සති තුනක් තිස්සේ නොකඩවා ඇදී යන එජාප නායකත්ව අර්බුදය මේ වන විට ඇත්තේ අවසානයක් දකින්නට ඔන්න මෙන්නය. පසුගිය සතිය පුරාද එජාප අර්බුදයේ ප්‍රධාන පාර්ශ්ව තුන නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයත්, සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයත්, කරු ජයසූරිය මහතාත් විවිධ ආකාරයට සාකච්ඡා, සංවාදවල නිරත වූයේ මෙම අර්බුදය අවසානයක් කරා රැගෙන ඒම සඳහාය. ඒ අනුව අප ඉකුත් සතියේ රාජ්‍ය රහස් තීරය අවසන් කළේ එජාපයේ තනතුරු සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබූ අවසන් යෝජනා ප්‍රකාශයට පත්කරමින්ය. එම යෝජනාවලින් කියැවුණේ පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබාදිය යුතු බවත්, අලුතින් නිර්මාණය කරන නව සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බව ත්, රනිල් වික්‍රමසිංහ මහතාට නව තනතුරක් නිර්මාණය කොට ඔහු පක්ෂයේ සක්‍රිය දේශපාලන කටයුතුවලින් ඉවත් කොට තැබීමටත්ය.
සජිත්ලා කරුගේ ගෙදරට යයි
ඒ අනුව මෙම එකඟතාවය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා පසුගිය සෙනසුරාදා (18දා) දිනයේ මුල්ම සාකච්ඡාව පැවැත්වුණේ කරු ජයසූරිය මහතා හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන් අතරය. එම සාකච්ඡාවට මඟපෑදුණේ පක්ෂ නායකයන් කරුගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන්ය. මෙම සාකච්ඡාවට සජිත්, චම්පික, හකීම්, මනෝ, රාජිත, මද්දුමබණ්ඩාර සහභාගිව සිටි අතර එහිදී සජිත් පාර්ශ්වය පළමු වරට තමන් එජාපයේ නායකයා වශයෙන් කරුව පිළිගන්නා බව දැනුම්දීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය. මුලින් සජිත්ගේ පාර්ශ්වයෙන් කරුට නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් කැමැත්තක් නොතිබුණද, මෙම ප්රශ්නය අර්බුදයක් කරා යෑමට ඉඩ නොතබා ඊට මෙපිටින් එය විසඳා ගැනීමේ අරමුණ ඇතිව මෙම යෝජනාවට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කර තිබිණ.
රනිල්ට දෙන තැන
“පාර්ලිමේන්තුව විසුරුවල මහ ඡන්දයකට යන්න තව සති කීපයයි තියෙන්නෙ. ඒ හින්ද පක්ෂයේ නායකත්ව ප්රශ්නය අපි ඉක්මනටම විසඳගන්න ඕනෙ. ඒ හින්ද අපි ආයාචනා කරනවා මේ පක්ෂය තවදුරටත් නොකැඩී තියාගන්න ඕන නිසා ඔබතුමාට පක්ෂ නායකත්වය භාරගන්න කියලා. අලුතින් හදන සන්ධානයේ නායකත්වය සජිත් භාරගනීවි. ප්රශ්නය තියෙන්නෙ යූ.ඇන්.පී. නායකත්වය හින්ද අපි ඒකමතිකව තීන්දු කරල තියෙන්නෙ මේක ඔබතුමාට භාරගන්න කියල ආරාධනා කරන්න” යනුවෙන් පෙරමුණේ නායකයන් කරුගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලබාදීමට කරුද කටයුතු කළේය. ඒ අනුව එතැන් සිට පැමිණ සිටි පිරිස සහ කරු අතර දීර්ඝ වශයෙන් ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡාවට ලක්විය. මෙහිදී එක් ඉල්ලීමක් පමණක් කරු සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටියේය. ඒ රනිල්ට පක්ෂය ලබාදෙන ස්ථානය පිළිබඳවය.
කරු කැමැති වෙයි
“පක්ෂයේ වගකීම් භාරගන්න එක මට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මම ඒ ඉල්ලීම ගැන සලකා බලන්න නම් අපි ඔක්කොම එකතු වෙලා එකට මේ ගමන යන්න තීන්දු කරන්න ඕනෙ. අපිට එතැනදි රනිල්ව අයින් කරන්න බෑ. එතුමටත් පක්ෂයේ යම් ජ්‍යෙෂ්ඨ තනතුරක් දුන්නොත් තමයි මේ ප්රශ්නය අපිට සාර්ථකව විසඳගන්න පුළුවන් වෙන්නෙ” යනුවෙන් කරු කියද්දී සජිත් කියා සිටියේ එය කිසිදු ගැටලුවක් නොවන බවකි.
“ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද එතුමා දැනටමත් කියල තියෙනවා ඡන්දෙ ඉල්ලන්නෙ නෑ කියලා. මොකද එතුමා දන්නවා පාක්ෂිකයො අතර එතුමට තියෙන තැන. හැබැයි එතුමා මේ පක්ෂයට කරපු සේවය අපි අමතක කරන්න හොඳ නෑ. ඒ හින්ද අලුත් තනතුරක් ඇති කරල අපි ඒක එතුමට දෙන්න සූදානම්. ඒ වගේම එතුමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනවටත් අපේ කිසිම විරුද්ධත්වයක් නෑ….” යනුවෙන් සජිත් කියද්දී කරු නැවැතත් කියා සිටියේ තමන් පක්ෂ නායකත්වය ගන්නවා නම් රනිල් සම්බන්ධයෙන් පමණක් නොව රනිල්ට හිතවත් මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන්ද වගකීම භාරගත යුතු යැයි කියාය. එහිදී රනිල් සමඟ සිටින මන්ත්‍රිවරුන් කිහිපදෙනකුගේම නම් කරු මෙහිදී සඳහන් කර සිටියේය. ඔවුන්ට කිසිසේත්ම හිරිහැර නොකළ යුතු බවත්, යම් යම් තනතුරු වෙනස් වුවද ඔවුන්ටද පක්ෂයේ යම් යම් තනතුරු ලබාදිය යුතු බවත් මෙහිදී කරුගේ ස්ථාවරය විය. කරුගේ එම ස්ථාවරයටද සජිත් ඇතුළු කණ්ඩායම එකඟතාවය පළවීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව ඔවුන් කරුට කියා සිටියේ මෙම තීන්දුව වහාම රනිල්ට දැනුම් දෙන ලෙසත්, දෙපාර්ශ්වයම පිළිගත හැකි විසඳුම එය බවත්, වහාම නව සන්ධානය සකස් කොට මැතිවරණයට මුහුණ දීමට සැලසුම් සකස් කළ යුතු බවත්ය.
රනිල් මෛත්‍රී එක්ක දඹුල්ලේ ජෙට්වින්ග් ලේක් හෝටලේ
මෙම සාකච්ඡාවෙන් පසු වහාම කරු කළේ රනිල්ට දුරකතන ඇමැතුමක් ගෙන ඔහුව හමුවීමට අවශ්‍ය බව දැනුම් දීමය. රනිල් ඒ වන විට සිටියේ දඹුල්ලේ ජෙට්වින්ග් ලේක් හෝටලයේ සිය බිරිය සහ පවුලේ ඥාතීන් සමඟ සතිඅන්ත නිවාඩුව ගතකරමින්ය. එහිදී රනිල් කියා සිටියේ තමන් ඉරිදා යළි කොළඹට පැමිණෙන බවත්, එසේ පැමිණි වහා කරු හමුවීමට ඔහුගේ නිල නිවෙසට පැමිණෙන බවත්ය. කෙසේවෙතත් කරුට මේ බව කියා සිටි රනිල් අනෙක් පැත්තට වහාම තමන්ට හිතවත් මන්ත්‍රිවරුන් වූ වජිර අබේවර්ධන, අකිල විරාජ්, ආශු මාරසිංහ, සන්දිත් සමරසිංහ වැනි මන්ත්‍රිවරුන් කිහිපදෙනකුට කතා කොට කරුගෙන් සාකච්ඡාවක් සඳහා පණිවුඩයක් ලැබුණු බවත්, ඉරිදා සවස එම හමුව පැවැත්වෙන බවත්, එය අවසන් වූ වහාම සාකච්ඡාවක් සඳහා කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි තමන්ගේ නිවෙසට පැමිණ සිටින ලෙසත් ඔවුන්ට දැනුම්දී සිටියේය. ඒ අනුව ඉරිදා සවස දඹුල්ලේ සිට කොළඹ පැමිණි රනිල් කෙළින්ම ගියේ කරුගේ ගෙදරටය. ඒ අනුව දෙදෙනා අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් ඇරැඹුණු අතර කරු කෙළින්ම සජිත් සමඟ පැමිණි කණ්ඩායම පිළිබඳවත්, එහිදී ඔවුන් තමන්ට දැනුම් දුන් යෝජනාව පිළිබඳවත් රනිල්ට දැනුම්දීමට පියවර ගත්තේය. එම යෝජනාව ඇසුණාත් සමඟ රනිල්ගේ මුහුණේ ඉරියව් වෙනස් වන ආකාරයක් දැකගන්නට ලැබුණද ඉතා ආයාසයෙන් ඒ බව සඟවාගත් රනිල් ඊට කෙළින් පිළිතුරක් නොදීමට වගබලා ගත්තේය. ඒ වෙනුවට රනිල් කළේ තමන්ට සුපුරුදු පරිදි ප්රශ්නය වටේ රැගෙන යාමේ සැලැසුම දියත් කිරීමය.
රනිල් සුපුරුදු පරිදි වටේ යයි
“මේ වෙලාවේ හදිසියේ නායකත්වය වෙනස් කරන්නෙ කොහොමද? ඒකට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන්න ඕනෙ. මහ සම්මේලනය තියන්න ඕනෙ. මේ ඔක්කොම මහ ඡන්දෙට ඉස්සෙල්ල කරන්න පුළුවන්ද කියන ප්‍රායෝගික ප්රශ්නය එනවා….” යනුවෙන් කියමින් රනිල් ප්රශ්නය වටේ කැරකෙද්දී කරු කෙළින්ම ප්රශ්නය සම්බන්ධයෙන් රනිල් සමඟ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය.
කරු රනිල්ට ඇඹරෙන්නම දෙයි
“මම මෙච්චර කල් ඔබතුමාට මේ ටික කිව්වෙ නෑ. අපි ඔක්කොටම යුතුකමක් තියෙනවා මේ පක්ෂය බේරගන්න. ජනාධිපතිවරණයෙන් ලොකු ජයග්‍රහණයක් ගත්තත් ආණ්ඩුව මේ ගිය මාස දෙකට කරපු වැඩවලින් ජනතාව අතර යම්කිසි කලකිරීමක් ඇතිවෙලා තියෙනවා. ඒ හින්ද අපි එකතු වෙලා ගියොත් අපිට විශාල අවස්ථාවක් තියෙනවා ආණඩුවක් පිහිටුවන්න. ඒ බැරි වුණත් අඩුම තරමේ අපිට ආණ්ඩුවට විශාල අභියෝගයක් දෙන්න පුළුවන් තත්ත්වයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒකට පයින් ගහන එක අපේ යුතුකම නෙමෙයි. අනෙක ඔබතුමා එකක් මතක තියාගන්න. සජිත්ට විපක්ෂනායකකම දෙන්න ඕනෙ කියල මට හැටතුන්දෙනකුගේ අස්සන් තියෙන ලියුමක් තමයි ගෙනල්ල දුන්නෙ. අන්තිමට එතුමට ඒ තනතුර දෙන්න එපා කියලා කොච්චර වාද විවාද ගියත් ඔබතුමාට ඒක දෙන්න සිද්ධ වුණා. මේ වෙද්දි ඒ මන්ත්‍රිවරු හැටතුන හැත්තෑවක් අසූවෙක් වෙලා තියෙන්නෙ. ඒ හින්ද මේක ඔබතුමාට හොඳ නෑ. ඔබතුමා මේ පක්ෂයට විශාල සේවයක් කළා. නමුත් දැන් ඔබතුමා සම්බන්ධයෙන් රට ඇතුළෙ තියෙන තත්ත්වය එච්චර හොඳ නෑ. පාක්ෂිකයන්ටත් මේකෙන් වෙන්නෙ ලොකු අසාධාරණයක්. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා මැද තැනකට ඇවිල්ල මේ ප්රශ්නය විසඳගන්න වැඩ කරන්න ඕනෙ…” යනුවෙන් කරු තරමක් දැඩිව සිය ස්ථාවරය පැහැදිලි කරද්දී රනිල් නැවැතත් විමසා සිටියේ අලුතින් හදන්නට යන නව සන්ධානය පිළිබඳවය.
“මම ලෑස්තියි මේ ප්රශ්නය බේරගන්න. හැබැයි දැන් එක එක ප්‍රශ්න ඇවිල්ලයි තියෙන්නෙ. දැන් ඔය මොකක්ද හදනවයි කියන සන්ධානය. ඒක කොහොමද ලියාපදිංචි කරන්නෙ. එතැනදි යූ.ඇන්.පී. එකට තියෙන බලතල මොනාද, තනතුරු බෙදෙන්නෙ කොහොමද කියන ප්‍රශ්න ගැන අපි තවමත් කතා කරල නෑ…” යනුවෙන් කියමින් රනිල් නැවතත් ප්රශ්නය දිගට දිගට ඇදගෙන යෑමට සූදානම් වෙද්දී කරු වහාම කියා සිටියේ, “නෑ ඔය ප්‍රශ්න අපිට දවසින් දෙකෙන් ඉක්මනටම විසඳගන්න පුළුවන්…” යැයි කියාය.
රනිල්ගේ හිතවතුන්ගේ අනාගතය කරු භාරගනී
එවිට රනිල් තමන් සමඟ අතිශය සමීපව කටයුතු කරන මන්ත්‍රිවරුන් දෙතුන්දෙනකුගේ නම් සඳහන් කරමින් ඉදිරියේදී ඔවුන්ට පක්ෂය තුළ ලැබෙන තැන පිළිබඳව කරුගෙන් විමසා සිටියේය. ඊට කරු දුන්නේ තමන් කලින් සජිත් පිලට ලබාදුන් උත්තරමය.
“මේ පක්ෂයේ නායකත්වය මට ලැබුණොත් මම කිසි කෙනකුට ප්‍රශ්නයක් නොවෙන්න වගබලා ගන්නවා. ඒ සහතිකය මට දෙන්න පුළුවන්. මම ඒක සජිත්ලා හම්බුණාමත් ඒ අයට කිව්ව. හැබැයි මෙතැන යම් යම් තනතුරු වෙනස් කිරීමක් අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ. හැබැයි ඒ අයටත් පක්ෂය ඇතුළේ යම් යම් වගකීම් සහිත තනතුරු ලබාදෙන්න අපි කටයුතු කරනවා. හැබැයි අපේ ප්‍රධාන අරමුණ වෙන්න ඕනෙ තනතුරුවලට වඩා පක්ෂය ආරක්ෂා කරගෙන සියලු දෙනාම එක්ව ශක්තිමත්ව ඉදිරියට යන එකයි….” යනුවෙන් කරු පැහැදිලි කරද්දී කල්පනාවේ නිමග්නව සිටි රනිල් සුපුරුදු පරිදි මේ සම්බන්ධයෙන් තම හිතවතුන් සමඟද සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ලබාදීම සඳහා දින දෙකක කාලයක් ලබා දෙන ලෙස කරුගෙන් ඉල්ලා සිටියේය. තමන් දින දෙකකට පසු නැවැත කරු හමුවීමට පැමිණෙන්නේ අවසන් විසඳුමක් රැගෙන බවද රනිල් එහිදී කරුට දැනුම්දී සිටියේය.
රනිල්ගේ ආවෙම නැති පැය 48
නමුත් රනිල් ඉල්ලූ මේ දින දෙකක කාලය උදාවන බවක් නම් පෙනුණේ නැත. ඒ වෙනුවට රනිල් කළේ කරු සමඟ යළිත් සාකච්ඡාවලට පැමිණෙනවා වෙනුවට තමන්ට සුපුරුදු සටකපට දේශපාලන ක්‍රීඩාවේ යෙදීමට කටයුතු කිරීමය. ඒ අනුව සාකච්ඡාව නිමවා රනිල් පස්වැනි පටුමගේ පිහිටි සිය නිවෙසට පැමිණෙන විටත් කලින් කර තිබූ දැනුම්දීමට අනුව වජිර, අකිල, ආශු, සන්දිත් පැමිණ සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ. එහිදී කරු සමඟ පැවැති සාකච්ඡාවේ සියලු තොරතුරු මෙම පිරිසට දැනුම් දී සිටි රනිල් පක්ෂ නායකත්වය කරුටත්, සන්ධානයේ නායකත්වය සජිත්ටත් ලබාදිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව පිරිසට දැනුම් දී සිටියේය.
වජිර – ආශු මරාගෙන මැරෙන තීන්දුවක
කෙසේ වෙතත් මෙම යෝජනාව ඉදිරිපත් කළ සැණින් වජිර ඊට විශාල විරෝධයක් එල්ල කරන ආකාරයක් දැකගත හැකි විය. වජිර දිගින් දිගටම කියා සිටියේ කිසිසේත්ම පක්ෂයේ නායකත්වය කරුට නොදිය යුතු බවත්, එපමණක් නොව නව සන්ධානයේ නායකත්වය පවා සජිත්ට ලබා නොදිය යුතු බවත්ය. වජිරගේ මේ විරෝධය දෙස බලා සිටි අකිල වහාම විමසා සිටියේ එසේ නම් මැතිවරණ ජයග්‍රහණය සඳහා ඉදිරිපත් කළ හැකි යෝජනාව කුමක්දැයි කියාය. ඊට පිළිතුරු දෙනවා වෙනුවට වජිරත්, ආශුත් දෙදෙනාම කළේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බලය රනිල් සතුව ඇති නිසා ඊට සිදුකළ යුතු නව පත්වීම් කොට පක්ෂ නායකත්වය සඳහා ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවත්, ඒ හරහා සජිත්ව කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළදී පරාජයට පත්කළ යුතු බවත්ය. එසේ කියමින් ඔවුන් සියලු දෙනාම අකිල දෙස බලද්දී එම යෝජනාවේ අසීරුතාවය මැනවින් වටහාගෙන සිටි අකිල ලිස්සා යන ආකාරයේ උත්තරයක් දෙනු දැකගත හැකි විය.
අකිල පස්ස ගහයි
“වර්කින් කමිටි එක කැඳවනවා නම් අපි පාර්ලිමේන්තු කණ්ඩායමත් කැඳවන්න ඕනෙ. ඊට පස්සෙ ඡන්දෙකට යනව නම් අපි හැම කෙනාටම කතා කරල නම්බර්ස් ටික හදාගන්න ඕනෙ. එහෙම නැතිව ගහෙන් ගෙඩි එනව වගේ ඡන්දෙකට ගිහිල්ල අපි පැරදුණොත් ඔක්කොම ඉවරයි. ඒ හින්ද මට නම් ඔය වැඬේට මන්ත්‍රිවරු එකතු කරන එක භාරගන්න බෑ…” යනුවෙන් කියමින් පළමු වටයේදීම අකිල වැඬේ මඟහැරියත්, ආශු සහ වජිර සටන මඟහරින ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
“දැන් නායකතුමාට වර්කින් කමිටියට අලුතෙන් විසි දෙනෙක් පත්කරන්නත් පුළුවන්. එතකොට අපිට තව විස්සක් වගේ තමයි හොයාගන්න තියෙන්නෙ. ඒ විස්සත් හරියට හදාගෙන අපි වර්කින් කමිටි එකේ ඡන්දයක් තියල සජිත්ව පරද්දමු. ඊට පස්සෙ කරන්න ඕනෙ මොකක්ද කියල සාකච්ඡා කරමු…” යනුවෙන් වජිරත්, ආශුත් දැඩිව කියද්දී රනිල්ද ඒ දෙදෙනාගේ යෝජනාවට කැමැත්තක් දක්වන ආකාරයක් දැකගන්නට තිබිණ. ඒ අනුව මන්ත්‍රිවරුන් එකතු කිරීමේ කටයුත්ත වජිරටත්, ආශුටත් පැවරූ රනිල්, ඒ වන විට වෛද්‍ය පරීක්ෂණ කීපයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටි රවිට කතා කිරීමේ කටයුත්ත අකිලට පැවරීමට පියවර ගත්තේය. එම වෛද්‍ය පරීක්ෂණ අවසන් වූ වහාම රවිව ලංකාවට ගෙන්වා ගන්නා ලෙසද රනිල් අකිලට කියා සිටියේය.
ඒ අනුව ඊට පසු දින උදේ සිටම මෙහෙයුමට අත තැබූ ආශු සහ වජිර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන්ට වෙන් වෙන්ව කතා කරමින් රනිල්ට සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටින ආකාරයක් දැකගන්නට ලැබිණ.
සජිත්ගෙන් සංවිධායකවරුන්ට කැදවීමක්
රනිල් ඒ ආකාරයට තවදුරටත් පක්ෂ නායකත්වය රැක ගැනීමේ අවසන් සටනට සූදානම් වෙද්දී සජිත් කළේ පක්ෂය ඇතුළේ ඡන්ද පිළිබඳව සැලකිල්ලක් දක්වනවා වෙනුවට පක්ෂයේ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ගම් මට්ටම ශක්තිමත් කිරීමට අවශ්‍ය සැලැසුම් සකස් කිරීමය. ඒ අනුව සියලුම ආසන සංවිධායකවරුන් වෙත වහාම පණිවුඩයක් යැවූ සජිත් ඒ සියලු දෙනාටම අඟහරුවාදා දින සාකච්ඡාවක් සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට දැනුම්දී සිටීමට කටයුතු කළේය. ඒ සියලු සංවිධාන කටයුතුවල බර දැරුවේ අජිත් පී. පෙරේරාය. සවස 2.30ට රැස්වීම ආරම්භ කරන බව දැනුම්දී තිබූ බැවින් දුර බැහැර ආසන සංවිධායකවරුන් පවා 2.30 වන විට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට වගබලා තිබුණද රැස්වීම ආරම්භ වූයේ පැයක් ප්‍රමාද වී සවස 3.30ට පමණය. සජිත් සමඟ මූලාසනයේ ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර, සුජීව සේනසිංහ සහ අජිත් පී. පෙරේරා අසුන්ගෙන සිටියහ. ඒ වන විටත් ඇතැම් ආසන සංවිධායකවරුන් කඩින් කඩ රැස්වීමට සම්බන්ධ වෙමින් සිටි අතර මුලින්ම කතා කළේ කබීර් හෂීම්ය. ජනාධිපතිවරණ පරාජය පිළිබඳව අදහස් දැක්වූ කබීර් මහ මැතිවරණයට පෙර පක්ෂය වෙනස් විය යුතු බවත්, පාක්ෂිකයන් සහ රටේ ජනතාව පක්ෂය ඇතුළේ වෙනසක් ඉල්ලන බවත් පැහැදිලි කර සිටියේය.
අජිත් ඔෆෙන්සිව්: සජිත් ඩිෆෙන්සිව්
ඉන් අනතුරුව කතා කළේ අජිත් පෙරේරාය. සුපුරුදු පරිදි අජිත් තරමක් ආවේගශීලීව අදහස් දක්වමින් කියා සිටියේ රනිල් පක්ෂ නායකත්වය භාර නොදෙන්නේ නම් කොක්කෙන් හෝ කෙක්කෙන් එය ලබාගැනීමට කටයුතු කළ යුතු යැයි කියාය. අවසානයේදී කතා කළේ සජිත්ය. සජිත් සිය කතාව ආරම්භ කළේම ජනාධිපතිවරණ පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම තමන් පිට පවරා ගනිමින්ය. නමුත් එම පරාජය එළැඹෙන මහ මැතිවරණයේදී ජයග්‍රහණයක් බවට පෙරළාගත හැකි බවද සජිත් මෙහිදී පිරිසට පෙන්වා දුන්නේය. මෙහිදී සජිත් කළ කතාවේ තවත් සුවිශේෂී ලක්ෂණයක් දැකගත හැකි විය. ඒ, එජාපය ආරම්භයේ සිටම එහි නායකත්වය හෙබවූ ඩී.එස්.ගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වාම සිටි සියලුම නායකයන් පිළිබඳව කෙටි හැඳින්වීමක් කිරීමය. එහිදී සිය පියාණන් වූ රණසිංහ ප්‍රේමදාස සම්බන්ධයෙන්ද සජිත් කතා කළේ ඉතාමත් කෙටියෙනි. එමෙන්ම රනිල් ගැන කියද්දීත් සජිත් කියා සිටියේ ඔහු ඉතා හොඳ දැක්මක් ඇති නායකයකු යැයි කියාය. කිසිදු අවස්ථාවක වචනයකින් හෝ රනිල්ට පහර එල්ල නොකිරීමට සජිත් මෙහිදී කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.
කිරිඇල්ල මධ්‍යස්ථ තැනක
ඉන් අනතුරුව කතා කළේ ලක්ෂ්මන් කිරිඇල්ලය. කිරිඇල්ල ඉතාම මධ්‍යස්ථ තැනක සිටිමින් සිය කතාව කළ අතර ඔහු සියලුදෙනාටම පෙන්වා දුන්නේ රනිල්, සජිත්, කරු යන තිදෙනාම එක්ව පක්ෂය ඉදිරියට රැගෙන යා යුතු බවත්, කවුරුන් හෝ ගහගෙන කඩාගෙන ඉදිරියට යෑමට කටයුතු කළහොත් මහ ඡන්දයට මුහුණදීම ඉතාමත් අසීරු වන බවත්ය. සාමාන්‍යයෙන් කිරිඇල්ල රනිල් පාර්ශ්වය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයකු ලෙස පිළිගැනීමක් තිබුණත් මෙම ස්ථානයට කිරිඇල්ල පැමිණ සිටීමත්, ඉතාමත් මධ්‍යස්ථ ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වීමත් කාගේත් ප්‍රසාදයට ලක්වූ කාරණයක් විය. එමෙන්ම කිරිඇල්ල ඉකුත් සමයේදී පාක්ෂිකයන්ට රැකියා ලබා දෙමින් පාක්ෂිකයන් ආරක්ෂා කිරීමට කටයුතු කර තිබීමද මෙහිදී සංවිධායකවරුන්ගේ ප්‍රශංසාවට ලක්වූ කරුණක් විය.
කබීර්ට කන පැලෙන්න හම්බ වෙයි
මේ ආකාරයට ඉදිරියට ඇදී ගිය රැස්වීම තරමක් උණුසුම් එකක් බවට පත්වූයේ පැමිණ සිටි ආසන සංවිධායකවරුන්ට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමත් සමඟය. එහිදී ආසන සංවිධායකවරුන් විවිධ යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට පටන්ගත් අතර ඇතැම් ඒවා අතිශය පෞද්ගලික මට්ටමේ ඒවා විය. ඇතැමුන් සිය ඉඩකඩම් විකුණමින් පක්ෂයට කැපවී කටයුතු කළ ආකාරයත්, තවත් සමහරු තමන්ට සිදුවූ කැපිලි කෙටිලි සහ අසාධාරණකම් ගැනත් එහිදී අදහස් දැක්වීමට යෑම නිසා මාතෘකාව තරමක් එහෙට මෙහෙට යන ආකාරයක් දැකගන්නට ලැබිණ. එහීදී දක්නට ලැබුණු විශේෂම කාරණාව වූයේ කෑගල්ල නියෝජනය කරමින් පැමිණ සිටි ආසන සංවිධායකවරුන්ගේ දැඩි විවේචනයට කෑගල්ලේ නායකයා වූ කබීර් හෂීම් ලක්වීමය.
“කබීර් ඇමැතිතුමා ඒ කාලෙ අපිව සත පහකට ගණන් ගත්තෙ නෑ. අපේ මිනිස්සුන්ට රස්සාවක් දුන්නෙ නෑ. එයාගෙන් රස්සාවක් ගන්න එයාළඟ වැඩ කරපු ලේකම්වරුන්ට සල්ලි දෙන්න වුණා. කවදාවත් අපි දුන්නු කෝල් එකකට එයා ආන්සර් කළේ නැහැ…” යනුවෙන් කියමින් කෑගල්ල ආසන සංවිධායකවරුන් දිගට හරහට කබීර්ට පහර පිට පහර එල්ල කරද්දී කිසිවකුත් ඊට එරෙහිව අදහස් දක්වන ආකාරයක් හෝ කිසිවකුත් එම අදහස් දැක්වීම නවතාලීමට උත්සාහ කළ ආකාරයක් හෝ දැකගන්නට නොලැබුණු නිසා අවසානයේදී කබීර් කළේ වහාම රැස්වීම පැවැති කාමරයෙන් පිටව යෑමට පියවර ගැනීමය.
මේ අතර ඒ වන විටත් සවස් වෙමින් තිබීම නිසා දුර බැහැර පළාත්වලින් පැමිණ සිටි ආසන සංවිධායකවරුන් රැස්වීමෙන් නැඟිට පිටව යන ආකාරයක්ද දැකගන්නට ලැබිණ. ඒ අනුව රැස්වීම සංවිධානය කිරීමේදී බොහෝ දුර්වලතා පැවැති බවක්ද දැකගන්නට තිබිණ.
සජිත්ට ලැබුණු රතු එළිය
කෙසේ වෙතත් ඒ වන විට විවිධ ආසන සංවිධායකවරුන් විවිධ අදහස් දක්වන ආකාරයක් දැකගන්නට ලැබුණු අතර ඇතැම් අය වෙනම යා යුතු බව කියද්දී තවත් සමහරුන් සියලු දෙනා එක්ව යායුතු බවද කියා සිටිනු දැකගැනීමට තිබිණ. ඒ අවස්ථාවේදී නැඟුණු ප්‍රශ්නවලට සජිත් ඉතා කෙටියෙන් පිළිතුරු දුන් අතර, සවස් වන විට පක්ෂය පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ ආසන සංවිධායකවරුන් පමණක් එහි ඉදිරිව සිටින ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ඔවුන් සියලු දෙනාම දැඩි ස්ථාවරයක සිටිමින් සජිත්ට කියන්නට වූයේ පක්ෂ නායකත්වය නොලැබුණහොත් තවදුරටත් පක්ෂය ඇතුළේ නොසිට නව සන්ධානයක් පිහිටුවීමට කටයුතු කරන්න යැයි කියාය.
“ඔබතුමා දැන්වත් තීන්දුවක් ගන්න. පක්ෂ නායකත්වය දුන්නෙ නැත්නම් මේක ඇතුළෙ ඉන්නෙ නැතුව කඩාගෙන එළියට යන්න. මොකද රනිල්ට කොහොම කළත් දැන් කිසිම ආසනයකටවත් එන්න බෑ. එහෙම ආවොත් මිනිස්සු එයාට ගල් ගහල එළවයි. අපි ආසන සංවිධායකවරුන් විදිහට මේ ටික ඔබතුමාට කියන්නම ඕනෙ. දැන් ඔබතුමා ලබන ඉරිදට පක්ෂයෙ ඔක්කොම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු කොළඹට කැඳවල තියෙනවා. එතැන දෙසිය පනස් පස් දෙනෙක් ඉන්නවා. ඒ මන්ත්‍රිවරු තමයි පක්ෂයට තියෙන ලොකුම හයිය. මොකද ගම්වල ඉන්නෙ එතුමන්ලා. ඒ අය දන්නව ගමේ තත්ත්වය. ඒ අය ඉරිදට ඔබතුමාව හම්බුවෙන්නෙ මේ ප්රශ්නය ගැන දෙකෙන් එකක් බේරගන්න බලාගෙන. ඒ නිසා එතුමන්ලත් එක්ක ඔබතුමාට ලේසි වෙන්නෙ නෑ…” යනුවෙන් කියමින් ඉරිදා රැස්වීම පිළිබඳව කිසියම් අනතුරු ඇඟවීමක් සජිත්ට ලබාදීමටද ආසන සංවිධායකවරු කටයුතු කළහ.
සංවිධාන කිරීම අන්තිමයි
කෙසේ වෙතත් සමස්තයක් ලෙස මෙවැනි රැස්වීමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් තුළ කිසියම් ප්රසාදජනක හැඟීමක්ද ගොඩනැඟී තිබිණ. විශේෂයෙන්ම නිදහසේ තම මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කළ ආසන සංවිධායකවරුන් රැස්වීම සංවිධානය කිරීමේදී දක්නට ලැබුණු දුර්වලතා පිළිබඳවද ප්‍රසිද්ධියේම සිය අප්‍රසාදය පළකරනු දැකගත හැකි විය.
මේ ආකාරයට සජිත් ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවීම පිළිබඳවත්, ඉරිදා දිනයේදී පක්ෂයේ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් කොළඹට කැඳවීමට පියවර ගෙන තිබීම පිළිබඳවත් රනිල් ඇතුළු ඔහුට හිතවත් පාර්ශ්වය සිටියේ දැඩි කැලඹීමකින් යුතුවය. ඒ අනුව ඉරිදා දිනයේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් කොළඹට පැමිණියහොත් ඔවුන් සිය ස්ථාවරය දැඩිව ප්‍රකාශයට පත්කරනු ඇති බවද රනිල් ඇතුළු කණ්ඩායමට ඉව වැටී තිබිණ. ඒ නිසාම රනිල්ට අවශ්‍යව තිබුණේ ඉරිදා වන්නට ප්‍රථම මොනයම් ක්‍රමයකින් හෝ මෙම ප්රශ්නය විසඳා ගැනීමටය. මන්ද යත් ඉරිදා මන්ත්‍රිවරුන් කැඳවීමේ වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් තමන්ට සිදුවන්නේ සිරිකොතට පමණක් සීමා වූ නායකත්වයක් දරා සිරීමට බව ඒ වන විට රනිල්ට හොඳහැටි වැටහී තිබිණ. ඒ අනුව රනිල් වහාම සිය උපාය උපක්‍රම ඉක්මණින් ක්රියාවේ යොදවන ආකාරයක් පසුගිය බදාදා වන විට දැකගන්නට ලැබිණ. බදාදා සවස් වරුව වන විට රනිල් කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවා නායකත්වය වෙනුවෙන් ඡන්දයක් පවත්වා දෙකෙන් එකක් විසඳාගත යුතු බවට වූ සිය මතය පක්ෂයට දැනුම් දුන්නේ ඒ අනුවය.
තිස්ස යළි රනිල්ගේ් පැත්තට!
මේ අතර බදාදා සවස් වරුවේ තවත් එක් විශේෂ පුද්ගලයකුගෙන් කරුට දුරකතන ඇමැතුමක් ලැබිණි. ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් කිරීම සඳහා දින දෙකක් ලබාදෙන ලෙසත්, ඉන් පසුව නැවැත තමන් හමුවීමට පැමිණෙන බවටත් රනිල් කළ ප්‍රකාශයට අනුව කරු රනිල්ගෙන් දුරකතන ඇමැතුමක් බලාපොරොත්තුවෙන් සිටියද මෙවර කරුට එම ඇමැතුම ලැබුණේ රනිල්ගෙන් නොව තිස්ස අත්තනායකගෙනි. තිස්ස යනු එජාපයේ මහලේකම්වරයා වශයෙන් සිට 2015 ජනාධිපතිවරණයේදී මහින්දගේ ජයග්‍රහණය පතා පක්ෂය මාරු කළ අයෙකි. ඉන් අනතුරුව පසුගිය ජනාධිපතිවරණයේදී නැවැතත් සජිත්ට සහාය පළ කරමින් ඔහුගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රබල භූමිකාවක්ද තිස්ස ඉටු කළේය. ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සජිත්ට විපක්ෂ නායකකම ලබාගැනීමට කළ සටනේදී තිස්ස එක් අවස්ථාවකදී කරුට කතා කොට දැඩි ස්වරයෙන් යුතුව අදහස් දැක්වීම නිසා තිස්ස සම්බන්ධයෙන් කරු සිටියේද එතරම් පැහැදීමකින් නොවේ. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී කරුට කතා කළ තිස්ස දුන් පණිවුඩයෙන් කරු තවත් අන්දමන්ද වී ගියේ රනිල්ගේ විශේෂ පණිවුඩයක් රැගෙන තමන්ව හමුවීමට පැමිණෙන බවට තිස්ස කළ දැනුම්දීම නිසාය. පසුගිය කාලය පුරාම රනිල් විරෝධී ස්ථාවරයක සිටිමින් සජිත්ට සහාය දැක්වූ තිස්ස එක්වරම රනිල්ගේ පණිවුඩයක් රැගෙන පැමිණීම කරුගේ මෙම අවුලට තවත් හේතුවක් වී තිබිණ. ඒ නිසාම කරු කළේ තිස්සට වේලාවක් නොදී නිහඬව සිටීමය. නමුත් වැඬේ අත් නොහැරපු තිස්සද විවිධ උපක්‍රම උපයෝගි කර ගනිමින් රනිල්ගේ එම පණිවුඩය කරුට ලබාදීමට උත්සාහ කළද දැඩි ස්ථාවරයක සිටි කරු කිසිසේත්ම තිස්සට වේලාවක් ලබා නොදීමට වගබලාගෙන තිබිණ.
තිස්සට චාන්ස් එක අරන් දුන් සැගවුණු අමුත්තා
කෙසේ වෙතත් බදාදා රාත්‍රියේ කිසියම් විශේෂිත පුද්ගලයකු කරුට කතා කොට කෙසේ හෝ තිස්සට හමුවීම සඳහා වේලාවක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටින්නට විය. එවිටද කරු ඒ විශේෂිත පුද්ගලයාගෙන් විමසා සිටියේ දවසකට රනිල්ට බනින, තවත් දවසකට රනිල්ගේ විශේෂ පණිවුඩ රැගෙන එන්න තිස්ස වැන්නකු විශ්වාස කළ හැකිදැයි කියාය. නමුත් දිගින් දිගටම කළ ඉල්ලීම නිසා අවසානයේදී තිස්සට වේලාවක් ලබාදීමට කරු මේ විශේෂ පුද්ගලයාට එකඟතාවය පළ කළේය. ඒ අනුව බ්‍රහස්පතින්දා විනාඩි 15ක පමණ කෙටි කාලයක් තිස්සට ලබාදීමට කරු පියවර ගත්තේය. එහිදී තිස්ස ඉල්ලා සිටියේ රනිල්, කරු සජිත් යන තිදෙනාම එක්ව පක්ෂය ඉදිරියට ගෙන යෑමට කටයුතු කළ බවත්, තමන් මෙසේ මෙම ප්රශ්නය මැදිහත් වන්නේ එජාපයට ඇති ආදරය නිසා බවත්ය. තිස්සගේ මේ ඉල්ලීම අසා සිටි කරු අවසානයේදී තිස්සට කියා සිටියේ තමන් රනිල් සහ සජිත් සමඟ සාකච්ඡා කොට මේ ගැටලුව විසඳා ගැනීමට කටයුතු කරන්නම් යැයි කියාය. ඒ අනුව මේ වන විට රනිල් තීන්දු කර ඇත්තේ සති අන්තය වන විට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තමන්ට හිමි පත්කිරීම් විස්ස සිදුකොට නව කෘත්‍යාධිකාරී මණ්ඩලය පත්කිරීමටය. එමෙන්ම විටින් විට ආශුට සහ වජිරට කතා කරමින් කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ඡන්දයට යනවා නම් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය බහුතරය තිබෙනවාද යන්න විමසා සිටි රනිල්ට බ්‍රහස්පතින්දා රාත්‍රිය වන විටත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් පැහැදිලි පිළිතුරක් ලැබෙන ආකාරයක් දැකගන්නට නොලැබිණ. ඒ අනුව ඔවුන්ගේ උපදෙස වී ඇත්තේ රහස් ඡන්දයක් නායකත්වය වෙනුවෙන් පැවැත්විය යුතු යැයි කියාය. ඇතැම් මන්ත්‍රිවරුන් ප්‍රසිද්ධියේ රනිල්ට සහාය දක්වා ඡන්දය ඉල්ලීමට ගමට යෑමට නොහැකි බවට බියෙන් සිටින නිසා රහස් ඡන්දයක් පැවැත්වුවහොත් එහි වාසිය රනිල්ට ලබාගත හැකි බව ඔවුන්ගේ මතය වී තිබේ. එමෙන්ම සජිත් පිලද සිටින්නේ මේ සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ රහස් ඡන්දයක් පැවැත්විය යුතුය යන ස්ථාවරයේය. එවිට වැඩි වාසියක් සජිත් පිලට ලබාගත හැකි බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.
යළි වීරයා වුණු කරු
අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්රදාය ගත් විට කතානායකවරයා එහි ප්‍රධානියා වුවද ඒ කතානායකවරයා සම්බන්ධයෙන් කතා කරනු ලබන්නේ ඉතාමත් අවම වශයෙන්ය. ඒ, බොහෝදුරට ඉතිහාසයේ සිටි කතානායකවරුන් පවතින ආණ්ඩුව නියෝජනය කළ චරිත වීම නිසාත්, ඒ අනුව ආණ්ඩුවේ තීන්දු තීරණ ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට ඔවුන් සහාය දැක්වීම නිසාත්ය. නමුත් පසුගිය වසර පහක කාලය තුළ පැවැති පාර්ලිමේන්තුවේ කතානායකවරයා වූ කරු ජයසූරිය මහතා සම්බන්ධයෙන් නම් කීමට ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්ය. ඒ මෙතෙක් කල් කතානායක පුටුවේ අසුන්ගෙන සිටි කතානායකවරුන් මෙන් නොව කරු ජයසූරිය මහතා මහත් ආන්දෝලනාත්මක තීන්දු තීරණ රැසක්ම කතානායක පුටුවේ සිට ගැනීම නිසාය. එහි විශේෂත්වය වී තිබුණේ කතානායකවරයා ගත් ඒ සියලුම තීන්දු තීරණ මේ රටේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කිරීම වෙනුවෙන් ගනු ලැබූ අභීත තීන්දු තීරණ වීම නිසාය.
මෙහි උච්චතම අවස්ථාව දැකගන්නට ලැබුණේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බහුතර බලයක් තිබූ අගමැති වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව එක රැයින් පෙරළා දමා මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කොට ප්රජතන්ත්ර විරෝධී ආකාරයට ආණ්ඩු පිහිටුවීමත් සමඟය. එහිද කතානායකවරයා කිසිදු අවස්ථාවක එම සුළුතර ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේ පිළිගැනීමට කටයුතු නොකළා පමණක් නොව සෑම අවස්ථාවකදීම නීත්‍යානුකූලව හා ප්රජාතන්ත්රවාදී ආකාරයට බහුතරය පෙන්වා ආණ්ඩුව පිහිටුවන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දීමටද කටයුතු කළේය. ඉන් අනතුරුව ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මෛත්‍රිපාල කටයුතු කළ අවස්ථාවේදීද ඊට එරෙහිව කතානායකවරයා ඍජුවම පෙනී සිටිමින් කටයුතු කිරීමට පියවර ගත්තේය. එම දින 52ක කාලය තුළ පාර්ලිමේන්තුව ඇතුළේ බරපතළ ගැටුම් ඇතිවූ අවස්ථාවේදී පවා සිය වියපත් භාවය හෝ නොතකා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ඍජුව මුහුණදීමට කතානායකවරයා පියවර ගැනීමට මුළු රටේම ප්‍රශංසාවට ලක්වූ කාරණාවක් විය. අවසානයේදී කතානායකවරයා ගෙනගිය ඒ සටන නිවැරැදි බව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මෛත්‍රි නීති විරෝධී ආකාරයට ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට සිය තීන්දුව ලබාදෙමිනි.
ඉන් අනතුරුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිරගත කළ අවස්ථාවේදීද කතානායකවරයා මේ ආකාරයෙන්ම ඍජුව තීන්දු තීරණ ගනිමින් චම්පිකගේ සැප දුක විමසීම සඳහා බන්ධනාගාරය වෙත යෑමට පවා කටයුතු කළේය.
නීතිපතිගේ නියෝගය කුණු බක්කියේ
එමෙන්ම පසුගිය සතියේද කතානායකවරයා මේ ආකාරයෙන්ම තවත් අභීත තීන්දුවක් ගැනීමට පියවර ගත්තේය. ඒ නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබානොදෙන ලෙසට උපදෙස් ලබාදී තිබියදීත් එය නොතකා එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කතානායකවරයා තීන්දු කිරීම හරහාය.
බැඳුම්කරය යනු ඉකුත් යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට මූලික වූ මාතෘකාවය. පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීම සඳහා එදා ප්‍රධාන අවිය කොට ගත්තේ බැඳුම්කර ගනුදෙනුවය. ජවිපෙද කෝප් කමිටුව හරහා බැඳුම්කරය වංචාවක් බව රටටම ඔප්පු කර පෙන්නුවේය. වෙනකක් තබා හිටපු ජනපති මෛත්‍රි හා එජාප ආණ්ඩුව අතර දේශපාලන විරසකයක් හට ගැනීමට මූලික වූයේද බැඳුම්කර ගනුදෙනුවය. ඉකුත් ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාව වූයේද බැඳුම්කර වංචාවය. කෙසේ වෙතත් ජනාධිපතිවරණ සමය වන විට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වෝහාරික විගණන වාර්තාව නිකුත් කර තිබුණද එවකට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කිසිදු අවස්ථාවක එය එළියට දැමීමට කටයුතු කරේ නැත. බැඳුම්කරය ඔහුගේ ප්‍රධාන මාතෘකාවක් වුවත් ඒ සම්බන්ධයෙන් නිකුත් වූ අවසන් වාර්තාව එළියට නොදැමීම සම්බන්ධයෙන් අදටත් ඇත්තේ විශාල ප්‍රශ්නාර්ථයකි.
ඒ අනුව බොහෝ දෙනකු සිතා සිටියේ විපක්ෂයේද මාතෘකාව බැඳුම්කරය නිසා අලුත් ආණ්ඩුව පැමිණි වහාම මේ බැඳුම්කර වාර්තාව එළියට ගෙන බැඳුම්කර හොරුන්ට දඬුවම් කරනු ඇතැයි කියාය. නමුත් අලුත් ආණ්ඩුව ආ පසු බැඳුම්කර සිද්ධිය හීන් සීරුවේ යටගිය අතර ඒ වෙනුවට ස්විස් සිද්ධිය, චම්පික සිද්ධිය, රාජිත සිද්ධිය, රන්ජන්ගේ හඬ පට වැනි අවශේෂ කරණු එළියට එන ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව අවසානයේදී මේ බැඳුම්කර වාර්තාව එළියට දමන ලෙස පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතට හඬ නැඟුවේ චෝදනාවට ලක්වූ එජාපයත්, බැඳුම්කරය සම්බන්ධයෙන් එදා සිටම කතා කළ ජනතා විමුක්ති පෙරමුණත්ය. නමුත් ආණ්ඩුව පැත්තෙන් ඊට පිළිතුරු වශයෙන් කියැවුණේ යම් යම් නීතිමය කරුණු මත බැඳුම්කර සම්බන්ධයෙන් වූ වෝහාරික විගණන වාර්තාව ප්‍රසිද්ධ කළ නොහැකි යැයි කියාය. ඒ අනුව සැවොම සිතා සිටියේ මිලියන 900ක් පමණ වියදම් කර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් 2005 සිට 2018 දක්වාම අලලා සකස් කර තිබූ වෝහාරික විගණන වාර්තාව කාලයේ වැලිතලාවෙන් වැසී යනු ඇතැයි කියාය.
කරු තම මතය කියයි
ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් කිහිපදෙනකුම විමසා සිටි අවස්ථාවේදී කතානායකවරයාද කියා තිබුණේ තමන් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසා ඇති බවත්, ඉන් අනතුරුව තම මතය ප්‍රකාශ කරන බවත්ය. ඒ අනුව පසුගිය අඟහරුවාදා දිනයේදී කතානායකවරයා නීතිපතිවරයාගේ මතය ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ එම වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබා නොදෙන ලෙසට නීතිපතිවරයා තමන්ට දැනුම් දී ඇති බවය. ඒ අනුව විපක්ෂය චෝදනා කරමින් කියා සිටියේ මෙම වාර්තාවේ 2005 සිටම බැඳුම්කර ගනුදෙනු ඇති බැවින් ඒවා යට ගැසීම සඳහා වාර්තාව නිකුත් නොකරනවා යැයි කියාය. කතානායකවරයාටද එහි චෝදනාව එල්ල වීම නිසා ඊට පිළිතුරු දෙමින් කතානායකවරයා කියා තිබුණේ තමා ඉදිරිපත් කළේ නීතිපතිවරයාගේ මතය බවත්, තමන්ගේ තීන්දුව තවමත් ප්‍රකාශයට පත් නොකළ බවත්, නියමිත වෙලාවට තමන් එම තීන්දුව ගන්නා බවත්ය. ඒ අනුව කතානායකවරයා කලින් අවස්ථා කිහිපයකදීම කළාක් මෙන්ම ස්වාධීන, අභීත තීන්දුවක් ගනු ඇති බව සැවොම සිතා සිටියද අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊට දින කිහිපයකට ඉහතදී බැඳුම්කර වාර්තාව නිකුත් කිරීමේ නීතිමය ගැටලු ඇති බවට මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කර තිබීම නිසා මෙම වාර්තාව එළියට නොඑනු ඇති බවට බොහෝදෙනා සැක මතුකොට තිබිණ.
නමුත් ඒ සියලු කරුණු යටපත් කොට කතානායකවරයා මෙවරත් සියල්ලන්ම පුදුමයට පත්කරමින් නොබියව බැඳුම්කර වාර්තාවේ වෝහාරික විගණනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීන්දු කළේය. ඇත්ත වශයෙන්ම නීතිපතිවරයා එම වාර්තාව ප්‍රසිද්ධියට පත් නොකරන ලෙසට උපදෙස් ලබා දී තිබියදීත්, අගමැතිවරයාත් එම ස්ථාවරයේම සිටියදීත් කතානායකවරයා ගත්තේ ආන්දෝලනාත්මක සහ ඍජු අභීත තීන්දුවකි. ඒ අනුව දැන් අපට බලා සිටීමට ඇත්තේ පසුගිය ආණ්ඩු සමයේදී හිටපු ජනාධිපතිවරුන්, විපක්ෂයේ මන්ත්‍රිවරුන්, මාධ්‍ය බැඳුම්කර මාතෘකාව කරේ තියාගෙන උදේ, දවල්, රෑ පට්ටා ගසමින් ගිය ආකාරයටම මෙම වාර්තාව මඟින් හෙළිදරව් කර ඇති හොරුන් පිළිබඳවත්, එම හොරුන්ට අතහිත දුන් අය පිළිබඳවත් එදා වාගේම අදත් පට්ට ගසමින් කතා කරන තෙක්ය.
වියත් මග අවුලක
මහ මැතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ මාස තුනක් වැනි ඉතා කෙටි කාලයකි. පසුගිය කාලසීමාව පුරාම පාර්ලිමේන්තුව ඇතුළේ දැකගන්නට ලැබුණු අශීලාචාර දූෂිත කටයුතු නිසා රටේ අතිබහුතරයක් ජනතාව කියා සිටියේ මේ මන්ත්‍රිවරුන් 225ම ඉවත් කළ යුතු යැයි කියාය. එසේ කොට ඊළඟ මැතිවරණයේදී උගත්, බුද්ධිමත්, වැදගත් පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු යැයි කියාය. පක්ෂ, පාට භේදයකින් තොරව සමාජ මාධ්‍ය ජාලාවලද පසුගිය කාලසීමාව පුරාම ගෙනගිය විශාල ප්රචාරක ව්‍යාපාරයකින්ද කියැවුණේ උගත්, බුද්ධිමත් කොටස් පාර්ලිමේන්තුවට එවීමට ජනතාව වගබලාගත යුතු යැයි කියාය.
මෙහි තවත් එක්තරා විශේෂ අවස්ථාවක් පසුගිය සතියේදී දැකගන්නට ලැබිණ. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ වාඩිකරවීම සඳහා විශාල සටනක් ගෙනගිය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ජනාධිපතිවරයා වෙත ලිපියක් ලියමින් ප්‍රසිද්ධියේම මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබීමය. එහිදී උන් වහන්සේ ඉල්ලා සිටියේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දූෂණ චෝදනාවලට ලක්වූවන්ට, භික්ෂුන් වහන්සේට, අන්‍යාගමික නියෝජිතයන්ට, මූලධර්මවාදී නිකායික නියෝජිතයන්ට, නළු නිළියන්ට, රූ රැජිනියන්ට, ගායක, ගායික්වන්ට, නිවේදකයන්ට, තැබෑරුම්කරුවන්ට, මත් ජාවාරම්කාරයන් නාමයෝජනා ලබාදීමෙන් වළකින ලෙසටය.
මේ වන විට වෙනත් පාර්ශ්වයන්ගෙන්ද ජනාධිපතිවරයා වෙත මේ ආකාරයේම ඉල්ලීම් විශාල ආකාරයෙන් ලැබෙමින් පැවතීම නිසා ජනාධිපතිවරයා සිටින්නේ එළැඹෙන මහ මැතිවරණයේදී හැකිතාක් දුරට දූෂණ චෝදනාවලින් තොර උගත්, බුද්ධිමත් වෘත්තිකයන් පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමටය. කෙසේ වෙතත් මෙම මාතෘකාව මුල්කරගෙන මේ වන විටත් ආණ්ඩුව ඇතුළේ කිසියම් මත ගැටුමක් මෝදුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට ඇත. ඊට හේතුව වී ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් ආරම්භයේ සිටම දැවැන්ත මෙහෙයක් කළ ‘වියත් මග’ කණ්ඩායම සහ ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් එළිපිටම ප්රතිවිරෝධී අදහස් ප්‍රකාශ කර ගැනීම නිසාය. මාධ්‍ය වාර්තා පළ කර තිබුණේ ගෝඨාභයට සහාය දැක්වූ වියත්මග සංවිධානය තුළ සිටින උගත්, බුද්ධිමත් වෘත්තිකයන් සඳහා රටේ සෑම දිස්ත්‍රික්කයකින්ම කිසියම් ප්‍රතිශතයක් නාමයෝජනා වශයෙන් ලබා දීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවකි. ඒ අනුව දැනටමත් වියත් මග සංවිධානය නියෝජනය කළ බොහෝ දෙනකු විවිධ දිස්ත්‍රික්කවල මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කර ඇති ආකාරයක්ද පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත් පසුගිය සතියේ වියත්මග නියෝජනය කළ මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ තමන් ඇතුළු ඇතැම් වියත් මගේ නියෝජිතයන්ට පොහොට්ටුවේ ඇතැම් පාර්ශ්වයන්ගෙන් බාධා එල්ලවෙමින් පවතිනවා යැයි කියාය. තමන් ඇතුළු වියත් මගේ පිරිසට නාමයෝජනා නොදෙන ලෙසට ඇතැමුන් බලපෑම් කරමින් සිටින බවද ජයසුමන මහතා එහිදී සඳහන් කර තිබිණ. මේ බව තහවුරු කරමින් පසුගිය සතියේ ප්රවෘත්ති සාකච්ඡාවකදී ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකු වූ රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ දැනටමත් කළුතර දිස්ත්‍රික්කය තුළ නාමයෝජනා ලබාදීම සඳහා ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන විශාල පිරිසක් සිටින බවත්, ඒ අනුව බොහෝදුරට වියත්මග නියෝජනය කරන පිරිසට නාමයෝජනා ලබාදීමට නොහැකි වනු ඇති බවත් කියාය. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ පොහොට්ටුවේ නාමයෝජනා මුල්කරගෙන කිසියම් මත ගැටුම් නිර්මාණය විය හැකි ආකාරයක් මේ වන විටත් දැකගන්නට තිබේ. බොහෝදුරට එම තත්ත්වය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට පැමිණීමෙන් පසුව විසඳාලනු ඇති බවද ආරංචිය.
කපිල පුංචිමාන්නගේ