ජාතික ගෙවතු වගා වැඩසටහන යටතේ රටපුරා ගෙවතු විසි හතර ලක්ෂයක් බෝගවගාවන්ට හා සත්ත්ව පාලනයට යොමුකරන බව ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාවය තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
මෙම ගෙවතු වගා වැඩසටහනට සම්බන්ධ වන රජයේ ආයතන නිලධාරීන් සමඟ අද (22) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක් යන සංකල්පය යථාර්ථයක් බවට පත්කිරීමට ආර්ථිකව, සමාජයීයව හා පාරිසරිකව සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම අරමුණු කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.
මහා පරිමාණ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන අතරතුර ගෘහ ආර්ථීකය දියුණූ කිරීමට ප්‍රමුඛතාවය දෙමින් මෙම මහ කන්නයේදී ජාතික වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කර තිබේ.
ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, කෘෂී පර්යේෂණ නිෂෟපාදන සහකාර නිලධාරී, ආර්ථික නිලධාරී සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී යන ග්‍රාමීය නිලධාරීන් හරහා මේ වන විටත් ගෙවතු හඳුනාගැනීම ආරම්භ කර ඇති අතර ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් හා ග්‍රාමීය මට්ටමින් කමිටු පහක් යටතේ මෙම ගෙවතු අධීක්ෂණය සිදුකෙරෙයි.
එළවළු, පලතුරු, පලා සහ කැඳ වර්ග සකසන බෝග, කුළුබඩු සකසන පැළවර්ග, ඔසු පැළ, අපනයන කෘෂි බෝග, දැවමය ශාක ආදී සෑම වර්ගයකම පැළවර්ග මේ යටතේ තෝරා ගත් ගෙවතු සඳහා ලබා දෙන අතර ඒ ඒ ප්‍රදේශවලට උචිත, වැඩි පලදාවක් ලබාගත හැකි ශාකවර්ග වලට ප්‍රමුඛතාවය ලබා දේ.
එමෙන්ම ගෘහස්ත කුකුල් පාලනය, එළුවන් පාලනය, මිරිදිය වැව්, වතු ජලාශ හා ගෙවත්තේ මඩ පොකුණුවල මත්ස්‍යය වගාවට පහසුකම් සැපයීම, ගෘහස්ත කිරි කර්මාන්තය දියුණු කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරෙයි.
මැදපෙරදිග රැකියා සඳහා කාන්තාවන් යොමුවීම වළක්වමින් පවුලේ ආර්ථීකයට කාන්තාවට දායකත්වයක් සැපයිය හැකි ආකාරයේ ආර්ථික තත්ත්වයක් ගොඩ නැංවීම මගින් සාමාජයිය වශයෙන් ඇති වන ප්‍රශ්න සඳහා විසදුම් ලබා ගත හැකි ආකාරයෙන් කාන්තාව සවිමත් කිරීම ද මෙමගින් බලාපොරොත්තු වෙයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.
සෑම අවස්ථාවකදීම පරිසරය රැක ගැනීමට ප්‍රමුඛතාවය දිය යුතුයි. පරිසරය රැක ගැනීම ගෙවත්තෙන් අරඹමු. ඒ සඳහා ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අපි සියලු දෙනාගේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. පරිසරයට හිතකර, පස සංරක්ෂණය කරන ශාක වර්ගවලට ප්‍රමුඛතාවය දෙන අතරේ ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගන්නත් අවශ්‍යයි. ප්ලාස්ටික් භාවිතයෙන් බැහැර වෙමින් ඩෙංගු වැනි රෝගවලින් ආරක්ෂා වීමට පරිසරයේ පිරිසිදුකම ගැනත් අවධානය යොමු කිරීම වැදගත්. මේ සියලුම දේවල් අපි අපේ ගෙවත්තෙන්ම අරඹමු. ඒ සඳහා පරිසරය පිළිබඳ කටයුතු කරන ආයතන හා සංවිධානවල සහාය අවශ්‍යයි.
මේ වැඩපිළිවෙළ ඉදිරියට යාමේදි ගෘහ පරිභෝජනයෙන් පසුව අතිරික්තය ග්‍රාමීය වෙළෙඳපොළ තුළට යොමු කිරීම හරහා නිවසේ ආර්ථිකයට දායකත්වයක් දැක්වීමේ හැකියාව ලැබෙනවා. ගෘහස්ථ නිෂ්පාදන වෙළෙද පොළට නිකුත්වන විට වෙළෙඳපොළේ ආහාර ද්‍රව්‍ය මිල පාලනයක් සිදුවෙනවා. අතරමැදියෝ නැතිව ගමේ නිෂ්පාදන ගමේ තුළම විකිණීම මගින් ආදායම් ඉපයිමක් සිදුවෙනවා. වස විසෙන් තොර ගමේ නිෂ්පාදනවලට හොද ඉල්ලුමක් තියෙනවා. මේ හරහා විශාල වශයෙන් ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කළ හැකි නිෂ්පාදකයින්ට අපනයනය සඳහා අවස්ථාව හිමිවෙනවා.
මෙම අවස්ථාවට අදාල අමාත්‍යංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.












