ගෝඨාගේ නඩු තීන්දුව ජනාධිපතිවරණ ප්‍රතිපලේ වගේ වෙයි
පසුගිය සතිය අවසන් වන විට රටේ සියලු දෙනාගේම අවධානය යොමුව තිබුණේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවයට එරෙහිව සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනකු වූ චන්ද්‍රගුප්ත තේනුවරත්, ගාමිණී වියන්ගොඩත් අභියාචනාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේ තීන්දුව දෙසටය. එය තවත් එක් සාමාන්‍ය නඩුවක් සහ තවත් එක් සාමාන්‍ය නඩු තීන්දුවක් වුවත් මුළු රටම මේ සම්බන්ධයෙන් අවධානය යොමුවන තැනට පත්වූයේ එක්සත් ජාතික පක්ෂය මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකොට කතාබහ කිරීම නිසාය. බොහෝ එජාප පිරිස් මේ සම්බන්ධයෙන් තැන් තැන්වල අදහස් දක්වමින් කියා සිටියේ මෙම නඩු තීන්දුව හරහා බොහෝවිට ගෝඨාභයගේ දේශපාලන ගමන අතරමග නතර වනු ඇතැයි කියාය. මේ නිසාම ඉකුත් සිකුරාදා (04දා) දිනයේ මුළු රටම අභියාචනාධිකරණ තීන්දුව දෙස බලා සිටියේ හරියට ජනාධිපතිවරණයක අවසන් ප්‍රතිඵලය දෙස බලා සිටිනවා හා සමාන ආකාරයටය.
නමුත් එජාපය කුමන ආකාරයෙන් අදහස් පළ කළත් අවසානයේදී අභියාචනාධිකරණය තීන්දු කළේ ගෝඨාභයට එරෙහිව පවරා තිබූ නඩුව ඉවත දැමීමටය. එසේ ගෝඨාට පක්ෂව ලැබුණු තීන්දුව හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ගෝඨාට තිබූ ප්‍රධාන බාධකය ඉවත්ව ගිය අතර ඒ සමඟ මුළු රාජපක්ෂ කඳවුරම විශාල පිබිදීමක් ලැබූ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම නෙලුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයෙන් ඒ වන විටත් සැලැසුම් කර තිබුණේ මුළු රට වටේම රතිඤ්ඤා පත්තුකොට එම ජය සැමරීමටත්, සෙනසුරාදා වන විට ගෝඨාභයට පක්ෂව මුළු රට වටේම දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමටත්ය. මෙසේ සැලැසුම් කළ ආකාරයටම නඩු තීන්දුව හරහා සිය මැතිවරණ ව්‍යාපාරයට ප්‍රබල ගැම්මක් රාජපක්ෂ කඳවුර ලබාගනිද්දී එජාපය මානසික කඩාවැටීමකට ලක්වූ ආකාරයක් දැකගත හැකි විය.
තීන්දුවත් එක්ක ශ්‍රීලනිපය ගෝඨාට හැරෙයි
ඒ වන තෙක් වරෙක පොහොට්ටුවටත්, වරෙක එජාපයටත් දෝලනය වෙමින් සිටි ශ්‍රීලනිපය අවසානයේදී පොහොට්ටුව සමඟ සන්ධානගත වීමට තීරණය කළේ අභියාචනාධිකරණයෙන් ලැබුණු මෙම තීන්දුවත් සමඟය.
කෙසේ වෙතත් එජාපයද ඒ වන තෙක්ම සිටියේ කෙසේ හෝ සිය මැතිවරණ ව්‍යාපාරයට මෛත්‍රිගේත්, ශ්‍රීලනිපයේත් සහාය ලබාගැනීමේ සැලැසුමක් අතැතිවය. මීට පෙර ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයදී ශ්‍රීලනිපයත්, එජාපයත් එක්ව තරග කර නොතිබුණද පසුගිය කාලයේදී එක්ව ආණ්ඩු කිරීම නිසා එජාපය සිටියේ ශ්‍රීලනිපය එකතු කරගත හැකිය යන බලාපොරොත්තුව තබාගෙනය. එමෙන්ම ගෝඨාභයද සිටියේ සිය ජයග්‍රහණය වෙනුවෙන් කෙසේ හෝ ශ්‍රීලනිපය පොහොට්ටුව පාර්ශ්වයට එකතුකර ගැනීමට බලාපොරොත්තු තබාගෙනය. මෛත්‍රි මේ දෙපාර්ශ්වය සමඟම සාකච්ඡා කරමින් කල්මර මරා සිටියේ වැඩිම වාසිසහගත පිළට සහාය ලබාදීමේ අවස්ථාව තමා අතේ තබාගනිමින්ය. එමෙන්ම අවස්ථා කිහිපයකදීම සිය හිතවතුන් සමග අදහස් දක්වමින් මෛත්‍රිද කියා තිබුණේ නඩු තීන්දුව ගෝඨාභයට අවාසි සහගත ලෙස ලැබෙනු ඇති බවත්, පරීක්ෂණ සිදුවූ ආකාරය දෙස බලන විට ගෝඨාභයට එම නඩුවෙන් ගැලවිය නොහැකි බවත්ය.
නමුත් මේ නඩු තීන්දුව ලැබීමත් සමඟ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ එතෙක් පැවැති ස්ථාවරයන් සම්පූර්ණයෙන්ම වෙනස්ව ගිය ආකාරයක් දැකගන්නට ලැබීම විශේෂ සිදුවීමක් විය. විශේෂයෙන්ම නඩු තීන්දුව ලැබෙන තෙක්ම ශ්‍රීලනිපයේ මහලේකම්වරයා වූ දයාසිරි පක්ෂය ඇතුළේ පැවැති සාකච්ඡාවලදීත්, මාධ්‍ය සමඟ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවලදීත් ප්‍රසිද්ධියේම කියා සිටියේ ශ්‍රීලනිපයට කිසිසේත්ම පොහොට්ටුව ලකුණ යටතේ සන්ධානගත විය නොහැකි බවකි.කෙසේ වෙතත් එජාපයද ඒ වන තෙක්ම සිටියේ කෙසේ හෝ සිය මැතිවරණ ව්‍යාපාරයට මෛත්‍රිගේත්, ශ්‍රීලනිපයේත් සහාය ලබාගැනීමේ සැලැසුමක් අතැතිවය. මීට පෙර ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයදී ශ්‍රීලනිපයත්, එජාපයත් එක්ව තරග කර නොතිබුණද පසුගිය කාලයේදී එක්ව ආණ්ඩු කිරීම නිසා එජාපය සිටියේ ශ්‍රීලනිපය එකතු කරගත හැකිය යන බලාපොරොත්තුව තබාගෙනය. එමෙන්ම ගෝඨාභයද සිටියේ සිය ජයග්‍රහණය වෙනුවෙන් කෙසේ හෝ ශ්‍රීලනිපය පොහොට්ටුව පාර්ශ්වයට එකතුකර ගැනීමට බලාපොරොත්තු තබාගෙනය. මෛත්‍රි මේ දෙපාර්ශ්වය සමඟම සාකච්ඡා කරමින් කල්මර මරා සිටියේ වැඩිම වාසිසහගත පිළට සහාය ලබාදීමේ අවස්ථාව තමා අතේ තබාගනිමින්ය. එමෙන්ම අවස්ථා කිහිපයකදීම සිය හිතවතුන් සමග අදහස් දක්වමින් මෛත්‍රිද කියා තිබුණේ නඩු තීන්දුව ගෝඨාභයට අවාසි සහගත ලෙස ලැබෙනු ඇති බවත්, පරීක්ෂණ සිදුවූ ආකාරය දෙස බලන විට ගෝඨාභයට එම නඩුවෙන් ගැලවිය නොහැකි බවත්ය.
දයාසිරි වෙනස් වෙච්ච ඉක්මන
නමුත් මේ නඩු තීන්දුව ලැබීමත් සමඟ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ එතෙක් පැවැති ස්ථාවරයන් සම්පූර්ණයෙන්ම වෙනස්ව ගිය ආකාරයක් දැකගන්නට ලැබීම විශේෂ සිදුවීමක් විය. විශේෂයෙන්ම නඩු තීන්දුව ලැබෙන තෙක්ම ශ්‍රීලනිපයේ මහලේකම්වරයා වූ දයාසිරි පක්ෂය ඇතුළේ පැවැති සාකච්ඡාවලදීත්, මාධ්‍ය සමඟ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවලදීත් ප්‍රසිද්ධියේම කියා සිටියේ ශ්‍රීලනිපයට කිසිසේත්ම පොහොට්ටුව ලකුණ යටතේ සන්ධානගත විය නොහැකි බවකි.නමුත් තීන්දුව ලැබීමත් සමඟ දයාසිරි තමන් මේ සිටි ස්ථාවරයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වූ ආකාරයක් දැකගන්නට තිබිණ. ඒ අනුව සෙනසුරාදා උදෑසන සිටම දයාසිරි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දුරකතන ඇමැතුම් ලබාදෙමින් ඔවුන් සමඟ කියන්නට වූයේ තීන්දුවත් සමඟ ගෝඨාභයගේ ජයග්‍රහණය නවතාලිය නොහැකි බවත්, පොහොට්ටුව යටතේ එකතුවනවා හැරෙන්නට ශ්‍රීලනිපයට වෙනත් මාර්ගයක් නොමැති බවත්ය.
උදේ වෙද්දිම ඔළු හෝදන මෙහෙයුමක
“අපි දැන් ගෝඨාභයත් එක්ක එකතු වෙන්න ඕනෙ. නඩු තීන්දුවත් එක්ක ගෝඨාභය දිනන එක නවත්වන්න කාටවත් බෑ. තවදුරටත් අපි මෙහෙම හිටියොත් අපි අසරණ වෙන එක විතරයි වෙන්නෙ” යනුවෙන් කියමින් දයාසිරි සෙනසුරාදා උදේ වරුවේ සිටම එකිනෙකාට දුරකතන ඇමැතුම් දෙද්දී පෙළක් සාමාජිකයන් පෙරළා දයාසිරිගෙන් විමසා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක්ද කියාය. එහිදී දයාසිරි ඔවුන්ට යළිත් කියා සිටියේ ජනාධිපතිවරයාගේ තීන්දුව කුමක් වුවත් අවසන් තීන්දුව ගැනීමට අපට දැන් වේලාව පැමිණ ඇතැයි කියාය. ඒ අනුව සෙනසුරාදා උදේ වන විටම දයාසිරිගේ මේ මෙහෙයුම නිසා ශ්‍රීලනිපයේ අතිබහුතරයක් වූ මන්ත්‍රි කණ්ඩායම ගෝඨාභයට එක්වීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම තමන්ගේ ඔළු හදාගෙන තිබිණ.
කෙසේ වෙතත් සෙනසුරාදා දිනයේදී මෛත්‍රි සහ මහින්ද, බැසිල්, ගෝඨා අතර තීරණාත්මක සාකච්ඡාවක් ආරම්භ වූයේ දයාසිරි මෙසේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සියල්ලකගේම පාහේ පොහොට්ටුව සමඟ සන්ධානගත වීම සම්බන්ධයෙන් ඔළු හෝදා තිබූ පසුබිමකය. මෙහිදී සන්ධානගත වීම පිළිබඳව මෛත්‍රි හා රාජපක්ෂවරුන් අතර මෙම සාකච්ඡාව පැවැති අතර මෛත්‍රි එහිදී ඉතා සුහදව ඔවුන්ට කියා සිටියේ එදින රාත්‍රියේදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව ඇති බවත්, එහිදී මේ පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට සූදානම් බවත්ය.
දුමින්දත් ගෝඨාට අත උස්සයි: මෛත්‍රී නිහඩ වෙයි
ඒ අනුව පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෛත්‍රිගේ ප්‍රධාන්තවයෙන් සෙනසුරාදා රාත්‍රියේ ආරම්භ වූ අතර ඉකුත් වතාවන්හිදී පොහොට්ටු ලකුණ පිළිබඳ දෙපැත්ත බෙදී අදහස් හුවමාරු කරගත්තද එදින සියල්ලන්ම කිසිදු විවාදයකින් තොරව කියා සිටියේ නියත වශයෙන්ම පොහොට්ටුව සමඟ එක්ව පොහොට්ටුව ලකුණ යටතේ ගෝඨාභයට සහාය දැක්විය යුතු යැයි කියාය. ඒ ආකාරයට සියලුදෙනාම එක හඬින් පොහොට්ටුව සමඟ එක්විය යුතු බවට අදහස් ප්‍රකාශ කරද්දී මෛත්‍රි බොහෝ නිහඬව කිසිදු වචනයක් නොකියා ඒ දෙස බලා සිටින ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව අවසානයේදී පොහොට්ටුවට එක්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර මධ්‍යම කාරක සභාවේ සිටි සියල්ලන්ම පාහේ ඒ අවස්ථාවේදී සිය අත් ඔසවා පොහොට්ටුවට එක්විය යුතු බවට සිය මතය ප්‍රකාශ කර සිටීම විශේෂ සිදුවීමක් විය. මෙහිදී දැකගන්නට ලැබුණු අනෙක් විශේෂම සිදුවීම වූයේ රාජපක්ෂවරුන් සමඟ, පොහොට්ටුව සමඟ දැඩි විරෝධයකින් පසුවූ දුමින්ද දිසානායකද සිය අත ඔසවා ගෝඨාභය සමග එකතු විය යුතු බවට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමය. ඒ අනුව අවසානයේ තීන්දු වූයේ ඊට පසු දින එනම් ඉරිදා දින මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ශ්‍රීලනිපයේ මෙම තීන්දුව රටට දැනුම්දීමටය. එමෙන්ම 09 වැනිදා අනුරාධපුරයේ පැවැත්වෙන ගෝඨාභයගේ පළමු රැලියට ශ්‍රීලනිපය නියෝජනය කරමින් අනුරපුර මන්ත්‍රිවරුන් වන දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක සහභාගි කරවීමටත්, 10 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර අවබෝධතා ගිවිසුම අස්සන් කිරීමටත් තීන්දු විය. මන්ත්‍රීවරුන් මේ සියල්ල තීන්දු කරද්දී මෛත්‍රිට සිදුවූයේ සිය කැමැත්ත හෝ අකමැත්ත ඊට ප්‍රකාශ නොකර නිහඬවම බලා සිටින්නටය.
තීන්දුවෙන් එජාපය කැළඹෙයි
මේ ආකාරයට සෙනසුරාදා දිනයේදී ශ්‍රීලනිපය පොහොට්ටුවට සහාය දීමට තීන්දු කළ බවට වාර්තා වීමත් සමඟ එජාපයද කැලඹී ගිය ආකාරයක් දැකගන්නට තිබිණ. ඊට වඩාත්ම හේතු වූයේ කිසිදු හේතුවක් මත සජිත්ට අවාසිසහගත තීන්දුවක් හෝ ගෝඨාට වාසි සහගත තීන්දුවක් නොගන්නා බවට මෛත්‍රි විසින් සජිත් ඇතුළු එජාප පාර්ශ්වයට දෙන ලැබ තිබූ සහතිකයය. එමෙන්ම ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවටද එහිදී මෛත්‍රි එජාපයට දැනුම්දීමක් කර තිබිණ. නමුත් අවසානයේදී මෛත්‍රිගේ මේ පොරොන්දු තඹයකට මායිම් නොකරමින් ශ්‍රීලනිප ලේකම්, උප සභාපතිවරුන් ඇතුළු සියලුදෙනාම පොහොට්ටුව සමඟ එක්විය යුතු බවට තීන්දු කිරීමත් සමඟ අවසානයේදී මෛත්‍රි පක්ෂය ඇතුළේ තනිවන ආකාරයක් දක්නට ලැබිණ.
කබීර් වහා මෛත්‍රී හමුවෙයි: සජිත්ගෙන් කෝල් එකක්
කෙසේ වෙතත් මේ තත්ත්වය සමඟ ඉරිදා උදෑසනම එජාපයෙන් ඉල්ලීමක් කර තිබුණේ වහාම ජනාධිපතිවරයා මුණගැසීමට අවශ්‍ය යැයි කියාය. ඒ අනුව ඉරිදා දහවල් එජාප නියෝජිතයන් මුණගැසිය හැකි බව දැනුම් දුන් මෛත්‍රි ඒ සමඟම අමරවීරට කතා කොට ඉරිදා දිනයේදී පවත්වන්නට නියමිතව තිබූ ශ්‍රීලනිපයේ මාධ්‍ය සාකච්ඡාව අත්හිටුවන ලෙසට දැනුම්දීමක් කළේය. මෙහිදී එජාපයේ පාර්ශ්වයෙන් මෛත්‍රි මුණගැසීමට ඔහුගේ පැජට් පාරේ පිහිටි නිල නිවෙසට පැමිණියේ පක්ෂ සභාපති කබීරුත්, තවත් අතරමැදි නියෝජිතයෙකුත්ය. මේ දෙදෙනාම සාකච්ඡාවේදී මෛත්‍රිගෙන් ඉල්ලා සිටියේ පොහොට්ටුව සමඟ සන්ධානගත නොවන ලෙසත්, එජාපයට දැනුම්දී තිබූ පරිදි ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසත්ය. එමෙන්ම මේ සාකච්ඡාව අතරතුරදී සජිත්ගෙන්ද මෛත්‍රිට දුරකතන ඇමැතුමක් ලැබුණු අතර එහිදී සජිත්ද ඉල්ලා සිටියේ එජාපයට සහාය පලකරන ලෙසටය. නමුත් එහිදී මෛත්‍රි සජිත්ටත්, පැමිණි එජාප නියෝජිතයන් දෙදෙනාටත් ඉතා අසරණ ලෙස සඳහන් කර සිටියේ තවදුරටත් තමන්ට පක්ෂය ඇතුළේ තීන්දු ගැනීමේ ශක්තියක් නැතැයි කියාය.
මෛත්‍රී අසරණ වෙයි: දයාසිරි දැඩි වෙයි
“මම මේක මගේ කැමැත්තෙන් ගත්ත තීන්දුවක් නෙමෙයි. පක්ෂය දැන් සම්පූර්ණයෙන්ම එක පැත්තකට ගිහින් ඉවරයි. ඒ හින්ද මට මේක දැන් මෙතැනින් එහාට අරගෙන යන්න අමාරුයි. ඒ නිසා මමත් වෙන තීන්දුවක් ගන්නවා” යනුවෙන් කියමින් මෛත්‍රි එජාපය සමඟ පැවැති එම සාකච්ඡාව අවසන් කිරීමට පියවර ගත්තේය.
කෙසේ වෙතත් ඒ සමඟම මෛත්‍රි නැවැතත් දයාසිරි සහ අමරවීරව ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීමට පියවර ගත්තේය. එසේ කැඳවූ මෛත්‍රි එජාප නියෝජිතයන් තමන් මුණගැසී කළ ඉල්ලීම දයාසිරිටත්, අමරවීරටත් දැනුම්දීමට කටයුතු කළේය. මෛත්‍රිගේ කටහඩේ තිබුණු අසරණ ගතිය වහා තේරුම්ගත් දයාසිරිටත්, අමරවීරටත් එකත් එකටම මෛත්‍රි පොහොට්ටුව සමඟ එකතු වීමට මුලින් ගත් ස්ථාවරය වෙනස් කර ඇති බවක් හැඟී ගියේය. ඒ අනුව මුලින්ම කතා කළ දයාසිරි දැඩි ස්ථාවරයක සිටිමින් මෛත්‍රිට කියා සිටියේ පොහොට්ටුව සමඟ එක්වීමට ශ්‍රීලනිපය ගත් තීන්දුව කිසිසේත්ම වෙනස් කිරීමට තමන් සූදානම් නැතැයි කියාය. එසේ කොට තමන්ගේ දේශපාලනය විනාශ කර ගැනීමට නොහැකි බවද දයාසිරි එහිදී මෛත්‍රිගේ මුහුණටම කියා සිටියේය.
මෛත්‍රී නිර්පාක්ෂික වෙන්න තීන්දු කරයි: වැඩ බලන්න රෝහණ දමයි
යළිත් ඉතා බිඳුණු ස්වරයකින් යුතුව මෛත්‍රි කියා සිටියේ රාජපක්ෂවරුන් සමඟ එකම වේදිකාවට නැඟීමට තමන්ට ඉතා අපහසු යැයි කියාය. ඊට හේතුද මෛත්‍රි දයාසිරිටත්, අමරවීරටත් පෙන්වා දුන්නේය. නමුත් ඒ දෙදෙනාම මෛත්‍රිගේ මේ කතාවට විරෝධය පළකරමින් අදහස් දැක්වීමට පටන්ගත් නිසා මෛත්‍රි අවසානයේදී කියා සිටියේ එසේනම් තමන් කිසිදු පැත්තක් නොගෙන ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකව සිටීමට කටයුතු කරනවා යැයි කියාය. එමෙන්ම ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ට පොහොට්ටුව සමඟ ඉදිරියට යන ලෙසටද මෛත්‍රි එහිදී දැනුම්දී සිටියේය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසුව ශ්‍රීලනිපයේ දේශපාලන මණ්ඩලය වෙනමම රැස්කිරීමට මෛත්‍රි කටයුතු කළේය. මීට පෙර මෙවැනි මණ්ඩලයක් ශ්‍රීලනිපය තුළ නොතිබුණද තමන්ට හිතවත් කිහිපදෙනකු රැස්කළ මෛත්‍රි එහිදී දැනුම්දී සිටියේ තමන් පක්ෂ සභාපතිකමින් තාවකාලිකව ඉවත්වී එහි වැඩ බැලීමට හිටපු ශ්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්මන් පියදාස මහතා පත්කරනවා යැයි කියාය. ඒ අනුව ජනාධිපතිවරණය අවසාන වන තෙක් ශ්‍රීලනිපයේ වැඩබලන සභාපති රෝහණ ලක්ෂ්මන් වන අතර, පොහොට්ටුව සමඟ අස්සන් කරන ගිවිසුම් සියල්ලටම රෝහණ ලක්මන් සහභාගි කරවීමට තීන්දු විය.
මෛත්‍රී දාපු නිව්ස් එකට දයාසිරිලාට යකා නගී
මේ ආකාරයට මෛත්‍රි පොහොට්ටුව සමඟ ගිවිසුම්ගත වීම කල් දැමීමට සූදානම් වන බවක් සහ එය දියාරු කරවීමට සූදානම් වන බවක්ද, එමෙන්ම එජාපය සමඟ සන්ධානගත වීමට උත්සාහ කරන බවක්ද මොහොතක් යෑමට මත්තෙන් ශ්‍රීලනිප නියෝජිතයන්ටද දැනගන්නට ලැබිණ. එමෙන්ම ඇල්පිටිය ඡන්දය නිමාවන තෙක් පොහොට්ටුව සමඟ සන්ධානගත වීමට මෛත්‍රි උත්සාහ කරන බවද එම කතාවලින් තවදුරටත් කියැවිණ. ඒ අනුව අඟහරුවාදා වන විට ශ්‍රීලනිපය ඇතුළේ මන්ත්‍රිවරුන් එකිනෙකාට කතා කරමින් අදහස් හුවමාරු කරගත් අතර එහිදී සියලු දෙනාම ඒකමතිකව තීන්දු කළේ මෛත්‍රිගේ මේ පියවරට එරෙහිව දැඩි ස්ථාවරයකට යෑමය. මෛත්‍රි මේ ගසන්නේ දේශපාලන ගේම් එකක් බවත්, ඒ හරහා අසරණ වන්නේ තමන් බවත් මෙහිදී ශ්‍රීලනිප මන්ත්‍රිවරු එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගනිමින් ප්‍රකාශ කරන්නට වූහ. ඊට වඩාත්ම හේතු වූයේ අඟහරුවාදා වන විට තම හිතවත් මාධ්‍යවල එක්තරා විශේෂ පුවතක් පලකිරීමට මෛත්‍රිගේ පාර්ශ්වය පියවර ගෙන තිබීම නිසාය. එම පුවතින් කියැවුණේ පොහොට්ටුව සමඟ එක්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම ජනාධිපතිවරයාට පැවරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කළ බවකි. නමුත් එවැන්නක් සිදුව නොතිබුණු නිසා එම පුවත දුටු දයාසිරි වහාම සියලු දෙනාටම දුරකතන ඇමැතුම් ලබාදෙමින් කියා සිටියේ මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, එවැනි තීන්දුවක් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කිසිවිටෙකත් නොගත් බවත්ය. ඒ අනුව අවසානයේදී ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් තීන්දු කළේ මෛත්‍රිට එරෙහිව පක්ෂය ඇතුළේ නිහඬ කැරැල්ලක් ගැසීමටය. පසුගිය අඟහරුවාදා දිනයේදී විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට දයාසිරි ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් දුරකතන මඟින් තීන්දු කළේ මේ පසුබිම යටතේය.
දයාසිරිලා වෙනම හමුවෙයි
ඒ අනුව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අඟහරුවාදා දහවල් 1.00ට දයාසිරිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වුණු අතර එහිදී මතුව ඇති අලුත් තත්ත්වය පිළිබඳව සියලු දෙනාම තම අදහස් දැක්වීමට කටයුතු කළහ. එහිදී සියලුදෙනාම පාහේ කියා සිටියේ මධ්‍යම කාරක සභාවේදී පොහොට්ටුව සමඟ එක්විය යුතු බවට ගනු ලැබූ තීන්දුව ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට හෝ කල් දැමීමට නොහැකි යැයි කියාය. මීට එරෙහිව වහාම එළියට බැස සටන් කළ යුතු බව එහිදී කියා සිටි ශ්‍රීලනිප මන්ත්‍රිවරු ඊට පසු දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවීමටත්, එහිදී පොහොට්ටුව සමඟ සන්ධානගත වීමට ශ්‍රීලනිපය ඒකමතිකව තීන්දු කළ බවට රටට දැනුම්දීමටත් තීන්දු කළහ. එමෙන්ම ජනාධිපතිවරණයේදී ගෝඨාභයට සහාය දක්වන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමටත්, දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව මෛත්‍රි ඇතිව හෝ නැතුව රට පුරා ශ්‍රීලනිපය පැත්තෙන් ගෝඨාභය වෙනුවෙන් රැස්වීම් පැවැත්වීමටත් ඔවුහු එහිදී තීන්දු කළහ.
මෛත්‍රීට සොබාදහමෙන් දඩුවම් ලැබුණාද?
අප මෙම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ සති ගණනාවක සිටම වෙනත් කිසිදු පුවත්පතක පළ නොකරන අතිශය රහසිගත තොරතුරු නොබියව පලකළ ආකාරය අපගේ පාඨක පිරිස් විසින් වටහාගෙන ඇතුවාට කිසිදු සැකයක් නැත. විශේෂයෙන්ම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධයෙනුත්, ඔහු යම් යම් ස්ථානවල කියන කරන දෑ පිළිබඳවත්, තිරය පිටුපස ඔහු විසින් ගසන දේශපාලන ගේම් පිළිබඳවත් අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ නිරන්තරයෙන්ම තොරතුරු ජනතාවට රැගෙන ආවෙමු. එහිදී මෛත්‍රි එජාපය සහ පොහොට්ටුව ඇතුළේ අර්බුද ඇති කිරීමට කටයුතු කළ ආකාරය පිළිබඳවත්, පක්ෂය ඇතුළේ නායකයන් පන්නා දැමීමට සහ අලුත් නායකයන් හැදීමට සිය විධායක බලය උපයෝගි කරගෙන හැසිරුණු ආකාරය පිළිබඳවත් වූ සිදුවීම් විශාල ප්‍රමාණයක් පසුගිය කාලය පුරාම අපි මෙම තීරය ඔස්සේ අනන්තවත් උදාහරණ සහිතව පෙන්වා දීමට කටයුතු කළෙමු.
මෙහිදී නීත්‍යානුකූලව හෝ වේවා නීත්‍යානුකූල නොවන ලෙස හෝ වේවා බලයෙන් මත්ව දේශපාලකයන් කියන කරන දේවල්වලට ආගම දහම අනුව මොනවා වුණත් සොබාදහම අනුව ප්‍රතිචාර ලැබෙන බව ඉතිහාසය දෙස බැලූ විට හොඳටම පෙනෙන්නට ඇති දෙයකි. විශේෂයෙන්ම මෛත්‍රිපාල සිරිසේන ගතහොත් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ කර මතින් ඔවුන්ගේ ඡන්දවලින් ජනාධිපති පුටුවට පැමිණ පසුව එජාපයටත්, එජාප නායකත්වයටත්, එජාප පාක්ෂිකයන්ටත් පහර පිට පහර එල්ල කොට අවසානයේදී එජාප ආණ්ඩුවද නීති විරෝධී ලෙස වට්ටවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් අගමැති පුටුවේ වාඩිකරවූ ඉතිහාසයක් ඇති අයෙකි. නමුත් ඉන් අනතුරුව පොහොට්ටුව ඇතුළේ අර්බුද පිට අර්බුද ඇතිකොට තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් සිදුකළ දේශපාලන නාඩගම් අද වන විට මෛත්‍රිටම දේශපාලන භූමරංගයක් වී ඇති පෙනෙන්නට ඇත්තේ සොබාදහම නමැති මේ බලවත් බලවේගය මෛත්‍රිගේ පසුපස පන්නන්නට මේ වන විට පටන්ගෙන තිබීම නිසාය. එහි කූටප්‍රාප්තිය දැකගන්නට ලැබුණේ පසුගිය සතිය වන විට ඔහු විසින්ම හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන චරිත අද වන විට ඔහුවම පෙරළාගෙන පහරදීමට පටන්ගෙන තිබීම නිසාය. මෙම තත්ත්වය කෙතරම් ඛේදජනක අතට පෙරළී තියෙනවාද කියනවා නම් අද මෛත්‍රිපාල යනු කිසිම පක්ෂයකට නැති නිකම්ම නිකම් තනිකඩයෙකි. එමෙන්ම තව සති කිහිපයකින් ඔහුගේ හිස මත ඇති ජනාධිපති ඔටුන්නද ඔහුගෙන් ගැලවී යෑමට නියමිතය. එවිට ජනාධිපති මෛත්‍රි වැටෙනුයේ කිසිදු වැදගම්මකට නැති නිකම්ම නිකම් මෛත්‍රිපාල සිරිසේන කෙනකු ගාණටය. එහිදී සොබාදහම විසින් මෛත්‍රිපාලට ලබාදෙන තැන ඉතාම හොඳින් නිරීක්ෂණය කරන ලෙසට අප මෙම තීරුව කියවන සුවහසක් පාඨකයන්ගෙන් ඉල්ලා සිටීමට කැමැතිය. ඒ අන් කිසිවක් නිසා නොව දේශපාලන බලයෙන් ඔදවැඩී තම පැවැත්මට අනුන් තලාපෙලා දමන දේශපාලකයන්ට සොබාදහම විසින් පෙරළා දෙනු ලබන දඬුවම අධ්‍යයනය කර තීන්දු තීරණ ගැනීමට මෛත්‍රිපාලගේ සිදුවීම ඉතාම හොඳ උදාහරණයක් වන නිසාය.
ගෙදර යන ගමන් සුභෝපබෝගී වාහන දෙකකුත්
එමෙන්ම දූෂණය, වංචාව, පවුල් පාලනය, හොරකම, මිනීමැරුම්, අතුරුදන් කිරීම්, බලය අවභාවිතා කිරීම් පිළිබඳව විශාල වශයෙන් කතා කරමින් ජනාධිපති පුටුවට පැමිණි මෛත්‍රි තවත් සති කිහිපයකින් තමන්ගේ ජනාධිපති ඔටුන්නද ගැලවී යෑමට නියමිතව තිබියදී පසුගිය සතියේ තවත් විශේෂ කටයුත්තක් සඳහා අත තිබ්බේය. ඒ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තවත් අතිසුඛෝපභෝගී නිල රථ දෙකක් මිලදී ගැනීමට පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන්කර ගැනීමය. ඒ අනුව පසුගිය අඟහරුවාදා දිනයේදී රුපියල් බිලියන 21.4ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක රථ දෙකක් ආනයනය කිරීම වෙනුවෙන් වන සුඛෝපභෝගී බද්ද ගෙවීමට අතිරේක ප්‍රතිපාදන ලෙස රුපියල් කෝටි 10කට අධික මුදලක් ඉල්ලා සිටීමට මෛත්‍රි කටයුතු කර තිබිණ. තවත් සති කිහිපයක් පමණක් තනතුරේ රැඳී සිටීමට සූදානමින් සිටින මෛත්‍රි මේ ආකාරයට සුඛෝපභෝගී නිල රථ දෙකක් ගෙන්වීමට කෝටි 10කට අධික මුදලක් වෙන්කර ගැනීම පිළිබඳව සමාජ මාධ්‍ය නම් කියා සිටියේ ‘යන යකා කොරහත් බිඳගෙන යෑම’ට කටයුතු කරමින් සිටිනවා යැයි කියාය.
රෝහණ ලක්ෂ්මන්ව තිලංග හප කරයි
මේ ආකාරයට ශ්‍රීලනිපය ඇතුළේ සිදුවීම් පෙළගැසෙද්දී දයාසිරිලා තීන්දු කළ ආකාරයටම බදාදා දින පක්ෂ මූලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවීමට පිරිස පියවර ගත්හ. ඒ අනුව පක්ෂ මූලස්ථානයේ පහළ මාලයේ මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් සහ ආරාධිත අමුත්තන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටියදී ඉහළ මාලයේ ශ්‍රීලනිපයේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් විශාල පිරිසක්ද, ආසන සංවිධායකවරුන් විශාල පිරිසක්ද රැස්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පහළ මාලයේ විශාල පිරිසක් රැස්ව සිටියදී ඉහළ මාලයේ විශාල ගාලගෝට්ටියක් සිදුවන ආකාරයක් මාධ්‍යවේදීන්ට දැකගත හැකි වීමය. ඊට හේතුවූයේ ඉහළ මහලේ සිටි හෙක්ටර් බෙත්මගේ, හිටපු පළාත් සභා අමාත්‍ය සෝමවංශ වැනි පිරිස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කළ රෝහණ ලක්ෂ්මන් පියදාසට එරෙහිව දැඩි විරෝධයක් පලකිරීමය. “මොකෙක්ද මූ”, “කොහෙන් ආපු එකෙක්ද මේ වැඩබලන සභාපති කරලා තියෙන්නෙ”, “කවුද මුන්ට සභාපතිකම් දුන්නෙ” යනුවෙන් කියමින් එහි සිටි බොහෝ පිරිස් දැඩිව මෛත්‍රිට විරෝධය පලකරද්දී තිලංග සුමතිපාල පහල මාලයේ සිට කඩාගෙන බිඳගෙන ඉහළ මාලයට එන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ එන විටත් ඉහළ මාලයේ එක් කාමරයක මෙම පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් රෝහණ ලක්ෂ්මන්ට එරෙහිව විරෝධය පලකරමින් කෑකෝ ගසන ආකාරයත්, ඊට යාබද අනෙක් කාමරයේ නිමල් සිරිපාල, දයාසිරි ඇතුළු මන්ත්‍රි කණ්ඩායම රැස්ව සිටින ආකාරයත් තිලංගට දැකගන්නට ලැබිණ. ඒ අනුව වහාම දයාසිරිලා, නිමල්ලා රැඳී සිටි මේසය අසලට පැමිණි තිලංග සිය දකුණු අතින් මේසයට පහරදී දැඩි අවේගශීලී බවකින් යුතුව අදහස් දක්වන්නට පටන් ගත්තේය. තිලංගගේ විරෝධයද එල්ලවූයේ වෙන කාටවත් නොව මෛත්‍රි විසින් පත්කරනු ලැබූ රෝහණ ලක්ෂ්මන් පියදාසටය.
මොකෙක්ද මේ ලක්ෂ්මන් පියදාස
“මොකෙක්ද මේ රෝහණ ලක්ෂ්මන් පියදාස කියන්නෙ? පක්ෂයේ වැඩබලන සභාපතිවරයෙක් විදිහට පත්කරන්න මොකක්ද මේ මනුස්සය පක්ෂයට කරල තියෙන සෙතේ? නිමල් ඇමැතිතුමා ඔබතුමානෙ දැනට මේකෙ ඉන්න ජ්‍යෙෂ්ඨයා. හරිනම් ඔබතුමයි පක්ෂයෙ සභාපතිවරයා වෙන්න ඕනෙ. අපිත් මේ පක්ෂයට දරදිය ඇද්ද. අපේ තාත්තල අතේ තිබ්බ සල්ලි මේ පක්ෂයට වියදම් කළා. මේ පක්ෂයට වැඩ කළා කියල යූ.ඇන්.පී. ආණ්ඩුවලින් අපිට අයිති වෙලා තිබ්බ ප්‍රින්ටින් මැෂින්වලට පවා සීල් තිබ්බ. ඉතින් එහෙම එකේ අපෙන් අහන්නෙවත් නැතුව මේ කොහෙවත් යන මනුස්සයෙක්ව සභාපති කරන්නෙ කොහොමද? මං මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි” යනුවෙන් කියමින් තිලංග සිය විරෝධය පල කරද්දී යාබද කාමරයේ සිටි පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ද තිලංගගේ සහායට පැමිණෙන ආකාරයක් දැකගන්නට හැකි විය. ඒ අනුව ඔවුන්ද කියා සිටියේ “මොකෙක්ද මේ ලක්ෂ්මන් පියදාස කියන්නෙ. අඩුගාණෙ අපිට ඡන්දෙකට ගිහිල්ල මේ ඉන්නෙ අපේ සභාපති කියල කටක් ඇරල කියන්නවත් පුළුවන්ද” යැයි කියාය.
ඒ අනුව තත්ත්වය දුරදිග යන බවක් පෙනෙන්නට තිබූ නිසා වහාම සිද්ධිය සමතකයට පත්කිරීමට මැදිහත් වූයේ දයාසිරිය.
මීට පස්සෙ මෛත්‍රීට අවශ්‍ය දේ අපි කරන්නෙ නෑ
“ඔබතුමාල මෙහෙම මෙතැන කෑගහන්න යන්න එපා. දැන් මෙතැන අපි ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියන්නයි ලෑස්ති වෙන්නෙ. ඒක හින්ද පල්ලෙහා මාධ්‍යයත් ඇවිල්ල ඉන්නවා. අපි මෙහෙම කෑගහනකොට ඒගොල්ලොත් බලනවා මොකක්ද මේ ප්‍රශ්නෙ කියලා. අපිට තේරෙනවා ඔබතුමාලට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියල. ඔබතුමාල වගේම අපිත් මේ සිද්ධවෙන දේවල්වලට විරුද්ධයි. මීට පස්සෙ අපිත් ජනාධිපතිතුමාට ඕනෙ විදිහට ඒකාධිපති පාලනයක් මේ පක්ෂය ඇතුළෙ ගෙනියන්න දෙන්නෙ නෑ.” යනුවෙන් කියමින් පිරිස අස්වසන්නට උත්සාහ කරද්දී ලසන්ත අලගියවන්නද එතැනට පැමිණ උස් හඬින් කතා කරන්නට පටන්ගත්තේය. නමුත් එහිදී ලසන්තටද රැස්ව සිටි පිරිසගෙන් එල්ලවූයේ දැඩි විරෝධයකි. ඒ අනුව අවසානයේදී මේ මහා ගාලගෝට්ටිය නවතාලීමට නිමල් සිරිපාලටත්, අමරවීරටත්, දයාසිරිටත් යළිත් වරක් මැදිහත් වීමට සිදුවිය. ඔවුන් තිදෙනාම රැස්ව සිටි පිරිසට පොරොන්දුවක් දෙමින් කියා සිටියේ මින් ඉදිරියට මෛත්‍රි කියන දේවල් පක්ෂය තුළ සිදු නොවන බවත්, වැඩබලන සභාපතිවරයා වශයෙන් සිටින රෝහණ ලක්ෂ්මන් කියන දේවල් පවා සිදුනොවන බවත්ය. එමෙන්ම පියවරෙන් පියවර ඉදිරියට යමින් පක්ෂය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බවද ඔවුහු පිරිස හමුවේ අවධාරණය කර සිටියහ. රැස්ව සිටි පිරිස කිසියම් හෝ අස්වැසිල්ලකට පත්වූයේ දයාසිරිලා ලබාදුන් මේ පොරොන්දුවෙන් අනතුරුවය.
මෛත්‍රි හොරෙන්ම එයි
කෙසේ වෙතත් අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණු අතර එහිදී දයාසිරිලා කියා සිටියේ පොහොට්ටුව සමඟ සන්ධානගත වීමට ශ්‍රීලනිපය තීන්දු කර ඇතැයි කියාය.
ඉන් අනතුරුව ශ්‍රීලනිපයේ දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම සිදුවූයේ දෙපාර්ශ්වය අතර ගිවිසුම අස්සන් තිබුණු ඉකුත් බ්‍රහස්පතින්දාය. එදින ශ්‍රීලනිපය වෙනුවෙන් දයාසිරිලා ඇතුළු පිරිසක් සහභාගිව සිටි අතර, පොහොට්ටුව වෙනුවෙන් බැසිල් ප්‍රමුඛ කණ්ඩායමක් සහභාගිවී සිටියේය. කෙසේ වෙතත් මෙහිදී පොහොට්ටුවේ නායකයා වූ මහින්ද ඊට සහභාගි වී නොසිටීමත්, ශ්‍රීලනිපයේ නායකයා වූ මෛත්‍රිපාල ඊට සහභාගි වී නොසිටීමත් සියලු දෙනාටම දැකගත හැකි වූ සිදුවීමක් විය. ගිවිසුම අස්සන් තැබීමෙන් පසුව පොහොට්ටුවේ නියෝජිතයන් එම ස්ථානයෙන් පිටව ගිය ආකරයක් දැකගන්නට ලැබුණු අතර, ශ්‍රීලනිප නියෝජිතයන් තවදුරටත් එහි රැඳී සිටිමින් සාකච්ඡාවක නිරත වන ආකාරයක් දැකගන්නට ලැබුණේ දයාසිරි කළ දැනුම්දීමකට අනුවය. ඒ අනුව දයාසිරි රැස්ව සිටි ශ්‍රීලනිප සංවිධායකවරුන් සමඟ පොහොට්ටුව හා ශ්‍රීලනිපය ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත්, ගෝඨාභයගේ මැතිවරණ වේදිකාවේදී ශ්‍රීලනිපය අදහස් දැක්විය යුතු ආකාරය පිළිබඳවත් දීර්ඝ ලෙස අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය. පසුව දයාසිරි සියල්ලටම කියා සිටියේ දිවා ආහාරයද සූදානම් කර ඇති බැවින්, සියලු දෙනාටම ඊටද සහභාගි වන්න යැයි කියාය.
මේ ආකාරයට සියලු දෙනා සතුටු සාමීචියේ යෙදී සිටිද්දී සියල්ලන්ම පුදුමයට පත්කරමින් විශාල ආරක්ෂක කණ්ඩායමක් හිටිවනම පදනම් ආයතනය ඇතුළට කඩාවදින ආකාරයක් දැකගන්නට ලැබිණ. සිදුවන්නට යන්නේ කුමක්දැයි එකිනෙකා හිස් ඔසවා වටපිට බලමින් සිටියදී සියල්ලන්ටම දැකගන්නට ලැබුණේ මෛත්‍රි එම ස්ථානයට පැමිණෙන ආකාරයකි. කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මේ ආකාරයෙන් හිටිහැටියේම මෛත්‍රි ශ්‍රීලනිප රැස්වීම මැද්දට පැමිණීම නිසා දයාසිරි ඇතුළු කණ්ඩායමම පුදුමයට පත්ව මෛත්‍රි දෙස බලද්දී ඒ කිසිවක් ගණන් නොගෙන මෛත්‍රි සියල්ලන්ටම ආයුබෝවන් කියා එහි තිබූ අසුනක වාඩිවනු දැකගන්නට ලැබිණ.
කතා කරනවා කියා නොකියාම යන්න යයි
ඒ අනුව වහාම මෛත්‍රි ළඟට ගිය දයාසිරි සහ මෛත්‍රි අතර කිසියම් වචන කිහිපයක් හුවමාරු වනු දැකගන්නට ලැබුණු අතර, ඉන් පසුව දයාසිරි වහාම මයික්‍රෆෝනය ළඟට පැමිණ සියල්ලන්ටම දැනුම්දී සිටියේ තව සුළු මොහොතකින් ජනාධිපතිවරයා රැස්ව සිටි පිරිසට අදහස් දැක්වීමට සූදානමින් සිටිනවා යැයි කියාය. ඒ අනුව ඇතැමුන් දිවා ආහාරය ගැනීම සඳහා පිටව ගියේ මෛත්‍රි කතා කරන විට දිවා ආහාරය රැගෙන යළිත් පැමිණ ඔහුගේ කතාවට සවන්දෙන බලාපොරොත්තුවෙනි. නමුත් තවත් විනාඩි කිහිපයක් ඉක්මයෑමෙන් අනතුරුව හිටිවනම මෛත්‍රි තමන් අසුන්ගෙන සිටි ආසනයෙන් නැඟිට එළියට යන ආකාරයක් දැකගන්නට ලැබිණ. සියල්ලන්ම සිතුවේ මෛත්‍රිද දිවා ආහාරය ගැනීමට එළියට යන බවකි. නමුත් විනාඩි විස්සක් විසිපහක් පමණ වේලාවක් ගතවුවද මෛත්‍රි යළිත් එන පාටක් දැකගන්නට නොලැබුණු නිසා සියලුදෙනාම මෛත්‍රි සිටින්නේ කොහේදැයි කියා විමසා බලන්නට වූහ. එහිදී ඔවුන්ට දැකගන්නට ලැබුණේ මෛත්‍රි දිවා ආහාරය ගැනීමට ගිය ආකාරයක් නොව කිසිවකුටත් නොකියා මෛත්‍රී පදනම් ආයතනයෙන් පිටව ගොස් ඇති බවකි. ඒ අනුව සැවොම පුදුමයට පත්වූයේ මෛත්‍රි කතාවක් කරන බවට දයාසිරි විසින් නිවේදනය කරනු ලැබ තිබියදීත් මේ ආකාරයට වචනයක් හෝ කතා නොකොට එම රැස්වීමෙන් පිටව යෑම පිළිබඳවය.
චන්ද්‍රිකාගෙන් දයාසිරිට සැර ලියුමක්
මේ අතර ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයකට සිය අපේක්ෂකයකු ඉදිරිපත් නොකොට වෙනත් පක්ෂයකට සහාය දීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් දැවැන්ත විරෝධයක් මතුවන ආකාරයක් දැකගන්නට තිබේ. එම විරෝධය දක්වන පුද්ගලයන් අතර ඉහළින්ම සිටින අයකු වන්නේ හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියය. ශ්‍රීලනිපය පොහොට්ටුවට එල්ලීම සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය ප්‍රකාශ කර ඇති චන්ද්‍රිකා එතැනින් නොනැවතී පසුගිය සතියේදී පක්ෂ මහලේකම්වරයා වන දයාසිරි ජයසේකරට ලිපියක් යැවීමටද කටයුතු කළේය. ඉංග්‍රිසි බසින් ලියා තිබුණු එම ලිපියේ සිංහල පරිවර්තනය මෙසේය.
හිතවත් දයාසිරි,
අපගේ සංවිධායකයින්ගෙන් 90%කට වඩා වැඩි පිරිසක් තමන් පොහොට්ටුව සමග එක්වීමකට විරුද්ධ බව ප්‍රකාශ කර ඇති විට, ඔබ ගෝඨාට සහාය දීමට තීරණය කරන්නේ කෙසේද? මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලුමනින්ම පාවාදීමකි.
පක්ෂයේ සභාපති ධූරය අතහැර දැමීමට තමා කැමති බව මෛත්‍රි පවසා තිබේ නම්, සභාපති ධූරය භාර ගැනීමට සහ පක්ෂය නැවත ගොඩනැංවීම සඳහා අපි ඔබට සහාය දෙන්නෙමු.
අපේ පක්ෂය දුර්වල වූයේ අප එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සමඟ සන්ධානයට සම්බන්ධ වූ නිසා නොවේ. අපේ නායකයාට සන්ධානයට නායකත්වය දීමට ශක්තියක් හා දැක්මක් නොතිබූ නිසාත්, රාජපක්ෂලාගේ කුමන්ත්‍රණවලට රැවටීමත්, යහපත විනාශ කර පක්ෂය අවුල් කිරීමත් ඊට හේතු විය.
මෛත්‍රිට ආණ්ඩුවේ බලය පාවිච්චි කිරීමේ දක්ෂතාවයක් තිබුණේ නම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනඟා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ දී රාජපක්ෂලාගේ මිනීමැරුම් සහ මංකොල්ලකෑම්වලට එරෙහිව පියවර ගත්තේ නම්, රට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ඉතා ශක්තිමත් වනු ඇත.
එබැවින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩාත්ම ආදරය කරන හා දන්නා පුද්ගලයා ලෙස මම ඔබට ආයාචනා කරමි. ඔබේ පෞද්ගලික අවශ්‍යතාවයට පමණක් සීමා නොවී අපගේ වටිනා පක්ෂය විනාශ කිරීමට ඉඩ නොදෙන්න.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
දැන් චන්ද්‍රිකා ලන්ඩනයේ
මේ ආකාරයට චන්ද්‍රිකා ශ්‍රීලනිපයේ තීන්දුවට විරෝධය පලකරමින් ලිපියක් එවා තිබුණද ඇගේ මුහුණ කිසිවකුටත් දැකගන්නට නොලැබුණු නිසා බොහෝ දෙනා සිතා සිටියේ ඇය 2005 දී කළාක් මෙන් තිරය පිටුපස සිටිමින් මෙවරද ජනාධිපතිවරණයේ විශාල වෙනසක් සිදුකිරීමට කටයුතු කරනවා ඇතැයි කියාය.
2015දී පැවැති රාජපක්ෂ රජය පලවා හරිමින් යහපාලන ආණ්ඩුව බිහිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ ප්‍රධාන චරිතය වූයේ චන්ද්‍රිකාය. එපමණක් නොව මෛත්‍රි මහින්දගේ ආණ්ඩුවෙන් එළියට ගැනීමට පවා තිරය පිටුපස සැලැසුම සකස් කළේ චන්ද්‍රිකාය. එදා එවැනි දැවැන්ත භූමිකාවක් නිරූපණය කළ චන්ද්‍රිකා අද හිටිහැටියේම දැකගන්න නොලැබීම පිළිබඳව බොහෝදෙනකු තැන් තැන්වල අදහස් දැක්වීම නිසා අපිද චන්ද්‍රිකාට සිදුව ඇත්තේ කුමක්ද යන්න සෙවීමට පියවර ගත්තෙමු. එහිදී අපට දැනගන්නට ලැබුණු තොරතුර වූයේ වර්තමානයේ සිදුකරන ආත්මාර්ථකාමී දේශපාලනය පිළිබඳව කලකිරීමට පත්ව සිටින චන්ද්‍රිකා සියල්ල දමා ගසා ලන්ඩනයේ සිටින සිය දරුවන් සමීපයට ගොස් ඇති බවය.
ශ්‍රිලනිපය බෙදෙද්දී එජාපය එකමුතු වෙයි
ශ්‍රීලනිපය ඇතුළේ මේ ආකාරයට විවිධ පෙරළි සිදුවද්දී එජාපය පැත්තේද මෙවැනි පෙරළි සිදුවන ආකාරයක් දැකගන්නට නොලැබුණා නොවේ. එජාපය පැත්තෙන් නම් දැකගන්නට ලැබුණු ලොකුම පෙරළිය වූයේ කාලයක් තිස්සේම නයි – මුගටි මෙන් කටයුතු කළ ඇතැම් එජාප ප්‍රබලයන් මේ වන විට සියලුම වාදභේද දුරහැර එකාවන්ව ජනාධිපතිවරණය සඳහා මුහුණදීමට ලකලැහැස්ති වීමය. මෙසේ පසුගිය කාලයේ පක්ෂය ඇතුළේ මතගැටුම් ඇතිකරගෙන තිබූ ප්‍රධානීන් තිදෙනා වූයේ වෙන කවුරුවත් නොව සජිතුත්, රවිත්, ෆොන්සේකාත්ය. පසුගිය කාලසීමාව පුරාම රවි සහ ෆොන්සේකා යන දෙදෙනාම අදහස් දක්වද්දී සජිත්ට පහර වදින ආකාරයට අදහස් දක්වනු සියලු දෙනාටම දැකගන්නට ලැබිණි. නමුත් පසුගිය සිය වන විට මේ මතගැටුම් සියල්ලම නිමාවී සජිත්, රවි, ෆොන්සේකා යන තිදෙනාම අඹ යහළුවන් මෙන් මිත්‍රශීලීව හැසිරෙන ආකාරයක් දැකගත හැකි වීම විශේෂ සිදුවීමක් විය.
සජිත් කාලෙකට පස්සෙ රවීිගේ ගෙදරට යයි
මෙහිදී මුලින්ම හිතවත්කම ආරම්භ වූයේ සජිත් සහ රවි අතරය. ඒ අනුව පසුගිය සතියේ සිරිකොතේදී කොළඹ බලමණ්ඩල රැස්වීම පැවැති අතර එහි ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූයේ රනිල්, සජිත් හා රවිය. ධාරාණිපාත වර්ෂාවක් මැද පැවැති මෙම බලමණ්ඩල රැස්වීම අවසන් කිරීමෙන් පසු තිදෙනාම නැවැත පාර්ලිමේන්තුව බලා යෑමට සූදානම් වූයේ ඒ වන විටත් මිහින්තලේ පුදබිම ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ උත්සවයට සහභාගි වීම සඳහාය. නිල රථවලින් ගොඩබිම් මාර්ගයෙන් යෑමට කාලවේලාව මදිව තිබීම හේතුවෙන් රනිල්, සජිත්, රවි යන තිදෙනාම සූදානම් වූයේ පාර්ලිමේන්තුවේ නවතා තිබූ හෙලිකොප්ටරයෙන් මිහින්තලය බලා ගමන් කිරීමටය. කෙසේ වෙතත් ගමන සඳහා පිටත්වීමට කාල වේලාව තවත් ඉදිරිව තිබීම නිසාත්, ඒ වන විටත් ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙමින් තිබුණු නිසාත් සිරිකොතේ සිට පාර්ලිමේන්තුව බලා පැමිණෙද්දී රවි කළේ තමන්ගේ නිවෙසට ගොඩවැදී යන ලෙස රනිල්ටත්, සජිත්ටත් ආරාධනා කිරීමය. මෙහිදී රනිල් කෙසේ වෙතත් සජිත් දෙවරක් නොසිතාම රවිගේ එම ආරාධනය පිළිගැනීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව රවිගේ නිවෙසට සජිත් ගොඩවැදුණේ දීර්ඝ කාලයකට පසුවය. පසුගිය කාලය පුරාම සජිත් හා රවි අතර යම් යම් උණුසුම් මතගැටුම් තිබුණත් සජිත් ජනපති අපේක්ෂකයා ලෙස පක්ෂය තීන්දු කිරීමෙන් අනතුරුව දෙදෙනා අතර එම මතගැටුම් නිමාවී තිබූ අතර සජිත්ට තරග වැදීම සඳහා තමාට අයත් හංසයා ලකුණ ලබාදීම හරහා එම හිතවත්කම තහවුරු වී තිබූ ආකාරයක් දැකගත හැකි විය. එසේම රවිගේ ආරාධනාවට අනුව සජිත් රවිගේ නිවෙසට ගොඩවැදීම එම හිතවත්කම තවත් විශාල බැඳීමක් බවට පෙරලුණු සිදුවීමක් විය.
රනිල්-රවී-සජිත්‌ගේ හෙලිකොප්ටර් ගමන
රවිගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවෙසද දේශපාලන වශයෙන් එජාපයට බොහෝ හුරු පුරුදු තැනකි. මන්දයත් 1999 සිටම ආණ්ඩු පෙරළන රැස්වීම් පැවැත්වුණේ රවිගේ මේ නිවෙසේදීය. එමෙන්ම ජනාධිපතිවරුන් තනන රහස් සාකච්ඡාවලටද රවිගේ මේ නිවෙස බොහෝ සුප්‍රසිද්ධය. ඒ අනුව ජනාධිපතිවරණයක් කට මුල තිබියදී රවිගේ මේ නිවෙසට ගොඩවැදුණු සජිත්ව ඉතා ඉහළින් පිළිගෙන ඔහු වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පවා සිදුකිරීමට රවි එදින කටයුතු කළේය. එපමණක් නොව යම් යම් දේශපාලන කරුණුද මෙහිදී තිදෙනා අතර සාකච්ඡාවට ලක්විය.
රවිගේ නිවෙසේ සංග්‍රහය භුක්තිවිඳීමෙන් පසු නැවැත පාර්ලිමේන්තුවට පැමිණෙන විටත් ධාරානිපාත වර්ෂාවේ අඩුවක් නොතිබුණු නිසා ගුවන් මගින් මිහින්තලයේ යෑම පිළිබඳව සජිත්ට යම් ගැටලුවක් මතුව තිබිණ. සජිත්ට පමණක් නොව රනිල්ටද එම ගැටලුව තිබුණු නිසා ඔවුන් වහාම කළේ කාලගුණ තත්ත්වය පිළිබඳව ගුවන් හමුදාවේ මතය විමසා සිටීමය. එහිදී ගුවන් හමුදා නිලධාරීන් රනිල්ට දැනුම්දී සිටියේ කිසිදු ගැටලුවක් නොමැතිව මිහින්තලය දක්වා ගුවන් මගින් යා හැකි යැයි කියාය. රනිලුත්, රවිත්, සජිතුත් හෙළිකොප්ටරයට ගොඩවූයේ ගුවන් හමුදා නිලධාරීන්ගෙන් ලද එම සහතිකයත් සමඟය.
හැරිසන් ගත් ඉතිහාසගත වෙන ජායාරූපය
කෙසේ වෙතත් මිහින්තලේ ආගමික උත්සවයට සහභාගි වීමෙන් පසු නැවැත කොළඹ බලා පැමිණෙන විට එම හෙලිකොප්රයට හැරිසන්ද ගොඩවීමට පියවර ගෙන තිබිණ. ඒ අනුව ගුවනේදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ හැරිසන් සිය ජංගම දුරකතනය රැගෙන විත් රනිල්, රවි, සජිත් යන තිදෙනාම එකට හෙළිකොප්ටරයේ අසුන්ගෙන සිටින ඓතිහාසික ඡායාරූපය සිය ජංගම දුරකතනයට ගැනීමය. ඉන් අනතුරුව එහි සිටි ගුවන් හමුදා නිලධාරියකුට සිය ජංගම දුරකතනය දුන් හැරිසන් තමන්ද ඇතුළුව සියලු දෙනාගේම ඡායාරූපයක් ගන්නා ලෙසට දැනුම් දී සිටියේය. ඒ අනුව එම පින්තූරය ගනිද්දී සජිත් සිනාසෙමින් කීවේ “මේ පින්තූරෙ එළියට ගියොත් ඔන්න හැරිසන් තමයි” යැයි කියාය. හැරිසන්ද ඊට සිනාසෙමින්ම උත්තර දුන්නේ “මේක නම් එළියට දාන්නම ඕනෙ ෆොටෝ එකක් තමයි. මොකද ඔක්කොම හිතන් ඉන්නෙ අපි පක්ෂය ඇතුළෙ ගහමරා ගන්නව කියල. හැබැයි මේ ෆොටෝ එක දැක්කහම ඕන කෙනෙක්ට තේරෙනවා අපි අතර ලොකු සමගියක් තියෙනවා කියලා.” යැයි කියමිනි.
‘කමාන්ඩ්’ එක ගැන රනිල්ගෙන් උඩු ගුවනේදී සජිත්ට උපදෙසක්
කෙසේ වෙතත් මේ ගුවන් ගමන අතරතුරදී පිරිස අතර දේශපාලන කතාබහක්ද සිදුවිය. එහිදී සජිත් ඍජුවම කියා සිටියේ සිය මැතිවරණ ව්‍යාපාරයේදී පක්ෂයේ සියලු දෙනාම එකා මෙන් තමන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් තමන් කෘතවේදීත්වය පුදකරනවා යැයි කියාය.
“මට හරිම සතුටුයි මේ වෙන දේවල් ගැන. මොකද පක්ෂයෙන් මාව නම් කරන්න ඉස්සෙල්ල මගෙත් එක්ක ගැටුම් හදාගත්ත ගොඩක් දෙනෙක් අද මගෙත් එක්ක සමගියෙන් බැහැලම මගේ කැම්පේන් එකට උදව් කරනවා. ඒකට මම ඒ අයට කෘතගුණ සලකනවා.” යනුවෙන් සජිත් කියද්දී රවි තවත් කාරණයක් සජිත්ට මතක් කර දුන්නේය.
“ඒක ඇත්ත සජිත්. අපි අතර මොන ප්‍රශ්න තිබ්බත් අපි පක්ෂයත් එක්ක ඉන්නවා. පක්ෂය ඔයා අපේක්ෂකයා කියල නම් කළාට පස්සෙ අපි ඔයාගෙ ජයග්‍රහණය වෙනුවෙන් 100%ක්ම කැපවෙලා කටයුතු කරනවා. හැබැයි සජිත් ඔයා එක දෙයක් මතක තියාගන්න. අපි ඔයාට මේ විදිහට බැහැල වැඩ කළාට ඔයාගෙ ටීම් එකේ ඉන්න සමහරු තවමත් එක එක දේවල් කියනවා. කරනවා. ඒ හින්ද ඉස්සෙල්ලාම ඔයා ඒ දේවල් නවත්තල ඉන්න.” යනුවෙන් රවි කියද්දී රනිල්ද බොහෝ වේලා නිහඬව සිට ඒ සම්බන්ධයෙන් අදහසක් එකතු කරනු දැකගත හැකි විය. ඒ නායකයෙක් හැසිරිය යුතු ආකාරය පිළිබඳව සජිත්ට උපදෙසක් දෙමිනි.
“සජිත් නායකත්වය තියෙද්දි පක්ෂය ඇතුළෙ එක ‘කමාන්ඞ්’ එකයි තියෙන්න ඕනෙ. ඔයා ඒ කමාන්ඞ් එක තියාගන්න. වෙන කාටවත් ඒකට චැලේන්ජ් කරන්න දෙන්න එපා.” යනුවෙන් රනිල් නායකත්වය පිළිබඳව සජිත්ට උපදෙසක් දෙද්දී සජිත්ද එය හිස වනා පිළිගන්නා ආකාරයක් දැකගන්නට හැකි විය.
අකිල දෙවන වරටත් ගෝල්‌ෆේස් පුරවන අභියෝගය භාර ගනී
මෑත ඉතිහාසයේ ගෝල්ෆේස් පිටිය පිරවූ වැඩිම සෙනග ලෙස වාර්තා පොත් අතර ලියැවී තිබුණේ පොහොට්ටුවේ පළමු මැයි රැලිය ලෙස බැසිල් රාජපක්ෂ මහතා ගෝල්ෆේස් පිටියේ පැවැත්වූ රැස්වීමය. එදා පළමු වතාවට ගෝල්ෆේස් පිටිය අතුරු සිදුරු නැතිව පිරවීමට බැසිල් කටයුතු කළ නිසා එකල සමාජ මාධ්‍ය ජාල පමණක් නොව විද්‍යුත්, මුද්‍රිත මාධ්‍යද බැසිල්ගේ මේ වැඬේ මහා වීර ක්‍රියාවක් ලෙස හුවාදැක්වීමට කටයුතු කර තිබිණි. එමෙන්ම එහිදී බොහෝ දෙනා කියා සිටියේ තවත් කල්ප කාලාන්තරයකට බැසිල් කළ වැඬේ කිසිදු දේශපාලන පක්ෂ නායකයකුට කළ හැකි නොවනු ඇතැයි කියාය.
කෙසේ වෙතත් බැසිල්ගේ මේ අභියෝගය ඊට මාස කිහිපයකට පසු භාරගත්තේ වෙන කවුරුවත් නොව එජාපයේ මහලේකම්වරයා වූ අකිල විරාජ් කාරියවසම්ය. ඉකුත් වසරේ ඔක්තෝබර් 26 වැනි දින කුමන්ත්‍රණකාරී ලෙස මහින්ද රාජපක්ෂ සමඟ එකතුවී මෛත්‍රිපාල විසින් බිහි කළ නීති විරෝධී ආණ්ඩුව පළවාහැරීමෙන් පසු ඒ අභියෝගය භාරගත් අකිල, බැසිල් ගෝල්ෆේස් ගෙනාවාටත් වඩා දැවැන්ත ජන ගඟක් ගෝල්ෆේස් පිටියට ගෙනැවිත් ඒ වාර්තාව එජාපය සතුකරදීමට සමත් විය.
ඉන් අනතුරුව ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක කලඑළි බැසීම සඳහා තෝරාගත්තේද ගෝල්ෆේස් පිටියය. එදිනද තමන්ට හැකි පරිදි ගෝල්ෆේස් පිටිය පුරවාලීමට අනුර ප්‍රමුඛ ජවිපෙ සමත්වී තිබිණි. කෙසේ වෙතත් මේ සියලු දෙනාම ගෝල්ෆේස් පුරවන අභියෝගය භාරගත්තේ එය සැහැල්ලු කටයුත්තක් ලෙස සිතා නොව, දැවැන්ත අභියෝගයක් බව දැනගෙනය.
රැලිය ගැන මත දෙකක්
මේ අතර පොහොට්ටුව මෙවර ජනාධිපතිවරණයේ මංගල රැලිය පවත්වන්නට අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණය තෝරාගනිද්දී එජාපය කවුරුත් පුදුම කරමින් සජිත්ගේ මංගල රැලිය පැවැත්වීමට තීන්දු කළේ ගෝල්ෆේස් පිටියේය. එහිදී දිනය සම්බන්ධයෙන් මත දෙකක් පැමිණි අතර එක් පාර්ශ්වයක් කියා සිටියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව සජිත්ගේ රැලිය පැවැත්වීම හොඳ යැයි කියාය. තවත් පිරිසක් කියා සිටියේ ඇල්පිටිය මැතිවරණයට උත්තේජනයක් ලෙස දැවැන්ත ජන ගංගාවක් කොළඹට කැඳවා පක්ෂය ජයග්‍රාහී ආරම්භයක් ලබාගත යුතු යැයි කියාය. ඒ අනුව අවසානයේ තීන්දු වූයේ ඇල්පිටිය මැතිවරණයට පෙර දින පක්ෂයේ මංගල රැස්වීම පැවැත්වීමටය.
එමෙන්ම ගෝල්ෆේස් පිටිය තීන්දු කළ වහාම සියල්ලන්ම අකිලට කියන්නට වූයේ මෙවර රැලියට ඉකුත් වතාවේ ගෙන ආ ජනතාවට වඩා වැඩි පිරිසක් නියත වශයෙන්ම රැගෙන ආ යුතු යැයි කියාය. එසේ නොවුණහොත් පොහොට්ටුව මෙය බැසිල්ගේ රැලිය හා සමාන කරනු ඇති බවද ඔවුහු අකිලට පෙන්වා දුන්හ. ඒ අනුව අකිල එම අභියෝගය භාරගත්තේය. අකිලට ඊට පක්ෂ සභාපති කබීර්ගෙන්ද විශාල සහායක් ලැබිණි. එමෙන්ම වරින් වර රනිල් සහ සජිත්ද අකිලට කතා කරමින් ඊට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කළේය.
රැල්ල ජේ.ආර්.ගේ 77ට සමවෙයි
කෙසේ වෙතත් ගෝල්ෆේස් රැලිය සංවිධාන කරන අතරතුරදී නොසිතූ අයුරින් පිරිස් ඒකරාශී වන ආකාරයක් අකිලට වැටහිණි. විශේෂයෙන්ම වෙනදා ඇතැම් ආසනවලින් බස් පහ හය පැමිණියද මෙවර එම ආසනවලින් බස් දහය දොළහ පැමිණීමට නියමිත බව එම ආසන සංවිධායකවරු අකිලට දැනුම්දී සිටියහ. ඒ අනුව විශාල මුදලක් ඒ සඳහා අමතරව වැයවන නිසා අකිල කළේ වහාම ඒ පිළිබඳ රනිල්ව දැනුවත් කිරීමය. නමුත් රනිල් කියා සිටියේ මොනයම් තත්ත්වයක් යටතේ හෝ මේ සියලු ජනතාව කොළඹට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්න යැයි කියාය. මුදල් ඊට බාධාවක් කර නොගන්නා ලෙසද රනිල් අකිලට දැනුම්දී සිටියේය.
මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ඉතිහාසයේ පෙර නොවූ විරූ ජන ගඟක් ගෝල්ෆේස් පිටියට රැගෙන ඒමට අකිල සමත් වීමය. සාමාන්‍යයෙන් වරාය අධිකාරියේ වාර්තාවලට අනුව ගෝල්ෆේස් පිටියේ උපරිම මිනිස් ධාරිතාව වන්නේ ලක්ෂයකි. නමුත් පොලිස් වාර්තාවලට අනුව බ්‍රහස්පතින්දා සවස් වන විට ගෝල්ෆේස් පිටියට පැමිණි ජනතාව එක්ලක්ෂ හැත්තෑදහසත්, එක්ලක්ෂ අනූදහසත් අතර ප්‍රමාණයකි. මීට අමතරව රැලියට සහභාගි වීමට නොහැකිව තවත් හතළිස් දහසකට ආසන්න පිරිසක් ආසන්න මාර්ගවල සිරව සිටි බවද පොලිස් වාර්තාවල සඳහන්ව ඇත. ඒ අනුව රැස්වීමේ සිටි එජාප පැරැණි සාමාජිකයන් මෙම තත්ත්වය සමාන කර තිබුණේ 1977 ජේ.ආර. ජයග්‍රහණය කරවීම සඳහා එළියට පැමිණි එජාප පාක්ෂිකයන් හා සමාන තත්ත්වයකටය. එමෙන්ම ගෝල්ෆේස් පිරවීම සඳහා අකිල භාරගත් දෙවැනි මෙහෙයුමද ඉතා සාර්ථක ලෙස අවසන් කිරීම සම්බන්ධයෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සියල්ලම පාහේ අකිලට සිය කෘතවේදීත්වය පිරිනමන ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
මහේෂ්ට මාධ්‍යවලින් කෙනෙහිලි
මේ වන විට මෙවර ජනාධිපතිවරණයේ සුපර් ස්ටාර් බවට පත්වී සිටින්නේ වෙන කවුරුවත් නොව ජාතික ජනතා ව්‍යාපාරයෙන් තරග බිමට බැස සිටින හිටපු හමුදාපති ජෙනරල් මහේෂ් සේනානායකය. ප්‍රධාන පාර්ශ්ව සියල්ලම මෙතෙක් ඒ ඒ ආණ්ඩුවල සිටි පුද්ගලයන් පිටුපසින් තබාගෙන මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවද්දී මහේෂ් සේනානායක අලුත්, උගත්, බුද්ධිමත්, දක්ෂ තරුණ කණ්ඩායමක් පිටුපසින් තබාගෙන මැතිවරණ සටන මෙහෙයවීම විශේෂ සිදුවීමක් විය. නමුත් කනගාටුවට කරුණ වී තිබුණේ අප ඉකුත් සතියේදී කී ආකාරයටම මහේෂ් සමඟ සිටින මේ කණ්ඩායම ගැන හෝ මහේෂ් සේනානායක පිළිබඳ හෝ අකුරක්වත් පුවත්පත්වල නොලියවීමය. මහේෂ්ගේ රූපයක්වත් විද්‍යුත් නාලිකාවල පළ නොවීමය. මේ නිසාම පසුගිය සතියේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ 2010 ජනාධිපතිවරණයේදී මෙරට රාජ්‍ය මාධ්‍ය ඉතා දැඩි ලෙස පක්ෂග්‍රාහී වෙමින් ඉතා පහත් ආකාරයට හැසිරුණද පසුව මේ වන විට රාජ්‍ය මාධ්‍ය ඉතාම ස්වාධීන ආකාරයට කටයුතු කරන නමුත් එදා ස්වාධීනව හැසිරුණු පෞද්ගලික මාධ්‍ය මේ වන විට ඉතා දැඩි ලෙස පක්ෂග්‍රාහී මාධ්‍යකරණයක නිරත වෙමින් සිටින බවය. විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍යවල මෙම තත්ත්වය වඩාත් බරපතළ ලෙස පෙනෙන්නට ඇති බවද මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියේය.
මේ බව තවත් තහවුරු කරමින් පසුගිය සතියේ සිය කණ්ඩායමත් සමඟ මහේෂ් සේනානායක පැවැත්වූ මාධ්‍ය හමුව හෝ මහේෂ් සේනානායක නාමයෝජනා ලබාදෙන පුවත හෝ සිය මුල් පිටුවල පළකිරීමටවත් පුවත්පත් කටයුතු කර තිබුණේ නැත. විද්‍යුත් මාධ්‍යද එම පුවත විකාශය කළේ අනෙකුත් පුවත් රැසක් විකාශය කිරීමෙන් අනතුරුව ඉතා සුළු වශයෙන්ය. එසේ වූවා කියා මහේෂ්ට ලැබෙන ජනතා ප්‍රතිචාර කිසිදු අඩුවක් නොවීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය.
දෙපැත්තෙන්ම මහේෂ්ට කෝල්
මේ නිසාමදෝ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම මහේෂ්ගේ මේ ආගමනය තරමක අභියෝගයක් වී ඇති ආකාරයක් දැකගන්නට තිබිණි. මේ නිසාම පසුගිය සතිය වන විට ප්‍රධාන අපේක්ෂකයන්ගේ පාර්ශ්වයන් වෙතින් මහේෂ්ට දුරකතන ඇමතුම් දෙකක් ලැබුණු අතර ඉන් එක් ඇමතුමකින් කියැවුණේ සිය රජයක් යටතේ ආරක්ෂක අමාත්‍ය ධුරය මහේෂ්ට ලබාදිය හැකි යැයි කියාය. අනෙක් පාර්ශ්වයෙන් මහේෂ්ට ඉදිරිපත් වූයේ ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදෙන බවට වූ යෝජනාවකි. නමුත් මේ යෝජනා දෙකම ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමට මහේෂ් පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් නාමයෝජනා ලබාදීමට ගිය දවසේ මහේෂ්ට තමන් රාජකාරි කටයුතු කළ සමයේ ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසිණි. එකල මහේෂ් යුද්ධයේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා විය. ඒ අනුව ගෝඨාභය දුටු සැණින් ඔහු ළඟට ගිය මහේෂ්, “කොහොමද සර්..” යැයි කියමින් කතාව ආරම්භ කළේය. එහිදී ආගිය කතාවලින් අනතුරුව ගෝඨාභය මහේෂ්ට සිනාසෙමින් කියා සිටියේ, “හැමෝම මගෙන් අහනවා කවුද මහේෂ්ව ජනාධිපතිවරණයට දැම්මේ කියලා. මම ඒ හැමෝටම කියන්නේ යූ.එන්.පී. ඡන්ද කඩන්න මම මහේෂ්ව ඡන්දෙට දැම්මා කියලා” යැයි කියාය. ඊට මහේෂ්ද සිනාසෙමින් දුන්නේ අපූරු පිළිතුරකි.
“ඒක හොඳයි සර්. හැබැයි සර් එහෙම කිව්වට සර්ගෙ පැත්තෙ හැමෝම කියන්නේ සර්ගෙ ඡන්ද කඩන්න මාව යූ.ඇන්.පී. එකෙන් දාලා කියලා. දැන් දෙපැත්තෙන්ම එහෙම කියන හින්දා මට මධ්‍යස්ථව ඉන්න පුළුවන්” යැයි කී මහේෂ් තවත් එක්තරා විශේෂ කාරණයක්ද ගෝඨාභයට දැනුම්දී සිටීමට කටයුතු කළේය. ඒ ගෝඨාභය වටා සිටින ඇතැම් පුද්ගලයන් පිළිබඳවය.
මහේෂ් ගෝඨාගේ මූණටම කියපු කතාව
“සර් මම සොල්දාදුවෙක් විදියට ඔබතුමා ගැන විශාල ගෞරවයක් මගේ හිතේ තියෙනවා. නමුත් සර්ගෙ වටේ ඉන්න මිනිස්සු ගැන නම් මගේ කිසිම ගෞරවයක් නැහැ සර්” යන්න මහේෂ් එහිදී ගෝඨාභයට දැනුම්දී සිටි කාරණය විය. එහිදී ගෝඨාභයද නිහඬව එයට හිස වනා පිටව ගියේ මහේෂ් කී එම කාරණය පිළිගෙනදැයි කියන්නට දන්නේ නැත.
මේ අතර පසුගිය සතියේදී මහේෂ් තවත් එක්තරා විශේෂ තීන්දුවක් ගත්තේය. ඒ, තමන්ට මෙතෙක් නොතිබූ දේශපාලන පක්ෂයක හිමිකාරත්වය සම්බන්ධයෙන්ය. මහේෂ් මෙවර ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙනු ලැබුවේ නීතිඥ ශ්‍රීනාත් පෙරේරාට අයත්ව තිබූ ජාතික ජනතා පක්ෂය යටතේය. ඒ අනුව පසුගිය සතියේදී මහේෂ් වසර 05කට එම පක්ෂය තමන් සතුකර ගැනීමට ශ්‍රීනාත් සමඟ ගිවිසුමකට එළඹියේය. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයෙන් පසු එළැඹෙන මහ මැතිවරණයේදීද, පළාත් සභා මැතිවරණයේදීද ජාතික ජනතා පක්ෂය මහේෂ්ගේ නායකත්වය යටතේ තරග බිමට පිවිසීමට නියමිතය.
කපිල පුංචිමාන්නගේ