ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා තවත් ඇත්තේ හරියටම දින 7කි. ඒ අනුව මේ වන විට ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ සජිත් ප්‍රේමදාස මහතාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු උපරිම තලයකට ගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින් මේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සිය මැතිවරණ කටයුතු ඉදිරියට රැගෙන යන්නේ දිස්ත්‍රික් මට්ටමින් යමින් සිය පාක්ෂිකයන් අමතා කරන රැස්වීම්වලට අමතරවය.
මතවිමසුම් වැහිවහියි
ඒ අනුව මේ වන විටත් බොහෝ ව්‍යාජ මත විමසුම් සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබෙන අතර, එහි ඇතැම් ඒවායේ ප්‍රතිඵල ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, ඇතැම් මත විමසුම්වල ප්‍රතිඵල සජිත් ප්‍රේමදාස මහතාටත් වාසිසහගත ලෙස ඉදිරිපත් කොට ඇති ආකාරයක් දැකගන්නට තිබේ. නමුත් ඒ කිසිදු මත විමසුමක් සත්‍ය තොරතුරු මත පදනම්ව සකස් කර තිබෙන ආකාරයක් දක්නට නොමැත්තේ බරපතළ අඩුපාඩු ඒ සියල්ලන්ගේම දැකගන්නට ඇති නිසාය. කෙසේ වෙතත් දේශපාලන ක්ෂේත්‍රයේ තවමත් කියැවෙන කතාව වන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරම කරට කර සටනක් මතුවී තිබෙන බවත්, අවසන් මොහොතේ කුමන අපේක්ෂකයා ජයගනු ඇතිද යන්න කීමට තවමත් කල් වැඩි බවත්ය.
දෙපැත්තෙම අර්බුද මාධ්‍යයෙන් හංගයි
කෙසේ වෙතත් මේ සියල්ල මැද පසුගිය සතිය වන විට ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම කඳවුරු තුළ බෙදීම් සහ මත ගැටුම් රැසක් මතුව තිබූ ආකාරයක් දැකගත හැකි විය. ජනාධිපතිවරණයට තවත් දින කිහිපයක් පමණක් ඉතිරිව තිබෙන නිසා ඒ සෑම පාර්ශ්වයක්ම තම කඳවුරු තුළ මතුව පවතින මේ බෙදීම් එළියට එන්නට නොදී වසාගෙන සිටින ආකාරයක්ද පෙනෙන්නට තිබිණ. ඊට හේතු වී තිබුණේ යම්කිසි හෙයකින් එම මතගැටුම් කනින් කොනින් හෝ මාධ්‍ය මඟින් හෝ ජනතාව අතරට ගියහොත් එය ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලයට ඉතා අහිතකර ලෙස බලපෑමට තිබෙන ඉඩකඩය. අනෙක් අතට ඇතැම් මාධ්‍ය ප්‍රධාන කඳවුරු දෙකේම ඇති මෙම අර්බුද සහ මතගැටුම් පිළිබඳව හොඳහැටි දැන සිටියත් කිසිදු මාධ්‍යයක් ඒ පිළිබඳව වාර්තා කරමින් ජනතාව දැනුවත් කිරීමට පියවර නොගැනීම මෙහිදී දැකගන්නට ඇති ඛේදජනකම සිදුවීමය. ජනතාව දැනුවත් කරනවා වෙනුවට මේ සියලුම මාධ්‍ය නිරතවී සිටින්නේ තම තමන්ගේ දේශපාලන හිතවත්කම් මත ඒ ඒ අපේක්ෂකයා පිම්බීමේ මාධ්‍ය කලාවකය. නමුත් අපි පසුගිය කාලය පුරාම දිගින් දිගටම ප්‍රධාන පක්ෂ අභ්‍යන්තරයේ ඇති මෙම අර්බුද සහ මතගැටුම් ජනතාවගේ දැනගැනීම සඳහා රටට අනාවරණය කිරීමට පියවර ගත්තෙමු. විශේෂයෙන්ම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මාස කිහිපයක් තියාම අපේක්ෂකයන් තේරීමේදීත්, අපේක්ෂකයන්ට සහාය දැක්වීමේදීත් ඒ ඒ පක්ෂ ඇතුළත මතුවූ බරපතළ අර්බුද හා මතගැටුම් නොබියව ජනතාවට ඉදිරිපත් කිරීමට අපි කටයුතු කළෙමු. මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේද ජනාධිපතිවරණය කට මුල තියා ඒ ඒ පක්ෂ අභ්‍යන්තරයේ මේ වනවිට මතුව ඇති මතගැටුම් රටට අනාවරණය කිරීමට අප සූදානම්ය.
පොහොට්ටුවේ හූව නොනවතී
මෙහිදී ජනාධිපතිවරණ ප්‍රචාරක සටන ආරම්භ කරද්දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල හයියක් ගෙනදෙන සිදුවීමක් ලෙස දැකගන්නට ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඇතිකරගත් ගිවිසුමය. ශ්‍රීලනිපයද මුල් අවස්ථාවේදී කිසිසේත්ම පොහොට්ටුව ලකුණට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කර සිටියද පහු පහු වන විට ගෝඨාභයට පමණක් නොව පොහොට්ටුව ලකුණටද සහාය දැක්වීමට හිත හදාගත් බවක් දැකගන්නට ලැබිණ.
ඒ අනුව එහි ප්‍රතිඵලය වූයේ කොළඹ පදනම් ආයතනයේ පැවැති උත්සවයකදී ශ්‍රීලනිපයත් පොහොට්ටුවත් දේශපාලන වශයෙන් අතිනත ගැනීමය. එකල එය විශාල ජයග්‍රහණයක් ලෙස රටට පෙන්වා දීමට දෙපාර්ශ්වයම කටයුතු කළහ.
කෙසේ වෙතත් දෙපාර්ශ්වය අතර මෙසේ කඩදාසිවලට අස්සන් තබා එකතු වූ බවක් එළියට පෙනෙන්නට තිබුණද පක්ෂ දෙක ඇතුළේ එවැනි එකඟතාවයක් හෝ සමගියක් ගොඩනැඟී නොමැති බව පොහොට්ටුවේ මංගල රැලිය පැවැති අනුරාධපුරයේදීම දැකගත හැකි විය. එහිදී ශ්‍රීලනිපයේ අනුරාධපුර ප්‍රබලයා වූ දුමින්ද දිසානායකට පොහොට්ටු පාක්ෂිකයන්ගෙන් සිය මහගෙදරදීම එල්ලවූ ‘හූ’ වර්ෂාවකට මුහුණදීමට සිදුවිය. අනතුරුව ජෝන් සෙනෙවිරත්නටත්, ටී.බී. ඒකනායකටත්, තාරානාත් බස්නායකටත්, අම්පාරේ ශ්‍රී ලනිප සංවිධායකවරිය වූ ආරියවතී ගලප්පත්තිටත්, ශාන්ත බණ්ඩාරටත් මුහුණදීමට සිදුවූයේ ඒ ඉරණමටය.
ශ්‍රීලනිපය වෙනම රැස්වීමක
මේ තත්ත්වයත් සමඟම ශ්‍රීලනිප මහලේකම්වරයා වූ දයාසිරිගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේදී විශේෂ රැස්වීමක් පැවැත්විණි. මෙහිදී පැමිණ සිටි ශ්‍රීලනිප පාක්ෂිකයන් බොහෝදෙනකුම පොහොට්ටුව සම්බන්ධයෙන් විවේචන රැසක් ඉදිරිපත් කළ අතර ඉන් ප්‍රධානම එකක් වූයේ මහින්ද රාජපක්ෂත්, ගෝඨාභය රාජපක්ෂත් මෙම තත්ත්වය වළකාලීම සඳහා සාධනීය පියවරක් නොගැනීමය. විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් පොහොට්ටු පාක්ෂිකයන් සහ ආසන සංවිධායකවරුන් දැනුවත් කොට පොදුජන පෙරමුණ පැත්තෙන් නිල නිවේදනයක් නිකුත් නොවීම ඔවුන්ගේ කනගාටුවට හේතුවී තිබිණ. එමෙන්ම ජනාධිපතිවරයා සමඟද මේ පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව දයාසිරි ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායම තීන්දු කළේ මින් ඉදිරියට පොහොට්ටුවේ දේශපාලන වේදිකාවට ගොඩනොවීමටය. නමුත් තවදුරටත් ගෝඨාභයට දේශපාලන වශයෙන් සහාය දැක්වීමටත්, ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් පමණක් සිටින වේදිකා ඔස්සේ එය තවදුරටත් සිදුකිරීමටත් එහිදී තීන්දු විය. කෙසේ වෙතත් ශ්‍රීලනිපය ඇතුළේ පැවැති මෙම අර්බුදය හෝ ශ්‍රීලනිපය ගත් මෙම තීන්දුව හෝ කිසිදු මාධ්‍යයකින් එළියට දැමීමට කටයුතු නොකිරීම විශේෂ සිදුවීමකි.
ඒ අනුව ශ්‍රීලනිපය පසුගිය සතියේ සිට ගෝඨාභය වෙනුවෙන් වෙනම රැස්වීම් පැවැත්වුවද මේ ‘හූ’ රැල්ලේ නම් අඩුවක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව පානදුරේ පසුගිය සතියේදී පැවැති රැස්වීමකදී උතුරේ හිටපු මහ ඇමැතිවරයා වූ රෙජිනෝල්ඞ් කුරේට පොහොට්ටු පාක්ෂිකයන්ගේ හූවට මුහුණදීමට සිදුවිය. එම රැස්වීමට ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහභාගි වී නොසිටි නිසා රෙජිනෝල්ඞ් තනිවම පොහොට්ටු පාක්ෂිකයන්ගේ හූවට මුහුණදෙන ආකාරයක් දැකගන්නට ලැබිණ.
දයාසිරි කනස්සල්ලෙන්
මේ තත්ත්වයත් සමඟ තවදුරටත් නිහඬව සිටීමට කටයුතු නොකළ දයාසිරි පසුගිය සතියේ වෙබ් අඩවි කිහිපයකට විශේෂ ප්‍රකාශයන් ලබාදෙමින් පොහොට්ටු පාක්ෂිකයන්ගේ මේ ක්‍රියාව මුල්කරගෙන ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් දැඩි කලකිරීමකට පත්ව සිටින බවත්, ජනාධිපතිවරණ සටන හේතුකොටගෙන ඒ සියලු කෙනෙහිලිකම් ඉවසාගෙන සිටින බවත් කියා සිටියේය. ශ්‍රීලනිපයේ ඇතැම් පාක්ෂිකයන්ගේ දැඩි විරෝධය මත ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ්‍රීලනිපය ඉදිරිපත්ව සිටියදීත් පොහොට්ටුවේ ඇතැම් පාර්ශ්වයන් සිදුකරන මේ කෙනෙහිලිකම් කනගාටුවට කරුණක් බවද එහිදී දයාසිරි වැඩිදුරටත් සඳහන් කර තිබිණ.
අමරවීර වෙනතක යයි
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරයෙන් වෙන්ව කටයුතු කිරීමට තීන්දු කළද එක්තරා මන්ත්‍රිවරයකු මෙම එකඟතාව කඩකර කටයුතු කරන ආකාරයක් පසුගිය සතිය පුරාම දැකගත හැකි විය. ඒ වෙන කවුරුවත් නොව රාජපක්ෂවරුන්ගේ දේශපාලන භූමිය නියෝජනය කරන මහින්ද අමරවීරය. දයාසිරි ඇතුළු අනෙකුත් ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් පොදු තීන්දුවක් ගෙන ගෝඨාභය වෙනුවෙන් වෙනම යෑමට පියවර ගත්තද අමරවීර එම තීන්දුව නොතකමින් තවදුරටත් රාජපක්ෂවරුන් සමඟම එක්ව දේශපාලනය කරන ආකාරයක් දැකගත හැකි විය. එහිදී අමරවීර රාජපක්ෂවරුන්ගේ දේශපාලන වේදිකාවට ගොඩවනවා පමණක් නොව පසුගිය සතියේ පැවැති ඩී.ඒ. රාජපක්ෂ ගුණානුස්මරණයටද සහභාගි වී සිටින ආකාරයක් දැකගත හැකි විය.
චන්ද්‍රිකා -වෙල්ගම තීන්දුවක් ගනී
මේ ආකාරයට ශ්‍රීලනිපයත්, පොදුජන පෙරමුණත් අතර මතභේද උඩුදුවන ආකාරයක් දැකගන්නට ලැබෙද්දී පසුගිය සතිය වන විට ශ්‍රීලනිපය ඇතුළේ ප්‍රධාන සිදුවීම් දෙකක් දැකගන්නට ලැබිණ. ඉන් පළමුවන සිදුවීම වූයේ පසුගිය 5 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රැස්වීමය. දෙවැන්න වූයේ එදිනම රාත්‍රි ජනාධිපති මන්දිරයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමය. මෙම සිදුවීම් දෙක දෙතැනක පැවැති එකිනෙකට වෙනස් මුහුණුවරයන් ගත් රැස්වීම් දෙකක් වුවත් ඒ දෙකේම එක්තරා සම්බන්ධයක් තිබිණි. ඒ සම්බන්ධය වූයේ චන්ද්‍රිකා ශ්‍රීලනිප තීන්දුවට පිටින් යමින් සජිත්ට සහාය දැක්වීම ප්‍රකාශයට පත්කිරීමත්, ඊට ප්‍රතිචාර දක්වමින් චන්ද්‍රිකා ශ්‍රීලනිපයෙන් දොට්ට දැමීමට මධ්‍යම කාරක සභා රැස්වීම එදිනම පැවැත්වීමත්ය. ඉකුත් අඟහරුවාදා මෙම සිදුවීම් දෙකම සිදුවූවත් එහි මූලාරම්භය සටහන් වූයේ ජනාධිපතිවරයා සිංගප්පූරුවේ රැඳී සිටි කාලසීමාවේ සිටමය. ඉකුත් සතියේදී අප එහි එක් සිදුවීමක් වාර්තා කළ අතර, ඉන් අප පෙන්වා දුන්නේ චන්ද්‍රිකා වෙනම රැස්වීමක් පවත්වා සජිත්ට සහාය පලකරන බවට වූ කතාව දයාසිරි විසින් මෛත්‍රිට ප්‍රකාශ කිරීමත් සමඟ මෛත්‍රි දැඩි කෝපයෙන් යුතුව අදහස් දැක්වූ ආකාරයය. එහිදී මෛත්‍රි තමන් කොළඹට පැමිණි විගස ‘ඔය ගෑනිට හොඳ පාඩමක් උගන්වන්නම්’ යැයි කියා තිබූ බවක්ද අපි එහිදී කියා සිටියෙමු. ඒ අනුව දයාසිරි ඇතුළු කණ්ඩායම සිතා සිටියේ මෛත්‍රි ලංකාවට පැමිණි විගස චන්ද්‍රිකාට එරෙහිව යුද ප්‍රකාශ කර වැඬේ දෙනු ඇතැයි කියාය.
මෛත්‍රී ආයෙමත් පුරුදු ගේමම ගහයි
කෙසේ වෙතත් අපි දැනට කාලයක් තිස්සේ සිටම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මෛත්‍රි කියන කතා සහ කරන ක්‍රියාවන් අතර ඇති පරස්පරයන් උදාහරණ සහිතවම පෙන්වා දීමට කටයුතු කළෙමු. මෛත්‍රි උදේට එකක් කියන, දවල්ට තවත් එකක් කරන, රාත්‍රියට තවත් එකක් කියන චරිතයක් බවත්, තමන්ට බලයට ඒමට උදව් උපකාර කළ සියලුම දෙනාට බලයට පැමිණීමෙන් පසු පහර පිට පහර එල්ලකොට ඔවුන් සියල්ලම පන්නාගත් චරිතයක් බවත් අපි එහිදී සාධක සාක්ෂි සහිතවම පෙන්වා දීමට කටයුතු කළෙමු. අප අනාවරණය කළ පරිදිම මෛත්‍රි යනු කිසිසේත්ම විශ්වාස කළ හැකි චරිතයක් නොවන වග පසුගිය අවුරුදු හතරහමාරක කාලය පුරාම මෛත්‍රි විසින්ම වුවමනාවටත් වඩා ඔප්පුකර පෙන්වා දී තිබේ. මේ නිසාම මහත් අසීරුතාවයට පත්වූයේ වෙන කවුරුවත් නොව මෛත්‍රි වෙනුවෙන් පසුගිය කාලය පුරාම පෙනී සිටි මැති ඇමැතිවරුන් මෙන්ම නිලධාරීන්ය. ඒ අඩිපාරේම යමින් මෙවරත් සිංගප්පූරුවේ සිට ලංකාවට පැමිණි වහා දයාසිරිට උපදෙස් දෙමින් මෛත්‍රි කියා සිටියේ මෙවර චන්ද්‍රිකාටත්, වෙල්ගමටත් වැඬේ දිය යුතු යැයි කියාය. මෛත්‍රිගේ කතාවේ දැකගන්නට තිබුණු දැඩි බව නිසාම දයාසිරිද මාධ්‍ය නිවේදන නිකුත් කරමින්, මාධ්‍යයට ප්‍රසිද්ධ ප්‍රකාශ ලබාදෙමින්, සංවිධායකවරුන්ට අනතුරු ඇඟවීමේ ලිපි යවමින් කියා සිටියේ චන්ද්‍රිකා මෙම සමුළුව පැවැත්වුවහොත් එය පක්ෂයේ තීන්දුවට පිටින් යෑමක් ලෙස සලකා චන්ද්‍රිකාව පක්ෂයෙන් දොට්ට දමන බවටත්, එම සමුළුවට සහභාගි වන සියලුම සංවිධායකවරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බවත්ය.
ශ්‍රීලනිපය ඇතුළේ ලියුම් යුද්ධයක්
එපමණකින් නොනැවතුණු දයාසිරි නිවේදනයක් නිකුත් කරමින් චන්ද්‍රිකාට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමටද කටයුතු කළේය. එම නිවේදනය මඟින් දයාසිරි කියා සිටියේ සෝමාරාම නැමති චීවරධාරියා විසින් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1959 වසරේ සැප්තැම්බර් 25 ඝාතනය කළ බවත්, එම නිසා තවත් සෝමාරාමලා පක්ෂයට අනවශ්‍ය බවත්ය. දයාසිරිගේ මේ නිවේදනයට පසු ඊට හැරෙන තැපෑලෙන් මෛත්‍රිට පිළිතුරු ලිපියක් යැවීමට කටයුතු කළ චන්ද්‍රිකා එම ලිපිය හරහා මෛත්‍රි පසුගිය කාලය පුරා කටයුතු කළ ආකාරය පිළිබඳව දැඩිව විවේචනයට ලක්කිරීමට කටයුතු කළාය. එහිදී චන්ද්‍රිකා මෛත්‍රිට දොස් තබමින් සඳහන් කර ඇත්තේ පොහොට්ටුව සමඟ අස්සන් කර හොර රහසේ තබාගෙන ඇති ගිවිසුමට අනුව ශ්‍රීලනිපයේ මළගම මෛත්‍රි විසින් සහතික කර ඇතැයි කියාය. එමෙන්ම බලලෝභී විනාශකාරීන් කිහිපදෙනකු විසින් ඉතාමත් භයානක ලෙස ශ්‍රීලනිපය විනාශ කිරීමට දියත් කර තිබෙන කුමන්ත්‍රණයෙන් පක්ෂය බේරාගෙන ආණ්ඩුවෙන් ලබාගත යුතු ප්‍රයෝජන පාක්ෂිකයන්ට ලබාදෙමින් පක්ෂය ශක්තිමත් කර ඉදිරියට ගෙනයෑමට ඇති එකම විකල්පය නැවැත ශ්‍රීලනිපය ශක්තිමත් කිරීම බවත්, එය මෛත්‍රි ඇතුළු කණ්ඩායමට කිසිසේත්ම සිදුකළ නොහැකි බවත් චන්ද්‍රිකා සිය ලිපිය මඟින් පෙන්වාදී තිබිණ.
දයාසිරිට හූ වැලක්
මීට අමතරව චන්ද්‍රිකාගේ සමුළුව කඩාකප්පල් කිරීම සඳහා තවත් උපක්‍රම කීපයක්ද ශ්‍රීලනිප පාර්ශවයෙන් දියත්විණ. එය ඉලක්ක කරගෙන මාධ්‍ය මෙහෙයුමක්ද දියත් කෙරුණු අතර, අසත්‍ය පුවත් ගණනාවක්ම පුවත්පත්වල පලකිරීමටද පියවර ගැනිණ. ඇතැම් මාධ්‍යවල මෙම සමුළුව කල්දැමූ බවක්ද වාර්තා කර තිබිණ. චන්ද්‍රිකාත්, වෙල්ගමත් සුගතදාසයේ මෙම සමුළුව පැවැත්වූයේ මෙවැනි බාධා කිරීම් රැසක් මධ්‍යයේය. නමුත් කොපමණ බාධා කිරීම් මැද්දේ වුවත් ඊට සති කිහිපයකට ප්‍රථම මෛත්‍රි විසින් සුගතදාසයේ පැවැත්වූ ශ්‍රීලනිප සමුළුවට හා සමානව අතිසාර්ථක සමුළුවක් සංවිධානය කිරීමට වෙල්ගම ඇතුළු කණ්ඩායම කටයුතු කර තිබීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය. එහිදී චන්ද්‍රිකා සිය කතාවේදී ඍජුවම සජිත්ට සහාය පලකරන බව කියද්දී වෙල්ගම පැමිණ සිටි ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ දැඩි අත්පොළසන් හඬ මධ්‍යයේ කියා සිටියේ තමන් මෙවර නියත වශයෙන්ම පොහොට්ටුව පරාජය කිරීමට සිය ඡන්දය පාවිච්චි කරනවා කියාය. එහිදී වෙල්ගම සජිත්ට ඡන්දය දෙන බවක් කෙළින්ම කියා සිටියේ නැතත්, ගෝඨාභයට සිය ඡන්දය නොදෙන බවත්, අනෙක් අපේක්ෂකයන් 34 දෙනාගෙන් ඕනෑම කෙනකුට ඡන්දය ලබාදෙන ලෙස ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.
එමෙන්ම මෙම සමුළුවේ දැකගන්නට ලැබුණු තවත් විශේෂ සිදුවීමක් වූයේ චන්ද්‍රිකාත්, වෙල්ගමත් රැස්වීමට පැමිණෙද්දී පැමිණ සිටි ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් ලැබුණු දැවැන්ත ප්‍රතිචාරයය. ඊට අමතරව වෙල්ගම දයාසිරිගේ නම කියන වාරයක් වාරයක් පාසා ශ්‍රීලනිප පාක්ෂිකයන් හූ තැබූ ආකාරයක්ද එහිදී දැකගන්නට ලැබිණ. සමුළුව ආරම්භයේ සිටම සිරස නාලිකාව මඟින් එය සජීවීව විකාශය කළ අතර, මෛත්‍රිද එහි සිදුවූ දෑ සියල්ලම රූපවාහිනී තිරය තුළින් නැරැඹූ බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
චන්ද්‍රිකා ගැන වචනයක්වත් නෑ
කෙසේ වෙතත් මේ අතරවාරයේ එදින සවස පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට තමන් සහභාගි නොවන බවක් මෛත්‍රි දයාසිරිට දැනුම්දී තිබිණි. මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකව සිටින බවට තමන් කලින් කර තිබූ ප්‍රකාශයට අනුව එසේ නොපැමිණෙන බවත්, වැඩබලන සභාපතිවරයා වූ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභා රැස්වීම පවත්වන ලෙසත් එහිදී මෛත්‍රි දයාසිරිට දැනුම්දී තිබිණ. ඒ අනුව සියල්ලන්ම සිතා සිටියේ චන්ද්‍රිකා විසින් සමුළුව සාර්ථකව පැවැත්වීමට කටයුතු කර තිබීම නිසාත්, මෛත්‍රි නොපැමිණ මධ්‍යම කාරක සභා රැස්වීම රෝහණ ලක්ෂ්මන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලෙසට කර තිබූ දැනුම්දීම නිසාත් නියත වශයෙන්ම චන්ද්‍රිකාවත්, වෙල්ගමවත් ශ්‍රීලනිපයෙන් දොට්ට දැමීමට මෛත්‍රී සැලසුම් කර ඇතැයි කියාය.
අඟහරුවාදා රාත්‍රි 7.00ට ජනාධිපති මන්දිරයේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වූයේ මෙවැනි වාතාවරණයක් යටතේය. එහිදී සියලුදෙනාම බලාපොරොත්තු වූයේද චන්ද්‍රිකාට එරෙහිව දැඩි ප්‍රහාරයක් මෙහිදී සිදුකරනු ඇති බවකි. නමුත් මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ වී මොහොතක් යන විට බලාපොරොත්තු වූ කිසිවක් සහ මාධ්‍ය මඟින් වාර්තා කර තිබූ කිසිවක් සිදුවන ආකාරයක් දැකගන්නට නොලැබුණේ කිසිවකුත් චන්ද්‍රිකාට එරෙහිව වචනයක්වත් ප්‍රකාශ කරනු දැකගන්නට නොලැබුණු නිසාය. එමෙන්ම මෛත්‍රි ඊට සහභාගි නොවන බව කලින් දැනුම්දී තිබුණද රැස්වීම ආරම්භ වීමත් සමඟ මෛත්‍රිද ඊට සහභාගි වන ආකාරයක් දැකගන්නට ලැබිණ. එනමුත් මෛත්‍රි මූලාසනය වෙත නොගොස් සාමාන්‍ය මධ්‍යම කාරක සභිකයකු සේ ඉදිරිපෙළ අසුනක අනෙකුත් සාමාජිකයක් සමඟ අසුන්ගන්නා ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
දයාසිරිව ගොනාට අන්දලා
අනෙක් විශේෂම කරුණ වූයේ පසුගිය දින කිහිපය පුරාම සිංහ වෙස් ගෙන මාධ්‍ය ඉදිරියේ දිගට හරහට චන්ද්‍රිකාට බැටදුන් දයාසිරි හුළං ගිය බැලුමක් සේ සමුළුව සම්බන්ධයෙන් සාමාන්‍ය වාර්තාවක් පමණක් සභාවට ඉදිරිපත් කිරීමය. එහිදී චන්ද්‍රිකාට එරෙහිව වචනයක් හෝ නොකී දයාසිරි ආසන සංවිධායකවරුන් හතරදෙනකු පමණක් චන්ද්‍රිකාගේ එම රැස්වීමට සහභාගි වී සිටි බවක් මධ්‍යම කාරක සභාවට දැනුම්දී සිටියේය. එම සංවිධායකවරුන් වෙනුවට වැඩ බැලීම සඳහා වෙනත් සංවිධායකවරුන් හතරදෙනකු පත්කරන බව එහිදී කියා සිටි දයාසිරි චන්ද්‍රිකා හා වෙල්ගම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වීමට නියමිත ඊළඟ මධ්‍යම කාරක සභාවේදී සිදුකරන බවද සඳහන් කළේය. එතැනින් එහාට චන්ද්‍රිකා ගැන හෝ වෙල්ගම ගැන කිසිදු වචනයක් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ කතා නොවීම කැපීපෙනෙන සිදුවීමක් විය. ඒ අනුව සියලු දෙනාටම වැටහී ගිය එක් කාරණයක් වූයේ මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර චන්ද්‍රිකාට එරෙහිව දයාසිරිව උසිගන්වා තිබූ මෛත්‍රි, චන්ද්‍රිකාගේ රැස්වීම සාර්ථක වීමෙන් පසු සියල්ල දයාසිරි පිට පටවා අත සෝදාගෙන තිබූ ආකාරයය.
සජිත් ගැන රාඝවන් කරපු විග්‍රහය
ඉන් අනතුරුව මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡාවට ලක්වූයේ ජනාධිපතිවරණය පිළිබඳවය. එහිදී මෛත්‍රි ඉතා සුළු වශයෙන් අදහස් දැක්වීමක නිරත වූ අතර එහිදී භාවිත කළ වචනද ඉතා අරපරිස්සමින් තෝරාගෙන තිබූ ඒවා බව දැකගන්නට ලැබිණ. නමුත් ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් තම මතය මෙහිදී ප්‍රකාශ නොකිරීමට මෛත්‍රි වගබලා ගත්තද සිය ඉත්තකු යොදා මධ්‍යම කාරක සභාවට විශේෂ පණිවුඩයක් ලබාදීමට මෛත්‍රි එහිදී කටයුතු කළ ආකාරයක් පෙනෙන්නට තිබිණ. ඒ ඉත්තා වූයේ වෙන කවුරුවත් නොව මෛත්‍රිගේ අති සමීපතමයකු වන උතුරු මහ ඇමැති සුරේන් රාඝවන්ය. උතුරේ ඡන්ද ප්‍රකාශ විය හැකි ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ විස්තරයක් කළ සුරේන් රාඝවන් මෙවර යාපනයේ ඡන්දය භාවිත වීමේ ප්‍රතිශතය 2015 සිදුවූවාට වඩා අඩුවිය හැකි බව පිරිසට පෙන්වා දුන්නේය. නමුත් 2015 දී වන්නි දිස්ත්‍රික්කයෙන් මෛත්‍රිට ලැබුණාට වඩා විශාල ඡන්ද ප්‍රමාණයක් භාවිතා විය හැකි බව මෙහිදී කියා සිටි රාඝවන් වන්නියේ දෙමළ ජනතාව අතර ඡන්දය භාවිතා කිරීම සඳහා විශාල උනන්දුවක් මතුව ඇති බවද කියා සිටියේය. එසේ භාවිත වන වන්නියේ ඡන්දවලින් අතිබහුතරයක් සජිත්ට වැටීම නොවැළැක්විය හැකි බවද සුරේන්ගේ ස්ථාවරය විය. ඒ අනුව යාපනයෙන් සජිත්ට අඩුවිය හැකි ඡන්ද වන්නියෙන් සහ කිලිනොච්චියෙන් විශාල ලෙස වැඩිවිය හැකි බව සුරේන් පැහැදිලි කරද්දී මධ්‍යම කාරක සභාවේ සිටි බොහෝ දෙනකු බලා සිටියේ සුරේන් දෙස නොව සුරේන්ගේ කතාවට මෛත්‍රි දක්වන ප්‍රතිචාරය දෙසය. එහිදී ඔවුන්ට දැකගන්නට ලැබුණේ සුරේන් කියන සෑම වචනයක් පාසාම දෙපැත්තට හිස වනමින් මෛත්‍රි ඒවා අනුමත කරන ආකාරයකි. ඒ අනුව සුරේන් උතුරේ තත්ත්වය මෙසේ පැහැදිලි කරන්නේ මෛත්‍රිගේ කීමට අනුව බවත්, ශ්‍රීලනිපය හා පොහොට්ටුව එක්ව ගිවිසුම් ගසා ගෝඨාගේ ඡන්ද ව්‍යාපාරයට සහාය දක්වන බව එළියට පෙන්වමින් සිටියත් මෛත්‍රි සිටින්නේ ඊට වෙනත් ස්ථාවරයක බවත් එහි සිටි බොහෝදෙනකුට වැටහී ගිය කාරණයක් විය.
නිමල් සිරිපාල මධ්‍යම කාරක සභා වර්ජනයක
මීට අමතරව තවත් එක් විශේෂ සිදුවීමක්ද මෙම මධ්‍යම කාරක සභාවේදී දැකගන්නට ලැබිණ. ඒ, ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වෙන නිමල් සිරිපාලද සිල්වා මහතා මෙම මධ්‍යම කාරක සභා රැස්වීම වර්ජනය කිරීමට කටයුතු කර තිබීමය. මේ බවට කනින් කොණින් තොරතුරු වාර්තා වීමත් සමඟ මධ්‍යම කාරක සභා රැස්වීමට ප්‍රථම කිහිපදෙනකුම නිමල් සිරිපාලටද කතා කොට ඔහු ඊට සහභාගි වනවාද යන්න විමසා සිටිද්දී නිමල් ගත් කටටම කියා තිබුණේ තමන් කීයටවත් මෙම රැස්වීමට සහභාගි වන්නේ නැතැයි කියාය.
“අයියෝ මම නම් කීයටවත් ඔය රැස්වීමට එන්නෙ නෑ. මොකද ඔතන කතා කරන කිසිම දෙයක් සිද්ධවෙන්නෙ නෑ. අනෙක මෛත්‍රිව කීයටවත් විශ්වාස කරන්නත් බෑ. මේ වෙලාවෙ චන්ද්‍රිකාට ලොකු ප්‍රචාරයක් දෙන එකෙන් වෙන්නෙ වෙන මොනවත් නෙමෙයි චන්ද්‍රිකා වීරයෙක් වෙන එක විතරයි. ඒ නිසා මම ඔය විහිළු වැඩවලට මීට පස්සෙ එන්නෙ නෑ….” යැයි තමන්ට කතා කළ සියලු දෙනාටම කියා සිටි නිමල් ඒ කීවා වාගේම මධ්‍යම කාරක සභා රැස්වීම වර්ජනය කිරීමටද පියවර ගත්තේය.
මෛත්‍රීගේ කටින් පැන්න කතාව
කෙසේ වෙතත් මධ්‍යම කාරක සභා රැස්වීම නිමාවීමෙන් පසු මෛත්‍රිගේ හිතවත් මන්ත්‍රිවරුන් කිහිපදෙනකු ඔහු සමඟ වෙනම සුහද අදහස් හුවමාරුවක නිරත වනු දැකගන්නට ලැබිණ. එහිදීද මන්ත්‍රීවරුන්ට දැකගන්නට ලැබුණේ වෙනදා මෙන් තම කටට එන සියලුම දේවල් එළියට දමන මෛත්‍රි කෙනකු වෙනුවට ඉතා සීරුමාරුවෙන් යුතුව වචන එහා මෙහා කර අදහස් දක්වන මෛත්‍රී කෙනෙකි. එමෙන්ම ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපය සහ පොහොට්ටුව ලබාගත් ඡන්ද මෙවර ගෝඨාභයට ලැබීමෙන් පසුව නියත වශයෙන්ම ගෝඨාට ජයගත හැකි බව මන්ත්‍රිවරුන් කියද්දී මෛත්‍රි ඊට තරමක් වෙනස් අදහසක් පළකිරීමද විශේෂ සිදුවීමක් විය.
“මම එකක් කියන්නම් ඕගොල්ලන්ට. මේ වෙලාවෙ අපි හරි පරිස්සමින් දේශපාලනය කරන්න ඕනෙ. සමහර වෙලාවට මේ පාර අපි දෙගොල්ලන්ටම ලැබුණු සමහර ඡන්ද පොහොට්ටුවට වැටෙන්නෙ නැති වෙන්නත් පුළුවන්…” යනුවෙන් මෛත්‍රි එක තැනකදී කියද්දී මන්ත්‍රිවරු ඒ පිළිබඳව හාර හාර ඔහුගෙන් විමසන්නට කටයුතු කළහ. ඒ අනුව අන්තිමේදී මෛත්‍රිගේ කටින් ඉතා අසීරුවෙන් එළියට පැන්න වචන කිහිපයකින් කියැවුණේ “මේක දෙන්නා අතර තියෙන කරට කර සටනක්” යැයි කියාය.
මෛත්‍රිගේ හිත සජිත් ළග
මෛත්‍රිගේ මේ කතාව අනුව එහි සිටි ඇතැම් මන්ත්‍රිවරුන්ට වැටහී ගිය කාරණාවක් වූයේ පොහොට්ටුව සමඟ ගිවිසුම් ගැසුවද තවමත් මෛත්‍රි අවසන් තීන්දුවක් නොමැතිව වැට උඩ සිටින ආකාරයකි. එමෙන්ම පසුගිය වසර හතරහමාර පුරාම මෛත්‍රි ආණ්ඩුවේ ඔත්තු සේවා මඟින් ලබාදුන් වාර්තා අනුව දේශපාලනය කළ බවත්, ඒවා මත පදනම්ව තීන්දු තීරණ ගත් බවත් එහි සිටි බොහෝ දෙනා දැන සිටි කාරණයක් විය. ඒ නිසා මේ දිනවල ශ්‍රීලනිපය ඇතුළේ බොහෝ දෙනා කතා වන මාතෘකාවක් වන්නේ මෙවර ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඔත්තුසේවා ලබාදීමට නියමිත අවසන් වාර්තාව පිළිබඳවය. මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල ආණ්ඩුවේ ඔත්තු සේවා ලබාදුන් ප්‍රතිඵල වාර්තා බව දක්වමින් මත විමසුම් කිහිපයක් සංසරණය වුවද තවමත් නිල වශයෙන් ලබාදුන් අවසන් වාර්තාවක් පිළිබඳ තොරතුරු දැනගන්නට නැත. මේ නිසා බොහෝ දෙනා තේරුම්ගත් කාරණාවක් වූයේ මෛත්‍රි එම අවසන් වාර්තාව ලැබෙන තෙක් තවමත් කල්මරමින් සිටින ආකාරයය. මෛත්‍රි එළිපිට රාජපක්ෂලා සමඟ ගනුදෙනු කරන ආකාරයක් පෙනෙන්නට තිබුණද යටහිතින් සජිත් ජයග්‍රහණය කළ යුතු බවට වූ ස්ථාවරයේ සිටින ආකාරයක් මෛත්‍රිගේ ශරීර ඉරියව්වලින් මන්ත්‍රිවරුන්ට හොඳහැටි පෙනෙන්නට තිබූ කාරණයක් විය.
කෙසේ වෙතත් සිය ශාරීරික ඉරියව් හරහා සජිත් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බව මෛත්‍රි මන්ත්‍රීවරුන්ට පෙනෙන්නට සැලැස්වුවත් එහි සිටි සියලු දෙනා නොදැන සිටි කාරණයක්ද ඒ වන විට සිදුව තිබිණ. ඒ, මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි වීමට පැය කිහිපයකට පෙර මෛත්‍රි රාජපක්ෂවරුන් සමඟ ඉතා රහසිගත සාකච්ඡාවක් පවත්වා පැමිණ සිටි බවය.
බැසිල් එක්ක දාපු ඩීල් එක
චන්ද්‍රිකා මැතිනිය කොළඹ තිබූ සමුළුවට පැමිණ මොහොතක් යෑමට මත්තෙන් මෛත්‍රිව මුණගැසීමට කොළඹ පැජට් පාරේ පිහිටි මෛත්‍රිගේ නිල නිවෙසට එසේ පැමිණ සිටියේ වෙන කවුරුවත් නොව පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතාය. මෙහිදී මෛත්‍රි හා බැසිල් අතර පැය එකහමාරක පමණ ඉතා දීර්ඝ සාකච්ඡාවක් සිදුවිය. එම සාකච්ඡාව සම්පූර්ණයෙන්ම පදනම් වී තිබුණේ ගෝඨාභයගේ ජයග්‍රහණයෙන් අනතුරුව මෛත්‍රිගේ දේශපාලන අනාගතය පිළිබඳවය. නොඑසේ නම් විශ්‍රාම යෑමෙන් අනතුරුව මෛත්‍රි දේශපාලන වශයෙන් ආණ්ඩුව ඇතුළේ ස්ථානගත කරන තැන පිළිබඳවය. කලින් අවස්ථා ගණනාවකදීම අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පෙන්වා දුන්නාක් මෙන්ම මෙම සාකච්ඡාවේදීද මෛත්‍රි අනෙක් කිසිදු ශ්‍රීලනිප සාමාජිකයකු පිළිබඳව සාකච්ඡා නොකොට සම්පූර්ණයෙන්ම අවධානය යොමුකොට තිබුණේ අලුත් ආණ්ඩුව තුළ තමන්ට හිමිවන ස්ථානය පිළිබඳවය. එපමණක් නොව එම සාකච්ඡාව අවසානයේදී ඒ සම්බන්ධයෙන් බැසිල්ගෙන් සහතිකයක් ලබාගැනීමටද මෛත්‍රි සමත්ව තිබිණ.
ඇති කරගත් එකගතා මෙන්න
ඒ අනුව දෙදෙනා අතර පැවැති පැය එකහමාරක සාකච්ඡාවෙන් තහවුරු වූ ප්‍රධානම කාරණාව වූයේ 16 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු 17 වැනිදා ලැබෙන ගෝඨාභයගේ ජයග්‍රාහී ප්‍රතිඵලවලට අනුව මහින්දගේ උපන් දිනය යෙදෙන 18 වැනි දින ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය දිවුරුම් දීමටත්, 19 වැනි දින හෝ 20 වැනි දින නිල වශයෙන් ජනපති ධුරයේ වැඩ භාරගැනීමටත්ය. ඒ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු වන මලිත් ජයතිලක එම තනතුරෙන් ඉල්ලා අස්වී ඊට මෛත්‍රිපාල පත්කිරීමටද දෙදෙනා අතර එකඟතාවයක් ඇතිවිය. දැනට බුලත්සිංහල ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන මලිත් සමග මෙම සාකච්ඡාවට ප්‍රථම ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට මෛත්‍රිත්, බැසිලුත් දෙදෙනාම පියවර ගෙන තිබූ අතර ඊට මලිත්ගේද එකඟතාවය පලවී තිබිණ. ඒ අනුව ගෝඨාභය දිවුරුම් දුන් වහා පාර්ලිමේන්තුව කැඳවා මෛත්‍රි පාර්ලිමේන්තුවට පත්කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කතානායක ධුරය මෛත්‍රිට ලබාදීමටත් එහිදී එකඟතාවයකට එළැඹිණ. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ආණ්ඩුවක් පිහිටුවීම එහි අවසන් එකඟතාවය විය. මෛත්‍රි ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා රැස්වීමට පැමිණ සජිත් ජයග්‍රහණය කරන බවට මන්ත්‍රිවරුන්ට හැඟවෙන ආකාරයෙන් හැසිරුණේ මෙසේ බැසිල් සමඟ ඇතිකරගත් එකඟතාවයෙන් පසුව වීම විශේෂ සිදුවීමකි.
එජාපය එක්ක දාගත්ත ඩීල් එක
කෙසේවෙතත් පසුගිය සතියේදී මලිත්ට කතා කළ මහින්ද අමරවීර ජනාධිපතිවරණය පැවැත්වෙන 16 වැනි දිනට ප්‍රථම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් විය හැකිද යන්න මලිත්ගෙන් විමසා සිටීමට කටයුතු කළේය. නමුත් ඊට සිය විරෝධය පළ කළ මලිත් අමරවීරට කියා තිබුණ් 16 වැනි දිනට පෙර මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට නොහැකි බවත්, ජනාධිපතිවරණයෙන් පසුව ඒ පිළිබඳ සලකා බැලිය හැකි බවත්ය. ඒ අනුව දැන් මලිත්ද සූදානම් වන්නේ මෛත්‍රීට කොකා පෙන්වීමටදැයි කීමට තවමත් කල් වැඩිය. කෙසේ වෙතත් මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු ඊට සහභාගි වී සිටි සාමාජිකයන් බොහෝදෙනකු සොයාබැලූ තවත් විශේෂ කාරණාවක්ද විය. ඒ චන්ද්‍රිකා විසින් විශේෂ සමුළුව පැවැත්වීමට ප්‍රථම චන්ද්‍රිකාගේ පතුරු යවමින් සිටි මෛත්‍රිත්, දයාසිරිත් මධ්‍යම කාරක සභාවේදී චන්ද්‍රිකා සම්බන්ධයෙන් ඇල්මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට හේතුවූ කරුණු මොනවාද කියාය. එහිදී ඔවුන්ට දැනගන්නට ලැබුණේ මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ වීමට මිනිත්තු කිහිපයකට කලින් එජාප ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු මෛත්‍රි සමඟ එකඟතාවකට පැමිණ ඇති බවකි. ඒ මධ්‍යම කාරක සභාවේදී චන්ද්‍රිකාට සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් නොගන්නා බවටය. එම එකඟතාවයෙන් පසු දයාසිරිට කතා කර තිබූ මෛත්‍රි මධ්‍යම කාරක සභාවේදී චන්ද්‍රිකා සම්බන්ධ මාතෘකාව කතා නොකරන ලෙස දැනුම්දී තිබීම ඊට හේතුව වී තිබිණ.
රනිල් දෙමළ සන්ධානය සජිත් ළගට ගෙනා හැටි
දකුණේ ඡන්ද සටන මේ වන විට ගෝඨා හා සජිත් අතර කරට කර සටනක් බවට පත්ව ඇති බවක් බොහෝ දෙනාගේ මතය වී තිබේ. මීට සති දෙක තුනකට පමණ ඉහතදී සජිත්ට වඩා ගෝඨා පියවර කිහිපයකින් ඉදිරියෙන් සිටි බවක් පැහැදිලිව පෙනෙන්නට තිබූ පසුබිමෙක පසුගිය සතිය වන විට එය කරට කර සටනක් බවට පත්වූයේ වෙන කිසිවක් නිසා නොව 2015 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීන්දු කළ ප්‍රධාන සාධකය වූ දෙමළ ජාතික සන්ධානයේ සහාය සජිත්ට හිමිවීම හරහාය. පසුගිය සතිය වන තෙක්ම දෙමළ ජාතික සන්ධානය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා සමඟම සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වුවද පසුගිය සතිය වන විට ඔවුන් සිය අවසන් තීන්දුව ගනිමින් සඳහන් කර සිටියේ දෙමළ සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ආර්. සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් යුත් තමිල් අරසු කච්චි පක්ෂය සජිත්ට සහාය දීමට තීන්දු කර ඇති බවකි. ගෝඨාභයට වඩා පියවර කිහිපයක් මැතිවරණ සටනේ පසුපසින් සිටි සජිත් පසුගිය සතිය වන විට ගෝඨා සමඟ කරට කර සිටින තැනට පැමිණියේ දෙමළ සන්ධානය ගත් මෙම තීන්දුවත් සමඟය.
පසුගිය සතියේ මෙම තීරය ඔස්සේ එජාප මැතිවරණ ව්‍යාපාරය තුළ රනිල් හා සජිත් අතර අනවශ්‍ය අගමැති සටනක් නිර්මාණය කොට ගැටුම් ඇතිකිරීමට හර්ෂද සිල්වා ඇතුළු පිරිසක් කටයුතු කළ ආකාරය උදාහරණ සහිතව පෙන්වා දීමට අපි කටයුතු කළෙමු. නමුත් එජාපය ඇතුළේ මතුවීමට ගිය එම අර්බුදය ලත් තැනම ලොප් කරමින් පසුගිය සතිය වන විට රනිල් පක්ෂයට ඔප්පු කර පෙන්වූ කාරණය වූයේ කවුරුන් මොනවා කීවත් තමන් හා සජිත් අතර ඉතා හොඳ දේශපාලන සබඳතාවයක් සහ ගනුදෙනුවක් පවතින බවකි. ඒ බව තහවුරු වූයේ සජිත් ජයග්‍රහණයේ මාවතට ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහාය සජිත්ට ලබාදීමට රනිල් බැහැලාම වැඩ කිරීම නිසාය. මැතිවරණ සටන ආරම්භ වද්දීම රනිල් හා සජිත් අතර රට වටා ඡන්ද සටන දියත් කිරීම සම්බන්ධයෙන් කිසියම් එකඟතාවක් ඇතිව තිබිණ. එහිදී රනිල් උතුරු නැඟෙනහිර ප්‍රදේශත් සජිත් දකුණත් භාරගෙන තිබූ අතර, ඊට හේතුව වූයේ උතුරු නැඟෙනහිර ඡන්ද පදනම රනිල් සන්තකයේ තිබීමය. දකුණේ ගම සජිත් භාරගත්තේ තමන්ට බිම් මට්ටමේ විප්ලවය කළ හැකි බවට සජිත් තුළ තිබූ විශ්වාසය නිසාය. ඒ අනුව එම තීරණාත්මක මෙහෙයුමට අත තැබූ රනිල් පසුගිය සතියේ යාපනය බලා පිටත්ව ගියේ එහි රැස්වීම් මාලාවක් පැවැත්වීම අරමුණු කරගෙනය.
දින 3ක් සාකච්ජා වැලක
දින තුනක් යාපනයේ රැඳී සිටි රනිල් ප්‍රසිද්ධියේ පවත්වනු ලැබූ රැස්වීම්වලට අමතරව ඉතා රහසිගතව දෙමළ ජාතික සන්ධානයේ පාර්ශ්ව සමඟ සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වීමට පියවර ගත්තේය. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන තමිල් අරසු කච්චි පක්ෂයේ ප්‍රබලයන් වන සම්බන්ධන් සහ සුමන්තිරන් සමඟ මෙසේ පැවැති දීර්ඝ සාකච්ඡා වට කිහිපයකින් පසුව කොන්දේසි විරහිතව සජිත්ට සහාය පලකිරීමට සම්බන්ධන් එකඟතාව පළකිරීම විශේෂ සිදුවීමක් විය. මීට සති කිහිපයකට පෙරාතුව උතුරේ දෙමළ පක්ෂ, යාපන සරසවි සිසුන් එක්ව කොන්දේසි 13ක යෝජනාවලියක් සකස් කර තිබුණු අතර ඊට දකුණේ ගෝඨාභයට ලැදි මාධ්‍ය පුළුල් ප්‍රචාරයක් ලබාදීමට පියවර ගෙන තිබුණේ ඒ හරහා දකුණ කුලප්පු කිරීමට සැලැසුම් සකස් කරගෙනය. එහිදී ඔවුන් පෙන්වීමට සූදානම්ව සිටියේ යම් හෙයකින් දෙමළ ජාතික සන්ධානය සජිත්ට සහාය දැක්වුවහොත් සජිත් රට බෙදන කොන්දේසි 13ට එකඟ වූ බවට රටට පෙන්වීමටත්, ඒ හරහා දකුණේ සිංහල ඡන්ද සජිත්ගෙන් කැඩීමටත්ය. නමුත් රනිල් හා දෙමළ ජාතික සන්ධානය අතර පැවැති සාකච්ඡාවේදී ඒ කිසිදු කොන්දේසියකට යටත් නොවී, කොටින්ම කියනවා නම් කොන්දේසි විරහිතව දෙමළ ජාතික සන්ධානයේ සහාය සජිත්ට ලබාගැනීමට රනිල්ට හැකිවී තිබිණ. එපමණක් නොව මෙම සාකච්ඡාවලදී කිසිදු කොන්දේසියකින් තොරව සජිත්ට සහාය දෙන බව දෙමළ ජාතික සන්ධානය ලවාම ප්‍රකාශ කරවා ගැනීමටද රනිල් එහිදී සමත්කම් දක්වා තිබිණ.
දෙමළ සන්ධානය වෙනම සාකච්ජාවක
එහිදී රනිල් ඔවුන්ට පෙන්වා දුන්නේ දකුණේ ජාතිවාදී මාධ්‍ය කණ්ඩායම් සජිත් කොන්දේසිවලට යටත්ව රට පාවාදුන් බව කියමින් විශාල ජාතිවාදී මාධ්‍ය ප්‍රචාරයක් රැගෙන යෑමට සූදානමින් සිටින නිසා හැකි නම් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එසේ නොමැති බවට ප්‍රකාශ කරන ලෙසටය. ඒ අනුව සම්බන්ධනුත්, සුමන්තිරනුත් රනිල්ට කියා තිබුණේ වවුනියාවේදී ඔවුන්ගේ දේශපාලන මණ්ඩලය රැස්වීමට නියමිත බවත්, එහිදී රනිල්ගේ මේ ඉල්ලීම ඊට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්ය. ඒ අනුව මෙම සාකච්ඡා අවසන් වූ වහාම සජිත්ට දුරකතන ඇමැතුමක් ගත් රනිල් ඔහුට දැනුම්දී සිටියේ ටී.එන්.ඒ. සාකච්ඡා ඉතා සාර්ථක බවත්, කොන්දේසි විරහිතව සජිත්ට සහාය දැක්වීමට ඔවුන් මීට සුළු මොහොතකට පෙර එකඟතාවය පළකර බවත්, එදිනම මෙම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට ඔවුන් සූදානමින් සිටින බවත්ය. එහිදී සජිත් මුව නොසෑසෙන සේ රනිල්ට ස්තුති කරනුද දැකගත හැකි විය.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන මණ්ඩලය සජිත්ට සහාය දෙන තීන්දුව ගැනීමට පැය හතක තරම් දීර්ඝ කාලයක් සාකච්ඡා පවත්වන ආකාරයක් දැකගත හැකි විය. අවසානයේදී තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් සම්බන්ධනුත්, සුමන්තිරනුත් පළමු වටයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ඔවුන්ගේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළේය. නමුත් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව ආවරණය කිරීමට පැමිණ සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට දකුණේ ජාතිවාදී මාධ්‍ය ආයතනවලින් නියෝග ලැබී තිබුණේ එම එකඟතාවය ඇතිකර ගැනීමට බලපෑ කොන්දේසි මොනවාද යන්න රටට කියන ලෙසටය. නමුත් ඊට පිළිතුරු දෙමින් සුමන්තිරන් එවැනි කිසිදු කොන්දේසියක් නොමැති බව කීවත්, මාධ්‍යවේදීන් දිගින් දිගටම එම කොන්දේසි පිළිබඳව විමසා සිටීමත් විශේෂ සිදුවීමක් විය. අවසානයේදී සුමන්තිරන් කියා සිටියේ එවැනි කොන්දේසි ආවේ කොහෙන්ද, දුන්නේ කවුද කියා තමන්වත් නොදන්නා බවකි. මේ ආකාරයට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන තමිල් අරසු කච්චි සජිත්ට සහාය දැක්වීමට තීන්දු කළත්, ටෙලෝ හා ප්ලොට් සංවිධාන ඒ සම්බන්ධයෙන් තවදුරටත් රනිල් සමඟ සාකච්ඡා කළ යුතු බවට ප්‍රකාශ කර සිටීම නිසා එම සාකච්ජා පසුගිය සඳුදා කොළඹදී පැවැත්වීමට රනිල් පියවර ගෙන තිබිණ. ඒ අනුව අරලියගහ මන්දිරයේ පැවැති මෙම සාකච්ඡාවලදී ටෙලෝ හා ප්ලොට් සංවිධාන සජිත්ට සහාය දීමට සඳහා එකඟ කරවා ගැනීමට රනිල්ට හැකියාව ලැබිණ. ඒ අනුව පූර්ණ පක්ෂයක් ලෙස දෙමළ ජාතික සන්ධානය සජිත්ට සහාය පලකිරීමට තීන්දු කර ඇති බව එම සන්ධානය නිවේදනය කළේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීය.
උතුරෙන් ආපු රනිල් නැගෙනහිරට
කෙසේ වෙතත් මෙසේ උතුරේ සංචාරය කර දෙමළ ජාතික සන්ධානයේ සහාය සජිත්ට ලබාගැනීමෙන් අනතුරුව කොළඹ පැමිණි රනිල්ට දැනගන්නට ලැබුණේ නැඟෙනහිර පළාතේ ප්‍රශ්න ගණනාවක් මතුව ඇතැයි කියාය. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මඩකළපුවේ දෙමළ කතෝලික ප්‍රජාවත්, මුස්ලිම් ප්‍රජාවත් අතර කිසියම් ගැටලුවක් මතුව ඇති බවක්ද රනිල්ට දැනගන්නට ලැබිණි. මෙය සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයට අහිතකර ලෙස බලපානු ඇති බවට තොරතුරු ලැබී තිබීම නිසා රනිල් වහාම කළේ නැඟෙනහිර බලා පිටත්ව යෑමය. උතුරේ මෙන්ම නැඟෙනහිරද දින තුනක කාලයක් ගත කළ රනිල් එහි සියලුම ප්‍රජාවන් සමඟත්, මුස්ලිම් දේවස්ථාන හා කතෝලික පල්ලිවල ප්‍රධානීන් සමඟත් සාකච්ඡා කොට ඒ සියලු ගැටලු විසඳාලීමට පියවර ගත්තේය. එමෙන්ම නැඟෙනහිර ජන කොටස් අතර මතුව තිබූ ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් විසඳා ඔවුන්ගේ සහාය සජිත්ට ලබාගැනීමට රනිල් එහිදී කටයුතු කළේය. ඒ අනුව සතියක් ඇතුළත රනිල් උතුරු නැඟෙනහිර ප්‍රදේශවල සංචාරය කරමින් ගැසූ දේශපාලන ගේම නිසා මැතිවරණ ඡන්ද සටනේ පියවර කිහිපයක් ඉදිරියෙන් සිටි ගෝඨා හා සමාන මට්ටමට සජිත්ව ගෙන ඒමට රනිල්ට හැකියාව ලැබී තිබිණ.
මාරාන්තික උපවාස යළි එයි
කලක් ලංකාවේ ජනප්‍රියම මාතෘකාවක් බවට පත්ව තිබී යටගොස් තිබුණු ‘මාරාන්තික උපවාස’ කතාව හිටි හැටියේම යළි කරළියට ආවේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමි වූ උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරස්‍රයේ මාරාන්තික උපවාසයත් ආරම්භ කිරීමත් සමඟය. උපවාසය ආරම්භ කරමින් උන්වහන්සේ කියා සිටියේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අවලංගු කරන ලෙසට ලිඛිත පොරොන්දුවක් දෙනතුරු තමන් වහන්සේ උපවාසය නොනවත්වන බවකි. මේ පසුපස කුමන කතන්දරයක් තිබුණද ජනාධිපතිවරණයකට සතියක් තියා මෙසේ ස්වාමීන් වහන්සේ නමක් මාරාන්තික උපවාසයක නිරත වීම ආණ්ඩුව අපහසුතාවකට පත්කිරීමක් නිසා වහාම මෙම ගැටලුව විසඳීමට මැදිහත් වූයේ ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය පාඨලී චම්පික රණවකය. ඒ අනුව උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ලිපියක් අවශ්‍ය බව දැනුම්දීම නිසා චම්පික කළේ මුලින්ම මෛත්‍රිට දුරකතන ඇමැතුමක් ලබාදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය. කෙසේ වෙතත් මෛත්‍රිට අදාළ කාරණය පැහැදිලි කරදී ස්වාමීන් වහන්සේගේ නම සඳහන් කිරීමත් සමඟ මෛත්‍රිට කේන්ති ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ ඊට දින කිහිපයකට ප්‍රථම උන්වහන්සේ මෛත්‍රිව මුණගැසීමට පැමිණ ඉඩමක් සම්බන්ධයෙන් වූ ආරවුලක් නිරාකරණය කර ගැනීමට කටයුතු කර තිබීම නිසාය.
චම්පිකගෙන් මෛත්‍රීට ඇමතුමක්
“අනේ චම්පික ඇමැතිතුමා මට නම් ඕකට මැදිහත් වෙන්න බෑ. මොකද මීට දින කිහිපයකට ඉස්සෙල්ල උන්වහන්සේ ඇවිල්ල මාව හම්බුවෙලා පොල්ගස්ඕවිට පැත්තෙ තිබ්බ ඉඩම් ප්‍රශ්නයක් මට කියල විසඳගත්තා. ඒක නිසා මට ඔය ප්‍රශ්නයට මැදිහත් වෙන්න විදිහක් නැහැ. ඔබතුමා ඕක අගමැතිතුමත් එක්ක කතා කරල මොකක්ද කරන්න පුළුවන් කියල බලන්න” යනුවෙන් මෛත්‍රි කළ ප්‍රකාශයට අනුව චම්පික කළේ ඒ සම්බන්ධයෙන් වහාම අගමැතිවරයා හමුවී සාකච්ඡා කිරීමටය. ඒ අනුව එම සාකච්ඡාවේදී රනිල් කියා සිටියේ එම්.සී.සී. ගිවිසුම හොර රහසේ අස්සන් කිරීමට ආණ්ඩුවේ කිසිදු උත්සාහයක් නොමැති බවත්, ජනාධිපතිවරණයට ප්‍රථම එය අස්සන් කිරීමට කටයුතු නොකරන බවත්, අලුත් ජනාධිපතිවරයා යටතේ එය අස්සන් තැබීමට සැලැසුම් සකස් කර ඇති බවත්ය. අවශ්‍ය නම් එය ලිඛිතව කාශ්‍යප හිමියන් වෙත ලබාදිය හැකි බවද අගමැතිවරයා එහිදී කියා සිටියේය. ඒ අනුව අගමැතිවරයාගෙන් එය ලිඛිතව ගත් චම්පික අදාළ ලිපිය කාශ්‍යප හිමියන්ට භාරදීමට හැකි මාර්ගයක් සොයා බැලුවේය. එහිදී චම්පිකට දැනගන්නට ලැබුණේ උන්වහන්සේ රාමඤ්ඤ නිකාය නියෝජනය කරන බවකි. ඒ අනුව එදිනම රාත්‍රියේ වහාම සිය නියෝජිතයන් දෙදෙනකු නුවරට යවා රාමඤ්ඤ නිකායේ ලේඛකාධිකාරී හිමියන් කොළඹට ගෙන්වා ගැනීමට කටයුතු කළ චම්පික අදාළ ලිපිය උන්වහන්සේ අතට පත්වීමට සැලැස්වීය. එම්.සී.සී. ගිවිසුමට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කළ කාශ්‍යප හිමියන් එම උපවාසය අවසන් කර නැවැත විහාරයට වැඩියේ තිරය පිටුපස චම්පික දියත් කළ මෙම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසටය.
ජවිපෙ දෙවන මනාපය සජිත්ට?
මෙවර ජනාධිපතිවරණයේ කරට කර සටනක් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර පෙනෙන්නට තිබීම හේතුවෙන් බොහෝ දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ඇතැම් විට දෙවැනි මනාපය මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීරණය කරනු ඇතැයි කියාය. දැනටම පොහොට්ටුවත් එජාපයත් දෙවැනි මනාපය සම්බන්ධයෙන් කිසිවක් නොකියා සිටියත් දෙවැනි මනාපය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කරන පාර්ශ්ව කිහිපයක්ම මේ වන විට කළඑළි බැස ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඉන් පළමු කණ්ඩායම වන්නේ ජනතා විමුක්ති පෙරමුණය. ජවිපෙ ප්‍රසිද්ධියේ පක්ෂයක් ලෙස නිල වශයෙන් මේ බවක් නොකීවද මේ වන විට සිය මැතිවරණ වේදිකාවේදී කියමින් යන්නේ තම පක්ෂයට පළමු ඡන්දය දී දෙවැනි මනාපය තමන් කැමැති වෙනත් අපේක්ෂකයකු හට දෙන ලෙසය. මෙය පළමුවරට මැතිවරණ වේදිකාවේදී කියා සිටියේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්තය. ඇඹිලිපිටියේ පැවැති මැතිවරණ හමුවකදී ලාල්කාන්ත ප්‍රසිද්ධියේම කියා සිටියේ අපට පළමු ඡන්දය දී “අරයට අකැමැති නම් දෙවැනි මනාපය අනෙක් කෙනාට දෙන්න” යැයි කියාය. මෙහිදී ලාල් කාන්ත නොකියා කීවේ ගෝඨාට අකැමැති නම් දෙවැනි මනාපය සජිත්ට ලබාදෙන්න යැයි කියාය. මීට අමතරව ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂකයා වූ මහේෂ් සේනානායකත්, ස්වාධීනව තරග වදින හිස්බුල්ලාත් මේ වන විට දෙවැනි මනාපය ලබාදෙන ලෙස කියමින් ප්‍රචාරක ව්‍යාපාරය දියත් කර ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. මෙහිදී හිස්බුල්ලා සිය දෙවැනි මනාපය ගෝඨාභයට ලබාදෙන ලෙස ප්‍රකාශ කරමින් සිටින අතර, මහේෂ් සේනානායකගේ පාර්ශ්වය දෙවැනි මනාපය සජිත්ට ලබාදෙන ලෙසට ප්‍රකාශ කර සිටින බවද දැනගන්නට ඇත.
කපිල පුංචිමාන්නගේ