පොහොට්ටුව ශ්‍රීලනිපය සමඟ එක්ව මහ මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා අස්සන් කරද්දී එජාපය මේ වන විට දෙපිල බෙදී ස්ථාන දෙකක නාමයෝජනා සකස් කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. ඉන් පළමු ස්ථානය එජාප පක්ෂ මූලස්ථානය වූ පිටකෝට්ටේ පිහිටි සිරිකොතේය. එහි පක්ෂ නායක රනිල්, අකිල, සාගල, වජිර, ආශු, නවීන්, දයා, රංගේ ඇතුළු කණ්ඩායමක් අලියා ලකුණින් තරග වැදීම සඳහා නාමයෝජනා සකස් කරමින් සිටින අතර සිරිකොතට කිලෝමීටරයක් පමණ මෙපිටින් ඇතුල්කෝට්ටේ පිහිටි සජිත්ගේ සමගි ජන බලවේගය මූලස්ථානයේ දුරකතනය යටතේ මහ මැතිවරණයට තරග වැදීමට සජිත් ප්‍රමුඛ විශාල පිරිසක් නාමයෝජනා සකස් කරමින් සිටිති. මෙහිදී දැකගන්නට ඇති විශේෂම කාරණාව වන්නේ එජාප පක්ෂ මූලස්ථානය වූ සිරිකොතේ වෙන මහ මැතිවරණවලදී නම් නාමයෝජනා ඉල්ලමින් බුරුතු පිටින් පාක්ෂිකයන් එක්රොක් වී සිටියත් මෙවර එවැනි තත්ත්වයක් දැකගන්නට නොලැබීමය. ඒ වෙනුවට මෙවර දැඩි කලබලකාරී බවක් දැකගන්නට ඇත්තේ සජිත්ගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය මූලස්ථානයේය. ඊට හේතුවී ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් සජිත්ගෙන් නාමයෝජනා ලබාගැනීමට ඉදිරිපත්ව සිටීමත්, එජාප ආසන සංවිධායකවරුන් 95%ක පමණ ප්‍රමාණයක් දිනපතාම පාහේ එම කාර්යාලයට පැමිණ සිටීමත්ය.
කරු ප්‍රශ්නයට මැදිහත් වෙයි
කෙසේ වෙතත් මේ ආකාරයට සජිත්, රනිල් දෙපිල බෙදී මහ මැතිවරණයට තරග වැදීමට සූදානම් වන ලකුණු පහළ වීමත් සමඟ දෙපාර්ශ්වය එක් කිරීමේ අවසන් සාම මෙහෙයුම සිදුකිරීමට පසුගිය සතිඅන්තයේ කරු ජයසූරිය මහතා පියවර ගත්තේය. ඒ අනුව ජයසූරිය මහතාගේ නිවෙසේ ඉකුත් ඉරිදා සහ සඳුදා යන දෙදිනම දෙපාර්ශ්වයේ නියෝජිතයන් සාකච්ඡා පැවැත්වුවද එය සාර්ථක අවසානයක් කරා පැමිණෙන ලකුණු පහළ වන ආකාරයක් දැකගන්නට තිබුණේ නැත.
මීට අමතරව රනිල් හා කරු අතරද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පක්ෂ මහලේකම් අකිල මැදිහත් වී අවස්ථාවක් සලසා තිබිණ. මෙහිදී රනිල් කරුට පක්ෂ නායකත්වය හැර ලබාදිය හැකි බලතල සඳහන් කරමින් ලිපියක්ද රැගෙන කරු හමුවීමට යෑමට සැලැසුම් කර තිබුණත් අවසානයේදී එම අදහස වෙනස් කර ගැනීමට රනිල් පියවර ගත්තේය. ඊට හේතු වූයේ යම් හෙයකින් කරු එම යෝජනා ප්‍රතික්ෂේප කළහොත් රනිල්ට පක්ෂය තුළ බරපතළ අපහසුතාවට මුහුණදීමට සිදුවනු ඇති බවට වූ සැකයය. ඒ අනුව කරු හමුවීම පසෙක දැමූ රනිල් අකිලට කතාකොට කීවේ අලියා ලකුණ යටතේ එජාපය මහ මැතිවරණයට තරග වැදීමට කටයුතු කරන බවට මැතිවරණ කොමිසමට දැනුම්දීමක් කරන ලෙසටය.
කරුට දෙපැත්තම නැති වෙයිද?
කෙසේ වෙතත් මේ තත්ත්වය යටතේ කරු ජයසූරිය මහතා මේ වන විට සිය ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගන්නා තත්ත්වයට පත්ව ඇති බවක් දැකගන්නට තිබේ. එජාප නායකත්ව අර්බුදය ඇතිවීමත් සමඟ එම ප්‍රශ්නය විසඳන සාකච්ඡා ආරම්භ වූයේ කරු ජයසූරිය මහතාට පක්ෂ නායක්වය ලබාදිය යුතුය යන ස්ථාවරයේ සිටය. නමුත් මේ වන විට සිදුව ඇත්තේ කරුට පක්ෂ නායකත්වය දෙනවා තබා රනිල්ගේ පාර්ශ්වයෙන් හෝ සජිත්ගේ පාර්ශ්වයෙන් කරුට නාමයෝජනා පවා නොලැබෙන තත්ත්වයකට පත්ව තිබීමය. අවම වශයෙන් දෙපැත්තේම ජාතික ලැයිස්තුවට පවා කරු ජයසූරිය මහතාගේ නම ඇතුළත් වී නොමැත. ඒ අනුව රාජ්‍ය රහස් තීරයට වාර්තා වන තොරතුරුවලින් කියැවෙන්නේ ජයසූරිය මහතා මේ වන විට දේශපාලනයෙන් විශ්‍රාම යෑම සඳහා සැලැසුම් සකස් කරමින් සිටින බවකි. එසේ සක්‍රිය දේශපාලනයෙන් විශ්‍රාම ගොස් ඉදිරියේදී සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් නිර්මාණය කරන ලද “සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ප්‍රධාන පෙළේ භූමිකාවක් නිරූපණය කිරීමටද ජයසූරිය මහතා තීන්දු කර ඇති බව ආරංචිය.
නුවරඑළියෙන් නවීන් ගෙනා යෝජනාව
මේ ආකාරයට එජාපය දෙකඩ වී තරග කිරීම ස්ථීර වීමත් සමඟ දෙපාර්ශ්වයම තම තමන්ගේ බලමුළු ශක්තිමත් කරන ආකාරයක් පසුගිය සඳුදා දින සිටම දැකගන්නට ලැබිණ. ඒ අනුව ඊට මුලින්ම පියවර ගත්තේ රනිල් පිල නියෝජනය කරන නුවරඑළියේ නවීන් දිසානායකය. නවීන් නුවරළි දිස්ත්‍රික් බලමණ්ඩලය කැඳවමින් යෝජනාවක් සම්මත කර ගැනීමට කටයුතු කළ අතර, ඉන් කියැවුණේ එජාපය මෙවර අලියා ලකුණ යටතේ නුවරඑළියෙන් තරග කළ යුතු යැයි කියාය. එම අවස්ථාවට නුවරඑළියේ අනෙකුත් මන්ත්‍රිවරයා වන කේ.කේ. පියදාස ඇතුළු පිරිසක් එක්ව සිටිනු දැකගන්නට ලැබිණ. නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ වෙනදා නම් නුවරඑළි දිස්ත්‍රික් බලමණ්ඩලය කැඳවූ විට 850කට ආසන්න පිරිසක් රැස්වුණද මෙවර ඊට 57ක පමණ සුළු පිරිසක් පමණක් සහභාගි වී සිටීමය.
දිසානයක-හේරත් සටන යළි කරළියට
කෙසේ වෙතත් මේ ආකාරයට නවීන් නුවරඑළියේ යෝජනා සම්මත කර ගනිද්දී තවත් විශේෂ කාන්තාවක්ද පසුගිය සතියේ පළමුවරට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කරළියට පිවිසියාය. ඇය නමින් හිරන්‍යා හේරත්ය. නීතිඥවරියක වන හිරන්‍යා පිළිබඳව රටේ ජනතාව වැඩිපුර තොරතුරු නොදැන සිටියටද ඇය නුවරඑළියට නම් ආගන්තුක තැනැත්තියක් නොවේ. විශේෂයෙන්ම වළපනේ ආසනයේ හිරන්‍යා ගැන නොදන්නා කෙනකු නැත. ඊට හේතුව හිරන්‍යා යනු දීර්ඝ කාලයක් නුවරඑළියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක මෙන්ම ඇමැතිවරියක වශයෙන්ද කටයුතු කළ රේණුකා හේරත් මහත්මියගේ දියණිය වීමය. ඒ අනුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා පසුගිය සතියේ හිරන්‍යා ප්‍රකාශ කර සිටියේ රටේම ජනතාව මේ වන විට සජිත් ප්‍රේමදාස සමඟ ඒකරාශි වී සිටින බවත්, තමන්ද සජිත් සමඟ එක්ව මහ මැතිවරණයට එම පිළෙන් ඉදිරිපත් වන බවත්, නවීන්ටද ඒ සඳහා එක්වන ලෙස තමන් ආරාධනා කරන බවත්ය.
රනිල්ගේ 4ක් සජිත්ට: කපුවාත් සෙට් වෙයි
මීට අමතරව සඳුදා දින සිටම සජිත්ගේ කාර්යාලය අතුරු සිදුරු නැතිව එජාප පාක්ෂිකයන්ගෙන් පිරීයමින් පැවති අතර එම කාර්යාලය ආරම්භ කළ පළමු දින ඊට රනිල් පිල නියෝජනය කළ මන්ත්‍රිවරුන් හතරදෙනකුම එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය. එම හතරදෙනා වූයේ මුජිබර් රහුමාන්, පී. හැරිසන්, කාවිංග ජයවර්ධන සහ රාජිත සේනාරත්නය.
මෙහිදී රාජිත පිළිබඳව විශේෂ යමක් සඳහන් කළ යුතුමය. ඒ සජිත් පිල සමඟ එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා රනිල් අවසන් තුරුම්පුව ලෙස කපුකම කිරීම භාරදුන්නේ රාජිතටය. එහිදී රාජිත කරු සමඟත්, සජිත් සමඟත්, රනිල් සමඟත් ඒ ඒ පාර්ශ්වයන්ගේ යෝජනාව පිළිබඳව වරින් වර සාකච්ඡා කළත්, අවසානයේදී රනිල් ඒ කිසිදු යෝජනාවකට එකඟ වන ආකාරයක් රාජිතට දැකගන්නට නොලැබිණ. ඒ අනුව රාජිතද අවසානයේ කළේ කපුකම පසෙක තබා රනිල්ව අතහැර සජිත් සමඟ එක්වීමය.
ගාල්ලේ වජිර තනිවෙයි: විජේපාල සජිත්ට
එසේම තවත් දිස්ත්‍රික්ක ගණනාවක තත්ත්වයද එයම විය. උදාහරණයක් ලෙස පසුගිය කාලය පුරාම ගාල්ල දිස්ත්‍රික්කයේ රනිල්ව ශක්තිමත් කළේ වජිර අබේවර්ධනත්, විජේපාල හෙට්ටිආරච්චිත්ය. ගාල්ලේ අනෙකුත් මන්ත්‍රිවරුන් වූ ගයන්ත කරුණාතිලක, මනුෂ නානායක්කර සහ බන්දුල බණ්ඩාරිගොඩ සිටියේ සජිත් පිළේය. නමුත් පසුගිය අඟහරුවාදා රනිල් සමඟ එකට සිටි විජේපාල හෙට්ටිආරච්චිද සජිත්ට සහාය පළකිරීම සඳහා ඇතල්කෝට්ටේ ඔහුගේ පක්ෂ කාර්යාලයට පැමිණ සිටියේය. එහිදී සජිත් සමඟ දීර්ඝව සාකච්ඡා කළ විජේපාල තමන් ගත් මෙම තීන්දුව සම්බන්ධයෙන් රනිල්ව දැනුවත් කිරීම සඳහා එදිනම සිරිකොතටද යෑමට කටයුතු කළේය. ඒ අනුව රනිල් මුණගැසුණු විජේපාල තමන්ගේ තීන්දුව ඔහුට දැනුම්දීමටද කටයුතු කළේය.
මහනුවරින් ලකීත් ගැලවෙයි
එසේම මහනුවර තත්ත්වයද එසේම විය. මුල් වටයේදී මහනුවර එජාප දිස්ත්‍රික් නායකයා වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සජිත් සමඟ එක්වූ අතර, ඒ වන විටත් මහනුවර අනෙකුත් මන්ත්‍රිවරුන් වූ හකීම්, හලීම්, මයන්ත ආදීන් සජිත් සමඟ එක්ව සිටියහ. ඒ අනුව රනිල්ට ඉතිරිව සිටි එකම මන්ත්‍රිවරයා වූයේ ලකී ජයවර්ධන පමණි. එහිදී රනිල් ලකීට කතාකොට තවදුරටත් කියා සිටියේ එජාපය සමඟ දිගටම සිටින ලෙසත්, කිරිඇල්ලගෙන් හිස්වූ දිස්ත්‍රික් නායකත්වය ලකීට ලබාදීමට පියවර ගන්නා බවත්ය. නමුත් නුවර සියලුදෙනාම සජිත්ට සහාය පළකිරීමට තීන්දු කිරීමත් සමඟ ලකීද කළේ රනිල්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කොට සජිත් සමඟ එක්වීමය.
නවීන් එක්ක යෝජනා සම්මත කළ පියදාසත් යයි
මෙහි හොඳම සිදුවීම දැකගන්නට ලැබුණේ පසුගිය බදාදා දිනයේදීය. ඒ එතෙක් නුවරඑළියේ නවීන් සමඟ එක්ව රනිල්ගේ සහායට සිටි කේ.කේ. පියදාසද සජිත්ට එක්වීමය. නුවරඑළියේ එජාපය අලියා ලකුණින් තරග වැදිය යුතු බවට යෝජනා සම්මත කරන විට නවීන් සමඟ මූලාසනයේ කේ.කේ. පියදාසද අසුන්ගෙන සිටියද තවදුරටත් රනිල් සමඟ එක්ව ගමනක් යා නොහැකි බව ඊළඟ දින දෙක, තුන තුළ ලැබුණු පාක්ෂිකයන්ගේ ප්‍රතිචාරවලින් පියදාසට වැටහිණ. ඒ අනුව පියදාසද තීන්දු කළේ සජිත්ගේ සමගි ජන බලවේගයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමටය.
මේ ආකාරයට රනිල් සමඟ පසුගිය කාලය පුරාම එක්ව කටයුතු කළ මන්ත්‍රිවරුන් එක එක ගැලවී සජිත්ට එක්වන වාතාවරණයක් යටතේ මේ වන විට රනිල්ට ඉතිරිව සිටින්නේ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රිවරුන්ගෙන් ඉතා සුළු ප්‍රමාණයකි. ඒ අතර වජිර, නවීන්, සාගල, අකිල, දයා ගමගේ, ජෝන් අමරතුංග, රුවන් විජයවර්ධන, රංගේ බණ්ඩාර සිටින අතර අනෙක් අය ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූවන්ය.
හරීන්-එරාන්ට වගකීම්
මේ අතර සජිත් පිලත්, රනිල් පිලත් මේ වන විට සෑම දිස්ත්‍රික්කයම මැතිවරණය මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳව සැලැසුම් සකස් කර ඇති බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය. එහිදී සජිත් පිලේ සමස්ත මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම හරීන්ට භාරවී ඇති අතර, මැතිවරණ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ එරාන් වික්‍රමරත්නය. මේ දෙදෙනාටම බරපතළ වැඩ කොටසක් මැතිවරණය වෙනුවෙන් කිරීමට සිදුව ඇති නිසා දෙදෙනාවම සජිත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීමටද තීන්දු කොට තිබේ.
එමෙන්ම රනිල් පිලෙන් කියැවෙන ආරංචිවලට අනුව දිස්ත්‍රික් කිහිපයකම චරිත හුවමාරුවක් සිදුකිරීමට රනිල් සැලැසුම් කර ඇති බවක් දැනගන්නට තිබේ. ඒ අනුව මෙතෙක් මාතර දිස්ත්‍රික්කයෙන් තරග වැදි රනිල්ගේ සමීපතමයකු බව කියැවෙන සාගල රත්නායකත්, අම්පාරෙන් තරග වැදුණු දයා ගමගේත් කොළඹින් තරග වැදීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. එම තත්ත්වය යටතේ රනිල් සිටින්නේ කොළඹින් තරග නොකොට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමේ ස්ථාවරයකය.
අකිලගෙන් රතු එළියක්
මේ සියල්ල අතර වාරයේ පසුගිය බදාදා දිනයේ පක්ෂ මහලේකම් අකිල විසින් පක්ෂයේ සියලුම පළාත් පාලන මන්ත්‍රිවරුන්ට ලිපියක් යැවීමට කටයුතු කර තිබිණ. එම ලිපිය මඟින් අකිල කිසියම් රතු එළියක් මන්ත්‍රිවරුන් වෙත දල්වා තිබූ අතර, ඉන් කියැවුණේ යම් හෙයකින් ඕනෑම මන්ත්‍රිවරයකු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීන්දුව වූ එජාපය අලියා ලකුණ යටතේ තරග කරන බවට වූ තීන්දුවට පිටින් ගොස් කටයුතු කරන්නේ නම් ඔවුන්ව පක්ෂයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇතැයි කියාය. ඒ සම්බන්ධ වගන්තිය මෙහිදී අකිල එම ලිපියේ සඳහන් කිරීමට පියවර ගෙන තිබිණ. ඒ අනුව දැන් රනිල්ලාගේ සැලසුම වී ඇත්තේ එජාප පළාත් පාලන මන්ත්‍රිවරුන්ගෙන් 95%ක පමණ පිරිසක් සජිත්ට සහාය පළකර තිබියදී කෙසේ හෝ ඔවුන්ව බියගන්වා එජාපයේ මැතිවරණ යාන්ත්‍රණය තුළ තවදුරටත් තබාගැනීමය. නමුත් මේ වන විට එම මන්ත්‍රිවරුන් 95%ක්ම තීන්දු කර ඇත්තේ ඉදිරි මහ මැතිවරණයේදී සජිත්ගේ සමගි ජන බලවේගය සමඟ එක්ව ගම් මට්ටමේ, බිම් මට්ටමේ දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයක් සිදුකිරීමටය.
රතන හිමියන්ට වෙච්ච දෙයක්
පසුගිය ජනාධිපතිවරණයේදී ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කළ බොහොමයක් පිරිස් මේ වන විට බොහෝ නිහඬව ආණ්ඩුවේ වැඩ ගැන සමීපව බලා සිටින ආකාරයක් දැකගන්නට තිබේ. එසේ නිහඬව සිටි ප්‍රමුඛ පෙළේ චරිතයක් වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන්ය. ගෝඨාභය ජනාධිපති පුටුවේ වාඩිකරවීම සඳහා රට ඇතුළේ විශාල වැඩ කොටසක් දියත් කළ හිමිනමක ලෙස රතන හිමි ප්‍රකටය. විශේෂයෙන්ම මඩකළපුවේ හිස්බුල්ලාට අයත් ශරියා විශ්වවිද්‍යාලට එරෙහිවත්, මද්‍රසා පාසල්වලට එරෙහිවත්, කුරුණෑගල වඳ සැත්කම් කළේ යැයි කියන වෛද්‍ය ෂාෆිට එරෙහිවත් රට ඇතුළේ විශාල විරෝධයත් මතු කරමින් සිංහල බෞද්ධ ඡන්ද ගෝඨාභයට ලබාදීම සඳහා එකල රතන හිමි දැවැන්ත වැඩපිළිවෙළත් දියත් කර තිබිණි. මේ නිසාම ගෝඨාභයලාත්, මහින්දලාත් එවකදී කියා සිටියේ බලයට පැමිණි වහා මද්‍රසා පාසල් තහනම් කරන බවත්, ශරියා විශ්වවිද්‍යාලය ආණ්ඩුවට පවරා ගන්නා බවත්, වෛද්‍ය ෂාෆිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට දැඩි දඬුවම් ලබාදෙන බවත්ය. නමුත් ආණ්ඩුව පිහිටුවා දින 100ක් ඉක්මවා ගියත් මේ කිසිදු කාර්යයක් ඉටුවන බවක් දැකගන්නට තිබුණේ නැත. ඒ වෙනුවට ආණ්ඩුව පැත්තෙන් කියැවුණේ මද්‍රසා පාසල් නියාමනය කිරීමට කටයුතු කරනවා යැයි කියාය. ශරියා විශ්වවිද්‍යාලය පිළිබඳවත්, දොස්තර ෂාෆි පිළිබඳවත් ඊට පසු වචනයක් හෝ කියැවුණේ නැත.
මීට අමතරව භික්ෂුන් වහන්සේලාට නාමයෝජනා නොදිය යුතු බවට ආණ්ඩුව ඇතුළේ විශාල කතිකාවක් පසුගිය සති කිහිපය පුරාම සිදුවූ නිසා තමන් වහන්සේට නාමයෝජනා නොලැබෙනු ඇති බවත්, ආණ්ඩුවේ ප්‍රධානීන් සූදානම් වන්නේ තමන් වහන්සේගේ කට වසා දේශපාලනයෙන් ඉවත් කර තැබීමට බවත් උන්වහන්සේට වැටහිණ. මේ නිසා පසුගිය කාලය පුරාම රතන හිමි සිටියේ දැඩි කෝපයකින්ය. එමෙන්ම කලකිරීමකින්ය. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් කළද ඉන් පලක් නොවන බව රතන හිමියන්ට වැටහිණි.
ආණ්ඩුවට සැර ලිපියක්: මහින්දට කරපු යෝජනාව
ඒ අනුව මීට දින කිහිපයකට ඉහතදී රතන හිමියන් විසින් ඉතා රහසිගත ලිපියක් ආණ්ඩුවේ ප්‍රධානීන්ට යොමු කිරීමට පියවර ගත්හ. ඉකුත් කාලයේ ආණ්ඩුව රටට ලබාදුන් පොරොන්දු පිළිබඳව ඉතා දැඩි ස්වරයකින් යුතුව මෙම ලිපිය හරහා අදහස් දක්වා තිබූ රතන හිමියෝ වහාම එම කාරණා ඉටුකළ යුතු බවත්, එසේ නොවුණහොත් ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට නොවන බවත් සඳහන් කර සිටියහ.
කෙසේ වෙතත් මෙම රහසිගත ලිපිය ආණ්ඩුවට යොමුකොට සති එකහමාරක් පමණ ගතවුවද ආණ්ඩුවෙන් කිසිදු ප්‍රතිචාරයක් ඒ සම්බන්ධයෙන් නොලැබුණු නිසා අවසානයේදී පසුගිය බ්‍රහස්පතින්දා දින උන්වහන්සේ අවසන් තීන්දුවක් ගත්හ. ඒ ආණ්ඩුවට එරෙහිව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා දැඩි ප්‍රහාරයක් එල්ලකිරීමටය. ඒ අනුව බ්‍රහස්පතින්දා උදෑසනම රතන හිමියන්ගේ පන්සලෙන් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ එදින දහවල් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවීමට කටයුතු සූදානම් කර ඇතැයි කියාය. ඒ අනුව එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රතන හිමියන් ආණ්ඩුව පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතාද දැඩිව විවේචනයට ලක්කරමින් අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණ. විශේෂයෙන්ම උන්වහන්සේ එහිදී කියා සිටියේ දැන් මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ඉවත් විය යුතු බවත්, එසේ දේශපාලනයෙන් ඉවත් වී ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනය කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවත්ය. එමෙන්ම තමන් වහන්සේ නව සංවිධානයක් ආරම්භ කරන බවත්, ඒ හරහා ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවෙන් පිටත සිට හෝ ආණ්ඩුවට එරෙහිව සියලු ජාතිකවාදී බලවේග ඒකරාශී කරගන්නා බවත් රතන හිමියෝ සඳහන් කර සිටියහ.
චීන තානාපති යළි කැදෙව්වේ ඇයි
කොරෝනා අර්බුදය අස්සේ චීනය ශ්‍රී ලංකාව මුල්කරගෙන පසුගිය දිනෙක එක්තරා විශේෂ තීන්දුවක් ගත්තේය. ඒ ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපතිවරයා වූ යී ෂියැං ලිං මහතා හදිසියේම ආපසු එරටට කැඳවීමය. චීනය කලක සිට සැලකෙන්නේ රාජපක්ෂවරුන්ට හිතවත් ඔවුන් සමඟ සමීපව කටයුතු කරන රාජ්‍යයක් ලෙසිනි. මේ නිසා අනෙකුත් තානාපතිවරුන් හා සසඳන කල චීන තානාපතිවරයා මෙරට රඟදැක්වූයේ ඉතා ප්‍රබල භූමිකාවකි. විශේෂයෙන්ම චීනය විසින් පසුගිය ආණ්ඩු කිහිපය තුළම මෙරට සිදුකළ දැවැන්ත ආයෝජන පසුපස මෙම චීන තානාපතිවරයාගේ සෙවණැල්ල වැටී තිබිණ. මේ නිසාම රාජපක්ෂ ආණ්ඩුව පරාජය කොට පැමිණි මෛත්‍රි – රනිල් රජයද චීනය සම්බන්ධයෙන් කොපමණ විවේචන තිබුණද චීන තානාපතිවරයා සම්බන්ධයෙන් හෝ චීනය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගන්නට ගියේ නැත.
ෂියැං ලිං මහතා චීනයේ සිටින සමයේ නියෝජනය කළේ හොංකොංවලට යාබද ෂෙන්ජෙන් ප්‍රාන්තයය. ෂෙන්ජෙන් යනු චීනයේ ඇති සංවර්ධිතම ප්‍රාන්ත අතරින් එකකි. ෂෙන්ජෙන්වල ජ්‍යෙෂ්ඨ පරිපාලන තනතුරක් දැරූ ෂියැං ලිං චීනය විසින් ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස පත්කර එව්වේ එතෙක් රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවට පමණක් සීමා වූ චීන ශ්‍රී ලංකා සබඳතා දැවැන්ත ව්‍යාපාරික තලයේ ගනුදෙනු දක්වා ඉදිරියට රැගෙන යෑම සඳහාය. ඒ අනුව ෂියැං ලිං මහතා ලංකාවට පැමිණීමෙන් අනතුරුව රාජපක්ෂ රජය සමඟ මේ සම්බන්ධයෙන් දීර්ඝ සංවාදයක නිරත විණ. එහි ප්‍රතිඵලය වූයේ ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවුණු දැවැන්ත ආයෝජන සඳහා ශ්‍රී ලංකාව යොමුවීමය. ඉන් එකක් වූයේ කොළඹ වරාය නගරයය. අනෙක හම්බන්තොට වරායය. මීට අමතරව කොළඹ ඉදිකෙරෙන දැවැන්ත ව්‍යාපෘති රැසකම ව්‍යාපාරික සහකරුවා බවට පත්ව සිටින්නේ චීනයය. මේ ෂියැං ලිංගේ තානාපති සේවාවේ දක්ෂතාවන්ය.
කෙසේ වෙතත් මෙපමණ සේවාවක් සිදුකළද ෂියැ ලිං මහතා අතින් එක් අතපසුවීමක් සිදුවිය. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ සැණින් චීන සංචාරයක නිරත කරවා ගැනීමට ඔහු අසමත් වීමය. ගෝඨාගේ පළමු ඉන්දීය සංචාරයෙන් පසුව චීන සංචාරය සඳහා දින වෙන්කර ගැනීමට ෂියැං ලිං මහතා සමත් වුවද කොරෝනා වෛරසය පැතිර යෑම හේතුවෙන් මෙම සංචාරය අත්හිටුවීමට පියවර ගැණින. නමුත් ඒ කාලය තුළ රාජ්‍ය නායකයන් කිහිපදෙනෙක්ම චීනයේ සංචාරයක නිරත වීම නිසා චීන රජය එය දුටුවේ ෂියැං ලිං මහතා විසින් හිතාමතා කරනු ලැබූ අතපසුවීමක් ලෙසය.
මීට අමතරව මේ සඳහා තවත් එක් හේතුවක්ද බලපෑවේය. ඒ, කොරෝනා වෛරසය මුල්කරගෙන ශ්‍රී ලාංකිකයන් විසින් චීන ජාතිකයන්ව කොන් කරන බවට ෂියැං ලිං මහතා විසින් නිවේදනයක් නිකුත් කිරීමය. එම නිවේදනය චීනයට අහිතකර ලෙස බලපෑ බවද චීන රජයේ මතය වී තිබිණ. මේ තත්ත්වය මත චීනය කළේ ලංකාව තුළ විශාල කාර්යභාරයක් සිදුකළ ෂිං ලියැං මහතා යළි චීනයට කැඳවීමට පියවර ගැනීමය. කෙසේ වෙතත් මෙම නැවැත කැඳවීම ඔවුන් සිදුකළේ ඒ මහතාට සිදුකරන අසාධාරණයක් ලෙස නොව ඔහුට උසස් වීමක්ද ලබාදෙමිනි.
කපිල පුංචිමාන්නගේ










