• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු බෝම්බ පත්තු කරන්න සහරාන් මෙහෙයවූ කව්ද මේ ‘අබූ හීන්’ EXCLUSIVE

February 21, 2021
in Exclusive, Uncategorized
Reading Time: 10 mins read
A A
පාස්කු බෝම්බ පත්තු කරන්න සහරාන් මෙහෙයවූ කව්ද මේ ‘අබූ හීන්’ EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

අපේ රටේ දේශපාලන ගමන් මග පවා වෙනතකට හැරවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් ඇත්තේ අබිරහස් ගොන්නකි. මෙම ප්‍රහාරය පිටුපස වෙනත් රටක් සිටින බවට වූ මතයක්ද මේ වන විට සමාජය තුළ ගොඩනැගෙමින් ඇත්තේ විමර්ශනවලින් හෙළිවෙමින් ඇති ඇතැම් සැකයන් ඔස්සේය. අපේ රටේ ජනජීවිතය මෙන්ම දේශපාලන ලෝකය උඩුයටිකුරු කරන ලද පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර ඒ ගැන බුද්ධි තොරතුරක් පවා කල් තියා අපේ රටට ලබාදෙන්නේ ඉන්දියාව විසිනි. ඒ ප්‍රහාරයට සති දෙක තුනකට පෙරය. ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය පවා එම ප්‍රහාරයේ ඉලක්කයක් බව ඉන්දියාවෙන් ලද තොරතුරෙහි සඳහන් විය.

මාහින්කන්ද පරීක්ෂණ බාර ගනී

පොලීසියේ තෝරාගත් දක්ෂ නිලධාරීන් පිරිසකගෙන් සමන්විත විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලැබුවේ පොලීසිය තුළ කීර්තියක් අත්කරගෙන සිටින නිලධාරියෙක් වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ලියනගේය. නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවය කරන්නේ පී.කේ. සේරසිංහය. ශ්‍රී ලංකා පොලීසියේ නමක් දිනා සිටින නිලධාරියෙක් වන ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්දත් සිටියේ මෙම කණ්ඩායමේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විමර්ශන අලුත් මාවතකට රැගෙන යන්නට තුඩුදුන් විමර්ශන කටයුත්තක් සිදුකරන්නේ ඔහුය.

සාරා ජීවතුන් අතර: ඔත්තුව මාහින්කන්දට එයි

ඒ පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවැනි ප්‍රහාරයකට සූදානමින් සිටියදී අප්‍රේල් 26 වෙනිදා සයින්දුමරුදු බොලිවේරියන් ගම්මානයේ නිවසක් තුළදී මරාගෙන මැරුණු කණ්ඩායම අතර සිටියේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට පවා කරුණු වාර්තාකර තිබුණු පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නැමැති බෝම්බකාරිය ජීවතුන් අතර සිටින බව හෙළිකර ගැනීමය. බෝම්බ පිපුරුම වූ බොලිවේරියානු ගම්මානයේ පිහිටි නිවසේ අන්තිම මොහොත දක්වාම ඇය රැඳී සිට ජීවිතය ගලවාගෙන පළාගියේ යැයි හෙළිවන්නේ ඇය උපන් ගම්පියස වන මඩකලපුවේ කලවංචිකුඩි වෙතය. ඇය මාස තුන හතරක්ම රැඳී සිටින්නේ එහිය.

සාරා යළි ලංකාවට ඇවිත්ද?

අන්තිමේදී ඇය ඉන්දියාවට පනින්නේ යැයි සඳහන් වන්නේ ඉන්දියාවටය. පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නැවතත් හොර රහසේ බෝට්ටුවකින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ගොස් ඇති බවට බුද්ධි අංශ මූලාශ්‍ර කර ගනිමින් මාධ්‍ය වාර්තා ඉකුත් සතිය පුරා පළවන්නේද ඒත් එක්කමය. ඇය කල්පිටිය මඩකලපුව සහ මන්නාරම පැත්තේ සැරිසරා ඇති බවත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටින සැකකරුවන් හමුවී කථාබහ කර ඇති බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූයේ බුද්ධි අංශ මූලාශ්‍ර කර ගනිමිනි. එසේම ඇගේ ඒ පැමිණීම ගැන පාස්කු කොමිසමේ විමර්ශන අංශය පවා දැනුවත් කර ඇති බව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව විමර්ශනයක් පවා පවත්වන බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

කතාව ඇත්තක්ද?

එකී මාධ්‍ය වාර්තාවට පදනම් වූ බුද්ධි තොරතුරේ ඇත්ත නැත්ත පිළිබදව මේ වන විට ඇත්තේ ප්‍රශ්නාර්ථයක්ය. ඒ එවන් බුද්ධි තොරතුරක් මෙතෙක් ජාතික බුද්ධි ප්‍රධානියාටවත් වාර්තාවී නොමැති බැවිනි. අපේ රටේ ප්‍රධානතම බුද්ධි අංශය වන්නේ රාජ්‍ය බුද්ධි සේවයයි. ඊට පසු ප්‍රමුඛතම බුද්ධි අංශය වන්නේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලයයි. නාවික, ගුවන් සහ පොලිස් බුද්ධි අංශ ඇත්තේ ඊට පහළින්ය. මේ සියලු බුද්ධි අංශ රැස්කරගන්නා තොරතුරු අනිවාර්යයෙන්ම ජාතික බුද්ධි ප්‍රධානියා අතට පත්වනු ඇත. ආරක්ෂක මණ්ඩලයේදී එම බුද්ධි තොරතුරු සමාලෝචනයට ලක්කෙරෙන්නේ අනතුරුවය. එහෙත් මෙතෙක් සාරාගේ නැවත පැමිණිම සහ නැවත පිටවීම ගැන කිසිදු බුද්ධී තොරතුරක් ජාතික ආරක්ෂක කවුන්සලයේදී කථාබහ කිරීමට නම් ජාතික බුද්ධි ප්‍රධානියා අතට පත්ව නැත. ආරක්ෂක ලේකම් සහ ජනාධිපති අතට බුද්ධි තොරතුරු ගලා යන්නේද ජාතික බුද්ධි ප්‍රධානියා හරහා බව අමතක නොකළ යුතුය.
මාධ්‍ය වාර්තාවලට අනුව එම බුද්ධි තොරතුර ගැන පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන අංශයද දැනුවත්ය. පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය පාස්කු කොමිසමේ අවසන් වාර්තාව භාරදීමත් සමග අහෝසිය. එහි සේවය කළ නිලධාරීන් දැන් සේවයේ නිරතවන්නේ වෙනත් අංශවලය. කොමිසමේ කාලය අවසන් වීමට පෙර එම තොරතුර ලැබුණේ නම් අනිවාර්යයෙන්ම ඒ ගැන විමර්ශන අංශය විසින් යම් විමර්ශනයක් කර කොමිසමට වාර්තා කරනු ඇත. ඒ බව කොමිසන් සභා වාර්තාවටද ඇතුළත් වනු ඇත.

සාරා ගැන කිසිම තොරතුරක් නෑ!!!

එහෙත් කොමිසන් සභා වාර්තාවේ ඇතුළත් වන්නේ පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් ජීවතුන් අතර සිටින බවත්, ඇය අවසාන මොහොතේ දිවි ගලවාගෙන මඩකලපුවේ වාසය කර පසුව පළාගොස් ඇති බවක් පමණි. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවා ඇය මෙරටට පැමිණ ගිය බවක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන්නේ නැත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව මුදා හරින ලද හෝ අධිකරණයෙන් ඇප ලබා නිදහස් වූ’සැකකරුවන් සම්බන්ධයෙන් වූ’වාර්තා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේය. පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් කොහේ හෝ සිට ඒ කිසිවෙකු හා සම්බන්ධ වූයේ නම් පහසුවෙන් එම තොරතුරු දැන ගැනීමට හැකියාව ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. එහෙත් එවැනි තොරතුරක් කිසිදු බුද්ධි අංශයකින් හෝ බලධාරියෙක් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් ලබාදී නැත. ඒ අනුව පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් මෙරටට පැමිණ නැවත ඉන්දියාවට ගියේ යැයි කියන කාරණාව සම්බන්ධයෙන් තවමත් ඇත්තේ නොගැලපීම්ය.

රහස් පොලිසිය සාරා හැංගුවේ ඇයි

එය එසේ වූවත් පුලස්තිනී රාජෙන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් ජීවතුන් අතර සිටින බව පාස්කු කොමිසමේ විමර්ශන අංශය විසින් සොයා ගන්නා තුරුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිටියේ සඟවාගෙනය. ඒ ඇය බොලිවේරියානු ගම්මානයේ සිදුවූ පිපුරුමෙන් මියගොස් නැතැයි පැහැදිලිවම විද්‍යාත්මක සාක්ෂි පවා තිබියදීය. කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකළ අච්චි මොහොම්මදු හස්තුගේ බිරිඳ වන ඇය උපතින් හින්දු භක්තික තැනැත්තියකි.

සාරාගේ පැටිකිරිය මෙන්න

ඇගේ මව වන රාජරත්නම් කවීතා කොමිසම හමුවේ සදහන් කරනු ලැබුවේ සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් විසින් තම දියණියව බලහත්කරයෙන් ඉස්ලාම් ආගමට හරවා ඇයව හස්තුට විවාහ කරදී ඇති බවය. පාස්කු ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස සඳහන් වූ සහරාන් පවා මුලින්ම නියෝජනය කරනු ලැබුවේ සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයයි. සහරාන් අන්තවාදයට අඩිතාලම දමන්නේදී සිලෝන් තවුහිත් ජමාත් හරාහාය. බුද්ධි අංශ ප්‍රධානීන් විටෙන් විට කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂිවලට අනුව සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය ඉන්දියාවේ ක්‍රියාත්මක තවුහිත් ජමාත් සංවිධානයක් හා සම්බන්ධය. අබ්දුල් රාසික් විටෙන් විට ඉන්දියාවට ගොස් එම සංවිධානය සමග සම්බන්ධකම් පවත්වන බව මෙන්ම ඔහු අන්තවාදී දේශන පවා පවත්වන්නෙක් බව කොමිසම හමුවේ හෙළිවිය.

දොලවත්තගේ පැමිණිල්ලට මොකද වුණේ…

පාස්කු විමර්ශනය ඔස්සේ සහරාන්ට ගෑවුණු බොහෝ පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේත් කොළඹ අපරාධ කොට්ඨාසයේත් අත්අඩංගුවට පත්වූවත් අබ්දුල් රාසික්ගේ මයිලකට අත තබන්නට ඒ කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැත. කොවිඩ් 19 වසන්ගත තත්වය හමුවේ මළ සිරුරු ආදාහනය කිරීම් සහ භූමදානය සම්බන්ධයෙන් යම් ආන්දෝලනයක් ඇතිවන්නේ ද සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයේ ලිපි ශීර්ෂයකින් අබ්දුල් රාසික් විසින් නිකුත් කළ නිවේදනයක් මගිනි. ආදාහනය සහ භූමදානය සම්බන්ධයෙන් සමාජය තුළ කථාබහක් නොමැතිව පැවැති අවස්ථාවක ඔහු විසින් නිකුත් කළ එම නිවේදනය මුස්ලිම් ජනතාව ආදාහනයට එරෙහිව ඇවිස්සීමක් විය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දොලවත්ත විසින් පොලීසියට පැමිණීල්ලක් පවා කළත් ඒ පැමිණිල්ලට වූ දෙයක් අදටත් දැන ගන්නට නැත. පසුගිය කාලයේ නිතරම පොලිස් මූලස්ථානයට යමින් තමන් කළ පැමිණිලිවලට වූයේ කුමක්දැයි සොයා බලන දොලවත්ත මෙම පැමිණිල්ල ගැන පසුවිපරමක් කරන බවක්වත් දැනගන්නට නොවීය. ඒ දොලවත්තට වඩා අබ්දුල් රාසික් හෝ එම ආන්දෝලනාත්මක නිවේදනය නිකුත් කිරීමට පාදක වූ මූලාශ්‍රයේ බලවත්කම නිසා වන්නට පුළුවනි.

ඉස්ලාම් ආගමට බැදෙයි

රාජරත්නම් කවීතා කොමිසමට ලබාදුන් සාක්ෂියට අනුව සිය දියණිය වන පුලස්තිනී උපත ලබා ඇත්තේ 1996 වසරේ දීය. ඒ මඩකලපුවේදීය. පවුලේ වැඩිමලා වන්නේ ඇයයි. අපොස සාමාන්‍ය පෙළ විභාගය ඇය සමත්වන්නේ ඒ සාමර්ථ 08 ක් සහ බී සාමාර්ථ 01 ක් සහිතවය. උසස් පෙළට ඇය තෝරා ගන්නේ ජීව විද්‍යාවයි. ඒ වන විට කවීතා සිටින්නේ අබුඩාබියේ ගෘහසේවයට ගොසිනි. ඒ ඇගේත් පවුලේත් වියහියදම් වෙනුවෙනි. කටුවපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ලකළ හස්තුව ඇය දැන හදුනාගෙන ඇතැයි සඳහන් වන්නේ කල්මුණේ පැත්තේ උපකාරක පන්තියකට යන එන අතරතුරදීය. 2015 වසරේ ජුලි 29 වෙනිදා ඇය උපකාරක පන්තියට සහභාගිවීමට කලවංචිකුඩි නිවසින් පිටව ගිය පසු නැවත නිවසට නොපැමිණියාය. ඒ ගැන එදා කලවංචිකුඩි පොලීසියට පැමිණිලි කරන්නේ පුලස්තිනීගේ මිත්තනියයි. එම පැමිණිල්ල කර පැය කිහිපයක් යන්නට මත්තෙන් කවීතාගේ සහෝදරයාට දුරකතන ඇමතුමක් ලැබෙන්නේ අබ්දුල් රාසික්ගෙනි. අබ්දුල් රාසික් එහිදී දැනුම් දෙන්නේ පුලස්තිනී ඉස්ලාම් ආගමට පරිවර්ථනය කර ඇති බවය. ඒ බව කවිතාට සහෝදරයා විසින් දැනුම්දුන් වහාම ඇය ලංකාවට එන්නේ ඒ ගැන කලබලයට පත්වය. ඇය කෙළින්ම යන්නේ මාළිගාවත්තේ පිහිටි සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයේ කාර්යාලය වෙතය. ඒ වන විටත් පුලස්තිනී අබායකින් සැරසී එහි සිටියාය. ඇය සමග මවට කථාකරන්නට අබ්දුල් රාසික්ගෙන් ලැබෙන්නේ පැය 04 ක කාලයක් පමණි.

මාළිගාවත්ත පොලීසියට පැමිණිල්ලක්

අනතුරුව ඇය මාළිගාවත්ත පොලීසියට ගොස් පැමිණිල්ලක්ද කළාය. පුලස්තිනී අබාය ගලවා නැවතත් සිය මව සමග කලවංචිකුඩි නිවස බලා ගමන් කරන්නේ ඒ අනුවය. එහිදී අබ්දුල් රාසික් කවිතාට දැනුම් දෙන්නේ දියණිය ලබාදෙන්නේ දින 15කට පමණක් බවය. හරියටම ඒ දවස නිමාවන වූ 2015 සැත්තැම්බර් 24 වෙනිදා පුලස්තිනී අතුරුදන් වන්නේ අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීමට මඩකලපුව රෝහලට ගොස් සිටියදීය. ඒ ගැන කවිතා මඩකලපුව පොලීසියටද පැමිණිල්ලක් කර තිබුණාය. එම පැමිණිල්ලෙන් පසු අබ්දුල් රාසික්ගෙන් ඇයට ඇමතුමක් ලැබෙන්නේ දියණියට විවාහයක් කර දුන් බවටය. පුලස්තිනී රාජේන්ද්‍රන්, සාරා ජෙස්මින් බවට පත්වන්නේ එතැන් සිටය. ඇය මේ ගැන නැවතත් මාළිගාවත්ත පොලීසියට පැමිණිලි කළත් ඒ වන විට මාළිගාවත්ත පොලීසියේ බොහෝ නිලධාරීන් සිටියේ අබ්දුල් රාසික්ගේ අතේය. ඒ නිසාම ඇයට සාධාරණයක් ඉටුවූයේ නැත. එබැවින් ඇය සිය දියණිය අමතක කර නැවතත් අබුඩාබි බලා ගියේ සෙසු දරුවන්ගේ අනාගතය වෙනුවෙනි.

සිරුරු කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂාවකට

එහිදී වරක් පුලස්තිනීගෙන් ඇයට ඇමතුමක් ලැබී ඇත්තේ සිය සැමියා වූ හස්තු සමග ජීවත්වන්නට බැරි යැයි කියාය. ඒ අනුව පුලස්තිනීව 2016 වසරේ ජනවාරි 06 වෙනිදා අබුඩාබි ගෙන්වා ගැනීමට ඇය වගබලා ගත්තාය. එහෙත් පුලස්තිනී වැඩි කාලයක් එහි ගතකළේ නැත. මාස හතරකින් නැවතත් ලංකාවට ආවාය. දෙදෙනා කාතන්කුඩිය පැත්තේ ජීවත්වන බව පමණක් ඇය දැන සිටියාය. කවිතා සදහන් කරන්නේ සිය දියණිය තමාට අවසන් දුරකතන ඇමතුම ලබාගත්තේ 2019 වසරේ පෙබරවාරි 19 වෙනිදා බවය. සිය මවට එහිදී ඇය පවසා ඇත්තේ දින කිහිපයක් යන තුරු තමාට දුරකතන ඇමතුම් නොගන්නා ලෙසටය. ඇය පවසන්නේ අප්‍රේල් 07 වෙනිදා තමන් නැවතත් මෙරටට පැමිණියත් දියණිය මුණ නොගැසුණු බවය. බොලිවේරියානු ප්‍රහාරයෙන් මියගිය අයගේ නම් පොලීසිය නිකුත් කිරීමෙන් අනතුරුව ඒ ගැන මාධ්‍යවල පළවන විට කවීතා කීවේ සිය දියණිය මියගොස් නැති බවය. එහෙත් ඒ ගැන සොයා බැලීමට තරම් උනන්දුවක් පාස්කු ප්‍රහාරයේ විමර්ශකයන්ට තිබුණේදැයි ඇත්තේ ගැටලුවකි. ඒ බොලිවේරියානු ගම්මානයේ නිවසක් තුළ පිපුරුම සිදුවූ නිවසින් සොයාගත් මළ සිරුරු හා මළ සිරුරු කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂාවකට පවා යොමුකර ඒ අතර පුලස්තිනී නොමැති බව පවා තහවුරුවී තිබියදීය.

එකම සාක්ෂිකරු සහරාන්ගේ බිරිය

එදා පොලීසියේ නිල ප්‍රකාශයන්ට අනුව කියැවුනේ පිපුරුමට පෙර බොලිවේරියානු ගම්මානයේ පිහිටි නිවසේ පිපුරුමට පෙර 19 දෙනෙක් සිටි බවය. ඒ අය අතර සහරාන්ගේ සහෝදරයින් මෙන්ම දෙමාපියන්ද සිටියේය. පිපුරුමට පසුදින කළ හමුදා සෝදිසියේදී නිවසින් සොයා ගන්නේ ජීවතුන් අතර සිටි දෙදෙනෙක් පමණි. ඒ සහරාන්ගේ බිරිද සහ දියණිය පමණි. ඒ අනුව පොලීසිය ඔවුන්ගේ විමර්ශනවලින් සහ සාක්ෂිවලින් හෙළිවූ තොරතුරුවලට අනුව 17 දෙනෙක් මියගොස් ඇතැයි තහවුරු කර ගත්තේය. මළ සිරුරු මෙන්ම මළ සිරුරු කොටස්ද රාශියක් නිවසේ තැන තැන විසිරී තිබී සොයා ගත්තේය. අනතුරුව මරුමුවටපත්ව සිටින අයගේ යැයි කියා නම් ලැයිස්තුවක්ද ප්‍රසිද්ධ කළේය. පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ගේ නමද ඒ අතර විය. එසේ මිය ගියේ යැයි සදහන් පුද්ගලයින්ගේ ඩී.එන්ඒ. පරීක්ෂාවන් සිදුකර අවසානයේදී මියගොස් සිටින පුද්ගලයින්ගේ අනන්‍යතාව තවදුරටත් තහවුරු කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. ඒ සතියක් දෙකක් යන්නට මත්තෙනි. එහිදී සාරාගේ අනන්‍යතාව පරීක්ෂා කිරීම සදහා යොදා ගන්නේ ඇගේ මවගේ ඩී.එන්ඒ. පරීක්ෂාවකි. එහිදී පැහැදිලිවම අනාවරණය වන්නේ එම මළ සිරුරු අතර සහරාන්ගේ මවගේ ඩී.එන්.ඒ. රටාව හා සැසදෙන කිසිවෙකුත් නොමැති බවය. ඒ අනුව සාරා සම්බන්ධයෙන් ඇතිවන්නේ ප්‍රශ්නගත තත්වයකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එය පිටස්තර ලෝකයට වසන් කළේය. වසරකට වැඩි කාලයක් සරාගේ රහස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැක්කත් පාස්කු කොමිසමේ ක්‍රියාකාරිත්වය හමුවේ එය තවදුරටත් රහසක් නොවීය. ඒ සාරා ජෙස්මින් ඒ වන විටත් ඉන්දියාවට පළාගොස් ඇති බවට විවිධ බුද්ධි අංශවෙත තහවුරු නොවූ තොරතුරු ලැබී තිබුණු බැවිණි.

සාරා මඩකලපුවෙන් මතුවෙයි

ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගත් කොමිසම ඒ ගැන සොයන්නට ගන්නේ සාරා ජෙස්මින් ඉතා වැදගත් සාක්ෂියක් වන බව වටහාගෙනය. ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන් මාහින්කන්දට සාරා ජෙස්මින් සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් ලැබෙන්නේ ඒ අනුවය. ඒ ප්‍රහාරයෙන් පසු ඇයව ඇසින් දුටු සාක්ෂිකරුවෙකි. එම සාක්ෂිකරු මඩකලපුවේම වැසියෙකි. කුඩා කල සිට පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරාව දැන හදුනන අයෙකි. අර්ජුන් මාහින්කන්දට එම තොරතුර ලැබෙන්නේ 2020 ජූලි 06 වෙනිදාය. ඒ සැනින් කොමිසමේ අවසරය ඇතිව ඔහු මඩකලපුවට ගොස් විමර්ශනයක් ආරම්භ කළේය. ඇයව ඇසින් දුටු සාක්ෂිකරුවද සොයා ගත්තේය. එම සාක්ෂිකරු ඇයව දැක ඇත්තේ 2019 වසරේ සැත්තැම්බර් මාසයේ දවසකය. ඒ වන විට පාස්කු ප්‍රහාරය එල්ලවී මාස 05 ක පමණ කාලයක් ගතවී හමාරය. පුලස්තිනීගේ මව සිය දියණිය මියගොස් නැතැයි කියන්නට ඇත්තේද ඒ නිසා විය හැකිය. පුලස්තිනීව ඇසින් දුටු සාක්ෂිකරු ඇයව දකින්නේ කැබ් රථය නැගී ඇය කල්මුණ් මඩකලපුව මාර්ගයේ මඩකලපුව දෙසට ගමන් කිරීමකදීය. ඇය එම කැබ් රථයට ගොඩවන්නේ කලවංචිකුඩි ප්‍රෙද්ශයෙනි. එම කැබ් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක්ව සාක්ෂිකරු පැහැදිලිවම හදුනාගෙන තිබුණේය. ඒ එක් අයෙක් වන්නේ එවකට කලවංචිකුඩ් පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක අබු බකර්ය. අනෙත් තැනැත්තා ඇගේ බාප්පා වන සෙල්ව කුමාර දේවකුමාරය. මෙම තොරතුරු හෙළිවන විට අබු බකර් සේවයේ නිරතව සිටියේ අම්පාර පොලිස් ගරාජයේය. මේ දෙදෙනාවම 2020 ජුලි 13 වෙනිදා අත්අඩංගුවට ගැනීමට පාස්කු කොමිසමේ විමර්ශන අංශය පියවර ගන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ මැදිහත්වීමෙනි. ඒ කොමිසමට අත්අඩංගුවට ගැනීමේ බලයක් නොවු බැවිණි.

ලක්ෂ ගණන් ආවේ කොහෙන්ද

එම අත්අඩංගුවට ගැනීමෙන් පසු කොමිසම පවා විශ්වාස කරනු ලැබුවේ පොලිස් විමර්ශන ඔස්සේ සාරා ගැන වැදගත් තොරතුරු රැසක් සැකකරුවන්ගෙන් ප්‍රශ්නකර හෙළිකර ගැනීවියැයි කියාය. එහෙත් එය ඒ ආකාරයට සිදුවූයේ නැත. රදවා ගැනීමේ නියෝගමත යම් සැලකිය යුතු කාලයක් කොළඹ අපරාධ කොට්ඨාස භාරයේ රදවා සිටි ඔවුන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්කරනු ලැබීය. මේ වන තුරුත් ඒ අය සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. එහෙත් සාරා සම්බන්ධයෙන් එක වචනයක් ඔවුන්ගේ මුවින් පිටව නැත. ඒ දෙදෙනාම දිගින් දිගටම පවසන්නේ යැයි කියන්නේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවකි. එය එසේ වූවත් පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු සාරාගේ මවගේ නිවසත් තවත් ඥාති නිවාස කිහිපයකුත් අලුත්වැඩියා වී ඇත්තේ ලක්ෂ ගණනක් වැය කරමිනි. ඒ ගැන අදටත් ඇත්තේ සැකයකි.

පිපිරුම වෙද්දිත් ඇතුළේ ඉදලා

සාරා ජීවතුන් අතර යැයි කියන්නට තවත් ප්‍රබල සාක්ෂියක් ලැබෙන්නේ සහරාන්ගේ බිරිදගෙනි. ගිරිඋල්ලේ රෙදිපිළි අලෙවි ස්ථානයකට ගොස් සුදු රෙදි මිලදී ගැනීමට අසුවී ඇත්තේ යැයි කියන්නේද සාරාය. ඒ බව සහරාන්ගේ බිරිද ජීවතුන් අතර සිටින එකම සාක්ෂිකාරියයි. ඇය කියන්නේ එදා බොලිවේරියානු ගම්මානයේ නිවසේ සාරාද රැදී සිටි බවය. ඇයද සිටියේ බෝම්බයක් පුපුරවාගැනීමේ සූදානමකින් බවද ඇය කියා කියා ඇත්තේය. එම පිපුරුමත් සමග සිහිසුන්වන තමාට සිහිය එළඹෙන විට සාරා සුළු තුවාල සහිතව නිරුපද්‍රිතව එහි සිටි බවද ඇය කොමිසමේ විමර්ශන අංශය වෙත කියා ඇත්තේය. ඒ කථාව ඇය කියා ඇත්තේ ඒ සාරා යැයි නමින් කියා නොව, සාරාගේ හැඩරුව කියමිනි. සහරාන්ගේ බිරිදගේ ප්‍රකාශයන්වලට අනුව බෝම්බ පිපුරුමත් සමග සිහිසුන්වන ඇයට නැවත සිහිය ලැබී ඇත්තේ පැයක් හමාරකට පසුවය. ඒ අනුව පෙනී යන්නේ බෝම්බ පිපුරුම සිදුවන විට සාරා නිවසේ රැදී සිට ඇති බවකි. නිවස අවට දැවැන්ත ආරක්ෂක වළල්ලක් ඒ වන විට ක්‍රියාත්මකව තිබියදී ඇය එම ස්ථානයෙන් පළාගියේ කෙසේදැයි ඇත්තේ අදටත් අභිරහසකි.

අවසාන මොහොතේ සිය ජීවිතය බේරා ගනිමින් පළාගිය සාරා මාස පහක් පුරාවටම රැදී සිට ඇතැයි විශ්වාස කරන්නේ මඩකලපුව පැත්තේය. ඇය ඉන්දියාවට පළාගියේ යැයි කියන්නේද මඩකලපුවේ සිටය. ඇය ඉන්දියාවට ගියේ යැයි කියන්නේද මන්නාරමෙන් බෝට්ටුවක නැගීය. එසේ ඇයට ඉන්දියාවට බෝට්ටුවකින් පැන යාමට තරම් හයියක් ලැබුණේ කාගෙන්දැයි ඇත්තේ බලවත් සැකයකි.

ෆොටෝ එකක්වත් දීලා නෑ

ඇය සැබෑ ලෙසම මේ වන විට ඉන්දියාවේ රැදී සිටීනම් ඇයව මෙරටට භාර දෙන ලෙස හෝ ඉල්ලීමක් අපේ රටෙන් සිදුව නැත. අඩුම තරමින් ඇගේ ජායාරූපයක්වත් ජාත්‍යන්තර පොලීසිය මගින් ප්‍රසිද්ධ කිරීමට හෝ රතු නිවේදනයක් නිකුත් කරන්නටවත් මෙතෙක් පියවරක් ගෙන ඇතැයි දැනගන්නටද නැත. කෙසේ වෙතත් පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් පාස්කු ප්‍රහාරයේ සැගවුණු රහස් දන්නා අයෙක් බව නම් පැහැදිලිය. එසේම පාස්කු ප්‍රහාරය එල්ල කළ සියළුම මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බිරින්දෑවරුන්ට අඩුම තරමින් දරුවෙක් හෝ කිපදෙනෙක් සිටියත් විවාහ වී ඒ වන විටත් වසර තුනකට වැඩි කාලයක් ගතවී ඇති පුලස්තිනී රාජේන්ද්‍ර නොහොත් සාරා ජෙස්මින් දරුවන් නොසිටීමද ගැටළු සහගතය. ඒ ඇය සියල්ල දැනගෙන සිටි බැවින් දරුවන් බිහි නොකර සිටීම නිසා විය හැකිය.

සහරාන්ව මෙහෙයවා ඇත්තේ ‘අබූ හීන්’

පුලස්තිනී මෙන්ම පාස්කු කොමිසමේ විමර්ශන අංශය තවත් සුවිශේෂී පුද්ගලයෙක්ව සිය විමර්ශන ඔස්සේ හදුනාගත්තේය. ඒ පුද්ගලයා ඉන්දියාවේ සිටින ‘අබු හීන්’ නැමැත්තෙකි. සහරාන් නිරන්තරයෙන් සම්බන්ධකම් පවත්වා ඇතැයි සැකකරන්නේ ඔහු සමගිනි. සහරාන්ට ඉහළින් සිටි සහරාන්ව මෙහෙයවූ පුද්ගලයා විය හැක්කේ ඔහු බවට බලවත් සැකයක්ද පවතී. මේ පුද්ගලයා සහරාන් සමග සම්බන්ධකම් පවත්වා ඇත්තේ දුරකතන ඇප් එකක් හරහාය. සහරාන්ගේ කල්ලියේ න්‍යායාචාර්ය ලෙස හදුනාගත් නෞෆර් මව්ලවි, සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් ඇතුළු කිහිප දෙනෙක්ද එම පුද්ගලයා සමග සම්බන්ධකම් පවත්වා ඇති බවත් කථාබහ කර ඇති බවත් කොමිසමේ විමර්ශන අංශය හෙළිකරගත්තේය. පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් ඇතුළු බෝම්බකරුවන් ගල්කිස්සේ තට්ටු නිවාස සංකීර්ණයේ නිවස තුළ අයි.එස්. ප්‍රතිඥාව ලබාදුන් වීඩියෝව පවා ලබාදී ඇත්තේ ඔහුටය. ඒ බොලිවේරියානු නිවාස සංකීර්ණයේ පිපුරුම සිදුවීමට මොහොතකට පෙරය. එම වීඩියෝව ඉන්දියාවේ පුද්ගලයාට තාක්ෂණික මෙවලම් භාවිතයෙන් යොමුකර ඇත්තේ රිල්වාන්ය.

මේ සියළු තොරතුරු හෙළිවන්නේ පාස්කු කොමිසමේ විමර්ශන අංශයේ නිලධාරීන්ගේ විමර්ශන ශක්තිය හා දැඩි කැපවීම නිසාය. එසේ නොවන්නට පාස්කු ප්‍රහාරයේ ඇතැම් කරුණු අදටත් පවතින්නේ නොවිසදුණු ගැටලු ගොන්නක් බවට පත්වය. පාස්කු කොමිසමේ වාර්තාව දැන් ඇත්තේ ජනාධිපති අතේය. කොමිසම විසින් හෙළිකරගෙන ඇති මේ තොරතුරු ඔස්සේ පාස්කු ප්‍රහාරය පිටුපස සහරාන්ට ඉහළින් සිටි පුද්ගලයින්ව හදුනා ගැනීමට දැන් ජනධිපතිවරයාට ඉන්දියාවෙන් යම් සහයක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉල්ලා සිටිය හැකිය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

දෝනිගේ චිත්‍රපටයේ රඟපාපු නළුවො දෙන්නම එකම විදියට සියදිවි නසාගනී

Next Post

සෙලාන් බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස රමේෂ් ජයසේකර මහතා පත්වෙයි

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.