ජනපති අපේක්ෂකයා ලෙස සජිත් අවශ්‍ය බව ඉල්ලමින් අද (24) දිනයේදී සන්ධානයේ සියලුම සුළු ජාතික පක්ෂ නායකයන් එක්ව ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට රවුෆ් හකීම් මහතා දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී ඇත.
ඊයේ (23) රාත්‍රියේදී එ.ජා. පෙරමුණේ සිටින සියලුම සුලු ජාතික පක්ෂ නායකයන්ට හකීම් මහතා මේ බව දැනුම් දී ඇත්තේ මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන මහත්වරුන් විසින් කරනු ලැබ තිබූ බලපෑම් නිසා බවද දැනගන්නට ඇත.
එහිදී මංගල සහ මලික් යන ඇමැතිවරුන් හකීම් මහතාට දැනුම් දී ඇත්තේ තවත් නිහඩව නොසිට ජනපති අපේක්ෂකත්වය සජිත්ට ලබා දිය යුතු බව කියමින් සියලුම සුලු පක්ෂ නායකයන් සමග ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වා රනිල්ට බලපෑම් කරන ලෙසටය.
ඒ අනුව හකීම් මහතා පළමුව රිෂාඩ් බදුර්දීන් මහතාට ඒ බව දැනුම් දී ඇතත් රිෂාඩ් එය පළමු අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කර තිබේ. රිෂාඩ් එහිදී සදහන් කර ඇත්තේ වෙනත් පක්ෂයක ගැටලුවකට මැදිහත් වීමට තමන්ට නොහැකි බවකි.
ඉන් අනතුරුව මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් යන මහත්වරුන්ටද කතා කොට ඇති හකීම් මහතා ඔවුන්ටද මේ බව දැනුම් දී ඇත.
නමුත් ඊයේ මධ්‍යම රාත්‍රියේදී පමණ හකීම්ට කතා කර ඇති දිගම්බරම් මහතා ඔහුගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර අද (24) උදෑසනම මනෝ ගනේෂන් මහතාද ඊට තම අකැමැත්ත ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මංගල හා මලික් යන මහත්වරුන්ගේ වුවමනාවට අනුව හකීම් මහතා විසින් පැවැත්වීමට සූදානම් කළ ප්‍රවෘත්ති සාකච්ජාව අත්හැර දැමීමට සිදුව ඇත.










