අලුත් පාර්ලිමේන්තුවේ කතානායක ධුරය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ පසුගිය සතිය වනවිට අර්බූදයක් මතුව තිබිණ. ඉකුත් යහපාලන ආණ්ඩුවේ කතානායක ධුරය දැරූ කරු ජයසූරිය මහතා ඉතා තීරණාත්මක අවස්ථාවලදී හැසිරුණ ආකාරය අනුව කතානායක ධුරය ඉතා ප්‍රබල, බලගතු තනතුරක් වී තිබීම නිසා එම ස්ථානයට ඉතාම විශ්වාසවන්ත පුද්ගලයකු පත් කළ යුතු බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී තිබිණ. ඒ අනුව මුලින්ම කතානායක ධුරයට යෝජනා වූයේ චමල් රාජපක්ෂගේ නමය. චමල් යනු වරක් කතානායක ධුරය දැරීම නිසා අත්දැකීම් සහිත වූවකු වීමද ඊට හේතු වී තිබිණ.
නමුත් එම යෝජනාව පැමිණි වහා චමල් එය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබිණ. පවුලේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් දිගින් දිගටම එම යෝජනාව පැමිණියද චමල් දිගටම කියා සිටියේ තමන්ට නැවැත වතාවක් කතානායක ධුරය දැරිය නොහැකි යැයි කියාය. මහින්ද අගමැති ලෙස දිවුරුම් දීම සඳහා කැලණියේ පැවැති උත්සවයටද චමල් සහභාගි නොවූයේ මේ කතානායක ප්‍රශ්නය නිසා බවටද ඒ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කටකතාවක්ද පැතිර ගොස් තිබිණ. ඒ නිසාම හැමෝම චමල්ට වූයේ කුමක්ද යන්න සොයා බැලීමට උත්සුක වූ ආකාරයක් දැකගත හැකි විය. එවිට සියල්ලන්ටම අනාවරණය වූයේ චමල්ට එම අවස්ථාවට සහභාගි වීමට නොහැකි වී තිබුණේ කකුලේ මතුව තිබූ ආබාධයක් හේතුවෙන් බවය. කෙසේ වෙතත් චමල්ගේ අඩුව ඒ මොහොතේ කැපී පෙනෙන සිදුවීමක් වී තිබිණ.
කෙසේ වෙතත් ඒ වන විටත් කිසිවකුත් නොසිතූ පුද්ගලයකු තමන්ට කතානායක ධුරය ලබාදෙන්නේ නම් එය ඉතා සතුටින් භාරගැනීමට සූදානම් බවට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී තිබිණ. ඒ වෙන කවුරුවත් නොව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. නමුත් ඒ වන විට මහින්දගේ පාර්ශ්වයෙන් ජී.එල්.ගේ නම යෝජනා කර තිබුණේ විදේශ අමාත්‍ය ධුරය සඳහාය. ඊට හේතු වී තිබුණේ පසුගිය කාල සීමාවේදී මහින්ද සිදු කළ සියලුම විදේශ සංචාරයන්හිදී මහින්දගේ විශේෂ නියෝජිතයා ලෙස ජී.එල්. කටයුතු කර තිබීමය. එමෙන්ම ලංකාවේදී මහින්ද විදෙස් නියෝජතයන් හමුවූ සෑම අවස්ථාවකදීම ජී.එල්. එහි ප්‍රධාන චරිතයක් බවටද පත්ව තිබිණ. වරක් විදෙස් අමාත්‍ය ධුරය දරා තිබීම නිසාත්, අත්දැකීම් බහුල වූවකු නිසාත් මහින්ද ජී.එල්.ගේ නම ඊට යෝජනා කර තිබුණද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යෝජනා වී තිබුණේ ජී.එල්.ගෙන් රටට මීට වඩා වැඩි යමක් ගත හැකි යැයි කියාය. ජනාධිපතිවරයා ජී.එල්.ට අධ්‍යාපන අමාත්‍ය ධුරය භාරදීමට තීන්දු කළේ ඒ අනුවය. පාර්ලිමේන්තුවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨයකු වූ මහින්ද යාපා අබේවර්ධනගේ නම කතානායක ධුරයේ නමට යෝජනා වූයේ ඉන් පසුවය. චමල්ට කැබිනට් අමාත්‍ය ධුරයක් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයක්ද ලබාදීමට පසුව ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.
කපිල පුංචිමාන්නගේ