූ තත්ත්වයටම පත්වනවා නිසැකය. ඒ කියන්නේ 2024 වෙද්දී ලංකාවත්, ලෝකයත් පරණ තිබ්බ තැනටම පත්වෙනවා කියන ඒකය.
එතකොට ජනාධිපතිවරණය පවත්වද්දී වරාය නගරය වැඩ අවසන් වී කොරෝනාත් නිමාවී ලංකාව ආර්ථික, දේශපාලන වශයෙන් දැවැන්ත පිම්මක් පැන අවසන්ය.
අනෙක් අතට කවුරු කොහොම කිව්වත් පසුගිය ජනාධිපතිවරණවලදී වුණා වගේම 2024 ජනාධිපතිවරණයේදීත් අපේක්ෂකයා කවුරුන්ද යන්න කියා තීරණය කරන්නේ වෙන කවුරුත් නොව රාජපක්ෂ පවුලය. රාජපක්ෂවරු පරදින්න බලාගෙන අපේක්ෂකයෝ සටනට දාන පවුලක් නොවේ. ඒ නිසා 2024 වෙද්දී විශාල ආර්ථික පිම්මක් පැන රාජපක්ෂවරුන් ජනාධිපතිවරණයේ අපේක්ෂකයා නම් කරද්දී විපක්ෂයට වෙන්නේ තව අවුරුදු පහක් විපක්ෂයේම ඉන්න හිත හදාගෙන තරගයට එන්නටය.
විමලසිරි ජයලත්