පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි ශ්‍රීලනිපයත් – පොහොට්ටුවත් අතර අලුතින් ගොඩනඟා ගත් සන්ධානය වූ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය පිළිබඳ තොරතුරු පාඨකයන් වෙත රැගෙන ඒමට කටයුතු කළෙමු. එහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුඵ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් එම සන්ධානයේ සභාපති තනතුර මෛත්‍රිට ලැබීම මුල්කර ගෙන මහ ඉහළින් අදහස් දැක්වූවත්, අප මෙම තීරය ඔස්සේ කියා සිටියේ මෙම නව සන්ධානය කිසිදු බලයක් නොමැති නාමික එකක් බවත්, අවම වශයෙන් එය මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කළද ඊට ලකුණක් හෝ නොමැති බවත්, ශ්‍රීලනිපයට තරග කිරීමට වන්නේ ශ්‍රීලංකා නිදහස් පෙරමුණ සමඟ පොහොට්ටුව ලකුණ යටතේ බවත්ය. අප පසුගිය සතියේ එසේ කියා සිටියේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසම වෙත ගොස් මාධ්‍ය හමුවේ මෙම නව සන්ධානය පිළිබඳ මහත් වර්ණනාවකින් යුතුව කතා කරමින් මාධ්‍ය සන්දර්ශන පැවැත්වූ පසුබිමකය.
අපි කියපු කතාව 100%ක් හරි: ප්‍රසන්න මෛත්‍රිට පඹයා කියයි
කෙසේ වෙතත් අප කී කරුණු සියයට සියයක්ම සත්‍ය බව පසුගිය සතියේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් මෙන්ම දයාසිරි ජයසේකර මහතාම ප්‍රවෘත්ති සාකච්ඡාවලදී මතු කළ කරුණුවලින් පැහැදිලිව දැක ගත හැකිවිය. මෙහිදී ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග මහතාත්, රොෂාන් රණසිංහ මහතාත් අවස්ථා දෙකකදී අදහස් දක්වමින් කියා සිටියේ මෙම නව සන්ධානය නාමික එකක් බවත්, මෛත්‍රිට එහි සභාපති තනතුර දුන්නද ඊට කිසිදු බලයක් නොමැති බවකි. “ඉස්සර අපි කුඹුරෙ ගොයම් ටික ආරක්ෂා කරගන්න ඕනෑ වුණාම පඹයෙක් හිටවනවා. ඒ පඹයට කිසිම දෙයක් කරන්න බෑ. ඔහේ හිටවලා තියෙන එක විතරයි කරන්නේ. මෛත්‍රිපාල මහත්තයාට දීලා තියෙන සභාපතිකමත් ඒ වගේ තමයි. නිකම් නමට ඒක දීලා තියෙන්නේ අපේ ඡන්ද ටික ආරක්ෂා කරගන්න” යනුවෙන් ප්‍රසන්න එහිදී කියා සිටි අතර රොෂාන් රණසිංහ කියා තිබුණේ මෛත්‍රිට දී ඇති සභාපති තනතුර ගමේ මරණාධාර සමිතියක සභාපති තනතුරටත්, වඩා පහළ මට්ටමේ එකක් යැයි කියාය.
දයාසිරිත් ඇත්තම කතා කරයි
එමෙන්ම එදා මැතිවරණ කොමිසම හමුවී මහ ඉහළින් මෛත්‍රිගේ සභාපති තනතුර පිළිබඳ කතා කළ දයාසිරි පසුගිය සතියේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අප කී කරුණු ඒ ආකාරයෙන්ම තහවුරු කිරීමට පියවර ගෙන තිබිණි. “මම එදා මැතිවරණ කොමිසමට ගියේ අපේ නව සංවිධානය පිළිබඳ කොමිසමට දැනුම් දෙන්නයි. කොහොම වුණත් මේ අලුත් සන්ධානයට සලකුණක් නෑ. ඒක සන්ධානයක් විදියට මැතිවරණ ලියාපදිංචි කිරීමක් විතරයි කරන්නේ. අපි මහ ඡන්දෙදි තරග කරන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණෙන්. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒකේ කිසිම තැනක නැහැ...’ යනුවෙන් කියමින් එහිදී දයාසිරි අප කී කතාවම තහවුරු කර සිටියේය. කෙසේ වෙතත් මෛත්‍රිට නව සන්ධානයේ නාමික වශයෙන් හෝ සභාපති ධුරය ලබාදීම මූලික කරගෙන පොහොට්ටුවේ නිර්මාතෘවරයා වූ බැසිල්ටත්, අගමැති මහින්දටත් පසුගිය සතියේ කිසිදු ඉස්පාසුවක් නොවීය. ඊට හේතු වූයේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙන්ම පොහොට්ටුවේ ආසන සංවිධායකවරුන් විශාල පිරිසකගේ විරෝධය ඒ සම්බන්ධයෙන් බැසිල්ටත්, මහින්දටත් ඉදිරිපත් වීමය. මෙහිදී මහින්දටත් වඩා බැසිල්ට මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර සිටි මැති ඇමැතිවරුන් හා ආසන සංවිධායකවරුන් පෙන්වා දී තිබුණේ තමන්ට මෛත්‍රිගේ නම පාක්ෂිකයන් හමුවේ කීමටවත් නොහැකි බවත්, මෛත්‍රි කෙරෙහි දැඩි වෛරයක් පොහොට්ටුවේ පාක්ෂිකයන් තුළ ඇති බවත්ය. ඒ නිසා ජාතික මට්ටමේ මැතිවරණ ව්‍යාපාරයෙන් හැකි තාක් දුරට මෛත්‍රිව ඉවත්කර තබන ලෙසද ඔවුහු එහිදී බැසිල්ගෙන් ඉල්ලා සිටීමට පියවර ගත්හ. මේ විරෝධතා සම්බන්ධයෙන් අවසානයේදී බැසිල්ද ඔවුන්ට කියා තිබුණේ මෛත්‍රිගේ මැතිවරණ ව්‍යාපාරය පොළොන්නරුවට පමණක් සීමා වන බවත්, ඉන් පිටත කිසිදු වේදිකාවකට මෛත්‍රි ගෙන ඒමට සැලැසුම් කොට නොමැති බවත්ය. කෙසේ වෙතත් තමා සම්බන්ධයෙන් පොහොට්ටුව ඇතුළේ මතුවෙමින් පවතින විරෝධය පසුගිය සතිය වනවිට මෛත්‍රිටද නොදැනුණා නොවේ. මේ නිසා මෛත්‍රි පසුගිය සතියේ හිටිහැටියේම කළේ වැඩිය එළිපහලියට ඒමෙන් වැළකී පොළොන්නරුවේ සිය ඡන්ද සටන සැලැසුම් කිරීමය.
මෛත්‍රීගේ ස්ලෝගන් එක “අපට-රටට මෛත්‍රි”
ඒ අනුව ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇති තොරතුරුවලින් වාර්තා වන්නේ එදා මෙදා තුර කිසිදු දේශපාලකයකු නොකළ ආකාරයේ අති දැවැන්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් පොළොන්නරුවේ කිරීමට මෛත්‍රි සැලසුම් කර ඇති බවය. ඒ සඳහා කිසිදු දේශපාලකයකු වැය නොකළ ආකාරයේ අති දැවැන්ත මුදලකුත් වැය කිරීමට මෛත්‍රි දැනටමත් සැලැසුම් කර ඇති බවද ආරංචිය. කෙසේ වෙතත් මෙම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දැනගන්නට ඇති විශේෂම ලක්ෂණය වන්නේ පොළොන්නරුවට පමණක් නොව මුඵ රටටම දැනෙන පරිදි, නැතිනම් මුඵ රටම ආවරණය වන පරිදි එය සිදුකරන ලෙසට මෛත්‍රි විසින් උපදෙස් ලබාදී තිබීමත්ය. ඒ අනුව මෛත්‍රිගේ මෙවර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ “ස්ලෝගන්” එක හෙවත් තේමා පාඨය පවා සොයාගැනීමට රාජ්‍ය රහස් තීරයට හැකිවිය. මෛත්‍රි එය නම් කර ඇත්තේ “අපට-රටට මෛත්‍රි” යනුවෙනි. කෙසේ වෙතත් මේ ආකාරයට මෛත්‍රි පොහොට්ටු සාමාජිකයන්ගෙන් මඩ කාගෙන, අවමන් විඳගෙන ඒ අස්සේම රිංගාගෙන පාර්ලිමේන්තුවට ඒමට මෙපමණ දඟලන්නේ ඇයි? ඒ වෙන කිසිවක් නිසා නොව මෛත්‍රි මේ හදන්නේ කෙසේ හෝ රාජපක්ෂවරුන්ගේ පොහොට්ටුව ලකුණින් පාර්ලිමේන්තුවට පැමිණ තමන්ට නිසි අවස්ථාවක් යළිත් එනතුරු ආණ්ඩුව ඇතුළේ කල්මරමින් සිටින්නටය.
මේ සැරේ ගහන්න යන යටිකූට්ටු ගේම
පසුගිය අවුරුදු පහ පුරාම මෛත්‍රි ගෙන ගිය දේශපාලන සෙල්ලමෙන් මහින්ද - රනිල් පමණක් නොව මුඵ රටම දැනගත් කාරණයක් වූයේ මෛත්‍රි යනු තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් ඕනෑම කෙනකු බිල්ලට දිය හැකි ආකාරයේ අවස්ථාවාදී දේශපාලන චරිතයක් බවය. ජනාධිපති මහින්ද යටතේ අමාත්‍යවරයකු වශයෙන් පමණක් නොව පක්ෂ මහලේකම්වරයාද වශයෙන් සිට රනිල් සමඟ එක්වී තම දේශපාලනය ස්ථාවර කරගත් මෛත්‍රි පසුව නැවැත වතාවක් රනිල්ට කොකා පෙන්වා මහින්දට යළි අගමැති ධුරය නිත්‍යානුකූල නොවන ආකාරයට පවා ලබා දුන්නේ සිය දේශපාලන අනාගතය ආරක්ෂා කරගැනීම සඳහාය. ඒ ආකාරයට පොහොට්ටුවට ළංවූ මෛත්‍රිගේ ගණන් හැදීම වී ඇත්තේ මහ මැතිවරණයෙන් පසුව සම්පූර්ණ දේශපාලන බලය මහින්ද අතට පත්වීමෙන් පසු මහින්ද – බැසිල් – නාමල් එක්වී ආණ්ඩු කරනු ඇති බවත්, ඒ හරහා කුමන මොහොතක හෝ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර දේශපාලන බල අරගලයක් මතු වනු ඇති බවත්ය. එම නිසා මෛත්‍රිගේ ගණන් හැදිල්ලට අනුව මෛත්‍රි ඉන්නේ එම අර්බුදය ආණ්ඩුව තුළ මතුවන තෙක්ය. එසේත් නැතිනම් ආණ්ඩුව ඇතුළේ ඇමැතිකමක් ගෙන එම අර්බුදය හීන්සීරුවේ නිර්මාණය කිරීමටය. එසේ අර්බුද ඇතිකිරීමෙන් පසු මෛත්‍රිගේ ගණන් හැදිල්ල වී ඇත්තේ ජනාධිපතිවරයාට සම්බන්ධ වී ශ්‍රීලනිප බලය ජනාධිපතිවරයාට පවරා දී ජනාධිපතිවරයාව ශ්‍රීලනිපයට ඇදගැනීමය. මීට පෙර අවස්ථාවකදීම අපි මෙම තීරුවෙන් මෛත්‍රිගේ මේ සැලැසුම හෙළිකිරීමට පියවර ගත්තෙමු. ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව අමරවීරත්, අලගියවන්නත් ජනාධිපතිවරයා හමුවීමට යැවූ මෛත්‍රි ශ්‍රීලනිපයේ සභාපති ධුරය භාරගන්නා ලෙස ඔවුන් හරහා ජනාධිපතිවරයාට යෝජනා කිරීමට පියවර ගත්තේය. නමුත් එහිදී ගැටුමක් නිර්මාණය කිරීමට මෛත්‍රිට නොහැකි වූයේ ජනාධිපතිවරයා එය ඒ මොහොතේම මහින්දටත්, බැසිල්ටත් දැනුම්දී සිටීම නිසාය.
මහින්ද මෛත්‍රී ළග තියාගෙන ටොකු අනී
කෙසේ වෙතත් මෛත්‍රිගේ මේ දෙපිටකාට්ටු, යටිකූට්ටු වැඩ රාජපක්ෂවරුන්ද නොදන්නවා නොවේ. ඒ අනුව පසුගියදා පැවැති නව සන්ධානයේ විධායක සභාවේදී මහින්ද මෛත්‍රිගේ මේ දෙපිටකාට්ටු වැඩ සම්බන්ධයෙන් පළමු අනතුරු ඇඟවීම මෛත්‍රි ඉදිරියේ තබාගෙනම සිදුකිරීමට පියවර ගත්තේය.එම විධායක සභා රැස්වීමට ජනාධිපතිවරයා සහභාගි වී සිටි අතර මෛත්‍රි සිටියේ ජනාධිපතිවරයාගේ වම්පස ආසනයේය. මහින්ද සිටියේ දකුණුපස ආසනයේය. මෙහිදී මහින්ද සිය කතාවේදී පැහැදිලිවම කියා සිටියේ මෙම නව සන්ධානයේ අරමුණ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම යැයි කියාය. ඒ අනුව මහින්ද මෛත්‍රිලාට නොකියා කීවේ උඹලා ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට අවශ්‍ය නැති බවත්, ඒ දේ කිරීමට ජනාධිපතිවරයාගේ සහෝදරයන් සිටින බවත්ය. එමෙන්ම තවදුරටත් අදහස් දක්වමින් මහින්ද කියා සිටියේ මේ ආණ්ඩුව ඉතා අසීරුවෙන් ගොඩනඟාගත් ආණ්ඩුවක් බවත්, එජාපය ඇතුළේ ඇති අර්බුද මේ ආණ්ඩුව ඇතුළටත් රැගෙන ඒමට තමන් කිසිසේත්ම ඉඩ නොතබන බවත්ය. ඒ හරහාද මහින්ද නොකියා කීවේ රනිල් – සජිත් පන්නයේ අර්බුද පොහොට්ටුව ඇතුළේ යළිත් නිර්මාණය කිරීමට තමන් ඉඩ නොතබන බවකි. ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රි හොර රහසේම සජිත්ට උදව් කළ ආකාරය මේ වන විට හෙළිදරව් වී ඇති නිසා ඊට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් මහින්ද මේ කතාව කීවාදැයි හරියටම කියන්න දන්නේ නැත.
මහින්දගේ ෆොටෝවල මෛත්‍රී නෑ
මීට අමතරව එම විධායක සභාවේ ඡායාරූප මාධ්‍යයට මුදාහැරීමේදීද රාජපක්ෂවරුන් මෛත්‍රිට හීන්නූලෙන් ටොක්කක් ඇනීමට පියවර ගෙන තිබිණ. ඒ, එසේ මුදාහැරි කිසිදු ඡායාරූපයක මෛත්‍රිගේ මුහුණවත් නොදමා තිබීම හරහාය.
කෙසේ වෙතත් මෛත්‍රිගේ මේ දෙපිටකාට්ටු, යටිකූට්ටු වැඩ රාජපක්ෂවරුන්ද නොදන්නවා නොවේ. ඒ අනුව පසුගියදා පැවැති නව සන්ධානයේ විධායක සභාවේදී මහින්ද මෛත්‍රිගේ මේ දෙපිටකාට්ටු වැඩ සම්බන්ධයෙන් පළමු අනතුරු ඇඟවීම මෛත්‍රි ඉදිරියේ තබාගෙනම සිදුකිරීමට පියවර ගත්තේය.එම විධායක සභා රැස්වීමට ජනාධිපතිවරයා සහභාගි වී සිටි අතර මෛත්‍රි සිටියේ ජනාධිපතිවරයාගේ වම්පස ආසනයේය. මහින්ද සිටියේ දකුණුපස ආසනයේය. මෙහිදී මහින්ද සිය කතාවේදී පැහැදිලිවම කියා සිටියේ මෙම නව සන්ධානයේ අරමුණ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම යැයි කියාය. ඒ අනුව මහින්ද මෛත්‍රිලාට නොකියා කීවේ උඹලා ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට අවශ්‍ය නැති බවත්, ඒ දේ කිරීමට ජනාධිපතිවරයාගේ සහෝදරයන් සිටින බවත්ය. එමෙන්ම තවදුරටත් අදහස් දක්වමින් මහින්ද කියා සිටියේ මේ ආණ්ඩුව ඉතා අසීරුවෙන් ගොඩනඟාගත් ආණ්ඩුවක් බවත්, එජාපය ඇතුළේ ඇති අර්බුද මේ ආණ්ඩුව ඇතුළටත් රැගෙන ඒමට තමන් කිසිසේත්ම ඉඩ නොතබන බවත්ය. ඒ හරහාද මහින්ද නොකියා කීවේ රනිල් – සජිත් පන්නයේ අර්බුද පොහොට්ටුව ඇතුළේ යළිත් නිර්මාණය කිරීමට තමන් ඉඩ නොතබන බවකි. ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රි හොර රහසේම සජිත්ට උදව් කළ ආකාරය මේ වන විට හෙළිදරව් වී ඇති නිසා ඊට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් මහින්ද මේ කතාව කීවාදැයි හරියටම කියන්න දන්නේ නැත.

මීට අමතරව එම විධායක සභාවේ ඡායාරූප මාධ්‍යයට මුදාහැරීමේදීද රාජපක්ෂවරුන් මෛත්‍රිට හීන්නූලෙන් ටොක්කක් ඇනීමට පියවර ගෙන තිබිණ. ඒ, එසේ මුදාහැරි කිසිදු ඡායාරූපයක මෛත්‍රිගේ මුහුණවත් නොදමා තිබීම හරහාය.
සජිත්- රංජිත් රවීගේ ගෙදර
වරෙක බෙදී යන ආකාරයක්ද, වරෙක එක්වී යන ආකාරයක්ද පෙන්නුම් කරමින් මාස කිහිපයක් පුරා ඇදි ඇදී ගිය එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය මේ වන විට ඇත්තේ තීරණාත්මක මංසන්ධියකට පැමිණය. පසුගිය සති කිහිපය පුරාම අලියාගෙන්ද, හංසයාගෙන්ද, හදවතින්ද, දුරකතනයෙන්ද යන මාතෘකාව ඔස්සේ දෙපැත්තට ඇදි ඇදී තිබුණු ප්‍රශ්නය පසුගිය බ්‍රහස්පතින්දා වන විට යම් තීරණාත්මක කඩඉමක් වෙත පැමිණ ඇති බවක් පෙනී ගියේ එදින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවත් සමඟය. එහිදී සජිත් කෙළින්ම කියා සිටියේ ලබන සඳුදා (02) දින නව සන්ධානය ප්‍රකාශයට පත්කිරීමට මේ වන විට සියලු සැලැසුම් සකස් කර ඇතැයි කියාය. එමෙන්ම එය අලුත් සලකුණක් යටතේ සිදුවනු ඇති බවටද එහිදී සජිත් කිසියම් ඉඟියක් පළකිරීමටද පියවර ගෙන තිබිණි.
මේ ආකාරයට සජිත් ඇතුළු කණ්ඩායම නව ලකුණක් සම්බන්ධයෙන් කිසියම් සාකච්ඡාවක් ආරම්භ කළේ අවසන් වරට රවි කරුණානායක මහතා ඇතුළු හංසයා ලකුණ හිමි නියෝජිතයන් සමඟ සිදුකළ සාකච්ඡාවේදී මතුවූ කරුණු කාරණා මුල්කරගෙනය. මෙම සාකච්ඡාවට රවි සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය වන ශාමිලා පෙරේරාද සහභාගිව සිටි අතර සජිත් සමඟ සාකච්ඡාවට සම්බන්ධව සිටියේ රන්ජිත් මද්දුමබණ්ඩාරය. පැය ගාණක් පුරා පැවැති මෙම සාකච්ඡාව ඉතා සුහදව ඇදී ගිය නමුදු එතෙක් ප්‍රශ්නයක්ව පැවැති ලේකම් ධුරය සම්බන්ධ ගැටලුව මෙහිදී සාකච්ඡා නොවීම විශේෂ සිදුවීමක් විය. ඒ වන විටත් සජිත් පාර්ශ්වයෙන් දැනුම් දී තිබුණු කාරණය වූයේ හංසයාගෙන් තරග වදිනවා නම් එම ලකුණ සජිත්ගේ නව සන්ධානයට ලබා දිය යුතු බවත්, එහි ලේකම්වරයා ලෙස රන්ජිත් මද්දුමබණ්ඩාර කටයුතු කරනු ඇති බවත්ය. නමුත් මෙම සාකච්ඡාවේදී සජිත්ලා ලේකම්කම සම්බන්ධයෙන් ඉල්ලීමක් හෝ නොකළ අතර, රවිගේ පාර්ශ්වයෙන් මෙය ලබාදෙන බවක් හෝ නොදෙන බවක් හෝ කියැවුණේද නැත.
සාකච්ජාව තරමක් උණුසුම්
කෙසේ වෙතත් මෙහිදී සජිත් අවධාරණය කර සිටියේ සන්ධානයක් නැතිව මෙවර මහ මැතිවරණයේදී ඉදිරියට යා නොහැකි බවත්, දැනටමත් සන්ධානයේ වැඩකටයුතු සියයට සියයක්ම පාහේ අවසන් කොට ඇති බවත්ය. මෙහිදී රවිගේ පැත්තෙන් කියා සිටියේ මේ වන විට ප්‍රධාන මැතිවරණ තුනකදීම තමන් හංසයා ලකුණ ලබාදී ඇති බවත්, ඒ සෑම අවස්ථාවකදීම එහි අනන්‍යතාවය තබාගෙන ලකුණ පමණක් ලබාදීමට ක්‍රියාකොට ඇති බවත්ය. එම නිසා මේ වන විට අලියා ලකුණ හෝ හංසයා ලකුණ යටතේ මහ මැතිවරණයට තරග වැදිය යුතු බවට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අවසන් තීන්දුවක් ගෙන ඇති නිසා ඒ අනුව කටයුතු කළ යුතු බවද රවි පෙන්වා දුන්නේය.
රවිගේ මේ යෝජනාවට තරමක් විරුද්ධ අදහසක් පලකළ රන්ජිත් කියා සිටියේ එවැන්නකද කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමැතියක් නොලැබුණු බවත්, ඉන් අනුමැතිය හිමිවුණේ නව සන්ධානයක් ගොඩනැඟීමටත්, එහි නායකත්වය සජිත්ට ලබාදීමටත්, පක්ෂ මහලේකම් ධුරය සජිත් නම් කරන අයකුට ලබා දීමට බවත්ය. එම තීන්දුව අනුව තම පිල කටයුතු කරන බවද එහිදී රන්ජිත් රවිට දැනුම්දී සිටියේය.
දෙපැත්තම තේරුම් ගත් දේ
ඒ අනුව සුහදව සාකච්ඡාව අවසන් වුවත් සජිත්ලාගේ කතාවෙන් රවිට මෙහිදී එකක් වැටහී තිබිණ. ඒ, සජිත්ලා දැනටමත් අලුත් සන්ධානයක් ගොඩනඟාගෙන වෙනම තරග කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවකි. එමෙන්ම රවිලාගේ කතාවෙන් සජිත්ලාටද එක් කාරණයක් වැටහී තිබිණ. ඒ, විවිධ කරුණු කියමින් හංසයා ඉදිරියට දමාගෙන සිටියද හංසයා දෙන පාටක් රවිලාගෙන් පේන්නට නැති බවය. ඒ අනුව පසුගිය සතිය ආරම්භ වූයේම දෙපාර්ශ්වය මෙම කරුණු මත පිහිටා සිය උපාය සැලැසුම් ක්‍රියාත්මක කිරීමේ වටපිටාවකය. මෙහිදී අවදානම කෙතරම් වැඩි වුවත් රවිලා අලියාගෙන් හෝ හංසයාගෙන් තරග වැදීමටද, සජිත්ලා වෙනම ගොස් වෙන ලකුණකින් තරග වැදීමටද තීරණය කර ඇති ආකාරයක් දැකගන්නට තිබිණ.
සජිත්‌ගේ මත විමසුමේ ප්‍රතිපල මෙන්න
මෙම සිදුවීමෙන් පසුව සජිත් තමන් තනිවම තරග වැදුනහොත් ගම් මට්ටමේ බිම් මට්ටමේ තත්ත්වය සොයා මැන බලාගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කළේය. එහිදී සජිත් කළේ රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඒ සම්බන්ධයෙන් මත විමසුමක් සිදුකිරීමටය. සජිත් එය භාරදුන්නේද මත විමසුම් කිරීම සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලන ප්‍රධාන පෙළේ සමාගමකටය. එම මත විමසුම හරහා ඔවුන් ඉදිරිපත් කර තිබුණේ සජිත් – රනිල් එක්ව ගියහොත් කොපමණ ආසන සංඛ්‍යාවක් එජාපයට ලබාගත හැකිද, සජිත් – රනිල් වෙන්ව ගියහොත් සජිත්ට පිලට කොපමණ ආසන සංඛ්‍යාවක් ලබාගත හැකිද, රනිල් පිල කොපමණ ආසන සංඛ්‍යාවක් හිමිකර ගනීද වැනි ප්‍රශ්නය. ඉතා රහසිගතව සිදුකර තිබූ මෙම මත විමසුමේ අවසන් වාර්තාව අදාළ සමාගම විසින් සජිත් අතට පත්කරනු ලැබ තිබුණේ පසුගිය සතියේය. ඒ ප්‍රතිඵල විමසා බැලීමේදී සජිත්ට පැහැදිලිව පෙනී ගිය කරුණක් වූයේ වෙනම තරග කළහොත් සජිත්ට එජාප ඡන්ද ප්‍රතිශතයෙන් වැඩි ප්‍රමාණයක් ලබාගත හැකි යැයි කියාය. වෙනම සන්ධානයකින් තනිව තරග වැදීම සඳහා සජිත් සිය අවසන් තීන්දුව ගත්තේ මෙම මත විමසුමේ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවය.
රනිල්ගේ ගේම ආපිට කැරකෙයි
රනිල් පසුගිය සතියේ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණේ මේ ආකාරයට සජිත් වෙනම තරග කිරීමට තීන්දු ගන්නා අතරවාරයේය. පක්ෂය ඇතුළේ මෙතරම් අර්බුදයක් පැවැතියදී රනිල් මේ ආකාරයට ඉන්දියාව බලා පිටත්ව ගියේත් සජිත් පිලට එරෙහිව මානසික මෙහෙයුමක් දියත් කිරීමේ අරමුණ ඇතිවය. එම ඉන්දීය සංචාරය හරහා රනිල්ට වුවමනා වී තිබුණේ තවමත් ජාත්‍යන්තර මෙන්ම ඉන්දීය සහායද තමන්ට හිමිව ඇති බවටත්, කවුරුන් මොනවා කීවද එජාප නායකයා වශයෙන් ඉන්දියාව පවා පිළිගන්නේ තමන් බවටත් පක්ෂයට පෙන්වීමටත්ය. ඒ නිසාම ඉන්දීය සංචාරය ආරම්භ වීමටත් ප්‍රථම රනිල් පිලෙන් පක්ෂය ඇතුළේ යැවූ විශාල රාවයකින් කියැවුණේ මෙම සංචාරයේදී රනිල් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ඇතුළු ඉහළ පෙළේ නායකයන් රැසක්ම මුණගැසී සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටිනවා යැයි කියාය. මෙම ඉන්දීය සංචාරයත් සමඟ රනිල් පක්ෂය ඇතුළේ විශාල වශයෙන් ශක්තිමත් වන බවද එසේ ගිය කටකතාවලින් වැඩිදුරටත් කියැවිණ.
ඒ අනුව අපද පසුගිය සතියේ රනිල්ගේ මේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක නිරත වූ අතර, එහිදී අපට අනාවරණය වූයේ එවැනි කිසිදු හමුවක් රනිල්ගේ මෙම ඉන්දීය සංචාරය තුළ සිදු නොවන බවත්, කිසියම් මානසික මෙහෙයුමක් දියත් කිරීම සඳහා රනිල් මෙම ඉන්දීය සංචාරය උපයෝගි කරගෙන ඇති බවත්ය. පසුගිය ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඒ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කරමින් මෙම තොරතුරු අප රටට අනාවරණය කළ අතර අප කී පරිදිම මෙම සංචාරය තුළදී මෝඩි හෝ වෙනත් කිසිවකු හෝ හමුවීමට රනිල්ට හැකියාවක් ලැබුණේ නැත. කෙසේ වෙතත් රනිල් සැලැසුම් කරගෙන සිටියේ බැංගලෝරයේ පැවැති මෙම සමුළුවෙන් පසුව දිල්ලියෙන් කැඳවීමක් ලැබුණු වහා එහි ගොස් මෝඩි ඇතුළු ප්‍රධාන පෙළේ නායකයන් මුණගැසීමටය. නමුත් එවැනි කැඳවීමක් නොලැබුණු නිසා රනිල්ට සිදුවූයේ බැංගලෝර්වලින්ම සිය සංචාරය නිමා කිරීමටය.
ප්‍රශ්න ගොඩක් අරන් හිස් අතින් එයි
එමෙන්ම අප කී පරිදිම රනිල් මෙහිදී සහභාගි වූයේද ‘ද හින්දු’ පත්‍රයේ හිටපු ප්‍රධාන කර්තෘවරයකු වන එන්. රාම් මහතා විසින් සංවිධානය කළ හින්දු සමුළුවකටය. එම සමුළුව ඉන්දීය පාලක මෝඩිගේ බී.ජේ.පී. පක්ෂයට විරුද්ධ මත පළ කෙරෙන එකක් නිසා එයද බොහෝ දුරට රනිල්ට දිල්ලියට ආරාධනා නොකිරීමට හේතුවක් වූවා විය හැක. ඒ අනුව අවසානයේදී එම සමුළුවට සහභාගි වූයේ අප කලින් අනාවරණය කළ පරිදිම ඉන්දීය ජනාධිපතිවරයා වූ රාම්නාත් කෝවින්ද් මහතාය. නමුත් රාම්නාත් කෝවින්ද් මහතා යනු කිසිදු අවස්ථාවක දේශපාලන අදහස් ප්‍රකාශ නොකරන්නකු වීම නිසා කලාපීය දේශපාලනය සම්බන්ධයෙන් හෝ ඉන්දීය දේශපාලනය සම්බන්ධයෙන් මෙහිදී දෙදෙනා අතර කිසිදු සාකච්ඡාවක් සිදුවන ආකාරයක් දැකගන්නට තිබුණේ නැත.
කෙසේ වුවත් රනිල් ඉන්දියාව බලා යෑමට ප්‍රථමව සිය හිතවතුන් සමඟ පැවැති සාකච්ඡාවකදී දැනුම් දී තිබුණේ තමන් ඉන්දියාව බලා ගොස් එන විට ලකුණ පිළිබඳ ප්‍රශ්නය විසඳී නොතිබුණහොත් බ්‍රහස්පතින්දා වන විට ඒ සම්බන්ධයෙන් වන තම විසඳුම ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරනවා යැයි කියාය. ඊට හේතු වූයේ ඉන්දීය සංචාරයේදී තමන්ට විශාල දේශපාලන හයියක් ලැබෙනු ඇති බවට රනිල් තුළ තිබූ විශ්වාසය විය හැකිය. නමුත් මෙවර රනිල් ඉන්දියාවේ ගොස් යළි ලංකාවට පැමිණියේ වෙනදා මෙන් නොව කිසිවක් නොමැතිව හිස් අතින් වීම විශේෂ සිදුවීමකි. එපමණක් නොව රනිල් එසේ පැමිණියේ පෙරදා තමන්ට තිබූ ජාත්‍යන්තර පිළිගැනීම සහ සහයෝගය තවදුරටත් තියෙනවාද යන ප්‍රශ්නයද අරගෙනමය.
ආපු ගමන්ම සාකච්ජා
එසේ ලංකාවට පැමිණීමෙන් පසු අඟහරුවාදා උදෑසනම රනිල්ට හිතවත් කණ්ඩායම සිරිකොතේදී විශේෂ රැස්වීමක් පැවැත්වූහ. ඊට රනිල්, රවි, නවීන්, වජිර, ආශු ඇතුළු කණ්ඩායමක් එක්ව සිටියහ. මෙහිදී රවි සහ නවීන් දැඩි මතයක සිටිමින් රනිල්ට පෙන්වා දුන්නේ තවදුරටත් දේශපාලන ගේම් ගසමින් මෙම ප්‍රශ්නය ඇද ඇද යෑමට නොහැකි බවත්, වහාම තරග කරන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගතයුතු බවත්, ඒ මත පක්ෂයේ පැවත්ම තීන්දු වන බවත්ය. එමෙන්ම දෙදෙනාම පෙන්වා දුන්නේ කල්මැරීමේ ප්‍රතිපත්තිය රනිල්ගේ ආවේණික දුර්වලතාවයක් නිසා ගන්නා තීන්දුවක් වහාම ගත යුතු බවත්ය.
එහිදී රවි පිරිසට පැහැදිලි කළේ තමාට තේරෙන හැටියට සජිත් පිල වෙනම තරග වැදීමට තීන්දු කර ඇති බවත්, බොරුවට වෙනත් එකක් පෙන්වමින් සිටින බවත්ය.
“මට නම් තේරෙන හැටියට අපිත් එක්ක සාකච්ජා කරනව කියල මේගොල්ලො ලොකු බොරුවක් කරන්නෙ. ඒ අය දැනටමත් වෙනම යන්න තීන්දු කරල ඉවරයි….” යනුවෙන් රවි කියද්දී නවීන්ද සිටියේ ඒ ස්ථාවරයේය. මෙහිදී වජිරත්, ආශුත් කියා සිටියේ මහ මැතිවරණයට අලියාගෙන්ම තරග වැදීම ඉතා සුදුසු යැයි කියාය. කෙසේ වෙතත් මේ සියලුම තීන්දු ඉතා ඉක්මනින් ගතයුතු බවද එහිදී පිරිස රනිල්ට කියා සිටියහ.
සජිත් සදුදා 10ට නෙළුම් පොකුණෙන් එළියට
කෙසේ වෙතත් මේ සියල්ල මැද එදිනම සවස වොක්ෂෝල් වීදියේ ඉකුත් ජනාධිපතිවරණ සමයේ සිය කාර්යාලය පවත්වාගෙන ගිය ස්ථානයේදීම සජිත් විසින් විශේෂ සාකච්ඡාවක් කැඳවනු ලැබ තිබිණි. මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ඒ වන විට ලැබී තිබුණු මත විමසුමේ ප්‍රතිඵල මුල්කරගෙන ඉදිරි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සැලැසුම් කිරීමය. එහිදී දීර්ඝව කෙරුණු සාකච්ඡාවෙන් අනතුරුව තීන්දු තීරණ රැසක්ම ගත් අතර ඉන් ප්‍රධානතම තීන්දුව වූයේ තවදුරටත් පමා නොකොට සන්ධානය ගොඩනැඟීමේ කටයුත්ත ඉක්මන් කිරීමය. ඒ අනුව නව සන්ධානය එළිදැක්වීම සඳුදා (02දා) දින පෙරවරු 10ට නෙලුම් පොකුණ රඟහලේදී නිල වශයෙන් සිදුකිරීමටත්, මේ සඳහා සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කිරීමටත්, එදිනම එම පක්ෂ නායකයන් සමඟ අවබෝධතා ගිවිසුමකට අස්සන් කිරීමටත් තීන්දු විය.
මීට අමතරව මත විමසුමේ දක්වා තිබූ තවත් එක් කරුණක් පිළිබඳවද සියලු දෙනාගේ අවධානය යොමුකෙරිණ. ඒ, සන්ධානයේ සලකුණ පිළිබඳවය. මත විමසුමෙන් ලැබුණු ප්‍රතිඵලවලින් කියා තිබුණේ මැතිවරණයකදී සලකුණ එතරම් වැදගත් නොවන බවත්, ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ නායකත්වයටත්, ඒ වටා සිටින කණ්ඩායමටත් බවත්ය. ඒ අනුව නිවැරැදි අයුරින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් සකස් කළහොත් මැතිවරණය ජය ගැනීම අපහසු නොවන බවද එහි සඳහන් කර තිබිණි.
කැම්පේන් මැනේජර් හරීන්
ඒ අනුව ඒ මොහොතේම සියල්ලන්ම සාකච්ඡා කළේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සැලැසුම් කිරීම පිළිබඳවය. එහිදී ප්‍රබල යෝජනා රැසක්ම ඉදිරිපත් වුණු අතර, අවසානයේදී තීන්දු වූයේ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකුට එය භාරදෙනවාට වඩා ඒ වෙනුවෙන්ම කැපවූ එක් පුද්ගලයකුට සමස්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයම භාරදීමටය. ඒ අනුව සියල්ලන්ගේම යෝජනාව වූයේ මීට සුදුසුම පුද්ගලයා හරීන් ප්‍රනාන්දු යැයි කියාය. හරීන්ට එවැනි කටයුත්තක් සිදුකරන අතරවාරයේ ඡන්ද වැඩකටයුතුවලට සහභාගි වීම අසීරු නිසා ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීමට අවස්ථාව සලසා දීමටද එහිදී තීන්දු විය. ඊට හරීන් එකඟතාවය පළකළ අතර, ඊළඟ හමුවේදී සමස්ත මැතිවරණ ක්‍රියාදාමය මෙහෙයවන ආකාරය පිළිබඳවත්, පක්ෂ නායකයන්ට සහ සජිත්ට මෙම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ඇති වගකීම් සහ කාර්යභාරයන් පිළිබඳවත් විස්තරයක් ඉදිරිපත් කරන බව දැනුම් දී සිටියේය. මීට අමතරව අලුත්, ජනප්‍රිය, පිරිසුදු, දූෂණයෙන් තොර තරුණ මුහුණුවලට අවස්ථාව ලබාදීමටත්, විද්වතුන් සහ වෘත්තිකයන්ට සන්ධානයේ දොර විවෘත කිරීමටත් තීන්දු වූ අතර, නව සන්ධානය සම්බන්ධයෙන් මෙම සතිඅන්තයේ පුවත්පත් දැන්වීම් පළ කොට එම ප්‍රචාරක වැඩකටයුතු ආරම්භ කිරීමටත් පිරිස තීන්දු කළහ. ඒ අනුව පළමු අදියරේදී ලංකාදීප සහ සන්ඬේ ටයිම්ස් යන සතිඅන්ත පුවත්පත් දෙකේ පමණක් දැන්වීම් පළකිරීමට සැලැසුම් කෙරිණ.
රනිල්ගේ පලුවම සජිත්ට
මේ අතර බදාදා දිනය සජිත් පිලට තවත් විශේෂ දිනයක් විය. ඒ එදින අනෙකුත් පක්ෂ නායකයන් සජිත්ගේ සන්ධානය සමඟ එකතු වීමට තීන්දු කර ඇති බව ප්‍රකාශයට පත්කිරීම සඳහා යොදාගෙන තිබීම නිසාය. මෙය පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා සජිත් විසින්ම ප්‍රකාශයට පත්කිරීමට සැලැසුම් කළ අතර, ඊට පෙර බදාදා උදේ වරුවේ පක්ෂ නායක රනිල් මුණගැසී මේ සම්බන්ධයෙන් දැනුම්දීමටද පියවර ගත්තේය. ඒ අනුව සජිතුත්, මද්දුමබණ්ඩාරත් උදේම රනිල්ගේ ගෙදරට ගොස් නව සන්ධානය සඳුදා දින එළිදක්වන බවත්, ඊට සහභාගි වන ලෙසටත් කියමින් මුල් ආරාධනාව රනිල්ට භාරදෙද්දී රනිල් ගත් කටටම විමසා සිටියේ “කෝ මේ සන්ධාන හදන්න ඉස්සෙල්ලා ඒකෙ ව්‍යවස්ථාව? ඉස්සෙල්ලාම මට ඒක ගේන්න” යැයි කියාය. ඒ අනුව රන්ජිත් කියා සිටියේ ව්‍යවස්ථාව සකස් කර ඇති බවත්, එදිනම එය රනිල්ට ලබාදිය හැකි බවත්ය. ඒ අනුව රනිල් කියා සිටියේ බදාදා සවස් වරුවේ සිය නියෝජිතයන් වන දයා පැල්පොල, රොනල්ඞ් පෙරේරා සහ රවි කරුණානායක හමුවී එම ව්‍යවස්ථාව භාරදෙන්න යැයි කියාය.
ඒ අතර බදාදා උදේ වරුවේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට සහභාගි වූ සජිත් සිය සන්ධානය දෙවැනිදා එළිදක්වන බවත්, ඊට පක්ෂ නායකයන් වශයෙන් පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, රවුෆ් හකීම් සහ රාධක්‍රිෂ්ණන් යන මහත්වරුන් එක්වීමට එකඟතාව පළකොට ඇති බවත් කියා සිටියේය. මෙම සාකච්ඡාව අවසන් කිරීමෙන් පසු සවස රන්ජිත් සන්ධාන ව්‍යවස්ථාවද රැගෙන රනිල්ගේ නියෝජිත කණ්ඩායමට හමුවීමට ගියේය. එම සන්ධාන ව්‍යවස්ථාවට අනුව එජාපයට සියයට හැටක ප්‍රතිශතයක් ඇතුළු තවත් බලතල හිමිවන බව දක්වා තිබිණ. ඊට රනිල්ගේ පාර්ශ්වයෙන් විරෝධතාවක් එල්ල නොවුණද ඊට එකඟ වූ ආකාරයක් හෝ එම පාර්ශ්වයෙන් දැකගන්නට නොලැබිණි.
මංගලගේ මාතර ගෙදර මහ රෑ සජිත්-රවී- මංගල සාකච්ජාවක
මේ සියල්ල අතර පසුගිය බදාදා රාත්‍රියේ මංගලගේ මාතර නිවෙසේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබුණු අතර ඊට සහභාගි වන ලෙස මංගල සජිත්ටද ආරාධනා කර තිබිණ. පසුගිය කාලයේ මංගලට විශාල විරෝධයක් පක්ෂය ඇතුළෙන් එල්ලවූයේ ඔහු බුද්ධාගම ඉලක්ක කරගෙන සිදුකරනු ලැබූ ප්‍රකාශ මුල්කරගෙන පක්ෂයට තිබූ සිංහල බෞද්ධ පදනම දෙදරා ගියා යැයි කියාය. එකල මංගලට එරෙහිව භික්ෂුන් වහන්සේලා මාතරදී විරෝධතා පවා දක්වන ආකාරයක් දැකගන්නට ලැබිණ. නමුත් මංගල ඒ කිසිවකින් සැලුණු බවක් දැකගන්නට නොලැබිණ. මුලින් තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව මංගල කියා සිටියත්, පසුව මංගල කියා සිටියේ තමන් යළි දේශපාලනයට පැමිණෙනවා යැයි කියාය. මංගල මෙම පරිත්‍රාණ ධර්ම දේශනාව නිවෙසේ පැවැත්වූයේද එහි ආරම්භයක් ලෙසටය. ඒ අනුව රාත්‍රියේදී සජිත් එහි පැමිණි පසු තවත් එක් විශේෂ අමුත්තෙක්ද මංගලගේ නිවෙසට පැමිණෙන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ වෙන කවුරුවත් නොව රවි කරුණානායකය. ඒ අනුව මංගලගේ නිවෙසේ ඇතුළු කාමරයක මංගල, සජිත්, රවි යන තිදෙනා විශේෂ දේශපාලන සාකච්ඡාවක නිරත වන ආකාරයක් දැකගන්නට ලැබිණ. එම සාකච්ඡාවේදී සජිත් නව සන්ධානය සම්බන්ධයෙන් දීර්ඝව කරුණු පැහැදිලි කරද්දී රවි කියා සිටියේ අධි තක්සේරුවක සිට කටයුතු නොකරන ලෙසත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මේ සියල්ල සාකච්ඡා කොට විසඳා ගැනීමට කටයුතු කරන ලෙසත්ය. නමුත් සජිත් කියා සිටියේ අධි තක්සේරුවක සිට කටයුතු නොකරන බවත්, ඇතැමුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මෙම නව සන්ධානයට අනුමැතිය ලබාදී දැන් එය කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවත්ය.
මහලේකම්කම කරුට?
ඉන් අනතුරුව සන්ධාන මහලේකම් තනතුර සාකච්ඡාවට ලක්වූ අතර, රවි කියා සිටියේ එසේ නම් එය දෙපාර්ශ්වයටම පිළිගත හැකි කරු ජයසූරිය වැන්නකුට දීමට කටයුතු කළ යුතු යැයි කියාය. නමුත් සජිත් එහිදී කියා සිටියේ දැනටමත් ඊට මද්දුමබණ්ඩාර පත්කර ඇති නිසා එහි වෙනසක් සිදු කළ නොහැකි යැයි කියාය. පසුව තවදුරටත් රවී විවිධ කරුණු කියමින් නව සන්ධානයට සිය විරෝධය පළ කරද්දී බැරිම තැන සජිත් කියා සිටියේ එසේ නම් අගමැති අපේක්ෂකයා ලෙස රනිල් නම් කොට මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සිදුකරගෙන යන ලෙසටය.
ඒ අනුව සාකච්ඡාව තරමක සංවාදයක් බවට පත්වෙද්දී වහාම එයට මැදිහත් වූ මංගල එක්තරා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. ඒ තමන් ඉදිරි මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන්ය.
මංගල ඉල්ලන්නේ නැතිව ගෙදර ඉදියිද
“අපි මේක ගැන ඉක්මනටම තීන්දුවක් ගන්න ඕනෙ. මම හිටියෙ මේ ඡන්දෙට ඉල්ලන්න නෙමෙයි. පස්සෙ මම තීන්දු කළා ආයෙමත් මම දේශපාලනය කරන්න ඕනෙ කියලා. හැබැයි මම එකක් කියන්නම්. මේ විදිහට දෙකට බෙදිල ඡන්දෙ ඉල්ලන්න යනව නම් මම මේ ඡන්දෙට එන්නෙ නෑ. දෙගොල්ලො එකතු වෙලා යනව නම් විතරක් මම මාතරින් ඉල්ලනවා. එහෙම නැත්නම් මම දේශපාලනය අතඇරල ගෙදර ඉන්නවා…” යනුවෙන් මංගල දැඩිව කියද්දී රවිත්, සජිත් නිහඬ වන ආකාරයක් දැකගන්නට ලැබිණ.
කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා දිනයේ සිටම සජිත් පාර්ශ්වය කළේ සඳුදා පැවැත්වෙන නව සන්ධානය එළිදැක්වීමේ කටයුතු සංවිධානය කිරීමය. ඒ අනුව ඊට පක්ෂයේ හිටපු සියලුම පළාත් සභා මන්ත්‍රිවරුන්ටත්, පළාත් පාලන මන්ත්‍රිවරුන්ටත්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටත් ආරාධනා කිරීමට එම පිල පියවර ගත්තේය. එසේ ආරාධනා කළවුන්ගෙන් අති බහුතරයක් ඒ මොහොතේදීම තමන්ගේ සහභාගිත්වය ඊට ස්ථිර කිරීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය.
සජිත්ගේ 10ට රනිල්ගේ 9ය
කෙසේ වෙතත් සජිත් මේ ආකාරයට පක්ෂ යාන්ත්‍රණය කැඳවන බවක් බ්‍රහස්පතින්දා වන විට රනිල් පාර්ශ්වයටද ආරංචි වී තිබිණ. ඒ අනුව මෙම සන්ධානයේ කටයුතු කඩාකප්පල් කිරීම සඳහා වෙනම මෙහෙයුමක් බ්‍රහස්පතින්දා දිනයේදී සිරිකොතින් ක්‍රියාත්මක වන්නට විය. ඒ අනුව සියලුම පළාත් පාලන මන්ත්‍රිවරුන්ටත්, හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන්ටත් සිරිකොතින් දැනුම්දීමක් කෙරුණේ සඳුදා දින 09.00ට සිරිකොතේ රනිල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවත්, ඊට අනිවාර්යයෙන්ම සියලු දෙනාම සහභාගි විය යුතු බවත්ය. එසේ සහභාගි නොවන්නන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, නාමයෝජනා ලබාදීමේදී ඒ සම්බන්ධයෙන් දැඩිව සොයාබලන බවත් සිරිකොතින් ලැබුණු එම පණිවුඩයේ සඳහන් විය. ඒ අනුව දැන් බලාගෙන සිටීමට ඇත්තේ සඳුදා දින 10.00ට නෙලුම් පොකුණ රඟහලේ සජිත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නව සන්ධානය එළිදැක්වීමට මෙම එජාප නියෝජිතයන් සහභාගි වෙනවාද, එසේත් නොමැති නම් රනිල්ගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරු 9.00ට සිරිකොතේ පැවැත්වෙන රැස්වීමට සහභාගි වනවාද යන්නය.
රන්ජන් දැමූ පාටිය
මාස එකහමාරකට ආසන්න කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා ඇප මත නිදහස්ව ගෙදර ගියේ ඉකුත් බදාදා (26දා) දිනය. මෙහිදී නිදහස ලබා ගෙදර ගිය සැණින් එදින රාත්‍රියේ නිවිසැනහිල්ලේ සිය හිතවතුන් කිහිපදෙනකු සමඟ සාදයක් පැවැත්වූ රන්ජන් තමන්ට සුපුරුදු පරිදි එයද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජිවීව විකාශය කරන්නට කටයුතු කළේය. මෙහිදී තමන් සිරගතව සිටි සමයේ වින්ද දුක් වේදනාත්, එහිදී තමන්ට උදව් උපකාර කළ පුද්ගලයන් පිළිබඳවත් නම්, ගම් කියමින්ම අදහස් දැක්වූ රන්ජන් තමන් වෙනුවෙන් නොමිලේ පෙනී සිටි නීතිඥවරයකු මෙන්ම මන්ත්‍රවරයකුද වන දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන්ට විශේෂ ස්තුතියක් පිරිනැමීමට කටයුතු කළේය. එහිදී රන්ජන් කියා සිටියේ “අන්තිමට මට පිහිට වුණේ දෙමළ මනුස්සයෙක්” යැයි කියාය.
එමෙන්ම සිරගතව සිටියදී තමන්ගේ දුක සැප බැලීමට පැමිණි සජිත්, චම්පික ඇතුළු මන්ත්‍රිවරුන්ටද ස්තුතිය පළ කළ රන්ජන් තමන් මෙතෙක් කල් එළිපිට පෙනීසිටි නායකයන් තමන් අමාරුවේ වැටුණු පසු බැලීමට නොපැමිණි බවද කියා සිටියේය. රන්ජන් ඒ නොකියා කීවේ වෙන කාටවත් නොව රනිල්ටය. රන්ජන් දේශපාලනයට පැමිණීමෙන් පසු ගෙවුණු කාලසීමාව පුරාම රනිල් වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනී සිටියද රන්ජන් සිරගතව සිටියදී එක් වතාවක් හෝ ඔහු බැලීමට යෑමට රනිල් පියවර ගෙන නොතිබිණි. නමුත් රනිල්ගේ පවුලට අයත්ව ඇති පුවත්පතක නම් රනිල් රන්ජන්ව බැලීමට සිරගෙදරට ගොස් තිබුණු බවට පුවතක් නම් පළවී තිබූ ආකාරයක් දැකගන්නට තිබිණ.
කෙසේ වෙතත් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන මාතෘකාවක් වන්නේ රන්ජන්ට එජාපයෙන් ඉදිරි මහ මැතිවරණයේදී නාමයෝජනා ලැබෙනවාද නැද්ද යැයි කියාය. එජාපයෙන් රන්ජන්ට නාමයෝජනා නොලැබුණත් මේ වන විටත් රන්ජන්ට ප්‍රධාන පාර්ශ්ව දෙකකින්ම නාමයෝජනා ලබාදීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. ඉන් එක් පාර්ශ්වයක් වන්නේ සජිත් ප්‍රේමදාස පාර්ශ්වයය. දැනටමත් සජිත් සමඟි ජන බලවේගය යටතේ වෙනම තරග කිරීමට සූදානමින් සිටින අතර, එම සන්ධානය යටතේ රන්ජන්ට නාමයෝජනා ලබාදීමට සජිත් තීන්දු කර ඇති බව දැනගන්නට තිබේ.
මීට අමතරව දෙමළ ජාතික සන්ධානයද රන්ජන්ට දැනුම් දී ඇත්තේ එජාපය රන්ජන්ට නාමයෝජනා ලබා නොදීමට කටයුතු කරන්නේ නම් තම පක්ෂය රන්ජන්ට දකුණෙන් තරග වැදීම සඳහා නාමයෝජනා ලබාදීමට සූදානම් යැයි කියාය. එම පක්ෂයේ නායකයන් සුමන්තිරන් හරහා මෙම යෝජනාව දැනටමත් රන්ජන්ට දැනුම්දී ඇති බවක්ද දැනගන්නට ඇත.
රෝහිත සමාව ගනී
රාජපක්ෂ පවුලේ බඩපිස්සා වන රෝහිත රාජපක්ෂ පසුගිය සතියේ ට්විටර් ගැටුමකට මැදිවී සමාජ මාධ්‍ය ජාලාවල විශාල අවධානයක් දිනාගත් චරිතයක් බවට පත්ව තිබිණි. මේ සඳහා මුල්වූයේ රෝහිත සිය ෆේස්බුක් ගිණුමේ දමා තිබූ ඡායාරූප කිහිපයකට ලැබී තිබූ පාඨක ප්‍රතිචාරය. සිය බිරිය සහ දරුවා සමඟ සිටින ඡායාරූපවලට සමාජ මාධ්‍ය ජාලවල විවිධ ප්‍රතිචාර ලැබී තිබීම නිසා තරමක කෝපයට පත්ව සිටි රෝහිත ට්විටර් පණිවුඩයක් තබමින් කියා තිබුණේ මෙවැනි ප්‍රහාර එල්ල නොකර ඕනෑම අයකුට කාන්තාවක් විවාහ කරගෙන දරුවන් හදන්න යැයි කියාය. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් තරමක දැඩි ස්වරූපයකින් යුතුව සටහන් කර තිබීම නිසා ඊටද සමාජ මාධ්‍ය ජාලවල විශාල ප්‍රතිචාර ලැබෙන්නට පටන්ගෙන තිබිණ. මේ තත්ත්වය තරමක් උණුසුම් වන ආකාරයක් දැකගන්නට ලැබුණේ විශාල පිරිසක් රෝහිතට එරෙහිව ඊට විවිධ ප්‍රකාශ කිරීමට පටන්ගෙන තිබීම නිසාය. ඒ අනුව වහාම තත්ත්වය නරක අතට පෙරළෙන බව වටහාගත් රෝහිත අවසානයේ කළේ තවත් ට්විටර් පණිවුඩයක් තබමින් තමන් කලින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමය. දිගින් දිගටම රෝහිතට එරෙහිව සමාජ මාධ්‍ය ජාලාවල පළවූ ප්‍රකාශවලට තිතක් වැටුණේ ඔහුගේ මේ සමාව ඉල්ලා සිටීමත් සමඟය.
කපිල පුංචිමාන්නගේ










