ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජකාරි භාරගත් දින සිටම උත්සාහ කළේ අලුත් ගමනක් යන්නටය. ඊට පෙර සිටි ජනාධිපතිවරුන් බොහොමයක් සිය පවුලේ ඥාතීන් ළං කරගෙන, හිතවතුන් සමීපයට ගෙන, ගජමිතුරු පාලනයක් ගෙන යනු දැකගන්නට ලැබුණද ගෝඨාභය ජනාධිපතිවරයා ආරම්භයේ සිට ඒ මඟ නොගෙන අන් දේශපාලනඥයන්ට ආදර්ශයක් ලබා දීමට කටයුතු කළේය. ජනාධිපති ධුරයේ සිටියදී අනෙකුත් අය අපේක්ෂකයන් පිරිවරා, ආරක්ෂක රථ රැසක් සමඟ ගමන් බිමන් ගියද ගෝඨාභය ඒ සියල්ලම අත්හිටුවූයේය. ආරක්ෂක රථ පහකට සීමා කළේය. ආරක්ෂක නිලධාරීන් 2500ක් ඉවත් කොට සාමාන්‍ය රාජකාරිවල නිරත කරවූයේය. සිය කාර්ය මණ්ඩල සඳහා බිරිය, දරුවන්, ඥාතීන් යොදා නොගන්නා ලෙස ඇමැතිවරුන්ට උපදෙස් දුන්නේය. විදෙස්ගත වෙද්දී බිරිඳ, දරුවන් රැගෙන නොගියේය. සභාපතිවරුන් පත්කිරීමේදී දේශපාලන පත්වීම් නොකර වෘත්තිකයන් පත්කරන ලෙස උපදෙස් දුන්නේය.
ජනපතිගේ රැකියා ලක්ෂය බකල් වෙයිද?
එපමණක් නොව ජනාධිපතිවරයා තවත් අලුත් කටයුත්තකටද පසුගියදා අතගැසුවේය. ඒ ගම්වල සිටින දුප්පත් පවුල්වල සාමාන්‍ය පෙළ අසමත් තරුණයන් ලක්ෂයක් රජයේ රැකියාවලට බඳවාගෙන කාර්ය සාධන බළකායක් නිර්මාණය කිරීමය. ඒ හරහා ගෝඨාභයට අවශ්‍ය වී තිබුණේ දුප්පත්කමේ පතුලටම ගොස් සිටින පවුල් ලක්ෂයක් ඉන් මුදාගෙන ඒ පවුල් ශක්තිමත් කිරීමටය. අවසන් වතාවට පැවැති කර්තෘවරුන් සමඟ සාකච්ඡාවේදීද ජනාධිපතිවරයා කර්තෘවරුන්ට මේ බව අවධාරණය කළ නමුත් ඒ කිසිදු අයකු තම පුවත්පත්වල ජනාධිපතිවරයාගේ මේ අභිලාෂය සටහන් කිරීමට පියවර ගත්තේ නැත. ඔවුන් කළේ වෙනදා කරනවා මෙන්ම ජනාධිපතිවරුන් සතුටු කිරීමට අවශ්‍ය දෑ පමණක් තම පුවත්පත්වල වාර්තා කිරීමය. නමුත් අප එම සතියේ ‘මව්රට’ පුවත්පත තුළින් ජනාධිපතිවරයාගේ එම අවශ්‍යතාව ජනතාව අතරට නිවැරැදි ආකාරයට ගෙන යෑමට කටයුතු කළේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව වී තිබුණේ මේ රැකියා ලක්ෂයම දේශපාලන බලපෑම්වලින් තොරව, දේශපාලන හිතවත්කම් අනුව ලබා නොදී සර්ව සාධාරණ ලෙස අන්ත දුප්පත් පවුල්වලට පමණක් ලබා දීමටය. ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම මේ බව ආණ්ඩුවේ ඇමැතිවරුන්ට දැනුම් දීමටද පියවර ගෙන තිබිණි. වෙනකක් තබා වරෙක නාමල් රාජපක්ෂ පවා සහභාගි වී සිටි සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණේ ‘මෙම රැකියා ලක්ෂයට ඥාතීන් නම් බඳවා ගන්න සූදානම් වෙන්න එපා’ යැයි කියාය. ගංවතුර තත්ත්වය බැලීම සඳහා රජරටට ගිය අවස්ථාවේදී පවා ජනාධිපතිවරයා කියා සිටියේ ඒ අසරණ තත්ත්වයට පත්ව සිටින පවුල්වල තරුණයන්ට රැකියා ලබා දීමට පියවර ගන්න යැයි කියාය.
ඇමැතිවරු ලිස්ට් අරන් මැද්දට පනී
නමුත් ආණ්ඩුවේ ඇමැතිවරුන් සිතා සිටියේ අනෙකුත් ජනාධිපතිවරුන් මෙන්ම ගෝඨාභය ජනාධිපතිවරයාද වචනවලට පමණක් සීමා වුණු ජනාධිපතිවරයකු වනු ඇතැයි කියාය. මුලින් මුලින් මෙසේ කීවද කරන කොට ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තුවලට ආණ්ඩුවේ රස්සා පුරවනු ඇතැයි කියාය. ඒ අනුව පසුගිය සතිය වන විට ඇමැතිවරුන් රැසක්ම තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කවල සාමාන්‍ය පෙළ අසමත්, තමන්ට හිතවත් පවුල්වල තරුණයන්ගේ නම් ලැයිස්තු ජනාධිපති ලේකම් කාර්යාලයට එවීමට කටයුතු කර තිබිණි. නමුත් මේ නම් ලැයිස්තු දුටු සැණින් ජනාධිපතිවරයා කෝපයට පත්වූයේ තමන් ලබා දුන් උපදෙස්වලට පිටින් යමින් පරණ පුරුදු විදියටම දේශපාලන සෙල්ලම් පෙන්වන්නට ඇතැම් ඇමැතිවරුන් පියවර ගැනීම නිසාය. ඒ අනුව වහාම සිය නිලධාරීන්ට කතා කළ ජනාධිපතිවරයා නියමාකාරයෙන් එම තරුණයන් ලක්ෂය බඳවා ගැනීම සඳහා විශේෂඥ කණ්ඩායමක් පත්කිරීමට පියවර ගත්තේය. ඔවුන්ගේ රාජකාරිය වනුයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම සිටින එවැනි දුප්පත් පවුල් ලක්ෂයක් තෝරා ඒ එක් පවුලක තරුණයකුට මෙම රැකියා ලබා දීමය. ඒ අනුව මේ දිනවල මෙම විශේෂඥ කමිටු ජනාධිපතිවරයාගේ සිතැඟි අනුවම මෙම වැඩකටයුත්ත දියත් කර ඇති බවක්ද ආරංචිය.
ගෝඨා රජරට ගංවතුරට බහී
මේ අතර පසුගිය සතිය ආරම්භයේදීම ගෝඨා සොයා බැලුවේ ඒ වන විටත් රජරට ප්‍රදේශයේ ජනතාව මුහුණදී සිටි උග්‍ර ගංවතුර තත්ත්වය පිළිබඳවය. මහ වැසි හේතුවෙන් අනුරාධපුර, පොළොන්නරු දිස්ත්‍රික්ක ජලයෙන් යටවී විශාල පිරිසක් අවතැන්ව සිටි නිසා ගෝඨා කළේ පසුගිය සඳුදා (23දා) කිසිවකුටත් නොදන්වා රජරට සංචාරයක නිරත වීමය. ඒ අනුව මුලින්ම ගෝඨා ගියේ අනුරාධපුරයේ පිහිටි ජනාධිපති මන්දිරයටය. එසේ යෑමෙන් පසු දිස්ත්‍රික්කයේ දේශපාලන බලාධිකාරිය ජනාධිපති මන්දිරයට කැඳවූ ගෝඨා පවතින තත්ත්වය පිළිබඳවත්, ජනතාවට සහන සැලැසිය යුතු ආකාරය පිළිබඳවත් ඔවුන් සමඟ දීර්ඝව සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ඒ අනුව එම නිලධාරීන්ද ගෝඨාට විවිධ යෝජනා ඉදිරිපත් කළ ආකාරයක් දැකගන්නට ලැබිණ. එසේ නිලධාරීන් ඉදිරිපත් කළ යෝජනා අසා සිටි ගෝඨා කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි එම නිලධාරීන්ද කැටුව ගංවතුරෙන් අවතැන්ව සිටි ජනතාව රැඳී සිටි ස්ථානවලට යෑමට පියවර ගත්තේය. ඒ අනුව ගෝඨා මුලින්ම ගියේ රාජාංගනය යාය – 2 කලාපයේ පිහිටි දුටුගැමුණු විහාරයටය. ගෝඨා පැමිණි බව දුටු අවතැන් ජනතාව තමන් මුහුණදී සිටින ප්‍රශ්න සියල්ලම ගෝඨාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෝඨා නිලධාරීන්ට දැනුම්දී සිටියේ වහාම එම ජනතාවට සහන සැලසීමේ ක්ෂණික වැඩපිළිවෙළක් දියත් කරන ලෙසටය. විශේෂයෙන්ම දරුවන් සහ වැඩිහිටි පිරිස් හට ඉක්මණින්ම සහන ලබාදෙන ලෙසද ගෝඨා නිලධාරීන්ට දැනුම්දී සිටියේය.
මෙහිදී නිලධාරීන් සහන සැලසීමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇති බවක් කියා සිටිද්දී ගෝඨාට තරමක් කේන්ති ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව ගෝඨා නිලධාරීන්ට කියා සිටියේ චක්‍රලේඛ නිකුත් කොට ඇත්තේ කරන වැඩකටයුතු පහසු කිරීමට මිස එම වැඩකටයුතු නොකර සිටීමට නොවේ යැයි කියාය. හුඟදෙනෙක් ඇඟ බේරාගැනීමට චක්‍රලේඛ ඉදිරියට දැමීමට පුරුදුව සිටින බව කී ගෝඨා ස්වාභාවික විපතකදී වහාම ජනතාවට සහන සැලසිය යුතු බව නිලධාරීන්ට දැනුම්දී සිටියේය.
චන්ද්‍රජෝති හිමියන්ගෙන් චෝදනාවක්
ඉන් අනතුරුව ගෝඨා ගියේ රාජාංගණය යාය – 9 ගැමුණුපුර ශ්‍රී බෝධිරාජාරාමයේ විහාරයේ රැඳී සිටි ජනතාවගේ සුබසාධන කටයුතු සොයා බැලීම සඳහාය. එහිදී විහාරාධිපති ඉහළමුල්ලේ චන්ද්‍රජෝති හිමියන් ජනතාව මුහුණදී සිටින බරපතළ ප්‍රශ්න ගණනාවක්ම ගෝඨාටත්, නිලධාරීන්ටත් දැනුම්දී සිටීමට පියවර ගත්තේය.
“අපේ හාමුදුරුවො කියපු දේවල් අහගෙන නේද හිටියෙ. දැන් පේනව නේද ඇත්ත තත්ත්වය. අපි කාමරවලට වෙලා සාකච්ඡා කළාට විසඳුම් ඉදිරිපත් කළාට ඒව හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඇත්ත තත්ත්වය බලන්න අපි මේ වගේ ජනතාව ඉදිරියට එන්න ඕනෙ. ඒ හින්දා වහාම මේ ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත්කරන්න ඔබතුමන්ල පියවර ගන්න ඕනෙ. මේ ප්‍රශ්න ආයෙ ඉදිරියට ඇති නොවෙන්නත් වගබලා ගන්න ඕනෙ” යනුවෙන් නිලධාරීන්ට උපදෙස් දුන් ගෝඨා, පළමුව ජනතාවට කඩිනම් සහන ලබාදී දෙවනුව කැඩී බිඳීගිය වැව් අමුණු සහ නිවාස පිළිසකර කරන ලෙසටත්, ඉන් අනතුරුව යටිතල පහසුකම් දියුණු කිරීම ආරම්භ කරන ලෙසටත් නිලධාරීන්ට දැනුම්දී සිටියේය.
වන්දි දෙන්නත් උපදෙස්
මෙහිදී එක්තරා ගොවි මහතකු ගෝඨාට ප්‍රශ්නයක් යොමුකරමින් කියා සිටියේ තමන්ගේ විනාශ වූ වගාවන් වෙනුවෙන් ගොවීන්ට වන්දි මුදලක් ලබාදීමට පියවර ගන්නා ලෙසටය. ඊට වහාම ප්‍රතිචාර දක්වමින් ගෝඨා නිලධාරීන්ට උපදෙස් දී සිටියේ වගා හානි වූ සියලුම ගොවීන්ගේ තොරතුරු දත්ත රැගෙන ඔවුන්ට අවශ්‍ය වන්දි මුදල් ලබාදීමට පියවර ගන්නා ලෙසටය. ඉදිරි දින කිහිපය ඇතුළත අලුත් අවුරුදු සමය එළැඹෙන බැවින් ඊට පෙර ඔවුන්ට යම් සහනයක් කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද ගෝඨා නිලධාරීන්ට උපදෙස් ලබාදී සිටියේය.
බඩු මිල බස්සන්න පාරට බහින්න
අඟහරුවාදි දිනයේදී ගෝඨාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජීවන වියදම් කමිටුව රැස්විය. එහිදී ප්‍රධාන වශයෙන්ම බදු සහන ලබාදීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර ඊට අගමැති මහින්ද රාජපක්ෂත්, කමිටුවේ සාමාජිකයන් වූ පවිත්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර, තාරක බාලසූරිය සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී පළමුවෙන්ම හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පිරිසක් විසින් බදු සහන ලැබීමෙන් පසු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩුවීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමක් (ප්‍රසන්ටේෂන් එකක්) කළේය. එම ඉදිරිපත් කිරීමට අනුව ගෝඨා සැබෑ ලෙසම මිල ගණන් අඩුවී ඇද්ද යන්න සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් විමසද්දී ඔවුන් නිරුත්තරව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ. මේ නිහඬ බව ගෝඨාගේ ප්‍රසාදයට හේතු වූයේ නැත.
“මම ඒක තමයි ඕගොල්ලන්ට කියන්න හැම වෙලාවෙම කාමරවලට වෙලා ඉන්නෙ නැතුව ජනතාව අතරට ගිහිල්ල අපි දුන්න මේ සහනය මිනිස්සුන්ට ලැබිල තියෙනවද කියල බලන්න කියල. තාම ඒ වැඬේ හරියට වෙලා නෑ. මහජනතාවට මේ සහනය හරියට දැනෙන්න නම් අපි අඩු කරපු බඩු මිල එළියෙ අඩුවෙලා තියෙන්න ඕනෙ. එහෙම නැත්නම් ඔබතුමාල ඒකට මැදිහත් වෙන්න ඕනෙ” යනුවෙන් ගෝඨා කියද්දී මහින්දත් දැඩි ස්ථාවරයක සිටිමින් කියා සිටියේ නිලධාරීන් වහාම සීත කාමරවලින් පොළොවට බැස ආණ්ඩුව ලබාදුන් සහන ජනතාවට ලැබී ඇද්දැයි යන්න සොයාබැලිය යුතු යැයි කියාය.
නොදන්වාම හමුදා රෝ්හලට යයි
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ගෝඨා හදිසියේම වේරහැර පිහිටි තමන් ආරක්ෂක ලේකම්වරයාව සිටියදී ආරම්භ කළ කොතලාවල ආරක්ෂක පීඨයේ රෝහල නිරීක්ෂණය කිරීමට ගියේය. කිසිවකුටත් නොදන්වා, පූර්ව දැනුම්දීමකින් තොරව, ආරක්ෂකයන්ද රහිතව ගෝඨාභය ගොස් රෝහලට ඇතුළු වන තෙක්ම කිසිවකුත් ජනාධිපතිවරයා පැමිණි බවක් දැන සිටියේ නැත. පසුව ගෝඨා පැමිණි බවට වාර්තා වීමත් සමඟ ඔහු පිළිගැනීමට මුලින්ම ආවේ එහි උපකුලතිවරයාය. ඒ අනුව ගෝඨා උපකුලපතිවරයා සමඟ රෝහලේ සෑම තැනකම ඇවිදිමින්, ශල්‍යාගාර, සායන ආදී සියල්ල නිරීක්ෂණය කිරීමට කටයුතු කළේය. එහිදී ගෝඨාට නිරීක්ෂණය වූ කරුණක් වූයේ කාර්යමණ්ඩලයේ අඩුවක් ඇති බවය. ඒ අනුව වහාම උපකුලපතිවරයාට උපදෙස් දුන් ගෝඨා කියා සිටියේ විධිමත් ක්‍රමයකට අනුව කාර්යමණ්ඩල නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරන්න යැයි කියාය.
“අපි මේ රෝහල හැදුවේ විශාල සැලැසුම් ඔළුවෙ තියාගෙන. මේක විශාල විදිහට ජනතාවට සේවය කරන්න පුළුවන් තැනක්. ඒ හින්ද විධිමත් ක්‍රමවේදයකට අනුව මෙතෙන්ට අවශ්‍ය නිලධාරීන් බඳවාගන්න කටයුතු කරන්න. මොකද ජනතාව මෙතන්ට එන්නෙ සහනයක් ගන්න බලාපොරොත්තුවෙන්. ඒ නිසා රටට, ලෝකයට තමන් ඉගෙන ගත් දෙයින් සේවය කරන්න සූදානම් වෙන්න. සැලැසුම් හදන්න. මේවයෙ අඩුපාඩු තියන්න එපා.” යනුවෙන් එහිදී ගෝඨාභය උපකුලපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලයට දැනුම්දී සිටියේය.
RMV එකට හැදෙන්න මාසයක් කල් දෙයි
ඉන් අනතුරුව රෝහලෙන් එළියට බට ගෝඨා එහෙම්මම ගියේ ඊට තරමක් මෙපිටින් වන්නට පිහිටා තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියැදුරු බලපත්‍ර නිකුත් කරන වේරහැර අංශයටය. ගෝඨාභය එතැනට යන විටත් රියැදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණි විශාල පිරිසක් පෝලිම්වල බොහෝ වේලාවක් සිටින ආකාරයක් දැකගත හැකි විය. ගෝඨාභය දුටු සැණින් ජනතාවද තමන්ට විඳින්නට සිදුව ඇති ප්‍රශ්න සහ අපහසුතා සියල්ලම ගෝඨා ඉදිරියේ ප්‍රකාශ කරන්නට වූහ. ඒ අනුව එහි සිටි සියලුම නිලධාරීන් කැඳවූ ගෝඨා වහාම මෙම තත්ත්වයට විසඳුම් සොයන ලෙසත්, තවත් මාසයක් ගතවීමෙන් පසු නැවැත වතාවක් තමන් මෙම ස්ථානයට පැමිණෙන බවත්, එසේ පැමිණෙන විට ජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් රියැදුරු බලපත් නිකුත් කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් සකසා තිබිය යුතු බවත් දැනුම්දී සිටියේය. ඒ අනුව කාලයක් තිස්සේ ජනතාව අපහසුතාවට පත් කළ ප්‍රශ්නයක් එක සැණින් එම ස්ථානයට පැමිණ නිරාකරණය කිරීමට ගෝඨා පියවර ගැනීම එහි සිටි සියලු දෙනාගේම මහත් ප්‍රශාංසාවට ලක්වූ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම රාජ්‍ය සේවකයකු ලෙස තමන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කරද්දී දිනකට ෆයිල් දහසකට වඩා බැලූ බවද ගෝඨාභය එහි සිටි නිලධාරීන්ට දැනුම් දී සිටියේය.
මෙතන හදන්නෙ රොකට්ද ලයිසන්ද
“රාජ්‍ය සේවයේ ලක්ෂ පහළොවක් ඉන්නවා. මේ අය ඔක්කොම පඩි ගන්නෙ මේ ඉන්න ජනතාවගේ බදු මුදල්වලින්. ඒ හින්දා ඔබතුමාලත් දැනගන්න ඕනෙ ඒ ජනතාවට ගුණාත්මක කඩිනම් සේවයක් දෙන්න. මෙතන හදන්නෙ රොකට් නෙමෙයිනෙ. මෙතන හදන්නෙ කාඞ් එකක්. ඒක ඉක්මණින් කරන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනනෙ. ඒ කාඞ් එක හදන්න ගතවෙන කාලයක් තියෙනවනෙ. ඇප්ලිකේෂන් එක බාරදෙද්දිම ඒ පුද්ගලයාට අංකයක් භාරදීල කියන්න ඕනෙ මේ වෙලාවට එන්න කියල. එතකොට ඒ පුද්ගලයට පුළුවන් තමන්ගෙ අනෙක් රාජකාරි කරගෙන නියමිත වෙලාවට ඇවිත් රස්තියාදු නොවී තමන්ගෙ කාඞ් එක ගන්න. මම අවුරුදු 30ක් රාජ්‍ය සේවයේ කටයුතු කළා. හැමදාම මගේ වැඩ ඉවර කරලයි මම ගෙදර ගියේ. සමහර දවස්වල ආරක්ෂක ලේකම්වරයා විදිහට ඉද්දි ෆයිල් දාහක් බැලුවා. ඒ අතර යුද්දෙත් කළා. මේ ඉන්න ඉහළ නිලධාරීන් කාමරවලින් එළියට බැහැලා මේ ජනතාවට තියෙන ප්‍රශ්න ගැන ඒ අයත් එක්ක කතා කරනවනම් හොඳයි. එතකොට ජනතාව යෝජනා කරයි මේවට දෙන්න ඕනෙ විසඳුම් මොනවද කියලා. අපි ඉදිරියේදි උපාධිධාරීන් පනස් හතරදාහක් බඳවගන්නවා. ඒ අයව ටේ්රන් කරලා දක්ෂ කණ්ඩායමක් අපි ඕගොල්ලන්ටත් තෝරල දෙන්නම්. මම ආයිත් මාසෙකින් මෙතැනට එනවා. ඒ එද්දි මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා හරි සිස්ටම් එකකට මේක හැදිල තියෙන්න ඕනෙ…” යනුවෙන් ගෝඨාභය ප්‍රසිද්ධියේම නිලධාරීන්ට කියද්දී එහි සිටි ජනතාව තමන් පත්කරගත් ජනාධිපතිවරයා දෙස මහත් ගෞරවයෙන් යුතුව බලා සිටින ආකාරයක් දැකගන්නට ලැබිණ.
ආරක්ෂක අමාත්‍යංශයට දුන් ලස්සන උපදෙස
වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ඉන් අනතුරුව කෙළින්ම පැමිණියේ ආරක්ෂක අමාත්‍යාංශයටය. ජනාධිපතිවරයා එයද කළේ කිසිවකුටත් නොදන්වා හොර රහසේමය. ඒ එන විට හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ රැඳී සිටි අතර ජනාධිපතිවරයා පැමිණි බව ආරංචි වීමත් සමඟ වහාම පිටතට පැමිණ ජනාධිපතිවරයා පිළිගැනීමට ශවේන්ද්‍ර කටයුතු කළේය. කෙසේ වෙතත් ශවේන්ද්‍ර සමඟ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළට ගිය ජනාධිපතිවරයාට එහි වටාපිටාව පැරැණි වී කිසිදු ආකර්ෂණීය තත්ත්වයකින් තොරව පවතින ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව වහාම එම තත්ත්වය වෙනස් කරගන්නා ලෙස ජනාධිපතිවරයා ශවේන්ද්‍රට උපදෙස් ලබාදුන්නේය.
“මෙතන දැන් පොඞ්ඩක් පරණ වෙලා නේද. කිසිම ආකරෂණීය බවක් දැනෙන්නෙ නෑ. එහෙම වුණාම අපිට වැඩ කරන්නත් හිතෙන්නෙ නෑ. ඒ හින්ද මේක වැඩ කරන්න ආස හිතෙන තැනක් විදිහට සූදානම් කරගන්න. එහෙම වුණාමයි වටින්නෙ. ඒක කරන්න බැරිකමක් නෑ නේද…” යනුවෙන් ජනාධිපතිවරයා ශවේන්ද්‍රගෙන් අසද්දී ශවේන්ද්රද ඊට හිස වනමින් එකඟතාවය පළ කළේය.
දින 52 වීරයා යළිි එළියට
කතානායක කරු ජයසූරිය මහතා සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ දිනයේ සිටම පෙනී සිටියේ රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙනි. කෙදිනකවත් කරු ප්රචණ්ඩ දේශපාලනය අනුමත කළ අයකු නොවීය. විවිධ ඇමැති තනතුරු දැරුවත් කවදාවත් කරුට එරෙහිව දූෂණ, වංචා චෝදනා එල්ල වී තිබුණේ නැත. මේ නිසාම එදා සිටම කරු වටා මහා සංඝරත්නය, සිවිල් සංවිධාන ඇතුලු රටේ ජනතාව එක්රොක් වී සිටියේ ඔහු නියම පිරිසුදු, අදූෂිත, ප්රජාතන්ත්රවාදී නායකයකු ලෙස ආදර්ශවත් දේශපාලන ජීවිතයක් නඩත්තු කළ නිසාය.
කරුගේ දේශපාලන ජීවිතය තුළ රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් කළ කැපකිරීමේ කූටප්‍රාප්තිය රටේ ජනතාව පමණක් නොව ජාත්‍යන්තරය පවා පිළිගනු ලැබුවේ ඉකුත් වසරේ ඔක්තෝබර් 26 වැනි දින සිදුවූ කුමන්ත්රණකාරී දේශපාලන බල පෙරළියත් සමඟය. එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගසා ජනතා වරමින් පත්ව අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරයක් පිළිගනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ පිටුපස දොරෙන් පත්කිරීමට කටයුතු කිරීමත් සමඟ ඊට එරෙහිව ප්රජාතන්ත්රවාදය රැක ගැනීම සඳහා පෙරට ආවේ වෙන කවුරුවත් නොව කතානායක කරු ජයසූරිය මහතාය. දින 52ක් පුරා පැවැති එම නීති විරෝධී ආණ්ඩුව නීතියට අනුව බලයෙන් පහ කිරීම සඳහා කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුව ඇතුළේ අතිවිශාල කාර්යභාරයක් ඉටුකළේ එවකට ආණ්ඩුවේ ඇමැතිකම් ලබාගත් ඇතැමුන්ගේ මිරිස්කුඩු පහරවල්, පුටු පහරවල්, පොත් ප්රහාරයන් ආදියට නොබියව මුහුණදෙමිනි. ඒ සියල්ලටම එරෙහිව පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සුරකිමින් කතානායකවරයා ගෙනගිය වැඩපිළිවෙළ අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද පිළිගනු ලැබුවේ මෛත්‍රිපාල ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කර ඇති බවට තීන්දුවක් ලබාදෙමිනි. එදා කරු පාර්ලිමේන්තුව ඇතුළේ එම සටන නොකළා නම් අද ලංකාවේ නීතිය සහ ප්රජාතන්ත්රවාදය කුමන තැනක තිබේවිද යන්නත්, ජාත්‍යන්තරය මේ රට කුමන රටක් සේ පිළිගනු ඇතිද යන්න සිතීමටවත් පවා නොහැකි තැනකට පත්වන්නට ඉඩ තිබිණි.
රනිල්-චන්ද්‍රිකා බොද කළ සෝභිත හිමිගේ හීනය
කරු සිය දේශපාලන ජීවිතය ආරම්භයේ සිටම ප්‍රකට කළ මේ ප්රජාතන්ත්රවාදී ලක්ෂණ නිසාම 2015 දී අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් ආරම්භ කරනු ලැබූ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය’ සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරාගනු ලැබ තිබුණේ කරුවය. ඒ වන විට සිවිල් සංවිධාන, මහා සංඝරත්නය පමණක් නොව දේශපාලන පක්ෂ නායකයන් පවා කරු ජයසූරිය මහතා 2015 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතු බවට තීන්දු කර තිබුණද අවසන් මොහොතේ චන්ද්‍රිකා මැතිනියගේ සහ රනිල්ගේ මැදිහත්වීමෙන් එය ආපසු හැරවීමට පියවර ගෙන තිබිණ. චන්ද්‍රිකාගේත්, රනිල්ගේත් අදහස වී තිබුණේ පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවත්, එම පොදු අපේක්ෂකයා එජාපයේ සාමාජිකයකු නොවිය යුතු බවත්ය. කොහේවත් සිටි මෛත්‍රිපාල සිරිසේන කෙනකුගේ නම විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් එළියට ආවේ චන්ද්‍රිකාත්, රනිලුත් පක්ෂය ඇතුළේ ගෙනගිය ඒ මතවාදය නිසාය. ඉන් සිදුවූ එකම දේ වූයේ ප්රජාතන්ත්රවාදය, නීතිය, ව්‍යවස්ථාව, සදාචාරය පිළිබඳව අබමල් රේණුවකවත් හැඟීමක් නැති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා බවට පත්වී ඔක්තෝබර් කුමන්ත්‍රණය හරහා රට ජාත්‍යන්තර ඉදිරියේ හෑල්ලුවට ලක්වීමය.
එජාපය බිමටම වැටීම
කෙසේ වෙතත් සෑම කලු වලාකුලකම රදී රේඛාවක් ඇත්තා සේ වාසනාවකට මෙන් යහපාලන ආණ්ඩුවේ ඇමැති ධුරයක් භාරගැනීමට කරු කටයුතු කරන නොතිබිණ. එසේ නොවී කරු කතානායකවරයා බවට පත්වීම හරහා පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය රට ඇතුළේ විශාල ලෙස ශක්තිමත් වූ ආකාරයක් දැකගන්නට තිබිණ. එපමණක් නොව කරු හැමදාමත් පෙනී සිටි තොරතුරු දැනගැනීමේ පනත තමන් කතානායක තනතුරේ සිටියදීම සම්මත කර ගැනීමට පවා කරු කටයුතු කර තිබිණ.
2015 මෙන්ම 2019 ජනාධිපතිවරණය ආසන්න වනවිටද මහා සංඝරත්නයේත්, සිංහල බෞද්ධ බලවේගවලත්, සිවිල් සංවිධානවලත් විශාලම ඉල්ලුම වී තිබුණේ කරුට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදිය යුතු යැයි කියාය. කරුත් සිටියේ සියලු සිංහල බෞද්ධ බලවේග සහ පක්ෂයේ වෙන්වුණු පිරිස් ඒකරාශී කොට ජනාධිපති ධූරයට තරග වදින්නටය. නමුත් අවාසනාවකට මෙන් ඒ අවස්ථාවේදීත් පක්ෂය ඇතුළේත්, පාක්ෂිකයන්ගේත් ඉල්ලුම තිබුණේ කරුට නොව සජිත්ටය. ඒ හේතුව නිසාම 2015 ප්රජාතන්ත්රවාදී රටක් වෙනුවෙන් පෙනී සිටි බලවේගය එහිදී සුළුතරය බවට පත්වී සජිත්ගේ කණ්ඩායම බහුතරය බවට පත්විය. ඊට අනුව යමින් ජනප්‍රිය හඬට කන්දීමට රනිල් තීරණය කිරීම හේතුවෙන් කරු යටගොස් අවසානයේදී සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය හිමිවිය. නමුත් සිදුවූයේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ සජිත් වැඩි ඡන්ද ලක්ෂ 15කින් පරාජයට පත්වීමය. සජිත් පමණක් නොව එහිදී එජාපයද පරාජයට පත්වී බිමටම සමතලා වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. දැන් ආණ්ඩුව සූදානම් වන්නේ අප්‍රේල් මාසයේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබාගෙන ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමටය.
චම්පිකගේ සිද්ධිය එජාපයට ෆුල්ටෝස් එකක්ද?
මේ ආකාරයට එජාපයේ මානසිකත්වය බිමට වැටී තිබූ වෙලාවක හදිසියේම හිටපු අමාත්‍ය පාඨලී සම්පික රණවක මහතා 2016 සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වීම එක්තරා ආකාරයකට එජාපයට ආ වෙස්වලාගත් ආශීර්වාදයක් හා සමාන සිදුවීමක් ලෙස දැකගන්නට ලැබිණ. ඊට හේතුවූයේ කිසිවකුත් නොසිතූ ආකාරයට මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බවටත්, ප්රජාතන්ත්ර විරෝධී කටයුත්තක් බවටත් රට ඇතුළේ විශාල හඬක් මතුවීමය. ඒ හරහා සිදුවූයේ ඉකුත් වසරේ දින 52ක තුළ සිදුවූ කුමන්ත්‍රණය ආපසු හැරවීමට කතානායක කරු ජයසූරිය මහතා ඉස්මතු වූවක් මෙන්ම මෙවරද චම්පිකගේ සිදුවීම හරහා කරුගේ භූමිකාව යළිත් ඉස්මතු වීමය. ඊට හේතුවූයේ චම්පිකව අත්අඩංගුවට ගැනීමට ඔහුගේ බත්තරමුල්ලේ පිහිටි නිවෙසට පොලිස් නිලධාරීන් පැමිණි අවස්ථාවේදී තමන් අත්අඩංගුවට ගැනීමට කතානායකවරයාගේ අවසරයක් තිබේද යනුවෙන් චම්පික පොලිස් නිලධාරීන්ගෙන් කළ විමසීමය. එහිදී එවැනි අවසරයක් නොමැති බව තහවුරු වූ අතර පොලිස් නිලධාරීන් එම අවසරය ලබාගැනීමට එම ස්ථානයේ සිට හතර වටේට ඇමැතුම් ලබාදෙන ආකාරයක් දැකගන්නට ලැබිණ. නමුත් ඒ වන විටත් කරු සිටියේ සිය වසර අවසාන නිවාඩුව ගතකිරීම සඳහා චීනයට ගොස්ය. නමුත් චම්පිකගේ සිදුවීම වාර්තා වීමත් සමග චීනයේ සිටම නිවේදනයක් නිකුත් කළ කරු සඳහන් කර සිටියේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවත්, එය සම්ප්රදාය ඉක්මවා යෑමක් බවත්, ඒ හරහා ප්රජාතන්ත්රවාදය බිඳවැටීමේ භයානක පෙරනිමිත්තක ලකුණු පහළ කර ඇති බවත්ය. ඒ සමඟම වහාම තම සංචාරය දින කිහිපයකින් කෙටි කර ලංකාවට පැමිණීමට කරු තීන්දු කළ ආකාරයද දැකගන්නට තිබිණ.
චීනෙන් ආපු ගමන් වැලිකඩට
එමෙන්ම ලංකාවට පැමිණි වහා සාමාන්‍යයෙන් කතානායකවරයකු නොකරන වැඩක්ද මෙහිදී කරු කළේය. ඒ, වහාම වැලිකඩ බන්ධනාගාරයේ රැඳී සිටින චම්පිකගේ සුවදුක් බැලීම සඳහා බන්ධනාගාරයට යෑමය. එමෙන්ම එදිනම සවස චම්පික වෙනුවෙන් සංවිධානය කර තිබූ ආශීර්වාද පූජාවකට පවා සහභාගි වීමට කරු පියවර ගෙන තිබිණ. කරුගේ මේ වැඩපිළිවෙළ නිසා පසුගිය සඳුදා වන විට ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනකු කරුට දැඩි චෝදනා එල්ල කරමින් කියා සිටියේ කතානායකවරයකු ස්වාධීනව සිටිය යුතු වුවත් මෙසේ චම්පික වෙනුවෙන් පක්ෂග්රාහී ලෙස නිවේදන නිකුත් කිරීම හරහා කරුගේ ස්වාධීනත්වය නැතිවී ගොස් ඇති බවත්, යහපාලන ආණ්ඩු සමයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළත් කතානායකවරයා මෙවැනි ආකාරයේ මැදිහත්වීමක් හෝ නිවේදන නිකුත් කිරීමක් සිදු නොවුණු බවත්ය.
මේ ආකාරයට ආණ්ඩු පක්ෂයෙන් චෝදනා එල්ලවද්දී ඊටද නිවේදනයක් නිකුත් කළ කතානායකවරයා තමන් කිසිදු දිනෙක සම්ප්‍රදායට අනුව යමින් සිදුකළ අත්අඩංගුවට ගැනීම් සඳහා කිසිදු මැදිහත්වීමක් නොකළ බවත්, සම්ප්රදාය උල්ලංඝනය කරමින් සිදුකරනු ලැබූ සෑම අත්අඩංගුවට ගැනීමකදීම මැදිහත් වීම් සිදුකළ බවත්ය.
චෝදනාවලට දාපු නිවේදනය
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී මෙතෙක් ක්‍රියාත්මක වු සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගැනීම පිළිබඳව ගරු කථානායකතුමන් විසින් සිය මතය ප්‍රකාශ කිරිමත්, එම මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීමට බන්ධනාගාරය වෙත යාමත්, පිළිබඳව ඇතැම් පාර්ශවයන් විසින් පළ කර ඇති අදහස් අපගේ අවධානයට ලක්ව ඇත.
මෙම සිද්ධියේදී ගරු කථානායකතුමන් විසින් අවධාරණය කරන ලද්දේ නීතිය ක්‍රියාත්මක කිරිමේදී කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සාධාරණ හේතුවක් මත අත්අඩංගුවට ගැනීම පිළිබද කිසිදු විවාදයක් නොමැතිමුත්, එහිදී නිසි ක්රිමවේදය අනුගමනය කළ යුතු බවයි.
මින් පෙර නිසියාකාරව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වුවද වරප්‍රසාද පිළිබඳව සැලකිලිමත් විමේදී ගරු කථානායකතුමන් එම අයවලුන්ගේ දේශපාලන පක්ෂය පිළිබඳව සැලකිල්ලට නොගත් බව අදාළ මන්ත්‍රීවරුන්ගේ හෘදසාක්ෂියට රහසක් නොවනු ඇත.
නමුත් පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලද්දේ සහ බන්ධනාගාරය වෙත ගොස් ඔහුගේ සුවදුක් විමසීමට කටයුතු කරනු ලැබුවේ පවතින සම්ප්රදාය උල්ලංඝනය කරමින් අත්අඩංගුවට ගැනීමේදී මන්ත්‍රීවරයෙක් ලෙස ඔහුට බලවත් අසාධාරණයක් සිදු වු බැවිනි. (මින් පෙර අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරුන්ද උදාහරණ ලෙස දැක්විය හැකි අතර දැනටද අත්අඩංගුවේ පසුවන එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකුද මේ වනවිට දින 50කට අධික කාලයක් බන්ධනාගාරයේ පසුවන නමුත් ඔවුන්ගේ සුවදුක් විමසීමට ගරු කථානායකතුමන් කිසිවිටකත් බන්ධනාගාරය වෙත ගොස් නොමැත.)
සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයෙකු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීමෙන් ගරු කථානායකතුමන් සුරැකීමට උත්සාහ දරණුයේ එක් පක්ෂයක හෝ එක් පුද්ගලයෙකුගේ වරප්‍රසාද නොවන බව අවධාරණය කරමු.
වර්තමානයේ මෙන්ම අනාගතයේද සියලුම පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තු ක්රමයක වැදගත් සම්ප්‍රදායන් තුළින් හිමිවන වරප්‍රසාද සුරැකීමේ සිය වගකීම ඉටුකිරිම එමඟින් සිදුවනු ඇත. කවර විවේචන හෝ අභියෝග හමුවේ වුවද එම වගකීම් ඉටු කරමින් ප්රජාතන්ත්රවාදය උදෙසා තවදුරටත් කැපවීමට ගරු කථානායකතුමන් කිසිවිටකත් පසුබට නොවනු ඇත.
කථානායක මාධ්‍ය අංශය
පක්ෂ නායකයොත් එකගයි
මීට අමතරව පසුගිය සතියේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමටද කරු පියවර ගත්තේය. ලබන 03 වැනිදා පැවැත්වීමට නියමිත නව පාර්ලිමේන්තු සැසිවාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවුනු ලැබූ අතර, ඒ සම්බන්ධයෙන් න්යායපත්රානුකූලව සාකච්ඡා කිරීමෙන් අනතුරුව චම්පිකගේ මාතෘකාව කරු සාකච්ඡා කිරීමට කටයුතු කළේය. එහිදීද සිය ස්ථාවරය ඍජුව පැහැදිලි කළ කරු පෙන්වා දුන්නේ චම්පිකගේ අත්අඩංගුවට ගැනීම සම්ප්රදාය අනුගමනය කරමින් නිසි ලෙස සිදුව නැති බවත්, ඊට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ගැනීමට තමන් කටයුතු කරන බවත්ය.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පැමිණ සිටි සියලුම පක්ෂ නායකයකුම පාහේ කරුගේ ස්ථාවරය අනුමත කරමින් අදහස් දැක්වීමය. එමෙන්ම සියලුම පක්ෂ නායකයන් එය වැරැදි පූර්වාදර්ශයක් බවත් පිළිගැනීම විශේෂ සිදුවීමක් විය. මින් ඉදිරියට නිසි ක්‍රමවේදනය අනුගමනය කළ යුතු බවට පොලිස්පතිවරයා ඇතුළු අදාළ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවා උපදෙස් දීමේ වගකීමද මෙහිදී පක්ෂ නායකයෝ කතානායකවරයා වෙත පැවරීමට කටයුතු කළහ. එහිදී කරු කියා සිටියේ තම ධුර කාලය අතරතුර කිසිදු විටෙක සම්ප්‍රදායන් බිඳවැටීමට ඉඩ නොතබනවා යැයි කියාය.
“මම මේ සම්ප්‍රදායන් ආරක්ෂා කරන්න සටන් කරන්නේ පුද්ගලයෙක් හෝ පක්ෂයක් ආරක්ෂා කරන්න නෙමෙයි. මේවා ප්රජාතන්ත්රවාදී පාලනයක වැදගත් මූලධර්ම. පක්ෂ භේදයක් නැතිව අද ඉන්න මන්ත්‍රිවරුන්ට මෙන්ම අනාගතයේ පත්වන මන්ත්‍රිවරුන්ටත් ඒවා ආරක්ෂා කර දීම කතානායක ධුරයේ වගකීමක්. මට කළින් හිටපු කතානායක චමල් රාජපක්ෂ මැතිතුමා වගේම අතීතයේ හිටපු සෑම කතානායකවරයෙක්ම ආරක්ෂා කරපු ඒ සම්ප්‍රදායන් මගේ කාලයේ බිඳවැට්ටීමට මම කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ.” යන්න එහිදී කරු පිරිසට අවධාරණය කර සිටි කාරණාව විය. ඒ අනුව ඒ සම්බන්ධයෙන්ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට කතානායක කාර්යාලය පියවර ගෙන තිබිණ.
රනිල්ට-සජිත්ට නොතේරෙන දේ
කෙසේ වෙතත් කරු ජයසූරිය මහතා මේ ආකාරයට ඍජුව සහ දැඩිව ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටිද්දී එය එජාපයේම දෙපිල බෙදී සිටින රනිල්වාදීන්ට හෝ සජිත්වාදීන්ට තේරුම් ගැනීමට නොහැකි වීම මෙහිදී දැකගන්නට ඇති කනගාටුදායකම කාරණයය. මේ නිසාදෝ මේ දෙපාර්ශ්වය නියෝජනය කරන දේශපාලන අඳබාලයක් අදත් කරන්නේ පක්ෂයකට නායකත්වය දිය යුතු මෙවැනි ඍජු, අදීන පුද්ගලයන්ට තිරය පිටුපස සිට පහර ගැසීමය. එජාප නායකත්වයට කරු වැනි සමබර, සියලු පාර්ශ්වයන් එක් කළ හැකි පුද්ගලයකුගේ අවශ්‍යතාව තවමත් එජාපයේ සිටින මෙම දේශපාලන අඳබාලයන්ට වැටහී නොතිබීම මෙහිදී දැකගන්නට ඇති ඛේදජනක කාරණය වී ඇති බවක්ද නොකියාම බැරිය.
රනිල්ට හොල්මන් වෙන්න කරු කියපු කතාව
කෙසේ වෙතත් කරු චීනය බලා පිටත්ව යෑමට ප්‍රථම රනිල් සමඟ එජාප අර්බුදය පිළිබඳව සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමට පියවර ගෙන තිබිණ. එහිදී අවසානයට පැවැති සාකච්ඡාවේදී කරු රනිල්ගේ මුහුණටම කියා සිටි එක්තරා විශේෂ කාරණයක්ද විය. ඒ, ඉකුත් වතාවන් කිහිපයකදීම කළාක් මෙන් නායකත්ව අර්බුදයෙන් රනිල්ට ගැලවීමට හෝ ප්‍රශ්නයෙන් කල් මැරීමට තමන්ව පාවිච්චි කිරීමෙන් වැළකී සිටින ලෙසට රනිල්ගේ මුහුණටම කළ දැනුම්දීමය. කිසිදු අවස්ථාවක මෙවැනි ප්‍රකාශයක් කරුගෙන් බලාපොරොත්තු නොවූ රනිල්, කරුගේ මේ ප්‍රකාශයත් සමඟ ගල්ගැසී ගිය ආකාරයක් දැකගන්නට තිබිණ. එපමණක් නොව තමන්ට නායකත්වය ලබාදීමට සූදානමින් සිටින බවට මේ දිනවල දේශපාලන ක්ෂේත්රයේ පැතිර යන කටකතා සම්බන්ධයෙන්ද සිය ස්ථාවරය රනිල්ට දැනුම්දී සිටීමට කරු පියවර ගත්තේය.
“දැන් හැමතැනම කතා වෙනවා මහ ඡන්දය මෙහෙයවන්න පක්ෂ නායකත්වය මට භාරදෙනව කියලා. හැබැයි මෙතැනදි මම පඹයෙක් වගේ ඉන්න සූදානම් නෑ. මට එහෙම නායකත්වය දෙනව නම් ඔබතුමා විතරක් නෙමෙයි ඒකට සජිත් ඇතුළු එයාගෙ කණ්ඩායමත් එකඟ වෙන්න ඕනෙ. එහෙම නැත්නම් මේකට මාව ගාවගන්න එපා.” යන්න මෙහිදී කරු රනිල්ට කියා සිටි කතාව විය.
කරුට දෙන්න රනිල්ගෙන් ඉගියක්
කෙසේ වෙතත් මෙහිදී එළියට නොආ තවත් කාරණාවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඒ, මතුව ඇති අර්බුදය හමුවේ සියලු පාර්ශ්ව එක් කළ හැකි කරු වැනි නායකයකු හට මහ මැතිවරණයේදී පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට භාරදීමට සැලැසුම් කර ඇති බවට රනිල් පළමු වතාවට ඉඟි පළකිරීමය. එමෙන්ම මෙහිදී තවමත් ප්‍රසිද්ධියේ නොකී කරුණක්ද රනිල් කරුට දැනුම්දී ඇති බවක්ද ආරංචිය. ඒ තමාගේ ඉදිරි දේශපාලන ජීවිතය පිළිබඳවය.
“මම දැන් අවුරුදු විසි පහක් තිස්සේ මේ පක්ෂය ඉස්සරහට අරගෙන ආවා. පක්ෂයට මුහුණදෙන්න සිද්ධවෙච්ච අමාරු කාලයකයි මම නායකත්වය ගත්තෙ. එතැනදි මම ලොකු කැප කිරීමක් කළා. හැබැයි දැන් හුඟදෙනෙක්ට මාව මේකෙන් පන්නගන්න ඕනෙ වෙලා. ඒ හින්ද මම තීන්දු කළා තව අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් දේශපාලනයේ ඉන්න. ඒ හින්ද මට ඒකට සුදුසු තැනක් තියෙන්න ඕනෙ” යනුවෙන් රනිල් කියද්දී කරුගෙන් ඊට පළවූයේ යහපත් ප්රතිචාරයකි.
රනිල්ටත් ලොකු පුටුවක්
“ඔබතුමා මේ පක්ෂයට පසුගිය කාලෙ විශාල සේවයක් කළා. ඒක හින්ද ඔබතුමාව එහෙම එකපාරට පක්ෂයෙන් අයින් කරන්න කාටවත් බෑ. මමත් හිතන්නෙ අපි අතර යම් යම් එකඟතාවන් ඇතිවෙනව නම් එතැන ඔබතුමත් ඉන්න ඕනෙ. ඒ නිසා ඔබතුමාට පක්ෂයේ සුදුසු තැනක් දෙන්න සියලුදෙනාම කටයුතු කරන්න ඕනෙ.” යනුවෙන් කරු එහිදී කී කතාව විය.
කෙසේ වෙතත් අපට දැනගන්නට ඇති තොරතුරුවලට අනුව තවත් ඉතා කෙටි කාලයක් පක්ෂ නායකයා ලෙස රනිල් කටයුතු කිරීමට සූදානමින් සිටින අතර, කලින් කළාක් මෙන් කරුට පක්ෂ නායකත්වයත්, සජිත්ට නියෝජ්‍ය නායකත්වය සහ විපක්ෂ නායකත්වයත් ලබාදී කරු නායකත්වයෙන් ඉවත් වීමෙන් පසු සජිත්ට නායකත්වය ලබාදෙන බවට නිවේදනය කිරීමටත් යෝජනා වී තිබේ. ඒ අනුව මේ දිනවල එසේ පක්ෂය ඉදිරියට ගෙනයා හැකි තරුණ ජවසම්පන්න කණ්ඩායමක් සකස් කිරීමේ සැලැසුමක් එජාපය ඇතුළේ ක්‍රියාත්මක වෙමින් පවතින බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
සජිත් කරුට පණිවුඩ එවයි
මේ සියල්ල අතරවාරයේ සජිත්ගේ පාර්ශ්වයෙන්ද මේ වන විට කරුට විශේෂ පණිවුඩ ලැබෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. කරු සිය චීන සංචාරය ආරම්භ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී එසේ ලැබුණු එක් පණිවුඩයකින් කියැවුණේ මහ ඡන්දය මෙහෙයවීමේ නායකත්වය කරුට ලබාදීමට සජිත් පිල එකඟතාව පළකොට ඇති නමුත් මහ ඡන්දය නිමාවීමෙන් පසු පක්ෂ නායකත්වය සජිත්ට ලබාදීමට කරු එකඟ විය යුතු බවකි. සජිත් පිලේ මේ යෝජනාවට කරු මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතත් සිය හිතවතුන් හමුවේ කරු සඳහන් කොට ඇත්තේ මහ ඡන්දය තෙක් පක්ෂයේ නායකත්වය දරා ඊට පසු දින එය තවකෙකුට පැවරීමට තමන් සූදානම් නැති බවත්, යම්කිසි වැඩසටහනක් යටතේ පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු කාලසටහනකට අනුව සිදුවිය යුතු බවත්ය. එසේ නොමැතිව සිදුකරන හදිසි ප්‍රතිසංවිධානවලින් පක්ෂයට කිසිදු වැඩක් සිදු නොවන බවද කරු මෙහිදී සිය හිතවතුන්ට දැනුම්දී ඇති බව ආරංචිය. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් කරු හා සජිත් අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්වීම කටයුතු සැලැසුම් කර ඇති බවක්ද දැනගන්නට ඇත.
චම්පික වැලිකඩදී ටියුෂන් පටන් ගනී
පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්රයේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව සිටියේ වෙන කවුරුවත් නොව පාඨලී චම්පික රණවකය. 2016 සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාඨලී කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මන්ත්‍රිවරයකු අත්අඩංගුවට ගන්නා සම්ප්රදාය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් අත්අඩංගුවට ගැණුනු අවස්ථාවේ බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ එදිනම රාත්‍රියේ චම්පික බන්ධනාගාර රෝහලට මාරු වී යනු ඇති බවකි. නමුත් සාමාන්‍යයෙන් මන්ත්‍රිවරුන් මෙසේ රිමාන්ඞ් සිරමැදිරි තුළ රැඳී නොසිට බන්ධනාගාර රෝහලට හෝ ගෙවන වාට්ටුවලට ඇතුළු වුවද චම්පික අත්අඩංගුවට ගැනීමෙන් පසු කෙළින්ම ගියේ වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයටය. එහිදී බන්ධනාගාර නිලධාරීන් චම්පිකට විශේෂ වාට්ටුවක් සකස් කර දීමට සූදානම් වුවද එයද ප්‍රතික්ෂේප කළ චම්පික ඔවුන්ට දැනුම්දී සිටියේ සාමාන්‍ය සිරකරුවන් සමඟ සිටීමට තමන් සූදානම් යැයි කියාය. ඒ අනුව පළමු දින රාත්‍රියේ චම්පික බිම නිදාගත්තද දෙවැනි දිනයේදී ඔහුට මෙට්ටයක් ලබාදීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබිණ.
කෙසේ වෙතත් දෙවැනි දිනයේ සිට චම්පික රිමාන්ඞ් කොට ඇති බවට වැලිකඩ පුරා ආරංචිය පැතිර යෑමත් සමඟ සිරකරුවන් වැළ නොකැඩී චම්පිකව බලන්නට එන ආකාරයක් දැකගන්නට තිබිණ. එහිදී ඉතා මිත්‍රශීලී ලෙස සහ කුළුපගව ඒ සෑම සිරකරුවකුම සමඟ අදහස් හුවමාරු කර ගනිද්දී චම්පිකට වැටහී ගිය එක කාරණාවක් වූයේ ඒ බොහෝ දෙනකු අධ්‍යාපන මට්ටමින් ඉතා පහළ අඩියක සිටින ආකාරයය. ඒ අනුව චම්පික තීන්දු කළේ ඔවුන්ට සිරගෙදර ඇතුළතදී ටියුෂන් පන්තියක් පැවැත්වීමටය. ඒ අනුව වහාම තමන්ට අකුරු ලිවිය හැකි විශාල ලෑල්ලක් සහ ඒ අවශ්‍ය පෑන් (මාකර් පෙන්) ලබාදෙන ලෙස බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ චම්පික ඉන් අනතුරුව සිරකරුවන්ට ඉංග්‍රීසි සහ ඉතිහාසය විෂය ඉගැන්වීමට පියවර ගත්තේය.
කන්ජිපානිව සෙට් වෙච්ච හැටි
මේ අතරවාරයේ චම්පිකට එක්තරා විශේෂ පුද්ගලයකුද බන්ධනාගාරය තුළදී හඳුනා ගැනීමට ඉඩකඩ ලැබිණ. ඒ වෙන කවුරුවත් නොව කන්ජිපානි ඉම්රාන්ය. කන්ජිපානි ඉම්රාන් යනු ලංකාවේ නමගිය පාතාල කල්ලි නායකයෙකි. පසුගිය කාලයේ ඩුබායි රාජ්‍යයට පැනගොස් සිටි කන්ජිපානි, එහි පැවැති සාදයකදී තවත් පාතාල නායකයකු වූ මධුෂ් සමඟ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලංකාවට රැගෙන ආ අය අතර සිටියෙකි. ඒ අනුව චම්පික රිමාන්ඞ් භාරයේ සිටි දින කිහිපය තුළම චම්පිකගේ ළඟින්ම සිටියේ වෙන කවුරුවත් නොව මේ කියන කන්ජිපානිය.
චම්පික බන්ධනාගාරගතව සිටි දින කිහිපයේ රනිල්, කරුට අමතරව එජාප මන්ත්‍රිවරුන් විශාල ප්‍රමාණයක්ද, මහා සංඝරත්නයද, සිවිල් සංවිධාන නියෝජිතයන්ද වරින් වර චම්පිකව බැලීමට බන්ධනාගාරයට පැමිණෙනු දැකගත හැකි විය. මෙහිදී පැමිණී ඒ සියලු දෙනාටම චම්පික කියා සිටියේ ප්රජාතන්ත්රවාදය රැක ගැනීමේ සටන එළියේ සිට දියත් කරන ලෙසත්, තමා ඇතුළේ සිට ඔළුව නිදහසේ තබාගෙන ඉදිරි දේශපාලන සැලැසුම් සකස් කිරීමට කටයුතු කරන බවත්ය. ඒ අනුව ඒ සිටි දින කිහිපය තුළ චම්පික මහ මැතිවරණය ඉලක්ක කරගෙන දේශපාලන සැලැසුම් රැසක්ම සකස් කර තිබූ ආකාරයක්ද ආරංචිය.
ගම්මන්පිල සටනට එයි
කෙසේ වෙතත් චම්පික බන්ධනාගාරත කිරීමත් සමඟ පසුගිය කාලය පුරා නිහඬව සිටි තවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන චරිතයක්ද කළඑළි බැස්ස ආකාරයක් දැකගත හැකි විය. ඒ වෙන කවුරුවත් නොව උදය ගම්මන්පිලය. ගම්මන්පිල සහ චම්පික යනු ජාතික හෙළ උරුමයේ එකට දේශපාලනය කළ ප්‍රධානම චරිතයන්ය. 2005දී මහින්දගේ ජයග්‍රහණය වෙනුවෙන් දෙදෙනාම එක්ව විශාල වැඩ කොටසක් කළ අතර 2015 දී දෙදෙනාම මහින්දගේ ආණ්ඩුවෙන් එළියට බැස්සේ සිංහබාහුගේ ගල් ලෙන බින්ද බවට ප්‍රකාශයක්ද කරමිනි. නමුත්, එසේ මහින්දගේ ගල්ලෙන බිඳ දෙදෙනාම එළියට බැස්සද ඊට දින කිහිපයකට පසු චම්පිකව අතහැර ගම්මන්පිල යළිත් මහින්ද සමඟ එක්වීමට කටයුතු කළේය. ඒ නිසාම දෙදෙනා අතර පසුගිය කාලය පුරාම කිසියම් දේශපාලන ආරෝවක්ද මතුව තිබූ ආකාරයක් දැකගත හැකි විය.
ඒ අනුව චම්පික අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ නිහඬව සිටි ගම්මන්පිල අවසානයේ එම නිහඬ බව බිඳදමා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ චම්පිකගේ සිදුවීමේදී අනතුරකට එහා ගිය චෝදනා රැසක් මතුවී පවතිනවා යැයි කියාය. ඒවා එකින් එක මාධ්‍ය ඉදිරියේ ඉදිරිපත් කිරීමටද ගම්මන්පිල එහිදී කටයුතු කළේය.
දයාසිරි-අමරවීර ගැටුමක
මේ දිනවල සියලුම පක්ෂ අභ්යන්තරයන්හි අර්බුද ඇතිවී තිබෙන ආකාරයටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මේ දිනවල සිටින්නේ ප්‍රශ්න වැළක එල්ලී කරකියා ගන්න දෙයක් නොමැතිවය. එක පසෙකින් පක්ෂ සභාපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිපයේ මන්ත්‍රිවරුන් අතහැර දමා තනිවම සිය දේශපාලන අනාගතය සැලසුම් කරමින් සිටින ආකාරයක් දැකගන්නට ඇති අතර, පක්ෂයේ මන්ත්‍රිවරුන් අතරද විවිධ මතගැටුම් එළිපිට සිදුවන ආකාරයක් දැකගන්නට තිබේ.
මෙහිදී පළමු ගැටුම ඇති වී තිබෙන්නේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර අතරය. ඊට හේතුව වී ඇත්තේ දයාසිරි ආණ්ඩුව ඇතුළේ ශ්රීලනිපය ශක්තිමත් කිරීමට උත්සාහ දරන විට අමරවීර ආණ්ඩුව ඇතුළේ ශ්රීලනිපය දුර්වල කොට පොහොට්ටුව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබීම නිසාය. මෛත්‍රි – දයාසිරි දෙදෙනා මුලින් සිටියේ ඉදිරි මහමැතිවරණයේදී පුටුව ලකුණ යටතේ තරග කිරීමට රාජපක්ෂවරුන් එකඟකර ගැනීමේ ස්ථාවරයක වුවද අමරවීර ඇතුළු ශ්‍රීලනිපයේ සිටින අතිබහුතරයක් මන්ත්‍රීවරුන් පොහොට්ටුව යටතේ තරග වැදීමට එකඟතාව පළ කර සිටීම නිසා මේ වන විට මෛත්‍රීත් – දයාසිරිත් සිටින්නේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින්ය. වෙනදා නම් දයාසිරිත් තැන් තැන්වල පුටුව ලකුණ ගැන වචනයක් දෙකක් කීවද දැන් නම් දයාසිරිත් සිටින්නේ පුටුව ගැන වචනයක් හෝ කතා නොකරමිනි. වෙනදා පුටුව ගැන ඉහළින් කතා කළ විමල් වීරවංශද දැන් ප්‍රසිද්ධියේම කතා කරන්නේ මහඡන්දයට සන්ධානයකින් පැමිණිය යුතු බවකි. විමල්ද දැන් පුටුව ගැන වචනයක්වත් කතා කරන්නේ නැත. ඒ අනුව විමල්ද දැන් තමන්ගේ කලින් ස්ථාවරය වෙනස් කරගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.
මෛත්‍රි මහින්දව-ගෝඨාව හමුවෙයි
කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් මතුව තිබියදී පසුගිය සතියේ මෛත්‍රි ජනාධිපති ලේකම් කාර්යාලයටත්, අරලියගහ මන්දිරයටත් ගොස් ගෝඨාභයවත්, මහින්දවත් මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ඔවුන් අතර කතාබහට ලක්වූ කරුණු මොනවාද යන්න මේ වන විටත් එළියට පැමිණ නැතත් මෛත්‍රි නම් මේ සාකච්ඡාවලින් හොඳ ප්‍රයෝජනයක් ගනිමින් සිටින බවක් දැකගන්නට තිබේ. ඊට හේතුව වී ඇත්තේ මෛත්‍රි මේ හමුවීම් පිළිබඳ මේ දිනවල හතර වටේටම දුරකතන ඇමැතුම් ලබා දෙමින් දැනුම් දී සිටීමය. ඒ හරහා මෛත්‍රි උත්සාහ කරන්නේ දැන් ගෝඨාභයත්, මහින්දත් තමන් සමඟ හිතවත් බව වටේ සිටින අයට පෙන්වීමටය.
මෛත්‍රී ආණ්ඩුවට වාතයක් වෙලා
මීට අමතරව මෛත්‍රි දැන් තවත් අලුත් වැඩකටද අතගසා තිබේ. ඒ එළඹෙන මහමැතිවරණයේදී පොළොන්නරුවෙන් තරග කිරීමට සූදානමින් සිටින නිසා අතරමඟ වැඩ නතර වී ඇති ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කර ගැනීමේ කටයුත්තටය. ඒ අනුව මෛත්‍රි මේ දිනවල ආණ්ඩුවේ නිලධාරීන්ට දුරකතන ඇමැතුම් ලබා දෙමින් එසේ පොළොන්නරුවේ වැඩ නතර වී ඇති ව්‍යාපෘති අවසන් කර ගැනීම සඳහා මුදල් සම්මත කර ගැනීමේ කටයුතුවල නිරත වී සිටින බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
ගෙදර සාත්තරකාරයෝ පිරිලා
එසේම මෛත්රිගේ පැජට් පාරේ පිහිටි නිල නිවෙසට යන ඕනෑම කෙනකුට මේ දිනවල තවත් විශේෂ දසුනක් දැකගැනීමේ හැකියාවද ඇත. ඒ, නිතරම ජ්‍යොතිෂවේදීන් මෛත්රිගේ නිවෙසට පැමිණ සිටින ආකාරයය. මෙසේ එන ජ්‍යොතිෂවේදීන්ගෙන් මෛත්‍රීගේ කේන්දර සටහන පරීක්ෂා කරවාගන්නා ආකාරයක් දැකගන්නට ඇති අතර බොහෝ දෙනා පවසා ඇත්තේ ලබන මාර්තුවෙන් පසු මෛත්‍රිට හොඳ කලදසාවක් ලැබීමට නියමිත බවකි. ඒ අනුව ජ්‍යොතිෂ මතය වී ඇත්තේ මාර්තු දක්වා හීන්සීරුවේ කටයුතු කරන ලෙසත්, මාර්තුවලින් පසුව යම් දේශපාලන ජයග්‍රහණ ලබාගැනීමේ අවස්ථාවක් මෛත්‍රීට පවතින බවත්ය. මේ දිනවල මෛත්‍රි මෙම කතාවද තමන් සමඟ කතාබහ කරන හිතවතුන් සමඟ සඳහන් කරමින් සිටින බව දැනගන්නට තිබේ. ඒ අනුව මෛත්‍රි මේ වන විට සැලසුම්කර ඇත්තේ ලබන මාර්තුවේ පොහොට්ටුව යටතේ හෝ පොළොන්නරුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ තවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එක්කරගෙන නියමිත වේලාව පැමිණි පසු පාර්ලිමේන්තුව ඇතුළේ කැරැල්ලක් ගහන්නටය.
කපිල පුංචිමාන්නගේ