• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රීට පව් පල දීම ඇරඹෙයි (රාජ්‍ය රහස්)

April 29, 2020
in Exclusive, Rajya Rahas, Uncategorized
Reading Time: 19 mins read
A A
මෛත්‍රීට පව් පල දීම ඇරඹෙයි (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

කොරෝනා වසංගතය මුල්කරගෙන මේ වන විට අප රට ගෙවා දමමින් සිටින්නේ ඉතා තීරණාත්මක අවධියකි. මෙම රාජ්‍ය රහස් තීරය ලියැවෙන සිකුරාදා සවස් වරුව වන විට ලංකාව කොරෝනා රෝගීන් 416ක් වාර්තා කර තිබිණ. එහි බරපතළම ගැටලුව ලෙස පෙනෙන්නට තිබුණේ රෝගීන් වැඩිවීමටත් වඩා රෝගීන් වැඩිවන ප්‍රමාණය වේගයෙන් ඉහළ ගොස් තිබීමය. උදාහරණයක් ලෙස ලංකාව පළමු රෝගීන් සියය වාර්තා කළේ දින 54ක් වැනි කාලයක් තුළදීය. ඒ වන විට කොරෝනා වසංගතය සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් රට තුළ නොමැති වුවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවමින් කියා සිටියේ පවතින තත්ත්වය යටතේ ලංකාවේ රෝගය වැඩිවීමේ අවදානමක් මතුවිය හැකි බවකි. එම අනතුරු ඇඟවීම තහවුරු කරමින්දෝ ලංකාවේ දෙවැනි රෝගීන් සියය වාර්තා වීමට ගතවූයේ දින 19කි. තුන්වන රෝගීන් සියය දින 8ක් ඇතුළත වාර්තා වූ අතර, හතර වැනි රෝගීන් සියය වාර්තා වීමට ගතවී තිබුණේ දින 4ක් වීම සුවිශේෂී කාරණයකි.

ආණ්ඩුව ජන්ද සිතියම දිගහරියි

මේ සියල්ල අතරවාරයේ පසුගිය සතිය ආරම්භ වන විට ආණ්ඩුව සිටියේ මැතිවරණය පැවැත්විය යුතු බවට වූ ස්ථාවරයකය. විශේෂයෙන්ම පසුගිය ඉරිදා දිනයේදී (19දා) මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාද අවධාරණය කර තිබුණේ මැතිවරණය සඳහා දින නියම කිරීම මැතිවරණ කොමිසම සතු කාර්යභාරයක් යැයි කියාය. මහින්ද මෙම ලිපිය කොමිසමට ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාද මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින් කියා සිටියේ නීතිපතිගේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසුම අනවශ්‍ය බවත්, ජනාධිපතිවරයා කලින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ජුනි 02ට දිනට ප්‍රථම මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බවත්ය.

කොමිසම ඇතුළේ අර්බුදයක්

ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ මැයි 23 හෝ මැයි 28 යන දින දෙකෙන් එක් දිනක මැතිවරණ කොමිසම මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කරනු ඇති බවත්ය. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම තුළ පසුගිය දින කිහිපය පුරාම විශාල වාද විවාද පැවැති බවක් දැකගන්නට ලැබිණ. විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා මේ පැවැති වාද විවාදවලදී දැඩිව කියා සිටියේ මේ මොහොතේ මැතිවරණයට දින නියම කිරීම කිසිසේත්ම නොකළ යුතු බවත්, මැතිවරණයක් පැවැත්වීමේ වාතාවරණයක් රට තුළ නොමැති බවත්ය. හූල් මහතා මේ ආකාරයෙන් වාද විවාද කළද එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාද, අබේසේකර මහතාද සිටියේ මැතිවරණය පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳව ගැටලුවක් නොමැති බවත්, පවතින නීතිමය තත්ත්වයට අනුව යමින් ඒ සඳහා දින නියම කිරීම කොමිසම සතු කාර්යභාරයක්ය යන ස්ථාවරයේය. ඒ අනුව සඳුදා දින (20දා) සෞඛ්‍ය අංශ සහ දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් කැඳවූ මහින්ද දේශප්‍රිය එහිදී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව සඳහන් කර තිබිණ.

හූල් යළි එළිපිට සටන අරඹයි

නමුත් මැතිවරණ කොමිසම ඇතුළේ පැවැති මෙම අර්බුදකාරී තත්ත්වය සඳුදා වන විට එළියට පැන්නේ එහි සාමාජික රත්නජීවන් හූල් මහතා විසින් කොමිසමේ මෙම ක්‍රියාපිළිවෙත දැඩිව විවේචනයට ලක්කරමින් මාධ්‍යයට ලිපියක් නිකුත් කිරීමත් සමඟය. මෙම ලිපියෙන් මැතිවරණය පැවැත්වීමට එරෙහිව දැඩිව කරුණු දක්වා තිබූ හූල් ලංකාව මේ වන විට මැතිවරණයක් පැවැත්වීමට නොහැකි තත්ත්වයක සිටින බවද සඳහන් කර සිටියේය. හූල්ගේ මේ ලිපිය මාධ්‍යයට නිකුත් වීමත් සමඟ මැතිවරණ කොමිසමද බරපතළ අර්බුදයකට මුහුණදුන් ආකාරයක් දැකගත හැකි විය. ඒ සමඟම විවිධ පුවත් සහ කටකතාද සමාජ මාධ්‍ය ජාලවල විශාල වශයෙන් පැතිරයන්නට විය. එසේ ගිය එක් කටකතාවකින් කියැවුණේ මැතිවරණ දිනය සඳහන් ගැසට් පත්‍රයක් ඒ වන විටත් මහින්ද දේශප්‍රිය විසින් සකස් කර තිබූ බවත්, එහි මැතිවරණ දිනය ලෙස මැයි 28 දක්වා තිබූ බවත්ය.

වැරදි දිනයකට අස්සන දැමූ හැටි

නමුත් වාද විවාද රැසක් මැද එම දිනය ජුනි 20 බවට කොමිසම තීන්දුවක් ගෙන තිබූ බවත්, ගැසට් පත්‍රයෙහි වැරැදීමකින් මැයි 28 සඳහන්ව තිබූ බවත් කියවිණ. කෙසේ වෙතත් එය නොදැක අබේසේකර මහතා ඊට අස්සන් තබා තිබූ බවත්, අනතුරුව හූල් විසින් එය පෙන්වා දීමෙන් පසු අබේසේකර තමන් අතින් සිදුවූ අත්වැරැද්ද දැක වහාම එම ගැසට් පත්‍රය ඉරා දැමූ බවක්ද සමාජ මාධ්‍ය ජාලාවල ගිය එම කටකතාවලින් වැඩිදුරටත් කියැවිණ. ඒ අනුව මැතිවරණ කොමිසම සඳුදා දින ආරක්ෂක අංශත්, සෞඛ්‍ය අංශත්, දේශපාලන පක්ෂ නියෝජිතයනුත් මුණගැසුණේ ජුනි 20 මැතිවරණය පවත්වන බවට වූ පූර්ව නිගමනය මත පිහිටාය.

රනිල්ගෙන් මහින්දට කෝල් එකක්

මේ අතරවාරයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද හීන්සීරුවේ කිසියම් සැලැස්මක් ක්‍රියාත්මක කරන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව සඳුදා උදෑසනම අගමැති මහින්ද රාජපක්ෂ මහතාට කතා කළ රනිල් මහින්දට පෙන්වා දුන්නේ ලැබෙන තොරතුරුවලට අනුව කොරෝනා වෛරසය තරමක් අවදානම් සහගත අතකට පෙරළෙමින් පවතින බවත්, මේ හේතුවෙන් වහාම පාර්ලිමේන්තුව කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගතයුතු බවත්ය. එමෙන්ම තවත් පියවරක් ඉදිරියට තබමින් රනිල් මහින්ද පෙන්වා දුන්නේ මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව කැඳවා සර්වපාක්ෂික රජයක් පිහිටුවීමට කටයුතු කළහොත් මෙම වසංගතය මැඩලීමට සියලු පක්ෂවල සහාය ගත හැකි බවත්ය. මේ හරහා රනිල්ට උවමනා වී තිබුණේ සියලු පක්ෂ එකමුතු කොට මැතිවරණය කල්දමා ගැනීමටය.

මහින්ද ගේම ආපසු කරකවයි

රනිල්ගේ මේ වටේ යෑම මහින්දටද නොවැටහුණා නොවේ. ඒ අනුව මහින්ද ගත් කටටම රනිල්ට කියා සිටියේ එවැනි පියවරක් ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි කියාය. අද සවස වන විට මැතිවරණ කොමිසමෙන් මැතිවරණය සඳහා දින නියම කරනු ඇති බවද එහිදී මහින්ද රනිල්ට දැනුම්දී සිටියේය. කිව්වා වාගේම එදින සවස මැතිවරණ කොමිසම ජුනි 20 වැනි දින මැතිවරණය පවත්වන බව දැනුම්දී සිටියේය.

කරුත් යළි පිටපොට ගසයි

ව්‍යවස්ථාදායක සභාව පසුගිය බ්‍රහස්පතින්දා හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කතානායක නිල නිවෙසේදීය. මෙම හමුවට අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහින්ද සමරසිංහ, බිමල් රත්නායක, ආර්. සම්බන්ධන්, තලතා අතුකෝරාල ඇතුළු කණ්ඩායමක් සහභාගිව සිටියහ. කෙසේ වෙතත් කරු මෙම සාකච්ඡාවට සහභාගි වීමට ප්‍රථම පවතින තත්ත්වය යටතේ හිටපු කතානායකවරයා වශයෙන් තමාට නැවැත පාර්ලිමේන්තුව කැඳවිය හැකිද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසීමට පියවර ගෙන තිබිණ. ඊට හේතු වූයේ පවතින තත්ත්වය යටතේ වහාම පාර්ලිමේන්තුව රැස්විය යුතු බවට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂත්, සිවිල් සංවිධාන නියෝජිතයනුත් කරුගෙන් කර තිබූ ඉල්ලීමය. විශේෂයෙන්ම මහ මැතිවරණය ජුනි 20 වැනි දිනට යළි පැවැත්වීමට මැතිවරණ කොමිසම මඟින් දින නියම කිරීමත් සමඟ ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවනු ඇති බවට බොහෝ පිරිස් කරු සමඟ සාකච්ඡා කොට තිබීමද ඊට තවත් හේතුවකි.

නීතිපති කරුට කියපු දේ

මේ නිසා යළි පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් කරු නීතිපතිවරයාගෙන් විමසීම් කළත් නීතිපතිවරයාගෙන් ඊට ලැබී තිබුණේ යහපත් ප්‍රතිචාරයක් නම් නොවේ. අපට වාර්තා වන තොරතුරුවලට අනුව නීතිපතිවරයා දැනුම්දී ඇත්තේ හිටපු කතානායකවරයා ලෙසට කරුට පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිදු නීතිමය බලයක් නොමැති බවකි.
මේ ආකාරයට යළි පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාව සම්බන්ධයෙන් කරු නීතිපතිවරයාගේ අදහස් විමසා ඇති බවක්, මොහොතක් යෑමට මත්තෙන් ආණ්ඩුවේ ඉහළ තැන්වල කනටද වැටුණි. ඒ අනුව ආණ්ඩුවද කරුගේ මේ උත්සාහය ව්‍යර්ථ කිරීමට සැලැසුම් කිහිපයක්ම දියත් කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඉන් පළමුවැන්න දැකගත හැකි වූයේ ව්‍යවස්ථාදායක සභා රැස්වීම ආරම්භ වීමත් සමඟය. මෙහිදී රැස්වීම ආරම්භ වූ වහා ඒ සම්බන්ධයෙන් වූ පළමු ප්‍රශ්නය මතු කළේ වෙන කවුරුවත් නොව මහින්ද සමරසිංහය. මහින්ද කරුගෙන් විමසා සිටියේ මෙම ව්‍යවස්ථාදායක සභා රැස්වීම කරු කැඳවූයේ කුමන පදනමක් මත පිහිටාද යන්නය.

මහින්ද කරුට පෙරළපු බාල්දිය

“දැන් පාර්ලිමේන්තුව විසුරුවා හැරල තියෙන්නෙ. කතානායක කෙනෙක් නැහැ. මන්ත්‍රිවරුත් නැහැ. විපක්ෂ නායක තනතුරත් නැහැ. නිල වශයෙන් තියෙන්නෙ අගමැති තනතුර විතරයි. භාරකාර ආණ්ඩුවක් යටතේ තමයි රට පවතින්නේ. නමුත් ඔබතුමා අපිට එවපු ලියුම්වල තියෙන්නෙ කතානායක විදිහට ඔබතුමා මේ රැස්වීම කැඳෙව්ව කියලයි. ඒ හින්දා අපිට මේ කරුණ හරියට පැහැදිලි කරගන්න ඕනෙ. ඔබතුමා කතානායක හැටියටද මේ රැස්වීම කැඳවූයේ එහෙමත් නැත්නම් ව්‍යවස්ථාදායක සභාවෙ සභාපතිවරයා හැටියටද? මම ඒක අහන්නෙ මේ කරුණ වාර්තාවෙන්න ඕන හින්දා” යනුවෙන් මහින්ද සමරසිංහ ඍජුවම කරුගෙන් අසද්දී කරු කියා සිටියේ තමන් මෙම රැස්වීම කැඳවූයේ කතානායකවරයා වශයෙන් නොව ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙසට බවය.

කරු මහින්දගේ උගුලේ වැටෙයි

“නෑ…. මම කතානායක විදිහට නෙමෙයි මේ රැස්වීම කැඳවූයේ. එහෙනම් එතැන වැරැදීමක් සිද්ධ වෙලා තියෙනවා. මම මේ රැස්වීම කැඳවූයේ ව්‍යවස්ථාදායක සභාවෙ සභාපතිවරයා විදිහට. ඒ කරුණ වාර්තා කරන්න…” යනුවෙන් කියමින් කරු මහින්ද සමරසිංහ නැඟූ තර්කය තහවුරු කළේය.
ඉන් අනතුරුව කතා කළේ සිවිල් සංවිධාන නියෝජනය කරමින් පැමිණි නියෝජිත ජාවෙඞ් යූසුෆ්ය. ජාවෙඞ් මතු කළේ රට තුළ මතුවිය හැකි ව්‍යවස්ථා අර්බුදයක් පිළිබඳවය.
“ජනාධිපතිවරයා මුලින් ගහපු ගැසට් එකේ තියෙන්නෙ ජුනි 02 අලුත් පාර්ලිමේන්තුව රැස්වෙන්න ඕනෙයි කියල. දැන් ඡන්දෙ තියෙන දවස ජුනි 20 වෙනකන් කල් ගිහින් තියෙනවා. ඉතින් ගැසට් එකේ හැටියට දෙවැනිදා පාර්ලිමේන්තුව රැස්කළේ නැත්නම් මේ තියෙන භාරකාර ආණ්ඩුව ගැන නීත්‍යානුකූල ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව ඊට කලින් කැඳවිය යුතුයි කියල තමයි අපේ අදහස” යනුවෙන් ජාවෙඞ් කියද්දී ඊට පිළිතුරු දුන්නේ අගමැති මහින්දය. අගමැතිවරයා කියා සිටියේ පරණ පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවක් මතුව නැති බවකි.

මහින්ද අන්තිමට දුන් උත්තරේ

“නෑ… අපි හිතන්නෙ පාර්ලිමේන්තුව කැඳවන්න ඕන්නෑ කියලයි. ජනාධිපතිතුමා ඒ ගැන නීතිමය උපදෙස් අරගෙනයි තියෙන්නෙ. එතුමට පුළුවන් පවතින නීතිය අනුව පාර්ලිමේන්තුව රැස්වෙන එක කල්දාන්න…” යන්න මහින්දගේ පිළිතුර විය.

කරුට සුමන්තිරන්ගෙන් කෝල් එකක්

කෙසේවෙතත් මෙම රැස්වීම නිමා වනවාත් සමගම කරුට දුරකතන ඇමතුමක් ලැබුණු අතර එහි අනෙක් කෙළවරේ සිටියේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නීතීඥ එම්.ඒ. සුමන්තිරන්ය. සුමන්තිරන් කරුගෙන් විමසා සිටියේ ව්‍යවස්ථාදායක සභාව කැදවූයේ කතානායකවරයා ලෙස නොවන බවට රැස්වීමේදී පිළිගත්තේදැයි කියාය. කරු එය ‘ඔව්’ බව කියනවාත් සමගම සුමන්තරන් කියා සිටියේ ‘ඇයි ඒ විදිහට පිළිත්තේ. ඔබතුමා දැන හෝ නොදැන ඒ අයගේ උගුලේ වැටුණා…’ යැයි කියාය.

නීතිපතිගේ උපදෙස් වැරදියි…

“මං මේ ගැන නීතිපතිතුමාගෙන් මතය විමසුවා. එතුමා තමයි මට මේ නීති උපදෙස් දුන්නෙ…” යනුවෙන් කරු කියද්දී සුමන්තිරන් කීවේ නීතිපතිගේ එම උපදෙස් වැරැදි යැයි කියාය. “ඔබතුමාට දීලා තියෙන උපදෙස් වැරැදියි. දැන් ඔබතුමා මේක පිළිගත්ත නිසා පාර්ලිමේන්තුව කැඳවීමේ ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව කියන්නෙ ඔබතුමාට පාර්ලිමේන්තුව කැඳවන්න බෑ කියලයි. දැන් ඔබතුමා ආණ්ඩුවේ ඒ මතය පිළිඅරගෙන…” යන්න එහිදී සුමන්තිරන් අවසානයේදී කරුට කී කතාව විය.
කෙසේ වෙතත් සාකච්ඡාවෙන් පසු කරු එම සාකච්ඡාවේ සිදුවූ දෑ පැහැදිලි කරමින් මාධ්‍යයට විශේෂ නිවේදනයක් නිකුත් කළේය. එහි සඳහන්ව තිබුණේ මෙවැන්නකි.

කරු පස්සේ රටට කියපු දේ…

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23) පෙරවරුවේ එහි සභාපති හා හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවති අතර අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ගරු ආර්. සම්බන්ධන් මහතා, ගරු මහින්ද සමරසිංහ මහතා, ගරු බිමල් රත්නායක මහතා සහ ගරු තලතා අතුකෝරළ මහත්මියද ඊට සහභාගී වූහ. ඔවුනට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඞ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා හා නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතාද ඊට එක්ව සිටියහ.
සාකච්ඡාව ආරම්භයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෝ සියළුම ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රගතිය සමාලෝචනයට ලක් කළහ. ස්වාධීන කොමිෂන් සභා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එවා තිබූ කාර්ය සාධන වාර්තා මෙහිදී අවධානයට ලක් විය.
ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත එවා තිබූ ලිපි 02ක් ද මෙහිදී අවධානයට ලක් විය.
මැතිවරණ කාලසීමාවේදී පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදුකරන පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සහ පත්වීම් ලබාදිම් පොලිස් කොමිෂන් සභාව විසින් මැතිවරණ කොමිසමේ එකඟත්වය ඇතිව සිදුකළ යුතු බව එක් ලිපියක සඳහන් විය.
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් කිහිපදෙනෙක් මේ වන විට සිදු කර ඇති පොලිස් ස්ථාන මාරුකිරීම් පිළිබඳව කරුණු මතු කළහ. ඒ අනුව මේ පිළිබඳ පොලිස් කොමිෂන් සභාවේ අවධානය යොමු කරවීමට මෙහිදී තීරණය කරන ලදී.
එමෙන්ම හානිපූර්ණය සම්බන්ධව වන කාර්යාලයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණු අතර එම කාර්යාලයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට හැකි වන ලෙස එම පුරප්පාඩු මීළඟ රැස්වීමේදී සම්පූර්ණ කිරීමටද මෙහිදී තීරණය විය.
ඉන්පසුව කෝවිඞ් 19 වසංගතය මෙරට පවතින තත්ත්වය හා එය වැළැක්වීමට රජය ගෙන ඇති පියවර මෙන්ම ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අනුගමනය කරමින් තිබෙන පියවර ද ගරු මහින්ද රාජපක්ෂ මහතා විසින් දීර්ඝව පැහැදිලි කරන ලදී.
කෝවිඞ් 19 වසංගතය හමුවේ මැදපෙරදිග රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටලු සොයා බලා එම ගැටලු නිරාකරණය කිරීමට පියවර ගනිමින් සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය. එමෙන්ම විදේශ රටවල අධ්‍යාපනය සඳහා ගොස් සිටින සිසුන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට ගනු ලබන පියවර ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මේ අතර කෝවිඞ් 19 වසංගතය සමඟ රට තුළ ඇති වී තිබෙන ජාතික ව්‍යසනය විසඳීමට පටු දේශපාලන වාසි නොතකා සියලු දේශපාලන පක්ෂ භේදයකින් තොරව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී කරු ජයසූරිය මහතා අවධාරණය කළේය.
එමෙන්ම මෙම ව්‍යසනයට මුහුණ දීමේදී විධායකය පසුගිය පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේද අදහස් ලබා ගනිමින් කටයුතු කිරීම සුදුසු වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් කිහිපදෙනෙක්ම අදහස් දක්වමින් කියා සිටියහ.
පාර්ලිමේන්තුව නැවත කැඳවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය තුළ පවතින කතාබහ පිළිබඳව අදහස් දැක්වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා පාර්ලිමේන්තුව තමන් විසින් කැඳවා තවත් අර්බුදයක් ඇති කිරීමේ අදහසක් නොමැති බව සඳහන් කළේය.
මෙවැනි ව්‍යවස්ථාමය ගැටලුවකදී අර්ථ නිරූපණයක් ලබා දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් ලබා දෙන තීන්දුවකදී ඒ අනුව කටයුතු කිරීමට තමන් බැඳී සිටින බවත් ජයසූරිය මහතා පැවසුවේය.
එමෙන්ම ලොවටම බලපාන දරුණු වසංගත තත්ත්වයක් පවතින මේ මොහොතේ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කර නොගන්නා ලෙස තමන් සියලු පක්ෂ නායකයන්ගෙන් සහ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය….’

විපක්ෂයේ නීතිවේදීන් වැඩ පටන් අරන්

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසුව පසුගිය සිකුරාදා (24දා) දින නීතිවේදීන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීම සඳහා විශේෂ ලිපියක් කෙටුම්පත් කරන ආකාරයක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ලැබිණි. මෙම ලිපියේ ඇති විශේෂත්වය වන්නේ විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙම ලිපියට අස්සන් තැබීමට එකඟතාවය පළකර තිබීමය. එම ලිපිය මඟින් වහාම පාර්ලිමේන්තුව රැස් කරන ලෙස ඉල්ලීමක් කිරීමට සැලැසුම් කර ඇති අතර, එසේ නොවුණහොත් ව්‍යවස්ථා අර්බුදයක් මතුවනු ඇති බවට ජනාධිපතිවරයාට දැනුම්දීමට පියවර ගෙන ඇති බව ආරංචිය. එම අර්බුදය මඟහරවාගත හැක්කේ වහාම පාර්ලිමේන්තුව කැඳවීමෙන් පමණක් බවද එම ලිපියේ ඇතුළත්ව ඇති බව දැනගන්නට ඇත. ජුනි 02ට ප්‍රථම පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා සූදානම් නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ සූදානම් බවත්, එසේ නොවුණහොත් ජුනි 02 දිනට පසු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑම ඊට ඇති එකම විසඳුම බවත් ඔවුන් එම ලිපිය මඟින් ජනාධිපතිවරයාට දැනුම්දීමට සූදානමින් සිටින බව ආරංචිය.

පාර්ලිමේන්තුවට හමුදා ආරක්ෂාව

කෙසේ වෙතත් සිකුරාදා (24දා) සවස් වරුව වන විට විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුටම දුරකතන ඇමැතුම් කීපයක් ලැබුණු අතර, එම ඇමැතුම් මඟින් ඔවුන්ට දැනුම්දී තිබුණේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යුද හමුදාව යෙදවීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවකි. දැනට යොදා සිටින පොලිස් ආරක්ෂාවට අමතරව මෙම යුද හමුදා ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇති බවද එම ඇමැතුම්වලින් වැඩිදුරටත් කියැවිණ.

මෛත්‍රීට කළ කළ දේ පල පල දේ

ජනාධිපති පුටුවේ සිටියදී මෛත්‍රිපාල සිරිසේන මහතා සිතා සිටියේ කවදාවත් තමන් කරන කියන දේවලට ප්‍රතිඵල තමන්ට විඳින්නට නොලැබෙනු ඇතැයි කියාය. එසේත් නැතිනම් තමන් කළ කී දේවල්වලට තමන්ට කවදාවත් විඳවන්නට සිදු නොවනු ඇතැයි කියාය. 2015 සිට 2019 දක්වා මෛත්‍රි කටයුතු කළේ ඒ අයුරින් සිතාගෙනය. තමන්ට බලයට පැමිණීම සඳහා උදව් උපකාර කළ සියල්ලන්වම පසු කාලයකදී පසෙකට දැමූ මෛත්‍රි තමන් විසින්ම පරාජයට පත්කළ කණ්ඩායම යළිත් ළංකර ගැනීමට පියවර ගත්තේය. තමන්ට බලයට ඒම සඳහා එජාපය ප්‍රමුඛ සිවිල් සංවිධාන සියල්ල තමන්ගේ පාලනය කාලයේ අවසන් සමයේදී මෛත්‍රි තඹයකට මායිම් නොකරන තත්ත්වයක් දැකගන්නට තිබිණ. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී පවා මෛත්‍රි හැසිරුණේ තමන් ඒ කිසිවකට වගකිවයුතු නැති ආකාරයටය. තමන් රටේ ජනාධිපතිවරයා වුවද, තමන් සන්නද්ධ හමුදාවේ සේනාධිනායකයා වුවද, තමන් රටේ ආරක්ෂක අමාත්‍යවරයා වුවද මෛත්‍රි එදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් ගැනීමට කටයුතු කළේ නැත. ඒ වෙනුවට මෛත්‍රි කළේ පාස්කු බෝම්බයේ වගකීම විවිධ පුද්ගලයන් පිට පැටවීමට කටයුතු කිරීමය. විශේෂයෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා පිටත්, හිටපු පොලිස්පතිවරයා පිටත්, එජාපය පිටත් තබා එම පාස්කු ප්‍රහාරයේ පව් සෝදා ගැනීමට මෛත්‍රිපාල කටයුතු කළේය. මෛත්‍රි සිතා සිටියේ තමන් ඒ කළ දේශපාලන පව්වල විපාකය කෙදිනකවත් තමන්ට විඳීමට සිදු නොවනු ඇතැයි කියාය. නමුත් පාස්කු ප්‍රහාරයෙන් වසරක් පිරුණු ඉකුත් අප්‍රේල් 21 වැනිදා වන විට මෛත්‍රිට ඒ පව් පලදීම ආරම්භ වී ඇති ආකාරයක් දැකගන්නට තිබිණ. එහි ලොකුම පලදීම වී ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් අවුරුද්දක් යෑමටත් මත්තෙන් මෛත්‍රි ජනාධිපති පුටුවෙන් විසිවී සිටීමය.

සෝභිත හිමියන් මෛත්‍රීට පත්තු කෝටි 90ක කරපු බෝම්බය

පාස්කු ප්‍රහාරයේ දෙවැනි විපාකය මෛත්‍රිට පත්තු වූයේ හරියට ඊට අවුරුද්දක් පිරෙන දිනයේ ඕමල්පේ සෝභිත හිමියන් විසින් මාධ්‍ය හමුවකදී පත්තු කළ බෝම්බයත් සමඟය. එහිදී ඕමල්පේ හිමියන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසුව මැදපෙරදිග රටවල්වල නියෝජිතයන් කිහිපදෙනකු කොළඹ නෙලුම් පොකුණේදී උත්සවයක් පැවැත්වූ බවත්, එහිදී රුපියල් කෝටි 90ක ආධාරයක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට ලබාදෙන බවට ඔවුන් පොරොන්දු වූ බවත්ය. එම මුදල් ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති බවත්, එම මුදලට සිදුවූයේ කුමක්ද යන්න රටට හෙළිදරව් කළයුතු බවත්, එහිදී ඕමල්පේ සෝභිත හිමියන් විසින් සඳහන් කර තිබිණ. මෙම මුදල ලබාදෙන බව ප්‍රකාශ කරන විට එවකට මැලේසියාවේ තානාපතිවරයාව සිටි ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාද එහි සිටි බවත් ඕමල්පේ හිමියන් සඳහන් කර සිටියේය. ඊට මුසම්මිල් සාක්ෂි දරනු ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියහ.

කෝටි 90ක් නෑ: ලැබුණේ ලක්ෂ 50යි

ඕමල්පේ හිමියන් කළ මෙම ප්‍රකාශය විකාශය වීමත් සමඟ මෛත්‍රිටද එය දැකගන්නට ලැබිණි. ඒ අනුව ඊට පසු දිනම ඕමල්පේ හිමියන්ට කතා කළ මෛත්‍රි කියා සිටියේ උන්වහන්සේ ප්‍රකාශ කළ පරිදි කෝටි 90ක මුදලක් නොලැබුණු බවත්, රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් ලැබුණු බවත්ය. එවිට උන්වහන්සේ මෛත්‍රිගෙන් විමසා සිටියේ ඒ ලක්ෂ 50ට සිදුකළේ කුමක්ද යැයි කියාය. එවිට මෛත්‍රි කියා සිටියේ එම මුදල් තමන් පාස්කු ප්‍රහාරයෙන් අසරණභාවයට පත්ව සිටි දුප්පත් ජනතාවට බෙදා දුන්නා යැයි කියාය. මෛත්‍රිගේ පිළිතුරින් සෑහීමකට පත්වූ සෝභිත හිමියන් කියා සිටියේ “ඒකනෙ මහත්තයො ඒව වුණත් මේ රටේ මිනිස්සු දැනගන්න ඕනනෙ. ඒකයි මම ඔය කතාව කිව්වෙ…” යැයි කියාය.

මුසම්මිල් වැඩේ අතට ගනියි

කෙසේ වෙතත් සෝභිත හිමියන් කී කතාවේ අනෙක් ප්‍රධානය චරිතය වූයේ දැනට වයඹ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ඒ.ජේ.එම්. මුසම්මිල්ය. ඒ අනුව මුසම්මිල් වහාම කළේ සෝභිත හිමියන් කී කතාව අරාබි බසට පරිවර්තනය කොට සවුදි තානාපති කාර්යාලයටත්, අදාළ සංවිධානයටත් යොමුකිරීමය. එමෙන්ම ඒ සමඟ ලිපියක්ද යොමුකරමින් මුසම්මිල් කියා සිටියේ මෙවැනි චෝදනාවක් එල්ල වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වහාම පැහැදිලි කිරීමක් එවන ලෙසත්ය. එමෙන්ම ඕමල්පේ හිමියන්ටත් කතා කළ මුසම්මිල් කියා සිටියේ උන්වහන්සේ කළ කතාවේ තමන්ගේ නමද සඳහන් කළ බවත්, තමන් එම මුදල් පිළිබඳව කිසිවක් නොදන්නා බවත්, තමන් කළේ එම උත්සවය සංවිධානය කිරීම පමණක් බවත්ය. එමෙන්ම තමන් අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවලට නිවේදනයක් නිකුත් කළ බවද මුසම්මිල් කී විට සෝභිත හිමියන් කීවේ තමන්ද එම නිවේදනය දුටු බවකි. එම නිවේදනය සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවද සෝභිත හිමියන් එහිදී මුසම්මිල්ට දැනුම්දී සිටියේය.

මෙන්න මුසම්මිල් දාපු නිවේදනය

මුසම්මිල් මාධ්‍යයට නිකුත් කළ එම නිවේදනය මෙසේය.

‘පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ ජීවනෝපායයන් ගොඩනැංවීම සඳහා ලෝක මුස්ලිම් ලීගයෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් රුපියල් කෝටි 90ක මුදලකට සිදුවූයේ කුමක්ද යන්න ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ විසින් මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයක ඒ මහතා මෙසේ සඳහන් කර ඇත.
ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් යනු මා ඉතාම ගරු කරන භික්ෂුන් වහන්සේ නමකි. උන්වහන්සේ විසින් සිදුකරන ලද මෙම ප්‍රකාශයට පැහැදිලි කිරීමක් සිදුකිරීම මාගේ වගකීමක් ලෙස දකිමි. මෙම ම්ලේච්ඡ ප්‍රහාරය හෙළාදැකිය යුතු ප්‍රහාරයක් සේම අදටද අමතක නොවන සිදුවීමක් ලෙස මම දකිමි.
පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ ඇතිවුණු ජාතිවාදය තුරන් කිරීම දැඩි අවශ්‍යතාවක්ව තිබූ බව අප කවුරුත් පිළිගන්නා කරුණකි. ඒ අනුව සියලු ජාතීන් අතර සහයෝගිතාවය, සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් ලෝක මුස්ලිම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද ජාතික සමුළුවක් පසුගිය වසරේ ජුනි මස 30 වැනි දින කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පවත්වනු ලැබීය.
මෙම සමුළුව කොළඹදී පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු භාරවී තිබුණේ අබ්දුල් කාදර් අල් මෂූර් මවුලානා නමැත්තා හටය. ඔහු ශ්‍රී ලාංකිකයකු වන අතර ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහොමඞ් අබ්දුල් කරීම් අල්ඊසා මැතිතුමාගේ සමීපතමයකුද වේ. ආචාර්ය අල් ඊසා මැතිතුමාගේ ඉල්ලීමකට අනුව මෙම සම්මේලනය කොළඹදී පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කරදෙන ලෙස බස්නාහිර පළාත භාර එවකට ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ සඳහා වූ ලෝක මුස්ලිම් සම්මේලනයේ ඉල්ලීම මා වෙත ගෙන එනු ලැබුවේ අබ්දුල් කාදර් අල් මෂූර් මවුලානා කියන මේ පුද්ගලයා විසින් බවද දැන්වීමට කැමැත්තෙමි. ලෝක මුස්ලිම් සම්මේලනය සමඟ සම්පූර්ණයෙන්ම සබඳතා පවත්වමින් මේ සියලුම කටයුතු සඳහා මූලික වූ එකම පුද්ගලයා මේ කියන මවුලානා නමැති පුද්ගලයා බවද සඳහන් කරමි.
ඉන් පසුව මෙම සම්මේලනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ මා සාකච්ඡා කිරීමෙන් පසුව ඒ සඳහා එතුමාගේ පූර්ණ සහයෝගය සහ අනුග්‍රහය ලබාදීමටද මා හට පොරොන්දු විය. ඒ අනුව සියලු කටයුතු සිදුකරමින් මෙම සම්මේලනයේ කටයුතු මා විසින් සියලුම පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන සම්බන්ධීකරණය කරනු ලැබීය.
පසුගිය වසරේ ජුනි මස 30 වැනි දින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම සම්මේලනයට ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය අබ්දුල් කරීම් අල්ඊසා මහතා විශේෂ ආරාධිතයා ලෙස සහභාගි විය. මේ සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ආචාර්ය අල්ඊසා මහතාට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමටද හිටපු ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබිණි. එතුමා ලංකාවට පැමිණියේ ජුනි මස 28 වැනි දින රාත්‍රියේදීය. ආචාර්ය අල්ඊසා මහතා එදිනම රාත්‍රියේ කාදිනල් හිමිපාණන්ද හමුවිය. එම හමුවේදී ආචාර්ය අල්ඊසා මහතා මෙම පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට තම බලවත් ශෝකය ප්‍රකාශ කර විපතට පත්වූවන්ගේ සුබසාධනය වෙනුවෙන් යම්කිසි ආධාරයක් ලබාදීමට බලාපොරොත්තු වන බවත්, එය මෙම සම්මේලනයේදී ප්‍රකාශයට පත්කිරීමට අදහස් කරන බවත් අල්ඊසා මහතා එම හමුවේදී කාදිනල් හිමිපාණන්ට පවසා තිබේ.
මෙම සම්මේලනය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඊට සියලුම දේශපාලන පක්ෂ නායකයන් සහ ආගමික නායකයන්ද සහභාගි වූහ. එදින ආචාර්ය අල්ඊසා මහතා පාස්කු ප්‍රහාරයට ගොදුරු වී විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා ඩොලර් මිලියන 05ක් නැතිනම් රුපියල් කෝටි 90ක විශාල මුදලක් පරිත්‍යාග කරන බවට ප්‍රසිද්ධියේ පොරොන්දු විය.
සම්මේලනය අවසන් වීමෙන් පසුව එතුමා හිටපු ජනාධිපතිවරයා සහ මේ රටේ අනෙකුත් දේශපාලන නායකයන් රැසක්ද හමුවිය. මේ සම්මේලනයෙන් අනතුරුව මා අවස්ථා ගණනාවකදීම ආචාර්ය අල්ඊසා මහතා විසින් ලබා දෙන බවට පොරොන්දු වූ ආකාරයට එම මූල්‍ය පරිත්‍යාගය පිළිබඳව මවුලානා මහතාගෙන් විමසා සිටියෙමි. එම මුදල ලැබී නොතිබුණු බැවින් එය ලබා දීමට මැදිහත් වන ලෙසද මා ඔහුට දැනුම් දුනිමි. මා ඒ සම්බන්ධයෙන් විමසූ සෑම අවස්ථාවකදීම මවුලානා මහතා ඒ පිළිබඳව විවිධ කරුණු නිදහසට කියා සිටි බවද මා ප්‍රකාශ කරමි. මේ සම්බන්ධයෙන් කොරෝනා වසංගතය ඇතිවීමට පෙර අගමැතිතුමාද මාගෙන් මේ මුදල සමබන්ධයෙන් විමසා සිටියේය. එම විශාල මුදල මේ රටට ලැබුණාද නැද්ද යන බව මා නිශ්චිතවම නොදන්නා බව එම අවස්ථාවේදී මා එතුමාට ප්‍රකාශ කර සිටියෙමි. එබැවින් ඒ සම්බන්ධයෙන් මවුලානා මහතාගෙන් විමසිය යුතු බවද මා අගමැතිතුමාට දන්වා සිටියා. මේ සම්බන්ධයෙන් අප මවුලානා මහතා ගෙන්වා ඔහු සමඟ සාකච්ඡාවක් පැවැත්වීම සුදුසු බවද මා අගමැතිතුමාට සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාටද දන්වා සිටියා.
ලෝක මුස්ලිම් සම්මේලනය පොරොන්දු වූ මෙම මුදල ශ්‍රී ලංකා රජයට, හිටපු ජනාධිපතිවරයාට හෝ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිහිටුවා ඇති යම් සුබසාධන අරමුදලකට ලැබුණාදැයි මා නොදනිමි. මන්ද එහි පූර්ණ වගකීම පැවැරී තිබුණේ ලෝක මුස්ලිම් සම්මේලනයේ මෙම කටයුතු සම්බන්ධීකරණය කළ අල් මෂූර් මවුලානා නමැත්තාටය. එබැවින් මෙම මුදල සම්බන්ධයෙන් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට මා ශ්‍රී ලංකාවේ සවුදි තානාපති කාර්යාලයට සහ ලෝක මුස්ලිම් සම්මේලනයට මෙන්ම අල්මෂූඞ් මවුලානා මහතාටද දැනුම්දී තිබෙන බවද දන්වමි.
මෙවැනි විශාල මුදල් පරිත්‍යාගයක් ප්‍රසිද්ධියේ සිදුවිය යුතු වන අතර මේ වනතෙක් එවැන්නක් සිදුවී නැති බවද මා හොඳාකාරවම දනිමි. එබැවින් පාස්කු ප්‍රහාරයට වසරක් සම්පූර්ණ වන මේ අවස්ථාවේදී ප්‍රහාරයට ගොදුරු වූවන්ගේ සුබසාධනය වෙනුවෙන් ලෝක මුස්ලිම් සම්මේලනය ලබාදීමට පොරොන්දු වූ මෙම විශාල මුදල අප රටට ලැබුණාද, නොලැබුණා නම් එම මුදල රහසිගතව වෙනත් අයකු වෙත ලැබුණාද, එසේ නම් ඊට බලපෑ හේතුව කුමක්ද කියා වහාම සොයා බලා ප්‍රසිද්ධ කළ යුතුව ඇතැයි මා ප්‍රකාශ කරමි.
ඒ.ජේ.එම්. මුසම්මිල්

දෙවැනි පාර ලක්ෂ 50 කෝටියක් වෙයි

කෙසේ වෙතත් මුසම්මිල් මාධ්‍යයට එම නිවේදනය නිකුත් කිරීමත් සමඟ මෛත්‍රිපාල නැවතත් සෝභිත හිමියන්ට දුරකතන ඇමැතුමක් ලබාදීමට කටයුතු කළේය. සිය දෙවැනි ඇමැතුමෙන් මෛත්‍රි සෝභිත හිමියන්ට කියා සිටියේ තමන් මුලින් දුන් ඇමැතුමට හාත්පසින්ම වෙනස් කතාවකි. එහිදී මෛත්‍රි කියා සිටියේ ලක්ෂ 50ක මුදලක් නොව කෝටියක මුදලක් අදාළ සංවිධානයෙන් තමන්ට ලැබුණු බවකි.
“අනේ සමාවෙන්න අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ කියපු කතාව ගැන මම ආයෙත් සොයා බැලුවා. එතකොට මට දැනගන්නට ලැබුණා මගේ ළඟ හිටපු උදය කියල ලේකම් කෙනෙක්ට ඒ සල්ලි භාරදීලා කියලා. එතන ලක්ෂ 50ක් නෙවෙයි. කෝටියක් තිබිල තියෙනවා. ඒ සල්ලි අපි ජනාධිපති අරමුදලට දාල කියලත් මට දැනගන්න ලැබුණ…” යනුවෙන් මෛත්‍රිපාල කියද්දී ඕමල්පේ හිමියන්ට සිනහව නවතාගත නොහැකි තත්ත්වයක් මතුව තිබිණි.

චම්පික මෛත්‍රීව නැති කරයි

මේ අතර පසුගිය මාස කිහිපය තිස්සේම කොරෝනාව මුල්කරගෙන මෛත්‍රිපාල යනුවෙන් කෙනකු සිටින බවට හෝ සලකුණක් නොමැති තරමට දේශපාලන ක්ෂේත්‍රය නිහඬව තිබුණත් පාස්කු ප්‍රහාරයේ පළමු වසර සපිරීමත් සමඟ මෛත්‍රි යළිත් දේශපාලන ක්ෂේත්‍රයේ මාතෘකාවක් බවට පත්ව තිබිණ. විශේෂයෙන්ම ප්‍රබල දේශපාලකයන් කිහිපදෙනකුම මෛත්‍රි ඉලක්ක කර දැඩි ප්‍රහාර මාලාවක් පසුගිය සතියේ දියත් කර තිබීම මීට තවත් එක් හේතුවක් විය. ඒ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාය. චම්පික විශේෂ සටහනක් තබමින් සිය ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් පළමුවරට විශේෂ හෙළිදරව්වක් කිරීමට පියවර ගෙන තිබිණ. (එම සම්පූර්ණ ලිපියම පුවත්පතේ වෙන පිටුවක පළ වේ) සිය හෙළිදරව්ව මඟින් චම්පික එහි වැඩිම වගකීම දැරිය යුත්තේ තොරතුරු ලැබී තිබියදීත් එය නොසලකා හැරි හිටපු ජනාධිපතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා බව සඳහන් කර තිබිණ. එහි දෙවැනි වැඩිම වගකීම අගමැතිවරයා වශයෙන් සිටි රනිල් වික්‍රමසිංහ මහතා භාරගත යුතු බවද එහිදී චම්පික කියා තිබිණ. ඒ මෙසේය.

රනිල්ටත් ගැලවීමක් නෑ

‘වරද සිදු වූයේ කොතැනද? මගේ හැඟීමේ හැටියට නම් වරදේ වැඩිම වගකීම භාර ගත යුතු වන්නේ ආරක්ෂක ඇමති ලෙසත්, සේනාධි නායකයා ලෙසත් කටයුතු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඔහු 2018 ඔක්තෝබර් 26 දින සිදුකළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය විසින් ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය දුර්මුඛ කළේය. විශේෂයෙන්ම පොලීසිය තුළ අභ්‍යන්තර පුද්ගලික ගැටුම් උත්සන්න විය. නාමල් කුමාර – නාලක සිල්වා නාටකය කරළියට ගෙන ආවේ ඇතැම්විට අනුකම්පාව දිනා ගැනීමේ උපක්‍රමයක් ලෙස වුවද එය ආරක්ෂක අංශ තුළ වූ බෙදීම් තීව්‍ර කළේය. සිදුවීම් සම්බන්ධයෙන් වූ විමර්ශනයන් එක තැන පල් වන්නට විය. විශේෂයෙන්ම ඔහුගේ ලොකුම වරද නම් 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් පසුව යළි එජාපය ප්‍රමුඛ සන්ධානයට බලය ලැබුණු විට, යළිත් එම ආණ්ඩුවත් සමග සහයෝගයෙන් කටයුතු කරනු වෙනුවට, පුද්ගලික කෝන්තරයකදී හැසිරෙන ආකාරයෙන් හැසිරෙන්නට වීමය. පරිණත දේශපාලනඥයෙකු හා ප්‍රධානතම පුරවැසියා වෙතින් දිස්විය යුතු පරිණත බව ඔහු කෙරෙන් විද්‍යමාන නොවීය. මෙයින් රාජ්‍ය යාන්ත්‍රණය, විශේෂයෙන්ම ඔහු වගකීම දරන ජාතික ආරක්ෂාව විෂයය නායකත්වයක් නැති, මෙහෙයවීමක් නැති දෙයක් බවට පත්විය.
දෙවැනි වගකීම යන්නේ අගමැති රනිල් වික්‍රමසිංහටය. ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් පසුව යළිත් අගමැති ධූරය ගත් පසුව තමන්ට ජනාධිපතිවරයා විසින් ආරක්ෂක මණ්ඩලයට ආරාධනා නොකිරීම ගැන නිහඬව සිටීම සම්බන්ධයෙන් ඔහුට සමාවක් නැත. රනිල් වික්‍රමසිංහ යන පුද්ගලයාට, මෛත්‍රීපාල සිරිසේන නැමති පුද්ගලයා පුද්ගලික ආරාධනාවක් නොකිරීම ගැන ඉවසා සිටීම රනිල් වික්‍රමසිංහගේ නිහතමානීකම ලෙස සැලකිය හැකි වුවද රටේ අගමැති පදවිය දරන්නා ලෙස එයට එරෙහිව ක්‍රියා නොකිරීම බරපතළ දේශපාලන නොසැලකිල්ලක් හා වගකීම් විරහිත හැසිරීමකි. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවේ නායකයා වන්නේ ජනාධිපතිවරයා යැයි සුලබව කියවුණද, ඇත්ත තත්ත්වය වන්නේ ආණ්ඩුවේ නායකයා වන්නේ ඇත්තෙන්ම නම් පාර්ලිමේන්තුවේ බහුතර බලය දරන්නා බවය. ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහට රටක ආණ්ඩුවේ නායකයා ලෙස ක්‍රියා කිරීම වගකීම නිසැකවම පැවරී තිබුණි. අගමැති ධුරයේ තත්ත්වය 19 වන සංශෝධනයෙන් තවත් බලවත්ව පැවතුණි. එසේම ඔක්තෝබර් කුමන්ත්‍රණය පරාජය කිරීමෙන් පසුව ආණ්ඩු බලය අගමැතිවරයාගේ පාර්ශවයට නියතවම ලැබුණු බවද අමතක නොකළ යුතුය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩු නොකර සිටීමේ අයිතියක් නොතිබුණි. ආණ්ඩුවක මූලිකම වගකීම නම් නීතිය හා සාමය රකිමින් ජනතාවගේ ජීවිත හා දේපොළ ආරක්ෂා කර දීමය…’

කාදිනල් හිමියෝත් මෛත්‍රීට එරෙහිවද

ඉන් අනතුරුව මෛත්‍රි ඉලක්ක කර ඊළඟ ප්‍රහාරය එල්ල වූයේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගෙනි. එහිදී කාදිනල් හිමියන් සිය කතාවේදී සඳහන් කර සිටියේ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් පමණක් නොව ප්‍රහාරය එල්ල කිරීමට පාර කපමින් සිය වගකීම හරිහැටි ඉටු නොකළ දේශපාලන බලවතුන්ද අත්අඩංගුවට ගත යුතු යැයි කියාය.
මේ ආකාරයට පාස්කු ප්‍රහාරයට වසරක් පිරෙන මොහොතේ යළිත් මෛත්‍රි දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වුවද අවම වශයෙන් පාස්කු ප්‍රහාරය එල්ලවද්දී බලයේ සිටි ජනාධිපතිවරයා වශයෙන් කිසිදු නිවේදනයක් හෝ ප්‍රකාශයක් මෛත්‍රි විසින් එදින නිකුත් නොකිරීම විශේෂ සිදුවීමක් විය.

මෛත්‍රීගෙන් පාස්කු නිවේදනයක්වත් නෑ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ආදීන් පාස්කු ප්‍රහාරය හෙළාදකිමින් සහ ඊට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදිය යුතු බව ප්‍රකාශ කරමින් නිවේදන නිකුත් කළද මෛත්‍රිපාල එදින කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකොට නිහඬව සිටීම පුදුමසහගත සිදුවීමක් විය. මෛත්‍රි පමණක් නොව එවකට අගමැතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහද, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාව සිටි රුවන් විජේවර්ධනද වචනයක් හෝ ප්‍රකාශ නොකොට සිටීමද එහිදී දැකගන්නට ලැබුණු තවත් විශේෂ සිදුවීමක් විය.

සජිත්ට විතරක් කාදිනල් හිමියෝ දොර අරියි

පාස්කු ප්‍රහාරයට වසරක් පිරුණු ඉකුත් අඟහරුවාදා දිනයේදී සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ට දුරකතන ඇමැතුමක් ලබාදීමට පියවර ගත්තේය. එම දුරකතන ඇමැතුමේදී ප්‍රහාරය සම්බන්ධයෙන් යළිත් වතාවක් සිය කනගාටුව අගරදගුරුතුමා වෙත පළ කළ සජිත් තමන්ට එදින උන්වහන්සේ මුණගැසීමට අවශ්‍ය බවත් කියා සිටියේය. සජිත් කළ ඉල්ලීමට වහාම ප්‍රතිචාර දැක්වූ කාදිනල් හිමියෝ එදින සවස තමන්ව මුණගැසීමට අගරදගුරු නිල නිවසට පැමිණෙන ලෙස සජිත්ට දැනුම්දීමට පියවර ගත්හ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අගරදගුරු හිමියන් එදින සජිත්ට පමණක් තමන්ව මුණගැසීම සඳහා අවස්ථාව ලබාදීමය. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයන් ගණනාවක් එදින අගරදගුරු හිමියන් හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලා තිබුණද සජිත්ට පමණක් උන්වහන්සේ එම අවස්ථාව ලබාදීම සැබැවින්ම විශේෂ සිදුවීමක් විය. ඊට බලපෑ එක් හේතුවක්ද විය. ඒ, පාස්කු ප්‍රහාරයෙන් පසුව එම ප්‍රහාරයට ලක්වූ සියලුම දේවස්ථාන ඉතාමත් කඩිනමින් පිළිසකර කර ජනතාවට භාරදීම සඳහා එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සජිත් විශාල කාර්යභාරයක් ඉටුකර තිබීමය. පෞද්ගලිකවම සජිත් එම ස්ථානවලට ගොස් කාදිනල් හිමියන් හමුවී අදාළ පිළිසකර කිරීම් කටයුතුවලට නිරත වීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම කාදිනල් හිමියන්ද සජිත්ට ප්‍රසිද්ධියේම ස්තුතිය පළ කිරීමට එවකදී කටයුතු කර තිබිණ.

විපක්ෂනායක කාර්යාලයේ පහන් දැල්වීමකුත්

කෙසේ වෙතත් කාදිනල් හිමියන්ව සවස හමුවීමට ප්‍රථම සජිත් ඇතුළු සමඟි ජනබලවේගයේ ප්‍රධානීන් එදින පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රහාරයෙන් මියගියවුන් සිහිකොට පහන් දැල්වීමට පියවර ගෙන තිබිණ. එම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර, හර්ෂද සිල්වා, මයන්ත දිසානායක, කාවින්ද ජයවර්ධන ආදී හිටපු මන්ත්‍රිවරු සහභාගිව සිටියහ. අවම වශයෙන් එජාපය හෝ පාස්කු ප්‍රහාරයේ පළමු වසර සිහිකොට කිසිදු නිල කටයුත්තක් සිදුනොකරද්දී සමගි ජන බලවේගය නිල වශයෙන් සිය කනගාටුව ඊට පළකිරීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්වූ කාරණයක් වී තිබිණ.

සජිත්-කාදිනල් හිමි රහස් සාකච්ජාවක

මේ ආකාරයට පෙරවරුවේ ආගමික වතාවත් සිදුකිරීමෙන් පසුව සජිත් ඇතුළු පිරිස නියමිත වේලාවට කාදිනල් හිමියන් මුණගැසීමට අගරදගුරු නිල නිවෙසට පිටත්ව ගියහ. එම අවස්ථාවට රන්ජිත් මද්දුමබණ්ඩාර, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, නිරෝෂන් පෙරේරා සහභාගිව සිටියහ. මෙහිදී දෙපිරිස අතර පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡාව පැවැති අතර, පාස්කු ප්‍රහාරයෙන් පසුව රට තුළ මතුවූ අර්බුදයත්, දැනට රට මුහුණපා සිටින බරපතළ ආර්ථික අර්බුදය පිළිබඳවත් දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට ලක්විය. මෙහිදී සජිත් නැවැත වතාවක් කාදිනල් හිමියන්ට අවධාරණය කර සිටියේ තමන් ත්‍රස්තවාදයට සෑම අවස්ථාවකදීම එරෙහිව කටයුතු කොට ඇති බවත්, ත්‍රස්තවාදය හේතුවෙන් තමන්ද විශල අසාධාරණයකට මුහුණ දුන් බවත්ය.
කෙසේ වෙතත් මෙහිදී තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ සාකච්ඡාව අතරමැදදී කාදිනල් හිමියන් සජිත්ගෙන් කළ එක්තරා විශේෂ ඉල්ලීමකි. එනම් තමන්ට සජිත් සමඟ පෞද්ගලිකව සාකච්ඡා කිරීමට අවශ්‍ය යැයි කියාය. ඒ අනුව විනාඩි 15ක පමණ කාලයක් කාදිනල් හිමියන් හා සජිත් අතර අගරදගුරු නිල නිවෙසේ ඇතුළු කාමරයක විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එහිදී සාකච්ඡා වූ කරුණු මොනවාද යන්න දන්නේ කාදිනල් හිමියනුත්, සජිතුත් පමණක්ය.

කමිටු ඔක්කොම විසිවෙයි

පසුගිය සතියේ රාජ්‍ය ‘රහස් තීරය’ ඔස්සේ අප හෙළිකළ විශේෂ අනාවරණයකින් කියැවුණේ කොරෝනා වසංගතයෙන් රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පුද්ගල කණ්ඩායම් තුනක මැදිහත් වීමෙන් විශේෂ ආර්ථික වැඩපිළිවෙළ තුනක් සකස් වෙමින් පවතින බවකි. ඉන් එක් ආර්ථික වැඩපිළිවෙළක් පාත්ෆයින්ඩර් ආයතනයේ ප්‍රධානියා වන මිලින්ද මොරගොඩගේ ප්‍රධානත්වයෙනුත්, තවත් එක් ආර්ථික සැලැස්මක් ආචාර්ය නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙනුත්, තවත් සැලැස්මක් මහාචාර්ය චන්න ජයසුමනගේ ප්‍රධානත්වයෙනුත් සකස් වන බව අපි එහිදී හෙළිදරව් කර සිටියෙමු. මේ තිදෙනාගේ ප්‍රධානත්වයෙන් සැකසෙක ආර්ථික මොඩලයන් තුනෙන් කුමන ආර්ථික මොඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තෝරාගනු ඇද්ද යන්න සම්බන්ධයෙන්ද අපි එහිදී ප්‍රශ්න කර සිටියෙමු.
කෙසේ වෙතත් පසුගිය සතිය වන විට ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එක්තරා විශේෂ තීරණයක් ගත්තේය. ඒ, මේ තිදෙනාගේම ආර්ථික මොඩලයන් ප්‍රතික්ෂේප කොට තමන්ට විශ්වාසදායක පුද්ගලයකුට ආර්ථිකය ගොඩනැඟීම සම්බන්ධයෙන් සමස්ත ක්‍රියාවලියම භාරදීමට තීන්දු කිරීමය. එම විශේෂ පුද්ගලයා වෙන කවුරුවත් නොව හිටපු මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතාය. මෙවර ගෝඨාභය බැසිල්ට ආර්ථිකය ගොඩනැඟීම භාරදුන්නේ ඊට තවත් විශේෂ අංශ රැසක්ද සම්බන්ධ කරමින්ය. ඒ අනුව පසුගිය සතියේදී අරලියගහ මන්දිරයේ එම ආර්ථික බළකායේ පළමු රැස්වීම පැවැත්වීමටද බැසිල් පියවර ගෙන තිබිණ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

කන්න නැතිව ‘මාලේ’ කාමරයක හිරවුණු ලංකාවේ කොල්ලෝ 10ක් ‘මව්රට’ට දුක කියයි (VIDEO)

Next Post

මංගලගෙන් ජනපතිට බරපතළ අනතුරු ඇඟවීමක්

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.